ඔබ ඔබ නොවී මා කිරීම. (Human Rights)

ඔබ ඔබ නොවී මා කිරීම. (Human Rights)



ඔබ ඔබම විය යුතු බවත් මා මම ම විය යුතු බවත් පසක් කර ගැනීමට අපහසුවීම යනු මෙකල අප ලද අභාග්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා යැයි කියා ගන්නා රාජ්‍යයක් තුළ ඔබට මා වීමට කරන ලද බලපෑම කෙතරම් යුක්තිසහගත කරුණක් ද? හුදුමහත් භක්තියක් ආරෝපණය කරගනිමින් තමා දන්නා සියල්ල නිවැරදි බවත් තමාට පමණක් යුක්තිය ඉටුවිය යුතු බවත් තවකෙකුගේ කැමැත්ත අකමැත්ත තමාට අනුව තීරණය කිරිමට හැකිබවත් සිතන ආශ්චර්යමත් රටක ජීවත් විමට අද අපට සිදුව ඇත.

මානව හිමිකම් සුරකින සමාජයක් බිහිකිරීම යනු ජාතික සහ ආගමික පාවාදීමක් යැයි අර්ථදක්වන්නන් බිහිවනුයේ කිනම් අවාසනාවකට දැයි සිතාගත නොහැක. පාලකයාගේ කූට උපායට කොටුවන බහුතරයා තුළ දලුලා වැඩෙන ජාතික ආගමික අන්තගාමීත්වය පාලකයා ලද විශිෂ්ට ජයක්ම නොවන්නේද? තමාට හිමිවිය යුතු අවමයවත් ලබා ගැනීමට නොහැකි වූ රටක ජීවත්වීම තරම් අභග්‍යයක් තවත් නැත. එසේම තමාට හිමිවිය යුතු දේ ගැන නොදන්නා පිරිසක් බිහි වීම ද පාලකයා ලද භාග්‍යයක්ම නොවන්නේද?

ආගම යනු ඔබටද මටද පොදුවේ කක්ෂගත කල නොහැක්කකි. තම තමාට රිසි වු පරිද්දෙන් හා පිළිගන්නා වු අයුරින් ආගම ඇදහීමට ඔවුන් නිදහසක් ලබාගත් අතර එය තමාගේ පෞද්ගලික කාරණාවක් විය. එබැවින් 
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ප්‍රජාවට ආගමික නිදහස ලැබිය යුත්තක් බව පිළිගන්නා මතයක් විය. බහුවාර්ගික රටක් ලෙස ලංකාව වැනි රාජ්‍යයක් තුළ ආගමික නිදහස යන්න සියල්ලටම පොදු කාරණවක්ම නොවන්නේද. තමාට කැමති ආගමක් ඇදහීමටත්, එය ප්‍රචාරය කිරීමත් නිදහසක් මෙහි ප්‍රජාවට ඇත. එහෙත් වර්තමානය වන විට සිදුව ඇත්තේ කුමක්ද?

ආශ්චර්යමත් රටක් තුළ මානව හිමිකම් කඩකරමින් ඔවුන් හඹායන්නේ පොදු ජනයාගේ අභිවෘද්ධියට යැයි කිසිවෙකුටත් කිව හැකිද? පාලකයාගේ හුදු සුඛ විහරණය උ‍දෙසාම මිස ඔවුන් තුළ පොදු ජනයා කෙරෙහි ඇතිවු සංවේදනයක් නොමැති බව පුල පුලා කීම අවැසි නොවන්නේය. ආගමික නිදහස සීමා කරමින් ඔවුන් අතර ගැටුම් නිර්මාණය කිරීම බලයේ පිහිට වුවන් තම බලය තවත් තහවුරු කරගැනීම් වස් යෙදෙන්නා වු එක්තරා කූට උපායමයක්ම බව නොවැටහෙන්නේ මන්ද?

ආගම යනු අතීතයේ සිටම පාලකයාගේ අභිවෘද්ධිය පිනිස සහ රටක ප්‍රජාව පාලනයට තිබු පහසුම සහ සාර්ථකම ක්‍රමයක්ම විය. ප්‍රජාව තමාට හිමි දේ පාලකයාගෙන් නොලැබි යාම ගැන පීඩනයට ලක්ව පාලකයාට එරෙහි වීම වළකනුවස් ආගම යන්න සුදුසුම උපක්‍රමයක් ලෙස හදුනාගෙන තිබිණි. අතීත ලංකාව තුළ රජ රදළ පාලන සමයේ ඔවුන්ට පාලන විශමතාවන්ට එරෙහිව නැගෙනු වෙනුවට යටත් වැසියන්ගේ අවධානය මහා විශාල ආගමික ස්ථාන, පිළිම ගොඩනැංවීම වෙනුවෙන් යෙදවීය. යුද්ධයෙන් පසු රජවරුන් යොමු වන්නේ ආගමික පුනරුදයක් ගොඩනැගීම වෙනුවෙන්ය. යුද්ධයෙන් ජයගන්නා පාලකයා තවදුරටත් තම බලය රුකගනු පිනිස යොදවන්නා වූ උපක්‍රමයක්ම ලෙස මෙය දැක්විය හැක. එසේ පමණක් නොව ආසියාතික රටවල් යටත්කර ගැනීම පිණිස බටහිට ජාතීන් යොදා ගත් උපරිමයක් ලෙස ආගමික ප්‍රචාරය මුල් කොට ගැනීම අප දන්නා කරණකි. පාලකයාට තම පාලන තන්ත්‍රයේ ජනයා තබා ගැනීමට හා තම ආදිපත්‍ය පැතිරවීමට පහසුම ක්‍රමය වන්නේ ප්‍රජාවන්ගේ භක්තියෙන් මුසු අවධානය අාගම කෙරෙහි යොමු කිරීමය. එදා සිට අද දක්වාම බිහිවන පාලක පන්තිය විසින් අන්තගාමි අාගමික මතධාරීන් බිහිකොට පටු සීමා මායිම් තුළ ප්‍රජාව අතරමං කොට තවදුරටත් පාලකයාගේ කූට පාලන ව්‍යුහය තුළ ඔවුන් සිරගත කිරීමක්ය.

උදුම්මවාගත් ජාතික ආගමික අන්තභාවයෙන් තවකෙකු තලා පෙළා නිගරු කොට දැමීම ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ කෙතරම් සාධාරණද? මානව හිමිකම් සුරකීම වෙනුවට ඒවා කඩ කරමින් අන්තවාදීන් බිහිකීරිම පාලකයාගේම කූට උපකමයක් බව එයට ගොදුරු වූවන් නොදැනගැනීම අප සියල්ලෝගෙම අවසනාවයි.

පාලකයාගේ දුෂ්ට අකටයුතුකම් වලට එරෙහිව දිවි පරදුවට තබා සටන් කරනු වෙනුවට තවත් පිරිසකගේ ආහාරය වළක්වනු යැයි කියමින් බලපෑම් කරමින් සියදිවි නසාගැනීම තරම් වූ පිරිසක් බිහිකිරීම මෙවන් යුගයක ආණ්ඩුව ලැබූ විශිෂ්ට ජයක්ම වන අතර අප ලැබු අන්ත පරාජයකි.

අවසානයේ දී අනුන්ගේ අඹුඩවලට අත පොවා අසූචී තවරා තමන්ම ගදගස්සා ගන්නා පරම්පාරාවක් බිහිවීම යනු ආශ්චර්යමත් යුගයක තවත් ආශ්චර්යක්ම නොවන්නේද?




අයේෂා සේනානායක.




Previous
Next Post »