මරණයට කළින් - (සුදු වෑන් රියකින් 'මාවෝ ශ්‍රී' පැහැරගනී.)

මරණයට කළින් - (සුදු වෑන් රියකින් 'මාවෝ ශ්‍රී' පැහැරගනී.)



රාජ් අංක සහිත, කළු කරන ලද වීදුරු වලින් යුක්ත සුදු පැහැති වැන් රථයක් මේ වන විට මාගේ බෝඩිම ඉදිරිපස නවත්වා ඇත. ශරීර ප්‍රමාණයෙන් අගසව් කණ්ඩායම තව නොබෝ වෙලාවකින් මෙහි දොරගුළු බිඳීනු ඇත. එයට මත්තෙන් සිහියට නැගෙන්නේ මගේ මළසිරුර සොයා ගත පසු සාටකසිංහ ඇතුළු ආණ්ඩුව; ජනතාවාදී පොලිසිය හා එහි සත්‍යගරුක විනයගරුක නීතිඥ මාධ්‍ය ප්‍රකාශක ගෙන හැර දක්වන අනුමාන කිරීම් හා විවිධ බලය භාවිතා කිරීම් සම්බන්ධව සොයා බැලීමට පත් කරන කමිටු පිළිබද තොරතුරුය . කෙසේ වෙතත් මරණයට පෙර සතුටට කරුණක් ඇත. එනම් ඔවුන් මගේ මරණය විකුණාගෙන කනු ඇත. එහෙත් සාටකසිංහ පාලනයේ අවසානය මාගේ මරණයෙන් සිදු වනු ඇත. කෙසේ නමුත් මරණ බය නිසා දෝ වෙනදා මෙන් ලේ කැකැරෙන අකුරු ඇමුණුම මට අද දින නුහුරු වි ඇති හෙයකි. මරණයට පෙර ලිවිය යුතු අවසන් වචන කිහිපයකි.....

සාටකසිංහට තවදුරටත් යුද්ධය විකුණාගෙන කෑමට හැකියාවක් නොමැත. මක්නිසාදයත් ජනතාවට තවදුරටත් යුධ සංදර්ශන වලට අත්පුඩි තලන්නට අවශ්‍යතාවයක් නැත. මේ වන විට යුද්ධය ජනතාවට අවුරුද්දකට වරක් මතක් වන සැමරුමක් පමණි. එයද සිහල ලේ වලට උඩපැන නැටිය හැකි වේදිකාවකි. නමුත් සාටකගේ බල ව්‍යප්තියට එය ප්‍රමාණවත් නැත. ඔහුගේ වචන වලට අනුව ජනතාව ඉල්ලුවේ සාමය විය හැකිය. එය එසේ වි නමුත් සාමය ලැබුන පසු ජනතාවට තවත් අපේක්ෂාවන් පවතී. යුද්ධය සමයේ බඩ ගැන නොහිතපු ජනතාවට දැන් බඩ ගැන හිතන්නට අවශ්‍ය වේ. යුධ සමයේදී ඇදුම් පැළදුම් විනෝදය ගැන නොහිතපු ජනතාවට දැන් තමගේ ජීවිතය ගැන හා තමන්ගේ හෙට දවස ගැන සිතීමට සිදුව ඇත. නමුත් මේ සියල්ල තුලින් සිදු වන්නේ සාටකගේ හීන ලෝකය බිද වැටීම පමණි. සාටක හට රකින්නට පවුලක් ඇත. බේබිලා තුන් දෙනෙකුට කන්න අදින්නට සෙල්ලම් කරන්නට හුරතල්වන්නට ලෝකයක් නිර්මාණය කල යුතුය. ලොකු බේබිට කන බොන තෙල බසින්නට බෝල තලන්නටත් නීල බලකා සංදර්ශනයත් කල යුතුයි. මද්දුමයාට ලොකු නැව් හය හතක අණ දෙන්නෙක් විය යුතුයි. බාලයාගේ පිස්සුව හොඳ වන්නට යවපු චන්ද්‍රිකාව අතුරුදහන්ය. එයනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විනා වෙන කුමක් විය හැකිද. සියල්ල අවසානයේ සාටකට තම පාලනය රැක ගැනීමටනම් ජනතාවගේ අවධානය දිනා ගත හැකි අලුත් බිල්ලෙක් අවශ්‍ය වේ. එය අඬන බබාලා නලවා ගත හැකි; තමන්ගේ වචනයට අවනතකර ගත හැකි බිල්ලෙක් විය යුතුය. ඩයස්පෝරා නාටකයේ තිර පිටපත වේදිකාගත කරන්නේ ඒ නිසාය. එය දේශපාලන ගුන්ඩුවක්ය. තමන්ගේ බලලෝභීත්වය උදෙසා කෙරෙන නරි නාටකයක්ය. එය රඟ දැක්වීමේ ප්‍රමුඛ කර්තව්‍ය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා පරිපාලනයේ අනෙකුත් බත් බලයන් නිසියාකාරව ම සිදු කරනු ලබයි. කෙසේ වෙතත් දුෂණය, කුඩු හෝ එතනෝල් ගැන හෝ සාටකසිංහ විසින් සිදු කරනු ලබන අනෙකුත් දුෂණ හා අක්‍රමිකතා පොදු සමාජය තුල සාමන්‍යයකරණය කර ඇති මුත් පොදු ජන සමාජය හෙට දින වන්නේ කුමක්දැයි නොදනිම විහිළුවකි; සහ එය සාටකසිංහගේ ජයග්‍රහණය ම විය හැකිය.

යුද්ධයෙන් පසුව ජනතාව ඉල්ලු සාමය දැන් ජනතාවගේ කරේ එල්ලී ගත්ත ගමන්ය. රතු පස්වල ජනතාවට හොඳ හැටි වතුර ටික ලැබිණ. වතුර ටික දුන් මනුස්සකමට ඒ හමුදා නිලධාරියාට උසස් වීමක්ද අනුමත කෙරින. රතුපස්වල ජනතාව වතුර ඉල්ලු නිසාද ඒ මග යමින් තුන්තාන ප්‍රදේශයෙන්ද වතුර වෙනුවෙන් අරගල කෙරින. එහෙන් ජනතාව මෝඩයෝය. මදකුත් සිතිය යුතුය. සැමටම ජලය දෙන්න සාටකසිංහ ජලයට අධිපති දෙවියන් නොවේ. ඇරත් ජලය වෙනුවෙන් අරගල කල යුතු නැත. ඒ නිසා හමුදාව ජනතාවට පොඩ්ඩක් සැර විය. සැරවුණු තරම කියතොත් ආගම බලු විය. දුටුගැමුණුගේ සේනාව පන්සල් තුලට නොගොස් පන්සල් වැට කරගෙන බලා සිටියත් සාටකසිංහගේ සේනාව පන්සල් තුලටම ගොස් තුන්තානේ ජනයාට හොද හැටි වතුර දුන්හ. නමුත් සිංහයා බලු විය. එය කෙළවෙන අවසානයක් ලියන්නට විය. එහෙත් ජනතාවට එය අමතකය. ඒහා සමාන සිදු වීම් ගණනාවක් ජනතාවට අමතකය. එය එක්තරා අංශයකි. වැදගත් ම වන්නේ බිල්ලා නිර්මාණය කිරීමයි.මක්නිසාදයත් අමතක වු කරුණු ද ජනතාවට නැවත මතක් වීමටද ඉඩ ඇති බැවිනි. මේ නිසාමදෝ දැන් දැන් චිංකාව නැවතත් රත් වෙමින් පවතී. එක් අතකින් නැවතත් ඊලාම් හොල්මන් ගැන ඉගිබිගි එලියට පැමිණේ. නව නායකයින් එකා දෙකා මතුවෙමින් වෙඩි කා මිය යයි. එහෙත් එම බිල්ලා සරල වැඩිය. පොඩි එකා බිය කර ගැනීමට තරම් මතුවන බිල්ලන් සැරපරුෂ නැත. කොන්ත්‍රාත්තුවට කර ගහන්න බල සේනා එන්නේ ඒ නිසාය. වැටලීම් ගල් ගැසීම් ගිනි තියා ගැනීම් මාධ්‍ය සංදර්ශන හරි හරියටය. අනෙක් අතට මෙහි ත්‍රිව්‍යතාවය වැඩි කිරීමට මුස්ලිම් බඩගෝස්තරවාදී පාලකයන් සාටක සමග නැතුවාම නොවේ.මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වේ. කෙසේ වෙතත් අරගලය දිගින් දිගටම ගමන් කරමින් පවතී. සීත කදුකරය උණුසුම් වුවේද මේ නාටකයන් හා ගෝනි බිල්ලන් නිසාය.අන් අතට මෙහි නවතම ජවනිකාව දුර්ගාවේ සිදු විය. ජනතාව මේ ජවනිකා තේරුම් ගැනීමට ප්‍රමාද වැඩිය. එදිනට සාටකසිංහ තව වරක් රජ පුටුවේ මස්ථකාරූඩ වීම සිදු වී තිබිය හැකිය.

රට කරවන පොතේ හැටියට මෙය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී චිංකාවකි. නමුත් පෙනෙන ප්‍රජාත්‍රන්තවාදයක් නම් නොමැති බැව් මාගේ හැඟීමයි. නමුත් ජනතාව අන්ධ වී ඇත. තමන්ගේම නිවස්නය හොරු බිදිනකන් ජනතාව අනෙකුත් සියලුම සොරකම් සාමාන්‍යකරණය කරන්නේය. පොතේ හැටියට යම් ඉම නිදහස තිබිය යුතුය. අත්අඩංගුවට ගැනීමේ නෛතික ක්‍රියාමාර්ගයක් පවතිනු ඇත. එහෙත් දැන්නම් සියලුම සොරුන් හා අපරාධකරුවන් කණවැල අල්ලමින් ආයුධ පෙන්නීමට ගොස් එක පෝලිමට පොලිස් වෙඩි පහරට ලක් වේ. නැතහොත් උන්ගේ අමනකමට මාංචු පිටින් පිහිනීමට ගොස් දියේ ගිලි මිය යයි. පොලිසිය අහිංසකය. ඔහුන් වෙනුවෙන් මරණ වාර්තා ඉදිරිපත් කරනු ලබන අධිකරණ පද්ධතිය වඩාත් අහිංසකය. ගැටළුවක් නැත. අධිකරණ දෙවඟනගේ පතිවත අහිමි කලේ මෙයට සෑහෙන කලකට පෙරය. ජනතාවට දැන් එය අමතකය. එනිසාම ජනතාව මේ සියල්ල සාමාන්‍යයෙන් සිදු වන දෛනික සිද්ධි මාලාවලටඅකුලා තබා ඇත. ශිෂ්‍යන් මහා පාරේය. ගැටළු ඇති කරනු ලැබූ සාටකසිංහම ශිෂ්‍යන්ගේ ගැටළු විසදාලයි. කෙසේ වෙතත් සාටකසිංහගේ ජවනිකා සාර්ථකය. පස්යාලේ සුභාෂ් ඉන්දික වැන්නන් ට යන්නට කාලය හරිය. 'වේලාව හරි' ආකාරය කොයිතරම් ද කියතොත් පසු පසින් තබා වෙඩි වදින්නේ පපුවටය. ඒ චිංකාවේ ආශ්චර්ය වේ. නමුත් ඒ පිලිබඳව අසනු ලබන මාධ්‍යවේදින්ද නැතුවා නොවේ. ඔවුන්ට අවශ්‍ය අසරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාව අසරණ කිරීමයි. එයටනම් මාධ්‍යවේදීන්ගේ ටිකට් කැපිය යුතුමය. කෙසේ වෙතත්, දෙයක් කිව යුතුව ඇත. ඒ, මා හොඳටම බිය වි ඇති බවය. තව ස්වල්ප මොහොතකින් මාගේ ද ටිකට් එක කැපෙනු ඇත. අවසානයෙන්;

සාටක රට පාලනය කිරීමට ඕනෑම දෙයක් කිරීමට බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනු ඇත. එයට හරස් වන්නට ඉතිරිවන පුද්ගලයෙකු ද නැත. පොලිසියේ නිලධාරින් අතුරුදහන් වන විට ඔහුන්ගේ අතපය කඩන විට නීතියේ ආරක්ෂකයන්ගේ මිනී, ලඳු කැලයන් තුලින් හමුවන විට; නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් තමන්ගේම වාහන වලට ගිනි තියා ගන්න කොට සාටක හට විරුද්ධවන්නේ කවුරුන්ද...? අගවිනිසුරුවරියව පන්නා දමන කොට; අසාධාරණයට නිතිය හා අධිකරණය කඩේ යන විට පොලිසිය මිනී මරණ විට සාමාන්‍ය ජනතාවට සාටකසිංහගේ පාලනයට විරුද්ධ විය නොහැකිය. අවසානයේ සිදු විය හැක්කේ හෝ සිදු වන්නේ එක් දෙයකි; 71; 87-89 නැවතත් එනු ඇත. නැවතත් ඩයස්පොරා දෙමල බෝම්බ කොළොම්තොට පුපුරනු ඇත. දසදහස් ගණන් තරුණයන් ටයර් සමගින් මැරෙනු ඇත. නැවතත් ආගමික සිවිල් ජන සංහාර බුරුතු පිටින් සිදුවනු ඇත. එහෙත් ඒ සියල්ල කුමන ගිණුමටක බැර වුවත් සාටකසිංහගේ හස්තයෙන් බලය උදෙසා මේ සියල්ල මෙහෙයවනු ඇත. දිනකට කෝටි දෙක හමාරක් වැය කරන සාටකගේ අවසන් ඉලක්කය බලය උදෙසාම චිංකාව ගිනි තැබීම හැර අන් කවරක් විය හැකිද..???

දොරගුළු සෙලවේ... වෙඩි හඩ එකකි... දෙකකි... තුන්වැන්න මාගේ පපුවටය. එයට පෙර මාගේ අවසන් වචන පෙළ නුඹ වෙත එවමි. කියවන්න....

මාගේ මරණය තවත් ජීවිතයක් උදෙසා ආලෝකයක් ම වෙත්වා.....!  


මාවෝ ශ්‍රී.


Previous
Next Post »