පොදු අපේක්ෂකයා විය යුත්තේ කවුද? (පිටස්තරයා - 9)

පොදු අපේක්ෂකයා විය යුත්තේ කවුද? (පිටස්තරයා - 9)




ඝන වූ හැම දෙයක්ම උණු වී වාතය බවට පෙරළෙයි. ශුද්ධ වූ හැම දෙයක්ම කෙළෙසෙන්නේ ය. 
-කාල් මාක්ස්, ෆෙඞ්රික් එංගල්ස්-

නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ දේශපාලනය විකෘති කරන ලද ඡන්ද ප‍්‍රතිඵලයක් ලෙස 2005 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය හැඳින්විය හැකිය. විය නොහැකි බොහෝ දේ ඒ තුළ සිදුවිය. වේළුපිල්ලේ ප‍්‍රභාකරන් උතුරේ ජනතාවගේ ඡන්ද අයිතියට ගරු කළා නම් එම ලැබුණා වූ ඡන්ද ප‍්‍රතිඵලය නියත වශයෙන්ම වෙනස් ප‍්‍රතිඵලයක් වේ. දිගු දැක්මක් නොමැති අවස්ථාවට අනුව බලය තහවුරු කර ගැනීමේ දේශපාලන ප‍්‍රතිපත්තිවලින් යුතු පාලන තන්ත‍්‍රයකට මෙරට දේශපාලනය ගමන් කළේ එම ඡන්ද ප‍්‍රතිඵලයෙනි. ශ‍්‍රී ලංකාව නිදහසින් පසු ලබාගත් එකම ජයග‍්‍රහණය වූයේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීම පමණි. එය සම්බන්ධයෙන් ද ප‍්‍රතිඥා දුන්නේ වර්තමාන දේශපාලන රෙජීමය නොව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය. තම දේශපාලන බලය තහවුරු කරන ලද හමුදාව පමණට වඩා ඔසවා තැබීමේ අඥාන ක‍්‍රියා පිළිවෙත අනුගමනය කළ වත්මන් පාලකයින් එහි දිට්ඨධම්මවේදනීය කර්මය 2010 ජනාධිපතිවරණයේදීම භූක්ති වින්දේය. සැක සහිත මැතිවරණ කොමසාරිස්වරයාට ආතතිය කැඳවූ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයකින් පසු ඔවුන් නැවතත් මෙරට දේශපාලන බලයේ හිමිකරුවන් බවට පත්විය. එතැනින් පසු ඔවුන් තමන් මෙරට දේශපාලනයේ පතාක යෝධයන් යැයි සිතාගත් අතර, ආඩම්බරකාරී විය. පරාජය ආරම්භ වූයේ එතැනිනි. 

වත්මන් පාලන තන්ත‍්‍රය පවතින්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මත පමණි. වත්මන් ආණ්ඩුවේ ජනප‍්‍රිය චරිතය ද ඔහු පමණි. අනෙක් සියලූ දෙනා ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වී හමාරය. ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප වීම ක‍්‍රමානුකූලව ආරම්භ වීම සිදුවී ද ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වත්මන් පාලන තන්ත‍්‍රයට මම පුද්ගලිකව විරුද්ධ වෙමි. එය පෙරළා දැමීම සඳහා තනි පුද්ගලයෙක් ලෙස කළ හැකි බලපෑම සමාජයට සිදු කරමි. එසේ කිරීමට ප‍්‍රධාන හේතුසාධකය වන්නේ යුද්ධයෙන් පසු මෙරට ජාතික සමගිය ඇති කිරීමට තිබූ ස්වර්ණමය අවස්ථාවන්ට පහර ගසමින් ජාතිය වෙනුවට වර්ගය පෝෂණය කරන දේශපාලන ක‍්‍රමයක් මෙරට ගොඩනැගීමට ඔවුන් කැපවු බැවිනි. එපමණක් නොව දැඩි විඥානවාදයට මෙරට සමාජය ගෙන යමින් බුද්ධිය වෙනුවට හැඟීම එන්නත් කරන නූගත් පාලක රැුළක් සේ මට මොවුන් පෙනෙන බැවිනි. එපමණක් නොව රාජ්‍ය දේපල දන්සල් සංස්කෘතියට ගෙන යමින් තම බලය සඳහා ඒවා භාවිතා කරන අතරම, තම පාලන ජුන්ටාවටත් ඒවා කිරීමට අනුබල දෙන පාලනයක් බැවිනි. එපමණක් නොව නීතියේ ආධිපත්‍ය බිඳවට්ටමින් නීතිය හෑල්ලූවට ලක් කරන බැවිනි. කවරදාකවත් නැති ආකාරයට මෙරට සමාජය අපරාධවලින් පෝෂණය කිරීමට අවැසි පරිසරය නිර්මාණය කළ බැවිනි. යහපාලනය ගොඩනැගීම නොව අයහපත් පාලන තන්ත‍්‍රයකට මෙරට සමාජය පත් කළ බැවිනි. එම නිසා ඉහළට ගිය ඔංචිල්ලාව පහළට එන තෙක් මම බලා සිටිමි. 

සමාජයක ජීවත් වන සෑම පුද්ගලයෙක්ම දුක අවම කර ගනිමින් සැපත ප‍්‍රාර්ථනා කරයි. අද ශ‍්‍රී ලාංකේය පුරවැසියන් බහුතරයක් අපේක්‍ෂා භංගත්වයෙන් ජීවත් වන පිරිසක් බවට පත්වී ඇත. ලස්සන පාරවල්වල ලස්සන කතන්දර අසමින් ගමන් කරන ඔවුන්ගේ ජීවිත හිතන තරම් ලස්සන නැත. අපට අවශ්‍ය වන්නේ මීට වඩා සුන්දර ලොවකි. යහපත් අනාගතයකි. ඒ සඳහා වත්මන් දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුය. නව යහපත් සංස්කෘතියක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා උදාවන ස්වර්ණමය අවස්ථාවක් අභියස අපි සිටිමු. ඒ එළඹෙන ජනාධිපතිවරණයයි.

සමාජය තුළ ජීවත් වන පුරවැසියෙක් ලෙස වර්තමාන පාලන තන්ත‍්‍රය තුළින් ජනතාව ඈත් වන ආකාරය වර්තමානයේ දැකගත හැක. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ව්‍යාපාරිකයින්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින්, තරුණයින් ක‍්‍රමිකව වත්මන් ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරනු දැකගත හැක. ඔවුන් බොහෝ අය මීට පෙර මැතිවරණවලදී නූතන පාලන තන්ත‍්‍රය අනුමත කළ බොහෝ දෙනා වෙති. යළි යළිත් ජනතා මුදල්වලින් සාමාන්‍ය ජනතාව තාවකාලිකව සංතෘප්තියට පත් කරන මැතිවරණ ව්‍යාපාරයන් තව නොබෝ කාලයකින්ම ඔවුන් ප‍්‍රතික්ෂේප කරනු ඇත. එය පසුගිය දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණවලදී මෙරට දේශපාලන ක‍්‍රමය තුළ දැකගත හැකි විය. සුළු ජනතාව මෙරට වර්තමාන පාලන රෙජීමය ක‍්‍රමිකව ඉවත් වී ඇත. එය සමස්ත රටේ ඡන්ද ප‍්‍රතිශතයෙන් 29% කි. 


ජනාධිපතිවරණය පවත්වන්නේ මුළු රටම එක ඡුන්ද කොට්ඨාසයක් ලෙස ගෙනය. එහිදී ජනාධිපති වීමට නම් ප‍්‍රකාශිත වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවේ 50% ක් ලබාගත යුතුය. මේ අනුව පොදු අපේක්‍ෂකයා හෝ එළඹෙන එක්සත් ජාතික අපේක්‍ෂකයාට සුළු ජාතික ඡුන්ද පදනම නිතැතින් හිමි වේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී දකුණු සහ බස්නාහිරට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ එකදු මුස්ලිම් අපේක්‍ෂකයෙකුවත් පත් නොවීම තුළ සුළු ජාතික ඡන්ද පදනම කේන්ද්‍රගත වීම පිළිබඳව අනාවැකි ප‍්‍රකාශ කළ හැක. මෙම තත්ත්වය තුළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එළඹෙන ජනාධිපතිවරණයට ප‍්‍රවිශ්ට වන්නේම 71% කගෙන් 50% ක් ලබා ගැනීමටය. නමුත් විපක්‍ෂ අපේක්‍ෂකයා තරගයට එළඹෙන්නේ 100% කගෙන් 50% අභිබවාලීම සඳහාය. මේ අනුව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට හෝ පොදු අපේක්‍ෂකයාට සිංහල බෞද්ධ පදනම වන 71% ක ඡන්ද ප‍්‍රමාණයෙන් 22% ක් ලබාගැනීමේ හැකියාව පැවතිය යුතුය. මේ අනුව එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය, මුස්ලිම් කොංග‍්‍රසය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මාදුළුවාවේ සෝභිත හිමි, ශිරාණි බණ්ඩාරනායක යනාදී සියලූ බලවේගයන් එක්තැන්ව එක්සිත්ව පොදු වැඩපිළිවෙලක් සමගින් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයෙක් තුළින් වත්මන් පාලනය ක‍්‍රමය පැරදවීම සහ නිදහසින් පසු ශ‍්‍රී ලංකාව සඳහා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීමේ ආරම්භක අවස්ථාව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරනවාට වඩා පහසුවෙන් උදාකරගත හැක. එම අවස්ථාව උදාකර ගැනීම සඳහා වත්මන් පාලන ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන සියලූ දේශපාලන ක‍්‍රියාකාරිකයින්ට වගකීමක් ඇත. එම වගකීමෙන් ඔවුන් මිදුනහොත් සියලූ දෙනා ඉතිහාසයේ වගඋත්තරකරුවන් වනු ඇත. 



හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »