එම්බා කොළඹ!

එම්බා කොළඹ! 



ෆ්ලැට් කෙරූ හදවතක් ඇහිඳගෙන 
පණපිටින් මළසිරුරු ඇවිද යයි 
ඉගිල යන කුරුල්ලෙක් අල්ලගෙන 
පියාඹන්නට හේතුවක් අසයි 
ලේ තැවරි යුග දෑත් සඟවගෙන 
සුද තකා රත මකා ඇස් වසයි 
' චෙක්මේට් ජීවිතය ' දෙසම යළි 
ගොඩනැඟිලි එම්බාම් වී බලයි.
එම්බා කොළඹ - පිම්බුණු තරම!

පෙම්වතුන් වගේ අය මෙහි සිටියි 
පෙම්වතා පෙම්වතිය එහි නොවෙයි 
නිදහසද මඳහසද උඩ පනියි 
උදහසට කිසිවිටෙක ඉඩ නොදෙයි 
දිවා රෑ පත්තු වෙන පපු මතට 
පාට පාටින් බල්බ නිකුත් වෙයි 
සෙනඟ වෙනුවට දකින හිස්ම හිස් - හිස් අතර 
පුරුදු පරිදිම සිහින බිම වැටෙයි.
එම්බා කොළඹ - හිස්වුණු තරම!

ආතතිය උරුම කොට ආකේඩ් බිමට බර 
සිහ පිළිම ගොදුරු වෙත ඉව කරයි 
අතීතේ කුර ගෙවුණු වෙඩි වැදුණු අස්පයෙකු 
තුරඟ තරගෙන් දිනා පසුතැවෙයි 
හිරියටද කෙළියටද කෑමටද නිළියටද 
සේනාව ගාඩ් පිට වැඩ වෙසෙයි 
දැන දැනම නොදැනීම කොයිතරම් වටිනවද 
ඩමියකින් ඔච්චමට හඬ නැගෙයි 
එම්බා කොළඹ - ඇන්දුණු තරම!



- කසුන් මහේන්ද්‍ර හීනටිගල.


Previous
Next Post »