මහින්ද අහම්බයක් වීම හා ඊට වගකිව යුත්තෝ. (පිටස්තරයා - 8)

මහින්ද අහම්බයක් වීම හා ඊට වගකිව යුත්තෝ. (පිටස්තරයා - 8)




මුළුමහත් ජනතාවක් එකා මෙන් ශ්‍රේෂ්ඨ අරමුණක් කෙරෙහි පූර්ණ විශ්වාසය තබන කලක් උදා වේ. එවැනි අවස්ථාවක දී සාමාන්‍ය මිනිස්සු හා ගැහැණු, විරුවන් බවට පත් වෙතිත ඉතිහාසය අවධි වී නව යුගයක් නිර්මාණය කරයි. - ජවහර්ලාල් නේරු, 1934 

ශ‍්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ධූරයේ නිල කාලය වසර 6 කි. නමුත් පළමු නිල කාලය ගත කරන ජනාධිපතිවරයෙකුට ධූරයේ වසර 4 සම්පූර්ණ වූ විට තම දෙවැනි ජනාධිපතිවරණය පැවැත්විය හැකිය. නමුත් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ අසික්කිත ව්‍යවස්ථා සංශෝධනයක් වූ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ වාර ගණන ඉවත් කළේය. නමුත් දෙවන ධූර කාලය ගත කරන ජනාධිපතිවරයෙකු තම තෙවන ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ කුමන කලක් ගතවීමෙන් පසුව ද යන්න එම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කර නැත. එම නිසා එය තීරණය කිරීමේ කාර්යභාරය ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන්නේ ය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වූයේ මෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ප‍්‍රතිඥා ලබාදෙමිනි. ඔහු පිළිබඳව මේ රටේ මිනිසුන් විශ්වාසය තැබුවේ ඔහු අපේ කෙනෙක් යැයි සිතාය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ඔහු සංවේදී නායකයෙක් යැයි සිතාය. නමුත් යුද්ධයෙන් පසු කලාකරුවන්, ජනතාව, විපක්‍ෂය, ආණ්ඩුවේ පාර්ශව සියල්ල අන්ධ වූ විට ඔහු ධූර කාලය දෙවතාවක් දැරීමේ සීමාව ඉවත් කරන සංශෝධනය සම්මත කර ගත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පාර්ශවයන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය ඇතැම් පුද්ගලයින් ද මෙම නිර්ලජ්ජිත සංශෝධනයට සළුපිළි උනා දමා අනුමැතිය ලබා දුන්නේ ය. විමල් වීරවංශ එහි ප‍්‍රධාන කථිකයා විය. පැරදුණු අපේක්‍ෂකයෙකුට ඕනෑ තරම් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි නම් ජයග‍්‍රාහක අපේක්‍ෂකයෙකුට ඕනෑ තරම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැක්කේ මන්ද යන්න ඔවුන් ප‍්‍රශ්න කළේය. ජාතික හෙළ උරුමය බොදු බලය වෙනුවෙන් පෙනී සිටිමින් ධර්ම රාජ්‍යයක් උදෙසා එම සංශෝධනය අනුමත කළේය. ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයින් යැයි කියාගන්නා පිරිස් ද දෑකැත්ත සහ මිටිය කුණු කූඩයට දමා අනාගත සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙන් එම සංශෝධනය පිළිගත්තේ ය. දැන් ඔවුන් යුධ ජයග‍්‍රහණයේ අන්ධභාවයෙන් මිදී යථාර්ථයේ සළුපිළි පැළඳ ගැනීමට උත්සාහ කරන්නේය. එම නිසා අතුරුලියේ රතන හිමි පිවිතුරු හෙටක් වෙනුවෙන් පිණ්ඩපාතයේ වඩින්නේය. විමල් වීරවංශ රඟපෑමට හෝ කෑමොර දෙන්නේය.

මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රී ලංකාවේ දේශපාලන බලයේ අධිපතියා වීම අහම්බයකි. මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ පවතින තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඔහු ම නොවේ. ඔහුගේ පවුල ද නොවේ. එයට වගකිව යුත්තේ ඉතිහාසයයි. ජේ.ආර්. එහි මූලිකයා වන අතර, වර්තමානයේ ඔහු නොමැති බැවින් ඔහු පිළිබඳ යළි යළිත් සාකච්ඡා කිරීමෙන් ප‍්‍රයෝජනයක් නැත. එසේ නම්, මෙයට වගකිව යුත්තෝ කවරහුද?


  • 1. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක බණ්ඩාරනායක පවුල් උරුමයෙන් ද කුමාරණතුංග ජනප‍්‍රියවාදයෙන් ද මෙරට සිව්වන විධායක ජනාධිපති මෙන්ම පළමු ජනාධිපතිවරිය ද විය. ඇය ද බලයට පත්වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට දැඩි ප‍්‍රතිඥා ලබාදෙමිනි. 1994 දී මෙරට සමාජය ඇය ඉතා ඉහළින් වැළඳ ගත්තේය. ලංකාවේ වැඩිම ජනප‍්‍රියතාවයකින් බලයට පත් වූයේ ඇයයි. නමුත් ඇයගේ පාලන සමය තුළ මෙම ධූරය අහෝසි කළේ නැත. එම කාලයේදී මෙය අහෝසි කළා නම් අද මහින්ද රාජපක්‍ෂ නැත. එහෙයින් ඉතිහාසයේ ඇය ද වැරදිකාරියකි.
  • 2. එක්සත් ජාතික පක්‍ෂය.

ප‍්‍රංශයට ජනාධිපති ධූරයක් අත්‍යවශ්‍ය වූයේ කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුනු ප‍්‍රංශ දේශපාලනයට අස්ථාවරත්වයට පිළියම් ලෙසය. එරට තුන්වන සමූහාණ්ඩු ක‍්‍රමය යටතේ වසර 70 ක් තුළ ආණ්ඩු 99 ක් බිඳ වැටුණී. සිව්වන සමූහාණ්ඩු ක‍්‍රමය යටතේ වසර 12 ක් තුළ ආණ්ඩු 25 ක් බිඳවැටුණි. මෙවැනි අවශ්‍යතාවයක් ලංකාවේ නොතිබුණී. එම නිසා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය ශ‍්‍රී ලංකාවට ඉතා හොඳින් ගැළපුණි. එම තත්ත්වය තුළ එක්සත් ජාතික පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය නොකළා නම් මහින්ද රාජපක්‍ෂවත් ඔහුගේ පවුලවත් අද මෙරට දේශපාලනය තුළ නැත. එහෙයින් එක්සත් ජාතික පක්‍ෂය ද ඉතිහාසයේ වරදකරුවෙකි.
  • 3. එක්සත් ජාතික පක්‍ෂයේ අධූරදර්ශී බව.
     
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දෙවැනි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ධූරයේ සිටියදී පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීම අදූරදර්ශී තීරණයකි. ඒ සඳහා ජනබල මෙහෙයුම් දියත් කරමින් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය එතැනට පොළඹවාලූ, ඉක්මන්කාරී ඉවසිලිමත් බවක් නොමැති දුරදක්නා නුවණක් නැති එක්සත් ජාතික පක්‍ෂය එදා ආණ්ඩු බලය ලබානොගත්තා නම් අද මහින්ද රාපක්‍ෂ ජනාධිපති නොවේ.
  • 4. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්.


පළමු ජනාධිපතිවරණයේ දී මෙරට සුඛිත මුදිත කිරීමට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරියට බෝම්බ ගැසීමෙන් ජනතා අනුකම්පාව ලබා දී යළිත් වතාවත් එතුමියට ජනාධිපති පුටුව හිමිකර දුන්නේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය. එම බෝම්බය එදා නොතැබුවා නම් අද මහින්ද රාජපක්‍ෂ මෙරට පාලකයා නොවේ.




  • 5. ජනතා විමුක්ති පෙරමුණ.

විප්ලවය පසෙකින් තබා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත ප‍්‍රවිශ්ට වූ දා පටන් ම ක‍්‍රමිකව අවස්ථාවාදයට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ප‍්‍රබල වැරදිකරුවෙකි. ඔවුන්ගේ බෙලහීනභාවය හැමවිටම ප‍්‍රදර්ශනය වූයේ තමන් විසින් බලයට ගෙන ආ පාලකයින් ඔවුන්ව ප‍්‍රතික්ෂේප කළ ආකාරයෙනි. එපමණක් නොව එතැනින් පසුව ද යළි යළිත් නිර්ලජ්ජිත සන්ධාන දේශපාලනය තුළ අවස්ථාවාදගේ ගොදුරු බවට පත් වූ ඔවුන් මහින්ද රාජපක්‍ෂ මෙරට ජනාධිපති ධූරයට පත් කිරීමේ ප‍්‍රබල සාධකයයි. අද දින මහින්ද රාජපක්‍ෂට ප‍්‍රශස්ති ගායනා කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බොහෝ දෙනා පෙර සිටම මෙම ව්‍යවසනය දුටු බැවින් 2005 දී මහින්ද රාජපක්‍ෂ නම් අපේක්‍ෂකයා වෙනුවෙන් අවංකව වෙහෙසුණේ නැත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අවංකවම වෙහෙසුණේය. එදා ඔවුන් එම ඉතිහාසයේ පාවාදීම නොකළා නම් මහින්ද රාජපක්‍ෂ අද ජනාධිපති ධූරයේ නැත.


  • 6. සරත් එන්. සිල්වා.

ශ‍්‍රී ලංකාවේ ඡන්ද දායකයින් ඡන්දය ලබාදෙන්නේ සෘජුවම අපේක්‍ෂකයාට නොව පක්‍ෂයටයි. එම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර අයිති වන්නේ පක්‍ෂයටයි. එහෙයින් ව්‍යවස්ථාව පෙන්වා දෙන්නේ යම් මන්ත‍්‍රීවරයෙක් පක්‍ෂයෙන් නෙරපූ විට ඔහුගේ මන්ත‍්‍රී ධූරය අහෝසි වන බවයි. නමුත් පක්‍ෂයෙන් මන්ත‍්‍රීවරු නෙරපිය නොහැකි බවට තීන්දු ලබාදෙමින් විපක්‍ෂය දියකර හැරීමට මෙන්ම බලයේ සිටින ආණ්ඩුව දූෂණයෙන් අගතැන් කිරීමට අවශ්‍ය තීන්දු ලබාදුන්නේ සරත් එන් සිල්වාය. එය එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද දියාරු කිරීමට සමත් විය. විපක්‍ෂයෙන් මන්ත‍්‍රීවරු නොඑන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ග‍්‍රහණයට ජනාධිපතිවරයා නතුවීමේ හැකියාව ඉහළය.


  • 7. ශිරාණි බණ්ඩාරනායක.

ශ‍්‍රී ලංකාවේ වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාර දෙකකි. එහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියෙන් ද ඇතැම් වගන්ති 2/3 ට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතුය. මේ අනුව 18 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 න් පමණක් සම්මත කළ හැකි බව ප‍්‍රකාශ කළේ ශිරාණි බණ්ඩාරනායක විසිනි. එපමණක් නොව යුධ අධිකරණය ද අධිකරණයක් බව ප‍්‍රකාශ කළේ ද ශිරාණි බණ්ඩාරනායක විසිනි. එවැනි තීන්දු නොලැබුණා නම් මෙවන් අසීමිත බලයක් කේන්ද්‍රගත වන්නේ නැත.
ඉහත කණ්ඩායම්වලට අමතරව ජනතාව වෙනුවෙන් සහ මව්බිම වෙනුවෙන් කතා කළ මෙරට කලාකාරයින්, නිලමෙට නොව රජුට පාලකයින් ඇන්දූ ගීත රචකයින්, සිංහල බෞද්ධ මතවාදය පමණක් පෝෂණය කළ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයින්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය මෙම පාලකයින් මත සිදුවනවා යැයි සමාජගත කළ බුද්ධ පුත‍්‍රයින්, මානව අයිතීන් වෙනුවෙන් නොව මාතෘභූමිය වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින් යනාදී බොහෝ අය ඉතිහාසය විසින් වගඋත්තරකරුවන් බවට පත්කර ඇත.

මහින්ද රාජපක්‍ෂ පාලනය අද වන විට මේ රට විශාල අගාධයකට ගෙනයන පාලනයක් බවට පත්ව ඇත. බොරුව, වංචාව, දූෂණය, නාස්තිය දේශපාලන ක‍්‍රමය තුළ රජකරවන මට්ටමට පත්ව ඇත. ජනතාව දිනෙන් දින අගාධයට ගෙනයමින් ඇත. කයිවාරුකාරයින් පමණක් සිටින අදූරදර්ශී පාලනයක පාලිතයින් බවට පත්වීමට ජනතාවට සිදුවී ඇත. එම නිසා පළමුව මෙම පාලන තන්ත‍්‍රය බිඳ දැමිය යුතුය. දෙවනුව නොව ඒ සමඟම අනාගතයේ මෙවැනි පාලකයින්ට බලයට පත්වීමට ඉඩ තබන විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය. ඒ සඳහා වන ස්වර්ණමය අවස්ථාවක් උදාවෙමින් තිබේ. ඉහළට ගිය ඔන්චිල්ලාව අනිවාර්යෙන් පහළට එනවා සේ වර්තමාන ආණ්ඩුවේ බලය ක‍්‍රමිකව බිඳී යන මොහොත උදා වී ඇත. තම තම බල උවමනාවන් වෙනුවෙන් පමණක් ඉතිහාසයේ කටුතු කළ ඉහත සඳහන් ඉතිහාසගත වගඋත්තරකරුවන්ට (ප‍්‍රභාකරන් හැර) තමන් කළ වැරදි නිවැරදි කිරීමට කාලය උදා වී ඇත. ඒ සඳහා පොදු ප‍්‍රතිපත්තියක් තුළ පොදු වැඩපිළිවෙලක් තුළ නව පොදු අපේක්‍ෂකයෙක් සමගින් ඊළඟ ජනාධිපතිවරණයට පැමිණ වත්මන් පාලනය බිඳදමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යූහයක් මෙරට ස්ථාපිත කරන තෙක් ජනතාව බලාසිටිනු ඇත. ඉන් පසු අවැසි අවැසි ආකාරයට තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් බල අරගලයේ නියැලීමට ඔවුන්ට අවකාශය ඇත. එය මහින්ද රාජපක්‍ෂටත් පොදුය.


හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »