ජීවිතය සිහිනයක් වෙනකොට සිහිනයක් ජීවිතය කරගන්න. (අටවන හෝඩිය)

ජීවිතය සිහිනයක් වෙනකොට සිහිනයක් ජීවිතය කරගන්න. 



අටවන හෝඩිය.




" SAVI thawada labunaawe - rath sulan hamuwaawe "

          නිරායාසයෙන්ම හදගැස්ම අන්තිම පදයෙ අන්තිම හරියෙ මොහොතක් දෙකක් නැවතුණා. වල දාපු අතීතෙක සොහොනක් දෑතින්ම හාරගෙන - මොහොතක් පාදගෙන ' සමාලි ඉරුගල්බණ්ඩාර ' සමා අයදිනවා. කාලයේ නාමයෙන් දැකිය යුතුම සිහිනය නොදැනුවත්කමින් හරි හැප්පුවට පස්සෙත් මොන සමාවක්ද ? ස්ව කැමැත්තෙන්ම ඇවිත් - ස්වයං වාරණ හදාගෙන - ස්නේහයම කඩාගෙන - නැවතුමක් බලාගෙන යන්න ගියාට පස්සෙ ආයෙත් ස්වයං විවේචනයක් ??? රිප්ලයි කරනවා වෙනුවට මගේ අවිනීත සියොලඟට ඇප්ලයි වෙන්නෙම අතීතය... එද,කාත් කවුරුවත් නැති වික්ටෝරියාවක ඇට්ටේරියා පරදන සුසිනිඳුම සුවඳක්...අද,අන්ධ විදුලි පහන් යට සැඟවිලා ගිහින්. සමාලි, උඹ මේ කරන දේ දඬුවම් ලැබිය හැකි වරදක්.. මතකය එපා කරවන අකැමැතිම කැමැත්තක්! 

               " අධී, අප්පච්චි ඉන්නෙ ඔයා ගැන මාරම ටච් එකේ... හරියට ගොනාටයි පොල් පැළේටයි දෙකටම ඉවෙන් වගේ... " 

               " ආහ්.. දැන් කවුද ගොනා... අප්පච්චිද ? මං ද ? " 

               " නෑ නෑ ළමයො.. එහෙම නෙමෙයි.. ඊයෙ රෑත් මගෙන් අහනවා ඔයාගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා... ලාස්ට් ඉයර්රෙකේ රෝයල් බෙස්ට් ඩිබෙටර් කිව්වම අප්පච්චිගෙ කන් වලත් සතුට බේරෙනවා... " 

               " ම්හ්... අන්න ඒ උද්ධච්ච සතුටින් ඔයාවත් බේරෙන්න. අප්පච්චිට කියන්න මං ඉන්නෙ ස්වර්ණ පාරෙ..ඇඩ්ඩ්‍රස්සෙක ඉවර වෙන තැනට ඇළ කණ්ඩිය තියෙනවා කියලා.. හරිද ? වත්තෙ ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇඩ්ඩ්‍රස් නෑ.. ඒත් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් පපු තියෙනවා. මාත් එතැන මනුස්සයෙක් කියන්න. " 

               " හහ්... හොඳට හිටියි. ඩිසෙම්බර් මාව ඔසී යවන එක මේ මාසෙම කරයි. ඇයි අධී මට රිද්දන්නෙ ? මං කොච්චර ආසද ඔය හිනාවට... මාව සප්‍රයිස් කරන විදිහට... මේ කෙට්ටු අත් වලින් ලියන පතරංග අදහස් වලට... " 

        ඉස් ඉස්සෙල්ලා සමාලිගෙ ඇස් මට ක්‍රෂ් වුණේ අහම්බෙන් වගේ හැබැහින්! ' ප්‍රවාද ' විවාද තරගාවලියෙදි. ' සෙක්සි ගුහාවක් ' කිය කිය පැණි කූඹි ' පස්සෙන් ' පන්නද්දි මං හිටියෙ හැඟුම් නෑ වගේ ගල් වෙලා... පහුවෙද්දි මං ' කඩියෙක් ' කියලා සමාලිටම දැනිලා කතන්දරේ අමල්බිසෝ දොර අරිනවා. දවසින් දවස ගෙවෙද්දි - අකුරෙන් අකුර විඳිද්දි - සුසුමින් සුසුම ඈත්වුණ හැටි පුදුමයි... තව දුරටත් හිතද්දි - හිතෙද්දි පුදුමෙකුත් නැහැ... හමුවීම් එහෙමයි! 

             " අධී... ඇයි මෙච්චරටම පපුවෙ රෝම ? "

             " පපුව හොඳ හින්දා "

             " ඇයි එච්චරටම හොඳ ? "

             " හොඳ වෙන එක අමාරු හින්දා "

             " ඇයි ඔච්චරටම පණ්ඩිත ? "

             " ඒදණ්ඩ ගලවලා පැත්තකින් තිබ්බ හින්දා "

             " ඇයි අච්චරටම මට ආදරේ ? "

             " ආදරේ එතැනින් ඉවර වෙන හින්දා "

        ඒ ආදරේ එතැනින් ඉවර වෙලා - මල්වඩම් තියලා - පාංශුකූලෙ දීලා - අවුරුද්දෙ දානෙත් පහුවෙලා දැන් කාලයක් ගෙවිලා. සමාලි හොල්මනක් වෙලා රිදෙන්න - නොරිදෙන්න කොනිත්තන්න හදනවා. හිතේ කොටසක් කඩාගන්නන නියපොතු දික් කරනවා. කිසිම හැල හොල්මනක් නැතිව ඔහේ හිනාවෙන මුවගක පාවි පාවී ඉන්න හීනයක් තියෙනවා. අතීත හොල්මන් බංගලාවක් මාව හොයාගෙන ආවත් අන්න ඒ නිසසල හීනෙන් මගේ නම දෝංකාර නැඟෙනවා. ඔව්! සොරායා, නොගැළපීම් දාහක් මැද්දෙ තියෙන එකම ගැළපීම හොයාගෙන මං අලුත් අහසක පියාඹනවා.... 

             අලුත් අහසක වුණත් වලාකුළු පරණ නම්, සිතුවිලි ඉපදෙන්නෙ අමාවක තැනෙකින් නම් එළියක් තියා නාමයක් පොළොවට වැටෙන්නෙ නැහැ. කාමරයක ඉඳන් පසළොස්වක සඳක් දකින්න ලේසියි. ඒත් 'රාමලාන් සඳක්' පපුවක් මැද්දෙ අතුරන එක හරිම අපහසුයි. මේ ගෙවෙන්නෙ පහසු දේවල් වෙනුවට අපහසුම දේ හඹාගෙන යන යුගයක්... මං තීරණේකට ආවා. ජීවිතය සිහිනයක් වෙනකොට සිහිනයක් ජීවිතය කරගන්න! 

           සරසවියට අඩිය තියන වාරයක් වාරයක් පාසා හිත ද්විත්ව හැඟීමක දෝලනය වෙනවා. සොරායා හරහා මෝදුවෙන සතුටේ ප්‍රමාණයත්, දේශපාලන කුමන්ත්‍රණ - හිත් බිඳීම් - බිඳවැටීම් ආදිය හින්දා කඩා වැටීමෙ ප්‍රමාණයත් දැඩි වෙනවා. හේතු ඔක්කොම එකම වගුවකට ගන්න බැරි වුණත් එකම තැනෙකින් ඒ සියල්ල දරාගන්න සිද්ධ වෙනවා. 

         " තත්පරේ... මට උඹ එක්ක පොඩි කතාවක් තියෙනවා. "

  එක පැත්තකින් පාලක අධිපතිවාදය, අනෙක් පැත්තෙන් අමුම අමු ජාතිවාදය... ඇවිල්ලා ඉන්නෙ සමියා. 

         " ආ.. කියපන්... උඹ අද තනියමද ? හහ්.. පරිවාර සේනාව නැද්ද ? " 

සමියගෙ මුහුණෙන්ම ඇවිත් ඉන්න කාරණේ දෙබිඩිකම ප්‍රදර්ශනය වෙනවා. ඇඟට නොදැනි ගුලි අඹරන හැටි මිනිහට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැහැ. 

        " හැහ් හැහ්... ඇයි තනියම වඩින්න හොඳ නැද්ද ? උඹට ඕනි නං කට්ටියම ඉන්නවා... මෝරා, තෝරා, ගප්පියා, ඩොල්පියා "

    මින් මැදුරම කියවගෙන කියවගෙන යන එක කිසිම තේරුමක් නැති නිසා මං අවශ්‍යම කාරණේ විමසනවා.

          " උඹ ආව - මාව හම්බෙන්න ඕනි කාරණේ කියපන්. "

          " මෙහෙම ප්‍රසිද්ධියෙ බැහැ... ජිම්මෙක ඇතුළට යමං." 

    සමියගෙ වදන් සොමිය ඒ වතාවෙ නං මට දිරෙව්වෙ නැහැ. තාර කට්ට - නාඩගම - එයාර්පෝට් එක - පච වල තියෙද්දිත් හමුවකට ජිම්මෙකම මොකටද ? එදා සිදුවීමේ ' පෝරියල් ඇරියස්සෙක ' ගන්න කරන දැඟලීමක්දෝ කියලා හිතට අමුතු අදහසක් දැනෙනවා. ධෛර්ය සම්පන්න හුස්මක් එක්ක දෙපා ජිම්මෙක ඇතුළෙ නිදහස් කාමරේ නවතිනවා. 

          " අසව් අසව්! මේ... උත්තරීතර සභාවට ලෙනීනියානු නිකායේ තැන්පත් අති උතුම් රෙද්ද පල්ලෙන් බේරෙන කොමියුනිස් තත්පර මහතා... වැරදුණා..ආගම අබිං විතණ්ඩවාදියා ආ...දරයෙන් පිළිගන්නවා...පපපපාං..."

   මෝරගෙ ගොන් පාට් මින් මැදුරෙම හිනා එක්ක මගේ වටේ කැරකෙනවා. සමියා කතාව පටන් ගන්නවා. හිත දෙගිඩියාවක තැන්පත් වුණත් මං සයිබීරියාවට නොයා සූක්ෂම සැඟවුම් ගරිල්ලෙක් වෙනවා. 

        " තත්පරේ... වාඩිවෙයන්කෝ... දුමක් දානවද ? " 

        " එපා " 

   නමට විතරක් මිතුරු වෙන පතුරු යන හිත් තියෙන අත් එක්ක දුමක් තියා පංච දාන්නවත් ව්‍යාජ සූදානමක් අවශ්‍ය නැහැ. ඒත් සං මිත්‍ර භාවයන් එක්වෙන්න හොඳම මාධ්‍යය තමයි දුම! දුමකට,මලකට හරියටම අර්ථයක් ඉපදෙන්නෙ ' බොක්කක් ' එක්ක, එහෙම නැත්නම් ' කොක්කක් ' එක්ක ඒ මිහිර හුස්මෙන්ම විඳිනවා නම් විතරයි. මේ කාරණය මං හද පතුලෙන්ම භක්තියකින් තොරව යුක්ති යුක්තව අදහන්නක්! 

        " හ්ම්ම්... දුමත් එපා... හරි, අවුලක් නෑ... කාරණේට බහිමු. ගප්පියා, ලයිටරේ දහන්. " 

   මගේ මුවගින් ප්‍රතික්ෂේපිත සිගරට්ටුව සමියගෙයි මෝරගෙයි කළු ගැහිච්ච දෙතොලතර එළිය විහිදවනවා. ඒ එළිය මට පේන්නෙ තැඹිලි වර්ණයෙන් නෙමෙයි... කහ පාටින්! 

       " උඹ තාමත් ඩයල්ලෙක කියලද හිස් මුදුනින් හිතන් ඉන්නෙ? ආහ්... " 

    හිතුව විදියටම මෝරා ඇරියස් කවර් කරන්න පන්දුව එක එල්ලෙ යොමු කරනවා. ස්කෝර් කරනවා ඇරෙන්න මේ හිසරුදා ක්‍රීඩාවෙන් මිදෙන්න වෙනත් ක්‍රමයක් නැහැ. 

         " තාමත් කිව්වෙ ? උඹ මාව ඒ විදියට කවදා ඉඳන්ද බෞතිස්ම කෙරුවෙ ? " 

   වචනෙකින් දෙකකින් ෆෝම් කළාට පස්සෙ ෆුල් ඇවිස්සෙන ඔළුවක් මෝරට තියෙනවා කියලා මං දන්නෙ කාලෙක ඉඳන්. 

         " තත්පරයා, උඹේ වදන් දාපන් අර එක එක ඒවා සිඹින තැන් වලදි... හැබැයි,එක දෙයක්. මේක සිංහල - බෞද්ධ රට යකෝ... " 

         " අම්මටසිරි...එහෙමද ? අඩෝ තැන්කියු බං.. එතකොට මචං බුදුහාමුදුරුවො කොයි හරියෙන්ද සිංහල බෞද්ධ වෙන්නෙ ? මං දන්න කෙනා සිංහල අකුරක්වත් දන්නෙ නැහැනෙ... " 

   මෝරව තව තවත් බයිටානු භාවයෙන් මුදවන්නෙ, කතිකාවට වැටෙන්නෙ ඩොල්පියා. 

         " එව්වා මොකටද යකෝ... අපිට උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපි කැම්පස්සෙක ඇතුළෙ අපිට ඕනි වැඩ ටික කරනවා, ලෙචාලගෙ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ සප්පෙකෙන්...හැබැයි...ඒවට උදැල්ල දාලා බකට් ඇදලා අහුවෙන්නෙපා. "

     කිසිම උත්තරයක් නොදී හිනාවකින් සංග්‍රහ කරන්න යටි හිත මාව පොළඹනවා. 

         " හහ් හහ් හහ් හහ්... " 

    කිසිම ඇමකින් - බලපෑමකින් - මං දමනය නොවෙන තැන සමියා කතාබහට අවතීර්ණ වෙනවා. 

        " තත්පරේ... උඹ දන්නවනෙ. රටෙත් ප්‍රශ්න,මෙහෙත් ප්‍රශ්න. හැබැයි අවුරුදු හතර මෙතන අල වෙලා - ඇණ වෙලා යද්දි පොල් ගෑවත් එළියට යන්නෙ නමට හරි ලෝයර්ස්ලා. ඉතින් ඇයි උඹ මේ පුරවර පින්බිමට දේශපාලනේ ගේන්න හදන්නෙ ? නන්නත්තාර වෙච්ච එළියෙ උන්ට මේකෙ රඟ පෙන්නන්න හදන්නෙ ? " 

        " හහ් හහ්.. එතකොට මේකෙ කිසිම දේශපාලනයක් නැහැ. "

        " නෑ..අපි කරන්නෙ අපේ අම්මව රැකගන්න හදන එක... රට රැකගන්න මිනිස්සු හදන එක."

        " රට ? ඒ කියන්නෙ හමුදාව වගේද ? පොලීසිය වගේද ? එහෙමත් නැත්නම් සේනා - බලකා වගේද ? "
  
සමස්ත පිරිසම එකම තීරුවකට ගෙනත් එකිනෙකාගෙ වෛරී දෑස් දැකගන්න මට තියෙන්නෙ උමතු ඇම්මක්...අමුතු ගැම්මක්... 

        " උඹලා උඹලගෙ දෙයක් කරපල්ලා... ඒ වගේම අපිට අපේ දෙයක් කරන්නත් පැහැදිලි ඉඩක් තියෙන්න ඕනි " 

        " ඉඩක් දෙන්නෙ නැත්නං ? " ඒ වතාවෙ මෝරා.

        " ඉඩ ගන්න හැටිත් දන්නවා...ඉඳගන්න හැටිත් දන්නවා. " 

        " මොකක්ද පරයා කිව්වෙ ? " ඇසිල්ලකින් ඇඟේ එල්ලෙන මෝර මරු පහරින් මගේ යක්ෂයා නැගිටිනවා. හැරෙන තැපෑලෙන් ඇපෑලය දෙන්න යද්දිම පුරුදු පරිදි සමියා ඊට මැදිහත් වෙනවා. 

      " මෝරා.. උඹලට මං කලින් කිව්වනෙ... අතින් පයින් ගේම් නතින්ග්.. මං දැන් මූව එක්කන් ආවෙ කටින් කතා කරන්න... " 

   මගේ ඉවසීම දෙදරලා - හදවත් ඇළ වේලි පුපුරලා කේන්තිය දෝරෙ ගලනවා. 

      " හහ්... තර්කයක්වත් දන්නෙ නැති එව්වො තව දේශපාලනේ ගැන කතා කරනවා, රට ගැන කතා කරනවා. උඹලා හැමෝම දැනගනින්... ජාතිවාදියො කියන්නෙ මානසික ලෙඩ්ඩු! " 

 ------------------*---------------------------------------------------------------*-------------------------------------------------------*--------------------------------

       ප්‍රේමාන්විත අස්වැසිල්ලක් නැතිව ඇස් දැවිල්ලෙන් පිච්චෙන හැන්දෑවක්! කැන්ටිම අයිනෙ මේසෙකට බර වෙලා රූපවාහිනී රියැලිටි විගඩම් දිහා බල බල හිනා නොවී - හිනා වෙවී මං ප්ලේන්ටියක් එක්ක කයියක්... පුරුද්දට වගේ වටපිටට ඇස් යොමද්දි කැන්ටිමේ කෑම කවුළුවට එබෙන ' හිත ඉල්ලන සුවය ' මැවෙනවා. ලතාවට - කතාවට - සමෝසා එක්ක ඈතට ඉගිලෙන සොරායා දැක්ක එසැණින් හිත ධාවනයෙ යෙදෙනවා. හීන පිඹගෙන පිඹගෙන එනවා...දෑස ඉඹගෙන ඉඹගෙන යනවා... 

       අතරින් පතර ඉඩ තියාගෙන කිහිප දෙනෙක් විසිරුණ කැන්ටිම ඇතුළෙ - මාව නෙත නොගැටුණ සොරායා ආහාර පූජාවෙ නියැලෙනවා. කලින් දවසක පොරොන්දුව ඉටු කරන්න - බෑග් එක අවුස්සන මගේ අත ' ජාත්‍යන්තර තුලනාත්මක හා මානව හිමිකම් නීතිය ' පොත දෑසෙ සතපනවා. නෛතික කෘතියකින් මානසික සුවයක් රාව ප්‍රතිරාව නැඟෙනවා... සුළඟක් ඇවිත් සුවඳක් හොයාගෙන හොයාගෙන යනවා....

        " එක්ස්කියුස් මී සොරායා... "

    සමෝසාව ගල් වුණා... කෙල්ල හෙල්ලුණා...

       " ආහ්හ්... මඳහස් අයියා... "

       " මං ආවට ඩිස්ටර්බ් නෑ නේද ? අර පොත ගෙනාවා නංගි. "

  කෑම පසෙකලා - ප්‍රේමයට නොවුණත් නිහතමානීත්වය මුසු ළෙන්ගතුකමට සොරායා පිය නඟනවා. ලැජ්ජාශීලී හිනාවක් සුහදශීලී අදහසක් වෙනවා. 

      " තෑන්ක්ස් අයියා... වාඩිවෙන්නකෝ... සමෝසා කෑල්ලක් කමු... " 

      " ම්ම්.. නෑ.. මං තේකක් බිව්වා. සොරායා කන්න.... ඉතින්, මොකද වෙන්නෙ ? " 

   කෑම කුමකට - ප්‍රේමෙ ඇතිකොට කිව්වලු! ටේබල්ලෙක ආසන්නයෙ පුටුවක් ඇදලා ආත්මය හොඳට හරි බරි ගැහෙනවා. මේ මොහොතෙ සීතල ඇති කියලා හිතෙන සොරායාගෙ දෑඟිලි පොත පුරාවට වැතිරෙනවා... පිටු අතර දඟලනවා...

       " ඇත්තද අයියා... මේ පොත ෆෝත් ඉයර් එකටත් ප්‍රයෝජනවත් වෙනවා කියන්නෙ ? "

       " ඔව්.. හරියටම හරි සොරායා.. මේක ඒ තරමටම වැදගත්! " 

  කෘතිය පතුලට නොයා හිත් කුටිය ඇතුළට එබියන්! කියලා ඉහළින් නියෝගයක් ලැබෙනවා... නතු නොවී කොහොමද ? 

      " මං හිතුවෙ නැහැ.. මෙච්චර හවස් වෙනකන් ඔයා කැම්පස් එකේ රැඳෙනවා කියලා " 

      " අද ලයිබ්‍රියට වෙලා පැයක් දෙකක් පාඩම් කළා අයි..යෙ...ඒකයී... බඩගින්නක් ආවනේ.. ඉතින් මෙහෙට ආවා..." 

      " මං ප්‍රශ්නයක් අහන්නද සොරායා ? කෙලින් උත්තරයක් අවශ්‍ය ප්‍රශ්නයක්. "

  හද සොරාගන්න මුහුණත කුතුහලාත්මක ප්‍රවේශයක කිමිදෙනවා. හරියට ප්‍රශ්නෙට කලින් උත්තරේ හදිසියි වගේ... 

      " ආ... ඒ මොකක්ද අප්..පා... "

      " සොරායා... ඇයි හබායා අඳින්නෙ නැත්තෙ ? ඒක අනිවාර්යයක් නෙමෙයිද ? " 

  ' නොදන්න මඟුල් වලට හොට නොදා - පොට පටලවගන්නෙ නැතුව - පාඩුවෙ දන්න මඟුලක් බලාගන්! ' නොකියා සොරායා පපුතුර ආසම අභිනයෙන් දසන් පානවා. 

      " හී හී.. මට මෙහෙම සැහැල්ලුයි. අනික දෙයියො ඉන්නෙ ඇඳුමෙ නෙමෙයිනෙ... එයා ඉන්නෙ මෙන්න මෙතැන..." 

  සොරායා හදවත තියෙන හරියට වමත ළං කරනවා. අතිශය පැහැදිලි පිළිතුරෙන් මං තවත් අස්වැසිල්ලක් පතනවා. 

       " ඒ... ඒත් මං ආසයි හිජාබයක් එක්ක සොරායව දකින්න... සැරයක් හරි.. හේතුව දන්නෙ නැහැ..කැමැත්තක්. දුර්ලභ කැමැත්තක්! " 

       " ඒ කිව්වේ... මෙහෙමද ? " 

   තත්පරයකින් ගෙලෙහි වැතිරුණ ' ගුරු පැහැති - දිගැති ෂෝලය ' ආදේශක හිජාබයක් වෙලා ඒ හිස සිඹිනවා. මුචලින්දටත් වඩා වැඩි සනහසකින් වගේ හිසට රැකවරණය දෙනවා. " සුන්දරත්වය " කියන වචනය ඉපදුණේ මෙන්න මේ වගේ තැනෙකින් වෙන්නැති! 

    ---------------------------------*-------------------------------------------------------------*--------------------------------------------------------------------*

    නින්දත් නොනින්දත් අතර ගනුදෙනු කරන දෙනයන ද්වන්ධ සටනකින් ඉනිබ්බේ 'නිදි නැති යාමය' තෝර ගන්නවා. එෆ් බී ගියත්, පොතකට පතකට එබුණත්, මිත්‍ර සමාගම හොයාගෙන ගියත්, යොදවන්න බැරි - යෙදවෙන්නෙ නැති අඩුවක සුවිශාල හිස්තැනක් හිත මැද්ද උරුම කරගෙන... මොහොතක් ගෙවෙන වේගෙන් ' විශාල් දද්ලානි ' කොල්ලෙකක් කියලා නාදාලංකාරය නිකුත් කරනවා. 

           " ජී ලේ සරා - ජී ලේ සරා - කෙහෙතා හෙ දිල් - ජී ලේ සරා ......." 

  දද්ලානි ගොළු කරලා - මං කතා කරනවා. 

        " හෙලෝව්... "

        " හෙ..හෙ..හෙලෝ..ම..මඳහස් අයි..යා.." 

   හිතන්නත් බැරි ඇත්තක්! සොරායා!!! මේ රෑ....




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »