සෝභිත හිමි යනු අයතුල්ලා අල් කුමේනි ද? (පිටස්තරයා - 10)

සෝභිත හිමි යනු අයතුල්ලා අල් කුමේනි ද? (පිටස්තරයා - 10)



2 වන පරිච්ඡේදය.
9. ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) පරිච්ඡේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. 
(ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 1978)


ශ‍්‍රී ලංකාව මේ වන විට ජනාධිපතිවරණයක් අභියස පවතී. එම ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නියමිතව ඇත්තේ අශීලාචාර ව්‍යවස්ථා සංශෝධනයකින් ධූර කාලය දැරීමේ වාර ගණන වැඩිකර ගත් මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහු ශ‍්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයාය. 

නිදහස් ශ‍්‍රී ලංකාවේ පළමුව ආණ්ඩු බලය දැරුවේ එක්සත් ජාතික පක්‍ෂයයි. එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම දේශපාලන පක්‍ෂය ලෙස හැඳින්වීම සාධාරණ වේ. තනිව ආණ්ඩුවක් පිහිටවිය හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය පමණී. නමුත් මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට තරම් ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් නොවන බවට එය පත්වී ඇත. එම නිසා ශ‍්‍රී ලංකාවේ ද්වීසභාග බහු පක්‍ෂ ක‍්‍රමය දැඩි අභියෝගයට ලක්ව ඇත. 2010 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකළා මෙන්ම ඉතිහාසයේ පළමු වරට පොදු අපේක්‍ෂකයෙකු වෙනුවෙන් කඬේ යාමට එක්සත් ජාතික පක්‍ෂයට සිදුවිය. මෙවර ද ජනාධිපතිවරණ විපක්‍ෂ දේශපාලන වේදිකාව තුළ පොදු අපේක්‍ෂකයෙකු පිළිබඳ විවාදයට භාජනය වී ඇත්තේ ද එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් නොවීමය. එය ඛේදවාචකයකි. එයට රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස යනාදී සියලූම දෙනා වගකිව යුතුය. 

වර්තමාන විපක්‍ෂ දේශපාලන වේදිකාවේ පොදු අපේක්‍ෂකයින් කිහිප දෙනෙකුගේ නම් කියවේ. මෙම නම් කියවෙන සෑම වාරයක් පාසාම ප‍්‍රදර්ශනය වන්නේ ලංකාවේ ප‍්‍රධානම දේශපාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂයේ නොහැකියාවයි. ශිරාණි බණ්ඩාරනායක, මාදුළුවාවේ සෝභිත හිමි, විග්නේෂ්වරන් යනාදී පොදු අපේක්‍ෂකයින් පිළිබඳ යම් ආකාරයක කථිකාවතක් පවතී. මේ අතරින් ප‍්‍රධාන වන්නේ මාදුළුවාවේ සෝභිත හිමිය. 

ශ‍්‍රී ලංකාවේ භික්‍ෂු දේශපාලනය විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් ප‍්‍රදර්ශනය වී ඇත. එය මෑතකාලීනව ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වූයේ බද්දේගම සමිත හිමි පළමු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස පත්වීම සහ ධර්ම රාජ්‍යයක් නිර්මාණය කිරීමට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැමිණි භික්‍ෂූන් වහන්සේ සමගින්ය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ භික්‍ෂු දේශපාලනය අද වන විට අමුත්තක් නොවේ. එම නිසා මාදුළුවාවේ සෝභිත හිමි ජනාධිපති අපේක්‍ෂකයා වීම ද අමුත්තක් නොවේ. එම නිසා සෝභිත හිමිගේ දේශපාලනය මැජික් එකක් වන්නේ නැත. නමුත් ජාතික හෙළ උරුමයේ රූපවාහිනියෙන් බණ කී මන්ත‍්‍රී අපේක්‍ෂක ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පැමිණ මෙරට වෙනුවෙන් කළ කිසිවක් නැත. ඔවුන් ධර්ම රාජ්‍යයක් නිර්මාණය කළේ ද නැත. එම නිසා භික්‍ෂූන්ගේ දේශපාලන ආගමනය පිළිබඳ මෙරට ජනතාව යළිත් විශ්වාස කරයි යැයි සිතිය නොහැක. එය මාදුළුවාවේ සෝභිත හිමිට පරාජය උදා කරවන්නකි. මන්ද මෙරට ජනතාව භික්‍ෂු දේශපාලනය අත්හදා බලා ඇති බැවිනි. එහෙයින් ඔවුන්ට අවැසි වන්නේ මාදුළුවාවේ සෝභිත හිමි වැනි ජනාධිපති අපේක්‍ෂකයෙක් නොව කුඩාපොළ හිමි, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, වාරියපොළ සුමංගල හිමි වැනි අභීත භික්‍ෂූන්ය. දැන් අවස්ථාව විවරව ඇත්තේ එවැනි භික්‍ෂුවකටය. ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොවේ. 

මාදුළුවාවේ සෝභිත හිමි හැම විටම පෙනී සිටින්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙනි. විධායක ජනාධිපති ධූරය යනු මේ රටේ එකම දේශපාලන ප‍්‍රශ්නය නොවේ. මෙරට තවත් දේශපාලන ප‍්‍රශ්න රාශියක් පවතී. එයින් ප‍්‍රධාන ගැටළුවක් වන්නේ මෙරට දේශපාලන සංස්කෘතියක් නොතිබීමයි. දේශපාලන සංස්කෘතිය යනු පවතින දේශපාලන ක‍්‍රමය යහපත්ද අයහපත්ද යන්න පිළිබඳ ජනතාව තුළ ඇති අවබෝධයයි. සාමාන්‍යයෙන් දියුණු දේශපාලන සංස්කෘතියක දේශපාලනය සහ ආගම බද්ධ නොවේ. යම් හෙයකින් මාදුළුවාවේ සෝභිත හිමි ජනාධිපති වුවහොත් එයින්ද ප‍්‍රදර්ශනය වන්නේ මෙරට දියුණු දේශපාලන සංස්කෘතියක් නොතිබීමයි. එම නිසා රටේ එකම ප‍්‍රශ්නය විධායක ජනාධිපති ධූරය ලෙස සලකන සෝභිත හිමි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් පසු මෙරට ගොඩනගන නව දේශපාලන ක‍්‍රමය පිළිබඳ පුළුල් දැක්මකින් සමන්විතද යන්න පිළිබඳ ඡුන්ද දායකයින් ප‍්‍රශ්න කරනු ඇත. සෝභිත හිමි කුමන බණ දේශනා කළ ද අවසානයේ දී දේශපාලන ගොදුරක් බවට පත්වනු ඇත. සරත් ෆොන්සේකාට සිදුවූයේ ද එයමය. සෝභිත හිමිට වඩා අනුර කුමාර දිසානායක, ආර්. සම්බන්ධන්, රනිල් වික‍්‍රමසිංහ, මනෝ ගනේෂන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලනිකය. ඔවුන් හැම විටම කටයුතු කරන්නේ බලය උදෙසාය. බලය සඳහා පිළිතුරු දිය යුත්තේ බලයෙන්මය. නමුත් භික්‍ෂුවක් ලෙස සෝභිත හිමිට බලය අකැපය. නමුත් ඉල්ලන්නේ ද බලයමය. කෙසේ වුව ද ජනාධිපතිවරණ සටනේදී මහින්ද රාජපක්‍ෂ සමග තරග කරනවාට වඩා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසු ඉහත කී දේශපාලන බලවේග සමග ගැටීම සෝභිත හිමිට අපහසුය. මන්ද මහින්ද රාජපක්‍ෂට වඩා ඉහත කී බලවේග දේශපාලනයේදී සූක්‍ෂම බැවිනි. එම පසුබිම තුළ සෝභිත හිමි ජාති ද්‍රෝහියා යැයි මහින්ද රාජපක්‍ෂට වඩා ඉක්මනට ජනාධිපතිවරණ සටනින් පසු ඔවුන් පවසනු ඇත. මන්ද සෝභිත හිමි ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කරන්නේ තමන්ට හිමි බලය ඩැහැ ගැනීමට ඔවුන් කල්පනා කරන බැවිනි. එයින් වඩාත් ප‍්‍රවේශම් විය යුත්තේ රනිල් වික‍්‍රමසිංහගෙනි. සරත් ෆොන්සේකාට අත් වූ ඉරණමෙන් සෝභිත හිමිගේ ඉරණම තේරුම් ගත හැකිය. එය ෆොන්සේකාට අත් වූ ඉරණමට වඩා ඛේදවාචකයක් විය හැකිය. 

ශ‍්‍රී ලංකාවේ වත්මන් ව්‍යවස්ථාව තුළ ගැටළු බොහෝමයක් පවතී. ඒ තුළ එකම ගැටළුව විධායක ජනාධිපති ධූරය නොවේ. නමුත් එය ප‍්‍රධාන ගැටළුවයි. විධායක ජනාධිපති ධූරය සමග වත්මන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බැඳී ඇත. එහි අස්සක් මුල්ලක් නෑර විධායක ජනාධිපති ධූරයේ අණසක ගොඩනැගී ඇත. කිසිසේත්ම විධායක ජනාධිපති ධූරය හුදකලා කොට ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැක. එම නිසා සෝභිත හිමි යම් හෙයකින් ජයග‍්‍රහණය කළහොත් සිදුවන්නේ විධායක ජනාධිපති ධූරය පමණක් නොව පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කොට නව ව්‍යවසථාවක් ගෙන ඒමටයි. එවැනි තත්ත්වයක් පිළිබඳ සෝභිත හිමිගේ දැක්ම මෙරට දේශපාලනය තුළ හෝ බණ කතා තුළ තවමත් ප‍්‍රදර්ශනය වී නැත. එම නිසා හුදු හැඟීම්බරව පමණක් සෝභිත හිමිගේ දේශපාලන ආගමනය දෙස නොබලා යථාර්ථවාදී ලෙස බැලීමට සිදුවන්නේය. 

දේශපාලන වේදිකාවන් තුළ කුමන තර්ක විතර්ක මතු කළ ද එළඹෙන ඌව පළාත් සභා මැතිවරණය ජයග‍්‍රහණය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. හදි හූනියම්, බලි තොවිල් යනාදී ආකාරයෙන් හෝ ජිල්මාට් මගින් හෝ මහින්ද රාජපක්‍ෂ ඌව පළාත් සභාව ජයග‍්‍රහණය කරනු ඇත. තවමත් කොතරම් දූෂිත වුව ද වත්මන් පාලනය තුළ මහින්ද රාජපක්‍ෂ ජනප‍්‍රිය දේශපාලන චරිතයකි. බෞද්ධ වුවද නොවූවද මහින්ද බෞද්ධයින්ගේ ආකර්ශනයයි. පලස්ථීනයට ආධාර ලබාදීම පවා බෞද්ධයින් සලකන්නේ අසරණයින්ට පිහිටවීමක් ලෙස මිස බුද්ධාගමට ද්‍රෝහි වීමක් ලෙස නොවේ. තවමත් මහින්දගේ බමරය වැල්ලේ කැරකේ. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව දූෂිත වුවද මහින්ද රාජපක්‍ෂ දූෂිත යැයි පිළිගැනීමට මෙරට ජනතාව තවමත් සූදානම්ව නැත. නමුත් පසුගිය කාල වකවානුව තුළ මෙරට දේශපාලනය තුළ භික්‍ෂූන් වහන්සේලා හැසිරුණු ආකාරය දෙස බලන විට සහ ධර්ම රාජ්‍යයක් නිර්මාණයක් කිරීමට පැමිණි භික්‍ෂූන් වහන්සේලා ධර්ම රාජ්‍යය වෙනුවට ධර්ම මන්දිර යැයි සුපිරි මන්දිර ගොඩනැගූ ආකාරයට මෙරට ජනතාව දුටුවේය. අරලිය ගහ මන්දිරයේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇතැම් පුරාවිද්‍යා චක‍්‍රවර්තී භික්‍ෂූන්ලා අනුමත කළේය. එම නිසා මුස්ලිම් පූජකයා සම්බන්ධයෙන්වත් පවතින ගෞරවයක් භික්‍ෂූ සමාජය සඳහා මෙරට ජනතාව තුළ නැත. බොහෝ භික්‍ෂූන් ගෞරවය කෙලෙසාගෙන ඇත. මෙම මහා පොදු සාධකයෙන් සෝභිත හිමිටද මිදිය නොහැක. එමෙන්ම සෝභිත හිමිගේ යථාර්ථවාදී පැටිකිරියාව සමාජගත වන්නේද ජනාධිපතිවරණ සමයකදීය. ඒ සඳහා ප‍්‍රබලම සේනාවක් ආණ්ඩුවට ඇත. ඒ බොදුබල සේනාවයි. රාවණා බලකායද එයට ලූණු ඇඹුල් සපයනු ඇත. එහෙයින් යම් මොහොතක මිනිසුන් සෝභිත හිමිට වඩා මහින්ද රාජපක්‍ෂ යහපත් යැයි කියනු ඇත. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ සාටකය සෝභිත හිමිට පළඳවා සෝභිත හිමිගේ බුද්ධ චීවරයට මහින්ද රාජපක්‍ෂට පළඳවා මහින්ද රාජපක්‍ෂ භික්‍ෂුවක් සේ පිළිගෙන සාදු සාදු නදින් ජනාධිපතිවරණයේදී ඡුන්දය භාවිතා කරනු ඇත. ලංකාවේ හොඳම හමුදාපතිවරයා දේශ ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසූ ආණ්ඩුවේ දක්‍ෂ, දූෂිත කථිකයින්ට සෝභිත හිමි කජ්ජක් වනු ඇත. 

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 71% ක් සිංහලයින්ය. ඉතිරි 29% සුලූ ජාතිකයින්ය. ජනාධිපතිවරණ සටනකදී ගිහි පොදු අපේක්‍ෂකයෙක් පැමිණියහොත් 29% සහිතව ජනාධිපතිවරණයට පැමිණීමේ හැකියාව ඇත. නමුත් බෞද්ධ පැවිදි අපේක්‍ෂකයෙකුට හින්දු, ඉස්ලාම්, කතෝලික ඡුන්ද ලැබෙනවාට වඩා ගිහි අපේක්‍ෂකයෙකුට ලැබීමේ සම්භාවිතාවය ඉහළය. එමෙන්ම දක්‍ෂ ධර්ම කථිකයෙක් ලෙස මෙරට සමාජය වැළඳගත් සෝභිත හිමි කුමන තර්ක විතර්ක මැද වුවද පොදු අපේක්‍ෂකයෙකු නොව බෞද්ධ භික්‍ෂුවකි. උන්වහන්සේ දෙමළ, මුස්ලිම් අය සමග එකම දේශපාලන වේදිකාවක හිටගැනීම උන්වහන්සේගේ පළමු පරාජයයි. 

සමාජානුයෝජනය යනු පවතින සමාජ ක‍්‍රමයට අනුගත වීම සහ අනුගත කරවීමයි. සෝභිත හිමි බෞද්ධ භික්‍ෂුවකි. ලංකාවේ ව්‍යවස්ථාවට අනුවද බුද්ධාගමේ ආධිපත්‍යයක් ඇත. ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම වෙනුවෙන් පවතින බෞද්ධ රාජ්‍යයකි. සරලව පවසන්නේ නම් ව්‍යවස්ථානුකූලව මෙය ගෞතම බුද්ධ රාජ්‍යයයි. කාලාන්තරයක් තිස්සේ භික්‍ෂුවක් ලෙස වැඩහිඳි සෝභිත ස්වාමීන් වහන්සේ කිසිසේත්ම මෙම ආකල්පයෙන් මිදී නැත. එසේ මිදවීමට නම් උන්වහන්සේ පළමුව පුනරුත්ථාපනය කළ යුතුය. එය මාක්ස්වාදී අදහස් සහිත අනුර කුමාරටවත් ලිබරල්වාදී අදහස් සහිත රනිල් වික‍්‍රමසිංහටවත් මිලිටරි අදහස් සහිත සරත් ෆොන්සේකාටවත් කිසිදු විටක සිදුකළ නොහැක. එම නිසා සෝභිත හිමි බලයට පත්වීමෙන් පසුවද සිදුවන්නේ මෙරට පවතින ප‍්‍රධාන ගැටළුවක් තවත් ඉස්මතු වීමයි. එනම් බෞද්ධ ආධිපත්‍ය යළි ඇතිවීමයි. අවම වශයෙන් සෝභිත හිමිට බුදුහාමුදුරුවන්ගෙන් නොව මල්වතු අස්ගිරි පාර්ශ්වයන්ගේ නායක ස්වාමීන් වහන්සේලාගෙන්වත් මිදිය නොහැක. එම නිසා සුළු ජාතීන් සෝභිත හිමි ගැන විශ්වාසය තැබීම අප‍්‍රධානය. ඊට වඩා සුළු ජාතීන් මහින්ද රාජපක්‍ෂ විශ්වාස කරනු ඇත.  

ඉහත අදහස්වලින් කියැවෙන්නේ ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති සඳහා මහින්ද රාජපක්‍ෂ යළිත් සුදුසු යැයි පැවසීම නොවේ. මෙම පාලනය සත්‍ය වශයෙන්ම දූෂිතය. ලාංකීය මිනිසුන් අන්ධව තබා ගනිමින් ගෙන යන අදූරදර්ශී පාලනයකි. ජාතිය ගොඩනැගීම වෙනුවට වර්ගවාදය පෝෂණය කරන පාලනයකි. යහපාලනය වෙනුවට පවුල් පාලනය ශක්තිමත් කරන්නකි. එහෙයින් මෙම පාලනය පෙරළා දැමිය යුතුමය. එතැනින් පසු අප ගොඩනැගිය යුත්තේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික යන ආධිපත්‍යයන්ට යටත් වූ රාජ්‍යයක් නොවේ. අප ගොඩනැගිය යුත්තේ නිදහස් වූ රාජ්‍යයකි. ඒ සඳහා ඉදිරිපත් කළ යුත්තේ ආගමික පොදු අපේක්‍ෂකයෙකු නොව ලෞකික පොදු අපේක්‍ෂකයෙකි. ඔහු පටු අදහස්වලින් තොර උගත්, බුද්ධිමත්, තර්කානුකූල, හැඟීම් සහ ආවේගයන්ට නතු නොවූ අයෙක් විය යුතුය. එමෙන්ම පවුල් බැඳීම්වලින් තොර නිදහස් මතධාරී අයෙක් විය යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලූ දෙනාගේ ආදරයට නතු වූ අයෙක් විය යුතුය. එවැනි තත්ත්වයක් තුළ ජතිය ගොඩනැගිය හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිකළ හැකිය. ආගමික නායකයෙකු ජනාධිපති කරවීම තුළින් සිදුවන්නේ ලෞකික රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඇති ඓතිහාසික අවස්ථාවට පයින් ගැසීමයි. එම නිසා මේ බුද්ධිමතුන් පෙළගැසී සාමාන්‍ය සමාජය සබුද්ධික කළ යුතු මොහොතයි. මහින්ද රාජපක්‍ෂ ඊළඟ ජනාධිපතිවරණයේදී පරාජය කළ යුතුමය. ඒ පිළිබඳ විවාදයක් නැත. එහිදී සෝභිත හිමිට ප‍්‍රමුඛ සමාජ වගකීමක් ඇත. එය නිසි ආකාරයෙන් ඉටුකළ විට සෝභිත හිමි වාරියපොළ සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි මෙන් ඉතිහාසයේ තමන්ට හිමි ස්ථානය හිමිකර ගනු ඇත. නමුත් ඒ අයතුල්ලා අල් කුමේනි ලෙස නම් නොවේ. 




හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »