කඩේ යන්නේ කාටද; දේශපාලනයට නැත්තම් හීන වලටද.??? දීපන්කො උත්තර.

කඩේ යන්නේ කාටද; දේශපාලනයට නැත්තම් හීන වලටද.???  දීපන්කො උත්තර.



පාන්දරම කොළඹට පය ගැහුවේ සටන් කරන තරුණයන් ටිකක් හොයාගෙන.. මේ තරුණයෝ මොකක්දෝ හේතුවක් හින්දා පාරේ අට්ටාල ගහගෙන. යන එන අයනම් කියන්නේ පිනට දෙන දේ අරගෙන ඉන්න බැරි හින්දා මුන්ගේ ගෙවල් වල අම්මලා අප්පලා නැති හින්දා මේ කොල්ලෝ කෙල්ලෝ ටික පාරේ ලැගලා කියලා... කොහොම උනත් මුන් ඔක්කොම තරුණයෝ. මේ කතාව පටන් ගන්න කොටත් කොළඹ පාරවල් කිහිපයක පදිකවේදිකා මේ තරුණයෝ උන්ගේ නවාතැන් පොළවල් කරගෙන. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉදිරියේ; කොළඹ කොටුවේ; කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මෙන්ම ඇස් වාට්ටුවෙත් මේ කොල්ලෝ කෙල්ලෝ අට්ටාල අටවාගෙන…

හරි! උන්ට හේතු ඇතුවා හෝ නැතුවා උන් වෙනස් කියලා හිතුනා. මේ තරුණකමට දුවන්නන් වාලේ දුවන සිස්ටම් එක කුඩු කරන්න ආසාවක් මහා උණක් තියෙනවා කියලා එරීනාවේ අපිට හිතුන හින්දා කොටුවේ දුම්රිය පොළ ඉදිරියේ වාඩිලාගෙන මේ කොල්ලෝ කෙල්ලෝ එක්ක කතාවක් දාන්න අපි අට්ටාලයට ගොඩ වුනා..

අපේ අරමුණ වුනේ මේ කොල්ලන්ගේ කෙල්ලෙන්ගේ වාඩිලැමට හේතු හොයන්න නෙමේ. මුන්ට මේ සමාජයේ පය ගහලා ඉන්න අනික් කොල්ලෝ කෙල්ලෝ වගේ ඉන්න බැරි ඇයි; මුන් මේ සිස්ටෙම් එක වෙනස් කරන්න මේ තරමට දත කන්නේ ඇයි කියලා; මුන් තාරුණ්‍ය ගැන කියන්නේ මොනවද කියලා අහලා, කතා කරලා යන්න. මම දන්නවා මේ මගුල කියවන හැමෝටම තියෙන ප්‍රශ්නේ මුන් කවුද කියන එක.. වෙන කවුරුත් නෙමේ මුන් දින 165ක් මුළුල්ලේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අට්ටාලයක් උන්ගේ නිවහන කරගත් සමසෞඛ්‍ය උපාධිය සුරක්ෂිත කර ගන්න වෙර දරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ.

අට්ටාලයට ගොඩවෙලා මුන් එක්ක ඉන්න ගමන් මම හිනියටම ඇහුවේ කවුද මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ කියලා.? උන් ඒකට දුන්න උත්තරය මගේ කන පැලෙන්න වැදුනා. උන් කියනවා තරුණකම ඉගෙන ගන්න; ජිවිතයේ ගැඹුර දකින්න; යකෝ ජිවත් වෙනවා කියලා දකින දැනෙන ; ඒ විතරක් නෙමේ එකමුතුකම දන්න යන අතට මැස්ස බදින්න නෙමේ රටට ලෝකයට ගැලපෙන සිස්ටම් එක දන්න එවුන් ඒ වෙනුවෙන් වලි කන උන් තමයි මේ ලගින්නේ කියන එක. උන්ගේ වචනයෙන්ම ලියනවා නම් මේ සමාජය තුල තියෙන ප්‍රශ්න ගැටළු නිවැරදිව දකින තරුණ ප්‍රජාවක්. මේ සමාජය තුල පාලකයන් හැසිරීම හා නිර්මාණය වන ගැටළු; ඒ විතරක් නෙමේ එරීනාවේ අපිත් කියපු උඩ ඉන්න එකා තෝන් ලණුව දාලා නටවන විදියට නටපන් කියලා හීන ලෝකවල අතරම කරපු ඔළුගෙඩි වලට නොපෙනෙන නොදැනෙන දේ දැනෙන මේ සිස්ටම් එක කුඩු කරන්න පුළුවන් කොඳු ටිකක්. මුන් මට කියනවා සල්ලි වලින් පුරවපු පර්ස් වල කොහෙද මනුස්සකමට ඉඩ තියෙන්නේ කියලා? ඇත්ත! කතාව ඇත්ත. මැරිච්ච මිනිහගේ ශරීර කුඩුව රෝහලෙන් ඉවත් කර ගන්නකන් පණ තියෙන මිනිස්සුන්ව ඇපයට බඳින්න වෙන; ලෙඩා මලත් බඩ සුද්ද වෙන්න ලක්ෂ ගණන් බිල් තියන මේ සිස්ටම් එක; තමන් එක්ක ඉගෙන ගන්න එකාව මරාගෙන හරි ගොඩ යන්න බලන සිස්ටම් එක; තමන්ව ජාතක කරපු අම්මා අප්පව මරණ සිස්ටම් එක ඇතුලේ මනුස්සකමට ඉඩ නැ. උන් මට දුන්නා ලස්සන උදාහරණයක්; කේටරින් කරලා අවමගුලට තුන් මාසේ දානයට කෑම ටික දෙන මේ සිස්ටම් එක අපේ ලෝකයේදී අපි කුඩු කළා කියලා. දැන් අහුලපන් කුඩු ටික. අපි ලග තියෙනවා මරු බැදීමක්; මෙතන ඉන්නේ සල්ලි වලට විකිණෙන්නේ නැති ජිවිත ටිකක්. උදේ ඉදන් හවස් වෙනකන් තරු පහෙන් කාලා රෝද හතරේ රේස් පැදලා රෑට රට බීම වීදුරුවකට වෙරි වෙන ජීවිත වගේ කෙල්ලන්ගේ ඇඟ උඩ හැති ඇරලා වෙරි බැස්ස ගන්න ලෝකයක් අපිට නෑ. හැබැයි ඉස්සර ගමක තිබ්බ සාමුහිකකම; එකතුව අපිට තියෙනවා. අනෙක් අතට වාසනාවකට වගේ පොලවේ පය ගහන හයිය අපිට තියෙනවා. ලස්සනම කතාව අපිට නෑ ජාතියක්; කුලයක්; සල්ලි වල ලොකු කමක්; ආගමක්; ඒ නිසා අපිට මේ ප්‍රශ්න පේනවා. දෙමලෙක්ට වෙඩි තියන්නවත් මුස්ලිමෙක්ට ගල් ගහන්නවත් අපිට ඕනේ නැ. උන්ටත් එහෙමයි දෙමල උනත් මුස්ලිම් උනත් උන් අපිත් එක්ක අවුරුදු කනවා. ඉතින් අපි තමයි මේ සිස්ටම් බිඳින්නේ... මොකද අපි දුවන්නේ වහල් බැම්මෙන් හිර වෙලා නොවෙන හින්දා.

මම මේ කොල්ලන්ගෙන් ඇහුවා උඹලට හීන නැද්ද; උඹලට කෙල්ලක් සල්ලි යාන වාහන ටිකක් ලොකු ගෙයක් එක්ක ටිකක් පේන්න ජිවත් වෙන්න වුවමනාවක් නැද්ද කියලා. මුන් දුන්නා මට නක්කලයට හිනාවක්. මුන් මගෙන් අහනවා සිස්ටෙම් එකේ ඉන්න ඔය රොබෝ කෙනෙක්ට මොන මගුල තිබ්බත් උන්ට ජීවිතයක් තියෙනවා කියලා. මරු. ඔය අතරින්පතර අපේ එකෙක් අහනවා නිකන් කැටයම් කපන්නේ ලෝකයට පේන්න; නිකක් අන්දන්න පුළුවන් ගේමක් ලෙසට නේද කියලා. ඔව් වුන්ට ඕන සෙල්ලම් කරන්න එත් අපිට ඕන මේ සෙල්ලම නවත්තන්න. මේ අහන්න පාරේ හිගාකන අම්මගෙන් පටන් ගත්තහම කුඹුරු වල දත කන ගොයියාගේ ඉදන් මුන් ගේම් ගහනවා. අපි ඉගෙන ගන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉතින් මේ මිනිස්සු වෙනුවෙන් මේ මගුල් ගේම් එක දිනන්න අයිතියක් මේ ලැගලා ඉන්න තරුණකමට තියෙනවා. කොහොම වුනත් අපි පාරේ ලගිනවා දකින සමහරක් එවුන්ට ආතල් ඇති. සිස්ටම් එක රන් කරන එවුන්ට අපිව තලු මරන්න පුළුවන් සිරා කේස් එකක්. එත් අපි මේ ගේම් එක ගහනවා ඕන එකෙට්ට ආයෙත් වහල්කම් නොකරන්න. අල්ලපු ගෙදර කෙල්ල දුෂණය වුනාම ඇස් වහන් ඉන්න, අපේ කෙල්ල හොඳින්නේ කියලා ෆන් ගන්න අපි ලෑස්ති නැ. මොකද අපි දන්නවා ඊළගට වෙන්නේ මොකක්ද කියලා. අද අපි පාරේ ඉන්න කොට, අපිට බුරන හැමෝම වෙනුවෙන් තමයි අපි පාරේ ඉන්නේ. අපිට උන් ගැන කේන්තියක් නෑ. මොකද අපි දන්නවා ඔය කවුරු උනත් කෙලවෙන කොට අපේ පාරට එනවා කියලා.

ඔය උන්ගේ කතාන්දර. උන්ගේ මොරාල් එක. ඔය හැති වැටෙනකන් කෑ ගහන කොල්ලන්ව කෙල්ලන්ව හිර කරන්නත් එක්ක අපි පොඩි පාරක් ගැහුවා රිදෙනවද කියලා දැන ගන්න; මහා මග ලගින තාරුණ්‍ය කඩේ යනවා කියලා දේශපාලනය; හීන වලට. ආයෙමත් මුන් දිනුම්. මහා බැල්මක් එක්ක. “ නෑ! දේශපාලනයට හෝ දේශපාලන චරිත වලට අපි කඩේ යන්නේ නෑ. වෘත්තිය දේශපාලඥයන්ට රට ගැන සමාජය ගැන කැක්කුමක් නැති කොට අපි කොහොමත් උන්ට කඩේ යන්නේ නෑ. හීන වලට කඩේ ගිහින් වල්මත් වෙන්නත් අපි හීන ලෝක වල රජ වෙන්න පිඹුරුපත් හදන බිබික්කන් තාරුණ්‍ය නෙමේ, අපි යනවා කඩේ. හැබැයි ඒ දුක් විදින මනුස්සකම වෙනුවෙන්. සැබෑම නිදහස වෙනුවෙන්. අරුත්බර තාරුණ්‍ය වෙනුවෙන්. සිස්ටම් නැති සමාජයක් වෙනුවෙන්.” ඔය උන් බැඳපු උත්තර.

ඕකයි උන්ගේ කතාව, උන් දිනාවි තරුණකම. කුඩු කරාවී සිස්ටම් එක. ඒ විශ්වාසය නිසයි "youth එරීනාවේ" අපි උන් වෙනුවෙන් අකුරු ගැලපුවේ. උන්ගේ අට්ටාලයෙන් නැගිටලා එද්දී, එක දෙයක් අපිත් කිව්වා.
සටන් කරන්න ඔළු පණ තියෙන කශේරුකා; වෙන්න බැරි දෙයක් වෙනකන් සටන් කරන කොට... පිස්සෝ නැත්තම් නරුමයෝ තව නොයෙක් ආකාරයේ නම් අමුණාවී, නැත්තම් උන්ව එල්ලාවී; හැබැයි උන් හින්දා සිස්ටම් කුඩු වෙනවාමයි කියලා.

අපි උන්ට සුබ පැතුවේ උන් අනුන්ගේ බෙරයට නටන්නේ නැතුව නැටවෙන්නේ නැතුව උන්ගේම වන්නමක් හොයන නිසා... 


ජය ශ්‍රී!


හර්ෂ සේනානායක.




Previous
Next Post »

1 comments:

Click here for comments