මට මිලිටරික යක්‍ෂයෙකු පෙනේ. (පිටස්තරයා - 4)

මට මිලිටරික යක්‍ෂයෙකු පෙනේ. (පිටස්තරයා - 4)




ම ඉපදුනේ 1983 තුන්වෙනි මාසෙ විසිහතර වෙනිදා. මම ඉපදිලා මාස කිහිපයකට පස්සෙ තමයි කළු ජූලිය ඇති වෙලා තිබුණේ. ඒ වෙනකොටත් මම රටේ පුරවැසියෙක් වුණාට මට ඒකට වගකියන්න බෑ. ඒ ජූලි කලබලවලින් ලාංකේය අහස් කුස පුරාවට නැගුණු ඒ අන්ධකාරය මගේ ජීවිතය තීරණය කිරීමේදී ලොකු බලපෑමක් කළා. අපේ රටට අවුරුදු තිහක යුද සාපයක් ගේන්න උතුරේ ද්‍රවිඩ සංවිධාන පෝෂණය කළේ ඒ ජූලි මාසෙ ඇතිවෙච්ච අඳුරු සිදුවීම. ඒ කාලෙ මම පුංචි හින්දා මට ඒක දැනුනෙත් නෑ. තේරුණෙත් නෑ. හැබැයි අද මට ඒක දැනෙනවා. තේරෙනවා. කොහොමත් පුංචි මිනිස්සුන්ට දේශපාලනේ දැනෙන විදිහයි ලොකු මිනිස්සුන්ට දේශපාලනේ දැනෙන විදිහයි වෙනස් කියලා දැන් මට තේරෙනවා. පසුගිය දින අලූත්ගම ජූනි කලබලවලදීත් පොඩි මිනිස්සු මැරුණට ලොකු මිනිස්සු මැරුණේ නෑ. එකම ආණ්ඩුව ඇතුලේ හලාල් දෙන අය ඉන්න ගමන් ම ඒකට විරුද්ධ අයත් එක්ක ලස්සනට දීග කනවා.

මං හිතන්නේ ඒ වෙනකොට මට අවුරුදු 10 යි. මම දේශපාලනිකව වැඩිවියට පත් වුණේ 1993 දී. ඒ පේ‍්‍රමදාස මහත්තයගෙ මරණෙත් එක්ක. අපේ තාත්තා දුක් වුණා. ඉස්සරහ ගෙදර ආච්චි ඇඬුවා. ඒ අතරේ එහා පැත්තෙ ගෙදර අය රතිඤ්ඤා පත්තු කළා. දේශපාලනය එකෙකුට ආතල් එකක් දෙනකොට තවෙකෙකුට වේදනාවක් කියලා දැන ගත්තේ එදා. මගේ ජීවිතේ පළවෙනියටම දැනිච්ච ලොකුම දේශපාලන සිදුවීම ඛේදවාචකයක් හා මානසික වින්දනයක් අතර මාව දෝලනය කළා. පේ‍්‍රමදාස මහත්තය මැරුවේ ප‍්‍රභාකරන් කියලා හැමෝම කියන්නත් පෙර මම ප‍්‍රභාකරන් ගැන දැනගෙන හිටියා. හැබැයි ප‍්‍රභාකරන් දැනුණේ පේ‍්‍රමදාස මරා දැමීමත් එක්ක. ඊට පස්සෙ ජනාධිපති වුණේ ඞී.බී. විජේතුංග. ඒ අතරෙ ගොඩාක් කට්ටිය කිව්වෙ නම් රට බේරගන්න විහාර මහා දේවි ආවා කියලා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආගමනය. ඒ කාලෙත් අර ප‍්‍රභාකරන් කියන මිනිහ ලංකාවෙ හිටියා. චන්ද්‍රිකා ජනාධිපතිනිය ප‍්‍රභාකරන් එක්ක සාකච්ඡා කළේ මුළු රටේම ප‍්‍රශ්න ඒ සාකච්ඡාව තුළින් විසඳන්න බලාගෙන. මං හිතන්නේ ඒ වෙනකොට මගේ වයස අවුරුදු 11 යි. ඊට පස්සේ අවුරුදු 9 ක් ම හොඳත් නැති නරකත් නැති දේශපාලනයක මගේ ජීවිතේ ගෙවුණා. ඒ අවුරුදු 9 ම ප‍්‍රභාකරනුත් හිටියා. ඊට පස්සේ අවුරුදු දෙකකට රනිල් වික‍්‍රමසිංහ බලයට පත් වුණා. එතකොටත් ප‍්‍රභාකරන් හිටියා. සාකච්ඡාත් පැවැත්වුවා. ඒත් මොකුත් වුණේ නෑ. එතකොට මගේ වයස අවුරුදු 22 යි. එතකොට මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ. ඒ අතර චන්ද්‍රිකා දේශපාලනයෙන් විතැන් වුණේ විහාරමහා දේවිට චෞර රැජිණ ආදේශ කරලා. තවත් අවුරුද්දක් ගිය තැන මහින්ද රාජපක්‍ෂ මේ රටේ මුල් පුටුවට ආවා. එතකොටත් ප‍්‍රභාකරන් හිටියා. ඒත් අවුරුදු 4 ක් ගිය තැන නන්දිකඩාල් කලපුවෙන් ප‍්‍රභාකරන්ගෙ මිනිය හොයාගත්ත කියල කිව්වෙ ස්වර්ණවාහිනියෙන්. ඒකට කිව්වේ මානුෂීය මෙහෙයුම කියලා. එතකොට මගේ වයස අවුරුදු 27 යි. දැනට මාස කිහිපයකට ඉස්සෙල්ලා ප‍්‍රභාකරන් මරා දැමීමේ උත්සවෙත් මාතර දි සැමරුවා. දැන් ප‍්‍රභාකරන් නෑ. දැන් මගේ වයස අවුරුදු 31 යි. මම දැන් දෙදරු පියෙක්. 


ශ‍්‍රි ලාංකේය දේශපාලන සමාජයේ බහුතරයේ දේශපාලන ෆැන්ටසිය වූයේ ප‍්‍රභාකරන් මරා දැමීමයි. ප‍්‍රභාකරන් මරා දැමිය යුත්තේ ඇයි? එයට බලපාන සරල හේතුව වූයේ ප‍්‍රභාකරන් මිනීමරුවෙකු වීමයි. ගැඹුරු හේතුව වූයේ මේ රටෙන් කොටසක් ඉල්ලා සිටීමයි. මධ්‍යස්ථ හේතුව වූයේ ලංකාවේ සමාජයේ පවතින සියලූ වැරදි නිවැරදි කර සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමට පවතින එකම බාධාව ප‍්‍රභාකරන් වීමයි. දෙකොනෙන් පත්තුවන විලක්කුවක් අතට ගෙන පේ‍්‍රමදාස බලයට පත්වූයේ ද ප‍්‍රභාකරන් වඳ කිරීමටයි. චන්ද්‍රිකා ආගමනය සිදු වූයේ ද ප‍්‍රභාකරන් පරාජයට පත් කිරීම අරමුණු කරගෙන දූෂණය, භිෂණය නැති රටක් බිහි කිරීමටයි. මේ අනුව චන්ද්‍රිකාගේ කාලෙත් පොදු සතුරා ප‍්‍රභාකරන්. හැම ප‍්‍රශ්නෙකටම හේතුව ඔහුයි. වන්නියේ බංකරයක් ඇතුලෙ සිට ශ‍්‍රී ලාංකේය සමාජයට කරන විණ නැවැත්වීමට සාමයෙන් හෝ ඔහු පැරදවීම අරමුණු කරගෙන රනිල් බලයට පත් වුණා. 2005 දී මුහුණට මුහුණ ම සාකච්ඡුා කොට මේ රටට විණ කරන මේ ත‍්‍රස්තවාදියා මාතෘ භූමියේ නාමයෙන් පරාජයට පත් කිරීමට සපථ වෙමින් මහින්දාගමනය සිදුවුණා. හැම කාලෙක ම ශ‍්‍රී ලාංකේය සමාජයේ මානසික වින්දනය, විනෝදය නැති කරන මාරයා ප‍්‍රභාකරන් වුණා. දැන් ඒ ප‍්‍රභාකරන් නෑ. ඒත් ප‍්‍රභාකරන් මළ දා කිරිබත් කමින් සංතෘප්තියේ උපරිම තලයට පැමිණී ශ‍්‍රී ලාංකේය සමාජය මුහුණ දෙන ගැටලූ තවමත් පෙරට වඩා මෙරට වෙලාගෙන ඇත. දූෂණය, වංචාව, නාස්තිය අකාර්යක්‍ෂමතාවය මෙරට සැබෑ ත‍්‍රස්තවාදය බවට පත්වෙලා.

ඉතිහාසය, ඉතිහාසයට එක් වී හමාර ය. අපට ප‍්‍රශ්න විසඳා ගැනීමට ඇත්තේ බණ්ඩාරනායකගෙන් හෝ ජේ.ආර්.ගෙන් නොවේ. අපේ ප‍්‍රශ්න විසඳාගත යුත්තේ වර්තමාන පාලන තන්ත‍්‍රයෙනි. ඒ සඳහා එය සූදානම්ව නැත. ජාතික ප‍්‍රශ්නයට සාමකාමී විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් ව ඇත. වර්ගවාදය, ආගම්වාදය මත කුණු වී ඕජස් ගලන සමාජයක් මෙරට ගොඩනංවා ඇත. ජයග‍්‍රහණය අත්පත් කරගත් සෑම මොහොතක ම ඊට වඩා පරාජයන් මෙරටට උරුම කර දී ඇත. නීතියේ ආධිපත්‍යයට පයින් ගසා සමාජ සාධාරණත්වය බිඳ දමා ඇත. ඇමතිවරු ප‍්‍රසිද්ධියේ දූෂිතයන් බවට පත් වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රාමුව විනාශ කර ඇත. යළි යළිත් බලයට පත්විය නොහැකි ආකාරයට ජේ.ආර්. ද දැමූ සීමා කඩා සුණු විසුණු කර ඇත. බලයේ මහත්තත්වයෙන් ඉදිමී ඇත. මගේ ඉතිහාසයේ දී ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ හිතාගතවත් නොහැකිව තිබූ බොහෝ දේ සිදුවිය.

උදාහරණ: 

  • මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීම. 
  • රනිල් වික‍්‍රමසිංහ පරාජයට පත් වීම. 
  • කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. යෙන් ඉවත් වීම. 
  • කරු ජයසූරිය යූ.එන්.පී. එකෙන් ඉවත් වීම. 
  • විමල් වීරවංශ ජේ.වී.පී. එකෙන් ඉවත් වීම. 
  • සරත් ෆොන්සේකා දේශපාලනයට පැමිණිම. 
  • ජේ.වී.පී. එක සහ යූ.එන්.පි. ය එක වේදිකාවක හිටගැනීම.
  • ප‍්‍රභාකරන් මරණයට පත් වීම. 
  • සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ ආණ්ඩුවට මන්ත‍්‍රී ධූර 144 ක් ලැබීම.


ඉහත සියලූ අවස්ථා ලාංකේය දේශපාලනය තුළ සිදු වූයේ කෘත‍්‍රීම දේශපාලන පරිසරයක ය. ඉදිරියට එන්නේ ස්වභාවික දේශපාලන පරිසරයයි. ඒ තුළ සිදු වන්නේ විය නොහැකි දේ නොව විය හැකි දේ ය. එම නිසා ප‍්‍රභාකරන්ගේ ජීවිතය හා මරණය උඩ පමණක් දේශපාලනය කරන බලැත්තන් ස්වභාවික ව්‍යවසනයකට ලක්වීමට ඉඩ ඇත. එවිට මෙතෙක් විඳි ප‍්‍රමෝදය සුණු විසුණු වී යනු ඇත. බලය අත්පත් කර ගැනීමේ වින්දනය වෙනුවට බලය අහිමි වීමේ බියෙන් පෙළෙනු ඇත. නමුත් ඔවුන් බලය අත් නොහරිනු ඇත. සරසවි ශිෂ්‍යයින්, පාසල් විදුහල්පතිවරුන් පවා මිලිටරීකරණයට ලක් කරමින් මේ සිදුකරන්නේ බලය අත්හැරීමේ ව්‍යාපෘතිය නොව බලය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියයි. අතීත ෆැසිස්ට්වාදය මැතිවරණවලින් බලයට පත් වී මැතිවරණ නොපවත්වා කටයුතු කළ ද නූතන ෆැසිස්ට්වාදය දිනිය හැකි මොහොතේ මැතිවරණ පවත්වා බලය තහවුරු කර ගැනීමේ දේශපාලන බල ක‍්‍රීඩාවක නිරත ව සිටී. නමුත් ඔවුන් බලය අහිමි වන මොහොතක දී මැතිවරණ නොපවත්වා පැරණි ෆැසිස්ට්වාදී ආකෘතිය ම වැළඳගනු නියත ය. ඒ සඳහා මාතෘ භූමිය, විජාතික කුමන්ත‍්‍රණ, දේශපේ‍්‍රමය, ආර්ථික ඝාතන යනාදී හැඟීම්බර වචන තව තවත් භාවිතා කරනු ඇත. එහෙයින් ඊළඟට ඇත්තේ ස්වභාවික දේශපාලන ව්‍යසනයයි.

හැඟීම්, ආවේග යනු දේශපාලනයේ සත්‍යය ම නොවේ. දේශපාලනික බුද්ධිය ද නොවේ. ඉතිහාසයේ අප මුහුණ දුන් ගැටලූ ඒ ආකාරයෙන් ම පවතින මොහොතක ක‍්‍රම විරෝධියාගේ වගකීම වන්නේ සබුද්ධික ව ගැටලූ හඳුනා ගැනීමයි. මේ මොහොතේ දේශපාලනය වනු ඇත්තේ එයයි. ශ‍්‍රී ලංකාව 2005 න් පසු කාලය තුළ පමණ ඉක්මවා ගිය මානසික ආතල් ඇති තරම් ලබාගෙන ඇත. දැන් එළඹ ඇත්තේ ආතල් කැඩෙන ඒ සොඳුරු මොහොතයි. නමුත් එය ඛේදවාචකයකින් නිමා විය හැකි ය. එයට හේතුව දේශපාලනික සාධක තුනක් මැද මිලිටරීකරණය වූ නාගරික යක්‍ෂයා ද සිටීමයි.



හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »

2 comments

Click here for comments