තමිල් සෙල්වන්ගෙන් පස්සෙ ලෝකෙ සුන්දරම සිනහව අයිති සොරායාට... (පළමු හෝඩිය)

තමිල් සෙල්වන්ගෙන් පස්සෙ ලෝකෙ සුන්දරම සිනහව අයිති සොරායාට...





පළමු හෝඩිය.


"එදා හොඳටම වැස්ස දවසක්. ගොරව ගොරව වහිනවා. රිදෙන,දැනෙන හෙණයක් පපුව මැද්දට වදිනකං තමයි ඉනෝකා බලාගෙන හිටියෙ.. මුලින් නළලට - ඊට පස්සෙ දෙතොලට - බෙල්ල දෙපැත්තෙ රතු පාට පාරවල් හිටිනකං - හංස පූට්ටු තද වෙලා හිර වෙලා ඇදුං කනකං ම - ටික ටික පහළට උඩට - උඩට පහළට මැදට - ජීවිතේ වගේ කැරකෙන්න මිරිකෙන්න තදවෙන්න කුඩුපට්ටං වෙන්න - ඇඟිල්ලකින් මදි වෙච්ච සතුටට ලුණු ඇඹුල් දාන්න - ආවෙ සඳුන්.

'ම්.. අ..අක්කෙ..? '
ඉනෝකා හිටියෙ තද හීතලේ ඇඟේ නූල් පොටක් නැතුව. වැස්ස අස්සෙ සඳුන්ගෙ හැම සිතුවිල්ලම කෙලින් වුණා. මිනිහා තවත් ඉවසුවෙ නැහැ.........." 


"නැඟිටපල්ලා සේරොම........"

ගිනි ගහන මද්දහනෙ මහ හයියෙන් වැටුණ වරුසාව මොහොතකින් නැවතුණා. ඉනෝකා අතුරුදන්. සඳුන් වෙනුවට නැදුන් බුරුත තරමට සප්‍රාණික වුණු කලිසම් ඇතුළත - මහාමේරු පර්වත පොළොවට සමතලා වුණා. ඇස් ඉස්සරහට ඇවිල්ලා ඉන්නෙ 'දෑවා'... දෑවා කියන්නෙ 'විජේනායක සර්'.

"ආ... උඹලා සේරොම ෂෝක්... හහ්.. මඳහසුත් ඉන්නෙ.. උපාසක බක බක - විවාද දෙක දෙක.. ගන්නවා ඔය පඩංගුව"

උරුමෙටද කරුමෙටද මොකටද මන්දා ඒ මොහොතෙ "සෙනුරි" පත්තරේ තිබුණෙ මගෙ අතේ. මේ වගේ මොහොතක ගහන්න බැරි කථික තුරුම්පු මොකටද ?

"සර්..මේ ළ..ළඟදි විවාදයක් තියෙනවා 'තරුණ අසහනයයි ලිංගිකත්වයයි' ගැන... ඒ.. ඒකයි ඕක..."

"මොකක්..තරුණ අසහනෙ.. හහ්.. තාම දහයෙ පන්තියට අඩිය තිබ්බා විතරයි.. සෙනුරි... බොට කලින් පුතේ මං ඔව්වා හුරතල් කොලේ.. ඔය හැකර පඩත්තරකං දෑවොත් ඉතින් දන්නවනෙ"

මොහොතක වින්දනය ඒ විදියට දෙල් වෙද්දි 'පොට්ටයා - පුෂ්පයා - චීත්තයා' හිටියෙ ගොළු වෙලා... උච්ඡාවචනය වෙච්චි හැඟුම් සෙත්තපෝච්චි වෙච්චි!
"ඈ.. ඕයි පුෂ්පකුමාර.. තමුසෙලට කොහෙන්ද මේ අට මඟුල්?"

පුෂ්පෙ දන්න නොදන්න - දැන් ඇහැරුණ ගානට ගොළු හදවත අවදි කළා.

"මොන මඟුලද සර් ? "

වටපිටාවෙ 'හැක හැක හිනා මාදිලි' ගුරු ඔළුව කේන්තියෙන් පිස්සු වැට්ටුවා.

"උඹ දන්නෑ.... මඟුල.. උඹේ.. අම්.. ගනිව් සේරොම රතු පොත්"

"එක්ස්කියුස් මී.. විජේ.."

ආලවකයට අහුවෙලා 'දැන් ගිලිනවා දැන් ගිලිනවා' කිය කිය ඉඳලා බුරියට ඇඟිල්ලෙන් ඇනලා උස්සන්න හදද්දි බුද්ධා ප්‍රාදුර්භූත වුණා වගේ.. 'ආබ්දීන් සර්.' තැන තැන ලැග්ග - ලට්ට ලොට්ටත් එක්ක පැද්ද - කට්ට කෛරාටික මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂයේ ශුක්‍රානුගත හිමිකාරයා... මනුස්සයා ලුම්බිණියට පත්වීම අරන් ආවෙ අපි නවය වසරෙදි.

"ඔව් මචං.. මොකෝ හදිසියෙ"
'සෙනුරි' අතින් අත් නොහැර හුරතල් කරන ස්වරූපයෙන්ම විජේ, ආබ් හමුවට......

අතේ පත්තු වුණු මට්ටු වීම් එක්ක - බිරාන්ත වුණු සැට් එකත්තෙක්ක - මං හිතුවෙ මාට්ටු නොවෙන ඇට්ටෙකක් පටන් ගන්නෙ කොතැනින්ද කියලා..

"ආව් ෂප්පා.. පොට්ටයො, ඇස් ඇරලා අරහෙ බලහං..."

චීත්තයගෙ ආමන්ත්‍රණයට පොට්ටයට කලින් හෙල්ලුණේ මං. ඉවසීම ඉවසන්නෙ නැත්තෙ ම ඇස්! කුසිනාරාව වෙනුවට හැව්ලොක් ටවුමක් තියෙන - නේරන්ජනාව වෙනුවට කුණු ඇළක් තියෙන - එදා වගේම එක පන්තියකට විතරක් උරුම රම්‍ය සුරම්‍ය වෙනුවට හැව්ලොක් සිටියක් ම තියෙන - අංග මගධ කාසි කෝසල වජ්ජි මල්ල වෙනුවට රාසික්වත්ත, අළුවිලවත්ත, ස්වර්ණ පාර, කුරේ පාක් වටේ තියෙන - බුදුනුත් ඉන්න - කුඩ්ඩොත් ඉන්න - වැද්දොත් ඉන්න - වැඩ්ඩොත් ඉන්න - මහා භාරතය වෙනුවට ළතෙත් රඟහලක්ම තියෙන - "ලුම්බිණියට" කොළ පාට හඳක් පායලා.... මහ දවල් මක්කම හරහා ඉස්ලාම් හදක් ඇවිල්ලා!

මෙච්චර බරපතල හදිසියට හෙවිල්ලක් බැලිල්ලක් ඕනිද තවත් ?

"වාහ්.. පිස්සුනෙහ්" දන්ත ධාතුවට බ්‍රේක් නැහැ.

"මඳයා, කොහොමද ගෙඩිය ? ඉනෝකා කැළේ"

"කැත කතා කියන්නෙපා යකෝ... ආබ්දීන් සර්ගේ දුව වෙන්නැති"

මං අඩමානෙන් ගරු කටයුතු වචන ගැළපුවෙ කුප්ප කමකට හේත්තු කරන්න බැරි මොකක්දෝ හේතුවක් මෙතැන තියෙනව කියලා දැනිච්ච හින්දා....

"මට නං බං ඉදිරිපසින් කැටයම කපන්න අමාරුයි. අපි ඉතින් පස්සෙන් ම බිහිවෙන්න කැමති උගත්තුනේ"
ඒ වතාවෙ පුෂ්පෙ පැනලා කොලුකමට සුපුරුදු තර්කෙ කීද්දුවා. මගේ ඉවසුම් නහර පිපිරුණා.

"පුෂ්පයා, මං ආයි කියන් නෑ.."

"හෑ යකෝ..මුට මොකද මේ වෙලා තියෙන්නෙ.. සූස්තියක් තිතට ම ඇද්දා වගේනෙ.."

පැණි රංචුවෙ 'කවිකාර පැණියා' හැටියට බෞතිස්ම වෙලා උන්නු මගේ වෙනස වලිකාර-කරකාර-රසකාරක පැණියො තිදෙනට ප්‍රශ්නයක්. දහයට එද්දිත් සමාජ විද්‍යාගාරෙ නංගි පාරවල් දෙක තුනක පරීක්ෂණ අත්හදා බැලුවට මෙහෙම නිරීක්ෂණයක් මං කලින් දැකලා නැහැ.. අම්මපල්ලා... අනාගතේ ඒ ජීවිතේටම මේ ඇස් නිගමනයක් දෙයි කියලා කවුද හිතුවෙ.........................?

" මඳහස්..."
හදවතක කඩිමුඩිය - ඉවසීම - සැනසීම දෝලනය වුණේ ආබ්දීන් සර්ගෙ කටහඬින්. මට කලින් මධ්‍ය ලක්ෂෙට දිව්වෙ කකුල් දෙක.

"ඇයි සර්..."

"පුතා, මොකද මේ... ඔයා සීරියස් කැරැක්ටර් එකක් තියෙන කොල්ලෙක්නේ... ඇත්තද සර් කියන කතාව ? චී.. මොනවද මේ බ්ලූ පත්තර ? "

පොළොව පලාගෙන 'අපාය' මාව හොයාගෙන ආව වගේ. වටිනම සද්දෙ නිස්සද්දෙ කියන්නා වගේ ඒ මොහොතෙ මං මුනිවත රැක්කා. ඒත් දෑස් අවශ්‍යම ක්‍රියාන්විතය අත්හැරියෙ නැහැ. කිච වුණත් - ලතැවුණත් - මැඩවුණත් - නීල උත්පල ඇස් ඇත්තිව නේත්‍රා සංස්පර්ෂයෙන් මං හිතේ හැටියට සිපගත්තා. අහා ... මෙහෙමත් හිනාවක්. කතාවක් නැති එහෙමත් ම ආඩම්බරයක්!

පස්සෙ කාලෙකදිත් මං නිතර නිතර කියපු කතාවක් තියෙනවා.. ඒක අදටත් වලංගුද කියලා ඔබ ඇහුවොත්/පිළිතුර කැමැත්තෙන්ම කියන්නම්.. ඔව්!

"තමිල් සෙල්වන්ගෙන් පස්සෙ ලෝකෙ සුන්දරම සිනහව අයිති සොරායාට..."
-------------------------------*---------------------------*---------------------------------------

ඒ හරියටම මීට අවුරුදු 13කට කලින්..... අතීත කාමයෙ 'ස්වර්ණමය අවධිය....' මතකය කැමැත්තෙන් ම අත්තටු පිරිමදිනවා අවුරුදු 7කට එහාට පියාඹන්න. අතරමඟදි තටු කපන්න පුළුවන් - කැපෙන්න පුළුවන් - කැඩෙන්න පුළුවන්..... එහෙම වුණොත් මං ඇවිදගෙන යනවා.......................

-------------------------------*---------------------------*---------------------------------------

"ෂ්.. ෂ්.. ඒ නංගි... මෙහෙ එනවා. හිනාව කපනවද? මං කපලා දාන්නද ?"

මේ වගේ ඇස් දහයක් තිබ්බා නං "පුරවර සරසවිය සුරපුරයක්." අරුමැසිවාදී කුරුල්ලා නිදිකරවලා මං ගිරා පෝතකයව ඇහැරුවා.

"මොකක්ද සහෝදරී නම ?"

" ස්..ස්..සො..රා..යා..අයි..යෙ.."

"මොකා... සොරායා අයියා... හොරෙක් - මංකොල්ලාකාරයෙක් - තක්කඩියෙක් ද ? ම්ම්ම්... මිස්ටර් හරන්තික කසින් කෙනෙක් ද ?"

"එ...එ.. එහෙම කෙනෙක්ව ද..දන්..නෙ නෑ"

"එහෙමද ? සම්පූර්ණ නම කියනවා.. උප්පැන්නෙ තියෙන විදියට.."

"ආබ්දීන් සොරායා මුස්කාන්"

"ම්.. වෙනසක්... මාව දන්නවද ?"

"න්..නෑ..අයියෙ.."

"යවනව කටුගෙට... ගම කොහෙද ?"

"නුවර ලේවැල්ලෙ අයියෙ.."

"එහෙ ඉඳන්ම ද එන්නෙ ? හහ් හහ් හා.."

"නැහැ.. අපි අවුරුදු ගාණකට කලින් කොළඹ ආව. දැන් ඉන්නෙ පිළියන්දල.."

"ආහ්.. එහෙමද ? හැම පැත්තෙම කිරිල්ලියෝ අන්තිමට වහන්නෙ මේ ප්‍රාන්තේ කොඩි ගහේ ම තමයි...."

"අ..අ.. අයියෙ මං යන්නද ? බ'සරි ෆෝම් එක බාරදෙන්න ඕනි..."

මේ වෙද්දිත් මං හිතුමනාපෙට තනියම පොතක් ලියන්න පටන් අරන්!

"මොකද හදිස්සි ? ම්ම්.. කොලේජ් හවුස් එක අතුරුදහන් වෙන් නෑ.... තව ප්‍රශ්නයක්.. නංගි ගොඩ ගිහින්ද ඉන්නේ ? "

"ඒ..ඒ.. ඒ කියන්නෙ අයියෙ ?"

"ම්ම්.. හඃ..දන් නෑ නේ..කමක් නෑ.. ඒක පසුවට.. නිෂ්මි සහෝදරයව දන්නවද ? "

"මො..මො..මොහොමඩ් නිෂ්මි ද අයියෙ ?"

දාහය පිරුණු මගේ පපුවට හීතල ඇල්ලක් කඩාපාත් වුණා වගේ.. පිට්බුල්ලා, ජේ බී ලා, සුපර්ස්ටාර්ස්ලා, බේබිලා, එක එක ගෝතයො ජීවත් වෙන - මැරුණ සමාජෙක.. මේ කෙල්ල.. මැරුවත් ජීවත් වෙන - නිෂ්මි ගැන දන්නව වගේ.

"ඔව් නංගි .. එයා තමයි.. කොහොමද දන්නෙ.. කියවලා තියෙනවද ? නැත්නම් කනාවටද ?" මං බොරුවට කතාව දිග්ගැස්සුවා........

"අ..අ.. අපේ වාප්පි නි..නිෂ්මි ගැන කියලා තියෙනවා අයියෙ.. පේරාදෙණියේ නේද ?"

කවුද මේ 'වාප්පි'... අපි එහෙම කෙනෙක් ගැන මීට කලින් අහලා නැහැනෙ...

"වාප්පි කිව්වෙ?"

"ආහ්.. තාත්තා අයියෙ"

මලා! නෝන්ඩි වීමට ආසන්න හැඟීමෙන් මිදෙන්න දැන් කොහොමටවත්, කීයටවත් බැහැ.

"තාත්තා මොකද කරන්නෙ නංගි?"

කෙල්ල සයිලන්ට් ධ්‍යානයට ඇලවුණා... මට හිතුණා හවුලක් නැති අවුලක් කියලා.... ඇයි එකපාරටම එහෙම වුණේ?

"ඇයි නංගි? ඇයි සද්ද නැත්තෙ?"

"ව්ව්..වාප්පි ගිය අවුරුද්දෙ හාර්ට් ඇටෑක් එකකින් නැතිවුණා.. එතකොටත් සිරිමාවො එකේ ටීච් කළා. ඊට කලින් ලුම්බිණියේ..."

ඒ ඇස් සට සට ගාන කඳුලෙ මුහුදුබත් වෙන්න කලින් සියුම් ඇහි පිහාටු කරේ තියාගෙන පිහිනන්නයි මට ඕනි වුණේ... ඒත් එක්කම ලුම්බිණි කතාවෙන් මාව ලොප් වුණා.. පිච්චුණා.. ගැස්සුණා...

"ඕහ්.. අ යෑම් සොරි නංගි.. වෙරි සොරි... හරි.. එහෙනං ඔයා යන්න.. අපි ආයෙත් කතා කරමුකො.."

"හා.. හරි අයියෙ.."

ඒත් කුතුහලෙන් මට ගැලවීමක් නැහැ.

"නංගි විනාඩියක්.. මාත් ඉගෙනගත්තෙ ලුම්බිණියේ.. මොකක්ද තාත්තගෙ නම?"

"වසීම් ආබ්දීන්"



- සතියක් ඉවසන්න - 




කසුන් මහේන්ද්‍ර හීනටිගල.


Previous
Next Post »

2 comments

Click here for comments