පෙනහලු ආදරෙන් පිරුණම උපදින හුස්ම හරි රස්නෙයි! - 13වන හෝඩිය.

පෙනහලු ආදරෙන් පිරුණම උපදින හුස්ම හරි රස්නෙයි!



 


13වන හෝඩිය.



මුළු ජීවිතේම කොලයක් උඩට අරගෙන කාඩ් කුට්ටමක් අතුරන විලාසෙන් ඔහේ විහිදුණ මනස්ගාතයන් හදවතට උනන්න පටන් ගත්තා. සිතුවිලි ' මේඝ දූතයක් ' වෙලා දරුණු වැසි වස්සන්න - අකුණු සර වද්දන්න හිත් අහුමුලු කොණට අනිනකොට දේව දූතයො ඉන්නෙ හැංගිලා ; ප්‍රේම දූතයා තනිවෙලා.

               " නොඑන වග අවසාන තීරණය 
                 පැමිණියත් තිබෙන්නේ වාරණය "
  
     නැවත නැවත ඇස් සොරායගෙ පැතලි අකුරු අතරෙ වැතිරි වැතිරි ඉන්නයි කල්පනාව. ආවත් වාරණයක් තියෙනවා කියන්නෙ පුද්ගල වාරණයද ? සමාජ වාරණයද ? කියලා හරිහැටි තෝර බේර ගන්න බැරි කාරණය ඉන්නෙ පණපිටින්...අවසාන තීරණය උන්නෙ මියැදෙමින්....

    බයක් සැකක් නැතුව අදින්න පුළුවන් වදන් තුරුම්පු හැට හුටාමාරක් ළඟ තියාගෙනත් ගොළුවෙක් වෙලා ඉන්න එක මොන තරම් හිසරදයක්ද ? ගතවෙන මොහොතෙ පෙම් අස්වැන්න වෙනුවෙන් පිළිතුරු බතක් මාළුවක් නොඉදෙන හදවත් මුළුතැන්ගෙයක බඩගින්න ගැන සොරායා දන්නැද්ද ? බඩගින්න විතරක් නම් මදැයි...ලැව්ගින්න..ලව්ගින්න!  " එපාවෙන ලකුණු ඇත හැමතැනම " කිව්වත්, එපාවීම ම " එපා නොවීම " වෙන්න බැරිද ? දිගින් දිගටම - දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම " මඟින් මඟටම ඕනි " කියන කාරණයෙ වෙනත් මුහුණුවරක් වෙන්න බැරිද ? සමාලිගෙ වැලඳගැනීම දැක දැකත් - ඒ ගැනම කිය කියා හරි මං වෙනුවෙන් කොලයකට හුස්ම එකතු කිරීම ම " ආදරය " නෙමෙයිද....? වටයක් දෙකක් කැරකැවෙනවා වෙනුවට එකම තැන ඉඳගෙන තැනින් තැන සෙනඟ පිරුණ ජිම් කැන්ටිමේ කාත් කවුරුත් නැති තනිකඩයෙක් වචන දිගේ මඟ හැරුණ ජීවිතේ හොයාගෙන යනවා. කොහෙදි හරි - කොතැන හරි වැරදීම වෙච්ච විදිහටම බලාගෙන ඇති කියලා හිතාගෙන ආදර සෛල මොළ කුහරය දිගේ එළියට පනිනවා. සුවහසක් පටක සෙනෙහස් නවාතැන් පද්ධතියක් නැති ' සම්පූර්ණ ජීවියෙක් ' කොහෙද ඉන්නෙ කියලා හදවතේ හරි මැදින් අහනවා. 

              " හෙහ් හෙහ්...කොනකපාල මොකෝ සයිඩ් ගහල...සරුංගලේ නූල කඩාගෙන ගියාද ? නැත්තං නූලත්...හෙහ්..හෙහ්..." 

 ඔළුවෙ - පොළොවෙ බල්ටි ගහන ප්‍රශ්න පිට ප්‍රශ්න අස්සෙ තවත් ප්‍රශ්න පත්තර ; ඇවිත් ඉන්නෙ මෝරා.  

              " දැක්කද නැද්ද දන්නෑ එක එක එව්වා සුසර කොරන්න ගිය උන් තුම්මුල්ලෙ මුළු තුනේම බිත්ති වල ඉන්නවා. හෙහ්..පරිස්සමින් හිටපං. අපි යථාවාදී තථාකාරී එවුන්. ළඟදිම උඹේ භාණ්ඩෙත් සුසර වෙන්න පුළුවන්. " 

   මෝරගෙ අවදානම් සහගත වචන වලින් කෙලින්ම කියැවෙන්නෙ සුසරගෙ චරිත ඝාතනයට මඟ පෑදුව ' මඩ පෝස්ටරේ ' ගැන. අවදානමට පෙර සූදානම කර තියාගෙන වචනයක් දෙකක් මගේ මුවගින් - සැරෙන් උඩ පනිනවා. 

           " මඩ ගහනවා කිය කිය එක එකා යවන පුස් පඩ වලට මතවාද නවත්තන්න බැහැ..ඒක එහෙම වෙනවනං අරලිය ගහ මන්දිරේ ඉඳගෙනත් විප්ලවේ කොරන්න පුළුවන්...අන්න ඒක දැනගනින්. " 

            " රට ජාතිය පාවල දෙන උන්ට මොන විප්ලවද යකෝ..." මෝරා හැමදාමත් වගේ අන්තිමට නවතින්නෙ ජාතිවාදී ඉතිහාසෙම පිටුවක් උඩ. 

            " මේ කැන්ටිමේ මේසයක් උඩට නැඟලා වටේ ඉන්න කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අහපන් වේල් තුනම කනවා කියන්නෙ බත් පතක් ලෙව කන එකටද කියලා... එකම ඩෙනිම සති දෙක තුන පට්ට ගහන්නෙ ආතල් එකටද කියලා අහපන්... කෙල්ලො පෑඩ් පැකට්ටෙක පවා ගන්නෙ ඉබ්බා ගහන සොච්චමෙන් නෙමෙයිද කියලා අහපන්... කඳු ගණන් ෆොටෝ කොපි වලට - ඇසයිමන්ට් ප්‍රින්ටවුට් වලට සල්ලි එවන්නෙ උසස් අධ්‍යාපන ඇමතිද කියලා අහපන්... ගෙදර යනකොට මඟ බලාගෙන ඉන්න අම්මගෙයි තාත්තගෙයි තුට්ටුව අරන් කොළඹ එනකොට ගෙදර ඉන්න පොඩි උන්ගෙ බඩගින්න ගැන හිතලා පපු හිරවෙන්නෙ ජනාධිපතිගෙද කියලා අහපන්...ඊට පස්සෙ වරෙන් රට ජාතිය ගැන කතා කරන්න. මං ලැහැස්තියි ඒ ගැන එළිවෙනකං හරි කතා කරන්න. 

*-----------------------------------------------------------*------------------------------------------------*---------------------------------------------------------------*

            එක දිගට මඟ හැරෙන ලෙක්චර්ස් පිටු ගණන් පිරිලා තිබුණත්, ඇටෙන්ඩන්ස් අන්තිම අඩියෙ අන්තිම තැන හිටියත් හිත වැඩිපුරම ළතැවෙන්නෙ ' ප්‍රේමයේ බිංදුව ' ගැන. සීයට පනහක් හරි ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නකොට තඩි ' බිංදුවක් ' අත් දෙකට ලැබෙනවා කියන්නෙ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලටත් වඩා බරපතල වලක්. ඒ වලේ වැටෙන දැනීමට පුළුවන් මිනිස්සු පණපිටින් පුච්චන්න...පිච්චිච්ච හදවත් හංගන්න. 

         වස්සානයක් පේන තෙක් මානයක නැතිව වුණත් වැටෙන මහා වැසි මැද්දෙ මගේ බලාපොරොත්තුව - අපේ බලාපොරොත්තුව කොළඹ ජාතික රෝහල ඇතුළට දිවෙනවා. චීත්තයගෙ වස්තුව උඩ පොට්ටයා එක්ක කදයක් දාගෙනම තාත්තම්මව ගෙදට්ට ගේන්න එකම පුත්‍රයා හැටියට මං සූදානම්. 

             " ෂුවර්ම ද බන්ස් අද ටිකට් කපවයි කියල..." 

             " පොතේ හැටියට එහෙම වෙන්න ඕනි. බලමු. " 

             " හෑ..නැත්තං තොපි අහවල් මඟුලටද මේ මාවත් ඇදගෙන යන්නෙ...තොපේ බල කිරීමට නං නෙමෙයි මං එන්නෙ. ආච්චි හින්දා අපායට හරි යන්න රෙඩී. හහ් හහ්... දන්නවනෙ ඉතින් කිව්වොත්... ආදරේට බොක්ක තමයි." 

  පොට්ටයගෙ කලබල වචන- දෙපාරක් නොහිතන තේරුමක් ඇති වචන පාසල් ඉතිහාසෙ ඉඳලම ඔය විදිහයි. කොච්චර ගින්දරක් උඩ ලිප ගිනි මෙළෙවුවත් 
මිනිහා සීතලයි. එච්චරයි!  

            " දැන් මොකෝ බං මලාගෙ තත්වෙ..? "

මලායියට වුණ ඇබැද්දිය ගැන මේ දවස් වල වැඩියෙන්ම කරදර වෙන්නෙ පොට්ටයා. 

          " තත්වෙ හුටු හුටු තමයි බං. දැන්නං මටත් මේ රෙද්දවල් ඇතිවෙලා තියෙන්නෙ...බලමු..කෝ. එකම එක පොටක් තියෙනවා. ඒක පත්තු වුණොත් මලායියා එළියෙ. නැත්තං ඉතින් මාත් ඇතුළුව හැත්ත බුරුත්තම සෙත්තපෝච්චි..." 

          " මොකක්ද බං ඒ පොට ? "

ඉවසීම නැතිම තැන් වලදි දෙයක් ' දැනගැනීම පිණිස ' හොට ඉස්සරහට පනින එක කිසිම පොටකින් නවතන්න බැහැ. සාමාන්‍ය ඕපෙකට එහා ගිහින් හරියට පොතක් ඒම් කරලා හොයාගෙන කියවන්න තියෙන ඇම්ම වගේ. 

            " මේකයි. සේනාධිපති ලොක්කගෙ ගෙයිනෙ ඒ කාලෙ මලායියගෙ බඩ්ඩ වැඩ කළේ. ඔය ඉතින් දන්නැද්ද එක එක හුටපට..පට පට..හහ් හහ්..කොට කොට...ඔය එව්ව මෙව්ව මලායියා හරියටම දැනන් හිටියත් ගෑනිව මාළිඟාවට යවන එක නැවැත්තුවෙ නෑ. ඒකිත් එළියෙන් භවන වගේනෙ. ගැලෙව්වම අවන ; ඒක වෙනම දෙයක්. අනික සේනාධිපතියා සතා, ඒක ලංකාවම දන්නවා. මොකෝ ඕක මලායියා දන්නැද්ද...දන්නවා. ඒත් ඌ එකෙක්ටවත් නැවෙන් නැති එකා...හැබැයි ගෑනි නැවෙන එක නැවැත්තුවෙ නෑ. "  

    පොට්ටයා ඉවසුම් නැතුව ජාතක පොත් වහන්සෙ එක හුස්මට කියවනවා වගේ විදග්ධ වහරෙන් - වචන මහාප්‍රාණෙට බර කරලා එක දිගට - හරඹේ යෙදෙනවා. 

            " මොනව වුණත් වත්තම දන්න කාරණයක් තියෙනවනෙ. ඒක උඹලත් දන්නවා. රෑ දෙගොඩහරියෙම මරා ගත්තත් උදේට දෙන්නා හුරතල් හනිමූන් ජෝඩුව. හහ් හහ්... වටේ ගිහින් කැටේ උඩටම පුරව ගත්තත් ගෑනි පපුවෙන්ම ප්‍රේමෙ මලායියට. ඒ ගැන වටේ උන් දන්නෑ. උඹලා බොකු හින්දා මං කියන්නෙ. දවසට දහ වතාවකට වඩා ස්පොට්ටෙකට කෝල් කරලා ඒකි උම්මා උම්මා ගානවා. ඒ වෙලාවට බලන්න ඕනි උගෙ මූණ. සූස්ති - පැණි කැලේ යකෝ. දවසක් ඌ නැති අතරෙ ඉස්සුවෙ මං. සිරාවට ඒ වොයිස්සෙකට පයිප්පෙ පිරෙනවා ඕයි...හහ්...සේනාධියා බල බල ඉඳියි."  

             " දැන් උඹ කියන්නෙ සේනාධිපතියා මැදිහත් වෙලා ගෑනිගෙ දොල දුක නිවලා මලායියව එළියට ගනියි කියලද ? " 

 කතන්දරේ කොතැනින් හරි ඉවරයක් වෙන්න ඕනි හින්දා ඉතිරි පිටුව කැමැත්තෙන්ම මං පෙරලනවා. චීත්තයා නිහඬවම සියල්ල අහගෙන - බ්ලොක් යථාර්ථය මැදින් රෝද තුන හසුරුවනවා. 

           " නැතුව යකෝ. ගෑනි ගිහින් ලොක්කට සාත්තුව එක්ක සත්තම දාන එක දානවා. හැබැයි ලෝකෙට හොරෙන්. ඕක නොකළොත් මට ඉජු ඉජු කියපන්. අන්න අරකි සාක්ෂි. " 

 ඔඩෙල්ලෙක ඉස්සරහ කිටි කිටියෙ දත් කුට්ටම ඉස්සරහට දාන ' ඔටාරා 'ව පෙන්වලා පොට්ට දත් සැට්ටෙක විරාමයක් ගන්නවා. 

           " හම්මේ...එළියෙත් වැහි, ඇතුළෙත් වැහි. ඇති යාන්තං කරුමෙ නැවතුණා..." 

චීත්තයා ඉඳලා ඉඳලා කතා වස්ත්‍ර නිර්වස්ත්‍ර කරනවා. 

           " හා හා..තුන එළවහන් දෙක උඩ නොදා...මං තොට නෙමෙයි මඳයට කිව්වෙ..." 

   දෙපිට කැපෙන වචන - එපිට මෙපිට වැස්ස - හතර වටේ කුණු කන්දල් - පැත්ත ගියත් අතටම එන ඇත්ත අහගෙන දෙසවන පුරවගෙනම තාත්තම්මා දිහාට දෙනයන ඇදෙනවා. සිතුවිල්ලෙ පූර්ව නිගමනය හරි. තාත්තම්මට ආයෙමත් සුපුරුදු සැනසුම් නවාතැන හොයාගෙන එන්න පුළුවන්. 

           " දැනුයි බං කොලුවො ඉන්තේරුවෙන්ම හුස්ම ගන්නවා කියලා දැනෙන්නෙ.. මම ලොකු දොස්තර මහත්තයැන්ටත් කිව්වා ඉස්සරහට උදව්වක් ඕන්නං මයෙ කොලුවා ඉන්නවය, පුතා ඉස්සරහට පෙරකදෝරුවෙක්ය කියල..." 

           " හහ්...හහ්...තාත්තම්මටත් විකාර. එව්වා මොකටද ? කෝ කෝ...යමු. දෙන්න ඔය බඩු ටික." 

  ජීවිත කාලෙම වෙච්ච අකරතැබ්බ - වේදනා විඳ දරාගැනීමේ ප්‍රමාණෙ ඉක්මවා හැමදේම දරාගත්තත් තවත් දේ දරන්න පුළුවන් මනසිකාරයෙන් තාත්තම්මා පණ ලබලා. පොට්ටයගෙ බ්‍රේක් නැති දත් සැට්ටෙකයි - චීත්තෙගෙ ඉඳලා හිටලා එබෙන වදන් මාලාවයි තාත්තම්මගෙ කතාවට ඉඩ දීලා මුනිවත රකිනවා. 

          " හප්පේ දැන් ඇහැකි හිතේ හැටියට හුස්මක් කටක් අරන් ඇලවෙන්න. මොන ලෝකෙ වැටිලා හිටියත් වත්තෙ තියෙන නිදහස කොහෙවත් නැහැ බං. බොලාලෑ මූණු දැක්කම මැරිච්ච උන්ටත් පණ එනවා. ඒ තරං ශ්‍රියාවන්තයි. ඒකට එතන. හුස්ම වැටෙන උනුත් මැරෙනවා බං, අන්තිම සවුත්තුයි සැලකිලි. මට මතක් වුණේම බුදුහාමුදුරුවො පූතිගත්තතිස්ස තෙරණුවන්ට සැලකුවයි කියන කතන්දරේ... එව්වා පොත් වල විතරයි බං. "

          " හරි හරි දැන් හරිනෙ...තාත්තම්මා පරිස්සමට ඉන්න ඕනි...හරියට කෑම ටික කන්න ඕනි. අද ටුඩේ ස්පෙෂල් ඉඳිආප්ප. තාත්තම්මා ආසයි..නේ. " 

රාත්‍රී ආහාරයට අවශ්‍ය වියදම චීත්ත ගිණුමට බැර වෙලා - ඒ ගෙදර අපි හැමෝම වෙනුවෙන් ඉඳිආප්ප තැම්බෙන එක අදහන්න වටින දෙයක්. වත්තෙන් ලැබෙන හොඳම දායාදෙ තමයි මේ එකමුතුකම! 

          " හම්මද බොල...ඒක යසයි. මයෙ පුතේ මාව ඔයි සුවර්ණ බෝධිය ගාවින් බස්සන් යමු. ඔක්කෝටම කලියෙන් හිත නිවාගන්න ඕනි බොලේ. කැවුත්තම රත් වෙලා. බොලාලා යමව්...මං වැඳලා කොරලා එන්නං. " 

තාත්තම්මගෙ සම්ප්‍රාප්තිය හිතට සැබෑ සහනයක් ගේනකොට හෙට දවස උදාවීම සම්බන්ධව පෙරටත් වඩා ආසාවක්, කනස්සල්ලක් මිශ්‍ර හැඟීමක් නාඩි වල තැවරෙනවා. මං හිතන්නෙ දැන් ඇඟ පුරාම දුවන්නෙ ඒ දැනීම වෙන්න ඕනි. ආදරය...! 

*--------------------------------------------------------*------------------------------------------------*------------------------------------------------------------------*

          සරසවි වරම් ලබලා ඇතුළට ආවොත් ජීවිතේ හොඳම කාලෙදි වැඩියෙන්ම දැනෙන තැන වෙන " කොළඹ සරසවියෙ " හැම අස්සක මුල්ලකටම කතාවක් තියෙනවා. කණින් කොණින් ආරංචි වුණ දේවල් වගේම ඇහින් වටින් පිටින් දැකපු දේවලුත් ඒ අතරෙ ප්‍රධානයි. අද වෙද්දි දේශපාලනික ක්ෂානර සංහාරයකට - ඉඩෝරයකට නතු වෙලා හිටියත් ඒ දවස් වල " දයා පතිරණ "ලා නිතර සැරිසැරුව අවකාශ මේ බිත්ති අතරෙ රැඳිලා තියෙනවා. ඇණ ගහද්දි දැනෙන වේදනාව අහන්න ඕනි යේසුස් වහන්සෙගෙන්ද ? සවුදියෙ තනිවුණ ගැහැනියකගෙන්ද ? නැත්නම්... "ත්‍රිමා"ගෙන්ද කියලා අහන්න වගේ වෙලාවකට සරසවිය සාංකාවෙන් හෙලවෙනවා. ' තුම්මුල්ල මොන්ටිසෝරිය ' තව දුරටත් මොන්ටිසෝරියක් නොවෙන වග හරිම තැනින් මං කියන්නං ' වගේ ඉඳලා හිටලා හමන දැඩි සුළඟකින් ලයිබ්‍රි බිත්ති කැළඹෙනවා ; ඒ යාපනේ ඉඳන් කොළඹ ආව ' දෙමළ සුදා 'ගෙ හඬ. ඔය වගේ අමුතු අද්භූත ඇත්ත දේශපාලන කතා - ආදර අන්දර - වැළපීම් සැනසීම් සෙනෙහස් කතන්දර බාගෙට බාගයක් උපදින්නෙ හවස් යාමෙ. බොරු නං ඇතුළට ඇවිත් බලන්න. හැබැයි මතක ඇතිව " හදවතක් " එක්ක එන්න... අතීතෙ මිහිදන් වුණාට සිහින මියැදෙන් නැහැ! 

              " සහෝ..." 

එදා බිත්තියෙ නොහිටිය ' සුසර ' අද  දෑස් ඉදිරියෙ. මං කියන්නෙ ' ඇත්ත සුසර.' 

              " මං කලින් සහෝදරයට ගත්තා ගත්තා.. ෆෝන් වැඩ නැහැ. දන්නවා නෙහ් සිද්ධිය ? "

ඒ අවකාශයට විවර මුහුණ - නිකැළැල් සුසර සිනහව - නිර්මල කතාව මතධාරී සමාජවාදියෙක්ට ගැළපෙන්නෙ නැති තරම්... නැහැ! ඒ රටාව වඩාත්ම හොඳින් ගැළපෙන්නෙ සමාජවාදියෙක්ට! 

             " හ්ම්ම්...ඔය දේවල් අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඕන සහෝදරයා... මතකයිනෙ සේතුංගෙ කතාව..."

       වෙන හාදයෙක් නං මඩ ගැහුව මිනිසුන්ගෙ මව් පාර්ශවයන්ට කිවිසුම් යන්න වැඩ කරන්න හදයි, ඒත් සුසරට මතක මා ඕ සේතුං ව. "  අප අපගේ සාර්ථකත්වය මනින්නේ මිතුරන්ගේ මල් වලින් නොව, සතුරන්ගේ ගල් වලිනි..." කියන කතාව හෙටත් පණපිටින් කියලා දැනෙන්නෙ මෙහෙම සිද්ධි වලදි. 

            " ඇතුළෙන්ම තමයි සුසර සහෝ මේවා කෙරෙන්නෙ...කොයිකටත් උඹ අම්බානක ප්‍රවේසම් වෙයන්. මේ කිසිම දේකට සැලෙන්න ඕනි නැහැ." 

   සුපුරුදු විදිහටම රළු නොවෙන හිනාවෙන් මුහුණ පුරවගන්න සුසර දැඩි හුස්මක් හෙළලා ඈත බලනවා...මට මෙහෙම දෙයක් දැනෙනවා. ඉවසීමෙ කලබලය ළඟයි, සැනසීමෙ අරගලය දුරයි....

*-------------------------------------------------*-----------------------------------------------------------------*-------------------------------------------------------*

       කවියෙන් කවිය - එකට එක පෑහුණාම 'ප්‍රේමයට' කොහොම හරි - කොතැනදි හරි ඇත්තටම මොකද වුණේ ? වගේ අපබ්‍රංසෙකින් හිත යංශයක් වෙලා. ඇලපිලි - පාපිලි - ඉස්පිලි හොය හොය දුවන හෝඩියක 'කවියෙක්' කවියක් එක්ක අතරමං වෙලා. අතරමඟ තනිවෙවී විඳවනවා වෙනුවට මට ඕනි සොරායා එක්ක හවුලෙ අතරමං වෙන්න...දැන් වෑයම ඒකට.

             " හෙලෝව්... සොරායා... කොහෙද ඉන්නෙ?"

             " ම්ම්ම්... දැන් නං ආට් එක පැත්තෙ අයි..යා... ඇයි එක සැරේ ?"

             " මට කතා කරන්න ඕනි"

             " මො...මොනවද ?"

             " ජීවිතේ ගැන "

             " ඇයී ? "

             " ජීවත් වෙන්න."

             " ඒ කියන්නෙ..."

             " ආදරේ කරන්න "

             " ආදරේ කියන්නෙ ? "

             " ජීවිතේ..."

             " පිස්සුද අයි..යා.."

             " නෑ...හැටි. "

             " හැටි කියන්නෙ ? "

             " පිස්සු "

   දෙවතාවක් නොහිතා එක සැරේ හුස්ම අරන් දමලා ගහන එක සොරායට කොහොම වැදුණද නිච්චි නැහැ. ඒක හඳයගෙ මුල් කාලීන ටෙලි පිටපතක් වගේ අමුතු කිතියක් තියෙන රෝමාන්තික සින්ඩ්‍රෝමයක් හැටියට දැනුණද ? අජිත් තිලකසේනගෙ කෙටි කතාවක් වගේ කියවලා අවුරුදු ගාණක් ගියාට පස්සෙ දැනෙන ' ඇත්ත රහ ' විදිහට ' එකපාර ' දැනුණද ? මට අනුව දමිළ සිනමා රජ්ජුරුවො ; ඩිරෙක්ටර් බාලාගෙ සිනමාපටයක වගේ හැම තත්පරයකම ජීවත් වෙනවා කියලා දැනුණද ? කියලා හිතාගන්න බැහැ. සමහරවිට මේ මොන විදිහකටවත් නොදැනුණා වෙන්න පුළුවන්. ඒත් ' ශාරුක් ඛාන් ' න්‍යායෙන් ඔබ්බට ගිහින් ' නානා පටේකාර් ' විධි ක්‍රමයෙන් ජීවිත රඟ මඬලෙදි මේ හිත ටච් කරනවනං සොරායට ඒ ඇත්ත දැනීම දැනෙන්න පටන් ගනියි.... මොකද පෙනහලු ආදරෙන් පිරුණම උපදින හුස්ම හරි රස්නෙයි! දැඩියි...ඒකයි. 

                          සිතුවිලි ක්ෂීර සාගරේ කළඹන උපේන්ද්‍රයා වගේ ඉඳලා, දැනෙන මොහොතක සමාධිය පවා දෑසට නිදහසක්. හරිහැටි උත්තර නොලැබුණු කනස්සල්ලට ප්ලේන්ටියකින්වත් සහෝදර භාවයක් ලැබෙයිදෝ කියලා හිතන දෙපා ඉල්ලන්නෙ කැන්ටිම. දෙතොල් ඉල්ලන්නෙ තදියම. වැඩිදුර ප්‍රමාණයක් ඇදෙන්න කලින් ලයිබ්‍රිය අසබඩින් කැන්ටිම දිහාට එන්නෙ සොරායා. මේ ලියන දැනීම ඒ මොහොතෙදි දැනුණෙ මේ හැඟීම හැටියටමයි. වේදනාවක් - දුකක් - තරහක් - පිස්සුවක් - තනිවෙච්ච බර දරන කුරුසියක් - හිතාමතාම තනි කිරීමක් හැටියටයි. මොකද සොරායා එන්නෙ වෙනදා සිනහමුසු ස්වරූපයෙන් නෙමෙයි...තනියමත් නෙමෙයි...දෙපයින්....ඩබල් දාලා. 

            " ආ..හ්...මේ..මේ...අයි..යා..තමයි මට අර කතා කළේ. මං කිව්වෙ ජ'නලිස්ට් කෙනෙක් කියලා.....මඳහස් අයි..යා..මේ අමීන්. මෙයා තමයී මගේ..................."  




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »