අපි නොදැනම විකිණෙන අපි!

අපි නොදැනම විකිණෙන අපි!


පි හැමෝම ජීවිතය ගත කරන්නේ බොහෝම තරඟකාරී ලෝකයක... ඉතින් මේ තරඟකාරී ලෝක ස්වභාවය ඇතුළේ කියවීමකට ඉඩක් වෙන්කරනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්… ඒත් මේ ලිපිය ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුයි. ඒ නිසා ඉමක් නොපෙනෙන සුන්දර සිහින, අරමුණු පස්සේ දුවලා හති ඇරගන්නත් එක්ක මේ ලිපිය කියවන්න කියලා අපි ඔබට ඇරයුම් කරනවා .

කතාව පටන්ගන්නේ බොකොහරාම් කියන ඉස්ලාමීය අන්තවාදි ත්‍රස්තවාදී සංවිධානය ගෑණු ළමයි 300කට ආසන්න පිරිසක් බලෙන් පැහැර ගැනීමත් එක්ක. 
ගෑණු ළමයි බලෙන් පැහැර ගැනීම වගේම ත්‍රස්තවාදි ක්‍රියා අපිට නුහුරු නුපුරුදු ඒවා නෙමෙයි. ඒත් මේ සංවිධානයේ නායකයා මේ ගෑණු ළමයි තමන් ඉහළ මිළකට විකුණන බවටත් තම නායක අල්ලහ තමාට එලෙස කරන ලෙස අණ කළ බවටත් ප්‍රකාශ කර සිටියා. අල්ලහ දෙවියන් හෝ කිසිම දෙවියෙක්, කිසිම ආගමික නායකයෙක් මිනිස්සුන්ව විකුණන්න කියලා අණ දීලා නෑ. ඉතිහාසය වගේම හිතක් පපුවක් තියන ආගම, අන්තගාමීව නො අදහන ඕනෑම කෙනෙක් ඒ අදහසට එකඟයි.

ඉතින් මේ සිද්ධියට හිත උණු වෙච්ච මිචෙල් ඔබාමා නෝනගේ දුක්මුසු මුහුණක් අන්තර්ජාලයට එකතු කරලා තිබුණා ඔයාලා දකින්නත් ඇති. ලෝකයේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය කරපු මේ නෝනා මහත්වරු කිඹුල් කඳුළු හෙළනකොට කවර කතාද? ඉතින් මේ නෝනා මහත්වරු තප්පුලලා සුපිරී කියන, තවමත් ඕනෑකමින් නඩත්තු කරන මේ සමාජ ක්‍රමය ඇතුළේ ලාභෙට කෙරෙන බිස්නස් අතර මිනිස් වෙළදාම ඉහළ ස්ථානයක් අත්පත් කරගෙන තිබෙනවා... "මිනිස්සු වෙළඳාම් කළේ අතීත වහල් සමාජය තුළනේ දැන් මිනිස්සු වෙළ
ඳාම් කිරීම නැහැ නේද?" කියන පැනය මේ වෙනකොට ඔබට නැගෙන්න ඇති!

අපි සුපිරි කියන මේ සමාජ ක්‍රමයේ තිත්ත ඇත්ත තමයි මේක. හොඳයි තාමත් ඔයාලට විශ්වාස නැහැ නම් එක්සත් ජාතින්ගේ වාර්තා අධ්‍යනය කරන්න පුළුවන්… ඔවුන් පෙන්වාදෙන ආකාරයට නූතන මිනිස් වෙළඳාම වාර්ෂිකව ඩොලර් 38ක ආදායම් උපයන ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ මිනිස් ජාවාරමට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ කාන්තාවෝ… එයිනුත් තරුණියන් විශේෂයි. මෙම තරුණියන් විවිධ ලිංගික සේවාවන් හා ගණිකා ව්‍යාපාරයන්ට යෙදවීම අද මහා පරිමාණයෙන් සිදු වෙන දෙයක්. ඔබ දන්නවාද? වාර්ෂිකව ලක්ෂ 7කට අධික කාන්තාවන් ප්‍රමාණයක් ලිංගික වෙළදාම සඳහා රටවල් අතර හුවමාරු කරන බව. ඉතින් ත්‍රස්තවාදී සංවිධානත් මේ ලිංගික වෙළදාම්වල නියුතු අතර මැදියන් වී ඇති බව ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම මේ නව ලිබරල්වාදය තුළ කාන්තාවන් ලිංගික ව්‍යාපාරවලට යොමු කිරීම සාධාරණ බවට තර්ක කරන පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට අනුව ගණිකා ව්‍යාපාරය සෙසු ලාභ උපයන ව්‍යාපාර හා සමාන දෙයක්. ඒ වගේම “කාන්තාවන්ට මුදල් අවශ්‍ය නම් ඇය ඇඟ විකුණන්න කැමති නම්, කිසියම් කෙනෙක් ඇය හා එක්වීමට කැමති නම් ඉන් කාටත් කරදරයක් නොවේ නම් එහි ඇති වරද කුමක්ද?..” යන ආකාරයේ ලිබරල් මතවාදයන් මෙම මිනිස් වෙළඳාම් සහ ගණිකා ව්‍යාපාරයන් , ලිංගික කර්මාන්තයන් සාධාරණීකරණය කිරීමට යොදා තිබෙනවා.

ඒ වගේම මේ නග්න ව්‍යාපාරය තවත් සාරවත් කරන්න තරුණියන් රවටා මෙකී සේවාවන්ට යෙදවීමක්ද අද සිදුවෙනවා. ඉන් නොනැනවති මෙම ව්‍යාපාරවලට යොදවන තරුණියන් ලිංගික තරු (porn stars) බවට පත් කරවනවා. කාන්තාව ලෝකයේ තරුවක්… ඒ ගැන විවාදයක් නෑ. එහෙම තරුවක් වුණේ උත්තරීතර මවු පදවිය හරහා, පිරිමි හා සමානව තමන්ගේ ශ්‍රමය සමාජ සංවර්ධනය උදෙසා වැගිරීමෙන්… ඒත් මේ සමාජ ක්‍රමයේ කාන්තාව තරුවක් බවට පත් කරලා තියෙන්නේ ලිංගික වෙළදාම් හරහා බව ඔබට දැන් තේරෙනවා ඇති. ලෝකයේ කිසිම ගැහැනියෙක් පට්ට ආසාවකින් තමන්ගේ ආත්මය, තමන්ගේ ඇඟ සල්ලි කාක්කන්ට විකුණන්නේ නෑ… ඒත් මේ සමාජ ආර්ථික ක්‍රමයේ වරදින් අකමැත්තෙන් වුණත් එලෙස විකුණන්න සිදුවෙලා තියනවා… නොඑසේනම් වඩාත් පැහැදිලිව කිව්වොත් විකුණන්න බල කෙරිලා තියනවා .

මෙම ව්‍යාපාර වළක්වන්න නම් මේවායේ නියුතු කාන්තාවන් අත්අඩංගුවට ගතයුතුයි යන්න ඉදිරිපත් වුණ තවත් මතයක්... ඒ මතය කොතෙක් සර්වසාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි. ලෝකයේ සිදුවන මිනිස් වෙළදාම වගේම මේ ලිංගික වෙළදාම් අපි ජීවත්වෙන සමාජ ආර්ථික ක්‍රමයේම නිෂ්පාදනයක්... කාන්තාවන් අත්අඩංගුවට ගැනීම නොව කාන්තාවන් විකුණන, විකිණීමට බල කෙරෙන සමාජ ආර්ථික ක්‍රමයට එරෙහි තරුණයන් විදිහට අපි පෙළ ගැසිය යුතුයි. “youth Arena” වේ අපි පෑන අවියක් කරන්නේ ඒ උදාරතර වෙනස වෙනුවෙන්……………………

ජය!


දිශාන් මධුසංක.




Previous
Next Post »