පිපුණු මලක හැඩ දෑස සලා... සිතුම් විහඟ කැළ වසඟ කළා..!!! (නංගියා - 5)

පිපුණු මලක හැඩ දෑස සලා... සිතුම් විහඟ කැළ වසඟ කළා..!!!







වීරයාවත් කටින් ඇදගෙන යන මේ වන්දනාවේදී  හති කියලා දෙයක් නොවැටෙන එක ගැන කබරයා අලුත් පරිසරයට ස්තූති කළා. අලුත් බිමක් මත අලුත් අඩි තියන්න බය වෙන්න දෙයක් නැ. ඒත් තබන හැම පියවරක්ම හරියට තියන්න කබරා උත්සාහ කළා. මිනිස්සු උනත් ගොඩක් වෙලාවට බර අඩි තියන්න විතරයි හිතන්නේ. මේ තියන පොඩි පියවර වුනත් හරියට තියන්න හිතන මිනිස්සු අඩු ලෝකෙක උපන් කබරෙක්ද කියලා හිතන්නවත් අමාරු ගානට තබන හැම පියවරක් ගානෙම හාත්පස පරිසරය ගැන කබරා සැලකිල්ලක් දැක්වූවා. දන්න කියන පළාතක මේ විදිහට ගියානම් මේ රජ කබරෙක්මයි කියලා හිතෙන තරම් ගරු ගාම්භීරත්වයක් ඒ තුළ ගැබ් වෙලා තිබුණා. කොහොම ගමනක් උනත් නිතරම තමන් කටින් ඇදගෙන යන වීරයා ගැනත් කබරා සැලකිලිමත් වුණා. තමන්ට හති නොවැටුනත් වීරයාට කොහොමද කියලා නොදන්නා නිසාම කබරා සැලකිය යුතු දුරක් ගිහින් පොඩි විවෙකයකටත් වෙලාව වෙන්කළා.

මේ වෙලාවෙත් කබරා ටිකක් නැවතුණේ තමන්ට නැතත් වීරයාට විවේකය අවශ්‍යයි කියලා හිතුන නිසා. අලුත් පරිසරයේ පලවෙනි වතාවට කබරගේ ඇස් විවේකයක් ගත්තෙත් මේ වෙලාවෙදි තමයි. ඒ කබරටත් හොරෙන් කබරව නින්දකට වැටිලා.

 කාලය-අවකාශය මේ අලුත් පරිසරයට පැමිණි මොහොතෙ ඉදලා වෙනස් නොවෙන බව කබරට වැටහිලා තිබුණත් ඒ නින්දෙන් නැගිටපු මොහොත අලුත් අත්දැකීමක් වුණා.

 කාලය වෙනස් නොවුණත් අවකාශය වෙනස් වෙලා තිබුණා. තමන් ආගන්තුකවූ පරිසරයේ දැකපු නව දසුන කබරව පුදුමයට පත්කළා. එතනදි කබරා බය වුණා කිවුවත් වැරදි නෑ.

 පරිසරයේ අලුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් කබරා වීරයාගේ සිරුර තමන් ළඟට අරගෙන තමන්ගේ බාව එන හදීසි අවස්ථාවක් වෙනුවෙන් නිදහස්ව සුදානම් කරගත්තා.

කබරා මුලින්ම ඒ දසුන දැක්කෙ කාන්තාරෙක යන කෝච්චියක් වගේ. තව ටිකක් ලං වෙනකොට කබරා ඒක දැක්කෙ දේවාලයක පෙරහරක් වගේ. තවත් ලං වෙද්දී තමයි ඒ මිනිස්සු පිරුණ  තවත් වන්දනා නඩයක් බව කබරට තේරුම් ගියේ.

අලුතින් මුනගැහුණු මේ නඩය කබර ඇස් මානයටම ඇවිත් ඒ අසලින්ම ගමන් ගත්තත් කබරා හෝ වීරයා ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැ. ඒ වෙනුවට ඔවුන් එකිනෙකා බරපතල කතා බහකට වැටිලයි හිටියේ.

ඔවුන් හැම කෙනෙකුටම අනිකා සම්බන්ධ වුණු තමන්ටත් ඒ ලෙසටම සම්බන්ධ වෙන්න පුළුවන් කතාවක් තිබුණා. මොකුත්ම නොදන්නා පරිසරයක වීරයාගේ සිරුර එක්ක හුදකලා වෙනවද මේ අලුත හම්බුන නඩය එක්ක එකතු වෙනවද කියලා කබරටත් එක පාරටම තීරණයක් ගන්න බැරි වුණා.

“ඔහේ වලිගය පුම්බගෙන බලාගෙන ඉන්නෙ අපිට පහර දෙන්න බලාපොරොත්තුවෙන් වෙන්න ඕන.. අනේ කබරෝ... උඹ වලිගෙ පුම්බගෙන බලන් ඉන්නවා.ඒත් මෙහෙදී පහර දීලා වැඩක් නැ. මෙතන වැදගත්ම දේ සංවාදය... ඔහේ බේර ගත්ත  ඔන්න ඔය වීරයට තව රවුම් තුනක් යනකොට සිහිය එනවා..”

නඩයේ හිටපු එක් පුද්ගලයෙක් ඒ විදිහට කබරට ආමන්ත්‍රණය කළා. මේ කතාකරන්නේ තමන්ටද කියලා හිතාගන්න බැරිවුණු කබරා බාව තවත් සුදානම් කරගනිමින් තමන් ඉස්සරහ නැවතිලා ඉන්න මනුස්සයා දිහා එක එල්ලේම බලන් හිටියා.

“මොකද කබර හාමි නිකන් අන්දුන් කුන්දුන් වෙලා වගේ. මේ ඉතිහාසයේ සාක්කි කාරයන්ගේ  වන්දනාව. ඔහේ මේ ළග තියාගෙන ඉන්නෙ දැන් ටික දවසකට කලින් වෙඩි කාලා මළ මේ කාලයේ වීරයා වෙන්න ඕන. ඔහොම්මම ඔයයි වත් ඇදගෙන මේ නඩේට එක්කහු උනානම් අපිට අලුත් කතාවක් අරඹන්න තිබුණා. අපිට මේ පරිසරයේ ඇවිද්දා නැවතුනා කියලා වෙනසක් නැ. අපිත් ආව දවසෙ ඉදලා නවතිනවා, ඇවිදිනවා,කතා කරනවා.කොහොමටත් පණපිටින් ඉන්න කාලේ කරගන්න බැරිවුනු කතාව මැරුණට පස්සෙවත් කරගන්න එපැයි.. වලිගෙ පුම්බගෙන ඉන්නේ නැතුව මේ නඩේට එකතු වුනානම්”

දිගින් දිගටම ලැබුණු ආරාධනාව අන්තිමට කබරා බාරගත්තා. අර මනුස්සයා එක්කම කබරා වීරයාගේ සිරුරත් කටින් ඇදගෙන අලුත් නඩය එක්ක වන්දනාවකට එකතු වුණා.

..........................................................................................

මේ අතරෙ නංගියත් උදේම අලුත් ඔෆිස් එකට පිටත් වෙලයි තිබුණේ. උඩහ ගෙදර ලොක්කිගෙන් නංගියාට හම්බෙලා තිබුනෙ ටිකක් පරණ පහේ සාරියක්. අවුට් ඔෆ් ෆැෂන් සාරිය නංගිගේ මුණට අසතුටක් එකතු කළා. ඒත් එකපාරක් බලපු කෙනෙක්ට තව පාරක් බලන අංග එළියට එන්න නංගියා හැඩ වෙලා හිටපු නිසා ඒ අසතුට හංගලා තියාගන්න අමාරු උනේ නෑ.

මේ වෙනකොට නංගියාගෙ අලුත් ඔෆිස් එක හොදටම කාර්යබහුල වෙලයි තිබුනෙ. පලවෙනි දවසට වඩා වැඩි වෙලාවක් නංගියාට පිළිගැනීමේ නිලධාරිනිය ලගටවෙලා ඉන්න සිද්ධ වුනෙත් ඒ නිසා. පැය දෙකකට විතර පස්සේ ඇතුළට එන්න කියලා අලුත් ඔෆිස් එකේ බොස් ගෙන් නංගියාට පණිවිඩයක් ලැබුණා.

“යන්තම් ඇති මොනරට මාව මතක්වුනා”කියපු නංගියා කෙලින්ම ගිහින් නැවතුණේ බොසාගේ කාමරය ඉස්සරහා.

යන්තම් ඇරලා තිබුණ දොර අස්සෙන් ෆයිල් කවර ගොඩක් මැද්දේ මොණරා බර වැඩක ඉන්න බවක් නංගියා දැක්කා.

“මොකද එලියට වෙලා..ඇතුළට එන්න”

“ගුඩ් මොර්නින්ග් සර්... එක්ස් කියුස්මි.. අයි මේ කම් සර්”

“අයි මේ කම් නෙවෙයි, මේ අයි කම්... අන්න හැදෙන ළමයි... අන්න එහෙම එක පාරක් කරපු වැරැද්ද ආයේ නොකරන්න වග බලා ගන්න ඕන.. මොකද නිකන් බයවෙලා වගේ.. කම් ඇන්ඩ් සිට් ප්ලීස් ”

පලවෙනි දවසෙ මොනරගේ තිබුණ පැණි මුණ එදා දකින්න තිබුනෙ නැ. කොහේදෝ යන බරපතල පෙනුමක් ඒ මුණට ආරුඩ වෙලා බව නංගියා දැක්කා.

“ඔයා අපේ ප්‍රෝග්‍රෑම්ස් බලලා තියනවද? අපි තමයි මේ වෙලාවෙ ෆීල්ඩ් එකේ හොදම එක කරන්නෙ..”

“ඔව් සර්”

“මොකද හිතන්නේ ඒ ගැන?” 

“මම කැමති සර්”

“නෑ... මම ඇහුවේ අපි කරන දේ ගැන?”

“ටිකක් බලලා තියනවා සර්”

“මොනවද මෙහෙට එන්න කලින් ඔයා කලේ”

“මං... මේ..  ලෝ... ලෝ කරන්න ඉන්නේ”

“ආ... ඒක හොදයි...”

“වෙන මොනවද කරලා තියෙන්නේ?” 

“මං ටීවී ප්‍රෝග්‍රෑම් වල , එෆ් එම් වල ඩීජේ කරලා තියනවා. ඒත් මේ ෆීල්ඩ් එකට නම් අලුත්”

“හ්ම්ම්....”

“දේශපාලනය කියන්නෙ මොකක්ද?”

“සර්... මට වොෂ් රූම් එක පාවිච්චි කරන්න පුලුවන්ද?”

මොනරගේ ප්‍රශ්නෙට නංගියා සෙබඩ මතක් වෙන ප්‍රශ්නයක් දැම්මා.

“හ්ම්.. ඔය තියෙන්නේ.. යන්න”

“මේකට ?”

“ඔව්... නැත්නම් සාලෙට ගිහින් ඕක කරන්න බෑනේ”

දඟකාර හිනාවකින් මොනරට සංග්‍රහා කරපු නංගියා වොෂ් රූම් එකට ගියා. අලුතින් ආව ළපටි ගෙඩි පොඩ්ඩේ රස බලන හෙට දවස ගැන මතක් වුනු මොනරගේ මුණට හිනාවක් එකතු උණා.

“හරිද ළමයා... ගිය රාජ කාරිය ඉෂ්ට කරගත්තද?”

සාරිය හරිගස්සන ගමන් නංගියා ආයෙමත් ඇවිත් මොනරගේ ඉස්සරහ තිබුණ පුටුවේ වාඩි උණා මිසක් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියේ නැ. මේ වෙලාවෙ නංගියා බයේ හිටියේ ආයෙමත් කතාව කොතනින් පටන් ගනීද කියලා.

“මට කියන්න දැන් දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා?”

“මේ... මේ... මේ.. රට පාලනය කරන එක”

“දේශපාලන පක්ෂයක අරමුණ මොකක්ද?”

“සර්... සර්ගේ වොෂ් රූම් එක හරි සුවඳයි... මට කියන්න මොකක්ද සර් යූස් කරන එයාර් ෆ්රෙෂ්නර් එක?”

“වොෂ් රූම් විතරක් නෙවෙයි අපි ළඟ කොහොමත් සුවඳයි..”  මං ඔයාගෙන් ඇහුවේ දේශපාලන පක්ෂයක අරමුණ මොකක්ද කියලා?”

“ඇත්තමයි සර් ඔෆිස් එකක වොෂ් රූම් එකක් කියලා හිතන්න බැරි තරමට ඒක ඇතුල සුවඳයි... අපි හිටපු එක ඔෆිස් එකකවත් එච්චර සුවඳ වොෂ් රූම් තියා ඔෆිස් රූම් එකක්වත් තිබිලා නෑ”

“නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද?”

“සර් ඔයාගේ කාමරේ සඳුන් සුවදයි... තව කපුරු සුවඳකුත් එනවා.. මේකනම් දේවාලයක් වගේ... ඇත්තමයි... මට වැඩ කරන්න තියන තැනත් මේ වගේ සුවඳද සර්?”

“ජාත්‍යන්තර සාමය සහ ත්‍රස්‌තවාදය ගැන ඔයාට කියන්න පුලුවන්ද?”

“සර් ගොඩක් ආගමට දහමට නැඹුරු වුණ කෙනෙක් වගේ. ඒකනේ මේ උදේම සුවඳ දුම් පුජකරලා තියෙන්නේ. මම හරි වාසනාවන්තයි සර්... ඔයා වගේ මොණරෙක් ළග..”

නංගියාට ඊට වඩා කතාකරන්න ලැබුනෙ නෑ.

“මොකක්ද කිවුවේ මොණරෙක් ළඟ....”

“නෑ... මේ සුවඳ එක්ක සර් ඉන්න ලස්සන නිසයි එහෙම කියවුනේ... මේ කාමරේ වගේම ඔයත් ලස්සනයි.. මං මෙහෙට හරිම කැමති”

“ඔයාට තියනවා මාර  පිආර් එකක්. හරිම කලාතුරකින් තමයි කෙනෙකුට එහෙම හැකියාවක් පිහිටන්නේ... මේකෙත් ඉන්නවා එවුන් සමහරක් වැඩ කරනවා විතරයි... පිආර් එක අන්තිමයි... ඔයාට දුර ගමනක් යන්න පුළුවන්.. ඔයාට දැනට ඉන්න තැනක් පියන් පෙන්නයි... ඉතුරු වැඩ පස්සේ කියයි..”

මොණරා එහෙම කියලා නංගියව පිටත් කළා. පස්සේ තමන්ගෙ දෙවනියට කාමරයට එන්න කියලා කෝල් එකක් දුන්නා. මිනිත්තු කිහිපයක් ගතවෙන තැන දෙවනියා හිටියේ මොනරගේ කාමරේ.

“ඔයා දන්නවද අර අලුතෙන් ආව ගර්ල් හොඳ දැනුමක් තියන ළමයෙක්. එයාව අපේ සොෆ්ට් වැඩ වලට තියාගන්න. මං අහපු ප්‍රශ්න වලට අර කැම්පස් එකෙන් ආව හාදයන්ට වඩා හොඳට උත්තර දුන්නා. එක පාරම ඒ ළමයට බර එසයිමන්ට් දෙන්න එපා. ටික කලක් පුරුදු වෙනකන් මං බලන්නම්. දැනට කොමන් ටේබල් එකේ තියන්න”

“හරි මහත්තයා” කියපු දෙවනියා කාමරෙන් එලියට ගියා. ඒ යනකොටත් නංගියා මේසෙ කට්ටියත් එක්ක බර කදේකට වැටිලා.

“අපේ තාත්තා පිටරට ඉන්නේ. එස්ටෝරිකා වල එයා සොෆ්ට්වෙයා ෂොප් එකක් කරනවා. කොස්මටික් පැත්තෙන් සයන්ටිස් කෙනෙක්. මං ලෝ කරනවා. ඒත් ජොබ් එකක් නොකර ලයිෆ් එක බොරින්. මං ඒකයි මේ ජොබ් එකකට ආවෙ. එන්ජෝයි එකකටත් එක්ක”

..........................................................................................

මේ අතරෙ වීරයගෙ පාර්ටි එකේ කට්ටිය ළඟ එන චන්දෙට සුදානම් වෙමිනුයි හිටියේ. කවදත් සිදුවුණු විදිහට එදත් ඒ පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම උණුසුම් වෙලා තිබුණා.

“අපරාදෙ අර කබරා නොහිටින්න අපිට වීරයගේ මරණය හොදටම ජනතාව අතරට ගෙනියන්න තිබුණා. කොහොමටත් මගේ යෝජනාව මං ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතන්නෙ එක්සත් ක්‍රියාමාර්ගයකට අපි යන්න ඕන”

“සහෝ කියන්නෙ මරණයකින් තොරව අපිට ජනතාව අතරට යන්න බැ වගේ කතාවක්”

“ඔව්.. යන්න බෑ තමයි.. අපි මොනවද එයාලා ඉස්සරහට ගිහින් කියන්නෙ? අපි හැමදාමත් අද නෙවෙයි හෙට සමාජවාදය කියන කට්ටියක් කියලා ඒ මිනිස්සු හිනා වෙනවා. අපිට චන්ද වැඩි කරගන්න විදියක් නැති උනාම ඒ ගැන මතක් කිරීම වැරැද්දක්ද ?”

“අපි මාක්ස් ලෙනින් වාදීන් නම්, මිනී උඩින්ම අපේ ගමන යන්න ඕන නෑ. අපිට වීරයා අහිමිවීම පවා ස්වයං විවේචනාත්මකව බලන්න ඕන කියන එකයි මගේ අදහස. අපි මෙච්චර කල් කරපු දේශපාලනයේ අස්වැන්න තමයි මේ ලැබෙන්නෙ. තවදුරටත් එක්සත් ක්‍රියාමාර්ග වලට යනවට මං විරුද්ධයි.. අපි ස්වාධීනව චන්දෙට මුහුණ දෙමු”

“ඔයාට නම් සහෝ අහසෙන් පොලවට එන්න ටිකක් කාලයක් ගතවෙයි. ඒත් එතකන් පක්ෂය  බංකොලොත් වෙලා අනාථ වෙන්න දෙන්න බැ. කොහොමටත් අපි අපේ චන්ද පදනම දන්නවා. එළියේ දැනගන්න ඕන අයත් එක දන්නවා. අනික මේ තත්ත්වය එක්ක මටනම් ගමට ගිහින් වැඩ කරන්න බෑ” 

මේ වාදය අවසන් වුණේ තීරණයකින් තොරව. කොහොම උනත් ක්‍රම විරෝධී දේශපාලනය ඒ වෙනකොට ක්‍රමයේම ගොදුරක් බවට පත්වෙලා තිබුණා. පන්ති දේශපාලනය වෙනුවට මහජනයා ඉල්ලන එකට සැපයුම කරන ඉල්ලුම් - සැපයුම් වක්‍රය ඇතුලේ ක්‍රම විරෝධය එලියට එන්න බැරි වීදියට හිරවෙලා. පක්ෂයේ සමහරු මේක අඳුනගෙන තිබුණත් තමන්ව නිදහස්වාදියෙක් කියලා හංවඩු ගැහෙයි කියලා ඒ කවුරුත් නිහඩව හිටියා. ඒ නිහැඬියාවත්  ආලෝකයේ පළායාමට උදවු කළා.






ආයෙමත් සතියකින්...



පාවෙල්.









Previous
Next Post »