සුජාත අධ්‍යාපන ක්‍රමයේ අවජාතක මම.

සුජාත අධ්‍යාපන ක්‍රමයේ අවජාතක මම.





ටීචර්:- ළමයි, ඔයාල කැමති ලොකු වෙලා කවුරු වෙන්නද?

පන්තියේ තැනින් තැනින් අත් කිහිපයක් එසවින. එක් අයකු නැගිට "ඩොක්ටර් කෙනෙක් වෙන්න ටීචර්", ඔහු පරයා පුටුවෙන් සිටගත් තවත් අයක් ඔහුට නොදෙවනිව "මම නම් ඉන්ජිනියර් කෙනක් වෙනවා ටීචර්". මෙලස ලැබුනු පිලිතුරු අතර නීතීඥවරු, ඉන්ජිනේරුවරු, දොස්තරවරු පොකුරු පිටින් බිහිවින .

ඔව්, අපි හැමෝටම හීන තියනවා. අපි හැමෝටම බලාපොරොත්තු තියනවා. ඒ හීන, බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. එදා ඒ පන්තියෙන් ටීචර්ට මම චිත්‍ර ශිල්පියෙක් වෙනවා ටීචර්, මම ගායකයෙක් වෙනවා ටීචර්, මම ගොවියෙක් වෙනවා ටීචර් කියලා කවුරුත් කිව්වේ නෑ. නමුත් පන්තියෙ කොනකින් තවත් අතක් එසවින. ඔහුගේ පිළිතුර වුණේ "මම පොත් ලියන කෙනක් වෙනවා". ඔහුට පන්තියේ සියල්ලෝම කොක් හඬලමින් සිනාසුනේ හුදෙක් ලේඛකයාට ලාංකේය ආර්ථික රටාව තුළ මොනර කොළ කොක් හඬලමින් සිනාසෙන ලෙසිනි. මෙය මා ගෙතු කතාවක් නොවේ.

ඇයි එදා අනෙක් ළමයින් ලේඛකයාට සිනාසුනේ? ඒ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාවෙන්ද? එය අදටත් මට ප්‍රශ්නාර්ථයක්ව පවතී. නමුත් අද මම එක් දෙයක් දකිමි. හොඳින් ගීත ගයන මගේ මිතුරෙකු උසස් පෙළ සඳහා ගණිත විශය ධාරාව තෝරගත්තා. අද ඔහුට ගණිතයත්, ගායනයවත් ඉතිරි වී නෑ. හොඳින් චිත්‍ර අඳින තවත් අයෙකු විද්‍යා විෂය තෝරා ගත්තා. ඔහුත් අද අසරණයි. ඉසෙඩ් ලකුණට යටවී ඔවුන්ගේ හීන, බලාපොරොත්තු පණ අදිමින් සිටී. නමුත් එදා ඔහු ගණිතය සංගීතය හැදෑරුවා නම් අද ඔහු සංගීතඥෙයක්. දෙවැන්නා ලොවක් මවිත කරවන චිත්‍ර ශිල්පියෙක්.

මම දිනක් ඔහුගෙන් මෙලෙස විමසුවෙමි. "ඇයි බං උඹ දිගටම චිත්‍ර අදින්නේ නැතුව වෙන මගුල් කරන්න ගියේ?" එවිට ඔහු "නෑ බන්, මම ආර්ට් කරනවා කිවුවම කෑල්ලගේ ගෙදර උන් උඹ පවුලක් නඩත්තු කරන්න යන්නේ චිත්‍ර ඇඳලද ඇහුවා. ඉතින් ඇත්තෙන බං, අද ලංකාෙව
 චිත්‍ර ඇඳලා අඩුම තරමේ මට විතරක්වත් ජීවත් වෙන්න පුළුවන් ද?

මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ එදා වෙල් එළියේ දුවපැන ඇවිදමින්,  පාසලෙන් අකුරු කරමින් නිදහසේ ජීවත් වූ දරුවා අද රේස් අස්සයන් බවට පත් කර ඇත. අසරුවන් දෙමාපියන්ය. පාසලේ පළමු පන්තියේදීම ළදරු අශ්වයාගේ පිටට නගින අසරුවන්, 5 ශිෂ්‍යත්ව විභාගය කරා දක්කයි. දරුවා ටියුශන් කඩ කාමර තුළ සිර කරවයි. ඔවුන්ගේ ළමා කාලය උදේ 7.30 සිට 1.30 දක්වා පාසලේත්, 2.30 සිට 8.30 දක්වා ටියුශන් කඩය තුළත් කොටු කරවයි. ඉන් අනතුරුව එන්නේ 
සාපයයි. සාමාන්‍යපෙළ විභාගය, ඉන් අනතුරුව උසස් පෙළ. 

දොස්තර හීන, ඉංජිනේරු හීන පසුපසම දරුවා දිව යන්නේ දෙමාපිය බලපෑම මතද? නැතිනම් සමාජීය බලපෑම මතද? තත්කාලීන ලාංකේය සමාජය තුළ දොස්තර, ලෝයර්, 
ඉංජිනේ යන වෘතීන් වේ. සැබැවින්ම ඒවා වචනයේ පරිසමාප්ත අයුරින්ම උසස් වෘතීන්ය. ඔවුන් ඉහල ආදායමක් ලබයි. එසේ නම් ගුරුවරයා, ලේඛකයා, චිත්‍ර ශිල්පියා වැනි වෘතීන් වැදගත් නොවන වෘතීන්ද? මෙය අපි අපෙන්ම විමසිය යුතු පැනයකි. මන්ද මේ සමාජය යනු අන් කවුරුත් නොව අපිම වන බැවිනි. 

පාලකයන් ජාතක කල සුජාත අධ්‍යාපන ක්‍රමයක අද බොහෝ දෙනා අවජාතක වෙමින් පවතී. මන්ද අද අධ්‍යාපන ක්‍රමය තුළ සුදුස්සාට, සුදුසු තැන ලැබෙනවාද යන්න විශාල ප්‍රශ්නාර්ථයක්ව පවතින බැවිනි. නමුත් මෙකී සියළු කාරණා සඳහාම අධ්‍යාපන ක්‍රමයම  දඩමීමා කොට පහරදීම සදාචාරසම්පන්න නොවේ. තරුණ අපගේ අනාගතය පිලිබඳව අප තුළම වගකීමක් හා යුතුකමක් පවතී. තමන් හිසට තම අතමය සෙවනැල්ල! එසේ නම් හිසට උඩින් අත තබා ගත යුත්තේද අපමය. නමුත් අධ්‍යාපන ක්‍රමය යනු  අපගේ මාර්ග නියමුවාය. අපි ලද දෙයින් සතුටු වෙමු. මන්ද ජීවිතය යනු මුදල් පමණක් ම නොවන බැවිනි. 

මම සමාජවාදියකු නොවෙමි. මම ලිබරල්වාදියකු ද නොවමි. නමුත් මම යතාර්ථවාදියකු වෙමි.



අනුජ ප්‍රියභානු.




Previous
Next Post »