රනිල් - සජිත් කොයිබටද? (පිටස්තරයා - 12)

රනිල් - සජිත් කොයිබටද? (පිටස්තරයා - 12)




දේශපාලන පක්‍ෂයක් යනු පුද්ගල කණ්ඩායමක සහභාගීත්වයෙන් යුතු නිශ්චිත ප‍්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා අරගල කරන පුද්ගල කණ්ඩායමකි. සාමාන්‍යයෙන් ඒවා කේඩර හා ජනතාවාදී පක්‍ෂ ලෙස වර්ග කළ හැක. කේඩර පක්‍ෂ යනු ආකර්ශනීය ප‍්‍රභූ නායකත්වයකින් යුතු ප‍්‍රභූන්ගේ අරමුදල් මත යැපෙන ප‍්‍රබල සංවිධාන රටාවක් නොමැති දේශපාලන පක්‍ෂ වේ. ජනතාවාදී පක්‍ෂ යනු පක්‍ෂ සාමාජිකත්වය මත යැපෙන ප‍්‍රබල සංවිධාන රටාවක් ඇති ප‍්‍රබල විනයක් ඇති සාමාජිකයින් නායකයින් ලෙස පුහුණු කරන දේශපාලන පක්‍ෂ වේ. ඉහත අර්ථයෙන් ගත් කල එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කේඩර පක්‍ෂ ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවාදී පක්‍ෂයක් ලෙසත් හඳුනාගත හැකිය. 

ඕනෑම දේශපාලන පක්‍ෂයක දේශපාලන පක්‍ෂ නායකත්වයක් ගොඩනැගේ. මෙම පක්‍ෂවල දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වන්නේ දේශපාලන පක්‍ෂ නායකත්වය ස්වභවයෙන්ම කථිපයාධිකාරී බලයක් අත්පත් කරගැනීම බව රොබට් මිචෙල් පෙන්වා දේ. විශේෂයෙන් පක්‍ෂ නායකයා පක්‍ෂය තුළ බලය වර්ධනය කරගනී. ඒ හරහා සෙසු සාමාජිකයින් අවනත කර ගැනීමට කටයුතු කරයි. 

දේශපාලන පක්‍ෂයක පක්‍ෂ නායකත්ව බලය වර්ධනය වීමට බලපාන හේතු පහත පරිදි වේ. 

1. පක්‍ෂ තීරණ ගැනීම පිළිබඳ සාමාන්‍ය සාමාජිකයා ඉක්මවා ගිය බලයක් නායකයා සතු වීම. සාමාන්‍යයෙන් පක්‍ෂයක් සෑදෙන්නේ විශාල සාමාජික පිරිසකගේ එකතුවෙනි. එහිදී  ඕනෑම පක්‍ෂයක තීරණ ගැනීම පක්‍ෂ නායකයා හෝ නායකත්වය දරන කණ්ඩායම සතුය. සංකීර්ණ අර්බුද පහසුවෙන් විසඳිය හැක්කේ බහුතර පිරිසට නොව සුළු පිරිසකටය. එම නිසා තීරණ ගැනීම අතින් නායකයා බලවත් වේ. 

2. ඕනෑම නායකයෙක් බලයට පත්වීමෙන් පසු පක්‍ෂයේ තනතුරුවලට පත්කරනුයේ තමන්ට හිතවත් අය මිස විරෝධී ආකල්ප දරන අය නොවේ. එවිට නායකයාට තීරණ ගැනීම පහසු වේ. එමෙන්ම නායකයාට එරෙහිව බලවේග ක‍්‍රියා කරන විට තම හිතවත් පිරිස හරහා එම බලවේග මර්ධනය කිරීමට හැකිය. 

3. ඕනෑම දේශපාන පක්‍ෂයක නායකයෙක් වීමට නම් දීර්ඝ කාලයක් පක්‍ෂය තුළ කටයුතු කළ අයෙක් විය යුතුය. පක්‍ෂ නායකත්වයට විරුද්ධ නොවීම, පක්‍ෂ නායකයෙක් වීමට හේතුවකි. එම නිසා පක්‍ෂය සම්බන්ධයෙන් පමණක් නොව ආර්ථික, දේශපාලන, සමාජ ගැටලූ සම්බන්ධයෙන් නායකයා තුළ විශාල දැනුමක් ඇත. පැරණී සාමාජිකයෙක් වන නායකයාට නවකයින් අවනතභාවය දැක්වීමට එය හේතුවකි. 

4. නායකයෙක් වීමට සෑම අයෙකුටම නොහැකිය. එම නිසා කුමන නායකයෙක් බලයට පත් වුව ද ඔහු හෝ ඇය සෙසු අයගෙන් වෙනස් වේ. සෙසු සාමාජිකයින්ට වඩා පුළුල් දේශපාලන බුද්ධියක් ඔහුට ඇති බව සාමාන්‍ය සාමාජිකයා පිළිගනී. එමෙන්ම නායකත්වයේ ගුණාංග සෙසු සාමාජිකයින්ගෙන් නායකයා වෙන් කරයි. කේවල් කිරීමේ දක්‍ෂතාවය, වාද විවාද කිරීමේ දක්‍ෂතාවය, අවස්ථාවෝචිත බුද්ධිය නායකයා තුළ ඇති බව සාමාන්‍ය සාමාජිකයින් පිළිගනී. එම නිසා නායකයාගේ බලය වර්ධනය වේ. 

5. ඕනෑම නායකයෙකුට පක්‍ෂය තුළ පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇත. සමස්ත පක්‍ෂයේ සන්නිවේදන මාධ්‍ය භාවිතා කරන්නේ නායකයා විසිනි. ඔහු තම ප‍්‍රතිරූපය ගොඩනැගීමට මාධ්‍ය භාවිතා කරයි. එම නිසා පක්‍ෂය තුළින් පැන නගින විරෝධතා මර්ධනය කිරීමට මාධ්‍ය හරහා නායකයාට හැකිය. එමෙන්ම සෑම සාමාජිකයෙක්ම නායකයාට ළංවීමට කැමති වේ. ඒ හරහා නායකයාට තොරතුරු ලබාගත හැක. ඒ හරහා තමන්ට එරෙහිව එන කුමන්ත‍්‍රණ මර්ධනය කරයි. 

6. ඕනෑම දේශපාලන පක්‍ෂයක නායකත්වය නිරන්තරව බිඳ වැටීම පක්‍ෂයේ පරිහාණියට හේතුවන බව සාමාන්‍ය පිළිගැනීමයි. එම නිසා පක්‍ෂ නායකයින් තමන්ගේ වැදගත්කම ප‍්‍රකාශ කරන විට බුද්ධිත් බවෙන් අඩු සාමාන්‍ය සාමාජිකයින් පක්‍ෂයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා නායකත්වය පවත්වාගත යුතු බව පිළිගනී. 

7. පක්‍ෂ සාමාජිකයින් හැම විටම ක‍්‍රියාකාරී නැත. ඔවුන් ක‍්‍රියාත්මක වන්නේ මැතිවරණ කාලයේදී පමණි. සෙසු කාලවලදී සිදුකරන්නේ නායකයින්ගේ කටයුතු සම්බන්ධයෙන් අධීක්‍ෂණ මට්ටමේ සිටීම පමණි. 


ඉහතින් සඳහන් කළේ දේශපාලන පක්‍ෂයක නායකත්වය ගොඩනැගීමට බලපාන සාධකයන්ය. මීට අමතරව සමානුපාතික ඡන්ද ක‍්‍රමයද පක්‍ෂ නායකත්වයේ බලය වර්ධනයට කිරීමට හේතුවකි. සාමාන්‍යයෙන් සමානුපාතික ඡන්ද ක‍්‍රමයේදී ඡන්දදායකයින් ඡන්දය භාවිතා කරන්නේ පක්‍ෂයටය. එම නිසා පක්‍ෂ නාමයෝජනා නොමැතිව මැතිවරණයට තරඟ කර ජයග‍්‍රහණය කළ නොහැකිය. සාමාන්‍යයෙන් නායකයා නාමයෝජනා ලබාදෙන්නේ තමන්ට හිතවත් පුද්ගලයින්ටය. 

ඉහත තත්ත්වයන් ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ක‍්‍රමයට ආදේශ කිරීමේදී එක්සත් ජාතික පක්‍ෂය වැදගත් වේ. පසුගිය කාලය පුරාවටම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඉතාම දැඩි ලෙස විවේචනය විය. එය බාහිර මෙන්ම අභ්‍යන්තරික වශයෙන්ද සිදුවිය. පක්‍ෂයට පරිබාහිර විරුද්ධ පක්‍ෂ රනිල් වික‍්‍රමසිංහ පතුරු ගසන විට අභ්‍යන්තරික වශයෙන්ද එය සිදුවිය. නායකයා ඉවත් කිරීමට දරන ලද සෑම උත්සාහයකදීම සිදුවූයේ නායකයා තවදුරටත් බලය වර්ධනය කර ගැනීමයි. එමෙන්ම නායකත්වය වෙනස් කිරීමට අරගල කරන ලද අයට පක්‍ෂයෙන් ඉවත් කිරීමට පවා සිදුවිය. ඒ හරහා වේලාසනින්ම දේශපාලනික වශයෙන් අනාථ වූයේ රනිල් වික‍්‍රමසිංහ නොව රනිල් ඉවත් කිරීමට උත්සාහ දරන ලද පිරිසය. එස්.බී. දිසානායකට තමන්ගේ ජනාධිපති සිහිනය අධ්‍යාපන ඇමති ධූරයෙන් නිමා කිරීමට සිදුවිය. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය ද අහිමි කරගෙන මහඇමති ධූරයට සීමා වීමට සිදුවිය. සජිත් පේ‍්‍රමදාස නියෝජ්‍ය නායක ධූරයද අහිමි කරගත්තේය. එම නිසා හැදෑරීමකින් තොරව වැදෑරීමට ගිය සියලූම දෙනා විනාශ වූවේය. 

ඩඞ්ලි සේනානායක එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ සිටියදී ජේ.ආර්. ජයවර්ධනට බලය තහවුරු කර ගැනීමට නොහැකි විය. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන පක්‍ෂ නායකත්වයේ සිටියදී රණසිංහ පේ‍්‍රමදාසට බලය ලබාගත නොහැකි විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වයේ සිටියදී මහින්ද රාජපක්‍ෂට බලය ලබාගත නොහැකි විය. අනාගත නායකයා බලය ලබාගත යුත්තේ වර්තමාන නායකයාගෙනි. එම නිසා නායකත්වය විවේචනය කිරීමට අනාගත නායකයෙකුට සුදුසු නැත. සිදුකළ යුත්තේ වර්තමාන නායකත්වය තුළ සිටිමින් තමා අනාගත නායකයෙකුට සුදුසු බව ඔප්පු කර පෙන්වීම සහ නායකත්වය වර්ධනය කර ගැනීමයි. නායකත්වය ලබාගැනීමට අරගල කළ සෑම සටනකදීම සජිත් පේ‍්‍රමදාස පරාජයට පත් විය. දැනට වසර කිහිපයකට පෙර ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් සිංහල අලූත් අවුරුද්ද අලූත් නායකයෙක් යටතේ එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවය. එය කිසිදු විටෙක සිදු නොවිණි. කරු ජයසූරිය හරහා එය ඉටුකර ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය ද ප‍්‍රමාණවත් නොවීය. එක්සත් භික්‍ෂු පෙරමුණ හරහා ඉටුකර ගැනීමට උත්සාහ කළ ද එය ද ප‍්‍රමාණවත් නොවීය. අවසානයේ සිදු වූයේ සජිත් පේ‍්‍රමදාස වටා සිටි අරගලකරුවන් සජිත් පේ‍්‍රමදාස හැර යාමයි. එම නිසා තලතා අතුකෝරළ, රංජිත් මද්දුම බණ්ඩාර යනාදිය සමඟ තනිවීමට සජිත් පේ‍්‍රමදාසට සිදුවිය. දයාසිරි පක්‍ෂය හැරයාමේ පළමු පරාජය භුක්ති විඳින්නේ රනිල් වික‍්‍රමසිංහ නොව සජිත් පේ‍්‍රමදාසය. දයාසිරි නවත්වා ගැනීමට නොහැකි වීම සජිත්ගේ පරාජය වන අතර, සජිත්ගේ සටන දයාසිරි විශ්වාස නොකිරීමද සජිත්ගේ පරාජයකි. එමෙන්ම කරු ජයසූරියද රනිල් වටා එකතු වූයේ සජිත් පේ‍්‍රමදාස පරාජිතයෙක් බවට පසක් කරමිනි. එම නිසා නායකත්වයට එරෙහිව කරන ලද අරගලවලදී සජිත් පේ‍්‍රමදාස පසක් කළේ තමා නායකත්වයට නුසුදුසු බවය. එම නිසා නායකත්වය සඳහා යන අරගලය වෙනස් මුහුණුවරකින් ගෙන යාමට සජිත් පේ‍්‍රමදාස උත්සාහ කළ යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ අනාගතයේවත් බලය තහවුරු කරගැනීමට පක්‍ෂයක් සජිත් පේ‍්‍රමදාසටවත් ඉතුරු නොවීමය. 

රනිල් වික‍්‍රමසිංහ බුද්ධිමත්ය. හොරු වෙනුවට ගරු නායකයෙක් ලෙස පිළිගත හැකිය. ලෞකිකවාදීය. විඥානවාදී මඩ ගොහොරුවේ ලගින්නේන නැත. එසේ සිදුවනවා නම් එය දේශපාලනික උපක‍්‍රමයක් සඳහා මිස හදවතින්ම නොවේ. රනිල් වික‍්‍රමසිංහ උගත්ය. රනිල්ට සාපේක්‍ෂව මහින්ද රාජපක්‍ෂ නූගත්ය. රනිල්ගේ බිරිඳ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහය. මහින්ද රාජපක්‍ෂගෙ බිරිඳ කාල්ටන් පෙරපාසලේ අධ්‍යක්‍ෂකවරියය. රනිල් වික‍්‍රමසිංහට සැලසුම් ඇත. වර්තමාන පාලනයට සැලසුම් නැත. රනිල් වික‍්‍රමසිංහ පාලනය තුළ අනවශ්‍ය වියදම් නැත. වර්තමානයේ උත්සව පැවැත්වීමට පමණක් විශාල වියදම් ඇත. කැමති වුව ද අකමැති වුව ද ශ‍්‍රී ලංකාවේ දැනට සිටින නායකයින් අතරින් ජාත්‍යන්තර ලෝකය පිළීගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික‍්‍රමසිංහ පමණි. එම නිසා වර්තමාන පාලකයින්ට චීනය, ෂීසෙල්ස්, ස්වාසිලන්තය යනාදියේ පමණක් පිළිගැනීම ඇත. එම නිසා මිනිසුන්ගේ හදවතට කතා කරනු වෙනුවට බුද්ධියට කතා කරන නායකයෙක් ලෙස රනිල් වික‍්‍රමසිංහ සුදුසු බව සාමාන්‍ය යූ.ඇන්.පී. කාරයින් තුළ පිළිගැනීමක් ඇත. දැන් නැත්තේ රනිල් ගැන කියන කතා සහ කියපු කතා විශ්වාස කිරීම නොව රනිල් කියන කතා අසා සිටීමයි. ඒවා බුද්ධිමත් බව ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත පවා පිළිගෙන ඇත. දූෂිතයෙක් යන චෝදනාව රනිල් වික‍්‍රමසිංහට නැත. එම නිසා සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත නායකත්වය ලෙස ගොඩනැගීමට නම් අද ප‍්‍රවේශම් විය යුතුය. ජයග‍්‍රහණයන් නොමැති සටනවලට අවතීර්ණ වීම ප‍්‍රයොජනයක් නැත. එතුළින් සිදුවන්නේ  විනාශයම පමණි. එම නිසා අලූතෙන් උදා වූ අවස්ථාව නිසි ආකාරයෙන් කළමනාකරණය කොට බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතිය දියත් කරනු මිස බලය කෙටි මාර්ගවලින් ලබාගැනීමේ ව්‍යාපෘතියෙන් සජිත් මිදිය යුතුය. ඔහුට ද මෙරට සමාජය තුළ පිළිගැනීමක් ඇති බව රනිල් වික‍්‍රමසිංහ පසක් කරගත්තා සේ රනිල්ට ද පිළිගැනීමක් ඇති බව සජිත් පේ‍්‍රමදාස අවබෝධ කරගත යුතුය. එමෙන්ම මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ වත්මන් පාලනය පිළිගැනීම ක‍්‍රමිකව බිඳවැටීම සිදු වී ඇති බව දෙදෙනාම පිළිගත යුතුය. 





හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »