අපි මැරි මැරි හරි ජීවත් වෙනවා... උන් ජීවත් වෙන්නෙ ම මැරිලා... (දෙවන හෝඩිය)

අපි මැරි මැරි හරි ජීවත් වෙනවා... උන් ජීවත් වෙන්නෙ ම මැරිලා...





දෙවන හෝඩිය.


ජීවිතේ සිනමාපටයක් වුණා නම් රූපරාමු එක තැන නවතින්නෙ, ප්‍රේක්ෂක ඇස් ගල්වෙන්නෙ, හදවත් ලබ් ඩබ් වලින් එහාට ගිහින් 'ඩග් ඩග්' ගාන්නෙ මේ වගේ තැනකදි. සුරාවට බර ඇස් අග්ගිස්සෙන් නුරාගත වෙන්න හදද්දි ම වටයක් දෙකක් කරකවලා අත්හැරියොත් කොහොමට හිටියිද ? අතීත සිද්ධි මතකාවාටය ස්වයං වාරණ පලාගෙන - උගුරු කඩාගෙන නිදහස ඉල්ලනවා. මං හොඳාකාරව ම දන්න අතීතෙ තදින් ගල් කරලා මොහොතක් මුකුත් නොදන්නවා වගේ ඉන්නවා... ඕහ්... අනිමිස ලෝචනය තාමත් සමාධිගතව!


"හ්ම්ම්.. ආබ්දීන් සර් ව මං දන්නවා. ඒත් මෙහෙම දෙයක් ඇත්තට ම දන්නෙ නැහැ. අඩු තරමෙ කොහෙන්වත්, කාගෙන්වත් ආරංචියක්වත් ලැබුණෙ නැහැනේ.."

"හුඟාක් අයට ආරංචිය ගිහින් තිබුණෙ පස්සෙ අයි..යේ.. අනික වාප්පිගෙ බොඩි එක තියාගත්තෙත් දවසයිනෙ.. ඒ.. ඒකත් නුවර ගෙදර.."

"ම්..හ්.. හරි ම කනගාටුයි නංගි. මොනව කරන්නද? අපි හොඳට නරකට හැමදේටම මුහුණදෙන්නෙපැයි..."

"ඕ..ඕ..ඔව් අයියෙ.. අදටත් වාප්පි මතක් වෙන හැමතැනදිම අම්මියි නානයි මායි හුඟාක් අසරණ වෙනවා. අඬලා අඬලා දැන් කඳුළු නෑ ඇස් වල."


හැඟුම්බර ඒ දෑස හැඬුම්බර වෙන්න කලියෙන් මං මාතෘකාව මහවැලිය වගේ හරවනවා.


"හ්ම්.. හරි නංගි.. මෙහෙ වැඩ අර්බුදයක් නැතුව කරගන්න... අපි පස්සෙ කතා කරමු."

ජීවිත කාලෙ ම දොඩමළු වෙන්න - පපුවෙ පුරවන් හිනාවෙන්න - අඬන්න ඕනි ම නම් අඬන්න.... හේතු හොයාගන්න බලාපොරොත්තුවෙන් ප්‍රශ්වාසයකින් විස්මය බදාගෙන හිත... හිත හිත... විශ්වයක් ඇතුළෙ ප්‍රිස්මයක් වෙච්චි රටක මෙහෙව් විස්මයක්! ජිම් කැන්ටිම ඉස්සරහ ගල් බංකුවක මං මතකෙත්තෙක්ක දැහැනට වැටුණා. මඩ තැවරිච්ච තණකොළ දකිද්දි හැඟුම් සම්මිශ්‍රණය වෙනවා. ' රක්ත ජීවිතෙයි - බ්ලැක් ඇන්ඩ් වයිට් මතකෙයි - නිල් පාට,කොළ පාට,පාට පාට පැරණි ආදරවන්තියොයි උකුළු මුකුළු කරනවා. මඟහැරීම් - බිඳවැටීම් කප්පරක් " මාව වැළඳගනින්, මාව තෝරගනින්, මාව වඩාගනින් " කිය කිය පස්සෙන් එනවා. " උඹලා ඔක්කොම ඔහොම්ම හිටපන්.. හැමෝටම සාධාරණේ ඉෂ්ට කරනවා. " කියන පොරොන්දුව පිට මං හුස්මක් කටක් ගන්න හදනවා.


"තත්පරේ.. මොකෝ සයිඩ් ගහලා?"


නෝ,වයිඩ් නැතුව රේඛීය මාර්ගෙක ආත්මීය පන්දුව ලොවෙත් දෝලනය වෙන් නැහැ. අන්තිමට කනස්සල්ල නවතින්නෙ ම සයිඩ් එකකින්!


"ආහ් මොල්ලියා... උඹත් පාත්වෙන්නෙ හරිම වෙලාවට"

" මොකෝ බංස් අවුලෙන් වගේ.... සීන් කෝන් ද ? ඩීන් සීන් ද ?"

"න්..නෑ නෑ.. මේ කේක් කෑල්ලක් හෑව්.... යමං සිරීපාදෙට."

දැහැන බිඳුණත් - මතකානුස්සතියෙන් මිදුණත් ' අට ලෝ දහම ' අත ළඟ. ලෙඬට - දුකට - සැපට - ළගන්නා දුමට - ළඟින් ඉන්න ' කේරල සූස්තියත් ' එක්ක දෙතොල නිවනට... අපි ස්වයංක්‍රීයව ම සිරීපාදෙට...

කොළඹ විශ්ව විද්‍යාලයෙ නීති පීඨ අවකාශයෙ ' නාඩගම 'ට පසුපසින් - ඉහළ නඟින තීරුව - පඩිපේළි වලින් ගහන උඩ - අන්වර්ථ වෙන්නෙ ' සිරීපාදෙ ' නමින්. කාලෙකට - වාරෙට - අවාරෙට ජෝඩු දෙක තුන වන්දනාමාන කරන පුද ( සුද ) බිමක් තමයි මෙතැන. ඉඳලා හිටලා වාසියක් වැදුණම - මහන්සියක් හැදුණම අපිත් දුමත්තෙක්ක මෙතැන... මෑතකදි ' මුහුදු හොරු ' එනවා කියලා සිරීපාදෙට බැරියර් එකක් වැටුණා. මුහුදු හොරු කියන්නෙ කැම්පස් එක ඇතුළෙ ඉගෙන ගන්න කෙල්ලො ටෝක් කරන,ගොඩ යන එළියෙ කොල්ලො... එහෙමත් නැත්නම් අන්කල්ලා.. ඒකට ඇතුළෙ සහෝදරවරු ඉන්නෙ හිත හොඳින් නෙමෙයි. සරසවි උප සංස්කෘතියෙන් ම පැන නැඟිච්ච කාරණාවක් තියෙනවා ; නැවේ බඩු අයිති ඇතුළට මිසක් පිටට නෙමෙයි. මේවා අම්බ පසුගාමී තියරි කියල ඕනිම කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. කාලෙක ඉඳන් එන පසුගාමී තියරි වුණත් ඒ බැරියර් කඩාගෙන ඉදිරිගාමී වෙන එකට ඉතිහාසෙ ඕන තරං නිදර්ශන දීලා තියෙනවා.

ඉස්සර ' මේඩ් ඉන් ශ්‍රී ලංකා කංසා ' වෙනුවට දැන් වත්තෙන් මගෙ අතට පත්වෙන්නෙ ' කේරල සූස්ති. ' එහෙමත් නැත්නම් කෙටි නම ' කේ.ජී.' නික් නේම් එක නොහොත් ආදර නාමය "කේක්." සිරීපාදෙ මැද පඩියක ඉඳන් මං හෙමිහිට එතීම අරඹනවා. මොල්ලියා ඔත්තු බලනවා. සරසවි බිමෙන් එහාපැත්තෙ හමුදා මුරකරු උඩ බල බල - බිම බල බල - රබර් ඇහෙන් වටපිට බලනවා.

"තත්පරයා, අරූ දැක්කොත් කේස් ?"

"උන් බබ්බු නෙමෙයිනෙ බං.. ඔතන ගල් පිළිමෙ වගේ ඉන්න එක උගෙ ජොබ්බෙක. මේක ඔතන එක අපේ කික්කෙක."


ලුම්බිණියෙදි මඳයා හැටියටත්, රෝයල් එකේදි මද්දා හැටියටත්, කැම්පස් එකේදි තත්පරයා හැටියටත් මං නාමකරණය වෙලා අවසන්. තත්පර නාමෙ උප්පත්ති කතාව වෙනම ම ලතාවක්... ඒ ලෙවල් ඉවරයක් කරලා - පොලු තිය තිය - කොටු පැන පැන ටියුෂන් කටු අත පත ගාන අතරෙම පත්තර තුන හතරක මං කුලී ලියන්නෙක් වුණා. පත්තරේ ලිව්ව හින්දා පත්තරයා කණපිට හරවලා ' තත්පරයා ' හැදෙනවා. මොල්ලියගෙ මූණ හර්බජාන් සිංගෙ වගේ කියලා සික් හිස් වැසුම් ගෙඩිය මතක් වෙන්න ඌ ' මොල්ලියා ' වෙනවා... මෙව්වා වෙනම ත්‍රිල්ලෙකකට සැට්වෙන නම්!
"හරි..ඉවරයි.. ගිනිකූරක් ගනින් "


මොහොතක දුමාර භක්තියෙන් ශ්‍රී පාදෙ සුගන්ධවත් වෙනවා. පාරවල් තුන හතරෙන් මොල්ලියා මහත් වූ රහත් ඵල ආනිශංස ලබනවා... මෙහෙව් පාපෙක මහත, පෙනහළු පිපිරෙන්න ඇද්දත් මට දැනෙන ඵලයක් වැදෙන් නැහැ. මං හිතන්නෙ ඒක පීතෘ ජන්ම දායාදයක්. මොකද, අදටත් ස්වර්ණ පාරෙ ලෝකල් චණ්ඩියා වෙලා ඉන්න ' මොරිස් අයියා ' මාව බඩු එක්ක දැක්කොත් කියන්නෙ එකම එක දෙයයි.


"මෑන් කොච්චර ඇද්දත් නැව්වත් පදං වෙන එකෙක්යැ. බොලෑ ලොකු තැන, ගාමයියා නයා ඇල්ලුවත් පයන්න පෙන්නන්න පුළුවන් කෙලින් මිනිහා."


අම්මා කියන්නත් - තාත්තා කියන්නත් - මං දන්න තරමින් මට අදටත් ඉන්නෙ " තාත්තම්මා" විතරයි. හුඟක් දේවල් මං දන්නෙ, දැනගත්තෙ වටාපිටාවෙ කයි කතන්දර වලින්. එහෙම නැතුව තාත්තම්මා වචනෙකින්වත් මගේ සැක කුතුහල දුරලලා නැහැ. බාගදා, තාත්තම්මා බය ඇති ඒවා දැනගත්තොත් මගේ හිත පපුව හීරෙයි කියලා. තාත්තම්මා නොදන්නවා වුණාට මං මේ වෙද්දිත් ගොඩක් දේ දැනගෙන - හිත පපුව විතරක් නෙමෙයි අනෙක් හැමතැනමත් හූරගෙන - කපාගෙන - මැහුම් දාලත් ඉවරයි... වෙනසකට තියෙන්නෙ තාම මැහුම් ගැලවිලා නැහැ.. ඇතුළෙනුත් පැසවලා, පිටිනුත් පැසවලා... මං කේ.ජී දුමාරෙම හුස්මකට හේත්තු කරලා, අත පය ගසාගත්තා.


" මොල්ලියා, එහෙනං මං කැපුණා.."

" හවස ලෙක්චර් එක ?"

" අද බෑ බං.. හවස වැඩක්"

" යකෝ, ඇටෙන්ඩන්ස් බලනවා... ෆැමිලි ලෙක්චර් එකෙන් පස්සෙ ටියුටෝරියල් දෙකක්..."

"රෙද්දෙ පැමිණීම... හම්බ නොකළොත් අපිට කන්න බොන්න - යන්න එන්න - ඉගෙනගන්න දෙන්නෙ ලෙක්චරස්ල ද ? ආහ් ?"

" උඹට විකාර "

"ජීවිතේ විකාරයක් - නීතිය විකාරයක් - සිද්ධ වෙන දේවල් විකාරයක් - රට ම විකාරයක් - එක ම විකාරයක් - විකාරයක් ඇරෙන්න විකාරයක් නැති එක දෙයක් මට කියපන්."

එතැනින් එහාට මොල්ලියා කට ඇරියෙ නැහැ.

දැන් තමයි මොහොත... පිටින් ආව ඕඩර් එකකට බඩු බාරදෙන්න හදිසියෙ වත්තට ගාටද්දි - තුම්මුල්ලෙන් තාත්තම්මට නොපෙනෙන්න 120 නැඟලා ලුම්බිණියෙන් බහිද්දිත් හිතට එන්නෙම පැරණි මතකය. ' ආබ්දීන් සර් ' අපිට ඉගැන්වුවෙ ' ඉතිහාසය.' ඒ දහයෙදි - එකොළහේදී... වතාවක් මතකෙ හැටියට ' නවෝදයා ' උත්තරේක අසිපත ට " අසිපක " කියලා ලියලා පැහැදිලි ත්‍රිලක් දුන්නා. ඒ උත්තරේ බලලා, හීන් ඇස් වලින් හිනාවෙලා, නවෝද්ගෙ ඔළුව අතගාලා මුළු පන්තියට ම ඇහෙන්න "නස්රුදීන්" ගෙ කතාවක් කිව්වෙ ආබ්දීන් සර්. කුපාඩි වැඩ දෙක තුනකට මාව මාට්ටු වුණත් මං හොඳාකාරව ම දන්නවා, සර් ගෙ හිතේ මං ගැන " කළු චිත්‍රයක් " නොතිබුණා කියලා. සැරයක් සිග්මා එක ළඟදි සෙන්ට් ජෝන්ස් කොල්ලො සැට්ටෙකක් අපේ පොඩි උන්ට නෙලද්දි මැද්දට පැනලා මැහුම් දානකං ගුටි කාලා තිබුණෙ මේ මනුස්සයා. ඒ ඔක්කොමත් හරි.. එදා ' සෙනුරි හුටපටේ ' වෙලාවෙ ගැලවුම්කාරයා වුණේ, ' දෑවා ' ෂේප් කළේ, කොළ පාට හඳත් අරන් ලුම්බිණියට ඇවිත් මට ආදරෙන් අවවාද කළේ මේ මනුස්සයා. අද ඒ 'ප්ලැටිනම් හදවත ' ජීවතුන් අතර නැහැ... මේ වෙද්දි මං හැඳුනුම්කාරකයක් හොයාගෙන යන - හැඟවුම්කාරක එකතු කරන - නීති පීඨ දෙවන වසරෙ ශිෂ්‍යයෙක්. සර්ගෙ ම දුව, එදා මහ ආඩම්බරෙන් මන්දස්මිත ආලිංගන පෑව චූටි කෙල්ල ; " සොරායා " අද නීති පීඨ පළමු වසරෙ ශිෂ්‍යාවක්....ගෙවිච්ච කාලෙ නපුරුද ? වෙච්ච දේවල් නපුරුද ? පුදුමෙ සොඳුරුද ? අකුරු නපුරුද ? මොන දේ වුණත් - නොවුණත් හැම දවසක් ම අඳුරුද ?

අවුරුද්දක් දෙකක් යනකං - ඕ ලෙවල් ඉවරයක් වෙනකං ලුම්බිණියෙ කොල්ලො කෙල්ලො ආබ්දීන් සර්ට කාඩ්ඩෙක ගැහුවෙ ' මඳ මාමා' කියලා. සර්වයි - දූවයි - මාවයි එක්කහු කරලා මුන් නොකිව්ව දෙයක් නැහැ.. කිව්ව 'ලලල ලලා බයිලා' සර් දන්නවනම් බඩ කපන් මැරෙනවා... හහ්.. එහෙමත් අතීතයක්. දැන් අතීතෙ අතීතෙන් ම වැහිලා ඉවරයි. අනාගත යතුර සොරායාගෙන් ම ඉල්ල ගන්න හිත මැද පොරකද්දි , අඳුරු සිතුවිලි පසු බහිනවා. හැම පැත්තෙන් ම වැරදිකාරයෙක් කියලා දැන දැනත් ' නිරායුද - නිලුපුලැසි 'කෙල්ලෙක්ගෙ ඇස් වලින් හීන දකින්නෙ කොහොමද කියන දෙගිඩියාව මට වෙඩි තියනවා. සොරායාගෙ නාමයෙන් මං වෙඩි කනවා...... එච්චරයි!!!


"මොකෝ බං පරක්කු ? ටයිම් නං ටයිම්. අරූ මගෙ ඔළුව කයි දැන්. මල් දහයක් දොළහක් නං ලයින් කල්ලා හරි දෙතහැකි. මුන් ඉල්ලන්නෙ ග්‍රෑම් ගණන් පියෝ. ඒක ගෙනියන කරුමෙටත් කරගහන්න වෙන්නෙ තොටයි මටයි තමයි."


පොට්ටයා අවනඩුව කියාගෙන කියාගෙන යනවා. මට තියෙන්නෙ අහන් ඉඳලා ප්‍රායෝගික වෙන්න විතරයි. " කතුරක් - කැපිල්ලක් - පැකට් කිරිල්ලක් අත්ගුණේ එක්ක එක්කහු වෙද්දි ' අපරාධ නඩු විධාන සංග්‍රහයවත් - සිවිල් නඩු විධාන සංග්‍රහයවත් " මතකෙට එන්නෙ නැහැ. එව්වා සංගෘහිත කොරන්න පුළුවන්. මෙව්වා නොකළොත් නීතිය ඉගෙනගන්න පොතක් පතක්වත් ගන්න - තාත්තම්මගෙ මාසික බෙහෙත් වට්ටෝරුව පුරවන්න තඹ සතයක්වත් ' ආ ගනින් ' කියලා නඩුකාර හාමුදුරුවො දෙනවයෑ...

පොට්ටයා දැන් ෆුල් ටයිම් කැපවෙන්නෙ ' මලායියගෙ ' මල් බිස්නස් වෙනුවෙන්. චීත්තයා සිග්මා එක ඉස්සරහ ත්‍රීවිල්ලෙක හයර් කරනවා. ඒ ලෙවල් හීනෙ මැදින් ලොප් කෙරුවත් චීත්තෙ රෝද තුනේ හීනෙ අත්හැරියෙ නැහැ. පුෂ්පයා ගිය අවුරුද්දෙ බැන්දා...හහ්.. දැන් අපි මාමලා. පුෂ්පෙගෙ ' පුංචි පුෂ්පෙට ' දැන් මාස හත අටක් ඇති. කෙල්ලව ගෙනල්ලා මාස දෙක යද්දි ' පොඩි එකා ආවෙ උඩින්ද යකෝ ' කියලා අහද්දි පුෂ්පයා කියන්නෙ එක දෙයයි.


"අපි කියලා කරන් නැහැ ඩෝ... කරලයි කියන්නෙ.."


ඒ උගේ හැටි. කාලයක් තිස්සෙ රට යන බලාපොරොත්තුවෙන්ඉඳලා හොඳටම හෙම්බත් වෙච්චි පුෂ්පෙ දැන් ඇළේ වැඩ...මතකෙටත් ආයුෂ තියෙනවා, පුෂ්පෙටත් ආයුෂ තියෙනවා. මතක් කරද්දි ම කකුල් දෙක ළඟ.. නිකං නෙමෙයි, සින්දුවකුත් අරන්! තාමත් කරකාරෙට ගත්තු බලාපොරොත්තු දික්කසාද කරලා නැති පාටයි... මරු...උගේ හීනෙ ඌ දකිනවා.. මේ ගලාගෙන එන්නෙ පුෂ්පෙගෙ අව්‍යාජ කටහඬ...


"මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා ටී වී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ළඟයි
මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං...
මම එන්නෙ ඩුබායි..ආ..."


මොහොතකින් සප්ත ස්වර සමතලා කරලා දත් සැට්ටෙක දුර පනිනවා.


"මඳහස් අධීශ්වර... උඹ කොයි වෙලේද ආවෙ ? අද කැම්පස් නෑ ?"

"තව ඇවිල්ලා විනාඩි දහයක් නෑ.. කට්ටෙකක් දැම්මා බං... පොඩි සම්තින් පාරක්"

"ආ..ව්.. ආව්... එහෙනං රෑට පූලක් ගහලා දෙකක් දාගෙන බීච් බහිමු."


කතාව මැද්දට බලෙන් ම එන්ටර් වෙන පොට්ටයා, ස්වාමි අනන්‍යතාවය රකිනවා.


"බලමු බලමු.. මේක මලායියගෙ බොක්කකට දෙන ඕඩර් එකක්... ඌ දෙන ගාණ තමයි බෙදෙන්නෙ."

" හරි හරි.. මං මේ කන්න යනවා ගෙදර.. නිකමට ඔළුව දැම්මෙ... මඳයා මං ගියා. අට වෙද්දි එනවා.. රෑට සෙට් වෙමු."


න්‍යාය පත්‍රෙත් පුෂ්පයගෙ.. ටයිම් ටේබල්ලෙකත් පුෂ්පයගෙ... ප්‍රශ්නත් - උත්තරත් පුෂ්පයගෙ.. යථාර්ථ කතිකාව පොට්ටයගෙ.


"උඹට දැන් සැරයක් කිව්වෙ, කොරවෙන ගාණක් ෂුවර් නෑ"

"ආ..පෝ.. හරි හරි. උඹේ මලායියා ඉතින්... කිව්වයි කියලා හිතාගෙන ' බ්ලා බ්ලා ' දාගනින්... අපි ගියා අපි ගියා."

"පල පල.. පුහ්.. බුලා බුලාව... උගෙ මූණට කියහන්කො ඕවා... එතකොට ගොළුබෙල්ලා... තොගෙ එදත් බොරුව අදත් බොරුව."


හවස් වරුව ම අහස හොටු පෙරාගෙන හැඬුව හින්දා හීන මාළිඟා ගිනි ගත්තා. කේක් ඕඩර් එකෙන් හැරෙන්නවත් හරියන ගාණක් නොලැබුණ හින්දා - හිත යට මොකක්දෝ කිතියකින් කැවෙන හින්දා - හතර පැත්තටම හැරි හැරි හිටියට නින්ද ගියෙ ඉර එන්න පැයකට දෙකකට කලින්. දවස් ගෙවෙන්නෙ - රොස් පරොස් බස් අතරෙ සැනසුම් සුසුම් හොයාගෙන ජීවිතේ රැඳෙන්නෙ එකපෙළට... එකදිගට... එකමිටට...


"ගුඩ් මොර්නින් මඳහස් අයියා..."

හිත අයදින හඬ සවන්ගත වෙලා හදවතට තට්ටු කරනවා. කෙල්ල මගෙ නම හොයාගෙන...

" ආහ්.. ගුඩ් මෝර්නින් සොරායා.."


පුංචි අමුත්තක් දිවට දැනුණද - නොදැනුණාද මන්දා... ඒත් මං ඒ නම හරි තැනින් උච්චාරණය කෙරුවා. හිත බොක්කෙන් ම ' කතාවට අල්ලගනින් අල්ලගනින් ' කිව්වත් උදෙන් ම ලෙක්චර් එකට යන කෙල්ලව වළකන්න පෙම පසුබට වුණා.


"අයි..යෙ.. මට හම්බවුණා අයියගෙ ආටිකල් එකක්... මේ..."


සිද්ධ වෙන කෙරුම් ඉවසන්න බැරිම තැන සති කීපෙකට කලින් "හෙණ" පත්තරේට ලිව්ව ලිපිය සොරායා හොයාගෙන. ඒ මදිවට කොටසක් දෙකක් හයිලයිට් වෙලා.


"ඇයි සොරායා, මේ ටික හයිලයිට් කරලා... හහ් හහ්.. ක්‍රෑමකටද? කුප්පියකටද?"

"න්..නෑ..නෑ.. ඒ වචන ටික දැනෙනවා...මා..රයි..අයි..යෙ. සහතික ඇත්ත! මං අම්මිටත් ඇහෙන්න කියෙව්වා..."


සොරයාගෙ හිත ගත්තු වචන අතරෙ මුහුවෙච්චි සරසවි කඳුළු මං නේත්‍රා මතට ඇදගත්තා.


"කැම්පස් එකෙන් එළියෙ අම්මලා බත් යට හංගලා මාවා විකුණලා දවස ගැටගහගන්නවා. ඇතුළෙ කොල්ලො රෑට සිකියුරිටි ජොබ් කරලා දවල්ට ගංජා විකුණනවා. ඒ ක්ලබින් යන්නවත්, හයික් යන්නවත්, රේස් පදින්නවත්, හික්කා යන්නවත් නෙමෙයි... ඒකෙන් ලැබෙන තුට්ටුවත් යවන්නෙ ගෙදර එක වේලකට හරි බතක් මාළුවක් ඉදවන්න... කෙල්ලො ලෙක්චර්ස් ඉවර වෙලා හවසට වත තියෙන උන්ගෙ දත් ගලවන්නෙ ' තාත්තගෙ පපුවෙ අමාරුවට බෙහෙත් පෙත්තක් දෙකක් ගන්න - මල්ලිලගෙ නංගිලගෙ ක්ලාස් පීස් ගෙවන්න - අම්මට රෙද්දක සාරියක හීනෙ හැබෑ කරවන්න...අඩු තරමින් තමන්ට යට ඇඳුමක් හරි ගන්න. ' හොස්ටල් වල බලු නොවටින බතටයි - ඉන්න තැනටයි කෙළිද්දි තාපසයෙක් වුණත් ධ්‍යානෙ බිඳගෙන අරගලේට එකතු වෙනවා.. ශිෂ්‍ය භාවය අහෝසි කළත්, පන්ති තහනම් කළත්, හයිය තියෙන - අනාගතේ ගැන කැක්කුමක් තියෙන උගුරු දඬු යුක්තිය ඉල්ලනවා.. ඔන්න ඕකයි ඇත්ත! පාලකයො, වී සී ලා, ඩීන් ලා පොළොවෙ වෙන දේවල් දන්නෙ නැහැ.. මොකද අපි මැරි මැරි හරි ජීවත් වෙනවා... උන් ජීවත් වෙන්නෙ ම මැරිලා...."


- සතියක් ඉවසන්න -


කසුන් මහේන්ද්‍ර හීනටිගල.






Previous
Next Post »

2 comments

Click here for comments