සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්... අවදි නොවී ඉන්නම්...! (නංගියා - 4)

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්... අවදි නොවී ඉන්නම්...!







තමන් වීරයා එක්ක අලුත් පරිසරයට ඇවිත් කොච්චර වෙලාවක් ගතවෙලාද කියලා හිතාගන්න හැදුවත් ඒ ගැන නිශ්චිත අදහසකට එන්න කබරට පුළුවන් උනේ නෑ. මනුස්සයෙක් නොවුණු කබරට කාලයේ සහ අවකාශයේ වෙනස්වීම් ගැන බොහෝමත්ම පොඩිහරි  හැගීමක් ඇළේ වාසය කරපු කාලයේදී තිබුනානම් අලුත් පරිසරයේදී ඒ පොඩි හැගීමත් අතුරුදහන් වෙලා ගිහින් තිබුණා. කාලයේ සහ අවකාශයේ වෙනස විතරක් නෙවෙයි, මුලින් දැනුන බඩගින්න... පිපාසය... වෙහෙස වගේ හැගිමුත් මේ අලුත් පරිසරයේදී නැතිවෙලා යනබව කබරට තේරුම් ගිහින් තිබුණා.

ඒත් ඊළගට සිද්ධ වෙන්නෙ මොකක්ද කියන දේ ගැන අදහසක් කබරට තිබුනෙ නෑ. හැමදෙයක්ම ඉරණම්වාදියෙක්ව බාරගන්න සිද්දවුණු බවකුයි පේන්න තිබුනෙ.  හුදකලාවට ජීවමය බවක් ගෙනඑමින් කබර ගත සිත වෙලාගත් පාළුව මනුස්සයෙක් නොවුනත් කබරට කාංසාජනක අත්දැකීමක් එකතු කළා. 

අලුත් පරිසරයේ වැඩි බරක් තිබුනෙ අඳුරටද ආලෝකයටද කියන්න පුළුවන් කමක් තිබුනෙත් නැ. අඩක් අඳුර අඩක් ආලෝකය මුසුවුන පරිසරය ගතට කෙසේ වෙතත් හිතටනම් සැනසීමක් ගෙන ආවේම නැති තරම්. කාලය සහ අවකාශය පැහැදිලි වෙනසක් සටහන් නොකලත් ලිපිනය නොදන්න ස්ථානයක වාසය කිරීම කොහෙත්ම පහසු කටයුත්තක් නෙවෙයි. එක පැත්තකින් මළගිය ප්‍රාණියෙක්. අනිත් අතින් වැඩිපුරම ළඟ අපායටද දිව්‍ය ලෝකයටද කියලා හිතාගන්න බැරි අලුත් පරිසරය.

මොනවා වුනත් දිගින් දිගටම වෙනසක් නැතිව තමන් වෙත ආව කාංසාවෙන් මිදෙන්න කබරට හොදටම වුවමනාව තිබුණා. සැලකිය යුතු වෙලාවක ඉඳලා එන දෙයක් දරාගෙන වෙනදෙයක් බලාගෙන ඉන්න කබරා උත්සාහ කලත් ටිකෙන් ටික වර්ධනයක් අත්කර දුන්    කාංසාව දරාගැනීමේ අන්තිම සිමාවටම කබරාව තල්ලු කළා.

 එතනදී තමන් නොපතපු ඒත් තමන්ට උරුමවුණු ජිවිතයට එරෙහිව වෙනස් විදිහේ ජීවිත වන්දනාවක යෙදෙන්න කබරා තීරණය කලෙත් ඒ නිසයි. වීරයාගේ සිරුර කටින් ඇදගෙන හිත කියන දිහාවට යන වෙනස් ජීවිත වන්දනාව එතැන් සිට ආරම්භ වුණා.

වන්දනාව යන්න පටන්ගන්න පළමු පියවර තියන්න කියලා අතීත වන්දනාවක මං සලකුණු හෙවුවත් කිසිම මං සලකුණක සේයාමාත්‍රයක් පේනතෙක් මානයක තිබුනෙ නැ. ඒ නිසා මං සලකුණු නැති පොලව මත කබරා තියපු හැම පියවරකම නැවුම් බවක් තිබුණා. කබරගේ හිත මාලිමාවක් වෙලා වන්දනාවට දිශාව පෙන්නුවා. කවුරුවත් කලින් ඇඳලා නොතිබුණ සිතියම කබර පියවර නිසා අලුතින් නිර්මාණය වුණා.

මේ වගේ වන්දනාවකදී ආපසු හැරී බැලීමක් කියන්නෙ ධෛර්යය අන්තිම බිංදුවටම පහත දමාගැනීමක් කියලා කබරා වන්දනාව අරඹලා සැලකිය යුතු දුරක් යනවිට තේරුම් ගත්තා. ඒ පාඩම ආය වරද්දා නොගන්න අදිටන් කර ගත්ත කබරා නිකමටවත් පිටිපස්ස නොබලා ඉස්සරහටම ගියා.  

කබර අඩි මේ වන්දනාවේ මං සලකුණු වෙමින් වාලුකා බිමේ අලුත් සිතියමක් ඇන්දත් ඈතට යන්න යන්න ඒ සලකුණු මැකිලා ගියා. තවත් අයෙකුට මේ බිමේ වන්දනාවක යෙදෙනවනම් අලුතින් සිතියම ඇඳගන්න වුණා.

...................................................................................

මේ අතරෙ වීරයාගේ පක්ෂයේ අය වීරයා වෙනුවෙන් දක්වපු ශෝක-විරෝධය අවසන් කරලා තිබුණා. වීරයාගේ මළ සිරුර ඒ වෙනකොටත් පරීක්ෂණ කණ්ඩායම් හොයාගෙන නොතිබුණු නිසා වීරයාගේ නම අතුරුදහන්වුවන්ගේ නාමලේඛනයට ඇතුලත්  වුණා.

වීරයා ගෙ අඩුව කියාපාමින් පක්ෂය වෙනුවෙන් වීරයාගේ මුලිකත්වයෙ ආරම්ඹ කර තිබුණු වෘත්තීය ක්‍රියාමාර්ග දෙකම අවසන් වෙලා තිබුනෙ සේවකයන් ගානකගේම රස්සා අහිමි වෙමින්. තවත් සමහරුන් තාවකාලික  වැඩ තහනමකට ලක්වෙලා තිබුණා. 
මර්දනය ඉවහාගිය වැඩ බිමක වහලුන් සේ තවදුරටත් නිහඬව තමන්ගේ ශ්‍රමය වගුරවන්න ඉතිරි සේවකයන්ට නියම වෙලා තිබුණා. රැකියාව නැතිවීමට වඩා නව තත්ත්වය කොච්චර වාසනාවන්තද කියලා ඔවුන් හිතමින් සිටියා.

 වැඩ තහනම්වුනු සහ රස්සාව අහිමිවුනු සේවකයන් කිහිප දෙනෙක් වීරයාගේ පක්ෂයේ පුර්නකාලිනයන් විදිහට දේශපාලනයට එකතු වෙලා තිබුණ නිසා වීරයාගේ පක්ෂයේ අය උදාවුණ තත්ත්වය තමන් ලබපු නොපෙනෙන ජයග්‍රහණයක් විදිහටයි සැලකුවේ.

“එහෙම තමයි සහෝ අරගලය කියන එක. අපිට වීරයන් අහිමි වෙනවා. නමුත් අහිමිවෙන එක වීරයෙක් වෙනුවට අලුතින් සටන් සගයෝ එකතු වෙනවා” වීරයාගේ පක්ෂයේ ඉහල වගකීම් දරපු පක්ෂ නිලධාරින් ග්‍රාස්රූට් ලෙවල් සහෝදරයන්ට ඒ විදිහට අලුත් තත්ත්වය පැහැදිලි කරා.

ඒ බොහෝදෙනෙක් මේ පැහැදිලි කිරීම නිහඬව පිළිගත්තත් සමහර අය පක්ෂ නිලධාරින් වෙත වෙනස් විදිහට ප්‍රශ්නය යොමුකළා.

“අලුතින් කට්ටිය ෆුල් ටයිම් ආවබව ඇත්ත. ඒත් ඒ අය ආවෙ රස්සාව නැතිවුණ නිසා මිසක් දේශපාලනය පුර්නකාලිනව කරන්න ඕන කියන පැහැදිලි අවබෝධයෙන් නෙවෙයි නේද?”

“මේක අපි ලබපු ජයග්‍රහණයක් නම් අරගල ඇතුලේ අනාථ වෙන අය පක්ෂයේ කාඩර්වරුන් කරගන්න එකද අපේ වෘත්තිය සමිති දේශපාලනයේ අරමුණ?”

 මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පක්ෂ නිලධාරින් වැඩි වෙලාවක්  ගතකලේ නැ. ඔවුන් මේ වෙනස් ප්‍රශ්නකරුවන්ගෙන් පෙරළා අහපු ප්‍රශ්නයකින් සංවාදය අවසන් කළා.

“සහෝදරයටයි මටයි විතරක් විප්ලවය කරන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නේ?”

ක්‍රම විරෝධී දේශපාලන පක්ෂයක භාවිතාව යලි බරපතල විදිහට හිතන්න බලකෙරෙන දේශපාලනික සංවාදයක් ඒ විදිහට නරුම පිළිතුරක් හමුවේ අවසන් උණා.

......................................................................................


 සංවාස පහුරක නැගලා  දියුණුවේ රන් දොරටුවෙන් ඇතුළට යන හැටි ගැන හීනයක වැතිරිලා හිටපු නංගියා නින්දෙන් අවදි වුනෙත් මේ වෙලාවෙ.

 ඇද ළඟ ගෙනත් තියලා තිබුණ තේ කෝප්පය හොදටම සීතල වෙලා ඇඹලයෝ දෙතුන් දෙනෙකුත් වහලා හිටියා. ඒ ඇඹලයි අයින් කරපු නංගියා තේ කෝප්පෙ එක හුස්මට බිලා වැසිකිලියට ගියේ පුරුද්දට වගේ.

“තව දවස් දෙකයි...” නංගියා ඉන්ටර්විවු ගිය දවසෙ ඉදලා දවස් පහක් බොහෝම ඉක්මනට ගෙවිලා ගිහින් තිබුණා. කරන්න ගිය වැඩෙත් අමතක වුණු හැඩක් පෙනුණේ වැසිකිලියට ගියාටත් වඩා ඉක්මනට නංගියා එළියට ආව නිසා.

යන්තමට මුණ කට හෝදගත්ත නංගියා කඩිමුඩියේ හෑන්ඩ් ෆෝන් එක අතට ගත්තෙ අනිද්දා වැඩට යන්න ඇඳුමක් ඉල්ල ගන්න හිටපු අර හිතවතියට කතාකරන්න. ඒත් ඇමතුම ගන්න කලින් ෆෝන් එකට කෙටි පණිවිඩ දෙකක් ඇවිත් තියන බව දැකපු නංගියා ඒවා කාගෙන්ද කියලා බැලුවා.

පලවෙනි කෙටි පණිවිඩය ඇවිත් තිබුනෙ ඒ හිතවතියගෙන්මයි.

“මගෙන් අරගෙන ගිහින් උකස් තියපු රත්තරන් බඩුවලට මාස තුනකින් ඔයා පොලිය  ගෙවලා නැ කියලා ඒ අය කතාකළා.මොකක්හරි කරන්න ඉක්මනට. අයියා දැනගත්තොත් මටත් බැනුම් අහන්න වෙනවා. බි.එස්.”

පලවෙනි පණිවිඩය දැකපු නංගියා ඒ ගැන වැඩි තැකීමක් නොකරම දෙවැනි පණිවිඩය කාගෙන්ද බැලුවා.

“යකෝ මං ලඟදීම ලංකාවට එනවා.මගේ සල්ලි ආය මට ඕන. උඹට මාව කසාද බදින්න බැරිනම් මගේ සල්ලි මට ආපහු දියන්. මං ආය නරක මිනිහා කියන්න එපා”

ඒ දෙවැනි පණිවිඩය නංගියාගෙ හිටපු ආදර වන්තයෙක් ගෙන්. ඒ වචන පේලි දැකපුවාම නංගියාගේ හිත ඇතුලේ විදුලි කොටනවා වගේ දැණුනා.රත්තරන් බඩු උකස් කලාට වඩා දුරින් වූ ඒ සල්ලි වල මතකය විදුලිත් එක්කම නංගියාගෙ ඔලුවට කඩා වැදුණා.

“ඔයා මට කොච්චර ආදරෙයි කිවුවත් මට ඒක දැනෙන්නෙ නැ” ඒ විදිහටයි සල්ලි  වෙනුවෙන් නංගියගෙ කතාව පටන්ගත්තෙ.

“ඇයි ළමයෝ එහෙම කියන්නෙ?මං මොනවද ඔයාට නොකරලා තියෙන්නේ... ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා. මං මේ රට යන්න හදන්නෙත් අපේ අනාගතය වෙනුවෙන්”

“වෙන්න ඇති.. ඒත් මගේ හිතට ලොකු බයක් දැනෙනවා. ඔයා රට ගියාම මාව අමතක කරයි කියළා”

“පිස්සුද කෙල්ල?”

“කෙල්ලට පිස්සු නිසා තමයි මේ විදිහට ඔයා එක්ක කාමර ගානේ රිංගන්න එන්නෙ”

“ඒ ඔයා මාව විස්වාස කරන නිසානෙ”

“නෑ... ආදරේ නිසා... ඒත් ඔයා රට යනවා කිවුවාම මං මෙහෙ තනිවෙනවා. එතන ඉඳලා ඔයා මට ආදරෙයි කිවුවට ඒක දැනෙන්නෙ නැ. ඔයා මාව බැදලා රට යනවනම් මට ඔයාගෙයි කියලා දරුවෙක් ව වත් හදාගන්න තිබුණා.. ඒත් දැන් මං ළඟ ඔයාගේ කියලා මොකුත්ම නොතියාම ඔයා රට යනවා.. නිකන් හිතන්න ඔයා මාව අමතක කලොත් අපි මෙහෙමත් ඉඳලා මට අනාගතයක් තියෙයිද?”

“ආ... ඒකද මේ කෙඳීරිය.. හරි මං ඉඩම විකුණලා පොතේ දාලා තියන එකවුන්ට් එක මං ඔයාගේ නමට ලියන්නම්. ඔයා මං එවන සල්ලි වලින් අලුත් ඉඩමක් අරගෙන ගෙයක්  ටික ටික හදන්න ගන්න. මං ආවම ගෙයි වැඩ ටික ඉවර කරලා වෙඩින් එක ගමු”

තාවකාලික ලැගුම් හලක් ඇතුලේ සිද්දවුණු ඒ කතාබහ අවසන් උනේ ලක්ෂ දහයක විතර ඉඩමක් විකුනපු සල්ලි තිබුණු ගිණුමක් නංගියාගේ නමට ලිවීමෙන්. දවස් දෙකකට පස්සේ ආදරවන්තයා රට ගියා. ඊටත් සති තුනකට පස්සේ ලක්ෂ දහයක ගිණුමක් රුපියල් පන්සීයක ගිණුමක් උනේ  නංගියා ඒ සල්ලි අරගෙන දෙකෙන් පංගුවක්ම කන්නයි ඇඳුම් වලටයි අරගෙන ඉතිරිය අලුත් බිස්නස් එකකට දාපු නිසා.

ඒ රෙදි මහන සාප්පුවක්. මාස තුනකින් සාප්පුව වහන්න නංගියාට සිද්දවුණේ එතන වචන මිසක් වැඩ නොතිබුණ නිසා. එතනින් පස්සේ තමයි නංගියා ඉතුරු රෙදි කැලි ටිකයි මැෂිමයි එක්ක රත්තරන් බඩු උකස් කරන්න දුන්න ගැනු කෙනා ළඟට ගියේ.

පවුලෙ විස්තරේට දුක එකතු කරලා එදා නංගියා කියපු කතාවට ඒ මනුස්සයගෙ හිත උණු උණා. ඒ නිසාම අලුත් ඔෆිස් එකේ ඉන්ටවිව් එනකන් ඒ මිනිස්සු බෑ නොකියා පුලුපුලුවන් විදිහට නංගියට උදව් කළා. අම්මට ඔපරේෂන් එකක් කරන්න කියලා  නංගියා කියපු බොරුවකට  ඒ කෙනාගේ රත්ත්හරන් බඩු ටික උකස් තියන්න දුන්නෙත් ඒ නිසයි. කොහොම උනත් ඒ බොරුව හෙළිවුණු දවසෙ ඉඳලා කලාතුරකින් තමයි නගා එහෙට ගොඩවුනේ.

“අලි මදිවට කොටි කිවුවලු. දැන් ඉතින් රත්තරන් බඩු මදිවට අර මුසලයා එන්න කලින් ඉඩමේ සල්ලිත් බේරපල්ලකෝ” කියපු නංගියා අතීත මතකයෙන් එළියට  ආවා.

ෆෝන් එක පැත්තකින් තියපු නංගියා උඩහ ගෙදරට ගියේ එහෙ ඉන්න ගැනු ළමයාගෙන් වත් අනිද්දට ඇඳගෙන යන්න ඇඳුමක් ඉල්ල ගන්න.

“කෝ අපේ ලොක්කි අක්කා” කියාගෙන නංගියා ඒ ගෙට ගොඩවුණා.

“අද මොකද කාලෙකින් අපිව මතක් වෙලා... ඔන්න බන් අතේ නං සතේ නෑ” කියාගෙන ලොක්කි අක්කා නංගියව පිළිගත්තා.

“සල්ලි ඉල්ලන්න නෙවෙයි මං ආවේ. මට අනිද්දට පොඩි ගමනක් යන්න ඇඳුමක් ඉල්ලගන්න”

“ඒ කොහේ යන්නද බං ?”

“අලුත් රස්සාවට... එළකිරි වගේ පොට් එකක්.. උඹ අක්කේ ඇඳුමත් එක්ක මං උඹට ණය තියන ගානත් ලියලා දියන්. මේ පාර කෙල්ලගේ බඹරා වැල්ලෙ ගැහුවත් කැරකෙන ගානට ඇවිත් තියෙන්නේ”

“කියපන්කෝ බන් වැල් වටාරන් නැතුව”

“මොනවා කියන්නද.. නංගියා ඉන්ටවිව් ගියා. බොසාට නංගියව එකෙන්ම අල්ලලා ගියා. දැන් අනිද්දා ඉඳන් වැඩ..”

“ලොක්කා වලාද බන්?”

“ම්  ම්.. ම්.. එහෙමත් කියන්න බැ. ඒත් පොඩි පේ ගතියක් තියනවා.. කුකුළා නෙවෙයි, මූ ඇවිල්ලා පොඩි මොණරා සීන් එකක් වගේ..”

“මොකක්ද බන් ඒ හරුපේ...”

“කුකුළා කියන්නෙ දකින දකින එකට කොටන්න පන්දම පත්තුකරගත්ත ගමන් ඉන්න එකාලටනෙ බං.. මේකා මොණරා... තෝරගත්ත එකාට ගිලින්න මග හලලා හැංගිලා බලාගෙන ඉන්නවා...”

“ඒ කියන්නෙ පලවෙනි දවසෙම නංගියා ගිල්ලා”

“පිස්සුද බන්... තාම ඌ ගිල්ලද මං ගිල්ලද කියන්න කල් වැඩි. ඒත් ගිලින්න පුළුවන් ලයින් එක නම් තියනවා”

 “හැන්ඩියද බං”

“දැන් අර ඇඳුම ගෙනෙන්කෝ... පස්සෙ නාලා කරළා රැ වෙලා වරෙන්.... එතකොට කියන්නම්”  





ආයෙමත් සතියකින්...



පාවෙල්.









Previous
Next Post »