සිහින ඊතල වැදුණටත් පස්සෙ පිනි තුහින සීතලද ...? (දොළොස්වන හෝඩිය)

සිහින ඊතල වැදුණටත් පස්සෙ පිනි තුහින සීතලද ...?



 


දොළොස්වන හෝඩිය.



ආරම්භක කැමැත්තකට එදිරිව අන්තිම කැමැත්තක් පෙරමුණ ගන්නකොට ඒක පක්ෂපාතී නඩු තීන්දුවකටත් වඩා අන්තිම අසාධාරණයි. හැබැයි එහෙම හිතෙන්න ඒ දැනීම - ඒ හැඟීම අත්විඳින්නම ඕනි. ඕ ලෙවල් කාලෙ හරි, ඒ ලෙවල් කාලෙ හරි මෙහෙම දෙයක් වුණා නම් " ප්‍රපෝස් කෙරුව හාදයගෙ ඉල ඇට කූඩුව බෝල කූඩුවක එල්ලලා ප්‍රදර්ශනේට තියනවා " වගේ ප්‍රාථමික සිතුවිල්ලක් හිතට එතෙනවා. කතන්දරේ මුල මැද අග කොහෙවත් නොදැන පෙම් සක්වළින් පාත්වෙච්ච මාව අන්දමන්ද දූපතක වටයක් එක්කං ගියා වගෙයි ඒ මොහොතෙ විඳීම ; රිදීම.

           "ඉතින් ඒ අදහසට...සොරායා සීයට සීයක් එකඟද ?" 

 හදවතේ කැළඹීම මුහුණතට ආරෝපණය කර නොගෙන වචන රචනා ලියන්න හදනවා. හිත හිතේ අමාරු පැත්තකින් තියලා ප්‍රශ්න අහනවා. 

         " මං කිව්වනෙ අයි..යා... වාප්පිගෙ කැමැත්ත ඉස්සරහ මගේ කැමැත්ත කියන්නෙ අඟුටුමිට්ටෙක් තරං. අර මනුස්සයව වුණත් මං හම්බෙලා තියෙන්නෙ හතර පස් සැරයයි. මට මේවා තේරෙන් නෑ අප්පා...අනික තේරුම් ගන්න ඕනෙත් නෑ...අම්මියි නානයි ඊට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන් නෑ මඳහස් අයි..යා.."

' ඒ වුණාට පිස්සු කෙල්ලෙ මං පැහැදිලිවම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා ' කියන්න වම් කෝෂිකාව ලැහැස්තියි. ඒත් අර ' අර මනුස්සයා ' ගැන කතිකාව සභා මණ්‌ඩපේට සැපත් වීම මඟ හරින්නෙ කොහොමද ? සෙනෙහස විතරක් අවශ්‍ය පෙමකට අනවශ්‍ය හේතු කාරණා අදාළ නැහැ තමයි, ඒත් ප්‍රේම බඹරෙ කැරකිලා - කැරකිලා - කැරකිලා නැවතුණේ මෙතැන නං...

            " කවුද සොරායා ඒ මනුස්සයා...? " 

            " ඒ ගැන ඕනි නෑ මඳහස් අයි..යා..අඩු තරමිං මංවත් ඒ ගැන නොහිතනකොට... ඔයා ඒ ගැන හිතන්න ඕනිම නෑ නේද ? "

හීන් කටු තුඩු මහා වේදනාවක් දීගෙන ' හදවත ' උඩ දදා ඉසියුම් ම තැන් හොය හොයා හිල් කරනවා. උල් තුඩු වලින් හිල් හෑරෙනකොට ඒ කිසිම තැනෙක මල් පිපෙන් නැහැ, ගල්වෙනවා විතරයි. මං ඒ රිද්දීම අනෙක් පැත්තට හරවන්නම් ; හිල් වෙලා ගල්වෙච්ච හිත පතුලෙන්ම කල් බල බලා මල් පුබුදන්නම්! 

          " මෙහෙම කරමු සොරායා... අපි දෙන්නම හිතට එකඟව ඒ ගැන හිතලා තීරණේකට එමු, හරි තීරණේකට එමු...හ්ම්..." 

          " මඳහස් අයියා... මඳහස් අයියා... මගේ තීරණේ, අන්තිම තීරණේ මං කිව්වනේ. ඇයි අනේ තවත් තේරුං ගන්නැත්තෙ... කෝ ලෝකෙට පෙන්නන මහ ලොකු කැරලිකාරයා ? " 

  අතිශය කැරලිකාරයන්ට සාතිශය ප්‍රේම කාරකයන් වෙන්න කොහෙත්ම බැරිද ? හිතුවක්කාර ජීවිතේට නිරහංකාර හිනා පොදකින් ආදරේ අතුරන ' සොරායා ' ගැන හීන දකින්න ඇස් අද්දරට කොහෙත්ම බැරිද ? හදගැස්මට හද ගැම්ම එකතු වුණාම දැනෙන ගට හරි අවංකයි කියලා කියන්නම බැරිද ? නැහැ...බැහැ නෙමෙයි පුළුවන්... ඒත් පිළිතුරු අවශ්‍ය ම සොරායගෙ හිතින්.. නෙතින් සහ ගතින්! 

        " ඇයි කැරලිකාරයන්ට ආදර කැරලි තහනම්ද ?" 

        " න්..නෑ නෑ අයියා කිසිම තහනමක් නෑ. ඒත් එකම දේ අහ අහ කරන්නෙ තල කැරලි අඹරනවා වගේ වැඩක්නේ... මං හිතුවෙම මඳහස් අයි..යා..මේ දේවල් හරියට තේරුං ගනියී කියලනේ... " 

        " නැහැ සොරායා... මට මේ කිසි දෙයක් තේරෙන් නැහැ. එකම එක දෙයක් දැනෙනවා. මට ඔයාව අහිමි කරගන්න බැහැ. මට දැනටත් හිතෙන්නෙ ආබ්දීන් සර් හිත පුරා සතුටු වෙන්නෙ අන්තිම කැමැත්තටත් වඩා ඔයාගෙ පළවෙනි කැමැත්තට කියලයි සොරායා..."

වෙනදට බෙන්ච්චෙක උඩ දැනෙන මහානුභාව සම්පන්න නිදහස අද බූමරංගයක් වෙලා ඔළුව උඩට පාත්වෙනවා වගේ... වෙනදට නීති පීඨ භූමිය උඩින් පියාඹන නීති රීති රහිත කුරුල්ලන්ව අද අහස හිතාමතාම ඒ දේශසීමාවට බැඳගෙන වගේ... ගේට්ටුවෙන් එහා පැත්තෙ බස් වල යන ගෑනු - මිනිස්සු - කොල්ලො කුරුට්ටො දිව එළියට දදා එක එක කෝළම් කරනවා වගේ... අත්පුඩි තලලා, කතා කරලා ' නෑ උඹට නෙමෙයි, අහක බලාගන් ' කියන්නා වගේ...

         " මොකක්ද අප්පා ඔය කොළේ... කවියක්ද ? " 

  රිදෙන්න තියෙන උපරිම තැනට ඊතල විද්දට පස්සෙත් කෙල්ල හිනා කටින් මිදෙන්නෙ නැහැ. ' සිහින ඊතල වැදුණටත් පස්සෙ තව දුරටත් පිනි තුහින සීතලද ' කියන උණුසුම සහිත ප්‍රශ්නෙන් හිතටත් මිදෙන්න බැහැ. උත්තරයක් ගළපන්න හදද්දි ම ඇස් ඉස්මත්ත නවතින්නෙ එයාර්පෝට්ටෙක දිහාට ඇදෙන සමියා, මෝරා ඇතුළු මාරාන්තික රංචුව. 

      " අග හිඟ වෙන්න ළඟ ළඟ යකෝ... හහ් හහ් හහ්... අග හිඟයි, හිඟ අගයි.. හැහ් හැහ්..." 

   මෝරගෙ කුඩු කේඩු කතාවට බස බස ගාලා දෙන්න ටෝකක් ඔළුවට ටෝක් වුණත් ඒ දේ මොළය ගානකට ගන්නෙ නැහැ. මොකද මේ වෙලාවෙ වැදගත්ම දේ ආදර දූපතේ හැම අස්සක මුල්ලකම අඩිය තියන එක විතරයි. එසැණින් බිම බලාගෙන ඉන්න සොරායගෙ ශ්වේත පා තුඩු උඩ දැවටෙන සියුම් දුහුවිල්ලකට පවා සැනසිල්ලක් දැනෙනවා ඇති. මං කියන්නෙ, මගේ හදවතින් සොරායා සොරාගත්ත සැනසිල්ල! 

          " කොහොමද සොරායා, හරියටම කිව්වෙ කවියක් කියලා..."

          " නැතුව... හී හී... භයානකකං හංගන්න බැහැ." 

          " ඒත් මේක... තල කැරැල්ලක් නෙමෙයි, ආදර කැරැල්ලක් ; පුද්ගල කැරැල්ලක්.... ඒ කවිකම් කොහොමත් භයානකයි. " 

          " ආහ්... ඒ කියන්නෙ ඕකෙ තියෙන්නෙ අර එදා ආපු ගර්ල් ගැනද ? ආ...කෝ බලමු." 

 ඇත්ත තේරුම් කරලා දීලා හෘද සාක්ෂිය පැත්තකින් තියන්න පුළුවන් වුණත්... කොච්චර තේරුම් කරන්න හැදුවත් ඇසින් දුටු මේ සාක්කිය හංගන්න බැහැ. සොරායා බලෙන් ම - ඈට ම අයත් - උරුමය මගෙ අතින් උදුරනවා. කවි පද මුහුණට මුහුණ බලාගෙන ඉන්නවා. 

          " ඒ ගර්ල් ගැනවත් ක්‍රිස් ගේල් ගැනවත් නෙමෙයි මේ... මේකෙ තියෙන්නෙ මගේ සොරායා ගැන... සොරායා මුස්කාන් ගැන... ආබ්දීන් සොරායා මුස්කාන් ගැන. " 

 කිසිම ප්‍රතිනිරීක්ෂණයක් නැතුව හදවතේ නිගමනය එළියට ආවා. හෙවිල්ලක්, බැලිල්ලක් නැති - නිවීමක්, සැනහීමක් නැති හද ප්‍රදීපයෙ ගිනි දැල්වීමයි ඒ... සොරායා ඒ වචන පපු කුහරයෙන් කොහොම විඳ දරාගත්තද දන්නෙ නැහැ. කෙල්ල කෙරුවෙ එකම එක දෙයයි ; මුහුණ හැඟුම්බර ධ්‍යානයෙන් හැඬුම්බර ධ්‍යානයට හරවපු එක. ' ඕවා සුළු දේවල් ' කියලා යටි හිත පුපුරු ගහන්න හැදුවට බොක්කෙන්ම ඒකට ඉඩක් නැහැ. දේදුන්න ඇඳිලා තිබ්බ ඒ රූපෙ සැණින් මිරිඟුවකිනුත් එහාට දුවගෙන දුවගෙන ගියා වගේ... කිසිම වචනයක් - සුසුමක් - ඉකියක් නැතුව සොරායා නැගිට්ටා. අල්ලලා හද ගන්න - ඉල්ලලා හටගන්න පෙම් ඵල ගෙඩි පිටින් පාරට නැමුණත් හද රුක බලාගත් අත බලාගෙන... ඒත් අංශුමාත්‍රයක හරි ආදර ඡායා මාත්‍රයක් ඇස් අස්සෙ තියෙනවනං ආදරයට එරෙහි අන්තවාදී බලවේග කෝටියක් ආවත් ' හෙට ' දවස උදාවෙනවා. අන්න ඒකයි ඇත්ත. මට හිතෙන්නෙ මෙහෙම ; හිත කියන්නෙ එහෙම. එක වතාවක්වත් නොහැරී සොරායා ගේට්ටුවෙන් එළියට ඇදුණෙ කිසිම දවසක මේ ගස්සෙක්ක - බෙන්ච්චෙක්ක - බිම එක්ක හැඟීමක්,බැඳීමක් නොතිබුණා වගේ.... හැබැයි එක දෙයක්, කවි කොළේ ඒ අතේ! 

*---------------------------------------------------------------------*-----------------------------------------------------------------------------------------------------*

     අතේ සතේ නැතත් ඇඟේ පතේ - හිතේ අමාරු යන්න මිත්‍රයො ඉන්න එක ආස්වාදයක්! හවස තාත්තම්මව බලන්න යන්න මටත් වඩා උනන්දු චීත්තයා. මගේ නොහැකියාව හංගන මිනිහා උණු උණු ආප්ප ගෙනත් ක්‍රීම් සෝඩා බෝතලයක් එක්ක අත උඩ රඳවනවා. 

        " මඳයා, මේක ගනින්. ඉක්මන්ට යමං... ටවුන් හෝල් සයිඩ්ඩෙක නං මේ ටයිම්මෙකට නස්පුක් වෙලා තියෙන්නෙ..." 

        " උඹ ළඟ සල්ලි තිබ්බද චීත්තෙ ? "

        " නැගහං මඟුලක් අහන් නැතුව..." 

  අදාළ අරමුණට යද්දි අවශේෂ හේතු කිසිවක් අදහන්නෙ නැති - නාහෙට නාහන මේ අතීත කාලීන,දිගු කාලීන,පූර්ව කාලීන මිත්‍රයගෙ හැටි එහෙමයි. පියෑඹුව වේගෙන්ම මහ ඉස්පිරිතාලෙ  අසබඩ නවතින්න බැරි වුණත් ' පාරාදීසය ' බලන්න වගේ නෑ හිත මිතුරො බලන්න යන පෝළිමට අපිත් එකතු වුණා. හරියටම වෙලාව දැනගෙන වගේ තාත්තම්මා පෙරමඟ බලනවා. දාරක ප්‍රේමය වැදුව සියොලඟින් - මගේ ප්‍රේමය හැදුව දහිරියෙන් ම ඈ වියපත් වුණේ, හරියට දවස පවනටත් නොකියා හවස් වුණා වගේ...

      " තාත්තම්මෙ..."

      " ආ...බොලාලා ආවැයි... මේ මොනවද අප්පේ..."

 තාත්තම්මා ආසම කෑමක් වෙච්ච ආප්ප දැකපු ගමන් ඒ රස නහර පිනා යන එක ඒකාන්තයි. මටත් වඩා සතුටෙන් දැල්වෙන්නෙ චීත්තයගෙ ඇස්.

    " මොකට කරදර වුණාද කොලුවො ...කොහොමෙයි වැඩ කටයුතු ? කොහොමෙයි මයෙ පුතේ..." 

  චීත්තයට කට පුරා ' පුතා ' කියන හින්දමයි චීත්තෙ ආත්මෙන්ම තාත්තම්මට ළෙන්ගතු. 

   " මූ පිස්සෙක් වෙලා ආච්චියෙ ඉන්නෙ... මේ ගුබ්බෑයමෙන් නිදහස් වෙලා ඉක්මන්ට වත්තට එන්න." 

මගේ හිත නොකිව්ව - කියන්නම ඕනි දේ - චීත්තයා හරියටම කිව්වා. ඒ අතරෙ අවටපිටාවෙ සෙනඟ තදබද සද්ද ඇහෙන්නෙ මහා ඝෝෂාවකට අඬබෙරයක් වගේ. 

      " අනේ අම්මපා.. ඒ මක්කෙයි.. පුතාට මේ ගජ මිත්තරයො ඉන්නෙ මං නැතුවට... අනික කවදමහරි මටත් වෙනවා බොලාල දාල යන්ට..."

  දවස තිස්සෙම හිත කොනහන හේතු පිරුණ හිල් වෙච්ච තැන් තාත්තම්මා තව තවත් කූරු ගානවා. හදවතක් කොච්චරක් කියලා මෙච්චරක් ඉවසන්නද ? 

    " විකාර කියන්නෙපා තාත්තම්මෙ... තාත්තම්මට මුකුත් වෙන් නෑ, පපුවෙ අමාරුවක් කියන්නෙ බය වෙන්න දෙයක් නෙමෙයි.. බෙහෙත් තියෙනවා,දොස්තරලා ඉන්නවා... නැද්ද බං ? " 

චීත්තයා බිරාන්ත ධ්‍යානයෙන් ' හ්ම් ' න්‍යාය ඇරෙන්න වෙන භාවිතාවකට ළං වෙන්නෙ නැහැ. 

      " දොස්තරල නං ඉන්නව ඕං... එනව විනාඩියෙන් දෙකෙන් බලනව යනව. හැහ්.. කීයක් කියල ලෙඩ්ඩුද බං කොලුවො... රටම මෙතනද මන්දා. ඊයෙ රාත්තිරියෙ මෙහෙණින් වහන්සෙ කෙනෙක් ගෙනාව අමාරු වෙලා.. උන්දැට ඉඩ ගත්තෙ තව පපුවෙ අමාරුව තියෙන ගෑනියෙක්ව ඇඳෙන් බස්සල.. එහාපැත්තෙ උන්නු ගෑනියෙක් මර ළතෝනි දීලා පාන්දර මළා. හප්පේ.... එකම අපායක් මේක. "

   පාන් නැති මිනිස්සුන්ට කේක් තියා රේක්කයක්වත් නැති වටපිටාවක බිත්තියෙ උඩම ඉඳන් දත කට එළියට දාන - උඩ පැන පැන පීඩිතයට හිනාවෙන 'භාරකරු' මේ දේවල් මෙහෙම ඇහෙද්දි බිත්තිය දෙපැත්තෙන් කන් වහගෙනයි ඉන්නෙ. 

         " තව ටික දවසයිනෙ තාත්තම්මෙ... හෙට අනිද්දා දිහාට ටිකට් කපයි. වෙලාවට මේ කෑම කන්න. මාත් රෑට කන්නං, හරිද... බන්ටිගෙ පංගුව ගෙනියන්නම්. " 

   පූස් රත්නෙයි - පුත්‍ර රත්නෙයි නොකෑවොත් තාත්තම්මා තේ උගුරක් පවා තොල නොගාන එක ඉර හඳ වගේ විශ්වාසයි. සමහරවිට ඊටත් වඩා...

     " අනේ පුතේ...කොලුවට නොකා බඩගින්නෙ නං ඉන්ට දෙන්ඩෙපා. "

 ගෞරව පූර්වකව චීත්ත නේත්‍රා මත්තෙන් තාත්තම්මගෙ ඉල්ලීම ඉතසිතින් අනුමත කෙරෙනවා.

     " නෑ නෑ ආච්චියෙ...රෑට අපි සැට්ටෙකම එකට කන්නං... මඳයව ලොවෙත් තනි කරන් නෑ. " 

      " වෙලාව ඉවරයි, වෙලාව ඉවරයි.. නොකිව්වයි කියන්නෙපා..මේ පළවෙනි අන්තිම දැනුම් දීම. " 

 කෑ ගහන ටයිමිං ගිරවගෙ දත් කුට්ටම ආමාශෙට යවන්න තරම් කේන්තියෙන් ' නිම් නැති සෙනෙහස ' ටවුන් හෝල් ඉඳන් රිදෙන - දැනෙන වේගෙන් ස්වර්ණ පාරට ඇදෙනවා...

*--------------------------------------------------------------------------*-----------------------------------------------------------------------------------------------*

          ඉර ඉරලා පැත්තකට දැම්මත් එළිවෙන එක නවත්වන්න කිසිම අඳුරකට බැහැ. හැම අමාරුවක්ම බදාගත්ත නින්ද ඇඳෙන් පහළට වැටෙද්දි වෙලාව කීයද කියලා හරියටම මතක නැහැ. වෙනසකටත් එක්ක මුහුණ කට හෝදගන්නත් කලින් ප්‍රේම ස්නානය කරන්නම වෙනවා. ජංගම දූරකථනයෙන් ඉන්බොක්ස් දේවාලයක් බලාගෙන හැඟීම් මාත්‍රයක් පිළියන්දල පැත්තට සෙන්ඩ් වෙනවා. 

           " Heena wala paata athi as yatin 
             Paata wala heena athi ath yatin 
             Jeevithe Dura gaman yanna yan 
             AADAREN AADAREN AADAREN! 

             Gud mrng SORAYA..." 

 මරු! කෙටි පණිවිඩ මුදාහැරුණ වෙලාව දකිද්දි 11.13 යි. පිළියන්දලට යැව්ව හැඟීම පස්සෙන් පස්සට ඇවිත් තුම්මුල්ලෙන් ඇතුළට පනින්නැති. 11.13 වුණත් ගුඩ් මෝර්නින්.... හහ්...ඒ කතාවෙත් වෙන රටාවක් තියෙනවා.

   හුඟක් දවස් වල අන්තිම දේශනේ අන්තිම විනාඩි පහළොව ඇතුළත සරසවි සම්ප්‍රාප්තිය සිද්ධ වෙද්දි අද දවසත් මෙහෙම වුණාට මොකද ? වගේ අදහසක් ඔළුවට වැටෙනවා. නීතියේ දෙවඟනව කවුරුහරි ඇවිත් උස්සන් ගියත් නොදැනෙන තරං පාළුවක් තාත්තම්මා නැති නීති පීඨ ගේට්ටුව ඉස්සරහ දැනෙනවා. කකුල් දෙක එතැනදි මොහොතක් හිරිවැටෙනවා. ආහ්...ඇස් ඉස්සරහට ගිහින් දරුණුම බිත්තියක වදිනවා. 

   ' සුසර සහෝදරයගෙ රූපෙත්තෙක්ක මඩ පෝස්ටරයක්' 

  විශ්වාසෙ අන්තිම අඩියෙන් හිතුවත් පාලනාධිකාරියෙන් විතරක් ලැබෙන්න ඕනි දානයක් වගේ මඩ ගොහොරුව බිත්ති අතර විසිරිලා. පැය ගාණක් එක දිගට ' සුසරගෙ පින්තූරෙයි - බොරු බේගල් තොරතුරුයි - චරිත ඝාතනයයි ' දැක දැක ඇස් කීයක් නං යන්නැද්ද ? එහාට වෙන්න ඉරලා දාපු පෝස්ටර් මැද්දෙන් තාමත් හිනාවෙන බොරු  - මං ඉරන්න පටන් ගත්තා. මොහොතකින් සුසරට ඇමතුමක් ගත්තත් ඇහෙන විදිහට ' ආවරණ කලාපෙන් බැහැරව කොහේ හරි මීටිමක ඇති කියලයි ' හිතට හිතෙන්නෙ...

       බලාපොරොත්තු ගොන්නක් එක්ක කලින් ආපු තැනකට, ' එකම එක බලාපොරොත්තුවක් ' එක්ක එනවා කියන්නෙත් අමුතු කිතියක්. ඈතින් මල් කඩ කඩ - අකුරු හල් කර කර පෙම් කෙළින මොල්ලිටයි - රුමේෂිටයි අත වනාගෙනම දෙකකුල් ප්‍රේම රාජ්ජෙට! වෙලාවත් එක්ක හිතුව විදිහටම යා යුතුම තැනට - ගියාට පස්සෙ සොරායා පේන්න ඉන්නවා. දමිළ මාධ්‍යයෙන් නීතිය හදාරන යාළු මිත්‍රාදීන් එක්ක කැන්ටිමේ ඈත කොනකට වෙලා කෙල්ල හරි හරියට කියවනවා... දැන්ම එතැනට එබෙන එක නරක හින්දා " සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි - කෙල්ලෙක් නැති හැටි - මල්ලත් බර ඇති " කියාගෙන හිත විහිළුවක ගිලෙනවා. විනාඩි දහයක් පහළොවක් ගෙවෙන තැන සොරායා තනිවෙනවා. කෙල්ලගෙ වටපිට මීටරේට ප්‍රේම ඊතලේ විසිවෙනවා. එදා තරහ මෙදා පරහක් කර නොගෙන හුරුපුරුදු තාලෙන්ම මඳහස මුවග තැවරෙනවා. මැරිච්ච උමතු ආදර අපේක්ෂා උප්පත්තියක් විශ්වාස නොකරම හිත ඇතුළෙන් උපදිනවා. පුනර්භවය වගේද ප්‍රේමණීය සුළංසරය! 

         " සොරායා... තරහෙන්ද ඉන්නෙ මාත්තෙක්ක?" 

         " න්..නෑ..හිත් කොහොමත් රිදෙනවා. අපි එතනම ඉඳලා බෑනේ. හිතට මාව පාලනය කරන්න නොදී මං හිත පාලනය කරගන්නවා. " 

 ඒ වදන් හින්ට් වලටත් වඩා දරුණු සෙන්ට්ටෙකක් වගේ ඇඟ පුරා විහිදෙනවා.

         " ආහ්.. මඳහස් අයි..යා... මං අර පොත ගෙනාවා." 

  මොහොතකින් කැටයම් බෑගයෙන්  ' තුලනාත්මක නීතිය පොත ' මගෙ අතට. 

       " තරහටද ? නැත්නං ඇසයිමන්ට්ටෙක ඉවර කළාද ?" 

       " නෑ... අවශ්‍ය ටික ෆොටෝ කොපි කරගත්තා." 

 පරණ පුරුද්දට පොතක් ලැබුණම ගිසි ගිසි ගාලා පෙරළන අහේතුවට අත පිටු අතරෙ විසිරුණා. ආහ්...ඒ ෆෝ කොලයක්. 

     " ඕ.. ඕක දැන් නෙමෙයී...පස්සෙ බලන්න අයියා." 

     " මොකක්ද මේ... ලියුමක්ද ? හාහාහා..ඇයි පස්සෙ බලද්දි තව මොන මොනවහරි ලියවෙනවද සොරායා.... දැන් බලමු. " 

     " ඉන්න....මං ගියාට පස්සෙ බලන්න. "

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

                      " තනිකමේ තත්පරය එතැන 
                        මගේ මුළු හදවතම මෙතැන 

                        මහා පොදු සාධකයි සිහින 
                        මේ කුඩා නෙතු මතට නොඑන 

                        තරුවකට නින්ද යන වරුවකට 
                        ඔරුවකට නගින සඳ කුමට ?

                        නොඑන බව අවසාන තීරණය 
                        පැමිණියත් තිබෙන්නේ වාරණය!

                        වග කියන්නට මඟ ද මඟ හැරිණ 
                        එපාවෙන ලකුණු ඇත හැමතැනම... "




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »