දෙනෙතට දෙනෙත ගැටෙනකොට දෙතොලට ගොඩක් බඩගිනියි! (සයවන හෝඩිය)

දෙනෙතට දෙනෙත ගැටෙනකොට දෙතොලට ගොඩක් බඩගිනියි!



සයවන හෝඩිය.



'එකා යකා' කියන සම්මතයට පයින් ගහන තාත්තම්මගෙ සෙනෙහස් ගඟුල යට මං හැමදාමත් 'පොඩි එකා.' හය වසරෙ මුදුනෙදිම සිගරට්ටුවක් එක්ක රමණයෙ යෙදිලා තිබුණට, ඕ ලෙවල් වලටත් කලින් හයිලෙවල් අඳුරු අහුමුලු වල රති ඉරියව් අභ්‍යාස කිහිපෙක යෙදුණට, පන්ති කැක්කුමෙන් ඕනි ඇමතුමක හැප්පෙන්න ගටෙන් හිටියට ගෙයි ඇතුළට එබෙන එසැණින් මටත් නොදැනිම මං ' පොඩි එකා ' වෙනවා. සරසවි බිමේ පොලිස් අවතාර - බුද්ධි අංශ පිල්ලි, එක් එක් කල්ලි අතරෙ කරක් ගහන එක පුදුමයක් නෙමෙයි. ජීවත් වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුවත් උදුරගත්ත ශේෂාවකාශෙක ඉපදෙන්නෙ මර්දනය විතරයි. තාත්තම්මගෙ හිත සැලීමෙ - කඳුළු නොසැලීමෙ දහිරිගත බියට මං තවත් අඩුම කුඩුම එක්කහු කළේ නැහැ. මොන මොන තර්ක විතර්ක පැටවු ගැහුවත් වෙලාවකට හොඳම සද්දෙ තමයි නිස්සද්දෙ. 

         මිනිස්සු ජීවිතේ වැඩිම කාලයක් කරන - වැඩිම වෙලාවක් සැනසෙන - එකම දේ වෙන්නෙ ' නින්ද.' එහෙව් නින්දත් අතුරුදහන් කරලා, නිදි දෙව්දුව පැහැරගත්ත ආල බලපෑමෙන් මං තාම අවදියෙන්. ඇසයිමන්ට්, එක්සෑම්, කේසස්, රිපෝට් තියෙන්නෙ ඇස් වලට ෆෝකස් නොවන දුරකින්. හිත අශ්වයෙක් වෙනකොට ගත කිසිම සමාධියකට නතු කරගන්න බැහැ. කූඹියෙක්ට වුණත් අවශ්‍යතා තියෙනවා, ඒක අලියෙක්ට වැටහෙන්නෙ නැහැ. කතා කරන අක්ෂර වලට මහාප්‍රාණද - දන්තජද - නාසික්‍යද වැඩක් නැහැ. බැරියර් නැති හෝඩියක් විතරයි වැදගත්! අංජලිකරණීය කරලා තොල් අග්ගිස්සෙන් ඉඹින්න පුළුවන් උණුසුම් බෝධියක් නං එතැනට පිළිමයක් අවශ්‍යම නැහැ. හොඳට නරකට දෙකට එකටම සොරායා අත්පත් කරගෙන - දුවන පනින වැතිරෙන නටන හිත මැදට තවත් ආදේශකයක් ප්‍රේමය ඇතුළෙ නැහැ. 

ලව් ඉලව් වෙන - ඉලව් මල ඉලව් වෙන - මේක අමුතුම කාලයක්..... ආලයක් වෙනුවෙන් තාලයක් හොයන කාලයක්! 

      ඉස්සර පොඩි පොඩි දේශපාලන පන්ති වලට රැඩිකල් ඔස්තාර්ලා එක්ක ඇතුළට ආව ගිය - කැම්පස් එන්න හීන ඉනිමං නැග්ග ඒ ලෙවල් කාලෙ මාරයි. උපතින් රාජකීය නොවී රතු සිහිනයක් තුරුල් කරගෙන හිටිය 'ස්වර්ණ පාරෙ කුරුල්ලා' කුරුඳුවත්තට පියාඹන්නෙ එහෙම කාලෙක. රෝයලිස්ට් කෙනෙක් හැටියට ඒ භූමියට අඩිය තිබ්බ මුල්ම මොහොතෙ මට ඇතිවෙච්ච දෙගිඩියාව නැතිවෙන්නත් මුල්වුණේ රාජකීය භූමියමයි. රාජකීය මාවතේ ප්‍රාඩෝ පිටෙන් ගොඩ බහින රාජාලියෝ පිරුණු අහසක, ප්ලේන්ටිය බොන්න ආස කෙරුව - කලෙක්ෂන් පිහිටෙන් බස්සෙකට වියදම් හොයාගන්න - උපතින් තටු නොලැබුණ හින්දා කටු අස්සෙන් පියාඹන්න ට්‍රයි කරපු වී කුරුල්ලො පවා හිටපු එක හිතට තදබල හයියක්. අවටපිටාවෙ තියෙන මහා ගොඩනැඟිලි වලට කතා කරන්න පුළුවන් නං ඒ බිත්ති කෑ ගහලා කියයි සුසුම් හෙළපු හදවත් ගැන....  අදටත් ඒ බිමට යන හැම මොහොතෙම දෙපා ඉබේ යැවෙන - නේත්‍රා ඇලෙන ස්ථාන කිහිපයක් තියෙනවා. "නව රඟහල " එහෙම තැනක්. එතැනට මගේ වම් කෝෂිකාවත් එක්ක තියෙන්නෙ උණුසුම් බැඳීමක්. හා හා පුරා කියලා පෙම් කවි අස්වද්දපු අසුන් - අහස දෙදරන්න විවාද කරපු වේදිකා තල - ගැන්සිය එක්ක අල වුණ, ඇලවුණ ඉඳුම් හිටුම් - ' මෙන්න මෙතැනින් අලුත් ආරම්භයක් ගමු, සාම්ප්‍රදායික ඔළු ගෙඩි කුඩු කරමු ' කිව්ව දැනුම් මට්ටම් - එතැනට අඩිය තියද්දි දැනටත් ' කොහොමද මචං ' කියලා බදාගන්නවා වගේ හැඟීමක් ඒ! ' 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළේ නව රඟහලේදි වුණාට පසු කාලීනව 'සුළුතර මතය' නියෝජනය කෙරුව අපිට ඕනි වුණේ ' විජේවීරව - මා ඕ සේතුං ව - හෝ චි මිං ව ' රඟහලට කැන්දන් එන්න... ' මේ හැම තැනකම දුවන්නෙ - හැම රාජකීය බිල්ඩිමකම තියෙන්නෙ දුප්පත් ශුක්‍රාණු, දහදිය කඳුළු පිරුණ ශ්‍රමය කියලා - කොම්ප්‍රදෝරු සංස්කෘතියට වෙඩි තියන්න ඕනි කියලා අපි අපිට සපථ වුණේ මෙන්න මෙතැනදි. අදටත් වෙනස් විදිහට තටු ගහන කුරුල්ලෙක් දෙන්නෙක් රාජකීය අහස උඩින් පියාඹන එක ඒ හීනෙම දිගුවක්! 

    සරසවි වරම් අරගෙන ෆැකල්ටියට ආව මුල් කාලෙ තිබ්බ ' පට්ට උනන්දුව ' කාලෙත්තෙක්ක යට ගියා කිව්වොත් හරි. කලින් නොදන්වා මේ සොරයාගෙ කඩා පාත් වීමත්තෙක්ක ආයෙත් උනන්දුවක් වගේ දෙයක් ඔළුවට ඇවිත්. දැන් පෙරටත් වඩා දෙගුණෙකින් - තුන් ගුණේකින් පැණි හැළිය ඉතිරෙනවද මන්දා.... 

     " තත්පරේ... තත්පරයක් දියන්. "

     තාර කට්ටෙ බෙන්චෙකක අතින් අල්ලන් - තුරුල් කරගෙන හිටිය 'ස්මරණීය පෙම්වතියව ' උදුරගන්නෙ සොනික්. සොනික්ගෙ කොණ්ඩෙ කූරු කූරු. උපන් නාමය 'කුෂාන්'. රැග් සීසන් එකේ ඇඹරුණ වෙලාවක සින්නෙක් අහපු ප්‍රශ්නෙකට දුන්න උත්තරේකින් පස්සෙ ' සොනික් ' වෙනවා. මෑන්ස්ට ඇහුන්කං දෙන්න කලින් ඒ මතකෙ ඇස් වලට ඉඟි කරනවා. 

        " ඒ... මල්ලි, උඹ... කියපන් බලන්න මේකට උත්තරේ... තේරවිල්ලක් වගේ එකක්. ' රෙද්ද අස්සෙ කූරු කූරු ' " 

වටපිටාවෙ හාදයන්ගෙ හිනා කැපෙන්න, කපන්න කලින් කුෂාන්ගෙ කටේ උත්තරේ පැටලුණා. 

        " ආ... රෙද්ද අස්සෙ විතරක් නෙමෙයි අයියෙ... හැම අස්සකම කූරු... ඒ කියන්නෙ... සොනික්."

   සින්නන්ගෙ කෝපය දොළොස් වරක් චක්කරේ වුණේ  ' නොදන්නකම ' වහගෙන කුෂාන් කෙරුව විහිළුවෙන්. ' වල් කතා - මල් කතා - සිල්ගන්න හිල් කතා උත්තර ' හිත හිත හිටපු හැමෝටම හරිම උත්තරේ දැනගන්න ලැබුණෙ හුඟ දවසකින්. 

        " රෙද්ද අස්සෙ කූරු කූරු = කුඩය " 

   අතීතෙ යට යවලා, තත්පරයක ස්වප්න ආනුභාවයෙන් මිදිලා මං සොනික්ව අමතනවා. 

      " ආහ්... සොනිකා.. කියහං බං " 

මිනිහා වටයක් කැරකිලා බෙන්චෙකේ එහා කොනට පිට දීලා - කකුල් දෙකම උඩට ගන්නවා. බිමට වැටෙන්න ඔන්න මෙන්න දත් බොල්ලෑවෙන් වචන උඩ දානවා. 

      " මචං අර ඉස්කෝලෙ හදන වැඩේට මහ ගාණක් එක්කහු වෙලා නැහැ. කොටුවෙන් කෝච්චියෙ නැඟලා සින්දුවක් දෙකක් ගහලා කලෙක්ෂන් පාරක්   දාන්න සැට් වෙන්නයි බැලුවෙ. මොකෝ කියන්නෙ... උඹට එතැහැකිනේ... " 

 සොනික් හිතුවට වඩා වැඩි - බලාපොරොත්තු වුණාට වඩා වැඩි වදන් කූරක් මගෙ කටින් විසිවෙනවා. 

      " අහන්නත් දෙයක්ද බං? දිනෙයි තැනයි වැඩෙයි කියහං... එන්නං."

      " එළ... නියමයි. බොංගෝ එකයි - ගිටාරෙකයි රෙඩී. මේ බදාදා 8.30ට මාතර යන ට්‍රේන්නෙකට කොටුවෙන් නඟිමු. උඹට කලින් කෝල්ලෙකක් දෙන්නං තත්පරේ. "

      " හරි බං..හරි... එහෙම කරමු."

   මොකක් හරි වැඩක් ඇති සමාජ කටයුත්තකට, මූල්‍යමය නිමිත්තක් හැටියට කෝච්චියෙ හරි බස්සෙකේ හරි සින්දු කියන එක මට අමුත්තක් නෙමෙයි. ඒ කාලෙ ශිෂ්‍ය සංගමේ ඉද්දි මිනිස්සු අතරෙ එක් රොක් වෙන්න - ආධාර මුදලක් හොයාගන්න - ඇප කැප වුණේ - සින්දුවෙන්! ' ජීවිතේ තරුණ කාලෙන් පටන් අරගෙන... ආශා නිරාශාවෙන් ඉන්ද්‍රජාල ප්‍රේමය හඹාගෙන... රංග නදීකාට එන්නෙපා කිව්ව දවස් ' ඇත්තටම ආයෙ එන්නෙ නැහැ. දැන් කරන්න තියෙන්නෙ ' ඔබ ඉන්නේ කොහෙද කියා ලෝකෙ පුරා හොය හොය...ලන්ද පිරිමැද පිරිමැද කන්ද මුදුනට මුදුනට මුදුනතටම ගිහින්... ප්‍රේමයේ මන්දහාසිනී - යෞවනේ සිහින සාධනීව' හොයාගන්න එක විතරයි. 

   " මැක්සියව ගෙදට්ට ගෙනත් " කියන කෙටි පණිවිඩේ ජංගම දෙයියා අතට පත් කරලා තිබුණෙ පොට්ටයා. දවස් ගාණක ඇරියස් කතා අහුරෙන් දෙසවන් පුරවගන්න අටියෙන්, කැඩෙන්න නියමිත ඒත් නොකැඩෙන පුරු පුරු පුටු සැටියෙ ඉඳගන්න හිරියෙන් හිටිය - එදා රෑ ගෙවෙන්න නියමිතව තිබුණෙ අහසෙ වම් පැත්තෙන්. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියලා පක්ෂ වන්දනා කරන ගෝත්‍රවාදීන් අස්සෙ ' කැපුවත් අල්ලගන්නවා - හැපුවත් බදාගන්නවා - ඇඬුවත් හිනාගස්සනවා ' කියන මැක්සිගෙ හඬින් සුයාමය ඇරඹෙනවා... 

     " පිස්සු ඕයි..පිස්සු... වරෙන් වරෙන් කොල්ලො... සුද්දා..යකෝ..පුතේ.. යකෝ.. මෙහෙ වරෙන්. ඇවිත් බලපන් කවුද ගොඩ බැහැලා ඉන්නෙ කියලා. "

   මං හිනාව ඉනාව කරගෙන පනාව දාන සැණින් - වාඩිවෙන්නත් කලින් සුද්දා අත පිහ පිහ සාලෙට දුවගෙන එනවා.

     " ර්ර්ර්ර්..මූ ද ? උඹට පිස්සු තාත්තෙ. මූ මේ උස්වැටකෙයියාවෙ ඉඳන්ද, කොරියාවෙ ඉඳන්ද, අඩු ගාණෙ දිල්ලියෙවත් ඉඳන්ද එන්නෙ ? රෙද්ද.. මං හැඳි ගාන හොද්දත් පැත්තක දාල ආවෙ " 

     සුද්දගෙ ගෝරනාඩුවට මං කින්ඩිය දාන්න කලින්ම මැක්සි අන්කල් හඬ නැංගුරම දියත් කරනවා. මුහුදට නෙමෙයි... ඇළ අයිනෙ ෆ්ලැට්ටෙකෙන් පහළට. 

     " යකෝ... මූ එසේ මෙසේ එකෙක්ද ? පොඩි කාලෙ උස්සපු වෙලාවක මට බිත්තර සාරු ඉස්සා. තවත් දවසක මුන්ලෑ ආච්චි කියල හිතන් අපේ එකීව හැපුවා. මුගෙ පුරස් චාර්වකේ අපේ ගෑනිගෙ බාහුවෙ. ඒ පාර සතියක් හමාරක් එතනම තිබ්බා මගෙ හිතේ. යකෝ සුද්දො, මංවත් අපේ එකීගෙ ඇඟේ පතේ ඔච්චර කල් මැකෙන්නැති පාරවල් තියලා නැහැ... හහ් හහ් හහ්... මූ එහෙව් ජාතියෙ බඩ්ඩක්! " 

   හිතට එළැඹෙන හිනා වළකන්න මටම හැකියාවක් නැහැ. 

   " හාහාහා... සුද්දා..මං හැමදාම කියන්නෙ..උඹ වයසට ගිහින් තාත්තව අපේ වයසට එවපන්. මේවගේ කටක් නං අලුත් කඩෙන්වත් අහුලගන්න වෙන් නෑ "

මගේ කතා සමාගම බෙල්ලෙන් අල්ලලා - හොල්ලලා - මුල්ලෙන් තියන්නෙ මැක්සි අන්කල්.

     " මොකක්ද සුද්දො ඒ හරුපෙ... ඈ යකෝ... උඹලගෙයි මගෙයි මොකක්ද වයස් පරතරේ... මං වයසද ? උඹලා මගෙ වයසද ? මේ බලපන්..." 

 මැක්සි අත පුම්බගෙන - ඉසියුම්ව මතුවෙන තරමක් දැඩි ගෙඩිය මිරිකනවා.

     " මගෙ හයිය හත්තිය තව තරුණයි ඩෝ... මං ගැන අපේ එකාගෙන් රෙකමදෝරු මොකටද ? කිල්ලපනේ කරූ අයියගෙන් අහපන්.... එලොව ගිහින් දෙයියන්ගෙත් කජ්ජ හොල්ලලා ආපු එකෙක් මං.. හහ් හහ් හහ්.. මෙලොවදි මහ බඹාටත් වඩා බෙබෙක්. හහ් හහ් හා... " 

    කොච්චර හිතේ අමාරු තිබුණත් - මෙච්චරක් පපුව රිදෙනවා, අච්චරක් ණය තුරුස් බේරන්න තියෙනවා නොකිව්වත්  - මැක්සි  හැම මොහොතෙම වඩන්නෙ රිලැක්ස් ධ්‍යානය... කිරුළපනේ කරූ අයියා ; විල්සන් කරුණාරත්න ගැන - නිහාල් සිල්වා ගැන කියවන්න තියෙනවනං මැක්සි අන්කල්ට ඊට එහා ලව්ලි සයිකොවක් තවත් නැහැ. 

      " කෝ මේ කතා බතා අතරෙ ආව කතාව මඟ ඇරුණා. කොහොමද අන්කල් දැන් අසනීප තත්වෙ ? " 

      " හහ් හහ්... තාම නාඩි වැටෙනව... පණ්ඩිත දේශනා බොරු බං... මැරෙන්න ලේසි නැහැ... ජීවත් වෙන්න ලේසියි. " 

      " එතකොට මැක්සි අන්කල්... බෙහෙත් හේත් එහෙම ?  රිපෝට්ස් වල මොනවා තිබ්බා කියලද කිව්වෙ ? ම්ම්.. ආයෙ අවුලක් නෑනෙ.."

 නිවනක් නැති ප්‍රශ්න ජාලාවෙන් මං මැක්සි අන්කල්ව අවුස්සනවා. 

       " යකෝ.... උඹේ ප්‍රශ්න පත්තර දොස්තරයවත් ඇහුවෙ නෑ. හහ් හහ් හා.... බෙහෙත් නං ගුජමක් හැලුව බං බෝතලේකට...මඟුල... මැරෙනවනං එකක්.. අපේ එකී දැන් ඉන්නවද නැද්ද දන් නෑ. ඕකි ඉන්නවනං මං යන එක ස්ථිරයි... වෙලාවකට ඒත් බැහැ බං... මේ සොමිය,නිදහස එහෙ නැහැ... ඕකි එතැනදිත් හොයන්න ගනියි මං අරක පස්සෙ ගියාද ? යටින් බැලුවද ? අරක මිරිකුවද ? කිය කිය ... හහ් හහ් හහ්... " 

  මැක්සියානු මනෝ ලෝකය සත්තකින්ම මනෝ භාවයක්! තරුණ කාලෙ කරපු කියපු දේවල් නැවත නැවත වර්තමානෙට ගෙනත් - අනාගතේට වනපොත් කරන එක මනුස්සයගෙ නිරායාස පුරුද්දක්.... අතරමැදින් පොට්ටයයි - පුෂ්පයයි අල්ලාප සල්ලාපෙට එකතු වුණේ තේකක් අතට ගත්ත මුල් තත්පරේදිමයි. 

   " හපොයි හපොයි... හෙනහුරෝ හෙනහුරෝ.. හහ් හහ්.. වැඩපන් දෙයියො වැඩපන්. සුද්දා.. තව වැඩි සීනි දෙකක් ගෙන. " 

   " මේක හෝටලයක් නෙමෙයි යකෝ... ගෑනියෙක් ගේමු බං වැඩේ ඉවරයි.... තේ හද හද දෙයි. තව ඉඹ ඉඹ ඉන්නත් පුළුවන් තාත්තෙ උඹට " 

   " මං කිව්වයි කියල හිතාගන්..පරයා... ආදරේට කිව්වෙ යකෝ... පුතේ අරන් වරෙන් ඉක්මන්ට.. බොලාල ඔන්න ඔහෙන් සිට් සිට්... " 

       මැක්සි අන්කල්ගෙ සංවාද මණ්ඩපේ එල්ලුණ පුෂ්පයා රෑ දෙගොඩහරිය  පනිනකං ම හිටියෙ එකම ප්‍රශ්නෙ. එන්න බලන් පුරු පුරු සැටියෙන් නැගිටින අන්තිම තත්පරේදිත් මැක්සි අන්කල් අවම සිහියෙන් තර්ක ශාස්ත්‍රය පෙරළනවා.

    " යකෝ...මො..මොනවා වුණත් ලෝකෙට මුලින්ම ආවෙ පිරිමියා නෙමෙයි, ගෑනි... ආදං ද, චුයින්ගං ද මොකාද එකයි - ඒවයි මේවයි කියන්නෙ අමු බොරු. කටකතා රස කතා වෙලා ඉතිහාසෙට ගිහින්. ගෑනියෙක් නොහිටියනං මෙතන තොපිත් නැහැ, සේම් ප්‍රොබ්ලම්... මමත් නැහැ. මඟුල.. මගෙ කට.. හැම එකාම ආවෙ කොහෙහරි හුඹස් කටකින් බං. " 

  තර්කයක් කොහෙන් හරි විහිළුවකට සමපාත කරනෙක මැක්සිගෙ ප්‍රතිභාවක්. ඔළුව කකියන වෙලාවල් වල මතට ළංවෙන ඒ ප්‍රහසනයෙ තියෙන්නෙ නියම ප්‍රභාවක්. ස්වාභාවිකවම දැනෙන සොබාවක්!  

   *----------------------------------------*--------------------------------------------------------------------------*---------------------------------------------------* 

      මැජිකල් විදිහට සිහින විමානෙන් ' ස්වර්ණමාලිය ' සෑය ඉස්සරහට පනිනවා වගේ... 120ක ඇවිත් කොලේජ් හවුස්සෙක ඉස්සරහ ප්‍රාදුර්භූත වුණේ ' සොරායා.' මේකට කියන්නෙ දෛවය නෙමෙයි. මේ ප්‍රේමය අපිව අමතන විදිහ. බිය නොවන්න ප්‍රේමිය! දැන් පෙන්වන්නං මං ප්‍රේමය අමතන විදිහ. 

      " ගුඩ් මෝර්නින් සොරායා... හැමදාම මේ වෙලාවටද එන්නෙ ? "

සීතල කඳුකරයක මීදුම මැදින් හමාගෙන යා යුතු හුළඟක් උණුහුම් කොළඹ ඉදිරියට ඇදෙනවා. සොඳුරු නළලත අයිනට සදාකාලිකව හිමිකම් කියන කෙහෙරැලි මාලාවයි - දෙකන් පෙති අතරෙ කිති කැවි කැවි ඉන්න හදවත් සලකුණින් යුතු කරාබු ජෝඩුවයි ආඩම්බරකම් පානවා. ජීවිතේ හැම බරක්ම බිමින් 
තියන හුරුබුහුටි මුහුණත කතිකාවට මුසු වෙනවා.

      " වෙරි ගුඩ් මෝර්නින් මඳහස් අයි...යා... ම්ම්ම්.. සමහර දවස් වලට නානා එක්ක උදේම එනවා.. අද එයා නෑ. ඉතින්...මං ආව වෙලාව තමයි මේ... "

  වචන අවකාශගත වෙන ඉක්මනට හදවතට සනීපයි. ගතවෙන්නෙ මොහොතයි.... දෙනෙතට දෙනෙත ගැටෙනකොට දෙතොලට ගොඩක් බඩගිනියි. හිත - ගත අවුස්සන සුසමාදර්ශ ව්‍යංගාර්ථ වලට කවදාහරි කොහෙදිහරි හරියටම උරුම තැන දෙන බලාපොරොත්තුව කතාවට සමීපයි. 

මේ සඳ අටවක කාලෙදි - ජම්බු ගහෙන් බිමට පාත්වෙච්චි මුල් කාලෙදි වගේ - දැක්කා නොදැක්කා නොකියා මං තවත් ප්‍රශ්නෙකට මුල පිරුවා. 

      " සොරායා, කොහෙද ඉස්කෝලෙ ගියෙ ? " 

      " ම්ම්... කොළඹ ආවට පස්සෙ නම්... සෙන්ට් පෝල්ස් අයි..යෙ... ඒත් මං හුඟාක් කැමති නුවර හිටපු කාලෙට. එහෙදි ගියෙ බද්-උද්-දීන් එකට. "

      " හ්ම්ම්... එතකොට අම්මා මොකද කරන්නෙ සොරායා ? "

      " අම්මි නං ගෙදර... ම්ම්ම්... ඇ.. ඇයි අයි..යෙ.. ඉන්ටවීව් එකකට වගේ... හී හී..." 

  ෆැකල්ටි ගේට්ටුව ඉස්සරහට ආව ඉක්මන මේ තරං ඉක්මන් වුණේ ඇයි ? පසුතැවිලි මාත්‍රා හිතේ තියාගෙනම - මෙහෙන්දි රටා තැවරුව ඒ දෑත දෑසින්ම සිපගන්න හිතාගෙන - මේ සඳ කරකාරෙට ගන්න පුළුවන් හීනෙකට ඇහැ පියාගෙන - මං සිතුවිලි වලට වෙඩි තියන්නං.

      " මාව පිච්චෙනවා...සොරායා... "



- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »