යුද අපරාධ, ලංකාව සහ නූගත් පාඩම්. (පිටස්තරයා - 2)

යුද අපරාධ, ලංකාව සහ නූගත් පාඩම්. 


 ‘‘ප‍්‍රඥාව පහළ වූ කල්හි මිනිසුන් මානුෂික අයිතිවාසිකම් හා බැඳුණු යුතුකම් සහ වගකීම් සමුදායක් ඇති බව මෙනෙහි කරයි.’’ 

ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ පශ්චාත් යුද සමයක ය. යුද්ධයකින් පසු සිදුවන සමාජ, ආර්ථික හා දේශපාලන ඛේදවාචකයන් පිරි භූමියක අපි ජීවත් වෙමු. නිදහසන් පසු අපි මුහුණ දුන් ප‍්‍රධාන ගැටලූව වන ජාතිය ගොඩනැගීමේ ගැටලූවට විසඳුම් සෙවීමට සමත් ජාතික නායකත්වයක් තවමත් බිහිවී නැත. නමුත් බිහිකර ගත යුතු ය.

යුද්ධයේ දී පළමුව මිය යන්නේ සත්‍යය යි. එමෙන් ම ගැටුම් පිරි යුද්ධයට පසුව එන යුද්ධය සැබෑ යුද්ධය බව මා කියවූ පොතක සඳහන් ව තිබුණා මතක ය. ශ‍්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින්නේ එකී සැබෑ යුද්ධයට බව හැඟෙ. සර්වජන ඡන්ද බලය පළමු ව ලබාගත් රට ලංකාව වුව ද තවමත් නිසි දේශපාලන විඥානයක් එනම්, ඉහළ දේශපාලන සමාජානුයෝජන මට්ටමක් නොමැති සමාජයකට මෙම ඛේදවාචකය තවමත් නිසි ආකාරයෙන් වැටහෙන්නේ නැත. නමුත් අනාගතයේ දී එය දැනෙනු ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ලොව බිහි වූ කුරිරුතම ත‍්‍රස්තවාදී සංවිධානයන්ගෙන් එකකි. එය බිහිවීමට බලපෑ සමාජ, ආර්ථීක, දේශපාලන පසුබිම සාධාරණ වුව ද එහි වූ ක‍්‍රියාකාරීත්වයන් බොහෝ විට අසාධාරණ හා අඥාණ විය. එම නිසා තම අරගලය නන්දිකඩාල් කලපුව තුළින් නිමා කිරීමට ඔවුන්ට සිදුවිය. සාමාන්‍යයෙන් ප‍්‍රචණ්ඩත්වය මර්ධනය කිරීමට ප‍්‍රචණ්ඩත්වය මුදාහැරීම තුළින් ඇති වන්නේ නොසිතූ තරම් වන ප‍්‍රචණ්ඩත්වයකි. එයට මානුෂීය මෙහෙයුම හෝ වෙනත් මානුෂීය නමක් භාවිතා කළ ද එම ප‍්‍රචණ්ඩත්වය මානුෂීය නොවේ. එම නිසා අද වන විට ශ‍්‍රී ලංකාව යුද අපරාධ චෝදනාවලට හසු වී ඇත. ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවත්වන පරීක්‍ෂණයට මුහුණ දීමට ලංකාවට සිදුවනු ඇත. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව සිදුකළ වැරදි ඇත්නම් ඒවා ලොවට අනාවරණය වනු ඇත. චැනල් 4 නාලිකාව ප‍්‍රදර්ශනය කළ වීඩියෝ වල සත්‍ය අසත්‍යතාවය හෙළිදරව් වනු ඇත.

යම් රටකට බාහිර සංවිධානයක් හෝ බාහිර රාජ්‍යයක් බලපෑම් කිරීම තුළින් මතුවන අනිසි ප‍්‍රතිවිපාක ඉතාම බොහෝ ය. වර්ගවාදී හෝ ආගම්වාදී මුහුණවුරකින් කටයුතු කරන කිසිදු සේනාවකට මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැත. ඔවුන් තවදුරටත් වර්ගවාදය, ආගම්වාදය ව්‍යාප්ත කරමින් ඉස්ලාමීය හෝ වෙනත් ආගමික කණ්ඩායම්වලට නැතහොත් සුළු ජන කණ්ඩායම්වලට හානිකර ආකාරයට කටයුතු කරයි. එය තවදුරටත් බාහිර පරීක්‍ෂණයකට අතවැනීමකි.

ඇත්තට ම ලංකාවේ යුද අපරාධ සිදු වූවා ද? යන ප‍්‍රශ්නය මගෙන් විමසුව හොත් ඒ සඳහා දීමට මට නිශ්චිත පිළිතුරක් නැත. නමුත් චැනල් 4 නාලිකාව විකාශනය කළ වීඩියෝ පට සහ අන්තර්ජාලයේ සැරිසරන සෙසු පින්තූරවල සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට පුරවැසියෙක් ලෙස මට අයිතිය ඇත. හුදු දේශපාලන කඩතුරාවකට මුවා වී බලය ලබා ගැනීම සඳහා කරන ප‍්‍රකාශ හෝ බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුව කරන ප‍්‍රකාශ විශ්වාස කිරීමට හැකියාවක් නැත. මන්ද, ලංකාවේ දේශපාලනය පිළිබඳ සහ දේශපාලඥයින් පිළිබඳ අප හදාරා ඇති බැවිනි. කන්න ඕන වූ විට කබරගොයා ද තලගොයා කිරීමේ දේශපාලන න්‍යාය සියලූ දේශපාලන පක්‍ෂවල න්‍යාය බවට පත්ව ඇත. එම නිසා පුරවැසියෙක් ලෙස යුද අපරාධ සිදු වූවා නම් එය වැරදි බව නිර්භයව ප‍්‍රකාශ කරමි. මෙම ප‍්‍රකාශය දේශපාලනික නැත. එය සාධාරණ සමාජයක් වෙනුවෙනි. මන්ද, අපට අවශ්‍ය වන්නේ සිංහල ශ‍්‍රී ලංකාවක් නොව සියලූ දෙනා එකට සිටින රාජ්‍යයක් බැවිනි. එම නිසා හමුදාවේ ඇතැම් පිරිස් යුද අපරාධ සිදුකළා නම් ඒ සඳහා අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම ආණ්ඩුව සතු වගකීමකි. එම අභ්‍යන්තර පරීක්‍ෂණය නොපැවැත්වීමේ ඵල විපාකය වූයේ බාහිර පරීක්‍ෂණයකට ලංකාව ලක් වීමයි. එම පරීක්‍ෂණය අප කැමති වුව ද අකමැති වුව ද පැවැත්වේ. එහි ප‍්‍රතිඵල ද නිකුත් වේ. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ලෝකය තුළ ශ‍්‍රී ලංකාව අපකීර්තියට පත්වීමයි. හුදු හැඟීම්වලින් පමණක් මෙම ගැටලූව දෙස බැලීම හෝ දඩබ්බරව මෙය විශ්ලේෂණය කිරීමේ න්‍යායෙන් අප බැහැර විය යුතු ය. යථාර්ථය පිළිගත යුතු ය. මන්ද, යථාර්ථයට කවදා හෝ මුහුණ දීමට සිදුවන බැවිනි.

යුද්ධයෙන් පසු වර්ෂ 2002 පෙබරවාරි 21 සිට 2009 මැයි 19 වන තෙක් කාලපරිච්ජේදයේදී සිදු වූ දෑ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා විසින් උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව පත් කරන ලදි. එම කොමිසම දේශපාලනීකරණය නොවූ ස්වාධීන කොමිසමක් වුව ද නොවූව ද එය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ කිහපියක් පහත පරිදි වේ.

4.286 කොමිසමේ අවධානයට යොමු කළ සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වීම සම්බන්ධ ඇතැම් සිද්ධීන් ප‍්‍රතිරූපණය කර ගැනීමේදී ද ඉහත ආකාරයේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට කොමිසමට සිදුවිය. කොමිසමට එම සිද්ධීන් සිදු වූ සැබෑ වාතාවරණය පිළිබඳ තීරණය කිරීම දුෂ්කර වුව ද, ආරක්‍ෂක හමුදා විසින් හිතා මතා විනාශකාරී ලෙස කරන ලද ක‍්‍රියාවන්හි ප‍්‍රතඵිල නොවූවත්, සිවිල් වැසියන්ට සිදු වූ මරණවලට හා තුවාල සිදුවීම්වලට ආරක්‍ෂක හමුදාවන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්‍ෂි හෙළි විය. මෙවැනි තත්ත්වයක් යටතේ, එම සිද්ධීන් ඇති වූයේ කුමන වාතාවරණයක් තුළ ද යන්න වඩාත් හොඳින් නීර්ණය කිරීමටත්, සහ එවැනි වැරදි ක‍්‍රියාවන් සිදු වී ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වුවහොත් එම වැරදි ක‍්‍රියා සදුිකළ අයට නඩු පවරා දඬුවම් දීමටත් රජයට වගකීමක් ඇති බව කොමිසම අවධාරණය කර සිටී. ඉහත සඳහන් සිදුවීම්වලින් සහ ඉදිරියේ කරනු ලබන පරීක්‍ෂණවලින් හෙළිකර ගන්නා වෙනත් සිද්ධීන්ගෙන් හෝ ජීවිතක්‍ෂයට පත් වූ හෝ තුවාල ලැබූ අයගේ සමීප ඥාතීන්ට අත්විඳින්නට සිදු වූ පුද්ගලික ඛේචවාචකයන්ගෙන් සහනයක් ලැබිය හැකි පරිදි, මාන හිතෛෂීභාවය පෙන්නුම් කෙරෙන අයුරින් අදාළ වන සහන ප‍්‍රතකිර්ම යෙදීම කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතු ය. (පිටුව 151)

4.318 ශ‍්‍රී ලංකා හමුදාවේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධව ඇති මෙම ධනාත්මක ලක්‍ෂණ හමුවේ වුව ද ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී කොමිසමේ දැඩි අවධානයට ලක් වූ කාරණයක් ඇත. විශේෂයෙන් ම, ගැටුමේ අවසන් දිනවල දී ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත භාර වූ හෝ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අතුරුදහන් වීම් පිළිබඳ කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සිදුවිය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රමුඛ පෙළෙ
සාමාජිකයින් ඇතුලූ එම අයගේ පවුල්වල සාමාජිකයින් පැවසූ පරිදි ඔවුන් ස්වාමිපුරුෂයන් ද සමඟ හමුදා මුරපොළවල් වෙත වාර්තා කළ පසු ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් පරීක්‍ෂාවට ලක් කළ යුතු බව පවසා රඳවා තබාගත් අතර, පවුල්වල සාමාජිකයින්ට සරණාගත කඳවුරුවලට යන ලෙස උපදෙස් දී ඇත. ඇතැම් අවස්ථාවන්වල දී, තම ස්වාමි පුරුෂයින් ශී‍්‍ර ලංකා යුද හමුදාවට භාර වන අයුරු භාර්යාවන් විසින් දැක තිබේ. හමුදාවට භාර වූ පවුල් පිළිබඳ සිද්ධීන් ද කොමිසමට අසන්නට ලැබුණී. මෙම සිදුවීම්වලින් හෙළිදරව් වන ස්ථාවරය වන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයින් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සිරභාරයට පත්වනු අවසානයට දැක ඇතත් ඉන් පසුව ඔවුන්ව දකින්නට හෝ ඔවුන් පිළිබඳ අසන්නට ලැබී නොමැති බවත් ය. (පිටුව 160)

4.319 පුද්ගලයින් විශාල සංඛ්‍යාවකගෙන් ලැබුණු සාක්‍ෂි අනුව, පුද්ගලයින් හමුදා භාරයට පත් වනු සියැසින් දුටු පුද්ගලයින් විසින් කරනු ලැබූ මෙම කරුණු දැක්වීම්වලින් මතුවන විශේෂ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමත් එවැනි පරීක්‍ෂණයකදී ඇතැම් හමුදා සාමාජිකයින්ගේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් කරුණු හෙළි වේ නම් එවැනි අයට චෝදනා ඉදිරිපත් කොට දඬුවම් ලබාදීමත් පැහැදිලිව ම රජය සතු වගකීම බව කොමිසම අවධාරණය කරයි. නිල වශයෙන් අත්අඩංගුවට පත් වූ පසු එම අය අතුරුදහන් වීමේ සිද්ධි ඇතොත් ඒවා දණ්ඩනීති සංග‍්‍රහය යටතේ කටයුතු කළ යුතු වරදක් ලෙස සැලකිය යුතු බව ද කොමිසම අවධාරණය කරයි. තව ද, සටන්කරුවන් යටත් වීමේ ක‍්‍රියාවලියේදී සහ සිවිල් වැසියන් ආරක්‍ෂිත කලාපවලට පැමිණීමේ දී ආදර්ශමත්ව කටයුතු කර ඇති හමුදාවේ කීර්තිනාමය කිහිප දෙනෙක් විසින් සිදුකර ඇති වැරදි ක‍්‍රියාවලින් කිළිටි නොකළ යුතු බැවින් මෙම සිද්ධි සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය අවස්ථාවල දී නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බව ද කොමිසම අවධාරණය කරයි. (පිටුව 160)


ඉහතින් සඳහන් කරන ලද්දේ අප පෞද්ගලික අදහස් නොව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොටස් ය. ඒවායින් කියැවෙන්නේ හමුදාවේ ටික දෙනෙක් විසින් කරනු ලැබූ වැරදි නිසා කීර්තිමත් හමුදාවක නාමය නොකිළිටි කළ යුතු බවයි. එය පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම රජයේ වගකීම බව ප‍්‍රබලව තහවුරු කර ඇත.

යුද්ධයක දී ගැටුම්වලට මැදිව මියයාම එකකි. අත්අඩංගුවට රැගෙන මරා දැමීම තවත් එකකි. මේ අනුව අත්අඩංගුවට ගෙන මරා දැමී යුද අපරාධයකි. මන්ද, ඔවුන් ආයුධ රහිත අය බැවිනි. එමෙන් ම සුදු කොඩි රැගෙන පැමිණි අයට වෙඩි තැබූ බවට පසුගිය ජනාධිපතිවරණයේ දී ප‍්‍රසිද්ධ වේදිකාවල දී කියැවිණ. එසේ වූවා නම් එය ද වරදකි. ලංකාවේ හමුදාව සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වීඩියෝ පට දකින විට ඒවා සත්‍ය නම් අප ද ලැජ්ජාවට පත් විය යුතු ය. එම වීඩියෝ පට සම්බන්ධයෙන් විවිධ තර්ක පැවතිය හැක. ඒවා සත්‍ය හේ අසත්‍ය ද විය හැකි ය. නමුත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති වාර්තාවේ මේ ආකාරයට සඳහන් වෙයි.

4.375 පවත්නා තොරතුරු මත ඉහත සලකා බැලූ සියලූ කරුණු මත පදනම් ව කොමිසම නිර්දේශ කරනුයේ සත්‍ය තහවුරු කිරීම සඳහා හෝ එසේ නැතහොත් වීඩියෝ රූපාවලියෙන් මතුවන චෝදනා පිළිබඳ රජය ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු ය යන්නයි. (පිටුව 186) 

ඉහතින් සඳහන් කරන ලද කොමිෂන් සභා වාර්තාවේ පවතින කිසිදු යෝජනාවක් මෙම රජය ක‍්‍රියාත්මක කළේ නැත. එසේ නම් මෙවැනි කොමිෂන් සභාවක් පත් කළේ කුමකට ද යන ගැටලූව පවතී. එමෙන් ම අවස්ථාවාදී ව ජාත්‍යන්තරයට දුරදිග නොබලා මෙරට දේශපාලන නායකයින් පොරොන්දු දුන් අවස්ථා පිළිබඳව ද අප අසා ඇත. බුද්ධිය නොව හැඟීම මත හැම විටම කටයුතු කරන්නේ නූගතුන් ය. ඔවුන් සමාජය තුළ වපුරන්නේ ද හැඟීම් ය. ඔවුන් හැම විට ම ජනතාව ද හැඟීම්බරව තබා ගැනීමට උත්සාහ කරයි. එම නිසා මාතෘභූමිය, දේශපේ‍්‍රමය ඔවුන්ගේ මාතෘකා බවට පත් වේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කිසිදු ආකාරයකට මානුෂීය සංවිධානයක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ. දෙමළ ජනතාවට ගැටලූ පවතී. එය සත්‍යයකි. එල්.ටී.ටී.ඊ.ය ඒ වෙනුවෙන් පෙනී සිටිය බව ද සත්‍යයකි. නමුත් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට අවිය ගැන පමණක් විශ්වාස කිරීම සහ ඒ වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන සිදු කිරීම අනුමත කළ නොහැක. එය නීත්‍යානුකූල රජයක් කළ ද අනුමත කළ නොහැක. ලෝකය තුළ ගැටුම් විසඳිය හැක්කේ සාමයෙනි. යුද්ධයෙන් ගැටුම් විසඳීම තවත් ගැටුමකට මුල පිරීමකි. අවිහිංසාව මාධ්‍ය කරගත් ගාන්ධි ද මැන්ඩෙලා ද ලොව තුළ තවමත් පවතී. අනාගතයට ද පවතිනු ඇත. එම නිසා අපට එල්ලවන යුද අපරාධවලට වගකිව යුත්තේ ද ශී‍්‍ර ලංකාවේ පවතින ජාතිය වෙනුවට වර්ගය පොෂ්ණය කරන මෙම දේශපාලන අධිකාරියයි. තමන් විසින් ම පත් කළ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ තැන අද රටක් වශයෙන් විදේශීය පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදු වී ඇත. මොළයෙන් නොව ඇඟෙන් ප‍්‍රශ්න විසඳීමට යාම මෙයට බලපා ඇති හේතුවයි. 1983 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සමයේ මහ දවල් මේ රටේ දෙමළ මිනිසුන්ගේ මළ මිනී ගොඩගැසුණු බව මම අසා ඇත. එය 1989 දී සිංහල තරුණයින්ගේ මළ මිනී ගොඩගැසුණි. ප‍්‍රචණ්ඩත්වයට සිංහල දෙමළ භේදය බලපෑවේ නැත. එය අදටත් සිදුවෙමින් පවතී. 83 සහ 89 අපරාධ පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂි ද ප‍්‍රබලව පැවතුණි. නමුත් ජේ.ආර්. ජයවර්ධන ඒවා සම්බන්ධයෙන් පැමිණි ජාත්‍යන්තර බලපෑම් මනා ලෙස කළමනාකරණය කර ගත්තේ ය. ඉතිහාසයේ මානව හිමිකම් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත ගිය අය, අද ඒ පිළිබඳ අබමල් රේණුවකින්වත් තක්සේරු නොකර සිටීම ඛේදවාචකයකි. සිංහලය ද දෙමළ ද මනුෂ්‍යයින් ය. සැබෑ මානව හිතවාදීන්ට වර්ගය, ආගම, කුලය බලපාන්නේ නැත. සැබෑ ජාතික නායකයින් බිහි වන්නේ වර්ගය හෝ ආගම මත නොවේ. වෛරය මත ද නොවේ. ආදරය මත ය. දයාව මත ය. කරුණාව මත ය. එයයි ගාන්ධිගෙන්, මැන්ඩෙලාගෙන් ඉගෙන ගත හැකි පාඩම.

ශ‍්‍රී ලාංකේය සමාජය සාධාරණ සමාජයක් නොවුණ තැන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුව ද ඊළම බිහිවනු ඇත. තවමත් එය බිහි නොවී පවතින්නේ අපගේ කැමැත්ත අකමැත්ත මත ම නොව ශ‍්‍රී ලංකාවේ ඊළමක් බිහිවනවාට ඉන්දියාව අකැමති බැවිනි. නමුත් සාධාරණත්වය ඉටු නොවුණ තැනක දී ඉන්දියාව ද කැමති වුව හොත් ඊළම බිහිවනු ඇත. එය සියලූ ප‍්‍රශ්නවලට විසඳුම නොවේ. එම නිසා මේ මොහොතේ වගකීම වන්නේ හැඟීම්වලට ඉඩ නොදී බුද්ධියට ඉඩ දී සාධාරණ සමාජයක් ගොඩනැගීමට කටයුතු කිරීමයි. අප තවමත් ඒ සඳහා ප‍්‍රමාද නැත. වීරවංශ, බොදුබල සේනා, පාඨලී, මහාචාර්ය නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි වර්ගවාදය පෝෂණය කරන අයගෙන් මිදී ජාතික නායකයෙක් වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තවමත් කාලය ඇත. එවැනි විටක ඉතිහාසයේ රන් අකුරින් ඔහුගේ නම ලියැවෙනු ඇත. නමුත් පවතින තත්ත්වය තුළ එවැනි තත්ත්වයක් අපේක්‍ෂා කළ ද නොහැක.


හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »

1 comments:

Click here for comments