ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය. (පිටස්තරයා - 7)

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය. (පිටස්තරයා - 7)




‘‘ත්‍යාගශීලී බව නිසා ඇතිකරගත් කීර්තියක් ජනතාව අතර පවත්වාගෙන යාමේ ඕනෑකමක් යම් කුමාරයෙකුට තිබේ නම් හෙතෙම, නාස්තිකාර ප‍්‍රචාරයක් ඒනිසා සිදුවීමට ඇති ඉඩකඩ නොසලකා හැරිය යුතු නොවේ. ඒ ගැන නොතකා කටයුතු කරන කුමාරයෙක් තමාගේ සම්පත් සියල්ල විනාශ කරගන්නවා පමණක් නොව ගැත්තෙකු බවට ද පත් වන්නේ ය. කීර්තිය උදෙසා ත්‍යාගශීලී බව තවදුරටත් පවත්වාගෙන යාමට හෙතෙම බලාපොරොත්තු වන්නේ නම්, අධික බදු බරින් ජනතාවට පීඩා පැමිණවීමටත් අරමුදල් ඉපයීම සඳහා හැකි සියලූ දේ කිරීමටත් අන්තිමේදී ඔහුට සිදු වන්නේය. සිය යටත් වැසියන්ගේ වෛරය මේ නිසා ඔහු කෙරෙහි එල්ල වන්නට පටන් ගන්නා අතර, හෙතෙම දිළින්දෙකු බවට ද පත් වන්නේ ය. කිසිවෙකුගේ ගෞරවය නොලබන්නෙකු බවට පත් වන්නේ ය. බහුතර පිරිසකට රිද්දා සුළු පිරිසක් සැනසීම සඳහා යොදාගත් ත්‍යාගවන්තභාවයේ විපාක වශයෙන් ඉතා සුළු අසහනයකින් පවා දැඩි පීඩා විඳිමින්, අනතුර පිළිබඳ පළමුවැනි සංඥාව ලත් මොහොතේම විනාශයට පත් වන්නේ ය.’’ 
(කුමාරයා, 1513 - මැකියාවලී)

මහාවංශය තුළින් මෙන්ම රොබට් නොක්ස්ගේ එදා හෙළදිවෙන් මෙරට අතීතය හැදෑරූ අප ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බව අසා ඇත. සොබා දහම ලොව පවතින හොඳම දේ මෙරට වැසියන්ට ලබා දී ඇත. අපට කාන්තාර නැත දණ්ඩක් බිම දැමූව ද පැළවෙන භූමියක අපි ජීවත් වෙමු.



වර්ෂ 2005 දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීම ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ අහඹුවකි. එය විය හැකිව තිබූ දෙයකට වඩා නොවිය හැකිව තිබූ දෙයකි. නමුත් මෙරට ජනතාව මෙම පාලනය පිළිබඳ ආදරණීය විශ්වාසයක් ගොඩනගා ගත්තේය. ආසියාවේ විශාලම වැට් බදු වංචාව හෙළි කරන දූෂණයට අවනීතියට එරෙහිව තම ගමන ආරම්භ කළ වත්මන් පාලකයින් වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මරණය සමගින් මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ පතාක යෝධයින් බවට පත් විය. කිසිවෙකුට කිසි විටක මෙම පාලනයට පෙරළා දැමිය නොහැකි බවට පෙන්වා දුන් අතරම ජනතාව ද එය විශ්වාස කළේ ය. එහෙයින් ජනතාව විපක්‍ෂයක් දෙස දෑස් හෙළුවේ නැත. ඔවුන්ට එය අවශ්‍ය වූයේ නැත.

2010 ජනාධිපතිවරණයේදී පළමු වරට වඩා විශාල වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජනාධිපතිවරණ සටන ජයගත් මෙරට පාලකයින් ජයග‍්‍රහණයෙන් උන්මාදනීයත්වයට පත් විය. තමන් මේ රටේ වර්තමානය පමණක් නොව අනාගතය ද බව ජනතාවට ඒත්තු ගැන්වීය. පවුල් පාලනය, දේශපාලනය 
දූෂිත කළ ද තම පවුල එසේ නොවන බවත් මේ රට බේරා ගැනීමට ඉතිහාසය විසින් එය නිර්මාණය කළ බව තම වන්දිභට්ටයින් හරහා ප‍්‍රකාශ කරවා ගත්තේ ය. ජනතාවගේ මුදලින් නිර්මාණය කරන බොහෝ ව්‍යාපෘතිවලට තම නාමය ම තබා ගත්තේ ය. තමන් රට, ජාතිය ගැන සිතන ත්‍යාගවන්තයින් බව පෙන්වා දුන්නේ ය. ජනතාව මේ සියල්ල විශ්වාස කළේ ය. එහෙයින් ඔවුන්ට තම පවුලට වඩා ජනාධිපති පවුල විශ්වාසවන්ත විය. පාලකයින් ලක්‍ෂ ගණන් වියදම් කොට ගොඩනගන ලද ඇවිදින මංතීරුවල ඇවිද්දේ ය. එය දුටු ජනතාවට ද එය අවශ්‍ය විය. ජනතාව එසේ සිතනවා යැයි සිතූ පාලකයින් ජනතාවගේ තෘප්තිමත්භාවය උදෙසා දියවන්නා ඔය අසල මෙන් ම ලංකාවේ නාගරික ප‍්‍රදේශයන්වල එවැනි මංතීරු ඉදිකර දුන්නේ ය. දැන් ජනතාව ද ඇවිදින්නේ ය. රට හරි ෂෝක් ය. පාලකයින් යහපත් ය. නාගරික සංවර්ධනය විශිෂ්ට ය. ඒ ජනතාවගේ ආකල්ප ය. එම නිසා ඔවුන්ට විපක්‍ෂයක් අවශ්‍ය නොවී ය.

සෑම මිනිසෙක් ම තම උපන් ගමට හා රටට සේවය කළ යුතු බව අප කුඩා කල ඉගෙන ගෙන ඇත. ඉදින් අපේ පාලකයින් ද එය ඉතා විශිෂ්ට මට්ටමින් සිදු කරන්නේ ය. රටට කෙසේ වෙතත් ගමට වැඩ කරන්නේ ය. හම්බන්තොට විශිෂ්ටත ම නගරයක් බවට පත් කරන්නේ ය. එම නිසා ගමට මෙන්ම රටට වැඩකරන පාලකයින් වඩා හොඳ ය. රටේ අනෙක් ප‍්‍රදේශ නොදියුණු වුව ද හම්බන්තොට දියුණු බැවින් ද කොළඹ ලස්සන බැවින් ද නාගරික සංවර්ධනය උපරිම බැවින් ද පාරවල් සුන්දර බැවින් ද පාලකයින් විශිෂ්ටය. ජනතාව එසේ සිතන්නේ ය. ITN සුන්දරත්වය පිළිගන්නේ ය. ජීවිතය විඳින්නේ ය. පන්සල් යන්නේ ය. බණ අසන්නේ ය. සංගීත සංදර්ශන පවත්වන්නේ ය. ඡන්දයේ දී කෙසේ වෙතත් අවුරුදු උත්සවේ දී අලියාට ඇස තබන්නට උත්සාහ කරන්නේ ය. ජනතා මුදල් කොටි ගණන් වියදම් කරමින් සිදුකරන සංදර්ශනවල ජනතාව ප‍්‍රමෝදයේ උච්ඡතම අවධිය ගෙවන්නේ ය. ණයට ගෙන පවත්වන දැයට කිරුළේ දී එල්ලූම් ගස ද හොඳයි ලෙස කියන්නේ ය.

අප මේ වන විට ජීවත් වන්නේ ඉතා සොඳුරු කොදෙව්වක බව නූතන පාලන තන්ත‍්‍රය විසින් සමාජගත කර ඇති ප‍්‍රධානම ව්‍යාජයයි. දෑස් හැර බැලූ කල දසත ඇත්තේ සමාජ අසාධාරණයයි. සමාජ ධනය නිර්ලජ්ජිතව ගසාකන 
දූෂිත රාජ්‍ය යාන්ත‍්‍රණයක ජීවත් වීමට සිදුවීම බරපතල ඛේදවාචකයකි. සියල්ල දේශපාලනීකරණය වී ඇත. සියල්ල දේශපාලනීකරණය වූ කල සියල්ල ම බිඳවැටීම සාමාන්‍ය දෙයකි. එහෙත් එක් දෙයක් දේශපාලනීකරණය වී නැත. ඒ දේශපාලනයයි. එක ම අධිවේගී මාර්ගය නිර්මාණය කොට එහි ම විවිධ අදියරයන් මැතිවරණයක් ආසන්නයේ දී යළි යළි විවෘත කරන භූමියක අපි ජීවත් වෙමු. රාජ්‍ය මුදල් වියදම් කරමින් තම දේශපාලන බලය ප‍්‍රවර්ධනය කිරීම සඳහා සංදර්ශන පවත්වන දැයක් ඇත්තට ම කිරුළු පළඳින්නේ ද යන්න පිළිබඳ ව සිතන්නට කිසිවෙකුට අවශ්‍ය නැත. සෑම ක්ෂේත‍්‍රයක ම සිටින බොහෝ දෙනා අද තරම් වේගයෙන් දේශපාලනයට පැමිණීමට උනන්දුවක් දැක්වූ කාලයක් මීට පෙර දැක නැත. මන්ද, අද වන විට දේශපාලනය ප‍්‍රධාන මුදල් උපයන මාර්ගයක් වී ඇති බැවිනි. එම නිසා අල්පේච්ඡුතාවය පිළිබඳ කතා කරන, අත්පත් කරගැනීම වෙනුවට අත්හැරීම පිළිබඳව බණ දෙස භික්‍ෂූන් ද දේශපාලනීකරණය වී ඇත. කලාකරුවන් පොදි ගැසෙමින් දේශපාලන වේදිකාවේ ප‍්‍රශස්ති ගායනා කිරීම දැකගත හැක.

රාජ්‍ය සේවකයා, පොලිස් නිලධාරියා, භික්‍ෂුව, දේශපාලඥයා, කලාකරුවා, අධිකරණ විනිසුරුවරයා යනාදීන් මෙම සමාජ ක‍්‍රමයක පෙරගමන්කරුවෝ වෙති. ඔවුන් හැසිරෙන ආකාරය මත රටක අනාගතය තීරණය කරයි. ශ‍්‍රී ලංකාවේ මේ වන විට ඉහත සියලූ ක්ෂේත‍්‍රයන් දූෂිත වී ඇත. 
දූෂිත නොවූ අය නිශ්ශබ්ද වී ඇත. අපරාධ, අපචාර සිදුකරන්නේ ඔවුන්ම ය. පාතාලය මර්ධනය කරමින් කුඩු වෙළෙඳාම තමන් අතට ගත් දේශපාලඥයින් මෙරට සමාජය තුළ දැකගත හැක. නමුත් කුඩු සහ දේශපාලනය අතර පාලකයින්ට අනුව නම් සම්බන්ධයක් නැත. නමුත් එක් මන්ත‍්‍රීවරයෙක් රෝහල්ගත වූ අවස්ථාවක ලංකාවේ කුඩු හිඟයක් ඇති වූ බවටත්, කුඞ්ඩන් සියදිවි නසාගත් බවටත් පුවත්පත්වලින් අප දැක ඇත. නමුත් පාලන තන්ත‍්‍රයට අනුව දේශපාලඥයන් සුචරිතවාදීන් ය. සංදර්ශන පැවැත්වීම තුළින් ජනතාව වෙතට යළි යළිත් තම සුචරිතවාදීත්වය එන්නත් කිරීමට පාලකයින් කටයුතු කර ඇත. ජනතාව ඒ ව්‍යාජයේ එරී ඇත. නමුත් නියත වශයෙන් ම ඔවුන් යම් දිනක පාලකයින්ව ප‍්‍රශ්න කරනු ඇත. නැතිනම් ජනතාව ඉල්ලා අස්වනු ඇත. අවසානයේ චෞර රාජ්‍යය නමින් පොතක් ලිවීමටවත් කිසිවෙකු පාලකයින්ට ඉතිරි නොවනු ඇත. පාලකයින් පුදන මේ සමාජයම හෙට ඔවුන්ට එරෙහිව නියත ලෙසම නැගිටිනු ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුධාවලී ලත් මෙරට ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය බවට පත් කළ අය ඉතිහාසයේ පිටුවෙන් ඉවත් කරනු ඇත.

සමාජයක් නරක් වන්නේ නරක මිනිසුන් සිටින නිසා නොව හොඳ මිනිසුන් නිශ්ශබ්දව සිටින බැවිනි. 



හේමප‍්‍රිය කවිරත්න.


Previous
Next Post »