හලාල් වර්ජනයට කලින්. (තුන්වන හෝඩිය)

හලාල් වර්ජනයට කලින් ' බුද්ධං සරණං ගච්ඡාමි ' වර්ජනය කරපල්ලා. දන්සැලෙයි පින්කමෙයි හැම රෙද්දෙම ඕක දෙසන්නෙ " අල්හාජ් මොහිදින් බෙග් "





දෙවන හෝඩිය නොකියවපු අය මෙතනින් දෙවන හෝඩිය කියවන්න.

තුන්වන හෝඩිය.


හදවතට අනින සංවේග කටු වලට ආවේග ප්‍රකාශන තටු දුන්නම එතැනින් නමක් පියාඹනවා. උප්පැන්නයක් නැති නමක්! එක එක අයට එක එක විදිහට තේරුම් ගන්න පුළුවන් නමක්. ඒ නම සොරායා තේරුම් ගත්ත විලාසෙට මං කැමතියි. කල්පයක් ගියත් සමාජෙ සිද්ධ වෙන දේවල් - සරසවියෙ ගැටෙන දේවල් තේරුම් නොගන්න පිරිසක් අතරෙ එක කෙල්ලෙක් පවා සුවිශේෂයි. කටු කොටු අතරින් එබෙන ආක්‍රමණෙකට කටු තුඩු තියෙන හදවතක් විවරයි. හරිම සරලයි. මොහොතින් මොහොත සොරායා හීන හිත හොල්ලනවා... හෙල්ලුම් කන නෙත අල්ලනවා.

"හැමෝම එනකොට හිතන් එන කිසි දෙයක් මෙතැන නැහැ නංගි. කොල්ලන්ව කෙල්ලන්ව රොබෝලා කරවන්න බලාගෙන රීමෝට් එක ඔබන ආණ්ඩුවක ඒකට දාන බැටරි තමයි මෙහෙ ලොක්කො. ඒවා පොත් වල නැහැ. සාමාන්‍ය ව්‍යතිරේක ගැන පිටු ගණන් ලිව්ව ප්‍රොෆාලත් අද වෙද්දි යන්තං සන්තං ව්‍යතිරේක ම විතරයි."

"අයි..යා.. හිතන විදිහ වෙනස්. ලියන විදිහ වෙනස්... හුඟාක් වෙනස්.. මෙහෙ හැමෝම ඔහොමද?"

මහ හයියෙන් හිනාවෙලා 'පිස්සු කියවන්නෙපා නංගි' කියන්න හිතුණත්, තාමත් ඇතුළෙ අද්දැකීම් නැති දැනීමක් විතරක් ඇති කෙල්ලට ජීවිතය දැනෙන්න හරින්න ඕනි... කවදාහරි, කොතැනහරි, කොහොමහරි 'ආදරය' වැදෙන්න හරින්න ඕනි... කැමති විදිහට, කැමති තැනකින් හුස්ම වැටෙන්න හරින්න ඕනි...

"තාම නැවෙන් බැස්සා විතරනෙ සොරායා... ඇවිදලා - කියවලා - අහුලගෙන ම තේරුම් ගන්නකො තත්වෙ..."

"හ්ම්ම්.. හා..."

ප්‍රතිඋත්තර ගළපද්දි වචන වලට උඩින් ඉස්සර වෙන ඇස් වල ලස්සනයි - දෙපැත්තෙන් ඉපිලෙන දෙකම්මුල් ජෝඩුවයි - කෝවක්කා ගෙඩියක් වුණත් හැංගෙන්න පුළුවන් අපරාජිත දෙතොලයි දකින වාරයක් ගාණෙ සුසුම් සසැලෙනවා. කැපිලි - කෙටිලි - හැපිලි - දෙඩිලි විතරක් ම හිමි ජීවිතේ හරි මැදින් පැටලෙනවා. ආදරේ අලුතෙන් ම ඉපදෙනවා.... හිත සම්පූර්ණයෙන් කැමති වුණත්, අකැමති වුණත් මගේ මුල්කාලීන පෙම්වතියො එක්ක හරි හරියට සොරායා හිටගන්නවා. සැසඳීමකට වඩා එහා ගිය ඇප දීමකට සිතුවිලි ළංවෙනවා. පෞද්ගලික පෙමක උත්ප්‍රාස උත්කර්ෂෙ මට මුලින් ම දැනෙන්නෙ හත වසරෙ අන්තිම කාලෙ. ඒ තමයි 'සනුදි.' සනුදි පන්තියෙ පළවෙනියා. මං දෙවනියා. ඉංග්‍රීසි කියලා විෂයක් නොතිබුණා නම් සනුදිට ඇපත් නැහැ. අපි ඉස්කෝලෙදි එක පන්තියක වුණාට එළියට ආවම 'පන්ති දෙකක.' පන්ති දෙකක වුණාට ඉස්කෝලෙ පටන් ගත්තම එක පන්තියක.. එක එක ජාතියෙ පිම්පල් එන්න අවුරුදු ගාණකට කලින් සනුදිගෙ 'ඩිම්පල්ලෙක' මට මාර ආස්වාදයක්! ආරංචි හැටියට එයා දැන් ආර්.අයි (රෝයල් ඉන්ස්ටිටියුට්) එකේ ලන්ඩන් එල්.එල්.බී කරනවා. රාසික් වත්තෙ මංජුවලා, කැමල්ලා හැපී අයියගෙ බිල්ඩින් එකට නැඟලා ආර්.අයි එකේ උඩ වෙන සිද්ධි බලන - 'යතුරු හිල් සංසර්ගෙ' යෙදෙන එක කුප්‍රකට රහසක්. වතාවක් සනුදිවත් දැක්කා කියලා පොළොවෙ හැපි හැපි දිව්රුවෙ මංජුවා මස්සිනා කරගත්ත අපේ චීත්තයා.... සනුදිගෙන් පස්සෙ අංජලී. අංජලීගෙන් පස්සෙ තාරකා. ඊට පස්සෙ මල්කි. ෆේස් බුකියෙන් සෙට් වෙච්චි ගාල්ලෙ මනූෂි, ගම්පහ අරුණි... විසාඛා එකේ ඩිබෙටින් කැප්ටන් සමාලි. අතරමඟ මඟ තොට ඇස් ඉස් මස් කැළඹුව ගෑනු පරාණ.... මේ හැම කෙනෙක්ටම වඩා "සොරායා මුස්කාන්" ළඟ තියෙන 'ස්ත්‍රීත්වය' ගැන ඔන්ලයින් නවකතාවක් ම ලියන්න පුළුවන්. කෙටි කතා තැනින් තැනින් ජීවිතේට එකතු වෙලා 'ආදරය' නමින් නවකතාවක් හුස්ම ගනිද්දි
කොහොමද?

සාමූහික සිහින කොච්චරක් පැතුවත් හුදෙකලා තනිකමේ බැඳෙද්දි මට දැනෙන්නෙ අනියත බියක්. 'හුදෙකලාව ස්වර්ගයක්' කියලා 'ඕමාර් ඛයියාම්' කිව්වට ඒ හුදෙකලාව ම 'මහා නරකාදියක් - අපායක්' වෙන්න පුළුවන්. ඛයියාම්ගෙ කියමන මං එඩිට් කරන්න පටන් ගත්තෙ ඒ ලෙවල් කාලෙ ඉඳලා.


කාලෙන් කාලෙට මුණගැහුණු චරිත, හදාරපු චරිත, හඹාගෙන ගිය චරිත, පරමාදර්ශ කුඩුවෙවී දියවෙවී වැටුණා. මං ඒ අස්සෙ නටබුන් වලට මැදි වුණා... පොඩි වුණා... යට වුණා... ඒත් තාමත් පණපිටින්! දවල් වෙනකල් ඔළුව කැරකුණේ එකම තැන. සොරායාගෙ ජාතකය මගේ හිතුවක්කාරකමට බාධාවක් නොවුණත් මේ ගත කරන මොහොතෙදි ප්‍රේමයට පවා අදාළ ම මුදල. ප්‍රේමයට විතරක් නෙමෙයි ධනේශ්වරය පණ අදින අන්තිම තත්පරේදි හුළං හමන්නෙත් සල්ලි වලට... ඉඳලා හිටලා පුංචි සම්තින් එකකින් ලැබෙන මුදලෙනුයි - අකලට කරන ටියුෂන් දෙක තුනක ගොඩ යාමෙනුයි - කෑම බීම ඇරුණම - පත්තර පොත් අහුරෙනුයි මිදුණම දවස් ගෙවෙන්නෙ තාත්තම්මගෙ ශ්‍රමයෙන්.

එන්. එල්. ටී. හෝල් එකෙන් එළියට ඇවිත්, තාර කට්ට දිහාට එද්දි එළියෙ ඉඳන් ඇතුළ බලන් ඉන්නෙ තාත්තම්මා. මං කැම්පස් එන්නත් කලින් ඉඳන් තාත්තම්මා ගේට්ටෙක ඉස්සරහ බත් බිස්නස් කරනවා. ඒ අතරෙ මාවා, සලා, සිගා වගේ පොඩි පොඩි අමෘතත් විකුණනවා. 'කොල්ලන්ට සිගරට් දෙද්දි පිච්චෙන්නෙ තාත්තම්මගෙ පෙනහළු කියලා' මට කීපවතාවක් ම කියලා තියෙනවා. මේ වෙද්දි ඒ වේදනාබර හුස්ම බර කල්පනාවක...

"තාත්තම්මෙ..."

"ආහ්.. දැක්කෙත් නැහැ නොවැ... වියරෙයි පුතේ දේසන බාසන?"

"හ්ම්ම්.. අදට ඉවරයි"

"උඹ කෑවැයි උදේට? දැන් දොළහට කිට්ටුයි මයෙ හිතේ.. ආ ගනින්..."

තාත්තම්මා බත් ඕඩර් ගන්නෙ කුරේ පාක් වයලක්කගෙන්. හොරට පෙරන කසියා වලින් මැද කොළඹත් හොල්ලපු ගෑනියෙක්ලු වයලක්කා. තාත්තම්මගෙ ගජයා. බත් එක දික් කරද්දිත් කෙහෙල් කොළේට වඩා තෙත තාත්තම්මගෙ නෙත!

"එපා.. මං පැයකට විතර කලින් යාළුවෙක්ගෙ බත්තෙකක් කෑවා තාත්තම්මෙ... බඩේ ඉඩ මදි. ඕක විකුණන්න තියන්න."

"මේක ගනින් කිව්වහම අහල.. උඹ එන්න එන්නම ඇදිල පැදිල යනව කොල්ලො. තව අවුරුදු තුන හතරකින් ලෝයර් මහත්තයෙක් පඟරනැට්ටෙක් වගේ ඉඳලා කොහොමෙයි? බොට කෙල්ලො හිනාවෙයි. බොලා පොඩි එකා සන්ධියෙ පිරිලා.. ජම්බු ගෙඩිය වගේ..."

තාත්තම්මගෙ අහිංසක සතුට තීරණේ වෙන්නෙ මගේ ඉගෙනීමත් එක්ක කියන දේට තවත් සාක්ෂි මොකටද? හරිහැටි නොකෑමේ ගෝරනාඩුව වෙනුවෙන් ඇගේ ආදරණීය නෝක්කාඩුව මට රිද්දන්නෙ සිරාවට.. සීරුවට....

"බත් තුනක් දෙන්න ඇන්ටි..."

කෙල්ලො කිහිප දෙනෙක් එතැනට රැස්වුණ වේගෙන් මං තාත්තම්මට සමු දුන්නා.

"මං යනවා තාත්තම්මෙ..."

"අදවත් ඇඳිරි වැටෙන්න කලින් ගෙදර වරෙන්. දැන් දවස් ගාණක ඉඳන් උඹ එන්නෙ ම දෙගොඩහරියත් පහුවෙලා... බත් මුට්ටිය ම පූසන්ට... හොඳා.. පරිස්සමින් මයෙ පුතේ."

ඇගේ වදන් ව්‍යවහාරය අද්දර මට දැනෙන හැඟීම ආකස්මිකයි. වේදනාබරිතයි... හිතේ ඉවරයක් නැති ආදර සාගරේ තාත්තම්මා! ඇය එක අතකට 'ස්ත්‍රීවාදිනියක්' කියලයි මට හිතෙන්නෙ. සීයෙක් ගැන සඳහනක් වෙනුවෙන් උප්පැන්නෙ තියෙන්නෙත් 'නොදනී' කියලා විතරයි. තාත්තම්මගෙ වමතෙ මැහුම් දහයක් තියෙනවා. ඒක වත්තෙ සුප්‍රකට කතාවක්. ඉස්සර වත්තෙ හිටිය 'බටුන් හාමු' කියලා කෙනෙක් තාත්තම්මගෙ රෙදි හැට්ට උනා දාන්න ආපු මොහොතක මිනිහගෙ මූණට මිරිස් ගහලා, යටි බඩට පයින් ගහලා, පිහියක් අරන් තමන්ම අත කපාගෙන ඇන්ට්‍රිය දාලා ස්වයං යුක්තිය පසිඳලා තියෙන්නෙ තාත්තම්මා. අනෙක් අතට ඈ 'ගුලාබියන් ගැන්ග්' එකේ සටන්කාමී ස්ත්‍රියක් වගේ. ඒත් ඈට සටනට උණ බම්බු අවශ්‍ය නැහැ.. ආදරේට මේන් වෙන කටයි - අසාධාරණේට ෆෝම් වෙන ගටයි තිබ්බම හොඳටෝම ඇති!

ඇලීම් ගැලීම් - සෙලවීම් - ඇබ්බැහිවීම් එක්ක දවස් දෙක තුනක් ගෙවුණා. සොරායාගෙ සිනහව නැතිව සරසවියක් නැහැ වගේ... ගැඹුරු අඩි ඇදෙන - දැවෙන හැඟීමක් යටි හිතේ ඉපිලෙනවා. දැන් දවස් දෙකක විතර ඉඳන් සොරායා කොහේ කොතැනක අන්ත්‍රස්දාන් වුණාද? හිතන ඇසිල්ලෙන් ළඟපාත ඇහෙන්නෙ කොල්ලෙක්ගෙ කටහඬක්.

"තත්පරයියෙ..."

"ආහ්... මල්ලි.. ඉතින්..."

"අයියෙ, රෝමන් නෝට්ටෙකක් හොයාගන්න පුළුවන්ද? කිසිම දෙයක් තේරෙන් නැහැ.. මොළේ මොංගල් වෙලා වගේ"

"හහ්.. මං ෆස්ට් ඉයර් එකේ පාඩං කෙරුව නෝට්ටෙකක් තියෙනව මල්ලි. ඒක දෙන්නං. ඕව බරෙන් හිතල බයවෙන්නෙපා බං.. මුළු අවුරුද්දට ම මං ගියෙ රෝමන් ලෙක්චර්ස් පහකට විතරයි. කෝට්ස් යන කාලෙක රෝමන් ලෝ ගැන කියෙව්වොත් ජජා අහවල් තැනිනුත් හිනාවෙයි...."

කොල්ලගෙ කිචිබිචිය, කිසි කිසිය මැදින් මං මට අදාළ ප්‍රශ්නෙ කෙටුම්පත් කෙරුවා.

"මල්ලි.. සොරායාව දන්නවනෙ?"

"ම්ම්.. ඒ කවුද අයියෙ?"

"මොකක්ද බං.. ඕකද උඹලගෙ බැච් ෆිට්ටෙක... එකට ඉගෙන ගන්න කෙල්ලෙක්ගෙ නමක්වත් දන්නෑනෙ..."

එන්න එන්නම කොල්ලගෙ හඬ බාල වෙනවා. පුවක් ගෙඩි ඇස් උඩ පනිනවා.

"න්..න්..නෑ අයියෙ... සමහර අය කතාකරන් නැහැ. ඒකයි ප්‍රශ්නෙ."

"කතා කරන් නැත්තං කතා කරවපන්. ගිරවෙක් වුණත් ප්‍රශ්නයක් ඇහුවම තමයි උත්තරේ දෙන්නෙ... හහ් හහ්.. සොරායා. සිංහල මීඩියම් එකේ ඉන්න මුස්ලිම් ගඅල්... උඹ දැන් දන්නවා."

"ආහ්... ඔව් ඔව්.. එයාව දන්නවා. කොල්ලො බාගෙට බාගයක් ම දානවා පැණිය.. ඒත් ඒකි හරි ආඩම්බරයි. ගොඩක් දේවල් නළලෙ..."

අනෙක් කොල්ලන්ගෙ අදාළත්වය මගේ හදවතට අදාළ නැහැ.

"උඹලට විස්තර පත්තරේ කට අයිනටම දීලයි උත්තරේ ගන්න ඕනි. සොරායා අද ආවද?"

"ආ.. අද නැද්ද කොහෙද අයියෙ. දැක්කෙ නැහැ. හැබැයි...ඉස්සරහ හිටියද දන් නෑ.. මං ආවෙ පරක්කු වෙලා."

සැනසීමට අවශ්‍ය උත්තරේ නැති තැන මං ප්‍රශ්නෙ මාරු කරනවා.

"හා හා.. හරි මල්ලි. මං අරක ගෙනත් දෙන්නං. වැඩ හරියට ම කරගනින්. කතා කරන්නත් තියෙනවා දේවල් කිහිපයක්. මං උඹව පස්සෙ අමතන්නං"

මනස්කාන්ත භාවයෙන් මනස සොරාගත්ත දවසෙ ඉඳන් සොරායා ඇසට ඈතයි. ලෙක්චර් හෝල් වල - ජිම් කැන්ටිමේ - ආර්ට්ස් කැන්ටිමේ -ලයිබ්‍රියේ - එෆ් බී එකේ - හැම අස්සක මුල්ලකම පීරලා සර්ච් කළත් සොරායාව සොයාගන්න බැරි වුණා. කවි හිතක් සොරකම් කරපු ඇස් විතරක් තොරණක් වගේ පපුවෙ දැල්වෙනවා. තාර කට්ටෙ බෙන්චෙකකට බර දුන්නු මොහොතින් කවියක් රහසින් හෙමින් ගිලිහෙනවා.

"සංසාරගත පෙමක් කොහෙත් නැත
සංහාරගත හිතක් මත තිතක් ඇත
ඒ මතින් බුර බුරා නැඟෙන ගිනි
දෑසගින් නුරා ඉස - දෑතකින් දෑස පිස
නිවාලන ' මැජික් නෙත් ' ඔබට ඇත!

පරාජිත සුසුම් ළඟ කුසුම් නැත
සනාතන පැතුම් අස පිදුම් ඇත
තව තවත් පමාවට හේතු නැත
අමාවක වුණත් මට එළිය ඇත!

බිඳ වැටුණු සිත් බැඳුම් සුව කෙරූ
දවාගත් දරාගත් දිනක් නැත
මහ හැඬුම් වෙනුවෙන්ම ඉකි බිඳුම් උපදවා
සොරාගත් 'මැජික් නෙත' ඔබට ඇත!"

ජීවිතේම සිහිනයක් වෙද්දි සිහිනයක් ජීවිතේ කරගන්න එකේ තියෙන්නෙ අමුතු ගතියක්. ඒ ගතිය ගති! දකින දකින වාරයක් ගාණෙ එළි නොවෙන හින්දම සිහිනයට හති........! තත්පරේක ආනුභාවයෙන් මං ස්වප්න භාවනාවෙන් මිදුණා. සාක්කුව ඇතුළතින් ජංගම දෙයියො කෑ ගහනවා. ආහ්, පොට්ටයා!

"ඔව්..පොට්ටයා කියපන්."

"ආහ්හ්... කොයි වෙලාවෙද? හරි හරි.. උඹලා පලයං. මං එතන්ට එන්නං."

නරක ආරංචියක්. ඇක්සිඩන්ට් එකක්. මඟුලටයි - අවමඟුලටයි - පාටියටයි - පාළුවටයි - හැම දේකටම වත්තෙ ඕනි කෙනෙකුට සප්පෙක දෙන 'මැක්සි අන්කල්' හැප්පිලා. ගෙනියනකොටත් හොඳටම ලේ ගිහින්ලු. මැක්සිගෙ 'මැක්සා භාවය' හැදුණෙ බුවාටම අනන්‍ය කියමන් වලින්... රඟපෑම් වලින්... හිනාවෙන්... බීඩියක් දෙකක් ඉරීමෙන්... ඇන්ජලින්ගෙ හඬ අරන් ඩුඅට් ගැයීමෙන්.... විහිළුවෙන් තහළුවෙන්.... වන් මෑන් ෂෝ තාලයෙන්...

මං පුළුවන් ඉක්මනට මහා ඉස්පිරිතාලෙට යද්දිත් මිනිහට සිහිය ඇවිත් නැහැ. පොට්ටයයි, චීත්තයයි, මැක්සිගෙ පුතා සුද්දයි එතැන... එකම පුත්තරයගෙ නම සුද්දා වුණාට වත්තෙ ඕනිම කොල්ලෙක්ට මැක්සි අන්කල් අමතන්නෙ 'සුද්දා' කියලා. බුවා 'නිහාල් සිල්වා' ගෙ බුදු බොක්කක්ලු. ඉලව් ගේක බැනර් අඳින්න - මඟුල් ගේක පෝරු ගහන්න - කැටයමට - මූර්තියකට ඕනි දේකට මැක්සි ඉන්නෙ රෙඩි පිට. මෑන්ස්ගෙ එකම සහ ලොකුම අවුල දවාලක් රැයක් නැතිව වත රත් කරන මත. තිතට මත ක්‍රියාත්මක වෙන හිතක් තමයි මිනිහට තියෙන්නෙ. ඇරත් වේදිකාවෙ මැක්සිව නොදන්න ටීටර් කොරපු හාදයො නැති තරංලු. මැක්සි අන්කල් අදහන දෙවිවරු අතරෙ උඩින්ම ඉන්නෙ 'හතා මහත්තයා.' මැරිච්ච ගෑනිගෙ පින්තූරෙවත් රාමු නොකරපු මැක්සියා හතාගෙ රූපෙ ගෙයි සාලෙ කැබිනට්ටුව උඩ ජීවමානව තියාගෙනයි ඉන්නෙ. අන්න ඒ හදවතටයි තාම සිහිය ඇවිල්ලා නැත්තෙ.

"මොකක්ද සුද්දා එක පාරට වුණේ ? මට උදෙත් මැක්සි අන්කල් සැට් වුණානෙ."

"කියන මඟුලක් අහනවයෑ බං. හැප්පුණ වෙලාවෙ දෙකක් නෙමෙයි වඩි දහයක් දොළහක් දාගෙන ඉඳලා තියෙන්නෙ. සාක්කුවෙත් කාලක් තිබිලා.. කෝවිල ඉස්සරහ පාර පනින්න ගිහිනුයි මැනේජර් කාරයෙක් හප්පලා තියෙන්නෙ"

"ඌ මොකෝ කියන්නෙ ? තනිකර වැරැද්ද මෙහෙටද දාන්නෙ?"

ඒ වතාවෙ සුද්දට කලින් පාර පනින්න ඉස්සර වෙන්නෙ පොට්ටයා.

"ඒ යකාට කතා කරන්නවත් දුන්නයෑ බං ත්‍රීවිල් ස්ටෑන්ඩ්ඩෙකේ ලොන්තයො ටික ...."

ඒ ක්ෂණයෙන් සුද්දා බලෙන්ම කහ ඉර මැද්දට කතාව ගේනවා.

"මං එවුන්ටත් බැන්නා. උන් අරූව වට කරගෙන මේකෙනුත් ගරන්නයි බලන්නෙ... පාදඩ හැත්ත. අපිට කෙළවෙලා හරි කමක් නෑ උන්ට කොරවෙනවා නං."

හවස් වරුවම ඉස්පිරිතාලෙ ඇතුළෙ රස්තියාදු වුණත් සැනසිලිදායක ඇමතුමක් කොහෙන්වත් ලැබුණෙ නැහැ. හිතන්න කාරණා කෝටියක් ඉතිරි කරලා මැක්සි අන්කල් පුංචි විහිළුවක් හරි නොකර කොහොම ඉන්නවද මන්දා... ප්‍රශ්න සේරම අනාගතේට බාර දීලා, වෙලාව ආවම දවස නිමාව සනිටුහන් කරනවා. ඊට පස්සෙ එබෙන්නෙ අලුත් දවසක්.... අලුත් මොහොතක්... නමුත් පැරණි හැඟුමක්...නොබිඳි බැඳුමක්....

කලින් දා නින්දෙන් ඔද්දල් වෙලා පහුවදා කැම්පස් එකට එද්දි දහයත් පහුවෙලා... බුලක් කෙළින්න කියලා හිතන් මං ගෑටුවෙ ජිම්මෙක පැත්තට. පුදුමෙනුත් පුදුමයි. ජිම්මෙක අයිනෙ කොළ පාට පුටුවක සුදු පාට වතක්! සොරායා ඇවිත්... ඒත් ඈ වටේ කොල්ලො පස් හය දෙනෙක් කැරකෙනවා... කෙල්ල අවුලෙන් - අපහසුතාවෙන් ඉන්නෙ කියලා ඈත තියා මට තේරුණා.. මේ වගේ තැන් වලදි හදගැස්ම පට්ට චංචලයි. කකුල් දෙක සුසන්තිකාටත් වඩා කලබලයි. එතැන ඉන්න 'සමියා' ව මං තදින් ඇමතුවා.

"මචං, ඔය කෙල්ලට ලෙක්චර් එකට යන්න දීපන්... කතා කරන දෙයක් දවල්ට කතා කරපන්."

මගේ කඩාපාත් වීමෙන් සොරායාට අස්වැසිල්ලක් ලැබුණද නැද්ද දන් නෑ.. දන්න - පේන එකම දේ කෙල්ල හොඳටම බයවෙලා... සමියා වෙනුවට තරඟෙට එන්නෙ වෙන එකෙක්. ඒ මෝරා.. ඌ ආදි කාලෙ ඉඳන්ම මාත්තෙක්ක ඇරියස්.

"උඹ ඩයල්ලෙකද? ආහ්.. උඹ කන්නෙත් හලාල් ද? පිට ෆැෂන් බග් ද? හැක් හැක්.. අත නෝ ලිමිට් ද?"

ජාතිවාදී ගින්නට අනෙක් උන් කින්ඩි හිනා පිදුරු දාන්න පටන් ගත්තා. සොරායා තාමත් ඉන්නෙ එක එල්ලෙ බිම බලාගෙන... ගෝත්‍රික සිදුවීම් දරාගෙන... මොහොතකින් සමියාගෙ කට ඇරෙනවා.

"තත්පරේ උඹ පලයන්.. අපි මෙයාව යවන්නං තව ටිකක් චූන් කරලා... නංගි.. තාත්තගෙත් අග හිඟයි ද? හහ් හහ් හා..."

මගේ ඉවසීම තව දුරටත් ඉවසීමක් නෙමෙයි.

"යකෝ... තුප්පහිකමටවත් වැදගත් කමක් තියාගනින්. උඹලා මෙහෙම කරපන්. හලාල් වර්ජනයට කලින් 'බුද්ධං සරණං ගච්ඡාමි' වර්ජනය කරපල්ලා. දන්සැලෙයි පින්කමෙයි හැම රෙද්දෙම ඕක දෙසන්නෙ අල්හාජ් මොහිදින් බෙග්." 

"තොපේ ජාතිවාදී හොද්දට ඒවා හලාල් නැද්ද?"


- සතියක් ඉවසන්න -


කසුන් මහේන්ද්‍ර හීනටිගල.



Previous
Next Post »