අපට අහිමි අප. (Human Rights)

අපට අහිමි අප. (Human Rights)


ගෝත‍්‍රික සමාජයෙන් ඔබ්බට කර ඔසවා ශිෂ්ඨ සමාජයකට මිනිසා පරිණාමය වීමත් සමඟම පාලකයාගේ කූහකත්වයට හා අසාධාරනයට එරෙහිව නැගී සිටිමට සාමාන්‍ය ජනයා නිරායාසයෙන් පෙළඹුනි. එසේ මුත් ආශ්චර්යමත් දේශයක් තූළ පාලකයාගේ කුහකත්වය තුළ ගිලී යන ප‍්‍රජාව අන්ධ භක්තිකයන් පිරිසක් බවටම පත්වෙමින් පවති. එවන් ප‍්‍රජාවකට මානව හිමිකම් යනු පර සුද්දා විසින් හෙළ විරුවාට හා සිහල දේශයට එරෙහිව අටවන ලද උගුලක් ලෙස දෘෂ්‍යමාන වීම කෙතරම් අභාග්‍යයක් ද?

මනුෂ්‍යයෙකුට ගෞරවාන්විතව ජීවත් වීමට අයිතියක් රට තුළ ඇත. එලෙස ජීවත් වීමට පවත්වා ගත යුතු ප‍්‍රමිතින් සමුහයකගේ එකතුව මානව හිමිකම් ලෙස හඳුන්වා ඇත. එම අයිතිය නොඑසේනමි හිමිකම පිළිබද දැනුවත්වීම සහ ඒ වෙනුවෙන් හඩ නැගිම ඈත පිටිසර ග‍්‍රාමිකයාගේ සිට සුඛෝපබෝගි නාගරිකයා දක්වාම විය යුත්තකි. එහෙත් සිදුව ඇත්තේ කුමක්ද? මානව හිමිකම් පිළිබඳ සෘනාත්මක චින්තනයක් ඔවුන් තුළ ස්ථාපනය වීමය.

කවුරුන් කොහේ සිට කෙලෙස කියාදුන්න ද බහුුතරයකට හිතසුවයක් ඉන් සැලසේනම් එය පිළිගැනීමට අප සුදානම් නොමවිය යුතුවන්නේද? ශත වර්ෂ ගණනාවකට පෙර මිහිදු හිමියන් විසින් ඉන්දියාවේ සිට මෙරටට රුගෙන ආ බෞද්ධ දර්ශනය පළමුව එකල සිටි පාලකයා වැළදගත් පසු සාමාන්‍ය ජනයා කිසිදු විරෝදයකින් තොරව එම දර්ශනය පිළි ගන්නා ලදී. එසේමුත් අද වන විට සිදුව ඇත්තේ මානව හිමිකම් යන්න පාලකයා විසින් පීළිකුල් සහගතව බැහැර කරමින් තම බඩගෝස්තරවාදී කුහකකම් රුක ගැනීම වස් වෙහෙසිමයි. අවසානයේ පීඩිත ජනයාද එම කුහකත්වයේ ගොදුරක් බවට පත්වෙමින් පවති.

1945 ජර්මනියේ චාන්සල්ර් පදවියට පත් ඇඩොල්ෆ් හිට්ලර්ගේ දරුණු පාලනයට සමාන්‍ය වැසියාට මුහුණ දීමට සිදුවිය. ඔහුගේ පාලනය හමුවේ සිදුකල දෙවන මහා ලෝක සංග‍්‍රාමයේ දී නැවතත් එම වැසියන් පීඩනයට ලක්විය. එම දරුණු සංග‍්‍රාමයේ දී ඇති වු ප‍්‍රතිවිපාක හමුවේ කැලඹුන ලෝක වාසි මනුෂ්‍ය ප‍්‍රජාවන් ලොව බොහෝ රටවල්හි පොදු එකඟතාව මත එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එහි ප‍්‍රධාන අරමුණ වුයේ විශ්වීය සංකල්පයක් වූ මානුෂත්වය පදනම් කොට ගත් මානව හිමිකම් රැක ගැනීම සහ ලෝක සාමය පවත්වාගෙන යාමත්ය.

සමස්ත ලෝකයම පොදුවේ පිළිගත් සියලු සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ආදී අයිතිවාසිකම් සියල්ලේම එකතුවක් මෙහි අන්තර්ගත වේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලීක අයිතිවාසිකම් ලෙස සඳහන්ව ඇත්තේ විශ්ව ප්‍රකාශනයේ වගන්ති 30 තුල සඳහන්ව ඇති ව්‍යවස්ථා වගන්ති කිහිපයක් පමණි. මූලික අයිතිවාසිකමක් කඩවිමකදී අධිකරණයේ පිහිට පැතිය හැකි නමුත් මානව හිමිකම් කඩවීමකදී එසේ කළ නොහැක.

එය කෙසේ වුවත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? මානව අයිතිවාසිකම් සුරුකිම පර සුද්දාගේ උගුලක් යැයි කියා සිතා බැහැරකර දැමීමය. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍ර‍්‍රම ව්‍යවස්තාවේ 13 වන පරිච්ඡේදයේ සඳහන්වන මූලික අයිතිවාසිකම්වත් සුරුකි තිබේ ද යන්න අද ගැටලුවකි. ඒ හමුවේ සිතිමේ, හෘද සාක්ෂියේ සහ ආගමික නිදහස, වද හිංසා වලට හෝ කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකල යුත්තේය යන අයිතිවාසිකම, භාෂනයේ නිදහස සහ ප‍්‍රකාශනය ඇතුලු අදහස් පළකිරිමේ නිදහස, සමකාමිව රැස් විිමේ නිදහස ආදී වු මුලීක අයිවාසිකම් පවා අහිමි වීම නොවේද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශයක් තුළ එවන් වූ අයිතියක් භුක්ති විදීමට නොහැකි වීම ගැන කෑ කෑසීමට පිළිතුර වෙඩිඋණ්ඩය හෝ අතුරුදහන් කරවීම නම් එය අප සැමගේම අභාග්‍යම වන්නේ ය. පාලකයාට අවශ්‍යව ඇත්තේ තම කුටුම්බය ධන බල පරාක‍්‍රමයෙන් ඉහළට උසවා තැබීම පමණක් නම් අප තවදුරටත් ඔවුන්ව යදිමින් හිසනමා පිහිට පැතිම කොතරම් හාස්‍යයක්ද? මෑත කාලීනව සිදුුවූ සිදුවීම් දෙස විිමසිල්ලෙන් බැලුකල මානව හිමිකම් කඩවීමේ සිද්ධින් ඇති පදමට අප දෑස්මත සාක්ෂි දරයි. රතුපස්වල වතුර ඉල්ලා කෑ ගසමින් රැස්වු අසරනයින් වෙඩි උණ්ඩවලට ජීවීිත පිදීය. තම මුලික අවශ්‍යතාවයක් වන ජලය ඉල්ලා සිටිමටවත් අයිතියක් ඔවුන්ට අහිමි වූයේ කාගේ නම් වරදින්ද? බිළිගත් ජීවිත ආපසු ඉල්ලා සිටින්නේ කාගෙන්ද? අවසානයේ වන්දියකින් මිනිස් ජීවිිතයන්ට වටිනාකම තීන්දු වු විට අප පාලකයාගේ හුදු විනෝදයෙන් මත්ව නිර්විින්දනය නොවුනේද?

එසේම සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බසින විට ඇස් ඉස් මස් එළියට එනතුරු පහර දෙන්නේ නම් එවන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමකටද? රාජකාරියේ නියතු වු රටේ සාමය රකින්නා වු යැයි කියනා පොලිස් නිළදාරීන්ම පැහැර ගෙන ගොස් මරා දමයි නම්, මැති ඇමතිවරුන්ගේ අණ නොතකා නීති රැකිමට වෙහෙසෙන විට මරා දැමිමට තැත්කර ඔවුගේ දේපළ හානි කරන්නේ නම්, සැකකරුවන් ලෙස අත්තඩංගූවට ගන්නවුන් අමු අමුවේ මරා දමයි නම්, තවදුරටත් මානව හිමිකම් සුරකිම ගැන කෙලෙසක විශ්වාස කරම්ද?

පාලකයාගේ බඩගෝස්තරවාදී අසාධාරණකම් වලට එරෙව නැගි සිටීමට අයිතියක් අපට අහිමි වුයේ කිනම් අභාග්‍යකටද? දෘඩ තල දර්පනයක් තුලින් අපට ආතාත්වික යටිකුරු ප්‍රතිබිම්බ පෙනෙන විට ඒවා තාත්වික උඩුකුරු ප‍්‍ර‍්‍රතිබිම්බ ම වේ යැයි සිතා මුලා වී අප අපම අහිමි කර ගැනීමක් වන බව නොවැටහෙන්නේ මන්ද? එයින් සිදුවන්නේ අප අපේ යැයි උදම් අනන රට තුළ ගෞරවාන්විත ජීවත්වීමට වරම් අහිමිව යාමයි. තමාට අහිමිවන දේ ගැන තමාම නොදන්නා තරමටම අප පාලකයාගේ අන්ධ භක්තිකයන්ම වේ. එනයින් මානව හිමිකම් පිළිබඳ කතා කරන්නවුන් ඇණ ගසා කුරුසේ ලෑමට තරම් වෛරයක් සමාන්‍ය ජනයා තුළින් පැන නඟින්නේ පාලකයාගේම කූට උපක‍්‍රම වල ප‍්‍රතිවිපාක ලෙසටමය.

රට තුළ ඇති සියලු ආයතනවල නිළදාරිවාදය දේශපාලනිකරනය වෙමින් ප‍්‍රජාවට තමන්ගේ මුලික අවශ්‍යතා වලට පවා ඇති අයිතිය අහිමි වී යන යුගයක පාලකයා සියල්ල භුක්ති විදින්නෙකු බවට පත් වන්නේ නිරායාසයෙනි. යටත් වැසියන්ට සිදුව ඇත්තේ ඔවුන්ගේ පාලනය හමුවේ තැලි පෙලි අසාධාරණකම් වලට ලක්ව සිටීමට පමණි. මං මාවත්, උයන් ඉදිවෙමින් ලාංකිකයා ආශ්චර්ය කරා ගෙන යනවා යැයි කියනා මුත් සැබෑ ආශ්චර්ය මතුවන්නේ ප‍්‍රජාවට තමාට හිමි දේ ලබා දී ගෞරවාන්විතව ජීවත් වීීමට ලැබිමෙන්ම නොවේද? කෙසේ වෙතත් මානව හිමිකම් යන වචනය පසෙකින් තබා ගත් කල වුව ද මිනිස්කම සුරකිම වෙනුවෙන් අප සතු යුතුකම් නොවන්නේද? එය සුරකිම සහ ඒවා කඩ කරන්නවුන්ට එරෙහි වීීමට ඔබ තවදුුරටත් පැකිළෙන්නේ නම් ඔබ දෙපයින් ඇවිද ගිය මුත් උතුම් මනුෂ්‍යයෙක් වන්නේදැයි තව වරක් සිතා බැලීම මැනවි...

අයේෂා සේනානායක.





Previous
Next Post »