සුහුඹුල්ම නෑඹුල්ම අහඹුවක් කියන්නෙම කුළුඳුල්ම හාදුවක්! (දහවන හෝඩිය)

සුහුඹුල්ම නෑඹුල්ම අහඹුවක් කියන්නෙම කුළුඳුල්ම හාදුවක්! 



 


දහවන හෝඩිය.




සාමාන්‍ය සිද්ධි නැංගුරම්ගත වුණු ජීවිත පුරා ඉඳහිට හරි අසාමාන්‍ය විත්ති කල එළි බහින්න පුළුවන්. සීමාන්තික ආර්ථික නිදහසක් භුක්ති විඳින හින්දම අසීමාන්තික මනුස්සකම් - හිතුවක්කාර කුපාඩිකම් - ප්‍රාණසම මිතුරුදම් වගේම අහිංසක රස්තියාදුකාරකම් පිළිවෙළට වතු අතරෙ කරක් ගහනවා. උපතින්ම ' පටුන ' අහිමි මේ ජීවිත වලට නිතැතින්ම මනුස්සකමේ ඔටුනු උරුමයි! ඉතින් තවත් මොකටද අනෙකා තලන - පාගන නීත්‍යනුකූල රජකම් ???

    පාලම අද්දර එහා මෙහා යන ඇත් අස් ත්‍රීවීල් පාබල සේනා ඇරුණම එගොඩහෙන් මතුවෙන්නෙ මංජුගෙ කඩල කරත්තෙ... ඒ ගින්දරාලෝකය අහස අල්ලන්න දෑස ළං කරන පහසෙ වේගය පුදුමාකාරයි. " ලොකු ලොකු සෙල්ලං දැම්මා ඉස්සර - පොඩි උන් දෙන්නා හින්දයි තනියම " කියලා කරත්තෙ යටම කොටාගෙන ඉන්න මංජු, පච්චා කලා විශාරදයෙක්. සර්වාංගෙ පුරා එකී මෙකී නොකී හැම තැනෙකම පිච්චුණු පච්චා ඉතිහාසයක් මිනිහට තියෙනවා. විශේෂත්වය කියන්නෙ හැම පච්චයක් පතුළෙන්ම වදනක් එළියට ගලනවා. හුදෙකලාවෙ වුවමනාවට - ස්වයං සිද්ධි විචාරයට මනස ඒ වදන් වැල් අතරෙ සැරිසරනවා. මුලින්ම මංජුගෙ වම් පපුතුර ගත්තොත් එතැන කෙටුම්පත් වෙන්නෙ ඇස් දෙකක්. ඇස් දෙක මැද්දෙන් තදට මෙහෙම ලියැවෙනවා.

           " ලෝකෙම හිස් නොදුන්නා නම් අම්මා ඇස් "

   දකුණු ඇලයට වෙන්න මල් කිනිත්තක් එක්ක ගැහැනු රූපෙක කටු සටහනක් ඇඳෙනවා. මල් පෙති අග්ගිස්සෙන් පිනි වෙනුවට වචන වෑහෙනවා. 

            " කටු එක්කම මල සිඹිමී - ඇනි ඇනි මම පැණි උරමී " 

  මනුස්සයගෙ පිට කොන්ද ගත්තොත් කිසිම දවසක - මොනම විදිහකටවත් තේරුම් ගන්න බැරි මහා පච්චා මුද්‍රාවකට හිමිකම් කියනවා. මේ එක එක පච්චෙට පදනම් වෙච්ච වෙන වෙනම කතා ඇති කියලා කියද්දි මංජුගෙ සැඟවුණු දක්ෂතා එළියට පනිනවා. මිනිහා තමයි වත්තෙන්ම කයියට - හයියට අධිපති දෙයියා. වම් බාහුවට උඩින් ගැටෙන පච්චෙත්තෙක්ක මහා පරාක්‍රමබාහුටවත් නොතිබුණු අමුතු අභිමානයක් මංජුට ලැබෙනවා. එතැන තියෙන්නෙ " කංසා පුෂ්පෝපහාරයක " සලකුණක්. මුද්‍රාවට යටින් වදනෙ උපත ඒකාන්තයි. 

            " බොකු මතින් කොකු Nothing " 

   මංජු කියන හැටියට විපක්ෂෙ රජයෙ කබ්බෙක් එක්ක පැනලා ගිය දවසෙ ඉඳන් ; බිරිඳ අනියමෙන් නියම් ගම් ගිය දා ඉඳන් මංජු ස්කෝර් කරන්නෙ තනියෙන්. අර කලිනුත් කිව්වා වගේ මොන මොන මිත්‍රාදී හිතවත්කම් තිබුණත් මංජුගෙ ජීවිතේ ආදර්ශ පාඨය සැකසෙන්නෙ පුංචි පැටව් දෙන්නගෙ අවිහිංසක ඇස් අතරින්. යන යකා කොරහ බිඳගෙන නෙමෙයි, ගිහිල්ලා තිබුණෙ මංජුගෙ එකම එක මුද්දත් අරගෙන... මොන මොන අපවාද - වාද වල පැටලුණත් බිරිඳට වචනයක් නොකියන මේ ස්වාමි පුරුෂයා ඕනිම සභාවකදි, 

    " එන්නත් පුළුවන් - ඉන්නත් පුළුවන් - කන්නත් පුළුවන් - යන්නත් පුළුවන් " කියලා හැම කෙනෙක්ම සාධාරණීකරණය කරන්න තරම් නිහතමානී වෙනවා. ස්වර්ණ පාරෙ ඉන්න මෙහෙම චරිත ඇතුළෙ ස්වර්ණ පැහැය වෙනදාටත් වඩා අඳුර මැද්දෙ අද දිලිහෙනවා. 

     " ආ... මොකෝ යකෝ මේ තනි අලියා සීන්නෙකේ... කෝ කොටි වලස්සු ටික ? "

මංජුගෙ කතා මංජුසාවෙන් කඩල ඇටයක් උගුරට විසිවෙනවා. මොහොතක්වත් නැවත වතාවක් නොහිතා හැරෙන තත්පරෙන් මගෙනුත් වදන් ගිලිහෙනවා.  

     " උන් දඩයමේ... මං ගිනියමේ..." 

     " අම්මද බොල... එතකොට උඹ ගිනියමේ... කියහන්කො කියහන්කො දැන් කොයි හරියද ගිනිගන්නෙ ? මොකෝ, පපුව මැද්දට මකරෙක් ගිනි පිඹිනවද ? නැත්නං...හැක් හැක්... ලතා මඩුලු හැමිණෙනවද ? " 

  කරත්තෙ ඒකාලෝක කෙරුව ගිනි බොලොක්කෙ අතගාලා - ආදරෙන් ගින්දර නිවන ගමන් - ගිනි ගත්ත තැන් ගැනයි මංජුගෙ විචාරය... 

        " එහෙම නෙමෙයි බං, මං කතාවට කිව්වෙ... අපිට ඉතින් ගින්දරද සවුන්දරද වෙනසක් නෑනෙ...කෝ, පොඩ්ඩයි පොඩ්ඩියි ගෙදරද ? " 

   ඇඳගෙන ඉන්න ෂෝටෙන්ම දෑත පිහින මංජු - හිත හොඳ මලකඩ බේසමේ පතුළෙ අන්තිම කඩල කඳුළු ටිකත් එක්කහු කරනවා. 

         " වර..පිළිවෙළකට කමු... පොඩි උන් දෙන්නා දැන් උන්ගෙ අම්ම ළඟ ඇති බං හීනෙන්... අපේ අම්මා උන් ළඟ ඇති ඇත්තටම..."

  අන්තිම තාරකාවත් ඇස් පියාගන්න මොහොතෙ, ළතැවුල් පිරුණු මංජුගෙ වචන කුණු ඇළ අහන් ඉන්න වග සපථ වෙන්නෙ බොර දියේ චලනයෙන්... 

        " මං හැමදාම මෙතැන්ට ඇවිත් ඇළ එක්ක ගනුදෙනු කරනවා. අද උඹ නොහිටින්න මෙලහට මූත් මාත්තෙක්ක භජනෙ..." 

        " මොකාද ? ඇළ ? " 

        " නෑ... ඔය එහා පැත්තෙ පර්සියා." 

  පාලම මෙහා සුගන්ධීර්ගෙ කඩේ තට්ටුව අයිනෙ පර්සි මර නින්දෙ... පර්සි කියන්නෙ කෝච්චියක ඔළුව වැදිලා සදහටම උන්මත්තක හීනෙක ඉන්න - ඉගෙනගත්ත බඹරෙක්. මංජු ටික ටික පර්සිට ළං වෙනවා.

       " ඌ හොඳටම නිදි. බලු පැටව් ටික බෑග් වල දඟලනවා ඇති. නිදාගන්න දීපන් බං ඌට..." 

  යන යන තැන ගෙනියන පර්සිගෙ වස්තුව පුංචි බලු පැටව් සැට්ටෙක. මෙලහටත් බෑග් ඇතුළෙම කී දෙනෙක් සෙත්තපෝච්චි වෙලාද දන්නෙ නැහැ.... මගේ කීම නාහන මංජු පර්සිගෙ ඇඟට තදින් තට්ටුව දාලා සුපුරුදු කයිය අරඹනවා. 

      " නැගිටහන් පර්සියන්...නැගිටහන්...ලෝක විනාශේ ලෝක විනාශේ..." 

      " හෑ... විනාශේ...හහ් හහ් හහ් හහ්.. තෝ කොහොමද මෙහෙම ඉන්නෙ ? " 

  උන්මත්තක භාවයෙ ඉහළම අඩියට නගින - නැගිටින පර්සි බලු පැටව් හොය හොය - බුද්ධිමත්ම පිළිතුරක් සපයනවා. මංජු කතාව දිගේ ඈතට යනවා. 

    " පර්සියන්, දන්නවද මේ කවුද කියල ? එඩින්බරෝ ආදිපාද..." 

 ලයිට් කණුවෙ සයිඩ් එළියෙන් මාව දකින මොහොතින් පර්සියානු විශ්වකෝෂය දිග හැරෙනවා. 

     " එඩින් පුඩින්...ව්ලැඩ්මීර් පූටීන්... රුසියාවෙ සාර්..කාර්..බාර්...හහා බොනපාට්...බේබදු ලුවී..ආ ආ...ඇන්ටෝනියෝ...රෝමියෝ රෝස්...ජැක් ජුලියට්...හහ් හහ්..සුබ දවසක් සිටුවර මොන්ත ක්‍රිස්තෝ..." 

    ලංකාව ඇතුළට ලෝකයක චරිත කඩාපාත් වුණා වගේ. එසැණින්ම ඉතිහාසාත්මක උමතුවකින් පාලම උඩ මාව කරකවලා අතහැරියා වගේ. පිස්සු ලෝකෙක - පිස්සු සමාජෙක - පිස්සු ජීවිතේක දැනුමෙන් දික්කසාද නොවුණු තනිකඩ මිනිහෙක් ; පර්සි! 

*---------------------------------------------*----------------------------------------------------------------------*------------------------------------------------------*

     පසුතැවීම් - පසුබැසීම් කොච්චරක් එක පිට එක පැටවුණත් ජීවිතය ගැන පෙර කියවීමකට වඩා ' පසු කියවීමක් ' වටිනවා. අනාගත තුහින ඉලක්ක මත්තෙම නැහි නැහි ඉන්නවා වෙනුවට ' වත්මන් සිහින කරත්ත' හඹාගෙන දුවන එක එක අතකට හරිම සැනසිලිදායකයි. අඩු තරමෙ ' මහන්සිය ' හරි ඉතුරු වුණා කියන සන්තෝසෙත් එක්ක වැඩිපුර දවසක් හරි ජීවත් වෙන්න පුළුවන්! 

       " ඒ...මඳහස්... අන්න කිරි ටොයියා කෑල්ලක් ඇවිත් පැණියෙන් උඹ ගැන අහනවා..." 

  කිරි පැණි තියා කිරි ටොෆියකවත් රස නොදැනෙන නීරස දේශන ඒකාකාරීත්වය නැසෙන්නෙ නිශාගෙ දැනුම් දීමෙන්... 

       " ආහ්... කවුද ? කෝ ? " 

       " මෙතන්ට වඩාගෙන එන්නද ? අන්න ඉන්නව එයාර්පෝට්ටෙක සයිඩ්ඩෙකේ...හෙනම දතක් වගේ ආ..."

       " දතක්ද ඇණයක්ද දන් නෑ... මාව ම ඇහුවද බං ? "

       " මේ...අටුවා ටීකා ටිප්පණී ඇති. ගිහින්ම බලපන්... මේ සා සොඳුරු මා ඇතුළු අපේ කෙල්ලො ටිකත් කොර මචෝ ඒකට....සිරාවට..."

   නිශාගෙ මවා පෑම් රංගනය - පුදුම එලවනසුළු භාවය මගේ කුතුහලය ටික ටික වැඩි කරවනවා. මේ මොහොතෙ සොරායා ඉන්නෙ කොහෙද ? රෝස මල එතැන නං මගේ නර්තනය, වාදනය, ගායනයත් එතැන! එතකොට මේ මෙතැන ඉන්නෙ කවුද ? 

  හදවතේ වේගයට සමපාතව දෙනයනේ හැඳුනුම්භාවය ඈතට දිවෙනවා. දෙපයෙ පෙරැත්තයටත් කලින් දෑස ඈත තියාම ' රූපය - හැඩය ' හඳුනගන්නවා. කිරිටොයියා කෙසේ වෙතත් අම්බ යකෙක් දැක්ක නං මීට හොඳයි කියලා හිත පසු ගමන් යනවා. පෙරදා සොඳුරු - මතුදා අඳුරු " සමාලි " ඉන්නෙ රීඩ් මාවත දර්ශනගත වෙන බෙන්චෙකක සමාධිගතව... නොදැක්කා වගේ ආයෙත් හැරුණොත් කොහෙන්හරි තැවීමක් එන්න පුළුවන් හින්දා - මතුවෙන්න ඉඩ වැඩි හින්දා කාලාවකාශයෙන් දෙනයනයි - දෙසවනයි සමාලි අසල...

      ' ඕ...අධීඊඊඊ.... ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම්... සෝ...මොකද මේ, කොල්ලා කළු වෙලා...ඇදිලා ගිහිල්ලා...අන්..නේ...? " 

  වලාකුළු යහනතට බලෙන්ම ගොඩ වෙලා - අඬන්න ඉන්න අහස ඇඟිල්ලෙන් හොල්ලන්න වගේ කඩින් කඩ අරුමෝසම් වැහි වහිනවා. තනි විමුක්තිය හොයාගෙන දුෂ්කර ක්‍රියා කිරීමෙ බලාපොරොත්තුවෙන් පෙරදාක - මහ රෑක සබඳතා අතරමං වුණ ඉක්මන අමතක කරලා සමාලි රිලැක්ස් කතා දෙසන ඉක්මන... මේ මොහොතෙ මං තමයි නිරුත්තර! 

      " ඇයි අධී...මට රිප්ලයි නොකළෙ...ම්ම්ම්ම්..අපි ඉතින් කවිකාරියො නෙමෙයිනෙ...නේද ? හා හා මොකක්ද මේ නෙක්ලස් එක? "

 පැරණි පුරුද්දෙ ඉපැරණිම අත් වැරැද්දට මගේ නිරුත්තර හීනෙටම සමාලිගෙ ඇඟිලි තුඩු ළං වෙනවා. දශමෙන් දශමෙ බොත්තමක් දෙකක් මුක්ත කෙරුව කමිසයට ඇතුළතින් - ඉහළින් ගෙල ළඟ දැවටෙන ' චේ 'ගෙ මුහුණතේ සමාලිගෙ දෑඟිලි ස්පර්ශය සංස්පර්ශ වෙනවා... හිතාමතාමද මන්දා, අහිතක් නැතුවමද මන්දා ඇගේ නියපොත්තක් දෙකක්  පුංචි 'රෝම'ය  පුරා දිව යනවා. කාලෙකට පස්සෙ අමුතු මුතු සැනසිල්ලක් හිත කොනට, ගත මතට දැනුණත් පෙම කණා ලක්කෙකට කික් එකක් යොමනවා. මුවගට ඉබේම වචන ගලාගෙන එනවා.

       " ඇයි මාව හොයන් මෙහෙ ආවෙ..."

       " අධී..ඇයි බබා දැන්වත් ඔයාගෙ ඔය හිතුවක්කාර වැඩ නවත්තන් නැත්තෙ ? අපි අපි ගැන කතා කරමු. ඔයා හිතනවද මං ඉන්නෙ සතුටින්,සමාදානෙන් කියලා...ම්හ්...මගෙ අම්මි ආයෙ කවදාවත් ලංකාවට එන එකක් නැහැ. අප්පච්චි රෑට විතරක් එයාගෙ ලෝකෙ... ෂෙරීන් ආන්ටි එක එක වෙලාවට එක එක කොල්ලො එක්ක එක එක තැන් වල. මට හැමදේම එපා වෙලා අධී.. මේ හැමදේම බොරු.. යාළුවො,සල්ලි.. ඔක්කොම බොරු. මතකද ඉස්සර ඔයා මට කියනවා ' ප්‍රශ්න කියන්නෙ ජීවිතේ නෙමෙයි...හැබැයි ජීවිතේ කියන්නෙ ප්‍රශ්නයක් 'කියලා..ම්ම්ම්..."

   අතීත කාමය අනතීත යාමයෙදි මේ තරම් සියුමැලි ද ? 

       " ඒ ඉස්සරනෙ...මේ අද.. තවත් මොනවා හරි කියන්න තියෙනව නං ඉක්මනට කියන්න සමා..."

       " අධී...අයි ඈම් වෙරි සොරී... මං නොහිතන වෙලාවක අප්පච්චි මාව ඩෙෆිනීට්ලි මැරි කරවයි කොහේ හරි බිස්නස් කොට්ටෝරුවෙක්ට... දැනටත් ඇපිට් එකේ කුකුළො මගෙ අතන මෙතන ගැන මටත් වඩා උනන්දුයි.. ඒත් ඒත්... ඒත් බබා...මගේ හැමදේම උනන්දු ඔයා ළඟ විතරයි...."  

        බලහත්කාරී චේතනාවෙන් හිත මැදට අනුගත වෙන්න එන සුළඟට දොර කවුළු විවර නොවීම පුදුමයක් නෙමෙයි. ඒ දොරටුව අද්දරටම වෙලා "සොරායා" ළයාන්විත ස්වර ප්‍රස්තාර මුමුණනවා වෙන්න ඕනි...නැත්නම් කොහෙන්ද පපුවකට මෙච්චරටම බලපෑමක් ? 

       " සමාලි... ඇති... හොඳටම ඇති. ඔයා ඔයාගෙ ජීවිතේ ස්ථාවර ගමනක් කරගන්න. මට පටු අරමුණු වල හිරවෙලා ඇරියස් කවර් කරගෙන ඒ ගැන තැවි තැවි ඉන්න බැහැ. අපේ නොගැළපීම් නහුතයක් ගැන ඔයා මටත් වඩා දන්නවා... අනික ෆෝමැට් කරපු මතක ෆෝමැට් වෙච්චදෙන්... ඒ ගැන හිතලා තේරුමක්ම නැහැ. අලුත් පිටුවකින් ජීවිතේ විඳින්න පටන් ගන්න. මං දැනටමත් වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ..."

    සමාලිගෙ දෑස් උඩු යටිකුරු වෙලා ආකාසගත වුණා. ඉස්සර පුරුද්දට - ගැස්සෙන කැමැත්තට - පිම්බුණු වැසුණු පයෝධර තුඩු ඔරව ඔරවා අහක බලාගත්තා. 

      " ආහ්..සීරියස්ලි.... අනේ..අනේ..ඇයි අධී එහෙම වුණේ ? මගේ මොකක්ද අඩුපාඩුව ? ඔයාට මොනවද මං නොදුන්නෙ ? ඒ කෙල්ලගෙ තාත්තා මගේ අප්පච්චිගෙ ස්ටේටස් එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක්ද ? " 

      " ඔන්න ඕක තමයි සමා හේතුව... මං ඔයාට එදත් පැහැදිලි කළා,ඔයා තේරුම් ගත්තෙම නෑ... අදත් පැහැදිලි කරනවා ,කැමතිනම් තේරුම් ගන්න. ඔයාගෙ අප්පච්චිගෙ ස්ටේටස් තියා ස්කාගාරයක්වත් මට වැඩක් නැහැ... මං ඒ කාලෙ සමාලිගෙ පස්සෙන් ආවෙ හදවත හොයං.. නැතුව ඩව්රියෙ බර බලන්න තරාදියක් අරගෙන නෙමෙයි...." 

   මොහොතක නිදහස් හැඟීමකටවත් ඉඩ හසර විවර නොකර සමාලි මගේ ගෙල මත එල්ලුණා... අවටපිටාවෙ උකුසු ඇස් - රකුසු ඇස් - බකුසු ඇස් වලින් සමාලිගෙ ' සෙක්සි ඇස් ' වහන් කරන්නෙ කොහොමද ? ඒ හිසට ඉහළින් වටපිටාවට මගේ ඇස් ළංවෙද්දිම ජීවිතේ විඳින්න ලැබෙන අමිහිරිතම අත්දැකීම ඉබේටම පෙනෙන්න පටන් ගත්තා...

  සොරායා!!! පාරෙන් එහා පැත්තෙ බස් හෝල්ට් එකේ... මේ පැත්ත බලාගෙන...

*------------------------------------------------*----------------------------------------------------------------*--------------------------------------------------------*

     පරාජිත විජිතයෙන් බර අඩියක් ඉස්සරහට තියන්න යද්දිම කකුලෙන් අදින අතීතය මේ තරම් දරදඬු ද ? ඉවසීමේ කෙළවර සැනසීම කෙසේ වෙතත් කිසිම ශාන්තියක් නැති එකයි පේන්න තියෙන්නෙ. ඒ අර්ථයෙන් ගත්තොත් මේ විඳවීම් - දරා ගැනීම් භෞතිකව ක්‍ෂාන්තිවාදී ජාතකය පරයන තරම් ශක්තිමත්! එක අතකට ලංකාවෙ ඉහළ පෙළේ ව්‍යාපාරිකයො අතරෙ ඉන්න දඩ ඇතෙක් වුණ ' සේනාධීර ඉරුගල් බණ්ඩාර 'ගෙ එකම දෝණි සමාලි... අනෙක් පැත්තෙන් හදවතේ මැද්දෙන් හරි කෙලින් හිටගෙන " ආදරේට වැරදුණ තැන් " එකින් එක අරගෙන ටිකෙන් ටික අස්වද්දන සොරායා... ආදර දරාගැනීම් වගේම අතේ තඹ සතයක් නැතිව ගෙවෙන දවස් සම්මිශ්‍රණය වුණාම හිස බර වෙන ප්‍රවණතාවය වගේම හිත තෙරපෙන ප්‍රවණතාවයත් වැඩියි. පොල්ලක් දෙකක් තිය තිය හරි කෙරුව ' බෙලි කැපීමේ පොලිටිකල් ක්ලාස්සෙක ' නැවතුණත් හරි එම්ටි පොකට්. මලාවත් - පොට්ටයාවත් - පුෂ්පයාවත් 
සතියටම නොදැක්ක පාපෙට - පාපයේ තාපයට අඟ හිඟකම් සීතලයි. 

  " කොන්දෙ ඇවිලිල්ලයි, පපුව ද-දා එනවයි කිය කිය " තාත්තම්මා කැලැන්ඩරයත් පුදුම කරලා - කවදාවත් නැතුව මුළු දවසෙම ඇඳේ... බිත්තිය මුදුනට වෙලා බිම ඉන්න අපි දිහා බලාගෙන ඉන්න ' සජීවී සීවලී ' හිස් පාත්‍රය පෙන්න පෙන්න හිනාවෙනවා වගේ අඬනවා... අපේ හිත් අඬ අඬ හිනා වෙනවා... එක්කො පත්තර කන්තෝරුවකට ආයෙත් ගොඩ වෙලා කුලියට ලිය ලිය මං මටම ඇණ ගහගන්නවද ? එක දිගට ටියුෂන් කර කර ජීවත් වීමේ ලයිසන් හොයාගන්නවද? අහස පොළොව ඝට්ටනයට කලින් සිතිජයට පියාඹගෙන ගිහින් අතරමඟ අතරමං වෙනවද ? මේ 'එක එක මාදිලියෙන් සිතුවිලි වලට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ' සැකසෙන විදිහයි.... කවියක් පවා අහිමි සංක්‍රාන්තිගත යුගයක දරුණු කාලකණ්ණිකමක් ඇතුළෙ සුළඟ පවා ඉන්නෙ අසනීපෙන්. හමන්නෙ හෙමින්.... පණ ඇද ඇද... පෙම යැද යැද...

*--------------------------------------------*---------------------------------------------------------------------------------*--------------------------------------------*

    'සමාලිගෙ ශරීර සන්තර්පනය - ගෙල වැළඳ ගැනීම' සොරායාගෙ ඇස් අතරෙ රැඳුණු මතකයෙ වදදීමේ සිතුවිල්ල අනෙක් දවසෙත් එහෙමමයි. දැඩි දෙගිඩියාවෙන් සරසවිය පුරා ඇවිද යන අඩ අඳුරු වැහිබර හැන්දෑවේ අහම්බෙන් සඳ මුණ ගැහෙනවා....ඒ ජීවිත පිටපතේ කලින් සැකසුවෙ නැති හමුවක් හැටියට... ඉනිබ්බේ ;  සුහුඹුල්ම නෑඹුල්ම අහඹුවක් කියන්නෙම කුළුඳුල්ම හාදුවක්....! කලින් දා සජීවී රූපකරණයේ මගේ ඉසියුම් ලැජ්ජාව වෙනුවට ' ඇගේ ඉහිලුම් ලැජ්ජාව ' නිහඬව හිනැහෙනවා. හිරි ඔතප් අතරට විරිත්තලා - මඳ සිනහවෙන් මං ප්‍රකෘතියට අනුවර්තනය වෙනවා. 

           " සොරායා... මොකද මෙතැන... මෙච්චර හවස් වෙලා ? "

           "  අද මජ්ලිස් එකේ මීටින් එකක් තිබ්බා මඳහස් අයි..යා... දැන් ටිකකට කලිනුයි ඉවර වුණේ..."

   ආගමික සංගමයේ සීමාවන්ගෙන් මිදිලා සොරායා නිදහස් හුස්මක් කටක් ගන්න හදද්දිම ප්‍රේමාලිංගන සංගමය අත ළඟ... දෙවියන් පවා ගල් වුණ අවකාශයක ඉවසීම පුපුර පුපුරා චේතනා තෙරපීම දෝරෙ ගලනවා. අද තමයි දවස! හොඳම හවස! 

         " සොරායා... ඔයාට දැන් ම යන්න හදිසි ද ? ටිකක් කතා කරන එක අවුලක් නෑ නේද ? " 

කෙල්ලගෙ සුදු වුවනතේ පුදුමය මුදු සිහිනෙකින් වගේ ඇසිපිය හෙළනවා. 

       " අවුලක් නම් නෑ.. ඇ..ඇයි..අයි..යෙ ..? "

       " මතකද මං දවස් කීපයක්ම ඇහුවා, සොරායා ගොඩ ගිහින්ද ඉන්නෙ කියලා..."

       " ඔ..ඔව් අයියෙ.. ඒ..ඒත් එව්වා මොකටද දැන් ? " 

 "මේ ගෙවන මොහොත ; දැන් " හැර වෙන මොන මොහොතද සොඳුරුතම මෝඩියේ....

      " දැන් තමයි ඒවා ඕනිම... සොරායා, මගෙ ඇස් දෙක දිහා බලන්න " 

කෙල්ලගෙ දෑස ලැජ්ජාවෙන් බිමටම බරවෙනවා. මං හඬ තව ටිකක් උස් කරනවා.

     " මගෙ ඇස් දෙක දිහා බලන්න...." 

මොහොතක් පියඹනවා.....සොරායා සුන්දරම අවනත වීමකින් පවනක් වගේ සසැලෙනවා. ඒ ඇඟිලි තුඩු එකිනෙකට ළං වෙන සීරුවෙන් - ඈ දෙගිඩියාවෙන් මුදවගන්න අපේක්ෂාවෙන් මගේ බලාපොරොත්තු හඬ අවදි කරනවා. 

     " මෙහෙමයි... ඉවසීම කියන දේ දරාගෙන ඉන්න පුළුවන් තරමට 
       සැනසීම කියන දේ බලාගෙන ඉන්න පුළුවන් තරමට 
       කවියෙක්ට කවියක් වටින තරමට 
       කවියකට කවියෙක්ව දැනෙන තරමට 
       අකුරකට හෝඩියක් ඕනි තරමට ම 
       මම ඔයාට ආදරෙයි සොරායා.... "




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »