උස් පපුවක් ගැහෙන සද්දෙ ඇහෙන්නෙ මිටි කෙල්ලෙක්ට. (පස්වන හෝඩිය)

උස් පපුවක් ගැහෙන සද්දෙ ඇහෙන්නෙ මිටි කෙල්ලෙක්ට. (පස්වන හෝඩිය)

පස්වන හෝඩිය.

" ජීවිතය " කියන වචනෙට අවශ්‍යම අරුත් සම්පාදනය කරලා, නොකියම යන්න ගිය " ආදරණීය චරිත " ගැන කතිකාවෙදි හද මැද හිරිවැටෙනවා. අසාධාරණ ලෝකෙක ඒ හිරිය සාධාරණයි. පොළොවෙ පය ගහපු කවියෙක්ගෙ සුරතින් ගිලිහුණ " ආදරේ හොයපු කවි පද " අදටත් ඉන්නෙ පණපිටින්! නොසෙල්වී ඉන්න සොරායාගෙ දෙසවන් අරභයා දෙනුවන් අභිනයෙන් ඒ ගැන කියද්දි දැනෙන හැඟීම විශාලයි. හැඟෙන දැනීම සුවිශාලයි.

" අයි..යා... කොහොමද ඔච්චරටම ඔය දේවල් ගැන දන්..නෙ ? "

ඇත්ත! කුතුහලය උපදවන සැඟවුම්කාරක ඇතුළෙ හැමදේම ප්‍රහේලිකාවක්. දැන් සොරායාගෙ කල්පනා සංකල්පනාව තියෙන්නෙ එතැන.

" සමහර දේවල් ගැන ටිකක් දන්නවා. තවත් ඒවා ගැන ගොඩක් දන්නවා.... නීල උත්පල ඇස් අස්සෙ අතරමං වුණාම දන්න ඒවත් නොදන්නවා වෙනවා. අමතක වෙනවා. "

අදාළ ප්‍රශ්නෙට ඩිරෙක්ට් උත්තර දෙනවා වෙනුවට මං ' බැක් ෂොට්ටෙකකින් ' රෙඩා පොට් කරන්න අවකාශෙ ගැළපුවා. ලයිබ්‍රියෙ දෙවැනි තට්ටුවෙ - නීති පොත් අස්සෙ - අච්චු අකුරු අතරෙ බර වුණු හිස් අතරින් - සයිලන්ට් මූඩ් බිඳ වට්ටලා - අපි - කතා කරනවා. කඳුළු තීන්ත පිරිච්ච චංචල ඇස් වලින් පරිච්ඡේද ලියනවා. මෙච්චර කල් කාවො කෑව හිස් පිටු ගසලා බසලා මං ' අලුත් පටුනකට ' වෙනස් ආරම්භයක් ගන්නවා. කතා කරන්නම ඕනි බොහෝ අවකාශ වල සොරායා ඉන්නෙ නිහඬව....

" ඇයි සොරායා... මොකද එකපාර හයිවේ එකෙන් හිනාව නිහඬ මාවතට කැපුවෙ ? "

කටහඬක නද මුසුවෙන්න කලින් සුසිනිඳු සුසුම් පඩිපෙළ බැහැලා පහළට දුවනවා.

" මඳහස් අයි..යා...කියන සමහර ඒවා මට තේරෙන් නෑ..නෙ අයි..යෝ...මොකද..මන්දා... "

" හහ්... හහ්... ඇයි.. මගෙ වචන ටියුබ් ලයිට් වගේද ? "

" ඔය... ඔය.. මං කිව්වෙ.. ඒ සැරේ ටියුබ් ලයිට්ලු... ටියුබ් ලයිට් වලයි කවි වලයි මොකක්ද තියෙන සම්බන්ධෙ....? "

නොගැළපෙනවා කියලා හිතන එක දෙයක පවා කොතැන හරි ' මිස්වෙච්ච සම්බන්ධයක් ' තියෙන්න බැරිද ? අහසකයි පොළොවකයි දික්කසාද ජීවිතේට ඉඳලා හිටලා හරි ' සිතිජය ' මතක මැද්දෙන් එබෙන්න බැරිද ? මේ..සොරායාට නොකියන, මගේ හිතට හිතෙන දේවල්!

" හහ්... හහ්... ටියුබ් ලයිට් වලට වඩා වචන මෙහෙ උප සංස්කෘතියෙ තියෙන්නෙ සොරායා... ම්ම්... දැන් කැම්පස් එක ඇතුළෙ තැන් කීයක විතර නම් දන්නවද ? "

ඒ වතාවෙ නං, නම් කරන්නත් කලින් කෙල්ල බුහුටි දෙකම්මුල් පුම්බනවා. ' මොන මඟුලක්ද ? මං ඔයාට ආදරේ කරන්න අරන් ' කියලා කෙලින් කියන්න - පොල්ලෙන් ගහන්න - බැරි කමට - පෙම්වත් නාගයා හුඹහ ඇතුළට රිංගනවා. තට්ටුවක් උඩට පේන අහස දිහා බලලා සැණින් අපේක්ෂා පොළොවට අත්හරිනවා වගේ හැඟීමකින්.

" ම..මම අයි..යෙ නාඩගම - පචවල - තාර කට්ට...ආ..තව.. සිරීපාදෙ දන්නවා. ඒ..ඒත්.. සිරීපාදෙ නම විතරයි... තැන දන්..නෑනෙ අප්පා... තව ඉබ්බා ගහනවා...කැස්බෑවා ගහනවා... එතකොට නා..න..වා... හිහ් හිහ්... "

නෑම! නෑමෙහි අර්ථකථන වෙන ' සබන් ගාලා නෑම, නිකං නෑම ' මුසුවුණ ' නෑම ' ගැන කියද්දි බලන්නෙපැයි සොරායාගෙ ලැජ්ජාව! ඒ හිරි ඔතප් තාලෙට දේවධර්ම ජාතකෙත් පරාදයි. සරසවියෙ ඇතුළෙ සෙක්ස් ' නෑම ' කියලා නාමකරණය වුණේ කවදද - කොතැනදිද නොදන්නවා වුණාට කොළඹ සිරීපාදෙදි නානව නං කුඩයක් අරන් යන්නම වෙනවා. ඒක අනිවාර්යයක්. නැත්නං නෑමෙහි ආදීනව සිනමාරූපී වෙන්න පුළුවන්. යථෝක්ථ කාරණා මේ මොහොතෙ සොරායා ඉදිරියෙ ගොනු කරගන්න බැරි නිසා - ඒ ලැජ්ජාව මාව උස්සලා පොළොවෙ ගහන නිසා - මං වාචාලකමට ප්‍රේමණීය මධුවිත වක්කරනවා. කලින් දවසක සැරෙන් ඇහුව ප්‍රශ්නෙම - එදා සොරායා දැනගෙන නොහිටපු දේ - අද - හෙමින් ආයෙමත් අහනවා. උත්ප්‍රාසාත්මක මත්වීමක් එක්ක!

" හ්ම්ම්.. සොරායා.. ගොඩ ගිහින්ද ඉන්නෙ ? "

උඩ තට්ටුවට පේන නිල් පාට අහස එකපාර කට්ට කළුවර වුණා. මහ වැස්සක් නොකියම සූර්ය මංගල්ලෙට කඩාපාත් වුණා වගේ. හීන් හිනා තැවරුව මුව පොඩිත්ත තත්පර වන්දනාවකින් ගොළු වුණා. නළලතින් ඇස් අග්ගිස්සට පනින දහදිය බිංදු සොරායා පුංචි අතින් - සියුමැලි ඇඟිලි වලින් - ටික ටික පිහදාන්න පටන් ගත්තා.

" අ..අ... අයි..යෙ.. ගොඩද මඩද මං දන්නෙ නෑ... ම..මගෙන් ඒ..දේවල් අ..අහන්නෙපා... ප්ලී..ස්... "

ආයාචනාත්මක ස්වරයෙන් ' එපා..ප්ලීස්..' කිව්වට පස්සෙ ආදරේට වුණත් ' එක්ස්කියුස් ' කොහෙන්ද ? ඒ සවන් පෙති අද්දරට ඇහෙන්නම - ඕනෑවටත් වඩා හයියෙන් - නිහඬවම - මං ගොළු හුස්මක් අරන් බිමට අත්හැරියා. බයවීමක්ද ? ළතැවීමක්ද ? සැඟවීමක්ද ? මොකක්ද ? කියලා නොතේරෙන මනසිකාරයෙන් ප්‍රේමය සැළුණා. ජන්මෙට වඩා මහා විශාල පුරුද්දෙ එක දිගට වමත යෙදෙන්න පටන් ගත්තා. උපතින්ම ලද වස්තුව - නියපොතු - හපාගෙන හපාගෙන හපාගෙන ගියා....... කිසිම අහිතක් නැතිව තව දුරටත් ඉඟි බිඟි පාන ඒ නේත්‍රාලිංගනයෙන් වේදනා කුණු රොඩු ගෑවිච්ච සියොලඟම දෝවනය කරගත්තා.... ඒත් සොරායාගෙ මුවගින් ගිලිහිච්ච ප්‍රශ්නාර්ථය තවත් හිත කොනිත්තා ගැනීමකට ඌන පූර්ණයක් විතරද ? මෙච්චර වෙලා හොඳින් - හිත හොඳින් - කතා කෙරුව ඒ ලවනත ' ගොඩ යාමේ ප්‍රශ්නයෙන් ' මගේ හිත පිටුවහල් කෙරුව හේතුව මොකක්ද ?

-------------------------------*-------------------------------*--------------------------------------*----------------------------------------------*

ෂර්ලොක් හෝම්ස් ආවත් විසඳගන්න බැරි 'දරුණු රහස්' පිරුණු වාතාවරණයක නිරුත්තර අවතැන් වීමකින් හිත පෙලෙනවා. මුහුණු පොත පුරාවට එක් එක් මුහුණු ' වීකෙන්ඩ් ෆන් - සන්ඩේ ෆන්ඩේ...' කිය කිය ස්ටේටස් ඇතිරුවට මට නං සති අන්තෙ කියන්නෙම මහ පිස්සු විකාරයක්. කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ කොනක - ගේක - කෙල්ලෙක්ට කරන ' බෙලි කැපීම ' ඇරුණම... බයවෙන්නෙපා.. ඒ කියන්නෙ ' පොලිටිකල් සයන්ස් ' ක්ලාස්සෙක ඇරුණම අනෙක් හැම මොහොතම ගෙවෙන්නෙ අන්ත පාදඩකමේ. ඒ පොට්ටයා, පුෂ්පයා, චීත්තයා එක්ක සැට්වෙන පරණ කතා - රස කතා - හිනායන කතා - කුණු කරවල කතා මැද්දෙ.... වෙලාවකට බයිට් නැති වුණාම අපි අපිම බයිට් වෙනවා. සැන්ඩි නැති වුණාම ඔන්ලි ගල් වලින් උගුරු - පපු ගල් වෙනවා. ' මැක්සි අන්කල්ගෙ ' තත්වෙ ටික ටික හොඳ අතට හැරෙන මොහොතින් - හැරෙන තැපෑලෙන් - බෝතල් සතුට - සුද්දාගෙන්...

" හොඳට ඇහැ කන ඇරල බලපන්. මේ සිරා සීන්නෙකක්ද හීනයක්ද කියල... හහ් හහ් හහ්... "

පොට්ටයගෙ ඉසියුම් නෝන්ඩිය සුද්දාට. හුඟක් වෙලාවට ' තඹ සතේ නෑ ඕයි ' කියන සුද්දගෙ අතේ අද බෝතල් තුනක්!

" හා හා පොට්ට නක්කලේ නොදා හිටහං... මේ අපේ එකා අවේලාවෙ කූරියා නොගහපු සතුටට ඈ... හහ්.. එදා වගේමයි ඕයි තාම... මෙලෝ අවුලක් නැතුව ඌ හිනාවෙනව..මට ඇහි පිහාට්ටට ඇඩෙනව. හහ් හා.. බීපන්. මේ අපි හැමෝගෙම කඳුළු! "

විහිළුවෙන් තහළුවෙන් වුණත් සුද්දා ඇඟට නොදැනි කිව්ව කතාවෙ ගැඹුර රැඳිලා තිබුණේ අන්තිම වචන දෙක තුනේ. .. ඔය වචන ටිකම මේ පීඩිත බවට - හිත් වලට - සමාජ ක්‍රමයට - පාලනාධිකාරියට කොච්චර ගැළපෙනවද ? මීට අවුරුදු ගාණකට කලින් ගිනිගත්ත රෙදි මෝල ඉස්සරහ- සාම විහාරෙ වැඩ හිටපු බුදුහාමුදුරුවො පන්ති පරතර දන්නෙ නැහැ. දැන් වැඩ ඉන්න හැව්ලොක් සිටි අසල 'සුඛෝපභෝගී බුදුන්'ට කන් ඇහෙන්නෙ නැහැ. මේ බීරි සමිඳුට වඳින පුදන බහුතරේ ඇළ කණ්ඩියෙ සුනීත සෝපාකලා. ඒත් සිටියටම පිට දීලා වැඩ ඉන්න බුද්ධා ඒ ගැන දන්නෙ නැහැ. කූඹි කැලේ අම්බපාලි - වතු අතර වෙසඟන - පිරිමින්ට අරක්ගත් දෙවඟන - ' කාන්ති ' චූටි පුත්තරයා එක්ක ඇවිත් හැමදාම උදේට මේ පූජාසනේ මල් අතුරනවා. ඒ මල් අහුරෙයි - රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහ ප්‍රාඩෝ එකෙන් පනින 'මමී' මමියකයි වෙනස දන්නවනං තව දුරටත් ඔය බීරි - ගල් පිළිමෙ ඔතැන නැහැ... පණ ඇවිත් ඇළට හරි පනිනවා ඒකාන්තයි.

" මඳයා.. මොකද ඩෝ සයිඩ් ගහලා.. ආහ්.. කියහන්කො උඹේ ජාතික ගීය... උඹ ළඟදි ඉඳන් අම්බ සීරියස්... මොකෝ දතක් ගලවන්නද ? ගලක් පෙරලන්නද ? "

බුදුන් වෙනුවට මතක ඇළට පුෂ්පෙගෙ පැනීමෙන් මතකෙ උඩු යටිකුරු වෙනවා. ගිනියම් ඇස් මාලාවෙන් - පිච්චෙන පපු කුහර මැද්දෙන් පනින දුම් වළලු සුද්දගෙ පුංචි කාමර බිත්තියෙ උඩම ගහලා තියෙන ' සනී ලියෝන්' ගෙ නිරුවත් ළැම මැද්දෙන් පහළට කිඳා බහිනවා ; එක එක කැපෑසිටි උරුම දුම් හාදු තවරනවා. ගිඩි ගිඩි සරින් පට පට ගාලා තවත් උගුරක් හලාගෙන - මුරුක්කුවක් හපාගෙන - ජාතික ගීය ගායනයට මං සීරුවෙන් මත් වෙනවා.

" දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න - ළං වී ළඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ...

කටු තුඩු මතින් එන්න දුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුණු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා.... "

-----------------------------*--------------------------*----------------------------------------*----------------------------------------------------*

එක දිගට ගලාගෙන යන ගීතයක් වගේ නෙමෙයි, ජීවිතේට ඒකීය තනුවක් උරුම නැහැ. රේඛීය මාවතක ගමනක් උරුම නැහැ. මට අදටත් ලුම්බිණිය ළඟින් හරි, රෝයල් එක ළඟින් හරි යද්දි දැනෙන ආත්මීය සුවඳේ වෙනසක් නැහැ. පිටට හද්ද සැර - ඇතුළෙන් පට්ට හොඳ සංවේදී චරිත මේ දාර ගොඩනැඟිලි අස්සෙ සැරිසරනවා ; පණපිටින් ඉන්නවා. ඒ හොල්මන් නෙමෙයි, ඇත්ත මිනිස්සු!

ඉස්සර ලුම්බිණියෙදි බඩගින්න අමතක කරලා - වතුර ගුජමකින් බඩ පණුවො ස්ටක් කරලා - ටැප් ගැහුව දවස් වල,

" මම්.. මම්.. මඳඅස්.. මෙම්..මෙම්..මෙහෙ වව් වව්..වර්රෙන්..කක් කක් කාප්පන්.. " කියලා බොක්කෙන් කිව්ව - බත්තෙක දික්කෙරුව - විශේෂ අධ්‍යාපන ඒකකයෙ ඉඳන් අපේ පන්තියට රිංගුව - අවුරුදු දෙක තුනකට කලින් සදහටම ඇස් පියාගත්ත - කෙටි කාලීන දිවියක - දිගු කාලීන මිත්‍රයා ; ' රන්දුලයා ' මාව තාමත් රිද්දනවා... රඟහල ගෙදර කරගෙන ගෘහ මූලිකයා වෙලා හොර හතුරන්ගෙන් හෝල්ලෙක බේරගත්ත - බෙල්ටෙකක් වෙනුවට යතුරු කැරලි පැළඳුව ' බාලසූරිය අන්කල් ' - දැකපු කිසි දවසක කකුල් දෙකට සෙරෙප්පු පටියක් ළං නොකරපු ' අප්පුහාමි අන්කල් ' - තරුණ කාලෙම ලුම්බිණිය වෙනුවෙන් කැපකෙරුව - ජීවන රඟමඬල ' කලාවෙ මහගෙදරදි ' ම රඟ දක්වපු - ' ඉෂාරයියා ' - ' අජියා ' - හෝල්ලෙකට ඇස් දුන්න - ඒ කියන්නෙ ලයිට් බුවා ' සේන මාමා ' වගේ චරිත නැත්නම් " ලුම්බිණියක් " ලොවෙත් නැහැ. දුගී දුප්පත් ජනතා බදු මුදලින් යැපිලා, කෝටි ගණන් පවුරු ප්‍රාකාර තමන්ට හදාගෙන, අංශු මාත්‍රයක් ඉස්කෝලෙට පුදන - බඩ තඩි - මොළේ පොඩි - මැති ඇමතිවරු වගේ උන් මහත නැහැ... මේ පට්ට කෙට්ටු ඇත්ත මිනිස්සු!

මතක පිටු අතරින් වර්තමානෙට අඩිය තියද්දි ඒ කාලෙ ලයිෆ්ෆෙක වගේ දැන් කුරුල්ලෙක් වෙන්න බැහැ.

ප්‍රශ්න විතරක්ම කරක් ගහන බිම්කඩක පොදු ප්‍රශ්න ජාලාවෙ විසඳුම් කතිකාවට - දේශපාලන සාකච්ඡාවකට යන්න වෙලාව යෙදිලා තිබුණෙ හවස් වරුවෙ... මං කොලේජ් හවුස් එක ළඟින් බහිද්දි හතර හමාරත් පහුවෙලා. ටිකක් පරක්කුයි ... ගමනට දෙපයට හදිසි වුණත් දෙනයනට මහන්සියි.

" ආහ්... තත්පර සහෝදරයා... දැන්ද එන්නෙ....? "

පිටිපස්සෙන් ඇහුණ සුපුරුදු හඬින් ඉක්මන් ගමන මොහොතක් නැවතුණා. ආට්ස් ෆැකල්ටියේ ' සුසර සහෝදරයා.'

" ඉතින්...සහෝ අපි තාමත් 'මේ රටේ මිනිස්සු' කියල බය නැතුව කියන්න පුළුවන්."

" හහ් හහ්... ඒකනෙ ඒකනෙ.. හරිම වෙලාවට වැඩ. "

ගමනින් ගමන - මොහොතින් මොහොත - ගතවුණ වෙලාව අවසන් වුණේ සැලකිය යුතු එකඟ වීමකින්! " නේවාසිකාගාර ප්‍රශ්නෙට විසඳුම් - පෞද්ගලික සරසවි කඩ වලට විරුද්ධ වීම් - පීඨ වසා දැමීමට එරෙහිව ගන්න ඕනි ක්‍රියාමාර්ග මොනවද ? ගල් ගිලලා වගේ තවත් ඉන්නවද ? ' තුම්මුල්ලෙ මොන්ටිසෝරිය ' අරගලයක සමබිමක් කරනවද ? " වගේ කරුණු පිරුණු සාකච්ඡාව ඇස් පියාගනිද්දි - හමාර වෙද්දි අහස හොරෙන්ම කළුවර කැන්දන් ඇවිල්ලා. රාත්‍රිය උදාවෙලා.

ගෙදර බලා ඇදෙන ආපසු ගමනෙදිත් කතාවට එකතු වෙන්නෙ - මහරගම බෝඩිමට යන ' සුසර '. සුසරට අනන්‍ය ගැඹුරු හඬින් වචන සුසර කෙරෙනවා.

" තත්පර සහෝදරයා... මොකද ඉඳලා ඉඳලා එක පාරටම බුකි බිත්තියෙ අහස පොළොව නුහුලන පෙම් කවි අලවන්නෙ ? හහ් හහ් හහ්..."

" හහ් හහ්... ඇයි අපිට ප්‍රේමය අකැපද කොම්රේඩ් ? "

" නැහැ නැහැ කිසිසේත්ම නැහැ... ඕක අකැප ' සඳ එළිය සේ සෞම්‍යයි පාරිශුද්ධයි - මල රෙද්දයි ' කියන උන්ට විතරයි.. හහ් හහ් හහ්..."

සුසර, වදන් වැල් සුසර කරන විදිහ අමුතුයි.. ප්‍රබලයි. ඒ වදන් හැමෝටම සැට් නැහැ. ෆස්ට් ඉයර් එකේදි හොස්ටල් එකේ අල සින්නෙක් දුන්න 'බ්‍රහ්ම දණ්ඩන ' රැගේ විඳලා - බකට් වුණාට පස්සෙ ඒ සින්නව ප්‍රසිද්ධියෙ දණගස්සන්නෙ මේ සුසර. මිනිහා එහෙව් ' නයා පන්නයෙ පන්න පන්න එන හාදයෙක්'. අනෙක් පැත්තෙන් යන යන බිම මනුස්සකම වපුරන ජාතියෙ ' පස සරු කරන රතු ගැඩවිලෙක්! හදවතට සමීපම උන්ට පවා කියන්න මඟ හැරුණු " ඇත්ත " සුසර ඉදිරියෙ මගෙ මුවින් ගිලිහෙනවා.

" අලුතින් බැස්ස නැවේ කෙල්ලෙක්ව මට වැදිලා තියෙන්නෙ සහෝ... "

" අම්මටසිරි... ජයවේවා ජයවේවා... තොරතුරු කියපන් ... මං ඔයි උඹ ඇස් වලින් සිරා පැණියක් පෙරනවා දැක්කමයි... "

ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් මිනිස්සු ඉස්සරහ බය නැතුව ' හෘදය සාක්ෂිය ' වමාරන්න පුළුවන්. වෙලාවක් කලාවක් ගැන නොහිතා - දෙපාරක් නොහිතා - ඕනිම මාතෘකාවක් ගැන වචන ගළපන්න පුළුවන්.

" කෙල්ලගෙ නම සොරායා.. ඒ හඳ මුස්ලිම්. හොඳයි.. හැඩයි.. රතුයි... මං විශ්වාස කරන හැටියට උස් පපුවක් ගැහෙන සද්දෙ ඇහෙන්නෙ මිටි කෙල්ලෙක්ට. ඔන්න ඔය මොකක්ද මන්දා හේතුවකට මගෙ පපුවම ඒකිට ලව්... ඔව්..ලව්! "

" මරු.. මරේ මරු. උඹ කෙල්ලට කිව්වද ? ඉදිරිය මොකද වෙන්නෙ ? "

සුසරගෙ ප්‍රශ්නගත මැදිහත්වීම ඉදිරියෙ උත්තර නිරුත්තර වෙනවා. ඒත් ' ප්‍රේමය ' ඊට වක්‍රව පණදෙනවා.

" තාම නැහැ... විප්ලවේකට වුණත් ගරිල්ලො විතරක් මදිනෙ සහෝ....කවියො,ලේඛකයො, නාට්ටිකාරයො..මේ හැමෝම එපැයි. මං මේ දවස් වල ප්‍රේමණීය අවි තනනවා. අවශ්‍යම මොහොතෙ වෙඩි තියනවා. "

" නියමයි.. උඹට වරදින් නෑ... මං එකෙන්ම- බොක්කෙන්ම. බොලොක්ක වැටුණොත් කියපන්. දෙකක් නැහැ, බලාගන්නම් එකෙන්ම... "

සුසරගෙ සං මිත්‍ර කයිය හදවතට හයියක්!

ප්‍රාර්ථනා තරුවක් හිත් ආකහේ අලවගෙන- වත්තට ඇවිත් - ගෙදට්ට අඩිය තියද්දි තාත්තම්මා බර කල්පනාවක. වෙනදට දෙපා පිළිගැනීමේ නිලධාරි ; බන්ටි ; පූසි අද නිස්සද්දයි.

" තාත්තම්මෙ ? "

තාත්තම්මා සද්ද නැහැ. තරහා වෙලාද ? ප්‍රශ්නයක් වෙලාද ? මගෙ පරණ කුපාඩිකමක් මාට්ටු වෙලාද ? වගේ එක එක විකාර වලින් මාව කැළඹෙනවා. මං හඬ තව ටිකක් උස් කරනවා.

" තාත්තම්මේ.... "

ඒ පාර තාත්තම්මා ඇස් හොලවලා ප්‍රකෘතියට ඇදෙනවා. පුටුවෙන් නැඟිටලා මගෙ සමීපෙට එනවා. අත්හැර නොයන සෙවනැල්ල වගේ තාත්තම්මට දෙපා වාරු හාදු තවරන්නෙ මේ දැන් කට ඇරිය බන්ටි.

" ආහ්... හුඟ වෙලා කතා කෙරුවැයි පුතේ ? "

" නෑ නෑ.. ඇ..ඇයි.. තාත්තම්මෙ මේ ? "

තාත්තම්මගෙ මුහුණ හෙම්බත් වෙලා. කම්මුල් මැලවිලා. ඇස් වලින් කඳුළු එළියට පනින්න බලන් හිරවෙලා... නැහැ.. බලෙන් හිර කරන්!

" හරි වැඩේනෙ දවාලෙ වුණේ.. මට ලැජ්ජාවෙ බෑ කොලුවො. වටපිටාවෙ උන් - බස් වල ඇත්තො ඔක්කෝම බලන්. මගේ බඩු පොලෝසියේ උන් දෙන්නෙක් ඇවිත් චෙක් කොළා. කවුරුහරි ඔත්තුව දීල. මං රත් වෙලා උන්නෙ හද්ද හුජ්ජ බරේ.... වෙලාවට මාවා ටික ලී පෙට්ටිය අස්සෙ ගහලා තිබ්බෙ. එවුන් දනී යෑ මයෙ හැටි... හැහ්.. කටු ලෙවල ලෙවල ආවෙ නැතෑ මෙතන අපිට කෙළොවන්න ... "

තාත්තම්මා බය වෙලා... මාව බය නොකරන්න - බය සඟවනවා.

" තාත්තම්මට උන් වැරදි විදියට කතා කළේ නෑනේ... එතන මේස - බඩු මුකුත් පොළොවෙ ගහන්න හැදුවෙ නෑනේ.. කියන්න."

" හහ්... මට කෙළොවන්න.. උඹ දන්නවනෙ කොලුවො. මං මැතිණිගෙ කාලෙ ඉඳන් ඕනි දේකට ඔට්ටු ගෑනි. මුන් බහින්න හදන්නෙත් තුට්ටු දෙකේ මගේ හැඹිලියට . මං ටිකක් වේගෙන් කතා කෙරුව එව්වො එක්ක.. මං කිව්වා මයෙ කොල්ලා තව ටික කාලෙකින් ලෝයර් මහත්තයෙක් කියල.. ඔවුන් නීතියක් දන්න එව්වොයෑ.. හහ්.. මට දුක කලින් වගේ එළිපිට නිදහසේ මුකුත් විකුණන්න බැරිවෙන එකට.. ෂැහ්... "

" තාත්තම්මා දුක්වෙන්නෙපා, මං ඉන්නවා ඕනිම දේකට... "

" බොලා ප්‍රවේසමෙන්... මයෙ පුතාවත් එක එකා ඇදල ගනියි අරවට මේවට කිය කිය ඔය දහ ජරාවට.. පොලෝසියට ආරංචිය ලැබිලලු වාසිටිය ඇතුළෙත් දැන් ගංජා බිස්නස් වෙනවැයි කියලා... "


- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.



Previous
Next Post »

1 comments:

Click here for comments