එන නොඑන තීරණය ඔබ සතු ය - මඟ බලා සිටින කවි මා සතු ය... (එකොළොස්වන හෝඩිය)

එන නොඑන තීරණය ඔබ සතු ය - මඟ බලා සිටින කවි මා සතු ය...


 


එකොළොස්වන හෝඩිය.



ආලවන්ත සිතුවිලි මල්වර වෙච්ච දවසෙ ඉඳන් ආරක්ෂා කෙරුව අවසාන තුරුම්පුව ප්‍රේමාරම්භයට මුව අගින් විසිවුණා. රැයක් දවාලක් නැතුව කුලප්පුවෙන් දැඟලුව ශ්වසන පද්ධතිය නිදහස් හුස්ම අවකාශයට මුදා හැරියා. ඔප්පු තිරප්පු අනවශ්‍ය ආදර අන්දරයකට කුලප්පුව මොකටද කියාගෙන වගේ රුධිර සංසරණ පද්ධතිය සීරුවට සීතලට සංසරණය වෙන්න පටන් ගත්තා. දුක් පීඩා - රිදීම් - විඳවීම් නිහඬවම විඳ දරාගෙන ඉන්න තාත්තම්මා වගේ පරිසරය කරුණාබරිත භූමිකාවට අනුවර්තනය වුණා. දෑසට දෑස තව දුරටත් එක එල්ලෙ... සැනසිල්ලෙ... කැළඹිල්ලෙ... 

         " සොරායා, ආදරේදි මට දැනුණ දේ තමයි මං කිව්වෙ... ඒ ගැන ජීවිතේදි කොහොමද ඔයාට දැනෙන්නෙ...? " 

   පොල්ලෙන් ගැහුවා වගේ ' අදහස ' මල්ලෙන් එළියට පැන්නට පස්සෙත් කෙල්ලගෙ මඳහස පිම්බුණු දෙකම්මුල් අස්සෙන් අතුරුදන් වුණේ නැහැ. කතා මල්ල කොහොම වුණත් වචන දෙක තුනක හරි ' වදන් කවි පොත ' බලාපොරොත්තුවෙන් හිත ටික ටික දොඩවනවා. විනාඩියක්... දෙකක්... විනාඩි පහක්...

        " ඇයි... බයවුණාද ? නැත්නං ??? කියන්න සොරායා... ඔයාට උපරිම නිදහස තියෙනවා කතා කරන්න..."

 සොරායා නිශ්ශබ්දතාවය රකින්න රකින්න මගේ උඩු හිතයි - යටි හිතයි අතරෙ ඇතිවන ප්‍රවාදය නවතින්නෙ නැහැ. අවටපිටාවෙන් ඉඳහිට ඇදෙන කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගෙ රූපකාය ඇරුණම මුළු සරසවියම මීයට පිම්බා වගේ.. ගල් වෙලා... සීතල වෙලා... ' මදිපාඩුව මදි නං අඩුම කුඩුම මං දෙන්නං ' කියන්න වගේ ධන වලාකුළකින් ඍණ වලාකුළකට පා පහරක් එල්ල වෙනවා. හැමදාම අසම්මතයට කැමති - එක එක ජාතියෙ බඩු ගෙඩි පිටින් පොකුරු පොකුරු බිමට වැටුණ ' කොළඹ අහසින් ' සතුටු කඳුළු වැගිරෙන්න නියමිතයි කියන කල් තියා දැනුම් දීමක්ද ඒ ? 

       " ම...ම...මඳහස් අයි..යා... ඔයා ඇයි එච්චරටම දුර ගියෙ... තනියම..."

   ' ආදරණීය සිතුවිල්ලක් කර තියාගෙන වට වන්දනාවෙ දුර යන්න නඩයක් අවශ්‍යමද ' කියන පණ්ඩිත කතා වට්ටෝරුවෙ නොගිලිලා - සැහැල්ලු මනසින් - මං - කිරිල්ලියට ළං වෙනවා. 

      " අන්න ඒ තනිකම නැති කරගන්න තමයි සොරායා මං ආදරේ ඉල්ලන්නෙ... හරියට මැදියම ඇවිත් උණුහුම ඉල්ලනවා වගේ..."

      " මඳහස් අයියා... කවි ලියනවා වගේ, කවි කියවනවා වගේ ජීවිතේ එකම තාලෙකට පේළියකට ගළපන්න බැහැ නේද ? ම්ම්ම්.. ඒ කියන්නෙ ජීවිතේ කවියක් වුණාට ඒ අතරමැද නණලළ භේද, අක්ෂර වින්‍යාස, උක්ත ආඛ්‍යාත ගැන සෙවිල්ලෙන් විචාරකයො ඉන්නවා නේද ? විශේෂයෙන් මට... ඔයාට."

   ජීවිතේ මෙච්චර කාලයක් කට ඇති දූවරු - ඉඟ සුඟ මිටින් ගත හැකි ශරීර දිව්‍යාංගනාවො - රිය සක'යුරු තිසර තන් වෙනුවට ඩබල් ඩෙකර් සොකට් ගෙවුණ බී බී ඩබ්ලිව් අංගනාවො දැකලා, දපනෙ වැටිලා තිබුණට ' මෙහෙව් කටක් ' තවත් කොහෙන්ද ? එතරම් ම අරුත්බර සබුද්ධික කටක්...

       " විචාරකයො විචාරකයන්ගෙ වැඩේ කරයි... අපි ආදරේ කරමු සොරායා."

  අනපේක්ෂිත හුළඟකට හුදෙකලා දොර පලු අනාරාධිතවම විවර වෙන තාලෙන් ආදරය බදාගෙන බෙදාගන්න - ජීවිතය බෙදාගෙන බදාගන්න හිතුවක්කාර හැඟීමක් හද මැද පොපියනවා. කවමදාවත් නොවුණ විදිහට - කවරදාවත් නොහිතුව හැටියට සොරායා මුළු සර්වාංගයෙන් ම කැළඹෙනවා. 

       " මගෙ ඔළුවත් රිදෙනවා අයි..යා...ඕක ඔතනින්ම නවත්තන්න. මට..මට..ආයෙ..ආයෙ කියන්න බැහැ. ප්ලීස්..." 

       " හේතුව ? "

       " මොකක්ද මට ආ..දරේ කරන්න, ආදරේ හිතෙන්න හේතුව...? " 

       " ආදරේට හේතු නැහැ සොරායා... හේතු වලින් විතරක් ආදරයක් මනින්න බැරි හින්දා. " 

  ' ප්‍රේමණීය තාර්කික ද්වාර ' තමන්ගෙ වාරය එනකං ඇස් කන් ඇරන් ඉන්නවා. තර්ක විතරක් විතරක් පිරුණ ජීවිතේ නිදහස් - නිවහල් - නිසසල මොහොතකුත් කොහේ හරි ඇති කියලා දන්නවා. 

      " මඳහස් අයි..යා... තරහ වෙන්නෙ නැත්නං මට..මේකට කෙලින් උත්තරයක් දෙන්න..."

      " ඔව් සොරායා...කියන්න."

      " ඔයා කී දෙනෙක්ට එකපාර ආ..ද..රේ කරනවද ? කී දෙනෙක්ව බදාගන්නවද ? කී දෙනෙක්ට බලාපොරොත්තු දෙනවද ? "

 නිශ්චිත හේතුවක් රහිතව 'ආදරය' හිත ඉස්මත්තෙ හටගත්තත්, පැහැදිලි හේතුවක් සහිතවම පෙරදා වෙච්ච සිදුවීම - අතටම මාට්ටු වෙච්ච - ප්‍රසිද්ධ රහසක් වෙච්ච සිදුවීම සොරායා ප්‍රශ්න කරනවා. 

       " මේ ලෝකෙ කවුරුත් ශුද්ධ නැහැ සොරායා... එක වචනෙකින් කියන්නං. ශුද්ධ සියල්ල කෙලෙසෙනවා. "

  බලාපොරොත්තු ගොන්න ඇස් පනාපිටම පිපිරිලා ගියත් ' උරුම නොවුණ - උරුම නොවෙන ශුද්ධත්වයක් ' වෙනුවෙන් කොහොම පෙනී හිටින්නද ? හතරබීරි කතාවකට හතර අතින් මැදිවුණා වගේ සොරායා නිස්සද්ද අනිමිසයක වැතිරෙනවා. ඒ හේතුව හින්දම එක එක කාරණා හිතෙන් එළියට පනිනවා. 

      " හැමෝටම වැරදිච්ච කතාවක් තියෙනවා වගේ මටත් කතා අහුරක් තියෙනවා සොරායා. ඒත්...ඒ හැම කතාවෙම පෙරවදන ලියැවිලා තිබුණෙ මගේ අත් අකුරින් නෙමෙයි. දැන් තත්වෙ වෙනස්...මොකද මං හිතන විදිහට මේ පොතත් මගේ...පෙරවදනත් මගේ..."

 ආදර පටුනට - පෙරවදනට - නික්මයාමට හැමදේටම ඔහේ ගලාගෙන යන්න ඉඩ දීගෙන වැස්ස පොළොවට බැස්සා. පුංචි වැහි පොහොට්ටු පට පට ගාලා - සට සට ස්වරයෙන් ඔළු කුහරෙට පාත්වෙන ඉක්මන... වෙච්ච සිදුවීමට - ඇති වෙච්ච කැළඹීමට උත්තරයක් නැහැ වගේ වැස්සට පවා මේ මොහොතෙ නිනව්වක් නැහැ. පුස්තකාලෙ පිටිපස්සෙ දිග බැම්ම උඩ සැණෙකින් අපේ ප්‍රශ්නගත භූමිය හැටියට අනුවර්තනය වෙනවා. වැහිබරද - මල්බරද - සොමිබරද - දුක්බරද කියලා නොහැඟෙන අන්ධකාරය ටික ටික අහසෙන් සළු උනා දමනවා. 

     " මං යන්නං මඳහස් අයියා... අම්මි හොඳටම බයවෙලා ඇති...අද නානත් ගෙදර නෑ නේ." 

කැටයම් රටා එක එක පාටින් තැවරුණු බෑගය අස්සෙන් රතු මල් කුඩය ඇහිපිල්ලම් ගහනවා. 

    " මට හරි උත්තරයක් ඕනි සොරායා..."

    " මං උත්තරේ දීලා ඉවරයි..ඒ..ටික තේරුම් ගන්න අයි..යා..." 

තේරෙන නොතේරෙන හැඟීම්-බේරෙන වැහිපොද අස්සෙන් සීරුවට ඉගිලෙද්දි හිත සීතලෙන් බරවෙනවා. ප්‍රාණවත් හඬමුසුව මන්ද්‍ර සප්තකයෙ දැවටෙනවා.

     " මාව විශ්වාස කරන්න සොරායා..."

     " මාව...තේරුම් ගන්න මඳහස් අයි..යා..." 

     " මං කොහොමද ඔයාට ආදරේ ඔප්පු කරන්න ඕනි ? ලේ ඇට මස් නහර හැමතැනම උඩු දුවන ආදරේ යට කරන් ඉන්න කියලද මට කියන්නෙ සොරායා... බෝම්බයක් වගේ හිත පුපුරලා කුඩුපට්ටම් වෙලා යයි. සිතුවිලි නන්නත්තාර වෙයි. ඔයා ඒකට කැමතිද ? " 

   සීරුවට ඇහිපිල්ලම් තෙරපුව කුඩය වැස්ස කපාගෙන ඉදිරියට යන්න ' සැරසෙන් ' විධානය නිකුත් කරනවා. ලෙගින් දෙකකුල් මඩෙන් බේරෙන්න - නීල දෙනුවන් මගෙන් බේරෙන්න ඕනාවටද මන්දා මටත් නොකියම බැම්මෙන් පහළට පනිනවා. 

      " සොරා...යා..."

      " මං ඔයාට උත්තරයක් දුන්නා මඳහස් අයි..යා.." 

      " ඒක හරි අසාධාරණයි කියලා ඔයාටම හිතෙන් නැද්ද ? අපි කැමති කවියක්,පොතක් හොරකම් කරලා ගත්තෙ නෑ වගේ ඉන්න එක...මගෙ හීන හොරකම් කරලා දෙන්නෙ නෑ කියන එක...බයෙන් වගේ හැංගෙන්න හදන එක..."

     " ඔයාගෙ කිසිම හීනයක් මගේ ළඟ නැහැ අයි..යා... මං හුඟාක් බයයි තමයී...කවියො හරිම භයානකයි. ඒකයී."

   *---------------------------*---------------------------------------------------------------------------------------------------*-------------------------------------*

  භයානක කවිකමට බයක් මොකටද කියලා අහන්න-මලානික තනිකමට හඳක් මොකටද කියලා කියන්න-අමාවක කළුවරට උදෑසන ඉරක් මුණගැහෙන්න කාලයක් බලන් ඉන්නම වෙනවා. ස්වර තන්තු උඩ අඩියෙන් අඩිය තියන - තැනිතලාවකදි හයිය පෙන්නං දුවන - මොහොතකින් එක තැනම නැවතිලා ඉන්න 'සොරායා' වෙච්ච දේ කොතැනින් - කොහොම තේරුම් ගනියිද ? ' හිත ඔහේ හිතපං - හිත හිතා හිටපං ' කියාගෙන හේතු නැති දුම් කිරුළපන අහසට මුදාහැරලා ඇළ කණ්ඩිය අයිනෙන් අඩි විසිවෙනවා. කඳුළු වැස්සුව අහස අඳුර මැද්දෙම හුස්මක් කටක් ගන්නවා. 

      " අඩෝ අඩෝ මඳයා... ඔහොම හිටහං..." 

      " ආහ්... උඹත් දැන් ද එන්නෙ..." 

 සැනසුම් පුෂ්ප - උණුසුම් පේපර් නැතුවම පුෂ්පෙ තනියම... යතුරු නැති දොරවල් සහිත ජීවිතේ හැමදේටම කතුරු වලින් උත්තර තියෙන වත්තෙ මුහුණුවර අද මලානික වෙලා... එක අතකට නැහැ..ඒ මගේ හිස්ම හිස් සිතුවිලි.

     " උඹ මහ වැස්සට කොහෙද හිටියෙ... වැඩ ද ? " 

     " නැහැ බං. මොන...ඇළ උතුරන්න වහිද්දි පුංචි පුංචි මාළු ඇටසැකිලි කොහෙ යන්නද බන්ස්...හෑ...උඹ මොකද මෙච්චර රෑ වෙලා..."

     " දන්නැද්ද බං... වටයක් දෙකක් ගහලා, පොතක් පතක් පෙරළලා, කෙල්ලෙක් තෙමලා දවස ගෙවාගෙන එද්දි ඉතින් හවස පනිනවා... හාහාහාහා..." 

   විටින් විට - පෙළින් පෙළ පොද වරුසාව ආයෙත් ගුරු පැහැ බිමට වග කියන්න වගේ... බලෙන් අතුගාලා පිටමං කෙරුව වැහිබිඳු " මේ භූමියේ අයිතිය අපේ " කියන්න වගේ සහෝදර කඳුළු බිමට හෙළනවා. 

     " ඩුබායි වැඩේ මිස් වෙච්ච හින්දා කොරියා පැත්තටවත් සත්තම දාන්නයි බැලුවෙ මඳයා..." 

     " ආහ්...ගනින්." 

  මහෝදර දුම් සහෝදර ප්‍රේමයට නමස්කාර කරන අතරෙ සසල දෙතොලතර " දුම් ගොබ මස්තකය " හැටියට පත්වෙනවා. 

   " අපිට මේ ඇටේ යාදෙන් නෑ බං... අනික අපෙන් ඇටේටත් ඉල්ලම් පෑදෙන් නෑ...හහ් හහ්...හම්බෙන තුට්ටුවටත් තට්ටු වෙන්නෙ ඩේ බයි ඩේ නන්ස්ටොප්. ඩේලි ෆකින් නෝ චිල්ඩ්රන් වුණා නං අපිත් හඳේ ජොකින් තමයි..හහ්..උඹලට නං මොකෝ..." 

   " ඇයි යකෝ, මොකක්ද වෙනස... මේ හතර දිග් බාගෙටම එකම ඉරණම තමයි බං මෙව්වා මෙහෙමම තියෙනකං...දැන් හිතපන්, උඹ කොරියා ගියා කියමුකෝ..."

  " ෂා ෂා ෂා... අන්න එහෙම වරෙන්..ඉතින් ඉතින්..කොරියා ගියා... එතනින් පස්සෙ..."

  " උඹ ඉන්නෙ හිතේ දෙගිඩියාවෙන්... දරුවා කෑවද ? අසනීපෙන්ද ? හුස්මක් කටක් ගන්න ලැබෙන්නෙ කීයටද ? හම්බ කරන තුට්ටුවෙන් සැපක් ගන්නෙ කොහොමද ? ගෑනි මොකද ? වටේ යයිද ? ඕවනේ ඇත්ත ප්‍රශ්න බං. මේ සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕනි, නැතුව වහින වැස්ස නෙමෙයි. " 

 පාලමට කිට්ටු වෙන මොහොත වෙනකොට ඈතින් කෙට්ටු සයිකල් පිටක නැගලා පොට්ටයා එළිය විහිදනවා. 

   " උඹේ පණ්ඩිත මඟුල් ඇත්ත මඳයා... ඔව්වා වත්තෙ අපිට..අඩු තරමෙ උඹටවත් ඇත්තම ඇත්ත විදිහට වෙනස් කරන්න බැහැනෙ. මිනිස්සු ඇන්දෙන්න ආසයි. කන්න නැතුව අපිට හෙණ ගැහුවත් ' නමෝ නමෝ මාතා ' කියන්න කෙලින් ඉන්න ඕනි. පොඩි එකාට පිටි පැකට්ටෙක ගේන තරං සීරුවෙන් ඉන්න එක අමාරු නැහැ බං. නැද්ද ? " 

  ෆුට් සයිකලය පුස් උණ්ඩයක් වගේ නයා ගමන නවතලා නවතිනවා. පොට්ටයා ග්‍රීස් යකා වගේ ඉදිමිලා, කළුවෙලා, දහදියෙන් බත්වෙලා...

      " හෙන සිද්ධිය ඕයි...ආරංචි ද ? "

      " මොන ආරංචියක්ද බං... අපි දැන් පාත්වුණේ..." 

 පුෂ්ප දෑස් කංසා කූරු තාලෙන් හීන් වෙනවා. 

       " කොච්චියො දෙන්නෙක් ඇවිත් මලායියව අරන් ගියා.. මේ ප්‍රාන්තෙම කවුරුහරි ගුස්පියෙක් වැඩේ පත්තු කරලා තියෙන්නෙ. බලහන්කො,ඒ කරුමෙත් මගේ පිට උඩ.. උගේ ගෑනියි අම්මයි මගේ ඔළුවම කයි දැන්.. ෂැහ්...ඇප නැතිවෙලා ඉන්නෙ ඕයි. " 

       " උන් සිවිල්ද ආවෙ... කොහෙ උන්ද ? " 

මගේ විචාරය අවිචාරයෙන් විහිදෙනවා.

     " ඔව් ඩෝ...මේ කජු කිරි පෙනුම තියෙන ඩබලක්. හරි කික් එකක් දුන්න නං හැක් වෙන ජාතියෙ...රැවුල් ගහක් නැහැ මූණෙ.. අයිය බයිය කියාගෙන ඇවිත් උන්ගෙ කාඩ් පෙන්නුවා පිස්ටල්ලෙක්ක..අපි බ්ලාස්ටර්.. ගෙනියද්දි මලායියා මලා වගේ බං හිටියෙ...මට ඉවසන්න බැහැ."

     " උඹ කොහොමද මාට්ටු නොවුණෙ ? ඒ වෙලාවෙ වැඩේ නෙමෙයිද හිටියෙ ? "

     " හහ්... උන් ආවෙම පොඩි පොඩි අතු අල්ලන්න නෙමෙයි බං..මුල අරන් යන්න. දැන් ලේසි වෙන් නෑ...මලායියා දන්නවනෙ. මන්ත්‍රී කබ්බෙක්ටවත් කොන්ද නවන එකෙක්යෑ...මට ඉස්සරහට කරන මඟුලක් හිතාගන්න බැරුව ඉන්නෙ..." 

 පොට්ටයගෙ අවනඩුවයි - පුෂ්පෙගෙ කොරියා සිහිනයයි අතරමැදට ' සුමනා ඇන්ටි ' ලක ලහියෙ කඩා පාත් වෙනවා. 

    " කොල්ලො,උඹ මෙතනද ? අන්න බොලෑ තාත්තම්මට ප්‍රෙෂර්රෙක වැඩි වෙලා...විජහට ගොහින් බලහං...වත්තෙ බාගෙට බාගයක් එතන." 

  මාව එකතැන හිටවුණා. පැය කටු - තත්පර කටු පරදන කවකටු කකුල් දෙක විනාඩියකටත් කලින් ගේ ඇතුළෙ නැවතුණා. 

    " තාත්..තම්මේ..." 

වටපිටාවෙ ගෑනු - ළමයි මැද්දෙන් මගේ උරුමය කර ගහන්න දෑත ඉබේම එසවුණා. දෑස දුකඳුළින් තෙත් වුණා. ඒ අතරෙ වුණත් මගේ කෝපාග්නියෙ රැස් බිත්ති හතරෙ වැදි වැදි පැද්දෙනවා. 

   " මෙතන හැමෝම බලාගෙන හිටියම හරිද ? ඉස්පිරිතාලයක් කියල දෙයක් ගැන උඹලා දන් නැද්ද ? " 

   " මට....දැන් අමාරුව අඩුයි පුතේ.. මේක හරියයි. මුන් වදේ මුල ඉඳම්ම ඉස්පිටිතාලෙ යන්ටම..මං කීවෙ..මයෙ වස්තුව එනකල් මයෙ පණ තියෙයි කියල " 

   " තාත්තම්මෙ යං..දැන්ම යං...පුෂ්පයා චීත්තයව එක්කං වරෙන්..." 

   මහ ඉස්පිරිතාලෙ මහා උජාරුව පීඩිතයටම දික්වෙද්දි හැමදාම ආදර ඇඳක් - සෙනෙහස් මෙට්ටයක් - කරුණා කොට්ටයක් මට දුන්න තාත්තම්මා ඇඳ පල්ලක වැතිරිලා. ජීවිතේ තිත්ත කසායක් වගේ පිට පිට වේදනා බෙහෙත් පොවද්දි උගුර කට දැන් ඒකටම හුරු වෙලා. ඉදින් දුක හුරුයි...කඳුළු සුරගුරුයි...
පපුව දැන් පිපිරෙයි...දැන් පිපිරෙයි කියන වේදනාවෙන් පුපුරු ගහන දුකින් මං බෙහෙත් ගඳ ගහන බිත්තියකට ජීවිතය බර කරගත්තා. 

*-------------------------------*---------------------------------------------------------------------------------------------------*--------------------------------------*

    අත් දෙකටම පිරිලා තිබුණු ආදරෙයි ජීවිතෙයි පෙනි පෙනිම බිම වැටිලා කුඩුපට්ටම් වුණු හැඟීමකින් පහුවදා එළිය වැටෙනවා. දවල් වරුව වෙනකං කැම්පස්සෙක පැත්ත නොබලා - මහ ඉස්පිරිතාලෙට දුවන පපුව ' ටික ටික වේදනා අඩු වෙද්දි ' නැති වෙච්ච හිනා කට තාත්තම්මගෙ මූණේ පිරිලා තියෙද්දි යන්තමට සැනසෙනවා. 'හවස් වරුවෙත් මං අනිවාර්යෙන්ම එනවා' කියන පොරොන්දුව පිට, " ආදර වගකීමට වග වෙන්න " බලාපොරොත්තු සරසවියට ගාටනවා. සොරායගෙ සුවඳ කිසිම තැනෙක නොතියන ගානට සුළඟ සුසුමට ඔච්චම් කරනවා. හිතේ පීඩාවයි - ගතේ ක්‍රීඩාවයි හැමදාම වගේ කොළයක් උඩට එකතු වෙනවා. කැමති නං කවියක් කියන්න.... ඒක ඔබට භාරයි! 

                 " වරක් දෙවරක් නොවන 
                   සමානව සියවරක් චක්කරය 
                   කඩාගෙන ගලාගෙන හලාගෙන 
                   පැමිණ ඇත තනිකමේ තත්පරය 

                   සරා සඳ සොරාගෙන දීග ගිය 
                   රැයක් කනවැන්දුම්ව දිගා විය 
                   වතාවක්වත් පෙමක් බෙදාගෙන 
                   කතා කළ පොතක ඇස් හිනා විය 

                   මැදුම් පිළිවෙත පිරූ තරුවකට 
                   වැටෙන්නට ආස ඇති වරුවකට 
                   හැර දැමූ හද කුටියෙ මතකයට 
                   රුවක් ගැන පැවසුවා කළුවරට 

                   එන නොඑන තීරණය ඔබ සතු ය
                   මඟ බලා සිටින කවි මා සතු ය  
                   වග කියන්නට මඟක් එහි ඇති ය 
                   එපා වීමක ලකුණු නම් නැති ය "

          " මඳහස් අයි..යා..." 

   මඟ බලාගෙන ඉන්න කවි වලට එන නොඑන තීරණය අරගෙන දේවතාවිය හාස්කමින් ඇස් අද්දරට එනවා. පණපිටින් හීන ඇත්ත වෙනකොට මං හීන විශ්වාස කරන්න ගන්නවා. 

        " සොරායා... "

        " මං ඔයාව හෙව්වා අයි..යා..හැමතැනම..අහිංසා අක්කිගෙන්, මොල්ලි අයියගෙන් තව නිශා අක්කිගෙනුත් ඇහුවා. එයාලා කිව්වා අයියා අද ආවෙ නෑ කියලා. " 

        " ආහ්...දැන් ඇවිත්නෙ ඉන්නෙ...සොරායා...අර ගැන හිතුවද ? " 

   වෙනදට ' වාඩිවෙන්න ' කියලා අතින් සං කරනකං ' නොරිකො සං ' වගේ සං මිත්‍ර ලීලාවෙන් ඉන්න සොරායා අද කියන්නත් කලින් බෙන්චෙකේ....ඒක මං කැමති වෙනසක්! 

        " හිතුවා අයි..යා....හුඟාක් හිතුවා..නිදි නැතුව හිතුවා..මෙහෙ ඇවිල්ලත් හිතුවා..දැනුත් හිත හිත ඉන්නෙ "

        " එච්චර ? "

 ' වැඩේ ගොඩ - පදිරි - සුපිරි ' කිය කිය උඩු හිත දඟලනවා. ' ෂුවර් නැහැ - තව ස්කෝර් කරපන් - ඉවසපාන් ' කිය කිය යටි හිත මිරිකෙනවා....

       " මට කරදර කරන්නෙපා අයි..යා..ඔයා ඒ අදහස ඔතනින්ම වල දාන්න..ඒ..ඒක අපි දෙන්නටම හොඳයි..." 

       " ඇයි සොරායා බරක් පතලක් නැතුව කතා කරන්නෙ.. ඔයා එදා කිව්ව හරි.. කවියො භයානකයි ; ඒත් ඒ භයානක කම අහිංසකයි! ඔයා කල් අරන් ඔය ගැන හිතන්න... මොකද ආදරේ කියන්නෙ කොත්තුවක් නෙමෙයි " 

       " නෑ...කාලෙ නෙමෙයි අයියා ප්‍රශ්නෙ.. කැමැත්ත " 

       " ඉතින් දැන් ඔයාගෙ කැමැත්ත විතරමයි මේකට අදාළ..."

       " මට මගේ කැමැත්තට වඩා වටින්නෙ වාප්පිගෙ කැමැත්ත අයි..යා.."

  හුස්ම නොගන්න ආබ්දීන් සර් වෙනුවෙන් හුස්ම ගන්න දුව, මගේ දුවන හුස්මට දැඩි පහරක් එල්ල කරනවා. තේරුම් නොයන කාරණා වෙනුවෙන් නිරහංකාර චේතනා හිත යට කැරලි ගහනවා.

      " ඒ කියන්නෙ... ආබ්දීන් සර් ජීවත් වෙලා හිටිය නං මං ඇවිත් කෙලින් මේ ගැන කතා කරනවා සොරායා... දැනටත් මං ලැහැස්තියි "

  කෙල්ලගෙ පිම්බුණු දෙකම්මුල් හැකිලෙනවා. මගේ හිත හැමදාම බඩගින්නෙන් ගිනි තියන ඒ දෙතොලගින් වචන කැටි හීතලට කඩාගෙන වැටෙනවා. 

    " එහෙම නෙමෙයී මඳහස් අයි..යා... මාව දැනටමත් කෙනෙක්ට ප්‍රපෝස් කරලා ඉවරයි. ඒක තමයි වාප්පිගෙ අන්තිම කැමැත්ත..."




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »

1 comments:

Click here for comments