හිත ගිය තරුවක් කඩාගෙන වැටෙනකං වරුවක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. (නමවන හෝඩිය)

හිත ගිය තරුවක් කඩාගෙන වැටෙනකං වරුවක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. 



නමවන හෝඩිය.




මැදියම් අහසක උණුසුම් ඉරක් පෑව්වා වගේ, තදියම් සීතල සිහිනෙකට ගිනියම් එළියක් වැටුණා වගේ අධ්‍යාත්මය ගැස්සුණා. බුබුළු නගින සිතුවිලි බීර වීදුරුවකින් ඉහිරෙන පෙණ කැටි වගේ සීරුවට - සීතලට දෙතොලතර විසිරුණා. මේ ගලන්නෙ මත් සහිත බීර වැනි රත් වෙච්ච මිහිර! 

              " ඔව්... කියන්න සොරායා... "

     හදිසි කාරණය හරි ගැටලුව හරි දැනගන්නවටත් වඩා හුදෙකලා පපුවට ඕනි වුණේ ඒ කටහඬේ වැතිරෙන්න. සොරායගෙ ස්වර සංගායනාවක් වගේ තරංග මැද්දෙ සීරු මාරු වෙනවා.

            " අ..අයියෙ... ඔයා... ඕ ලෙවල් කාලෙ අපේ වාප්පිගෙන් ඉගෙන ගත්තද ? " 

     යන්තමට හදාගෙන ආව ටජ්මහල එක වචනෙකින් නැත්තටම නැතිවුණා වගේ... ආලවන්ත විග්‍රහයක් වෙනුවට සොරායා විමසන්නෙ ආබ්දීන් සර් ගැන.

           " ඔව්... මං එදත් කිව්වෙ, සර්ව දන්නව කියලා... ඇයි සොරායා හදිසියෙම? ආයෙත් ඒ ගැන අහන්නෙ..." 

           " න්... නෑ...මට වාප්පිගෙ පරණ ඩයරි එකක් හම්බවුණා. ඒක කියවගෙන යද්දි.. තැනක අයියා ගැන ලියලා තියෙනවා.... " 

           " මොකක් ? "

     හිතට සමීප ම මිනිස්සු ගැන - ගතට සනීප ම ගැහැනු ගැන පිටු පිරෙනකං රචනා ලියලා තිබ්බත්, වෙන කොතැන හරි එක ම එක ඡේදෙකවත් ' මං ගැන ' කවුරුත් ලිව්වා කියලා මීට කලින් මං අහලා නැහැ. ඒත් ඒ අතරෙ ආබ්දීන් සර්... 

        " ආහ්... සර් මොනවද මං ගැන ලියලා තියෙන්නෙ ? " 

        " මං හෙට කියන්නම් අයියෙ...සොරී...මේ මහ රෑ ඔයාගෙ නින්ද කැඩුවනං.... "

    නින්ද විතරක් නෙමෙයි... නහර - ග්‍රන්ථි - කේශනාලිකා හැමදේම පසාරු කරගෙන ' ප්‍රේමයක් ' එන්නත් වෙච්ච මොහොතක සොරි මොකටද සොරායා ? හිත යට කුතුහලය තව තවත් ශක්තිමත් වෙනවා. 

        " නෑ නෑ...දැන් ම කියන්න..."

        " බෑ...දැන් හුඟාක් ම රෑ වෙලානේ... ඉවසන්න අයියා." 

    බලාපොරොත්තුව ඉටු නොවෙන තැන හිත කැරැල්ලක් ගහනවා.

       " ඇයි එහෙනං ඉතින් දැන් කතා කළේ ? හෙට ම කියන්න තිබ්බනෙ..."

       " නෑ...මට ඕනි වුණේ ඒ අයියමද කියල හරියට ම දැනගන්න. දැන් හරී... ගුඩ් නයිට් මඳහස් අයියා... බායී..."

       " හ්ම්ම්...ගුඩ් නයිට් සොරායා..."

     ' බායි ' කියන්නත් කලින් ඇමතුම විසන්ධි වුණා. සමහරවිට නිදිමතේ ක්‍රෙඩිට් මියැදුණාද ? නැත්නම් බැටරියෙ ආයු කාලෙ අවසන්ද ? එහෙමත් නැත්නම් සොරායා ආයෙමත් ඩයරියට එබෙන වුවමනාවට අත්පොත් තිබ්බද ? 

    මොනවා වුණත් නැතිවුණ නින්දට වඩා ඇතිවුණ අමුතු කුතුහල කිතිය වටිනවා. අරාබි නිසොල්ලාසයෙ එක් දහස් එක් රැය වගේ හැම රෑම මෙහෙම නින්ද කැඩෙනවනං මං ලැහැස්තියි සොරායගෙ ළඟ ඉඳන් කතා කියන්න...ආදරෙන් ජීවත් වෙලා ආදරෙන් මැරෙන්න!

          කිතියෙ ලාලසාව - නින්දෙ ආනුභාවය කොච්චරද කියනවනං සිහින පියවි සිහිය ලබද්දි හොඳටම එළිය වැටිලා. කැරකිලා බලද්දි වෙලාව 9.25 යි. තාත්තම්මා මාව කූද්දන් නැතුවම දෛනික රාජකාරියට යන්නැති... එක එක හුටපට ඔළුවට ගලාගෙන එනකොට - ආබ්දීන් සර් මොනවා ලියලා තියෙයිද කියලා හිතෙනකොට හිත යටට දැනෙන්නෙ හීනියට කැක්කුමක්. එක දිගට ලෙක්චර්ස් නොයන හිතුවක්කාර පණ්ඩිතකමට ආවඩා..ආවඩා කියාගෙනම අන්තිම ලෙක්චර් එකත් ඉවර වෙන අන්තිම මොහොතෙ දෑත දෙපා තුම්මුල්ලට ඇදෙනවා. හරියට සරසවි පිළිගැනීමේ නිලධාරිනී වගේ තාත්තම්මා ගේට්ටුව ළඟ.

           " ආ...දැන්ද පුතේ එන්නෙ ? ආං සේරෝම ගජයො ටික මං දැක්කෙ ඇතුළෙ කල්ලි කල්ලි ගැහිලා මොනවදෝ කරනවා... " 

           " ම්ම්...වෙන්නැති තාත්තම්මෙ... මට ටිකක් වැඩියෙන් නින්ද ගියා...ඊයෙ පාන්දර වෙනකං පාඩම් කළානෙ..."

     පව - පින විශ්වාස නොකරන බෙලෙන්, ආදරේ වෙනසක් වේවි කියන සිතුවිල්ලෙ බලෙන් හතරවෙනි සිල්පදය කුඩුවෙනවා. 

          " මං ඒ වගක් හිතුවා මයෙ පුතේ. බොලාව උදේම කීද්දුවෙ නැත්තෙත් ඒකයි. මං එබෙද්දි උඹ ගොරොද්දෙ ඇද ඇද නිදි..හෙහ් හෙහ්....කෑවද කොලුවො ? මං මුං ඇට තම්බල උම්බලකඩ ලුණු මිරිසකුත් හදල ආවෙ උඹ කැමති හින්දා..." 

          " ඔව් තාත්තම්මෙ...කෑවා කෑවා...මං ඇතුළට යන්නං. තාත්තම්මා කාලද ඉන්නෙ ? " 

          " උදැනැක්කෙ කෑවා මයෙ අම්මෙ " 

      නානාප්‍රකාර කෑම ජාති ලෝකෙටම බෙදුවත් මෑ ඉහටත් උඩින් කුසගින්න දරාගත්ත ගැහැනියක් කියලා ඒ ඉතිහාසගත මුහුණින්ම පේනවා. ඒ මුහුණ දකින ඕනම රාස්සයෙකුට පවා " නොවිඳිනා දුක් ලෝකයක් විඳපු සිත්තමක් " දැකගන්න පුළුවන්. මම කියන්නෙ ඒ සිත්තම ඇතුළෙ පින්සල් තුඩක තැවරුණ පුංචි වර්ණයක් විතරයි. මේ මොහොතෙත් සීයට අනූ අටක විශ්වාසෙන් හිතෙන හැටියට තාත්තම්මා ඉන්නෙ බඩ පණුවො සත්‍යග්‍රහයක වාඩි කරලා වෙන්න ඕනි. ඒ යථාර්ථෙ තරම හිත හොඳාකාරව ම දන්නවා. ඉදින් ජීවිතේ කියන්නෙ ' දුකට කියන සමාන පදයක්ද ' කියලා හිතුණ අනන්ත වාර ගාණක මේ 'මව්වත් ආදරේ' මාව ජීවත් කරවනවා.

          " ෂ්..ෂ්..ෂ්..සහෝදරයා "

   සරසවිය ඇතුළට දකුණු කකුල පෙරට තියද්දි ම වමට බර හඬක් ඇහෙනවා... සුසර සහෝදරයා.

        " ආ..සහෝ...ආහ්..මොකද මේ කකුල ? " 

    සුසර සහෝදරයගෙ වමට හුරු ගමන පසුගාමී වෙලා... වම් කකුලට බැන්ඩේජ් ප්‍රතිසංස්කරණ යොදලා. 

        " මේ...පොඩි සිද්ධියක්. ගිය සුමානෙ බිල්ඩිමක් හදන්න අත් උදව් දෙන්න ගිය තැනකදි මාව ඇදගෙන වැටුණා. ඉබේම... ඒ ආපු ඔළුවෙ කැක්කුම මතක් වෙද්දි දැනටත් ඔළුව කෙලින් තියාගන්න අමාරුයි සහෝදරයා..." 

        " එතකොට බෙහෙත් ? "

        " බෙහෙතක් කියල විශේෂයක් නැහැ. සිස්ටම් එකට රාමුව ඇතුළෙ බෙහෙත් නැහැ වගේ දුප්පත්කම් වලට කොහෙද සහෝදරයා බෙහෙත් ? " 

   හැමදාමත් වගේ අවශ්‍ය ම තැනදි අමාරු ම ආර්ථිකය එළියට ඇවිත් හෘද සාක්ෂි ලොප් කරවනවා. ' අද කාපන් - හෙට මැරියං ' වගේ අදහසකින් ලැබෙන 'මහපොළෙන්' දුප්පත්කම් තවත් දුප්පත් කරවන හින්දා - සුසර තැන තැන කුළියට අත් උදව් දෙනවා. ගෙදර නංගිලා මල්ලිලා පරපුරක් රකින - දේශපාලනික වශයෙන් අනාගත පරපුරක් රකින - හිනාවක පවා රතු පාට සුහදත්වයක් දෝරෙ ගලන - බර පපුවක් එක්ක පොඩි ශරීරයක් දරාගත්ත ඒ 'වම් කකුල' තමයි දැන් නොන්ඩි ගහන්නෙ... 

         " කකුල පැත්තකින් තියමු. මේ ගෙවෙන කාලෙ ඇතුළෙ වැඩ හරිම අමාරුයි සහෝදරයා. දැන් බලපන් දවසට සිය සැරේකටත් වඩා ආමි කාරයොයි නිල ඇඳුම ගහගත්ත බල්ලොයි මේකෙ කරක් ගහනවා. උන් අපිව රැක බලා ගන්නද එන්නෙ ? නෑ.. දැක බලා ගන්න එන්නෙ. කොල්ලො කෙල්ලො ඉන්නෙ ගල් වෙලා... කොහෙවත් යන වල් කාලකණ්ණි පොරවල් වෙලා. " 

        " දෙයියො වැඩලා පාට් දාපු තැන් වල පොඩි උන් පිනුම් ගහනවනෙ... ළඟකදි කොච්චියො දෙතුන් දෙනෙක් ඇවිත් අපේ තාත්තම්මවත් චෙක් කරලා. මේ වෙලාවෙ දිගට ඇදෙන බරපතල ප්‍රශ්නයක් නැති හින්දා මුන් ඉන්නෙ පිස්සු හැදිලා වගේ. කෙල්ලන්ගෙ පෙට්ටිය තියෙනවද බලන්න දත කන පරිපාලනේ මහ එවුන්ට ජාතියක් වනසපු මුන් ඇතුළට එද්දි ඇත්තෙ පට්ට ත්‍රිලක්... " 

   මගේ කෝපය - ඇරියස් සහිත දුක්ඛ සමුදාය - බැරියර් නැතුව සුසර ඉදිරියෙ සසල වෙන ඉක්මන... 

     සසල වෙන්නත් - නිසල වෙන්නත් - සොඳුරු වෙන්නත් - මිතුරු වෙන්නත් අවැසි ම දෙනයන ඈතින් දිස්වෙනවා. දැන් සුසරයි මායි ඉන්නෙ පාරට පේන තාර කට්ටෙ. තාත්තම්මා පිටිපස්සෙ ; ගේට්ටුවෙන් එහා පැත්තෙ. සොරායගෙ අක්ෂි යෂ්ටිය දිළිසෙන්නෙ ඉස්සරහ පැත්තෙ ; නේත්‍රා ඉස්මත්තෙ.

        " මොකෝ සහෝ ඒක දිහාම බලාගෙන ඉන්නෙ..ඔන්න ඕකි හරියට හිටියනං මෙව්වා මෙහෙම වෙන් නෑ. කී දෙනෙක් පාවිච්චි කරන බඩුවක්ද ඔය? " 

        " මොනවා... " සුසරගෙ වදන් සුසර නොවී අමු අමුවෙ විසිරෙන අවකාශෙ මාව කැරකැවෙන්න ගත්තා. සොරායා සිනහමුසු මුහුණින්ම - නිසංසල ගමනින්ම තව තවත් ඉස්සරහට එනවා. ටිකෙන් ටික හදවතට තට්ටු කරන්න දෑත දික් කරනවා. ඒත් සුසරගෙ වදන් සැර තැවරිච්ච අකුණු සර....

        " ඇ.. ඇයි.. සුසර සහෝදරයා එහෙම කිව්වෙ ? "  

        " නැතුව... එහෙම නොකියා කොහොමද ? ඕක තමයි ලෝක බඩුව. " 

        " ඒ..ඒ..තමයි මං උඹට එදා කිව්ව කෙල්ල... සොරායා. "

        " යකෝ, තත්පර සහෝදරයා.... මං කිව්වෙ අර පිළිමෙ ඉන්න ගෑනි ; නීතියෙ දෙවඟන ගැන... උඹ මොන රෙද්දක්ද කියන්නෙ ? " 

        " ආහ්හ්... මං කිව්වෙ මේ එන කෙල්ල ගැන. " 

     උඩට ගත්ත උණුසුම් ආශ්වාස හුස්ම සීතල වෙලා ප්‍රශ්වාසයක් වුණා. නීතියේ දෙවඟනයි - ප්‍රේමයේ සුරඟනයි පැටලිච්ච පැටලිල්ල සොරායා දන්නවනං... 

        " කොහොමද මඳහස් අයි..යා.. " 

   කල්ප කාලාන්තරයක් හමු නොවී අහඹු හමුවීමක් බලාපොරොත්තු වුණා වගේ සං මිත්‍ර ලීලාවෙ නැළවෙන්නෙ සොරායා. දිගු දුර දුවන හදවත කෙටි විරාමයක් උදෙසාම ප්‍රේමය නතු කරවනවා... හැඳුනුම් ලක්ෂයක නවතිනවා. 

        " ඉතින් සොරායා....ම්ම්ම්...සුසර සහෝදරයා, මේ තමයි සොරායා..සොරායා මුස්කාන්. ෆස්ට් ඉයර් එකේ හරිම සුහද නංගි කෙනෙක්. සොරායා, මේ තමයි සුසර. ඔයා දැන් මෙයා ගැන දන් නෑ.. ඒත් මේ උප සංස්කෘතියට හරියටම මුහුවුණ දවසක ඕනාවටත් වඩා දැනගනියි. " 

    මුවින් කිසිම වදනක් විසි නොකර - අර ඉස්තරම් ආඩම්බර හිනාවම සියුම්ව තවරන සොරායා මුතු දහදිය දැවටුණ ගෙල අග්ගිස්සෙන් ෂෝලය පිරිමදිනවා. 

        " තත්පර සහෝදරයා, එහෙනං මං කැපෙන්නං. උඹ පරිස්සමින්... දන්නවනෙ තත්වෙ...හරි...යන්නං නංගි. " 

     ඇතුළෙ තත්වෙයි, ආදර මාවතේ තත්වෙයි දන්න නිසාම ප්‍රේමණීය ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ හැරලා සුසර සහෝදරයා - අපහසු වුණත් වමට බර ගමනින්ම ඈතට ඇදෙනවා. 

         " මොනවද සොරායා අර ඩයරියෙ තිබ්බෙ ? " 

    මගෙ මුවට කලින් අත ඉදිරියට ඇවිත් ඈ ට ඉඳගන්න කියලා ඉඟි බිඟි පාන අතරෙ පැරණි කුතුහලය නූතන පිටුබලයක් වෙනවා. තාත්තම්මට පේන මානෙ අනාගත දෝණියැන්දා එක්ක ( සිතුවිලි මාත්‍රයක අපේක්ෂාගත සැනසීමක් ) මතකයෙන් මතකයට සිතුවිලි පා නඟනවා. 

         " හුඟාක් දේ...තිබ්බා අයි..යේ...ඔයා කොහොමද ඒ තරම් හොඳ කෙනෙක් වුණේ ? " 

   යන්තං හිතට සහනයක් උදා වුණා. ' සෙනුරි හුටපටේට ' මාට්ටු නොවුණ එක නොලියා වෙන ඕන මඟුලක් ලියා තිබුණාවෙ! වගේ ගැබ්බර සිතුවිල්ලක් තමයි හිත මැද්දෙ මෙච්චර වෙලා විලිරුදා වින්දෙ...

          " කවුරුත් නරක නැහැ සොරායා... පවතින සිස්ටම් එකයි නරක."

           කෙල්ලගෙ බුහුටි වුවනත - ආස්වාදජනක ළවනත සිනහවෙන් විතරක්ම පිරී ඉතිරෙනවා. අහල පහළින් ඇදෙන කාන්තා මුස්ලිම් මුහුණු කිහිපයක් සොරායගෙ දිහාවට ඕනාවටත් වඩා දෑස් යොමනවා. කෙල්ල ඒ රැවිලි බැලිලි නොදැක්ක ගානට තව දුරටත් සැහැල්ලුවෙන් කතිකාවට ළං වෙනවා.

        " වාප්පි ඒකෙ ලියලා තියෙන්නෙ අයියගෙ හොඳ. පටන් අරන් තිබ්බෙ...මතකෙ හැටියට ඒ මීට අවුරුදු ගාණකට උඩින් අඟහරුවාදා දවසක්. අවුරුද්දෙ අන්තිම ලුම්බිණියෙ ප්‍රයිස් ගිවින්නෙක තිබ්බ දවසක්. එදා අයියා තමයි 10 වසර සෙක්ෂන් ෆස්ට්... මං හරිද ? "

        " ඔව්...හරි."

  සොරායගෙ ප්‍රශ්න කිරීම් හමුවෙ මං සාවධාන උත්තර සපයන්නෙක් වෙනවා.  

       " අයියා රඟහලේ කතාවක් පවත්වනවා මෙහෙම... සාමාන්‍යයෙන් නබි නායක තුමාට අනුව ස්වර්ගෙ තියෙන්නෙ අම්මගෙ 'දෙපතුල්' යට .. ඒත් මං විශ්වාස කරන්නෙ ස්වර්ගෙට යන පාර වැටෙන්නෙ මගෙ ' තාත්තම්මගෙ ' ඉරි තැලුණ දෙපතුල් යටින් කියලා... " 

     මතකය කඳුළක් - කඳුළු මතකයක් වෙන ඉක්මන ළඟ නිසා මං නැවත නැවත කතාව පුනරුක්තියකට නතු කරවන්න හිතුවෙ නැහැ. ඒත් මෙවර කතිකා ධාවනයෙන් සොරායව නවත්වන්න හරිම අමාරුයි. 

       " තව...තව අන්තිම ටිකේ ලියලා තිබ්බා...වාප්පි ජීවිත කාලෙ මුස්ලිම් දෙමළ සිංහල කොල්ලො කෙල්ලො දහස් ගාණකට ඉගැන්නුවත් ' හොර කල්ලියක් මැද්දෙ හිටිය තාපස ගිරවෙක් හම්බුණේ ලුම්බිණියෙන්' කියලා... ඒ ගිරවා කතා කරන්නෙ සිංහල කියලා. " 

     ආකාසෙ නුහුලන- හෙණ ගෙඩි අතර හිරවෙන- මහ පොළොව උහුලන සුසුම් විතරක් හිස් අවකාශයකට හිස්කමින් මුසු වුණා. ආබ්දීන් සර් ජීවතුන් අතර හිටියනං මේ කාරණා වෙනම විදිහකට වෙනම තැනෙකින් විසඳේවි කියලා අන්න අර ගිරවට හිතෙනවා. ඌ සුරාපායී - නුරාපායී ගිරවෙක්! 

       " අයියා... අම්මි දුන්න බත් එක මං තාම කෑවෙ නෑ. අද අස්රා නෑ...එන්න. කැන්ටින් එකට ගිහින් කමු. " 

       " හා සොරායා...කමු...යමු. " 

*------------------------------*-----------------------------------------------------------------------------------------*--------------------------------------------------

           හිත ගිය තරුවක් කඩාගෙන වැටෙනකං වරුවක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. කාලෙකට පස්සෙ ' මං තනියම ' අහස දිහාට ඇස් වක්කරගෙන පාලම උඩ....පැත්තෙන් දෙපැත්තෙන් ජීවිත කොච්චරක් කොහේ ගහගෙන ගියත් හැමදාම මැද්දෙන් ගලාගෙන යන කුණු ඇළ හුරුපුරුදු නිහඬතාවයෙන් ඔහේ ගලනවා. තනි කොළ පාටින් ගලාගෙන යන හින්දම 88- 89 දි වත්තෙ යං සැට් ඒ ගැන කියලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි. 

        " ආණ්ඩුවෙ කපාපු පළුව යකෝ මේ මෝඩ කුණු ඇළ...බලපන්, මිනිස්සු ගැන කිසි වගතුවක් නෑ..ඔහේ ගලනවා..බලපන් ආණ්ඩුවෙ වගේම ගඳ. පාට! තනි කොළ. රෑට කට්ට කළු...අවුරුද්දෙ වැඩි හරිය කොළ..තනි කොළ... " 

    පාට වෙනස් වුණාට තාමත් අච්චුව වෙනස් වෙලා නැති නිසා - දෙපැත්තෙ ජීවිත වලට අද හෙට අනිද්දා කියලා කිසිදු විශේෂයක් නැහැ. වතු අතරෙ ගෙවල් ඇතුළට ඔළුව දාල බැලුවොත් අන්තිමට කොහොමත් අහුවෙන්නෙ " හිනාවෙන කඳුළු එක්ක - අඬන හිනාවල් " විතරයි! ඒ අතරෙ මත්වීම්- රත්වීම් සහිතව මේ ජීවිත ගැන පොදු නිර්වචනෙකට යනවනං ඒ මාර්ගය මෙහෙමයි. 

       " මෙතැන හරියට කොමියුනිස්ට් සමාජෙ වගේ. නිදහසට වඩා එහා ගිය දෙයක් දෝරෙ ගලනවා. සංක්‍රාන්ති ලිංගික හිත් - සම සෙනෙහස් තොල් - පිරිමි අත් - ගෑනු නෙත් ආදරෙන් පුපුරු ගහනවා. මාවා - පහේ ටොෆි - බාබුල් - කේක් - පැණි - සලා පියාපත් සලනවා. රෙද්ද අස්සෙ කුහකකම් නැහැ, වචන අතරෙ අවකාශ නැහැ.... කමු, නටමු, හපමු, බුදියමු, නලියමු, බුදු වෙමු, මරාගෙන මැරෙමු............හැමදේම සාමාන්‍යයි. "




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »