දේශපාලනික නොවන යක්‍ෂයෙක් විධායකය නිසා රාක්‍ෂයෙක් වෙයි ද? (පිටස්තරයා - 6)

දේශපාලනික නොවන යක්‍ෂයෙක් විධායක නිසා රාක්‍ෂයෙක් වෙයි ද? (පිටස්තරයා - 6)


බලය සඳහා බලය පිටුපස දිවයාම මිනිස් සිතේ ස්වභාවයයි. එය නිමා වන්නේ මිනිසාගේ මරණයෙන් පමණි. - තෝමස් හොබ්ස්.

මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතනාත්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා ය. ඔහු තමන්ට අභිමත ලෙස පොලිස්පති, නීතිපති, විගණකාධිපති, ඔම්බුඞ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම් පත් කරයි. එමෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුලූ සෙසු විනිසුරුවන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුලූ සෙසු විනිසුරුවන් තම අභිමතය මත පත් කරයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පාර්ලිමේන්තු සභාව නම් ආයතනයක් පැවතිය ද එය නාමික ය. එපමණක් නොව තමන්ට අභිමත ලෙස ඇමතිවරු පත් කරයි. ඇමතිවරුන්ගේ ලේකම්වරුන් ද පත් කරන්නේ ඔහු ය. එමෙන් ම තමන්ට අභිමත අමාත්‍යාංශ ප‍්‍රමාණයක් අත තබා ගැනීමේ වරප‍්‍රසාදයෙන් යුක්තය. නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීමේ බලයෙන් ද යුක්තය. අගමැතිවරයා පත් කිරීම ද ඔහු සතු වරප‍්‍රසාදයකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, සීමා නීර්ණය කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, මුදල් කොමිසම තම අභිමතය මත පත් කිරීමේ හැකියාව ද ඔහුට ඇත. කුමන කරුණක දී වුව ද ජනාධිපතිවරයාට විරුද්ධව නිල හෝ පෞද්ගලික මට්ටමින් නඩු පැවරිය ද නොහැක. එම නිසා ඔහු අධිකරණ මුක්තිය සහිතව සිටී. පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට ව්‍යවස්ථාමය විධිවිධාන පැවතිය ද එය ද ප‍්‍රායෝගික නැත. එම නිසා ඔහුගේ බලය සංවරණයට ද ලක් නොවේ. එපමණක් නොව දෝෂාභියෝග ක‍්‍රියාවලියකින් ජනාධිපති ඉවත් කිරීමට හැකි වුව ද පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහි ව ගෙන ආ දෝෂාභියෝගයේ දී එය ප‍්‍රායෝගික නොවන බවට ලලිත් ඇතුලත්මුදලිලා ඔප්පු කළේ ය. එම නිසා ජනාධිපති සර්වබලධාරී ය. ඔහුට ඉහළින් යන, අභියෝග කළ හැකි කිසිවෙකු නොමැත. මේ ආකාරයට මහින්ද රාජපක්‍ෂ පත් වී ඇත්තේ ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවෙනි. කුමන තත්ත්වයක් තුළ වුව ද තවමත් මහින්ද රාජපක්‍ෂ වඩාත් ම නරක නැත. මහින්දානන්ද අලූත්ගමගේට විරුද්ධව කුමන චෝදනා එල්ල වුව ද ඔහු තවමත් නිරුපද්‍රිතව තම ධූරය දැරූව ද, පාර්ලිමේන්තුවේ අභිමතය මත අගවිනිසුරු ඉවත් කළ ද තමන්ට අභිමත අගවිනිසුරුවරයෙක් පත් කළ ද මහින්ද රාජපක්‍ෂ තවමත් ඒකාධිපති වී නැත. එයට හේතුව මහින්ද රාජපක්‍ෂ දීර්ඝකාලීන අත්දැකීම් සහිත දේශපාලඥයෙක් වීමයි. ඔහු ජනාධිපති වූයේ 2005දී ය. නමුත් ඔහුගේ දේශපාලන ඉතිහාසය දශක තුනකට අධික ය. කුමන තර්ක විතර්ක මතු වුව ද දේශපාලඥයින් සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම තුළ ස්වභාවිකව ම පාලනය වේ. එය මහින්දට ද අදාළ ය. එම නිසා තවමත් සෘජු ෆැසිස්ට්වාදයක් මෙරට ස්ථාපිත වී නැත. දේශපාලන වේදිකාවේ කුමන තර්ක විතර්ක මතු වුව ද යථාර්ථය එයම ය. එහි අර්ථය මහින්ද රාජපක්‍ෂ වඩා හොඳ ම පාලකයා ය යන්න නොවේ. 


මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමට පෙර ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ය. වසර 11 ක පාලන කාලය තුළ 17 වසරක යූ.එන්.පී. පාලනයට වඩා මානව හිමිකම් පිළිබඳ සාකච්ඡුා වූයේ එම කාලයේ දී ය. රූකාන්තගේ හා චන්ද්‍රලේකාගේ කොණ්ඩය කපා දැමීම මෙම කාලයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදු නොවූවා යැයි අපි නොපිළිගනිමු. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යම් යම් දෑ එම කාලයේ දී සිදුවිය. එසේ වුව ද බලය බෙදීම සම්බන්ධයෙන් යම් කතිකාවතක් එම කාලයේ දී ම ආරම්භ විය. එය ප‍්‍රගතිශීලී ය. මානව හිතවාදී ය. නමුත් අවංක නොවූ තැන එම ප‍්‍රයත්නය බිඳ වැටුණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්‍ෂට වඩා දේශපාලන පසුබිමක් සහිත පරම්පරාවක තවත් එක් පුරුකකි. ඇය යුරෝපය තුළින් ලද උගත්කමක් සහිත තැනැත්තියක් විය. එම නිසා ව්‍යවස්ථාවෙන් කොපමණ බලතල පැවතියත් ඒකාධිපති ම වූයේ නැත. නමුත් මානව හිතවාදී වූයේ ද නැත. 

චන්ද්‍රිකාට පෙර ඞී.බී. විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපති ලෙස සිටියේ ය. ඊට පෙර සිටියේ රණසිංහ පේ‍්‍රමදාස ය. පේ‍්‍රමදාස ද දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇතතෙක් විය. සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක් ඔහු සතු විය. එම නිසා දකුණේ භීෂණයක් උපරිම ලෙස ඇතිකළ ද හිට්ලර් මොඩලයේ හෝ බෙනිටෝ මුසෝලිනී මොඩලයේ ඒකාධිපති වාදයකට ගමන් කළේ නැත. ගමන් කිරීමට සිටිය ද එයට ප‍්‍රභාකරන් ඉඩ දුන්නේ නැත.

පේ‍්‍රමදාසට පෙර මෙරට ජනාධිපති වූයේ ජනාධිපති ක‍්‍රමයේ නිර්මාතෘවරයා වූ ජේ.ආර්. ජයවර්ධන ය. ඔහු දුටු සිහිනය පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් සමග ඔහු සැබෑ කර ගත්තේ ය. එම කාල වකවානුව තුළ දී විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දුන්නේ ය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමට ශක්තිමත් දේශපාලන බල අධිකාරියක් අත්‍යවශ්‍ය බැවින් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නේ ය. ජේ.ආර්. මෙරට දේශපාලනය, ආර්ථිකය උඩුයටිකුරු කළේ ය. ඔහු ද දීර්ඝ කාලයක් දේශපාලනයේ නියුතු වූවෙකු බැවින් සමාජ, ආර්ථික, දේශපාලන බලපෑමට නතුව සිටියේ ය. එම නිසා විධායක ජනාධිපති ධූරය තුළින් කොපමණ බලතල අත්පත් කර ගත්ත ද සමාජ, ආර්ථික පසුබිම තුළ පාලනයට ලක් විය. එම නිසා ජනමත විචාරණ පවත්වමින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගත්ත ද ෆැසිස්ට් මොඩලයේ පාලනයකට ලංකාව ගෙන ගියේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ම ආඥාදායකත්වය රඳවා තබා ගැනීම සිදුකළ බැවින් යම් ප‍්‍රමාණයකට පාලනයට ලක් විය.

විධායක ජනාධිපති ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට පිළිලයකි. මෙයට පක්‍ෂව අදහස් පළ කරන බොහෝ දෙනා බැලිය යුත්තේ ඉන්දියාව දෙස ය. බහුපක්‍ෂ ක‍්‍රමයකට සහ බහුවිධ සමාජ ක‍්‍රමයකට ජනාධිපති ක‍්‍රමය අත්‍යවශ්‍ය බව ඔවුන් පැවසුව ද ඉන්දියාව තවමත් පාර්ලිමේන්තු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ පවත්වා ගෙන ඇත. පසුගිය මැතිවරණයේ දී ද මෝඩි ට බහුතර ආසන සංඛ්‍යාවක් හිමි විය.

ශ‍්‍රී ලංකාවේ පවතින ජනාධිපති ක‍්‍රමය මෙරටට ආවේණික ක‍්‍රමයක් ලෙස මෙවැනි ක‍්‍රමයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක නැත. ඇමරිකාවේ මෙන් ම ප‍්‍රංශයේ ද ජනාධිපතිවරුන්ගේ බලය සංවරණයට ලක් වේ. නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැත. තමන්ට අභිමත විටෙක ජනතා නියෝජිතයින්ගෙන් යුතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට හැකිය. ආරක්‍ෂක, මහාමාර්ග සංවර්ධනය, මුදල් යන අමාත්‍යාංශ පමණක් නොව තමන්ට අභිමත ඕනෑම අමාත්‍යාංශ ප‍්‍රමාණයක් තමන් අත තබා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණය ම මෙහෙයවීමේ බලය ඇත. මෙවැනි තත්ත්වයක් තුළ විධායක ජනාධිපතිවරයාගේ ඒකාධිපතීත්වයක් මෙරට ඇතිවීම ස්වභාවික ය. එසේ නම් වරද ඇත්තේ මහින්දගේ නොවේ. වරද ඇත්තේ ව්‍යවස්ථාවේ ය. එම ව්‍යවසනය පෙර සිට ම දුටු මහින්ද රාජපක්‍ෂලා ද ජනාධිපතිවීමට පෙර මෙයට විරුද්ධ විය. 
චන්ද්‍රිකා ද එසේම ය. ඔවුන් ප්‍රතිඥා දී බලයට පත් වුණේ මෙම ධූරය අහෝසි කිරීමට ය.

එසේ වුව ද බලය ඇත්තා බලය වර්ධනයට මෙන් ම බලය තහවුරු කර ගන්නට උත්සාහ දරන බැවින් මෙම ධූරය අහෝසි නොකළේ ය. මහින්ද රාජපක්‍ෂ, ජේ.ආර්. ජයවර්ධන මෙම ධූරයට දමා තිබූ සීමා ද 18 වන සංශෝධනයෙන් ඉවත් කළේය. දෙවතාවක් ධූරය දැරිය හැකි සීමාව ඉවත් කළේ ය. එහි ඛේදවාචකය අනාගත නායකත්වය ගොඩනොනැගීමය. හැම විට ම විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයාට තරග කරන්නට සිදුවන්නේ තමා හා සමාන නව අපේක්‍ෂකයෙකු සමග නොවන දැනට සිටින ජනාධිපතිවරයා සමග ය. එමෙන් ම ප‍්‍රායෝගික නොවූ වූ ද 17 වන සංශෝධනය බල රහිත කළේ ය.

මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ඞී.බී. විජේතුංග, රණසිංහ පේ‍්‍රමදාස, ජේ.ආර්. ජයවර්ධන නරක ම නැත. හොඳ ද නැත. නරක එක් දෙයක් ඇත. එනම් විධායක ජනාධිපති ධූරයයි. සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම තුළින් පාලනයට ලක් වූ ඉහත ජනාධිපතිවරුන් ආඥාදායක නොවී ය. නමුත් අනාගතයේ දී මෙම ධූරය දේශපාලනික නොවන යක්‍ෂයෙක් අතට ගිය විට එම යක්‍ෂයා රාක්‍ෂයෙක් වීමට තරම් බලතල ව්‍යවස්ථාව තුළින් පවරා දී ඇත. ඔහු ඊළඟ පොදු අපේක්‍ෂකයා විය හැක. එම නිසා පොදු අපේක්‍ෂකයා බලයට පත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ 2/3 කට වඩා බහුතරයක් පවතින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ වගකීම ය. එසේ නොමැති වුවහොත් වර්තමාන පාලන සමයේ සිදු වූ දූෂණ වංචාවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ක‍්‍රියා වලින් දඬුවම් විඳීමට වර්තමාන පාලන රෙජීමයට නියත ලෙස සිදුවනු ඇත. එවිට විධායක ජනාධිපති ධූරයේ නරක ප‍්‍රතිලාභ ඔවුන් විඳිනු ඇත. ඒ මොහොතේ මෙම ධූරයේ නොවැදගත්කම වර්තමාන පාලකයින්ට වැටහෙනු ඇත. නමුත් එවිට ඔවුන් ප‍්‍රමාද වී සිටිනු ඇත.




හේමප‍්‍රිය කවිරත්න.



Previous
Next Post »