“අපේකම” ස්වයං විලංගුලා ගැනීම සහ සැබෑ “අපි” සොයා යෑම.

“අපේකම” ස්වයං විලංගුලා ගැනීම සහ සැබෑ “අපි” සොයා යෑම.


මානව පරිණාමයේ ඉතිහාසය වසර මිලියන 6.5 ක් දක්වා දිවේ. එහිදි මානව හිස් කබලේ පරිමාව කියුබික් සෙ.මි.350ක් පමණ විය. නූතන මිනිසාගේ හිස්කබලේ පරිමාව කියුබික් සෙ.මි.1650ක් වේ. වසර මිලියන 6ක් තුළ මානව හිස්කබල කියුබික් සෙ.මි.1300කින් පමණ වර්ධනය වී තිබේ. මානව හිස්කබල පරිමාවෙන් මෙතරම් පුළුල් වූයේ චින්තනයේ වර්ධනය සඳහා අවැසි මොළයට වර්ධනය වීම සඳහාය. මිනිසා සතුන් අතර අපරාජිත සත්ත්වයෙකු වන්නේ එලෙසය.

නමුත් පවතින සමාජයේ සාතිශය බහුතරයක් සිතන්නේ තමන්ගේ මොළයෙන් නොව අනුන්ගේ මොළයෙනි. සමාජයේ අධිපති මතවාදයන් විසින් නිර්මාණය කරන ලද කොටුරූල් චින්තනයකින් ඔවුහු සිතති. පටු අර්ථයකින් “අපේකම” යන කොටුව බිහිවන්නේද එලෙසය. මෙය ලාංකේය තරුණ ප්‍රජාව විසින් අනිවාර්යයෙන්ම හදුනාගත යුතු නිවැරදි කරගත යුත්තකි. මන්ද, තරුණ තරුණියන් බහුතරයක් කොටුරූල් චින්තනයක සිර වී “අපේකම ස්වයං විලංගුලා ගැනීමක්” සිදුකොට ගෙන ඇත. මෙහිදි අධිපති මතවාදයෙන් සුපෝෂීත “අපි” යනු අනියම් අර්ථයෙන් මමත්වය පුළුල් වීමකි.

ඒ අනුව බෞද්ධයාට මුස්ලිම් මිනිසා අපේ නොවේ. මුස්ලිම් මිනිසාට බෞද්ධයා අපේ නොවේ. ක්‍රිස්තියානි සහ හින්දු ලබ්දිකයන්ට ද එය එසේම දැනේ. අපේ නොවන සියලූම අනෙක් පිරිස් තම තරඟකරුවන්, සතුරන් හෝ විරුද්ධවාදීන් ලෙස ස්ථානගත කිරීමද සිදු වේ. සමාජ ආර්ථික ජීවිතයේ මුහුණපාන අර්බුදවලදීද විසදුම් සොයන්නේ අනෙකා තුළය. සිංහලයගේ ප්‍රශ්නවලට හේතුව දෙමළ සහ මුස්ලිම් මිනිසාය. දෙමළ මිනිසාගේ ප්‍රශ්නවලට හේතුව ලෙස දකින්නේ සිංහල සහ මුස්ලිම් මිනිසාය. මුස්ලිම් මිනිසා දකින්නේද එලෙසය. පවතින සමාජ හා ආර්ථික ක්‍රමය එයට හේතුවක් සේ නොදකිති. ඒ අනුව අපේකම යන පටු අවකාශය තුළ සිරගතව බෙදී වෙන් වී ඇනකොටා ගැනීම සිදුවේ.

මෙවන් තත්ත්වයක් රජ මඟුලක් වන්නේ පාලකයන්ට ය. සැබෑ ජනතාවාදි ප්‍රශ්න වෙනතකට යොමුකොට ජනතාව වෙත නැති සතුරකු මවා පෑම මින් සිදුවේ. එමෙන්ම ජනතාව සූරාකනු ලබන බහුජාතික සමාගම්වලට සහ ජනතාවගේ බොටුව මිරිකා කෙසේ හෝ මඩිය තරකර ගැනීමේ සා පිපාසාවෙන් පෙළෙන දේශිය කලු කඩ වෙළෙන්දන්ට ද මෙය මහත් වූ ඉල්ලමක් වේ.

මේ මොහොතේ සැබෑ අපේකමක් නිර්මාණය කළ යුතුව ඇත. රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සේවය රැකගැනීම උදෙසා කොටුරූල් අධිපතිවාදි අපේකමක් නොව සකල විවිධත්වයන් එකතු වූ අපේකමක් ගොඩනැගිය යුතුව ඇත. මානව හිමිකම් උල්ලංඝනය වීම්, රටේ සදාචාරමය කඩාවැටීම්, ලංකාව කුඩු කැසිනෝ පාරාදීසයක් බවට පත් කිරීම්, බෙදුම්වාදය වැපිරවීම්, අන්තගාමීත්වයන් නඩත්තු කිරීම්වලට එරෙහිව එලෙස ගොඩ නැගෙන සැබෑ අපේකම සටන් කළ යුතුව ඇත.

ඒ අනුව අපි “සැබෑ අපේකම” සොයායන්නෙමු……. අපි යනු පටු සීමා ඉක්මවන සියල්ලන්ගේ සාමුහිකත්වයයි.එය එක්ව අරගල කරන, ජයග්‍රහණයන් එක්ව භුක්ති විඳින අපේකමයි.ඒ අනුව “අපි” යනු සැබැවින්ම මිනිස් වර්ගයාය.ඒ අපේකම තුළ මිනිස් වර්ගයාට වින කටින සුළුතරය පරාජයට පත්කළ පසු පුළුල් අරුතින් “අපි” යන ජය ලබයි. එලෙස මානව හිතවාදි චින්තනයකින් හෙබි මිනිස්සු මමත්වය හෙවත් ආත්මාර්ථය රෝපණය කරන පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කොට නව සමාජ ක්‍රමයක් තුළ පුළුල්තම අපේකම ඉඩහැරීමට කටයුතු කරති. YOUTH Arena වේ අපේ මේ පළමු වෙඩිමුරය අන්තවාදි, කොටුරූල්, ස්වයං විලංගුලා ගත් පටු අපේකමට එරෙහිව……………


දිශාන් මධුසංක.


Previous
Next Post »