හැසිරීමේ වෙනසක් ඇති වන්නේ හදවතේ වෙනසක් ඇති වූ විට ය. (පිටස්තරයා - 5)

හැසිරීමේ වෙනසක් ඇති වන්නේ හදවතේ වෙනසක් ඇති වූ විට ය. (පිටස්තරයා - 5)



දේශපාලනයේ පළමු අරමුණ මෙන් ම අවසන් බලාපොරොත්තුව ද බලයයි. එහෙයින් දේශපාලනය යනු තරගකාරී රැඟුම්කරුවන් අතර බලය මුල්කරගෙන සිදුවන අරගලයයි. සදාචාරයෙන් පරිබාහිරව වුව ද බලය තහවුරු කර ගැනීම දේශපාලනයේ දී සාධාරණ ය. එහෙයින් සමාජ සදාචාරය හා දේශපාලන සදාචාරය යනු දෙකකි. ලොව ඕනෑම දේශපාලන සමාජයක වෙසෙන පොදු ජනතාව හැම බොහෝ විට හැඟුම්බර ය. ඔවුහු ජාතිය, ආගම, කුලය, වර්ගය, වර්ණය මත අවුස්සාලීම ඉතා පහසු ය. එහෙයින් භෞතිකවාදය වෙනුවට විඥානවාදී ව පාලකයින් හැසිරෙන තරමට සාමාන්‍ය ජනතාව ඔවුන්ට පක්‍ෂපාතී කරගත හැකි බව පාලකයින් විශ්වාස කරයි. නමුත් ජනතාව එක තැන පල් නොවන අතර, ඔවුන් ක‍්‍රමික ව පරිවර්තනය වේ. එවැනි පරිවර්තනයක් තුළ තමා රවටන ලද විඥානවාදය පිළිබඳ ඔවුන් ප‍්‍රශ්න කරනු ඇත. ජර්මනියේ හිට්ලර් පාලන සමයෙන් පසුව ද, ඉතාලියේ මුසෝලිනී පාලන සමයෙන් පසුව ද සෝවියට් දේශයේ සමාජවාදී පාලනයෙන් පසුව ද ලිබියාවේ ගඩාෆි පාලන සමයෙන් පසුව ද ඇතිවූයේ එයයි.


බණ්ඩාරනායකවරු සහ අත්තනගල්ල.


1978 ට පෙර මෙරට පැවති ඡන්ද ක‍්‍රමය යටතේ අත්තනගල්ල යනු ආසනයකි. අද එය ගම්පහ දිස්ත‍්‍රික් ඡන්ද කොට්ඨාසය තුළ පවතින මැතිවරණ බල ප‍්‍රදේශයකි. ලංකාවේ සිව්වන අගමැතිවරයා බිහිවූයේ අත්තනගල්ලෙනි. ඔහු සොලමන් ඩයස් බණ්ඩාර
නායක මුදලිඳුගේ පුත‍්‍රයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ය. සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පන්තිය තුළින් බණ්ඩාරනායකවරු ඉස්මතු විය. එතැනින් පසු ලෝකයේ ප‍්‍රථම අගමැතිණිය බිහිවූයේ ද අත්තනගල්ලෙනි. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. එතුමිය බණ්ඩාරනායකට හිමි වූයේ මහවලතැන්න වලව්වෙනි. එය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ ඡන්ද බල ප‍්‍රදේශය තුළ ය. එතැනින් පසු ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපතිනිය බිහිවූයේ ද අත්තනගල්ලෙනි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ය. එමෙන් ම අනුර බණ්ඩාරනායක නම් ඔටුන්න අහිමි වූ කුමරා ද බිහිවූයේ අත්තනගල්ලෙනි. ඔහු මෙරට පාර්ලිමේන්තුවේ කථානායකවරයෙකි.

යටත්විජිත පාලනය තුළ ඉංග‍්‍රීසීන්ගේ ධනේෂ්වර ආර්ථික ක‍්‍රමය තුළින් සහ බටහිර අධ්‍යාපන ක‍්‍රමය තුළින් පෝෂණය ලැබූ ප‍්‍රභූ පන්තිය නිදහසින් පසු මෙරට දේශපාලනය තුළ ආධිපත්‍ය අත්පත් කරගති. ඔවුන් බොහෝමයක් පහතරට ප‍්‍රභූන් ය. ප‍්‍රභූන් කිසිදු විටෙක සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින්නේ ය. ඔවුන් මිනිසුන් වැඩවසම් ක‍්‍රමය තුළ ම තබා ගැනීමට උත්සාහ ගනී. සාමාන්‍ය ජනතාව ඉංග‍්‍රීසි ඉගෙන ගන්නවාට ඔවුන් කැමති නැත. එම නිසා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණෙන විට සිංහල කතා කිරීමටවත් නොහැකි වූ බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළේ ය. එහෙයින් අද සිංහලත් හරියට බැරි ඉංග‍්‍රීසිත් හරියට බැරි ශ‍්‍රී ලංකාවක් බිහි වී ඇත. අගමැතිවරු දෙදෙනෙක් සහ සුවිශාල බලයක් කේන්ද්‍රගත වූ විධායක ජනාධිපතිවරයක් අත්තනගල්ලෙන් බිහි වුව ද අත්තනගල්ලේ කිසිවක් නැත. ගුවන් තොටුපලක් නැත. ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයක් නැත. වරායක් තබා මිරිදිය වරායක්වත් නැත. අවම වශයෙන් බණ්ඩාරනායක නමින් පාසලක්වත් නැත. සිනමා ගම්මාන, සම්මන්ත‍්‍රණ ශාලා එහි නැත. එම නිසා මිනිස්සු Modern නැත. ඔවුන්ට ඉතිරිව ඇත්තේ හොරගොල්ල වලව්ව පමණි. එය අත්තනගල්ලේ අභිමානයයි. එමෙන් ම සිරිසඟබෝ හිස දන් දුන් බැවින් පමණක් ප‍්‍රසිද්ධ අත්තනගල්ල රජමහා විහාරය ඇත. එය බණ්ඩාරනායකවරු නිර්මාණය කර නැත. එය සිරිසඟබෝ රජුගේ නිර්මාණයකි. එමෙන් ම හොරගොල්ල වලව් ඉඩම්වල කොනේ ලංකාවේ කුඩා ම ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. එය අනුර බණ්ඩාරනායක ලබාදුන් ඉඩමක පිහිටා ඇත. ඉඩම බණ්ඩාරනායකලාගේ වුව ද වනාන්තරය ස්වභාවික ය. එහෙයින් එය ද ඔවුන්ගේ නිර්මාණයක් නොවේ. අවම වශයෙන් දැනුම ලබාගැනීමට බණ්ඩාරනායක නමින් පුස්තකාලයක්වත් නැත. එම නිසා අත්තනගල්ල මෙන් ම ගම්පහ දිස්ත‍්‍රික්කය ද තවමත් බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලන උරුමය බවට පත් වී ඇත. මේ සියලූ තත්ත්වයන් තුළ ගම්පහ ජනතාව හොරගොල්ල වලව්ව අභිමානය කර ගනිමින් තවමත් වැඩවසම් ආකල්ප සහිතව ජීවත් වේ. එම නිසා අනාගත දේශපාලනයට බණ්ඩාරනායකලා ම නොව කුමාරණතුංගලා පැමිණියත් ගම්පහ විවෘත ය.


රාජපක්‍ෂලා සහ හම්බන්තොට.


අප කුඩා කල පාසලේ දී උගෙන ඇති ආකාරයට ලංකාවේ දුෂ්කරම දිස්ත‍්‍රික්ක අතර හම්බන්තොට ප‍්‍රධාන විය. අප දන්නා ආකාරයට එහි පැවතියේ ලූණු ලේවායක් පමණි. එමෙන් ම එය මීකිරි වලට ද ප‍්‍රසිද්ධ ය. නමුත් අද හම්බන්තොට නැති දෙයක් නැත. ලංකාවේ පවතින එක ම දිස්ත‍්‍රික්කය හම්බන්තොට ය. රාජ්‍යයේ සියලූ සාරය කේන්ද්‍රගතව ඇත්තේ එහි ය. නැව් එන හෝ නො එන වරායක් එහි ඇත. එය රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය වේ. නුවර සිට කොළඹට භාණ්ඩ ප‍්‍රවාහනය කළ හැකි (අත්‍යාවශ්‍යව තිබූ) අධිවේගී මාර්ගයක් මෙරට නොමැති වුව ද හම්බන්තොට දක්වා ව්‍යාප්ත වීමට නියමිත දැනට මාතරින් නතර වී ඇති අධිවේගී මාර්ගයක් ඇත. එමෙන් ම ප‍්‍රධාන වාණිජ නගරයට බොහෝ දුරින් වුව ද පිහිටා ඇති මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ඇත. තව ද, කොළඹ සිටි නවීන විලාසිතාවලින් සැරසී නළු නිළියන් දැක ගැනීමට රන්මිණිතැන්න මහින්ද රාජපක්‍ෂ සිනමා ගම්මානය ඇත. එමෙන් ම ලොව සුපිරි ක‍්‍රීඩකයින් දැක ගැනීමට හැකි මහින්ද රාජපක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ද ඇත. මෙරට විශ්වවිද්‍යාල තරුණයින් දැක ගැනීමට නොහැකි වුව ද ලෝක තරුණයින් (කළු ජාතික, සුදු ජාතික), ලෝක නායකයින් දැක ගැනීමට හැකි මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඇත. එය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට නො දෙවෙනි ය. තව ද මහින්දෝදය පාසල් බොහෝමයක් ස්ථාපිත කර ඇත. ඒවායේ නවීන තාක්‍ෂණික විද්‍යාගාර ද ඇත.

මේ අනුව බණ්ඩාරනායකලාට වඩා රාජපක්‍ෂලා හොඳ ය. දුෂ්කර වූ හම්බන්තොට නවීන නගරයක් බවට පත්කරමින් ඇත. අනාගතයේ තව බොහෝ දේ හම්බන්තොට නිර්මාණය වීමට ඇත.

මිනිසුන්ගේ මානසිකත්වයේ වෙනසක් ඇති වූ විට ඔවුන්ගේ හැසිරීමේ ද වෙනසක් ඇති වේ. අත්තනගල්ලේ මිනිසුන්ගේ මානසිකත්වයේ වෙනසක් ඇති වූයේ නැත. එම නිසා ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් නැත. නමුත් දූපතක් ව පවතින ශ‍්‍රී ලංකාවේ නවීන දැනුම මුලින් ම ලබාගත්තේ කොළඹ මිනිසුන් ය. ඒ කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපල හරහා පහසුවෙන් ම ළඟාවීමට හැකි වාණිජ නගරය කොළඹ වූ නිසා ය. එහෙයින් කොළඹ මිනිසුන් දේශපාලනික වශයෙන් ග‍්‍රාමීය මිනිසුන්ට වඩා නවීකරණය වී ඇත. කුමන භෞතික සැප සම්පත් ලබා දුන්න ද මැද කොළඹ දිනා ගැනීමට නොහැකි ව ඇත්තේ එබැවිනි. අනාගතයේ දී හම්බන්තොට වරාය හරහා සහ මත්තල ගුවන් තොටුපල හරහා මෙරටට බොහෝ දේ පැමිණේ. ඒ අතර ඉහළින් ම පවතින්නේ දැනුම ය. වීරකැටිය රාජපක්‍ෂ විද්‍යාලයෙන් ගණිත සහ විද්‍යා අංශයෙන් ලංකාවේ පළමුවැනියා බිහිවීම තුළින් පෙන්නුම් කරන්නේ එම අනාගත යථාර්ථයයි. අද ගාල්ල, මාතර, හම්බන්තොට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් මතුවෙමින් පවතී. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය යම් ප‍්‍රමාණයකට එම සාධකය තහවුරු කරයි. එහෙයින් දකුණේ මිනිසුන්ගේ දේශපාලන හැසිරීම ද මීට අනුරූපී ව වෙනස් වීමට ඉඩ ඇත. නවීකරණය වන දකුණේ මිනිසා ගුරුකම් බෝල කරකවන, රාජ්‍ය දේපල විනාශ කරමින් දිනපතා භාරහාර පවත්වන ආගමික මධ්‍යස්ථාන තුළ වැඳ වැටෙන වැඩවසම් පාලකයින්ව ප‍්‍රශ්න කරනු ඇත. ඔවුන් මානව හිමිකම් පිළිබඳ හඬ නගනු ඇත. පවුල්වාදී පාලනය තමන්ට කොතරම් ප‍්‍රතිලාභ ගෙන ආව ද ප‍්‍රතික්ෂේප කරනු ඇත. නවීන අධිවේගී මාර්ගයේ ම ඔවුන් ඉදිරියට පැමිණෙනු ඇත. අපහසුවෙන් වුව ද පුළුල් කරන ලද ගාලූ පාර දිගේ නිදහසේ ධජය රැගෙන ඉදිරියට එනු ඇත. ලංකාවේ සෙසු ප‍්‍රදේශවල මිනිසුන්ට වඩා ඔවුන් හැඟීම් සහ ආවේගයන්ගෙන් මිදී බුද්ධිමත් වනු ඇත. ප‍්‍රගතිශීලී වනු ඇත. පවතින පාලන ක‍්‍රමය වෙනස් කිරීමේ පළමු වෙඩි මුරය ඔවුන් විසින් තබනු ඇත. නමුත් අත්තනගල්ල බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් ලෙස පවතිනු ඇත. එය බණ්ඩාරනායක ලෙයට විවෘත වනු ඇත. නමුත් නූතන පාලක රෙජීමයේ ඊළඟ ඔටුන්න හිමි අනුප‍්‍රාප්තිකයාට හම්බන්තොට විවෘත නොවනු ඇත. මේ වග අවබෝධ වන මොහොතේ දී ම සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට අර අදිමින් සිටින (ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මෝදි සමාජ වෙබ් අඩවි භාවිතය පිළිබඳ තම නවක මන්ත‍්‍රීවරු දැනුවත් කරමින් එහි ප‍්‍රයෝජ්‍යතා පෙන්වා දී ඇත.) වැඩවසම් පාලකයින් දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඩෝසර් කොට, හම්බන්තොට වරාය නැවත ගල් දමා පුරවා, සම්මන්ත‍්‍රණ ශාලාව සති පොළක් බවට පත් කොට, මත්තල ගුවන්තොටුපල අලි සෙල්ලම් පෙන්වන සෙල්ලම් පිටියක් බවට පත් කොට සිනමා ගම්මානය පැරණි නාඩගම්, සොකරි, ගම්මඩු පෙන්වන නාඩගම් මඩුවක් බවට පත් කොට ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය මීකිරි සඳහා ගවයින් ඇති කරන තණ පිටියක් බවට පත් කිරීමට ඉඩ ඇත. 



හේමප‍්‍රිය කවිරත්න.



Previous
Next Post »