ඔන්ලයින් හදවත.

ඔන්ලයින් හදවත.



සත් වසරක් තිස්සේ සිරගත කෙරූ සං මිත්‍ර හදවතට... 



ඔන්ලයින් තිත් අසල 
ඔන් නොවන සිත් අතර 
ජීවිතය අත් දෙකෙන් උස්සගෙන 
හදවතක් චැට් කරයි ඇස් දෙකට.

සියුම් දේවල් දැනෙන තැන්වල මෙම ගැඹුරු දෙනෙතා 
'පිච්චෙනවා බං' මගේ පපුවම කියනවා කොඳුරා 
අච්චු ලේබල් යොවුන් මැදියම පුරා තනි රකිනා 
ඇස් වසා නොව අස්වසා ඔහු දකිනවා ස්වප්නා

ගව් ගණන් දුර පෙනෙනවා ඉතාමත් ළඟින් 
මව් සඳක් එබෙනවා අත ගගා - අත දුරින් 
කව් සිඹින්නට තවම ආසයි බිඳුණු අත්තටු අගින් 
ලව් කරන්නට මටත් පුළුවන්! තටු ගසයි දුක මැදින් 

එක් දිනක්වත් නිදොස් නැතුවම 
සදොස් රටකට පිටස්තරයෙකි 
තුවක්කුවකින් සිහින දුටුවම 
සත් වසක් ලෙස නින්ද හිමි නැති 
මවකගෙන් තම එකම වස්තුව උදුරගෙන ඇති 
බිමක් කුමකට මලක් නොමැතිව අර්ථයක් නැති!

සහෝදරයා, උඹට කොහොමද එළියෙ කොහොමද අහනවා 
මෙහේ උන් හරි ළෙන්ගතුයි බං අපිට කැමතියි කියනවා 
මේසෙ විසිරුණ නීති පොත පත පෝළිමට මං වහනවා 
මෙහෙම මිනිසුන් උදෙසාද ? අණපනත් ඉර ඉර දමනවා 

ෆෝන් එක යට සඟවගෙන - දාර සෙනෙහස හකුළගෙන 
උතුරු හදවත් වැළඳගෙන - කඳුළු කැටයක් අතට ගෙන 
අන්ධකාරෙන් පසුව එන සහන් එළියක් අල්ලගෙන 
සහෝ,අපි මුණගැහෙමු වැලිකඩින් හරි එල්ල ගෙන...




කසුන් මහේන්ද්‍ර හීනටිගල.

Previous
Next Post »