දරුවගෙ කඳුළ හිනාවක් කරලා තමන්ගෙ හිනා කඳුළු කරන්න පුළුවන් අම්මලා තාත්තලාට විතරයි! (සිව්වන හෝඩිය.)

දරුවගෙ කඳුළ හිනාවක් කරලා තමන්ගෙ හිනා කඳුළු කරන්න පුළුවන් අම්මලා තාත්තලාට විතරයි! (සිව්වන හෝඩිය.)






සිව්වන හෝඩිය.


හා හා පුරා කියලා ඇස් අරින මුල්ම මොහොතෙ, මොන සක්කරයා වුණත් ජාතියක් ආගමක් අරගෙන එනවද ? ඉපදිච්ච ගමන් දෝතින්ම ගේන්නෙ හැඬුම් පදාසෙකුයි ලේ කැටියකුයි විතරයි. දරුවගෙ කඳුළ හිනාවක් කරලා තමන්ගෙ හිනා කඳුළු කරන්න දෙයියන් වහන්සේට බැහැ ; එහෙම පුළුවන් අම්මලා තාත්තලාට විතරයි! ඒකට සීත මාළිඟා අවශ්‍ය නැහැ. හුස්ම වැටෙන්නෙ - හුස්ම ගැහෙන්නෙ - හුස්ම යන්නෙ එකම තැනෙකින් නම් කුසුමකට - පුසුඹකට චරිත සහතික මොකටද ? අධිපතිවාදී වහල යට ' සුළුතර හදවතක් ' තැලෙන්නෙ පොඩිවෙන්නෙ මොකටද ? දුක,ඉවසීම මැද්දෙන් කෘන්තක, රදනක අස්සෙන් මං මගේ කෝපාග්නිය ඒ විදිහට පිට කළා. වචනයක් වචනයක් පාසා සොරායා දිහා නොබලා ඉන්න ඇස් දෙකට පුළුවන් කමක් නැහැ. කෙල්ල නම් මේ මොහොතෙ දශමෙකින්වත් ' අක්ෂි සමාධියට ' සූදානම් නැහැ.

තැටිය රත්වෙච්ච එසැණින් රොටිය පුච්චගන්න මෝරාට තියෙන්නෙ තදබල ඇම්මක්.

" තත්පරයා, උඹ කවදා ඉඳන්ද ගෑනු පිරිමි මල් පලතුරු ජාති ජාති තෙමන්න ගත්තෙ ? හෙහ් හෙහ් ... "

" මට උඹ එක්ක කතාවක් නැහැ. දවසින් දවස වලපල්ලට යන කැම්පස් ඇතුළෙ ඒවට තුන් මාස දාන දෙන්නෙ උඹලා... අලුත් නැවට හරි පූර්වාදර්ශයක් දියන්, එක එකාගෙ පදේට කඩේට දුවන චූන් චෑන්ලා නොවී. "

" හොඳමයි ස්වාමීනි... අනේ යකෝ... උඹේ පාට් දාපන් ගිහින් රතු පාට තැන් වල. එව්වට මෙහෙ ස්පේස් නතින්ග්."

මෝරා ඉන්නෙම පැටලිලි ස්වර අතරෙ පිනුම් ගහන්න බලාගෙන. දිනුම් කණුවක් අනවශ්‍ය මොහොතක වුණත් පරාජය පේනතෙක් මානෙක නැහැ.

" සොරායා.. දැන් ඔයා යන්න. මෙහෙ ලෙක්චර්ස් දෙන්නෙ ජාතිවාදී හාල්පාරුවො නෙමෙයි. ඒවට කට්ටිය ඉන්නවා. ජීවිතේ ඉගෙන ගන්න සහෝදර සහෝදරියො ඉන්නවා. "

මෝරාගෙ මුහුණ රළු වුණා. සමියා හාවක හූවක වෙනසක් නැතුවම කතාවට එන්ටර් වුණා.

" හහ්.. තත්පරේ, දැන් ඇති. උඹ ඇණ නොවී දැන්වත් පලයන්. අපි මෙයාගෙන් චූන් වෙන් නෑ, චූන් කරනවා විතරමයි. නේද නංගො ? "

සොරායා තවමත් ඉන්නෙ එක තැන. එකම ඉරියව්වෙන් ; හිටපු විදිහටම. ඒත් එක එක සිතුවිලි අහුල අහුල වෙන්න ඕනි. මගෙ බැරියර් නැති හෝඩියට රිවර්ස් නැහැ.

" සොරායා, මං දැන් කී සැරයක් කිව්වද ළමයො... යන්න."

ඒ වතාවෙ විධානයක් හැටියට කටින් පිටවෙච්ච ස්වර තන්තුවට සොරායා අවනත වුණා. ඒත් ජාතිවාදී ගින්න තව දුරටත් ඇවිලෙනවා. එපමණයි! සොරයාගෙ ඉස්සරහට පැන්නෙ මෝරා.

" නංගි.. මේ අහනවා. වාත කාලෙ වාත විදියට ඉන්නවා. සින්නන්ට ඕනි හැටියටයි අඳින්න කරන්න යන්න එන්න ඕනෙ.. හරි.. මේ ෂෝල්ලෙක ඔළුවෙ ඔතාගන්නවා. "

ඒත් එක්කම කළු පාට මෝර අත් සුදු පාට ෂෝල්ලෙක ඉස්මත්තෙ පතිත වුණා. හිත මැද්දෙ තැන් ගොඩක නලියන - තෙරපෙන - ආදරය සීමා මායිම් නොතකා එළියට පනින්නෙ කඩාගෙන බිඳගෙන... හැඟීම් දරාගෙන... ඉවසීම මරාගෙන.... ගතවුණේ මොහොතයි. සැණින් මගෙ සුරතෙ එල්ලුණ පහරින් මෝරා අඩියක් හමාරක් පස්සට ගියා. සමියයි, ගෝල බාල රංචුවයි මගෙ වටේ රැස්වුණා. හරියට පුපුරු ගහන ඇස් අස්සෙන් උගුලකට අහුවුණ සතෙක් පතුරු යවන්න වගේ. බයවෙච්ච බයවීම කොච්චරද කියනවා නං සොරායා එකම තැන ; ඉද්ද ගැහුවා වගේ.

" උඹ මොකාද යකෝ මට අත උස්සන්න... "

මෝරා එකවර ආපස්සට හැරිලා මගේ ෂර්ට් කොලරයෙන් අල්ලගත්තා. මං මෝර අත අහකට කරන්න යද්දිම සමියා තැන්නට පැන්නා.

" නවත්තපන් මෝරා... තත්පරයා, ඉලාස්ටික් පටියක් හින්දා ගෙම්බෙක් වෙන්න හදන්නෙපා... අපේ ආතල් අපිට ගන්න දීපන්. අපි උඹලගෙ ආතල් කුඩු කරන් නෑනේ. අපි එක්ක හැප්පෙන්නෙපා, උඹව ඇක්සිඩන්ට් වෙයි."

මගේ පිපිරුම් විසිරුණේ ඇස් දෙක ඇතුළෙන්. ගින්දර වුණත් එච්චරට ගිනියම්ද කියනෙක ප්‍රශ්නයක්.

" මට ඕනි එකෙක් එක්ක මං හැප්පෙනවා... හැබැයි, "

මං මෝරා දිහාට ඇස් හප්පලා, සොරායාගෙ අහිංසකකමේ ඇලිලා - ගැලිලා - වෙලිලා දෙබස සැපිරුවා.

".... කබ්බොත්තෙක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. "

ඊළඟ විනාඩියෙදි මිට මෙලවිච්ච අත මොහොතකට අහක දාලා - ශරීර උෂ්ණත්වය පහත හෙළලා මං ෂර්ට්ටෙක හදාගත්තා.

" මේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් චාන්ස්... තමුසෙට ආයි කියන් නෑ. ඇළ කන්ඩියෙ සීන් එහෙ තියාගනින්. මෙහෙට අදාළ නැහැ. "

මෝරා තව තවත් ඇරියස් කවර් කරන්නෙ සොරායා දිහා බල බල - මට බැන බැන. ඉතින් ඉවසන්නෙ කොහොමද ?

" මං කලිනුත් උඹලා සේරටම කිව්වනෙ.. ජාතිවාදී හැතිකරේ... ආයි කියන්න තියන්නෙපා.... සොරායා, අපි යමු. "

මගේ හඬ පරාසයෙන් - ගිනියම් වෙච්ච ක්ෂණයෙන් කෙල්ල ඉදිරියට! සමියා ඇතුළු රංචුව තාමත් බලන් ඉන්නෙ රවාගෙන, උන් උන්ම දවාගෙන...ජිම්මෙක ඉස්සරහ නමිනං ගහ බලාගෙන ඉන්නෙත් ගෙඩිපිටින් විස්තර අහන්න වගේ.... මං අහක බලාගත්තා.

මහ වැස්සක් වැහැලා වැහැලා පෑව්වා වුණත් වෙලාව ඉන්නෙ එයාගෙ ගමනෙ... ඒ අතරෙ සොරායාගෙ - මගේ අඩි පරතරය ඇස් වලින් තීරණය වෙනවා. කෙල්ල තවමත් නිස්සද්දයි. කතාව පටන් ගන්න කලින් ඇස් කොනින් මං ඒ සුන්දරත්ව පිදුම ඉඹිනවා. සැණින් - එසැණින් බැල්මක කැල්ම සමපාත වෙනවා.
ලේඩීස් ෆස්ට් වෙනුවට ද්වි පුද්ගල කැළඹීම සැට් වෙනවා.

" සොරායා... ඔයා ඕවා ඔළුවට ගන්නෙපා... කැමති විදියකට මේක ඇතුළෙ ඉන්න පුළුවන් ඕනිම කෙනෙක්ට... මෙහෙ ලෝඩ්ලත් නෑ - ගෝඩ්ලත් නෑ. "

" අ.. අ.. අනේ.. මඳහස් අයි..යෙ..සොරී.. මං හින්දනෙ අයි..යට යාළුවො එක්ක ප්‍රශ්න ඇතිවුණේ. "

කෙල්ලගෙ ඒ යටහත් පහත් හරවත් බැල්ම ප්‍රේමණීය කැල්මක් වුණා නම්..... පරතර එක්ක වුණත් සමාන්තරව ඇදෙන ගමන මගේ අතේ එල්ලෙන ජීවන ගමනක් වුණා නම්... ප්‍රශ්න පිට ප්‍රශ්න එන ජීවිතේට " එකතු වෙලා උත්තරයක් හොයමු " කියනවා නම්....... සිතුවිලි කන්ද මොහොතින් මොහොත ගොඩනැඟෙනවා. ඒ දෑස දකින වාරයක් වාරයක් ගානෙ වේදනා චේතනා කඩාගෙන වැටෙනවා.

" යාළුවො තෝරගනිද්දි පරිස්සං වෙන්න වෙනවා සොරායා.... එෆ් බී එකේ හිටිය පලියට, ලයික් කමෙන්ට් කෙරුව පලියට, සැට් වෙමු කිව්වට හරිම යාළුවො අඩුයි. ඇමක් බලාපොරොත්තුවෙන් ඉන්න මාළුවො වැඩියි. ඔය හිටියෙ යාළුවොත් නෙමෙයි - මාළුවොත් නෙමෙයි, හාල්පාරුවො. "

" ම.. ම.. මං හුඟාක් බය වුණා අයි..යෙ.."

කතාවෙන් කතාව ලතාවෙන් ලතාව අපි නාඩගම හරියටම ඇවිත්. සමුදීමකට තාම හමුවීම අකැමැතියි.

" මුලින්ම මොකද වුණේ සොරායා... ඔයා ඇයි එතැන නැවතුණේ ? "

" න්..නෑ නෑ.. මං කතාවට ගියෙ නෑ අප්පා. බ..බලෙන් මාව නවත්තගෙන බයිට් කළා.. කොහොමද පැනලා එන්..නෙ.. ටික වෙලාවකින් තමයි අයි..යා ආවෙ "

කෙල්ලගෙ කටින් තාමත් වචන පැටලෙනවා. සිංහල වචන සුමට කරවන ඒ ඉස්ලාම් තාලයට මං ඉතසිතින් ආදරෙයි. හැම වදනක්ම හරිම සුමුදුයි..සිනිඳුයි. හරියට ශ්‍රෙයා ගෝෂාල් එක්ක සෝනු නිගම් කියන සින්දුවක අතින් අල්ලන්න පුළුවන් සොෆ්ට් ගතිය වගේ.

" මට ටිකක් කතා කරන්න ඕනි සොරායා.. ම්.. මෙහෙම නෙමෙයි... නිදහසේ.. "

කෙල්ල ගැස්සුණ තිගැස්ම හුස්මක් වෙලා සුළඟේ වැනෙනවා. සුළං කිරිල්ලියො තටු පිරිමදිනවා.

" ඇ.. ඇයි.. අයි.. යෙ.. ආයෙ ප්‍රශ්න ඇති කරගන්න නම් එපා. "

එන්.එල්.ටී හෝල් එක ඉස්සරහට ආවත් ' දැන් යන්න සොරායා ' කියන්න හිත අකැමැතියි... නෙත කම්මැලියි. දවස් ගාණක මගේ දෙගිඩියාව වදෙන් - පොරෙන් - තදින් එළියට පනිනවා.

" ඇයි සොරායා ගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ ? "

ප්‍රශ්නෙට උත්තරේ ගැළපුවෙ හුඟ වෙලාවක් හැංගි මුත්තං කෙරුව සොරායාගෙ මන්දස්මිතය ; මඳහස!

" නුවර ගියා "

ෂෝට් ඇන්ඩ් ස්වීට් ඒ උත්තරේ ඇතුළෙ හැමදේම තිබුණා කියලා මට හිතුණා. දවස් ගාණක් නාව එක, හෙම්බිරිස්සාව වගේ ගතියක් කටහඬේ තැවරිච්ච එක, කොළඹ දුහුවිල්ලෙන් රත්වෙච්ච මුහුණ කල එළි වැටිලා පිරිච්ච එක.... ඉතින්, තවත් මොනවටද හේතු ?

" දැන් තියෙන ලෙක්චර් එකට මං යන්නං අයි..යෙ.."

ඒ හඬට මට කලින් සවන් දෙන්නෙ - උත්තර දෙන්නෙ හෘද සාක්ෂිය.

" එපා..."

" ඇ.. ඇයි..අයියෙ "

" යන්න... ගිහින් එන්න. "

සොරායා මුකුත්ම නොකියා කට කොනින් නිර්ලෝභී හිනාවක් තෙරපුවා. චුට්ටක් හැරිලා,ෂෝල් එක හරි ගස්සගෙන ඉදිරි පියවර ගැළපුවා. මනෝලෝකෙක තියෙන යථාවාදය හැමෝටම දැනෙන් නැහැ කියලා මං අහලා තියෙනවා. මේ ඒ වගේ දැනිච්ච මොහොතක්!

එක පිට එක අසයිමන්ට් වැටුණ අධ්‍යාපනික අවකාශයක - නොනවතින ගැටුම් විතරක් උරුම සමාජ අවකාශයක - මහ දෑත අනෙකාව උඩ පැන පැන තලන අදේශපාලනික අවකාශයක " ස්නේහයේ අවකාශයකට " අවශ්‍ය අනුභූතියෙන් මනස කිමිදෙනවා... දිය බිඳක් හොයන පට්ට පිපාසෙ සහරාවට වඩා අව්ව උරුම දිවි කතරෙ කෙටි දුර දුවනවා. කෝටියක් ප්‍රශ්න ජාතක කරලා දවස්, ඇස් තදින් පියාගන්නවා. ස්වර්ණ පාරට හැරෙන ඉක්මනින් අඳුර මැද සේයා ගත වෙන්නෙ සුද්දා ; මැක්සියගෙ පණ.

" මඳයා... ඔය දැන්ද එන්නෙ..."

" ඔව් බං.. කොහොමද තාත්තට ? "

සුද්දගෙ කතා විලාසෙ මැක්සි අන්කල්ගෙ තාලෙට ගොඩක් ළඟයි. වෙනසකට තියෙන්නෙ මැක්සිගෙ පිනැති නල දත වෙනුවට සුද්දගෙන් මතුවෙන ' ඩ්‍රකියුලා දන්ත ධාතුව ' විතරයි.

" අදත් රස්තියාදුව බං..දවසම ඉස්පිරිතාලෙ.. දවාලෙ යන්තං සිහිය ආවා. මූ හිනාවෙනවා.. අපිට ඇඩෙනවා ඕයි...හහ් හහ් හහ් "

සුද්දා කියන්නෙ හැබෑවක්. හැබෑවකිනුත් හැබෑවක්! මේ දෙන්නා අතරෙ ' තාත්තා - පුතා ' කියලා බොරු සුචරිත කුහක පරතර නැහැ. මැක්සියා අඩියක් ගැහුවත් - කංසා සාත්තුවක් දැම්මත් - එගොඩහ ගෑනියෙක් පස්සෙ ගෑටුවත් සුද්දට හංගන්නෙ නැහැ. මෙච්චර දේවල් අපිත් දන්නවා නං, ඒ තාත්තා තමන්ගෙම පුත්‍රයා එක්ක මොන තරම් සමීප ඇත්ද ?

" උඹලා වන්දියක් ඉල්ලන ලයින්නෙකක ඉන්නවද ? "

සුද්දා ඩ්‍රකියුලාවෙන් සිනහවක් කරළියට ගේනවා.

" වන්දි ? උඹ මඟුලක් කියනවා.. හරි හමන් හන්දියක්වත් නැතුව අපිට උසාවි ගාටන්න පුළුවන්ද බං ? හහ් හහ්.. මෙහෙම කරමු. "

" කොහොමද ? කියපන්. "

" උඹ කළු කබායක් දාගත්තු දවසක ඕකා ඔන්න දෙකක් දාගෙනම විත්ති කූඩුවට නගින්න අහයි.. අපේ එකාටද ප්‍රශ්න නැත්තෙ... "

සුද්දා ' මූ ' කියන්නෙත් - ' අපේ එකා ' කියන්නෙත් - ෆිට්ටෙක - බොක්ක - ලොක්කා කියන්නෙත් තාත්තට!

කලින් දා කඳුළු පහුවදා වෙනකොට නිවෙන්නෙ ඒ අති මිත්‍ර සෙනෙහසින්... වේදනාවෙන් ගිගුම් දෙන පපුවක් මැද්දට හරියටම ඇල්කොහොල් දෙතොලක් චුම්බනය වුණා වගේ. පිච්චීමක් එක්ක නිවීමක්!

------------------------------*--------------------------------------------*-------------------------------*--------------------------------------------------*------------

මේ අලුත් දවසක්. අසයිමන්ට් ලෝකයක හිරවෙච්ච සරසවි ගෝලයක්. ඒ හින්දම හුරුපුරුදු පුරුද්දක් නොවුණත් මං ලයිබ්‍රියට ගෑටුවා. අහා! මහාප්‍රාණ පොත් පත් අතර හිඩැස් මත්තෙන් මැවෙන්නෙ ' සප්‍රමාණ ප්‍රේමියක්'.. එතැන ඉඳන් දුක්ඛ දෝමනස්ස නිෂ්ප්‍රමාණයි.

" ආ... සොරායා... මොකක්ද හොයන පොත ? "

" අයි..යේ..අර ෆාදර් නොයෙල් ඩයස් ගෙ .. අර ... "

" ආ... ඉන්ටර්නැෂනල් කම්පරේටිව් ඇන්ඩ් හියුමන් රයිට්ස් ලෝ .... ඒ පොතනේ "

" ඔ..ඔව්.. අන්න හරි අයියෙ ... මෙතඩ් වල වැඩකට."

හැම මොහොතකම ප්‍රේමයට ඉඟි මරන්නෙ වචන එක්ක උඩ පනින හිස් - ඇස් වහන බස් - වස් වදින්නැති ඇස් .......

" ඒක මගේ ළඟ තියෙනවා.. ගෙනත් දෙන්නං සොරායා. "

මහමුදලිකම වෙනුවට මං පණ්ඩිතකම පාවිච්චි කෙරුවා. ඒක ඉස්කෝලෙ අවධියෙ ඉඳන් පුරුද්දක්.

" හා.. හරි අයි..යෙ. මේවත් සිංහල වගේ රහ වුණා නම් ? විඳින්න තිබ්බා නම් ? නේ..ද අයි.යෙ.. "

" තියරි විතරයි නංගි. විඳිනවා තියා දශමෙකින් කරනවත් බොරු. ' නීතියේ ආධිපත්‍යය - සමානාත්මතාවය - වධ හිංසාවට එරෙහි වීම් ' පොත් වල වචන විතරයි. පොළොවට තහනම්. "

මගේ ප්‍රකාශ අතරෙ සොරායා කාටද අතින් ඉඟි කරනවා.

" ඇයි නංගි ... යන්න ඕනිද ? "

" න්..නෑ නෑ.. මං යාළුවෙක් එක්ක ආවෙ අයියෙ. ටැමිල් මීඩියම් එකේ අස්රා. එයාට යන්න කිව්වා. "

" ආහ් එහෙමද.....? ඉතින්... සොරායා කවි කියවනවද ? "

" ඕ..ඕ.. හුඟාක් කියවනවා අයියෙ... ටැමිල් පොයම්ස් - සිංහල පොයම්ස් - ඉන්ග්ලිෂ් පොයම්ස්.. ඕනිම ලස්සන කවියක් "

" ෂා.. මරු! කවුද ආසම සිංහල කවියා ? "

මොහොතක් ගෙවෙනවා. ඒ සොඳුරුතම දෙතොළඟට අවැසි පිළිතුර උනනවා.

" ම්ම්.. රත්න ශ්‍රී... මගෙ බිසවුනේ අසාපන්.. "

" හ්ම්ම්... ' බුදු වෙන්න ඕනි නුඹලා - මට නිවන් මඟ කියල්ලා '

මං ඒ කවේ මාව ටච් කරන තැන අවුස්සනවා. මොහොතකින් සොරායා මාව අවුස්සනවා.

" එතකොට අයි..යා ආසම කවියා ? "

මගේ පපු ගැස්ම ආශ්වාස ප්‍රශ්වාස වෙන්නෙ සීරුවට.. පරිස්සමට.. දීර්ඝ හුස්මක් හරිම පිළිතුරෙන් මට දමලා ගහනවා.. මං උත්තරේ අල්ලලා හෙමීට සොරායාට පුදනවා.

" මේ කවි පද ටික අහගන්න සොරායා... පිස්සු හැදෙනවා.. "

" කුරුල්ලෙක් වී මං
ඔබේ හද මත වසා
ඉකිගසා හඬන්නම්
එවිට ඔබ
ගල් පතුරකින් මට
නොගසන්න.

නාඳුනන ඇස් නිදන
පොදු සොහොන් බිම පියස
පර නොවෙන මලක් වී ඉපදෙන්න
ඉතින් මට ඉඩ දෙන්න
ඉඳහිට ඇවිත් මා දෙස බලා
කඳුළු බිඳුවක් රැගෙන
යළි සෙමෙන් නික්මෙන්න. "

සොරායා ඉන්නෙ එක එල්ලෙ මුවැත්තියක් වගේ කාව්‍ය ධ්‍යානයට සම වැදිලා.

" වා...ව්.. කවුද අයි..යෙ ඒ කවියෙ කවියා ? "

" ඕක ලියන්නෙ ' චන්ද්‍ර කුමාර වික්‍රමරත්න'. ගොඩක් අයට ' චන්දරේ.' මට නං ' කුමාරයා '. ඒ හැබෑම මනුස්සයෙක් සොරායා. 91න් පස්සෙ කුමාරට වෙච්ච දෙයක් නැති වෙනවා.. ඔය අපි ඉපදෙන්නත් කලින්. ඉතින් මං දන්නෙ ඒ ටික විතරයි! " 



- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.



Previous
Next Post »