ජුන්ඩා මිරිකීම, ජාතිය ගොඩනැගීම සහ ගිනි තැබීම. (පිටස්තරයා - 3)

ජුන්ඩා මිරිකීම, ජාතිය ගොඩනැගීම සහ ගිනි තැබීම. (පිටස්තරයා - 3)




‘‘මේ දර්ගා නගරයේ... මේ නම පවා වෙනස් කරන්න ඕනෑ. මම කල්පනා කරන හැටියට නම්.. අර මධුමාධව මතක් කළා වගේ අපේ මනුස්සකමට ලැබෙන සැලකිල්ලේ තරම මේ. මම දැක්කා අරහෙන් නන්දිකඩාල් කළපුව වගේ. විශේෂ කාර්ය බලකාය දාලා. පොලීසිවලින් දාලා. මොකද මේ? අපි කියනවා මේ රටේ තාම තියෙන්නේ සිංහල පොලිසියක්. තාම තියෙන්නේ සිංහල හමුදාවක්. අදින් පස්සේ එක මරක්කලයෙක් හරි, වෙනත් මොන පරයෙක් හරි අඩු තරමින් සිවුරකට නෙවෙයි, එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාගෙන අවසානය බව. අපි ඒක කියන්න ඕනි. මේ රටේ බොලව් හැම එකාටම නායකයො ඉන්නවා. මරක්කලයාට නායකයො ඉන්නවා. දෙමළාට නායකයො ඉන්නවා. බොලව් අපට සිංහලයන්ට නායකයෙක් නෑ. ඒ සිංහලයන්ට නායකයෙක් අපි හොයන්න ඕනි. අරහෙ ඉන්නවා දියවඩන නිලමෙ කියලා එකෙක්. ඌ බෞද්ධයන්ගේ නායකයාලූ. කවදාවත් බෞද්ධයන්ගේ ප‍්‍රශ්නයක් වෙනුවෙන් බෞද්ධ නායකයන්යැ’යි කියාගන්නා එවුන් පෙනී ඉන්නේ නැති අවාසනාවන්ත යුගයක්. සිංහලකම වෙනුවෙන් බොරුවට වේදිකාවල කෑමොර දෙන ඇතැම් සක්කිලි ඇමතිලා (සභාවෙන් හූ හඬ) අපි ජාතිවාදීලූ. අපි වර්ගවාදීලූ. අපි ආගම්වාදීලූ. ඔව්. අපි ජාතිවාදීයි. (සභාවෙන් දීර්ඝ ඔල්වරසන්) ඔව් අපි ආගම්වාදියි. (සභාවෙන් දීර්ඝ ඔල්වරසන්) මේ මොට්ටයන්ට කියන්න තියෙන්නේ මේක එක සිදුවීමක් පමණක් නෙවෙයි. සිද්ධි පෙළක එක සිදුවීමක් පමණයි. .... දැන් අලූත්ගම නගරෙදි රෙදිසාප්පුවට ආපු පොඩි එකෙකුගේ ජුන්ඩා මිරිකලා. මතකයිනේ. යකෝ ඒකට නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ ඇයි? ජාතිවාදය ඇවිස්සෙනවාලූ. ජුන්ඩා මිරිකන එක ජාතිවාදය ද?.... මුන් ඔක්කොම ලෑස්තිවෙන්නේ මේ ඔක්කොම බයිනෙත්තු, මේ ඔක්කොම රබර් උණ්ඩ කෙලින් කරන් තියාගෙන ඉන්නේ අපිට කෙළවන්න. මේ රටේ ආරක්‍ෂක අංශවලින් අපි අහනවා මේ රටේ සිංහලයෝ හාමුදුරුවරු එක පහරදීමක් කරලා තියෙනවද කියලා. බැරිකමට නෙවෙයි අපි ඉන්නේ. ඒ නිසා අපි ආදරෙන් කියනවා. දැන් අපි බොලව් සංවිධානය වෙන්න ඕනි කාලේ. දැන් රස්තියාදු ගැහුවා ඇති. දැන් එකතුවෙලා සමගිවෙලා අද දවසේ අපේ යුතුකම කරන්න අධිෂ්ඨාන කරගත්තේ නැත්නම් අපේ නූපන් සිංහල පරම්පරාවට අනාගතේ දවසක අපිට හෙණ ඉල්ලනවා ඉල්ලනවාමයි..... අපි සංවිධානයක් හැටියට පහුගිය කාලේ දිගින් දිගටම ඒක මේ පොඩි තැන්වලට නෙවෙයි මහතැන්වලටත් ගිහිල්ලා කිව්වා. මහඋන්දැටත් ගිහිල්ලා කිව්වා. මහඋන්දැගේ පරපුරේ අයටත් කිව්වා, ප‍්‍රශ්නයක් තියෙනවා ඕයි. (සභාවේ ප‍්‍රීතිඝෝෂා) මේ රට පුරා ප‍්‍රශ්නයක් තියෙනවා. හැබැයි මුන් ඔක්කොම නෑසූ කනින්. මුන් ඔක්කොම ලෑස්තිවෙලා ඉන්නේ අපට රිද්දන්න තමයි. .... නටන්න එන්න එපා. නැටුවොත් දෙවෙනි පියවර දෙවිනුවර, අලූත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩසාප්පුවලට අබසරණයි. (සභාවේ දීර්ඝ ඔල්වරසන්) ඒ නිසා දැන් අපිට තියෙනවා යුතුකමක්. ඒ යුතුකම වෙනුවෙන් පෙළගැහෙන්න අවශ්‍යයි. ... මම නම් අම්මපා අද කියනවා මහින්ද මහත්තයට මොළේ නැද්ද කියලා. මොළයක් තියෙනවා නම් යකෝ අධිකරණ ඇමතිකම දෙනවාද මුස්ලිම් මිනිහෙකුට.’’ 



(ගලගොඩ අත්තේ ඥානසාර හිමි, අලූත්ගමදී, 2014.06.15 දින.)


හතින් සඳහන් කරන ලද්දේ 2014.06.15 වෙනි දින බොදුබල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අලූත්ගමදී කරන ලද කතාවයි. මෙම කතාව අවසානයේ දී සිදු වූයේ දරුණු ඛේදවාචකයකි. මිනිසුන් වර්ගය, ආගම කේන්ද්‍ර කරගෙන ම්ලේච්ඡයින් ලෙස හැසිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අහිංසක මිනිසුන් තමන් ගොඩනගා ගත් වස්තුව එක රැයකින් ගිනිගෙන විනාශ විය. ජීවිත විනාශ විය. එයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අප යළි යළිත් සිතිය යුත්තේ අනාගතයේ එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා ය.

ශිලය බිඳගත්තා වූ, නැතිකර ගත්තා වූ භික්‍ෂුව හෝ සාමනේරයා දුශ්ශීලයා ය. එමෙන්ම අපට උගන්වා ඇති ධර්මය අනුව හිස මුඩුකොට ගත් පමණින් ද කසාවතක් පැළඳ පමණින් ද යමෙකු භික්‍ෂුවක් නොවේ. ඔහු චීවරධාරියෙකු පමණි. චණ්ඩාශෝක, ධර්මාශෝක වූයේ ද ශාන්ත ගමින් වඩින ලද භික්‍ෂුවක් දැකීමෙනි. එසේ නම් සෙසු ජනවර්ගවලට, ආගම්වලට ගරහමින් කටයුතු කරන ආදරය, මෛත‍්‍රිය වෙනුවට වෛරය වපුරන බුදුසරණ වෙනුවට අබසරණ පතන ගිනි නිවීමට නොව ගිනි තැබීමට අනුබල දෙන භික්‍ෂුවක් වේ නම් ඔහු සැබෑ භික්‍ෂුවක් ද යන්න අවබෝධ කර ගැනීමට කාලය උදා වී ඇත. මන්ද, ආගමේ නාමයෙන් සිදුකරන අන්තවාදී ක‍්‍රියාවන් සමස්ත සමාජ සාධාරණත්වය බිඳවැට්ටවීමට හා සාමූහික ජීවිතයට බලපෑම් කරන බැවිනි.



‘‘අපි ජාතිවාදීයි / අපි ආගම්වාදීයි’’

ශ‍්‍රී ලංකාව බහුවාර්ගික රටකි. විවිධ සංස්කෘතීන්, විවිධ ආගම් අදහන ජන කොට්ඨාස මේ තුළ වාසය කරයි. ඒ අතරින් සිංහල බෞද්ධ බහුතරය වේ. නමුත් යම් ජාතියක ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ හුදු වාර්ගික වීම හෝ ආගමික වීම මත නොව ජාතිකවාදී වීම තුළ ය. ශ‍්‍රී ලංකාව ඇතුලූ තුන්වන ලෝකයේ රටවල් බොහෝමයක ජීවත් වන පුද්ගලයින්ට තාර්කික දේශපාලන විඥානයක් නැත. ඔවුන් හැඟීම්, ආවේග මත දේශපාලන තීන්දු ගැනීම හැම විටම දැකගත හැක. ප‍්‍රතිපත්ති දේශපාලනය ඔවුන්ට අප‍්‍රිය වී ඇත. එවැනි පසුබිමක් තුළ මෙවැනි භික්‍ෂූන්ට මිනිසුන් පහසුවෙන් අන්ධ කරගත හැක. මන්ද, ආගම මිනිසුන් මත්කරන බැවිනි. යථාර්ථය වෙනුවට මිථ්‍යාව පෝෂණය කිරීම බොහෝ ආගම්වලින් සිදු වේ. මිනිසුන් ප‍්‍රතිපත්ති පූජාව වෙනුවට ආමිස පූජාව කේන්ද්‍ර කර ගැනීම පසුගිය කාලවල ශ‍්‍රී ලාංකේය බෞද්ධ සමාජය දෙස බලන විට ප‍්‍රබලව දක්නට ඇත. එම නිසා ආගම යනු මිනිසුන් මත් කරන අබිං ය. අබිං කෑ විට මිනිසුන් පළමුව ඈත් වන්නේ යථාර්ථයෙනි.

ජාතික රාජ්‍ය සංකල්පය මුලින්ම බිහි වූයේ යුරෝපයේ ය. ඔවුන් වැඩවසම් ක‍්‍රමයෙන් මිදී එක් රටක්, එක් ජාතියක් යන සංකල්පය මත මෙම රාජ්‍ය ක‍්‍රමය බිහිකර ගති. යටත්විජිතවාදයේ ප‍්‍රතිඵල ලෙස ශ‍්‍රී ලංකාව තුළ ද මෙ ජාතික රාජ්‍ය සංකල්පය ස්ථාපිත විය. ජාතික රාජ්‍යයක් ගොඩනැගීමට නම් ජාතියක් ලෙස සිතිය යුතු ය. ජාතිය යනු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ ජනවර්ගවලට එකතුවයි. එනම් ශ‍්‍රී ලාංකික ජාතියයි. මෙවැනි ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට යාමේ දී ඉස්ලාම් අන්තවාදී අදහස් මෙන්ම බෞද්ධ අන්තවාරී අදහස් දරණ බුද්ධ සේනාව වෙනුවට බොදුබල සේනාව නිර්මාණය කළ නිවන වෙනුවට බලය පතන ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැනි භික්‍ෂූන් ප‍්‍රබල තර්ජනයකි. ඔවුන් තවදුරටත් මෙරට ස්ථාපිත කරන්නේ ගෝත‍්‍රිත සමාජයකි. බුදු බලයේ නාමයෙන් මත් වීම මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට වඩා ඛේදවාචකයන් ගොඩනගන බව දැන්වත් ඥානසාර හිමි වටහා ගත යුතු ය. ඔවුහු නග්නව ශීලාචාර බව බිඳ ගනිමින් අනෙකාට ද එසේ කරන මෙන් ආරාධනා කරයි. ධනය, බලය, ලිංගිකත්වය පසුපස යන වර්තමාන පැවිදි සමාජයේ බොහෝ දෙනා මේ බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරයි.



ජුන්ඩා මිරිකීම.

ජුන්ඩා මිරිකීම යනු ඉතා සරල ක‍්‍රියාවකි. එය ඕනෑම සමාජයක සිදු වේ. මුස්ලිම් කඩයකට ගිය විට එහි සිටින සමලිංගිකයෙක් හෝ විෂම ලිංගිකයෙක් තම පහත් ආශාවන් වෙනුවෙන් කුඩා සිංහල දරුවෙකුගේ ජුන්ඩා මිරිකීම බහුවාර්ගික රටක සාමාන්‍ය දෙයකි. එය පන්සලේ දී ද සිදුවන බව පුවත්පත් තුළින් ඉදිරිපත් කරන එදිනෙදා ප‍්‍රවෘත්ති තුළින් අප දැක ඇත. මෙම තත්ත්වයන් තුළ අදාළ මුසල්මානුවන්ගේ කඩ ගිනි තැබීම අසාධාරණ ය. අයුක්තිසහගත ය. ඒ සඳහා නීතිරීති ඇත. නීතියේ ආධිපත්‍යයට ඉහළින් යෑමට මිනිසුන් පොළඹවන්නේ සාමකාමී සමාජයක් ගොඩනැගීමට සිටින අවිහිංසාව ඉගැන්වීමට සිටින භික්‍ෂූන් වහන්සේලා ම නම් භික්‍ෂුව හෙට මේ රට ගෙන යන්නේ කොතැනට ද යන්න පිළිබඳ යළි යළිත් සිතා බැලිය යුතු ය. එය ගිහියාගේ පමණක් නොව සැබෑ බෞද්ධ භික්‍ෂුවගේ ද වගකීමයි. මෙම ක‍්‍රියාව සිදුකළ පුද්ගලයින් සහ ක‍්‍රියාවට ලක් වූ පුද්ගලයින් (ජුන්ඩා මිරිකීම) X සහ Y ලෙස ගැනීම මිස මුස්ලිම් සිංහල ලෙස ගැනීම කිසිදු විටක සිදු නොකළ යුතු ය. අද වන විට සාමාන්‍ය සමාජයේ සිදුවන අපරාධ, මංකොල්ලකෑම්, රාජ්‍ය දේපල ගසාකෑම යනාදිය පිළිබඳ හඬ නගන සමාජ ව්‍යාපාරයක් බවට බොදුබල සේනාව පත්වන දිනක අප ද එම සේනාවේ ඉදිරිපසින් ගමන් කරන කසකරුවන්ගේ භූමිකාව ඉටු කරන්නෙමු.


‘‘කිපුණට පස්සේ මිනිසුන් අර්ථය ධර්මය දකින්නෑ’’

(ගලගොඩඅත්තේ ඥානසාර හිමි, 2014 ජූනි 22 ඉරිදා, ලංකාදීප)

වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන් වෛරය සංසිඳේ. අපට මේ දෑ ඉගැන්වූයේ දහම් පාසලේදී ය. ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ ය. එය ලොකු හාමුදුරුවන්ට කියා දී ඇත්තේ මා දන්නා විදිහට බුදුහාමුදුරුවෝ ය. ගලගොඩඅත්තේ ඥානසාර හිමි බුද්ධ පුත‍්‍රයෙක් ද යන්න පිළිබඳ මට සැක සිතෙන්නේ මෙවැනි ප‍්‍රකාශ තුළිනි. එ හිමිට අනුව ඇමතිවරු සක්කිලි ඇමතිලා ය. පොලීසිය, නීතිය ක‍්‍රියාවට නංවන්නේ නැති සිංහල පොලීසියකි. හමුදාව සිංහල හමුදාවකි. දෙවිනුවර සිට අලූත්ගම දක්වා කඩසාප්පුවලට අබසරණයි. මෙම ප‍්‍රකාශයෙන් පසු අලූත්ගම බොහෝ මුස්ලිම් කඩ මෙන්ම වෙනත් ප‍්‍රදේශවල ද ඇතැම් මුස්ලිම් කඩ ගිනි ගත්තේ ය. මේ අනුව අබසරණ යනු ගිනි තැබීම ය. මිනිසුන් කිපුණට පසු අර්ථය, ධර්මය දකින්නෑ යන ප‍්‍රකාශය සත්‍යයක් නම් එය මුස්ලිම් ජනයාට ද, දෙමළ ජනයාට ද අදාළ ය. එනිසා ඔවුන් මෙන් ම බෞද්ධයින් ද සංයමයෙන් තබා ගැනීමට ආගම් බිහි වී ඇත. එවැනි ආගම්වල පුත‍්‍රයින් බවට පත්වන්නේ ද බුද්ධ පුත‍්‍රයින් යැයි කියා ගන්නා ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැනි භික්‍ෂූන් ය. ඔවුන්ගේ වගකීම වන්නේ මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කොට මිනිසුන් හික්මීමට ලක් කිරීම මිස සමාජය ගිනි තැබීම නොවේ. මෙම තත්ත්වය තුළ ඛේදවාචකය නම් බොදුබල සේනාවේ පළමු ගොදුර සාමකාමී බුද්ධාගම බවට පත්වීමයි. ඥානසාර හිමි බුදුදහම ඝාතනය කිරීමේ ඝාතක ලැයිස්තුවේ ප‍්‍රකාශිත සංකේතයයි.


‘‘මේ රටේ රැස්වීමක් තියන්න අපි කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ’’

(ගලගොඩඅත්තේ ඥානසාර හිමි, 2014 ජූනි 22 ඉරිදා, ලංකාදීප)

නීතියේ ආධිපත්‍ය යනු නීතියට අනුව පාලනය කිරීමයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය වේ. නමුත් ඥානසාර හිමි පවසන්නේ මේ රටේ රැස්වීමක් තියන්න කිසිවෙකුගෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බවයි. ඥානසාර හිමි යනු මෙරට පුරවැසියෙකි. මෙරට මුස්ලිම්වරුන් සහ දෙමළ අය ද මෙරට පුරවැසියෝ ය. එසේ නම් මෙම අයිතිය ඔවුන්ට ද තිබිය යුතු ය. මන් ද, නීතියේ ආධිපත්‍ය යනු නීතියට අනුව රට පාලනය කිරීම සහ නීතිය ඉදිරියේ සියලූ දෙනා එක සමාන කිරීමයි. මෙවැනි තත්ත්වයක් තුළ සහ මෙවැනි ප‍්‍රකාශ තුළ ඥානසාර හිමි නීතියේ ආධිපත්‍යයට ගරු නොකරන්නෙක් සහ නීතිය හෑල්ලූවට ලක් කරන්නෙකි. එය යහපත් ලොවක් ගොඩනැගීමට යාමේ දී බරපතල ඛේදවාචකයන් මේ භූමිය තුළ ඇතිකරලීමට හේතුකාරක වනු ඇත. මන්ද, මෙවැනි බලයක් උත්පාදනය වීමට නම් ඊට වඩා බලයක් මේ පිටුපස තිබිය යුතු වීමයි.


අන්තවාදය.

ලෝකය තුළ කිසිදු දෙයක් සම්බන්ධයෙන් සෑම විට ම සමාන මතයක් නැත. එය දේශපාලනයට ද, ආගමට ද, සංස්කෘතියට ද පොදු ය. ඒ ඒ කාලවල දී පැන නැගී දේශපාලන මතවාදයන්, ආගම් බොහෝමයක් තත්කාලීන දේශපාලන, ආර්ථික වටපිටාව ට අනුව ගොඩනැගුණි. එහෙයින් මෙය බොහෝ මතවාද වර්තමානයට ආදේශ කිරීම පහසුවෙන් කළ නොහැක. නමුත් මිනිසුන් එසේ කිරීමට උත්සාහ ගනී. මෙම සෑම මතවාදයක ම අන්තයට ගිය පිරිස් අන්තවාදීන් වේ. එය ආගමික කණ්ඩායම් තුළ මෙන් ම දේශපාලන කණ්ඩායම් තුළ ද දැකගත හැක. මෙම සෑම අන්තවාදී කණ්ඩායමක ම ප‍්‍රධාන ලක්‍ෂණය වන්නේ තම මතය නිවැරදි ම යන සංකල්පය තුළ හිඳ කටයුතු කිරීමයි. එමෙන් ම එය අනෙකා විසින් පිළිගත යුතු බවට ඔවුන් තරයේ විශ්වාස කරයි. ගැටුම හට ගන්නේ මෙවැනි විටෙක ය. සෑම කණ්ඩායමක් ම ඉහත අදහස තුළ එල්බ ගෙන සිටීම තුළ සිදුවන්නේ එක් මතවාදයක පැවැත්ම වෙනුවෙන් අනෙක් මතවාදය විනාශ කිරීමට සිදුවීමයි. ශ‍්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ සිංහල - දෙමළ අර්බුදය තුළ ද මෑතකාලීනව හටගත් සිංහල - මුස්ලිම් අර්බුදය තුළ ද පවතින්නේ එම යථාර්ථයයි. අන්තවාදය විනාශ කිරීම සඳහා අන්තවාදය භාවිතා කිරීම තුළින් සිදු වන්නේ තවදුරටත් අන්තවාදය පෝෂණය වීමයි. නමුත් ඕනෑම සමාජයක මධ්‍යස්ථ මතධාරීන් සිටී. මෙම අන්තවාදී කණ්ඩායම් සියල්ලගේ ම අවසන් ප‍්‍රතිඵලය වන්නේ මධ්‍යස්ථ මතධාරීන් පීඩනයට ලක්වීමයි. අළුත්ගම, බේරුවල වැනි ප‍්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන් නැත යැයි අප නොකියමු. මන්ද ඕනෑ ම සමාජයක එවැනි කණ්ඩායම් දැකිය හැකි බැවැනි. නමුත් එම සමාජයේ සිටින බහුතරය මධ්‍යස්ථ වූ කල ඔවුන්ගේ දේපල, ජීවිත බිලි ගැනීම සාධාරණ නැත. මානුෂීය ද නැත. බුදු දහමේ ද එවැන්නක් ප‍්‍රකාශ කර නැත. සිංහලයින් මෙන් ම ඔවුන් ද මහන්සි වී වැඩ කරමින් ජීවිත කාලයට ම උපයාගත් දේපල එක් රැයකින් ගිනිගත් කල්හි ඔවුන් නැවත නැගිටින්නේ කෙසේ ද? ජීවිතය ඉල්ලා තම දරුවන් සමඟ යදින මාපියන්, වෙහෙසෙන මාපියන් දකින දරුවන් හෙට දින අන්තවාදී කල්ලිවලට පහසුවෙන් ග‍්‍රහණය කරගත නොහැකි යැයි කිව හැක්කේ කාට ද? 1983 දී දෙමළාට ප‍්‍රහාර එල්ල කරන විට උතුරේ තරුණ සංවිධාන සංඛ්‍යාත්මකව ශක්තිමත්ව නොතිබුණි. නමුත් 83 අසාධාරණය දුටු දෙමළ තරුණයින් අවසානයේ එම අන්තවාදී කල්ලිවල ගොදුරු බවට පත්විය. එයයි ඉතිහාසයෙන් අප ඉගෙන ගත යුතු පාඩම. එය වඩාත් හොඳින් තේරුම් ගත හැක්කේ දේශපාලනයට ආගම බද්ධ කළ බණ්ඩාරනායක ඝාතනයෙනි.


අනාගතය ගොඩනැගිය යුත්තේ කෙසේ ද? 

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ශ‍්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන බව එහි දෙවන පරිච්ජේදයේ දක්වයි. එසේ නම් ශ‍්‍රී ලංකාව ආගමික රාජ්‍යයකි. නමුත් ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව පෙන්වා දෙන්නේ එරට රජය කිසිදු විටෙක ආගමික ආයතනවලට උපකාර නොකළ යුතු බවයි. ඉන්දියානු ව්‍යවස්ථාව නිර්මාණයේදී ද ආගම හා දේශපාලනය වෙන් කරනු ලැබී ය. නමුත් ශ‍්‍රී ලංකාවේ තවදුරටත් රාජ්‍ය ආගමෙන් වෙන්කර නැත. එම නිසා ශ‍්‍රී ලංකාව බෞද්ධාගමික රාජ්‍යයකි. මෙම තත්ත්වය ශිෂ්ට රටකට නොගැළපේ. එහෙයින් ආගම දේශපාලනයෙන් වෙන් කළ හැකි ලෞකික පාලකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී සොයාගත යුතු ය. ඉන් පසු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු ය. නීතියේ ආධිපත්‍යයට ප‍්‍රබල තර්ජනයක් වන නිල හෝ පුද්ගලික මට්ටමින් නඩු පැවරිය නොහැකි සියලූ බලතල සංකේන්ද්‍රගත කරගත් එම බලය සංවරණයට ලක් නොවූ විධායක ජනාධිපති ධූරය නියත ලෙස ම අහෝසි කළ යුතු ය. කැබිනට් ආණ්ඩුක‍්‍රමයක් නිර්මාණය කර ගත යුතු ය. එවිට සියලූ දේශපාලන පක්‍ෂ, සියලූ දේශපාලන මතවලට ඇහුන්කන් දීමට බලයට පත්වන පාලකයින්ට සිදු වේ. එවැනි පාලනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයකට නිතැතින් ගමන් කරයි. පාලන ප‍්‍රතිපත්ති සියලූ දෙනාගේ අදහස් මත නිර්මාණය වේ. පාලකයා සිංහල වුව ද දෙමළ වුව ද මුස්ලිම් වුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ගෝත‍්‍රිකවාදී නොවනු ඇත. එහෙයින් අප පළමුව නිර්මාණය කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයකි. ඒ සඳහා අත්වැල් බැඳගත යුතුය. සමාජය දැනුම්වත් කළ යුතු ය. ආගම මිනිසුන් මත් කරන අබිං බව පෙන්වා දිය යුතු ය. මේ සියල්ලට ම පෙර ගෝත‍්‍රික ආකල්ප සමාජයට එන්නත් කරන බෞද්ධ වේවා, ඉස්ලාම් වේවා, හින්දු වේවා, කතෝලික වේවා වාර්ගවාදී සංවිධාන නීතියෙන් තහනම් කළ යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් වර්ගවාදී සංවිධාන නිර්මාණය කොට මේ රට විනාශ කිරීමට ඉඩ නොදිය යුතු ය.


දේශපාලනය.


බොදුබල සේනාව ඉතා බලවත් ය. ඔවුන් ඇමති කාර්යාල වටලයි. අගමැති කාර්යාලය ද වටලයි. ඔවුන් මෙතරම් බලවත් වීමට නම් මෙම බලයට යටින් ඊට වඩා බලයක් පැවතිය යුතු ය. එසේ නම් මේ බලය උත්පාදනය වන්නේ කොතැනින් ද? යන්න පිළිබඳ ගැටලූවක් පවතී. තවමත් බොදුබල සේනා සංවිධානය මෙරට සිවිල් ජන සමාජය අවුළුවාලීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ඔවුන් වරදකරුවන් කර නැත. අවම වශයෙන් අළුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ද ලක් කොට නැත. එම නිසා බොදුබල සේනාව විඥානිකව හෝ අවිඥානිකව ආණ්ඩුවේ බලල් හස්තයක් බව සමාජගත වී අවසාන ය. එම නිසා මෙය සමාජ ව්‍යාපාරයක් නොව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි ය. 


එළඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට කිසිදු විටෙක සුළු ජාතික ඡන්ද පදනම ග‍්‍රහණය කරගත නොහැක. එය අළුත්ගම සිදුවීමට පෙර සිට ම ඇති වූවකි. එසේ නම් ජනාධිපතිවරණය ජයග‍්‍රහණයට සිංහල බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගත යුතු ය. එම පදනම තහවුරු කරගැනීමට නම් සිංහලයාට හතුරෙක් නිර්මාණය කර පෙන්විය යුතු ය. මේ අනුව ඉදිරි ජනාධිපතිවරණවල දී මුස්ලිම් අන්තවාදය සිංහල බෞද්ධ අන්තවාදී දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාව වනු ඇත. ක‍්‍රමිකව තම බලය තහවුරු කර ගන්නා මෙවැනි අන්තවාදී සංවිධානවල ගොදුර බවට මෙහි නිර්මාපකයින් ම අනාගතයේ දී නියත වශයෙන් පත්වනු ඇත. එම නිසා ගිනිගත් රටක දේශපාලනය ආතල් ගැනීමට නොවන බව මතක තබා ගත යුතු ය.




හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »

1 comments:

Click here for comments