ලංකාව පොඩියි - දැනෙන සාංකාව ලොකුයි. (සත්වන හෝඩිය)

ලංකාව පොඩියි - දැනෙන සාංකාව ලොකුයි.



සත්වන හෝඩිය.



වෙඩි වැදිච්ච සිතුවිලි ජීවිතය ඉල්ල ඉල්ල හිස හැරිච්ච අතේ දුවනවා. නෙත ගැටිච්ච සෙනෙහස අත්හැරිච්ච මඳහස වෙනුවෙන් පිච්චි පිච්චි අදහසක් හොයනවා. මේ ගිනිගන්නෙ තනිකම් කුසුම් පිපෙන - උණුසුම් සුසුම් පිරෙන ස්වසන පද්ධතියයි. 

       " සොරායට මතක ඇති..මං දවසක් කිව්වා, නිදහසේ කතා කරන්න ඕනි කියලා... " 

  වදෙන් පොරෙන් පිටමං කරන්න බැරි බලාපොරොත්තු වදන් මාලාවකට පෙරළෙනවා. කිසිම උත්තරයක් නොදී විස්මයෙන් ඇස් කරකවන විශ්වයක් වගේ කෙල්ලෙක් පෙරළෙන නැවුම් වදනක සුවඳ විහිදනවා. සුසුමෙන් සුසුම සුවඳට ළංවෙලා නුපුරුදු සුවය හොයන්න මගේ හිත සුපුරුදුම විදිහට සූදානම්... 

    " මොකද නංගි, මං නිදහසේ කතා කරන්න ඕනි කිව්වම බයවුණාද ? පැත්තකට එක්කං ගිහින් ඔයාව ගිලියි කියලා... " 

    " අ..අයියට.. හිතුණම එහෙම කෙල්ලන්ව ගිලිනවද ? " 

 මතක ඇති කාලෙක ගිලින්න තියා ගිලෙන්නවත් සප්‍රාණික තටාකයක් නොදැකපු ඇස් දෙකකින් සොරායා හීන විමසනවා. මං පෝළිමට බලාගෙන බලාගෙන ගිහින් හීන අතරින් ජීවිතය තෝර ගන්නවා. 

     " මං කිව්වෙ, විහිළුවක් නෙමෙයි සොරායා... "

     " විහිළුවක වුණත් හතරෙන් තුනක්ම ඇත්..ත.. මඳහස් අයි..යෙ.. " 

     " සමහර වෙලාවට අපි දකින ඇත්ත කියන්නෙ තනිකරම විහිළුවක්... ඒක දන්නවද නංගි ? " 

     " හාහා..දැන් විහිළු ගැන විහිළු ඇති. ඇයි..අයි..යා...සමහර දේවල් ගැන ඕනාවටත් වඩා හිතන්නෙ ? ම්ම්ම්..සරලව නොහිතන්නෙ ? " 

ප්‍රේමය මාතෘකාගත වෙනවා වෙනුවට දැන් නූල ඇදෙන්නෙ වෙනම ම දිසාවකට. සරුංගලය කඩාගෙන යන්න කලින් හිතුවක්කාර නූල් දීගෙන දීගෙන යන්නෙ හදවත. 

     " අපි ඉන්නෙ ප්‍රශ්න ගැන සරලව හිතන්න පුළුවන් රටකවත්, බිමකවත් නෙමෙයි සොරායා. මේ හැමදෙයක්ම සංකීර්ණයි... දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්නකං  අර අතන අතුගාන මනුස්සයටයි - ඒ දිහා බලන් ඉන්න දරුවටයි හෙටක් කියලා දෙයක් නැහැ. අපිටත් ඒ වගේමයි. හෙට කියන්නෙ විශේෂ දවසක් නෙමෙයි, අද දවසෙම ෆොටෝ කොපියක් විතරයි... ලංකාව පොඩියි.. දැනෙන සාංකාව ලොකුයි. " 

    තාර කට්ට පිළිවෙළට අමදින සේවක පියා දිහා බලාගෙන - නේත්‍රා නමදින්නෙ පුංචි කෙල්ලක්... කෙල්ලගෙ අතේ අඹ ගෙඩියක්. කරදඬු උස් මහත් වෙන දවසක - ළැම ඉස්සිලා ළමිස්සියෙක් වෙන දවසක - පවතින ක්‍රමය ප්‍රශ්න කරලා කොනහන්න වගේ - තත්‍ය ලංකාව චප්ප කරන්න වගේ - කෙල්ල වැඩෙන දත් වලින් අඹ ගෙඩිය පතුරු ගහනවා. ඒක මරු වැඩක්! 

   සොරායා ඉක්මන් ගමනින් ලෙක්චර් හෝල්ලෙකට නොයා - සක්මන් දෙපා ඇතිව - මාත්තෙක්කම -නිහඬව ඉදිරියට ඇදෙනවා. විනාඩි දෙක තුනක අවටපිටාව ශ්‍රවනයෙන් ස්වකීය හඬට පිවිසෙනවා.

     " අපි අද..ම.. කතා කරමු අයි..යෙ.. ආය අමුතුවෙන් නිදහස් වෙලාවක් ඕනි නැහැ...නෙ... මොනවා වුණත් මං ආස අයි..යගෙ..ඔය නොතේරෙන ගැඹුරු තේරුම් තියෙන වචන වලට... ඒත්...ඒත් වෙලාවකට ප්‍රශ්නයක් අප්..පා... " 

     " ඒ මොකද සොරායා ? "

     " න්..නෑ..අපි හිතන්නෙ සරලවනේ...ඒ කියන්නෙ මම. ඔහොම සංකීර්ණෙට හිතුවොත් පිස්සු හැදෙයිනෙ අයි...යෝ... " 

     " හහ් හහ්... මට නං මේ කතා කරන මොහොතෙත් පිස්සු... හොඳටම පිස්සු... " 

 යටි හිතේ ප්‍රතිනිරීක්ෂණයටත් කලින්ම දත කට මැදන් - සනහස මැදින් සැබෑ කියමන් විසිරෙනවා. ව්‍යංගාර්ථ පිරිච්ච වචනයක් විසිවෙච්ච සැණෙකින් සොරායා නිස්සද්දෙට අඩිය තියනවා. ඒක දැන් පුරුද්දකට ගිහින්...  

   " සොරායා... මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරන්නෙ කාවද ? " 

   " අල්ලාහ් දෙවියන්ව... "

   " දෙයියන්ටත් නොකිව්ව රහස් ජීවිතේ තියෙනවද ? " 

   " නෑ... හැම රහසක්ම කියන්නත් කලින් දෙවියො ඉස්සරහ එළිවෙලා තියෙන්නෙ. " 

   " මෙහෙමයි සොරායා...මගේ ලෝකෙ දෙවිවරු නෑ...දේවාල නෑ...පන්සල් නෑ...පල්ලි නෑ...පිළිම නෑ...මිනිස්සු කිහිපදෙනෙක් ඉන්නවා. ළඟකදි ඉඳන් ප්‍රාණාත්මයක් මාව තදින් හුස්මගන්න පොළඹවනවා. ඒ වගේ හුස්මක් වැටෙන්නෙ - වැටෙනවා කියලා දැනෙන්නෙ ප්‍රේමයක් ඇතුළෙ විතරයි. " 

   දේව වාක්‍යයක් වගේ උත්තරාරෝපිත වුණ ප්‍රේම හාස්කම දැන් හිතට ඒකාබද්ධ වෙලා. සිතක සිතුවිලි වටින් පිටින් ඇවිත් මධ්‍ය ලක්ෂය ළඟ නවතිද්දි සොරායට දැනෙන දේ ළයාන්විතව ගිලිහෙනවා.

    " අයි..යෙ... මට කෙළින් කියන්න...ඔයා එක එක විදිහට කියන්නෙ එකම දෙයක්ද කියලා ? මට එහෙම හිතෙනවා...ඒ..ත්..තේරෙන් නෑ... "

  සොරායගෙ චින්තනය හරියටම හරි. ගමනාන්තයක් අවශ්‍ය හින්දා - කාලාන්තරයක් ප්‍රේමණීය රැඳවුම් භාරයක සිරගත වෙන්න ඕනි හින්දා - නාඩගම හරියෙ බෙන්චෙකක - සොරායාට අතින් සන් කරන ගමන් මං හිඳගන්නවා. එක් එක් හැඩතල සපිරුණ - තියුණු සැරසිලි ඉහිරුණ බෑගයක්, ජීවන සුවඳ අද්දර හමන කොලොන් සුගන්ධයක්, ලෙගින් දෙකකුල් දිගේ වැතිරෙන පා සළඹක් නැළවෙන තාලයට පපුව ගල්වෙනවා. ' මේ ඔක්කොම සැරසිලි විතරයි ' කියන්න වගේ සොරායා තදින් හුස්ම ගන්නවා. බිමට බරවුණ දෑස - ටිකක් ඔසවලා - කතා කරනවා. 

    " ඉතින් කියන්න... මඳහස්...අයි..යා...ටික වෙලාවයි මට මෙහෙම ඉන්න පුළුවන්...මෙතන අපි දෙන්නා විතරක් ඉන්න එක හරි..නෑ..නෙ.. " 

    " ඇයි සොරායා වැඩවසම් විදිහට හිතන්නෙ ? මෙතන ඉස්කෝලයක්වත් දහම් පාසලක්වත් නෙමෙයි... මේක යුනිවසිටි එකක්. " 

 සොරායාගෙ දක්ෂකම් එළියට එන්නෙ කතා විලාසයෙ උච්ච ස්වර ගැටෙද්දි. මන්ද්‍ර සප්තක - මධ්‍ය සප්තක වලදි නැති අමුතුම කාන්තා පෞරුෂත්වයක් උච්ච සප්තකයෙදි ළගන්නාසුළු වෙනවා. උපනිෂද් සර හදවත උඩ බම්ප් වෙන ගතියක් දැනෙනවා. 

    " යුනිවසිටි එකක් වුණත්...එක එක ළමයි ඉන්නවනේ මඳ..හස්..අයි..යා... එදත් දැක්කනෙ අර අයි..යලා කිව්ව දේවල්..ඒක අයියටත් හොඳ නෑ. අනික මං නිදහසේ දුවලා පැනලා ඉන්න කෙනෙක් නෙමෙයි..නෙ.. අපි බයයි..මං බයයී... " 

    " කාටද බය ? මටද ? " 

    " න්..නෑ..සමාජෙට... " 

කියන්න ආව හරිම කාරණේ මඟහැරලා - සමාජ වාරණේ නිරාවරණය කරන්න මගේ ලේ - ඇට - මස් - නහර සටන් කරනවා.

   "ඇයි සොරායා, අපි අපිටම බැරියර් දාගන්නෙ? ඔයාට නිදහස තියෙනවා ප්‍රශ්න කරන්න..ඕනිම දෙයක් ප්‍රශ්න කරන්න.මේකෙ අධ්‍යාපනය..දේශපාලනය... 
අදේශපාලනය...නීති රීති..බලපෑම්..මේ හැමදේම..ඕනි නම් ආදරේ පවා... "

     වටපිටාවෙ කසු කුසු සද්ද බද්ද එක්ක ඉදිරියට ඇදෙන පිරිස් දකිද්දි කෙල්ල තව ටිකක් තිගැස්සෙනවා. දෙපා තුඩු හුඟාක් ළංවෙනවා. දෑඟිලි එකිනෙක මිරිකෙනවා.

    " කෙල්ලෙක් වුණාම සීමාවල් තියෙන්නෙපැයි මඳහස් අයි..යා... එහෙම නොවුණොත් අර ලැස්කි කිව්වා වගේම..ඒ නිදහස වල් බූරු නිදහසක් වෙනවා නේද ? "  

   " මෙහෙමයි... මිනිස්සු නිදහස වෙනුවෙන් සටන් කරන්නෙ පොදුවෙ වල් බූරු වැඩ කරන්න නෙමෙයිනෙ... අනෙක් අතට පුද්ගල නිදහස හැමෝටම තියෙන්න ඕනි..දැන් සොරායා මෙහෙම උදාහරණයක් ගමු...සිංහල කොල්ලෙක් ඇවිත් ඔයාට ආදරෙයි කියනවා...හරි..එතකොට සොරායා...බයවෙනවද ? අඬනවද ? දුවනවද ? ම්ම්ම්... මොකද කරන්නෙ...ඇහුන් නෑ වගේ ඉන්නවද ? "

   නොහිතුව විලාසෙට - හිත දවන කාරණය සුළං පියාපතක් උඩ නවතිනවා. ඒ තව දුරටත් සොරායාගෙ සෙවනෙ දැවටෙන අභිනයෙන්..ආසාවෙන්... 

   " ම්ම්ම්... සිංහල කොල්ලෙක්... හී හී හී... මං අයි..යට එදත් කිව්..වේ..මගෙන් ඔය ගැනම අහන්නෙපා... කොච්චර දේවල් තියෙනවද අප්..පා..ඔයාට කතා කරන්න... තව දෙයක්..අයි..යා..ඒ කිව්ව දේ නම් එහෙම කවදාවත් වෙන් නෑ... මං ඇහුන් නෑ වගේ ඉන්..නෑ... බැරිවෙලා හරි වැරදිලා හරි එහෙම වුණොත් එයාට වෙන්නෙ මා..ව.. දැක්කෙ නෑ වගේ ඉන්න...හාහාහා..." 

 *----------------------------------*----------------------------------------------------------------------------------------------*---------------------------------------*

සංස්කෘතික සීමාවන් අභිබවා යන උප සංස්කෘතික ප්‍රේමාලිංගන සමුදායකින් ජීවිතේ කැළඹෙන - සිහින කැළතෙන - දස අතේ පැද්දෙන - දින - නියමයක් නැතිව - ගෙවෙනවා... දුෂ්කර පළාත් පාසල් සංවර්ධනයට දායක වෙන අදහසින් - මුදල් හොයන ක්‍රියාදාමය - අතිරික්ත මුදල පතන්නෙ ගීත සමුදායෙන්. උදේ කොටුවෙන් මාතරට යන කෝච්චියට ගොඩවුණ සොනික්,කැත්තා,ඉස්සා,අහිංසා,නිශා ඇතුළු පිරිස මාත්තෙක්ක පෙට්ටියෙන් පෙට්ටියට - හදවත් අස්සට ස්වර විසි කරනවා... කොල්ලුපිටියට - බම්බලපිටියට - වැල්ලවත්තෙ වැල්ලට - දෙහිවලට - මොරටුවට - පානදුරට සුළඟත්තෙක්ක 'සරිගම' මුදා හැරෙනවා. පුංචි යාපනේ නාඹර කොල්ලෙක්ගෙ, මොරටුවෙ කොරළවැල්ලේ ධීවරයෙක්ගෙ, කළුතර පින්බර කෙල්ලෙක්ගෙ හදවත් මැද්දෙ එකී ස්වර පිනුම් කරණම් ගහනවා.

                     " මලක් නම් එය මලක් වුව මැන 
                       සිනිඳු සුකොමළ රුවෙන් සරසන 
                       විලක් නම් එය විලක් වුව මැන 
                       නීල ඉඳුවර දියෙන් උපදින.... 

                       හෙමින් සැරේ පියා විදා 
                       සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් 
                       පලා ඇවිත් සිතුම් සියොතුන්...
                       සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්... "

   *-------------------------------*-------------------------------------------------------------------------------------------*-----------------------------------------*

ජීවන ගීතාවලියට පදවැල් අතරින් එළියක් වැටිලා අරුතක් උපදිනවා. සුමුදු හදවත් සයනයකට සිනිඳු ඇතිරිලි සඳවතක් ඕනෑ කර තිබේ! වැඩේ කියන්නෙ අවශ්‍යම අහසෙ මෙන්න මේ සඳවත අලවන්න බැරිකමයි. 

     " මඳ..යා..මේක කියපන්..මොකක්ද උඹට වෙලා තියෙන්නෙ ? මේ පට්ට මෑතක ඉඳන්. යකෝ,පැණි දහයක් පහළවක් දාල වගේනෙ දවස තිස්සෙ... "

 වත්තට එබෙන එසැණින් පොට්ටයටයි - පුෂ්පයටයි හංගන්න පුළුවන් තුරුම්පු, නොදැනෙන සෙපෝරු පුංචි සන්ධියෙවත් මගේ ළඟ තිබුණෙ නැහැ. ඉතින්... සර්වාකාර හැඟුම් පොපියන මෙහෙව් මොහොතක සැඟවුම් සිහින මොකටද ? 

      " ළංවෙන්න අමාරුම හිතකට මං ලව් කරනවා බං. ආතල්ලෙකට නෙමෙයි...සිරා..සිරාම සිරා. "

      " පිස්සු පීකුදු.. ඉස්සො කඳු කඳු... අඩෝව්.. මඳහස් අධීශ්වර..සිරාම සිරා ලව් කරනවා..."

ඒ පුෂ්පයා... ඉනික්බිති පොට්ටයා. 

      " ළංවෙන්න අමාරුයි කිව්වෙ ? ඇයි බං... ඒකට ලාදුරුද ? නැත්තං..සරම්ප වගේ දෙයක්ද ? " 

      " නැහැ යකෝ... අහගනින්කො කතන්දරේ, පිටු ගළපන්න කලින්... "

      " කියපන් කියපන් සට සට ගාලා... මට ඉස්පාසුවක් නෑ ඒ අවාසනාවන්ත අනාගතේ කාගෙද කියල දැනගන්නකං...හැක් හැක්.. " 

  මගේ ප්‍රේම කතාන්දර එක්ක පුෂ්පයට ඓතිහාසික බැඳීමක් තියෙනවා... ඉස්සරම වතාවක් සනුදිගෙ නම්බර්රෙක ගන්න - රතු පොත උස්සන්න - මං වෙනුවෙන් බෑග්ගෙකට බෙල්ල තිබ්බෙ පුෂ්පයා.. වැඩේ දෙල් වුණාට පස්සෙ බෑග්ගෙකේ තිබ්බ රුපියල් 500ක් නැතිවුණා කියලා,නොකරපු ' සොරකමට දඬුවම ' පුෂ්පෙගෙ රතු පොතේ රන් අකුරින් ලියැවෙනවා. 

    " අවාසනාවන්ත අනාගතේ... තොට මං කියන් නෑ.. හාහාහාහා... මෙහෙන් වාඩියක් දහන්..කියනකං කතාව. " 

  පාලම උඩ - අන්ධකාරය මැද - සිහින් දුමාරය යට - කතාව පටන් ගන්නවා....ඉතිහාසෙ අස්සෙන්! 

      " මෙතන චීත්තෙත් හිටියනං මරු! පස්සෙ ඌට කියහන් සිද්ධිය... " 

      " හරි යකෝ... දැන් කියහන්කො..මඟුල...පොතේ ගුරාලා වඩම්මන් නැතුව... " 

පුෂ්පයට එදා වගේම තාමත් හදිසියි. 

      " මතකද උඹලට ආබ්දීන් සර්ව ? "

      " හහ් හහ් හහ්... හහ් හහ් හහ්... බුහා හහ් හහ් හහ්.... " 

      " මොකද බං නක්කලේ දාන්නෙ ? අහපු එකට උත්තරේ දියන්. "

      " හහ් හහ් හහ්... ම..ම..මඳ මාමා කොහොමද යකෝ අපිට අමතක වෙන්නෙ... හහ් හහ් හා.. නැද්ද පුෂ්පෙ.. මුගෙ අතිජාත ෂොට්ටෙකනෙ... " 

   එදා වගේම අදත් ' සාමූහික ප්‍රහසන මරිසිය ' මාව වට්ටනවා. ඒත් වැටි වැටි වචන නැගිටිනවා. 

       " ඒ මඟුල් නෙමෙයි.. මේක සිහියෙන් අහගනින්. උඹලට මතකද සර්ගෙ දුව ? අර සෙනුරි මාට්ටු වුණ වෙලාවෙ ඉස්කෝලෙට ආවෙ... "

 පුෂ්පෙගෙ පුෂ්ප සුවඳයි - පොට්ටයගෙ පොට්ට දෙනෙතයි කතා කරන කණ්ණාඩියෙන් මුහුණට මුහුණ ගැටෙනවා.

      " ඔව් ඔව්... අර කොට මොඩ්ල් - ළඟ පිකප් පික්සු කෑල්ලනේ... "

දෙන්නට දෙන්නා උඩ බලනවා...හිනාවෙනවා...කකුල් හොලවනවා...පාලම හෙලවෙනවා. 

 " ඒ කෙල්ල දැන් ලොකුයි. අපේ ෆැකල්ටියෙ ෆස්ට් ඉයර් එකේ ඉන්නෙ...ඉවසන්න බෑ බං දකිද්දි..ඇඹුවා වගේ..රූපෙ විතරක් නෙමෙයි.. කතාව..ලතාව..හිනාව.."  

  පුෂ්පයා මොහොතින් බිම! මගේ ළඟ. 

 " උඹට හොඳටම ෂුවර්ද... මඳ කෑල්ල කියලා ? "

 " මට කෙල්ල විස්තරේ කිව්වා බං.. සර් හදිසියෙ නැතිවෙලා. හාට් ඇටෑක් එකකින්... තොපි කොළඹ ඕනි වත්තක එකෙක්ට පඩයක් ගියත් දන්නවා. බලහන්.. සර්ගෙ මරණෙ දන් නැහැනේ... " 

 " අඩෝව්... මිනිහා ඇතා වගේ හිටියනෙ බං... ඉහෙන් බහින ලෙඩක් තිබුන් නෑනෙ... " 

 " දළ ඇත්තු ඉක්මන්ට යනවා බං...හොර පූසන්ට වගේ උන්ට ආයුෂ නැහැ... " 

පණ්ඩිත කතා අතරමැද - වෙච්ච දේ -  පුදුමෙන් තව තවත් විමසන්නෙ දෙන්නගෙ ඇස් හතර. 

 " කෙල්ල දැන් පාරද ? සුප්පද ? නම් මොකක්ද ? ආහ්... උඹ අයිඩියා එක කිව්වද මඳයා? මොකෝ, පන්නමුද ? " 

 එකවර ප්‍රශ්න සියයක් කන් පෙති මත්තෙ වර නැගෙනවා.... 

  " පිස්සුද බං.. පන්නනවා තියා තව.. තත්පරේකටවත් ලවක් ගැන හරියට දෙසුවෙ නැහැ... මට පේන්නෙ ඒකි බයයි... බලමු.... නම තමයි සොරායා. "

  " එළ එළ... එහෙනං මඳයා උඹටත් සිකුරා සීරියස් පිට පපුවට ගැහුවා. හරියට ඒම් කරලා දැන් උඹ උගේ හොම්බට ඇනපන්. ඉස්සෙල්ලා මල්සරා බැල්ම දාපන් ඇස් දෙකට.. උඹට මල් දුන්නක්ම ඕන්නං අපි මලායියට කියන්නං... හහ් හහ් හහ් හා... " 

   මිතුරු තුමෝ ආශීර්වාද මැද - ආදර්ශ සිහින ජීවිතේට ආදේශ වෙනවා. සොරායා පිළිගත්තත් නැතත් - විරුද්ධ සමාජෙ එක පෙළට හිටියත් හිටගත්තත් - නිමා නැති කොමා ඇති ස්වප්නය ඉදිරියට ඇදෙනවා.... සුසුමකට පිළිවෙළින් ඇලෙනවා... 

ඉදිරියට ඇදෙන 'ඒකාත්මික සිහිනයක්' අතරමැද වංගුවක ඇක්සිඩන්ට් වුණොත් කොහොමද ? නොහිතපු මොහොතක - අතීත පෙම්වතියක් - පූර්ව කාලීන මිතුරියක් - එෆ් බී ඉන්බොක්ස් ගැබට එබිලා... කවදාවත් කවි නොලියපු - ඒ කාලෙත් මගේ කවිම කියවපු කථිකාවියක් කවියක් එවලා...

                Adhi, 

            " sathi maasa gewunaawe - sihina sitha bindunaawe 
               kavi dahasa handuwaawe - thuhina pini salunaawe
               avi pahasa danunaawe - kumara netha bandunaawe 
               SAVI thawada labunaawe - rath sulan hamuwaawe..... " 

                                                                                                            - samaa ayadina SAMA -




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »