වාරියපොළ කුමාරිහාමි සහ සෙල්වා මීළඟ මැතිවරණයට. (පිටස්තරයා - 13)

වාරියපොළ කුමාරිහාමි සහ සෙල්වා මීළඟ මැතිවරණයට. (පිටස්තරයා - 13)




මහජන මතය තුළ සත්‍ය මෙන්ම අසත්‍යය ද ඇත. -හේගල්-

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක සියලූ බලයන්හි උල්පත ලෙස සලකන්නේ ජනතාවය. එය මහජන ස්වාධිපත්‍ය නැතහොත් ජනතා පරමාධිපත්‍ය ලෙස සරලව හැඳින්වේ. එමෙන්ම මිනිසා දේශපාලන සත්වයෙක් බැවින් තමන් අවට සිදුවන දේශපාලන සංසිද්ධීන් පිළිබඳව අදහස් පළකිරීම, කල්පනා කිරීම සාමාන්‍ය දෙයකි. එය මිනිසා සතු ස්වභාවික ගුණාංගයකි. එය කිසිදු විටක රෝගයක් වන්නේ නැත. එම නිසා දේශපාලනයද ස්වභාවික වූවකි. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක මිනිසුන්ට දේශපාලනය ගැන කතා කිරිම සහ අදහස් පළ කිරීම අයිතියක් මෙන්ම එයට සම්බන්ධ වීමට ද අයිතියක් ඇත. එය අද විවිධ ක‍්‍රියාමාර්ග හරහා සිදු කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක නම් මැතිවරණ හරහා ද එය සිදුවන අතර, ප‍්‍රචණ්ඩත්වය ද දේශපාලන බලය ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස ඇතැමුන් තෝරා ගනී. නිදසුන් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දිය හැකිය. මිනිසුන්ගේ දේශපාලන චර්යාව හැඩගැස්වීමට ආගම, පවුල, සමාජ සංවිධාන, ජනමත නායකයින්, ආර්ථික සාධක, ජනමාධ්‍ය යනාදිය අද ප‍්‍රබල මෙහෙයක් ඉටු කරයි. ඒ හරහා මහජන මතයක් ගොඩනැගෙන අතර, එහෙත් එය ජනතා හඬ නැතහොත් ජනතාව ආශාවන් ප‍්‍රකාශ කිරීම ලෙස හඳුන්වයි. කෙසේ වෙතත්  දේශපාලන වශයෙන් වැදගත් වන සිදුවීමක්, ආණ්ඩුව හා එහි ක‍්‍රියාකාරීත්වය දේශපාලන වශයෙන් වැදගත් වන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ජනතාව දරණ මතය හැමවිටම නිවැරදි නැත. තාර්කික ද නැත. යථාර්ථවාදී ද නැත. එය විශේෂයෙන් තුන්වන ලෝකයේ ශ‍්‍රී ලංකාව වැනි රටවල්වල ප‍්‍රබලව දැකගත හැක. එම නිසා පාලකයින් ලෙස තේරී පත්වන්නේ සුදුස්සන් ම නොවේ. 

නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු ප‍්‍රකාශ කළේ ‘මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරමි. එය සුරැකීමට දිවිහිමියෙන් සටන් කරමි. නමුත් ජනතා මතය හැම විටම නිවැරදි යැයි පිළිනොගන්නා බවයි.’ එමෙන්ම ප්ලේටෝ තම ජනරජය නැමැති කෘතියේ දී ප‍්‍රකාශ කළේ ‘මිනිසුන් ලෙඩක් සැදුණු විට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යන බවත් ගෙයක් හදාගැනීමට විශේෂඥ වඩුවෙක් වෙත යන බවත්ය. නමුත් අවශේෂ සෑම තැනකදීම විශේෂඥ දැනුම සොයන මිනිසා පාලකයින් තෝරා ගැනීමේදී එය පිළිබඳ අවධානය යොමු නොකරන බව පෙන්වා දේ. එහෙයින් යහපත් රාජ්‍යයක් ගොඩනැගිය හැක්කේ ‘එක්කෝ දාර්ශනිකයින් පාලකයින් වන විට සහ නැත්නම් පාලකයින් දාර්ශනිකයින් වන විට’ බවයි. 

වැඩවසම් ක‍්‍රමයක සිටි ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලනය සමග නව යුගයකට පරිවර්තනය විය. කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ හරහා පැරණි යුගයේ අවසානය මෙන්ම නව යුගයේ ආරම්භය සනිටුහන් විය. 1931 දී සර්වජන ඡන්ද බලය  හිමිවීමෙන් පසු මෙරට ජනතාව මෙරට සියලූ බලයන්හි උත්පාතකයින් බවට පත්විය. ඡන්ද බලය ලබාදෙන විට මෙරට සිටි උගත් මධ්‍යම පාන්තිකයින් ප‍්‍රකාශ කළේ ඡුන්ද බලය ලබානොදිය යුතු බවයි. විශේෂයෙන් දේශපාලන වශයෙන් මුහුකුරා නොගිය සමාජයකට ඡන්ද බලය ලබාදීම හරහා ඇතිවිය හැකි ව්‍යවසනයන් පිළිබඳ ඔවුන් මුලසිටම අවධානය යොමුකරන ලදි. එහිදී උගතුන් සහ නූගතුන් එකම මල්ලේ ලා සැලකීම සිදු නොකළ යුතු බව පෙන්වා දුනි. බර්ගර් ජාතිකයෙක් වූ ජී.ඒ.එච්. පිල්ලේ ප‍්‍රකාශ කළේ නූගත් මිනිහා බොහෝම භයානකයි. නූගත් කාන්තාව ඊටත් වඩා භයානක’ බවයි.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බලන කල සීමිත අවස්ථා කිහිපයකදී හැරෙන්නට බොහෝ අවස්ථාවන්වලදී මෙරට ජනතාව දේශපාලන තීන්දු ගැනීමේදී බුද්ධියට වඩා හැඟීම ඉදිරියට ගත් බව පැහැදිලි වේ. 1956 න් ක‍්‍රමිකව ඇරඹෙන මෙය භාෂාව, කුලය, ආගම, වර්ගය මෙරට දේශපාලනයේ ප‍්‍රධාන සාධකයන් බවට පත් කළේය. මම අගමැති වී පැය 24 ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා යැයි උදම් ඇනූ බණ්ඩාරනායක 1956 දී පෙරළියක් ඇති කළේ මෙරට ජනතාව හැඟීමෙහි තබාගෙනය. ක‍්‍රමිකව බුද්ධිමතුන් දේශපාලන ප‍්‍රවාහයෙන් එළවීම ආරම්භ වීම මෙරට දේශාපාලනය තුළ නිදහසින් පසු සිදුවිය. ජනවාර්ගික සමගිය පිළිබඳ කතා කළ ඇතැම් සිංහල හා දෙමළ ප‍්‍රභූන් දේශපාලනයෙන් ඉවත් වද්දී වර්ගය, කුලය ගැන සාකච්ඡුා කළ දේශපාලඥයින් දේශපාලන වේදිකාව අරක් ගත්තේය. 1977 න් පසු මෙම තත්ත්වය තවදුරටත් ප‍්‍රබල විය. මනාප පොරය ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ වේදිකාවේ ප‍්‍රධාන පිළිලයක් බවට පත් කළේය. නව ආර්ථීක ක‍්‍රමය යටතේ ඉදිරියට පැමිණි නව සමාජ ප‍්‍රභූන් තම ධනය තම බලය උදෙසා භාවිතා කිරීමේ ක‍්‍රමය ආරම්භ විය. ඉතිහාසය පිළිබඳ දීර්ඝව කතා කිරීම යළි යළිත් සිදු නොකර වර්තමානය තුළින් ඉතිහාසය කියවීම සහ අනාගතය තේරුම් ගත යුතු බැවින් වර්තමානය පිළිබඳ විග‍්‍රහ කිරීම ආරම්භ කරන්නෙමු. 

ශ‍්‍රී ලංකාව ධනවාදී ආර්ථිකය අනුගමනය කළ ද එය පසුගාමී ධනවාදයකි. මිනිසුන් දේශපාලන, ආර්ථීක, සමාජීය වශයෙන් මුහුකුරා ගොස් නැත. මෙම පසුගාමී සමාජය වර්තමාන දේශපාලන ක‍්‍රමය යටතේ තවදුරටත් පසුගාමී කළේ යුද ජයග‍්‍රහණයයි. යුද ජයග‍්‍රහණයෙන් පසු තරම් මෙරට දේශපාලන මිනිසා අන්ධ වූ අවස්ථාවක් සිතාගත නොහැක. ඇමරිකාව බින් ලාඩන් ඝාතනය කළ පසු ඇමරිකන් මිනිසුන් ඔබාමා දේවත්වයෙන් ඇදහූයේ නැත. වර්තමාන සමීක්‍ෂණ තුළින් පවා කියවෙන්නේ ඔබාමාගේ ජනප‍්‍රියතාවය පහළ ගොස් ඇති බවයි. නමුත් ඔබාමාට අනාගතයේ අත්පත් කරගත යුතු ජයග‍්‍රහණයක් නැත. ඔහුගේ කාර්ය අවසන් වෙමින් පවතී. නමුත් මෙරට පසුගාමී දේශපාලනික මිනිසා තනි පුද්ගලයෙක් බලය වර්ධනය කර ගැනීම සිදුකරන තෙක් නිර්ලජ්ජිතව ඉවසා සිටියේය. විශේෂයෙන් 18 වන සංශෝධනය ගෙනෙන විට මෙරට බුද්ධිමත් යැයි කියාගන්නා වාමාංශිකයින්ට, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, සන්ධාන ඇමතිවරුන්ට එහි පවතින ඛේදවාචකය පෙනුනේ නැත. 18 වන සංශෝධනයට එරෙහි වීම රට බේරාගත් පවුලට එරෙහි වීමක් සේ සැලකීය. මෙරට ඇතැම් ජනතාවද කිරිබත් කමින් උන්මාදනීයව මෙය පිළිගත්තේය.  විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම යනාදී රාජපක්‍ෂ හිතවාදීන් වන්දිභට්ට උන්මාදයක නිරත විය. එම නිසා රටපුරාම චිරං ජයතු කටවුට් ප‍්‍රදර්ශනය විය. ඒ අතර ජනතාව නිද්‍රාවට පත්විය. නැත්නම් පත් කළේය. ඒ සඳහා ගෝරිං න්‍යාය භාවිතා කළ මාධ්‍යය ද මෙරට පැවතුනි. 

ආණ්ඩු වෙනස් කිරීමට සමගාමීව මෙරට මිනිසුන් වෙනස් කරන ක‍්‍රමවේදයක් ද සැකසිය යුතුය. මෙරට සමාජය එක් මොහොතකදී ධර්ම රාජ්‍යයක් වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේලා දස නමක් පාර්ලිමේන්තුවට වැඩමවීය. ඡුන්ද පෙට්ටියට ඡන්දය දැම්මේ පාලනයක් පතා නොව පිං පතාය. එය අංජලීකරණය කොට මනසින් සාධුකාර දීමෙන්ය. උඩුවේ ධම්මාලෝක හිමි අද නැත. අතුරුලියේ රතන හිමි සහ එල්ලාවල මේධානන්ද හිමි ඇත. මේ සියලූ දෙනා සිටියද ධර්ම රාජ්‍යය නැත. නැවත වතාවක් මෙම භික්‍ෂූන් මැතිවරණයට ඉදිරිපත් වුව ද ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. උපේක්‍ෂා ස්වර්ණමාලි වැඩිම මනාපයෙන් මන්ත‍්‍රී කළේ ද මෙරට ජනතාවය. ඒ රට පාලනය කිරීමට නොව මෙගා නාට්‍යවල රඟපෑමටය. රූපලාවන්‍ය උපදෙස් සඳහාය. පබා නාට්‍යයේ දී අසාධාරණයට ලක් වූ චරිතයට ජනතාව සාධාරණය ඉටු කළේ ඒ ආකාරයටය. අනර්කලී ආකර්ශා දකුණු පළාත් සභාවට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළේය. අනර්කලී හරහා මුතුහෙට්ටිගමලා ද මෙරට දේශපාලනයේ පතාකයින් බවට පත් කළේය. දේශපාලනයේ නිළි උණ නිමා කළේ මාතර මිනිසුන්ය. එය මාතර මිනිසුන්ගේ දේශපාලන චර්යාවේ සුවිශේෂී ලක්‍ෂණයක්ය. නමුත් අනර්කලීට 8000කට ආසන්න මනාප සංඛ්‍යාවක් ද නදීශාට 11000කට ආසන් මනාප සංඛ්‍යාවක් ද මාතරින් හිමිවිය. එය ද සැලකිය යුතු ප‍්‍රමාණයකි. එමෙන්ම ජනාධිපතිගේ පුතා වූ පමණින් නාමල් ද ජයග‍්‍රහණය කරන්වන්නේය. ලක්‍ෂ්මන් යාපාගේ පුතා වූ පමණින් පසඳ යාපා ද ජයග‍්‍රහණය කරවන්නේය. මෙගා ස්ටාර් හරහා ජනප‍්‍රිය වූ මර්වින් සිල්වා ගම්පහින් 150000 කට ආසන්න ප‍්‍රමාණයක් දිනන්නේය. මිනිසුන් එකල පැවසුයේ මර්වින් මෙගා ස්ටාර් වලදී කියන්නේ මාර කතා කියලාය. මර්වින් ජනප‍්‍රිය කළේ සෝමා එදිරිසිංහගේ ස්වර්ණවාහිනිය හා පබාගේ කුක්කුය. එනිසා මර්වින් ද ගොඩ ගියේය. තව ඉතිරිව ඇත්තේ පුතාලාගෙන් මර්වින්ගේ පුතා පමණි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔහු ද එනු ඇත. ජනතාව ඔහු ද පිළිගනු ඇත. මොනවා වුණත් ඒවගේ එව්වොත් ඉන්න  ඕන. ජනතාව කියන්නේ එසේය. ඡන්ද කාලෙට අන්ධ කර දෙන තෑගිබෝග නිසා ජනතාව වෙනස් කිරීම අපහසුය. ෆ‍්‍රයිඞ් රයිස් ආහාරයට ගෙන නැති මිනිසාට එය දිව්‍ය භෝජනයක්ය. නිකම් දෙනවා නම් නයි පෙන වුණත් චුයිංගම් ලෙස යැයි සිතා කන පුරවැසියන් සිටින රටක අපි ජීවත් වන්නෙමු. ජනාධිපති මැදුර ජනාධිපතිවරණ සමයේදී ජනතාවගෙන් පිරී ගියේ එය ජනතාවට දැක ගැනීමට ඉඩ සැලැස්වීමට නොව තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට බව තේරුම් ගැනීමට තරම්වත් ඇතැම් ජනතාව බුද්ධිමත් නැත. ජාතික ධනයෙන් මංකොල්ල කෑ මුදල්වලින් ලබාදෙන ජරාව ගිලිමින් තම වරප‍්‍රසාදය සඳහා පමණක් කටයුතු කරන ගණින්නාන්සේලා ද මෙරට ජනමතය පාලකයින්ට ගැළපෙන ආකාරයට ගොඩනගයි. එම නිසා සුද්දා විනාශ කළ ඌව ගොඩනැගුවේ රාජපක්‍ෂවරු බව පුන පුනා ප‍්‍රකාශ කරයි. එහෙව් ගණින්නාන්සේලාට ජනතාව සාධු කියයි. කුඩුකාරයින්, ව්‍යාපාරිකයින්, මාතෘභූමියට පේ‍්‍රම කරන්නන්, නළුවන්, නිළියන්, බඩුකාරයින්, සංවේදී නායකයින්, ධර්ම රාජ්‍ය ගොඩනගන භික්‍ෂූන් සියලූම දෙනා අවසානයේ පාර්ලිමේන්තුවට පත් වී ඇත. පළාත් සභාවට පත් වී ඇත. නමුත් ඛේදවාචකය උගතුන් නැත. ඔවුන් පැමිණෙන්නේ නම් එය ද ජාතික ලැයිස්තුවෙන්ය. නමුත් ඉන්දියාවේ කැබිනට් මණ්ඩලයේ බහුතරය උපාධිධාරීන්ය. 

ඌව පළාත් සභාව තුළ එක්සත් ජාතික පක්‍ෂය යම් ප‍්‍රගතියක් අත්පත් කරගත්තා යැයි සිතමු. ඒ කුමක් නිසාද? එයට බලපාන ප‍්‍රධාන සාධකය ආණ්ඩුවේ දූෂණ වංචාම පමණක් නොව හරින් ප‍්‍රනාන්දුගේ ජනප‍්‍රියතාවයයි. යළිත් සිදුවන්නේ පෙර සිදු වූ දෙයමය. බුද්ධිය වෙනුවට හැඟීම භාවිතා කරන මිනිසුන් ජනප‍්‍රියතාවය දෙස පමණක් බලා කටයුතු කිරීම සිදුවනු ඇත. එම නිසා ඌව පළාත් සභා මැතිවරණයට අතුරුදහන් වී නැවත හමු වූ කුරුණෑගල පිරිමි දරුවා සහ ගැහැණු දරුවා ඉදිරිපත් කළ ද ජනතාව ජයග‍්‍රහණය කරවනු ඇත. එසේත් නැත්නම් කාන්තා අසාධාරණයට එරෙහිව වාරියපොළ බස්නැවතුම්පොළේ නැගණිය හෝ කාන්තාවන්ගෙන් අසාධාරණයට ලක් වූ පිරිමින් වෙනුවෙන් ‘සෙල්වා’ ඉදිරිපත් කර බලන්න. ඒ්ත් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. අපේ රටේ දේශපාලනය ඒ ආකාරයෙන් සිදුවේ. නමුත්  ඕනෑම සමාජයක බුද්ධිමතුන් සිටී. ඔවුන් නිහඬව ඉවසමින් කටයුතු කරයි. ඇතැම් විට ඉවසීම යනු වෛරය ගබඩා කිරීම ද විය හැකිය. සාමාන්‍ය ජනතාව සබුද්ධිමත් කරමින් ඔවුන් ගොඩනැගිය යුතුය. එය කළ හැකිය. 



හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »