ඔබ තෙමෙයි කියා බයයි.. වැසි වසී සුළං හමයි !!! (නංගියා - 1)

ඔබ තෙමෙයි කියා බයයි.. වැසි වසී සුළං හමයි  !!!





(නංගියා - 1)



ආලෝකය පරදා අඳුර ජය ලබමින් තිබුණා. අරගලයකින් තොරවම ආලෝකය පරාජය බාරගෙන තිබුණු නිසා පළායාම මිස වෙනත් යමක් ඉතිරිව තිබුනෙත් නැ. තැන තැන හුදකලාවේ කැටි ගැසුණු රුධිර ලප පවා කළු පැහැගැන්වෙමින් පලායමින් තිබු ආලෝකය තවත් අඳුරු කළා.

ආලෝකය පලායමින් තිබෙන බවත් අඳුර රජ කරන්නට ගෙන ඇති බවත් තේරුම් ගන්න අපහසු වෙන තරමට ‍‌භූමිකා මාරුව ගොස් තිබුණා.

ආලෝකයේ පරාජය දුටු යහපත නපුරට ඉඩදී තමන්ටම අලුතින් විලංගුලා ගත්තා. ඔය අතරෙ නීතියත් කැලේ වැදුනේ වෙන කරන්න යමක් ඉතිරි වෙලා නොතිබුණ නිසා. ඒ නිසාම යුක්තියත් බාධාවකින් තොරවම මෝය කටට පාවෙලා ගියා.

යුක්තියට තව දුරටත් මුහුදට වැටෙන්න කියලා දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නැ. කරදිය පංගුව වැඩිවුනු මෝය කට අග කෙලවර ගංදියේ නොරස වෙනුවට කරදියේ කිවුල් රස යුක්තියේ තොල් සිපගත්තා.

මේ වගේ වටපිටාවක තමයි වීරයා මැරිලා වැටිලා හිටියෙත්.

ලී කොටයකට පවා ස්වභාවික ජීර්ණය අහිමි කරපු... මාලුවෙකුට තබා ඉහඳ පනුවෙකුටවත් ජීවත්වීම අපහසු කරපු කුණු ඇළක... පළාතම ගඳ ගස්සවමින් ගලාගිය කළු පාටට හුරු ගොමකොල පාටක් ගත්ත ජල කඳක් මත වීරයාගේ ප්‍රාණය නිරුද්ධවූ සිරුර පාවෙමින් තිබුණා.

දෙනෝදාහක් ආගිය ඇළ කණ්ඩියට වීරයාගේ සිරුර පෙනුනත් එතනින් ගිය කිසිම ඇස් දෙකක් ඒ දසුනට සංවේදී උනේ නෑ. හැම ඇස් දෙකක්ම අදිසි බලයකින් පාලනය කළා වගෙයි.

මතකය හරිනම් ඊ.එල්. වොයිනික් ඇට මැස්සා මත ලියපු විදිහමයි.

“මනුස්ස ප්‍රාණයක්.. සජීවී මනුස්ස ප්‍රාණයක් පණ පිටින් මියදෙද්දී ඒ වටාවූ දෛනික ක්‍රියාවලියේ කිසිදු වෙනසක් නැත. දියමලේ දිය ලතාවට විහිදෙයි. ගේ කුරුල්ලෝ වෙනදා නද දුන් අයුරින්ම පියසි අද්දර කිචි බිචි ගාති”

මේ වගේ පරිසරයක වීරයගෙ මළගෙදර පාලු කපන්න කියලවත් හිටියෙ ඇලේ හිටපු තඩි කළු කබරගොයා විතරමයි. අසංවේදී මිනිස් ඇස් වලට මේ දසුන අහුනොවුනත් ඉර නැගෙන්න හෝරා කිහිපයකට කලින් ඉඳලා කබරා අනිමිසලෝචන බැල්මකින් යුතුව වීරයාගේ මළ සිරුරේ තනි රැක්කා. ඒත් වීරයා ඇළට වැටුනෙ කොහොමද කියන්න කබරා දැනගෙන හිටියෙ නෑ.

කබරා වීරයාගේ සිරුරට කිට්ටු වෙනකොටත් වෙඩි උණ්ඩ වලින් හිල් කූඩයක් කරලා තිබුණ ඒ ශරීරය ඉබේ නැටවෙන රූකඩයක් වගේ චලනය වෙමිනුයි තිබුනෙ.

ඇත්තටම වීරයා ඇළට වැටුන ඒ මොහොතට යක්ෂයාගේ හෝරාව කියලා බොරු කියන්න බෑ. හැම වේලාවකදී වගේම ඒ හෝරාවත් අයිති වෙලා තිබුනෙ දෙයියන්ට. ඒ කියන්නෙ වීරයා අලුගෝසුවන්ගේ වෙඩි වරුසාවට තෙමුනෙත් තිස් තුන් කෝටියක් දෙවිවරු මේ ලෝකයට බැල්ම හෙලාගෙනම හිටි මොහොතක.

අන්ධකාරය දෙපලු කරගෙන ආව වෑන් රථයකින් බැසගත්ත අලුගෝසුවන් දෙදෙනෙක් වීරයා දෙසට වෙඩි වරුසාවක් එල්ල කළා. ඉලක්කය නිවැරදි වුණු මුනිස්සම් කිහිපයක ගමන අවසන් උනේ වීරයගේ ශරීරයත් අරගෙන ඇළට ඇද වැටුනයින් පස්සෙ.

ඒත් එතනින් අලුගෝසු රාජකාරිය අවසන් උනේ නෑ. උන් ඇළට විසිවුන වීරයගේ සිරුර දිහාවටත් හිතේ හැටියට වෙඩි තිබ්බා.

ටික වෙලාවකින් එතන දකින්න තිබුනෙ ඇළේ පාවෙන වීරයගේ සිරුරත් ඇළ කණ්ඩියේ වැටුන හිස් පතුරන් කොපුත් විතරයි.

කබරට වීරයගේ සිරුර ළගට එන්න ඒ අමු ලේ සුවඳ පාර කිවුවා.

අලුත් ලේ වල සුවඳ පාකර හැරපු වීරයාගේ සිරුර ලක්ෂයක් කරගෙන කබරා පීනුවා. කබර පිහිනීමෙන් ඇළ මත ඇඳුන වෘත්තය ටික වෙලාවකින් මැකිලා ගියා.

ඒ වෙනකොටත් මුවින් වචනයක් වත් පිට නොකර මුහුණේ පශ්චාත්තාපයක සේයාවක් වත් ඉතිරි නොකරගෙන වීරයා ජීවිතයට සමුදීලා තිබුණා.

ලුම්පන් කුණු ඇලක ජීවත් වෙන කබරා මීට කලිනුත් මේ වගේ වෙඩිකාලා ඇළට වැටුණු සිරුරු දැක තිබුණත් ඒ මුහුණු සහ වීරයාගේ මුහුණ අතර වෙනසක් ඇති බව හඳුණා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

“මොනවා උනත් වෙනස් එකෙක්.. ඇරියස් නැති මුණක්... පොඩිකාලේ දැක්කට පස්සෙ මෙහෙම මළ මුණක් දැක්කමයි” කබරා තමන්ටම කියා ගත්තා.

ඉර උදාවත් එක්ක මළ සිරුර වෙනස් එකෙකුගේ බව මිනිස්සු ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ගත්තා. පාන්දර වාහනයකට අහුවෙලා මැරුණු බල්ලෙක්ගෙ සිරුරක් දැකලා “අනෙ පව්” කියන මිනිස්සු.. ලේනෙක් අල්ල ගන්න ගහකට නගපු පුසෙක්ව ගල් ගහලා බිමට බස්සන මිනිස්සු.. දවල් පියාඹන්න ගිහින් කපුටන් කොටන වවුලෙක් දැක්කාම වවුලා වෙනුවෙන් දෙවියන් යදින මිනිස්සු... මනුස්ස ඝාතනයක් දැක දැකත් නොදැක්කාසේ යන අපූරුව කබරෙකුට පවා ආතතියක් ගෙන ආවා.

දිගින් දිගටම වීරයා වෙනුවෙන් මිනිස්සුන්ගෙන් පළවූ අසංවේදී ප්‍රතිචාරය කබර ආතතිය උත්සන්න කළා. ආතතිය දරාගන්න බැරිම තැන කබරා ඒ පීඩනය වචන බවට පෙරළලා එලියට ඇදලා දැම්මා.

“උඹ අඩු වයසින් මළාට උඹගෙ මරණය වාසනාවන්තයි වගේ. මට හිතෙන්නෙ උඹ හිටපු සමාජෙට උඹ බරක්. මිනිස්සුන්ගේ පරිසමාප්ත වෙන්න තිබුණු ජීවිතයට හරහට හිටපු බාධකය උඹ වෙන්න ඇති. ඒකනෙ උන් දැන් හරි සනීපෙට උඹව නොදැක්ක ගානට යන්නෙ. ටක්කෙටම මට හිතෙන්නෙ උන්ගෙ වහගෙන ඉන්න තුවාලෙ උඹ පාරන්න ඇති.

අම්මපා උඹත් ඇවිල්ලා සමාජය වෙනස් කොරන්න කෑගහපු වහන්සෙ කෙනෙක් වෙන්න ඕන. මට මතකයි මං පොඩිකාලේ උඹලා වගේ උන්ගෙ මිනී අපේ ඇළ දිගේ පාවෙලා යනවා බලන් හිටියා. ඒ හුඟක් ඒවා උඹලගෙම උන් කාලා තිබුනෙ. ඒ නිසා අපිට කන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ.

අම්මපා බලහල්ලකෝ පරම්පරා දෙකක් කියලා දීලත් තොපිට ඉගෙන ගන්න බැරිවුණානේ. උඹලා මේ කෙහෙල්මල් සමාජෙ වෙනස් කරන්න ගියාට හුඟක් එවුන්ට එහෙම රුදාවක් නෑ.

නිකමට හිතපන්, ඉස්සර උන් උඹලා වගේ උන්ට වෙඩි තිබ්බෙ උඹලට වෙඩි තියන බව නොපෙනෙන්න අනිත් උන්ට ලොවින්න මස් තියන කට්ටක් හරි විසිකරලා. ඒ මදිවට වෙඩි තිබ්බට පස්සෙත් උන් වෙඩි තියපු බව අමතක වෙන්න මස් තියන කට්ටක් දෙකක් විසිකලා.

ඒත් අද බලපන්.. අද ඒ මොකුත් නැතුව උන් උඹලට වෙඩි තියනවා. එතකොට මිනිස්සු... මිනිස්සු මොකද කරන්නෙ? උන් උඹලට වෙඩි තියනවා දැක්ක ගමන් සාක්කුවෙන් කට්ටක් අරගෙන ලොවින්න ගන්නවා. අලුතෙන් උන්ට කටු දෙන්න දෙයක් නෑ. සිද්ධිය දැක්කද ඉබේටම කට්ට උන්ගෙ කටේ. ඉතින් කියහන්කෝ කට්ට කටේ තියාගෙන ඉන්න සමාජයකට මොන පොලිටික්ස්ද කියලා? ”

මේ විදිහට කබරා පිටකරන්න පටන් ගත්ත ආතතිය සමනය කීරීමේ වචන අන්තිමට අපේ කාලයේ දේශපාලන විද්‍යා පාඩමක් බවට පත්වුණා.

“මේ සමාජෙට උඹ බරක් බන්. උන් කට්ට උරලා දැන් ඒක රස වැටිලා. ඒ රස මොකුත් නෙවෙයි කට්ට ඇතිලිලා දිවේ තුවාලයෙන් එන ලේ රස කියලා කී දෙනාද දන්නේ? උන් බයයි වෙනස් කරන්න ගිහින් කට්ට උරන ආතල් එකත් නැතිවෙයි කියලා.

උඹලම තමයි මේක තේරුම් ගන්න ඕන. මේ තමන්ම කට්ටක් හොයාගෙන ලොවින ආතල් එක මිනිස්සු නොදැන කරන දෙයක් නෙවෙයි. වෙන හැමදෙයක්ම උන් හොදටම දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා. නිදාගත්ත උන් නැගිට්ටවන්න පුළුවන් මිත්‍රයා. ඒත් හොරට නිදාගත්ත උන් කොහොමත්ම නැගිට්ටවන්න අමාරුයි.

කොහොම උනත් උඹලට තාම මිලක් තියනවා. පණ පිටින් තිබුනට වඩා මළ මිනී උනාම උඹලගේ මිල තවත් ඉහල යනවා. කට්ටියකට ඕන උඹලව පණපිටින් ඉන්න කොට විකුණගෙන කන්න බැරිවුණු වාඩුව ගන්න. තවත් කට්ටියකට ඕන පණපිටින් හිටියට වඩා වැඩි මිලකට උඹලව විකුණන්න”

“මොනවා උනත් මේ කුණු ඇලේ කබරා පණපිටින් ඉන්නකන් උන්ට උඹව විකුණන්න ලැබෙන්නෙ නෑ. පාංශුකූලයක් පවා නොපැතීම මේ කාලෙ වාසනාවක් යාලුවා. ඒකත් දැන් හරි ගණන්”



----------------------------*-------------------------------*------------------------
---


වීරයෙක් ඇළක වෙඩිකාලා වැටිලා ඉන්නවා. තඩි කබරෙක් ඒ ළඟ පාලු කපනවා. මේ මොකුත්ම නොදන්න නංගියා කඩිමුඩියේ ලෑස්ති වෙමින් හිටියා. කොහොමටත් මේ දේ දැනගත්තත් නංගියාට ඒකෙ ඇති වැදගත් කමක් තිබුනෙ නෑ. අනික මේ වගේ වීරයෙක්ට නංගියගෙ ලෝකෙ ඉඩක් තිබුනෙත් නෑ.

හැඳ පැළඳ ගැනිල්ල ඉක්මනින් අවසන් කරගන්න හිතපු නංගියා කණ්නාඩිය ඉස්සරහට ගියේ “අන්තිම වතාවට හැඩ බලන්න” හිත හදාගෙන. මේ විදිහෙ “අන්තිම වතාවල්” කිහිපයක්ම ඒ හෝරා දෙක තුන ඇතුලේ පහුවෙලා තිබුණත් “අලුත් ජොබ් එකකට ඉන්ටවීවූ යද්දී ලස්සනටම යන්න ඕන” කියන සිතුවිල්ල ඊට වඩා වැදගත් වෙලා තිබුණා.

“හයියෝ අරකිගෙ ඉලවුව ආයෙත් එළියට පැනලා”

නංගියට එහෙම කියවුනේ බ්‍රා එකේ පටිය සාරි හැට්ටයට පිටින් පැනලා තියන බව කණ්නාඩියෙන් දැකපු නිසා. දෙතුන් පාරක්ම ඇතුල් කළත් ඒ හැම වෙලාවෙම බ්‍රා පටිය අකීකරු විදිහට සාරි හැට්ටයෙන් එළියට පැන්නා.

“නොදකින් විතරක්, මේ මඟුල හොඳයි ඒකිගෙ මිනිහට ඔන්චිලි පදින්න. පරණ මගුලක් මට දීලා. හරිගියාවෙකෝ මට.. ඕකිගේ ගේ ඉස්සරහා බ්‍රා ටැක්ටර් එකක්ම ගිහින් බානවා”

මේ විදිහෙ බොහොම ගරු සාරයට නංගියා මතක් කලේ මේ ගමන යන්න ඇදුම් දුන්න හිතවතියව. කොහොම හරි හතර පස් වතාවක්ම උත්සහ කරලා නංගියා ආය නොඑයි කියලා හිතෙන ගානට බ්‍රා පටිය සාරි හැට්ටය ඇතුලේ හංඟගත්තා. කණ්නාඩිය දිගේ පහලට ආව නංගියගෙ ඇස් ඊලඟට නතර උනේ සිරුරෙ මැද හරියෙ.

ඒ වෙනකොටත් පහලටම ඇදලා ඇඳපු ඔසරිය නිසා මුළු බඩපතයම එළියට පැනලයි තිබුනෙ.

“ම් ඔය තියෙන්නෙ පට්ටෙට... තව කොහේ අදින්නද” කියපු නංගියා පවුන්ඩේෂන් ක්‍රීම් ටිකක් අරගෙන බඩ පුරහම ගාගත්තා.

“ඔයාගේ ඔය පොල් බුරිය හරිම සෙක්සි. මං පට්ට ආසයි. දෙතුන් දෙනෙකුට එකට බැහැලා නාන්න මාරු. කෝ... කෝ බලන්න...”

අන්තිමට නංගියා බුට් එක තියපු කොල්ලා රූම් එකක ඇඳක් උඩ ඉඳගෙන කියපු දෙබසක් නංගියාට මතක් උණා. ඒ මතකය නිසා මුණට නැගුනු ඔමරි හිනාවත් එක්ක තවත් පවුන්ඩේෂන් ක්‍රීම් ටිකක් වැඩිපුර බුරිය වටේ මාත්තු උණා.

“මේ මගුලවත් හරි ගියොත් දෙයියනේ කෙල්ල ගොඩ... අනේ දෙයියනේ අදවත් මං දිහා බලන්න” ගෙයින් එළියට බහින අතරෙ නංගියා තමන්ටම කියාගත්තෙ හිස් අහසට ඇස් හරවලා.

එදා අහසෙ ඉර විතරක් නෙවෙයි හඳත් පායලා තියෙන විත්තිය නංගියා දැක්කෙත් ඒ වෙලාවෙ. “ඉර හඳ එකවර අහසෙ නැගී....” ගීයක පද පෙළක් මේ වෙලාවෙ නංගියගේ ඔලුවට කඩාගෙන වැදුණා.

“ඉර හඳ දෙකම එකපාර පායපුවහම විජිතෙ කළුවර වෙන්නෙ කොහොමද අප්පා? ඉර හඳ දෙකම එකපාර පායපුවහම විජිතෙ තව එළිය වෙන්න ඕනනේ” නංගියගේ හිත කතා කරන්න ගත්තා.

අලුත් රස්සාව එක්ක තමන්ට තියන පැතුම් කන්දක්ම හිත ඇතුලේ දඟකරන අතරෙ මුලින්ම ආව බස් එකට නංගියා ගොඩවුණා. බස් එකට නැග්ගත් රැළි නන්වපු සිහින පැතුම් හද පිරිල්ල නතර උනේ නෑ. මුහුදු රළ වගේ ඒ සිතුවිලි එක පෙලට නැඟුනා.

මුහුදු රළ ඇවිත් වැල්ල පිරිසිදු කරනවා වගේම සමහර වෙලාවට අපද්‍රව්‍යත් වෙරළට ගොඩබානවා. ඒ වෙලාවෙ නංගියගේ හිත ඇතුලෙත් මේ දේ සිද්ධවුණා. අතීතයේ අමතක කරන්න කැමති ඒත් කවදාවත් අමතක කරන්න බැරිවුණු මතකයක් අනාගත සිහින රැළි අස්සෙන් හිත ඇතුළට කාන්දු උණා.

“බළලා ලෙඩින්ද කියන එක නෙවෙයි වැදගත් චූටි, මීයෝ අල්ලනවද කියන එකයි. ඔයා දන්නවද මට හම්බයෝ පෙන්නන්න බෑ. උන් ගාව ගඳයි. උන්ගෙ කඩේකින් වත් මං කෑමක් වත් ගන්නෙ නෑ. ඒත් මං වැඩිපුරම බිස්නස් කරන්නෙ උන් එක්ක. උන් ළඟ ගඳ උනාට චූටි, උන්ගාව තියන සල්ලි ගඳ නෑ. අපේ ජීවිත වලටත් එහෙමයි. සල්ලි තියන එක මිසක් හම්බකරන්නෙ කොහොමද කියන එක අදාළ නෑ. සල්ලි ලැබෙනවනම් හම්බෙන ගාන වැඩි කරගන්න අවස්ථාව ලැබෙනවානම් ඒක ගන්න ඕනා”

ඒ වචන නංගියා කලින් වැඩකරපු ඔෆිස් එකේ වයසක බොසාගෙ. අප්‍රසන්න අත්දැකීම් පෙළක් ජිවිතේට එකතු කරපු ඒ පරණ මතක පොත වහලා දාන්න නංගියට ඕන උනත් ඒක පහසු උනේ නෑ.

“මගේ අනුරාගික වැස්සට ඔයා තෙමෙයි කියලා මට බයයි... ඔයාට කාම ගින්නක දැවෙන්න වෙයි කියලත් මට බයයි... ඒත් ඔය හංස ජෝඩුව ළඟ හුරතල් වෙන්න... මල් කෙමියේ රොන් රස බලන්න මට ආසයි... අලුත් මලක සුවඳ කවදාවත් පරණ මලකින් හමන්නේ නෑ. අනික මං ඔයාව කවදාවත් අමතක කරන්නෙත් නෑ... එන්න මං ළගට.. හංස විල දැකලා බඩගින්නෙ වෙව්ලන මගෙ අහිංසකයව පනගහලා ගන්න උදව් කරන්න”

සිතුවිළි ගඟ දිගේ පාවෙලා ආව ඒ වචන පේලි එක්කම කොහෙන්දෝ ආව මුඩුවුන වාත තෙල් ගඳක් නංගියගේ නහයෙ වේලුනා. ඔක්කාරය ඇතිකරන ඒ ගඳ කොච්චර අප්‍රසන්න උනත් ඒ ඇතුලේ මොකක්දෝ පුරුදු ගතියකුත් රැදිලා තිබුණා.

කොච්චර වහන්න උත්සහ කලත් වහගන්න බැරිවුණු අතීතයේ මතක පොත තවත් පිටුවක් පෙරළමින් ඒ ගඳට හිමි ලිපිනය මතක්කලා. ඒ පරණ ඔෆිස් ඒකෙ වයසක බොසාගේ යට ඇදුමින් ආව මුඩුවුනු වාත තෙල් ගඳ ...

දැනුන ඔක්කාරය පවා යට කරගෙන අතීතයේ වටලෑම වර්තමානය ගිලගත්තා. ඒ පරාජය එක්ක නංගියා බස් එකේ හිටියට හිත තිබුනෙ හෝටල් කාමරයක. ඒකත් තනියම නෙවෙයි, තමන්ගෙ තාත්තාටත් වඩා අවුරුදු කිහිපයක්ම වැඩිමහල් උනු පරණ ඔෆිස් එකේ නාකි බොසා එක්ක.






ආයෙමත් සතියකින්...




පාවෙල්.









Previous
Next Post »