අව්වට වේලිච්ච ඔළුවකට උකුලක්! වැස්සට හේදිච්ච පපුවකට තුරුලක්! - 14වන හෝඩිය.

අව්වට වේලිච්ච ඔළුවකට උකුලක්!

වැස්සට හේදිච්ච පපුවකට තුරුලක්! 

"නපුරු වෙනවද අකුරු" පසුගිය කොටස් සියල්ල මෙතනින් කියවන්න.


14වන හෝඩිය.



සම්පූර්ණ වාක්‍යයක් ඇහෙනකොටත්, සම්පූර්ණ වාක්‍යයක් ලියනකොටත් සැහැල්ලු නිදහසක් දැනෙන බව ඇත්ත. ඒත් මේ වගේ ' හෘද ස්පන්දන කුතුහල සංදර්ශන ' ඉපිලෙන මොහොතකදි ' අසම්පූර්ණ වාක්‍යයක ' පවා දැනෙන්නෙ සම්පූර්ණ සතුටක්. කෝවක්කා ගෙඩියකටත් වඩා පැහැබර සොරායගෙ දෙතොලඟින් එළියට පනින ඊළඟ වචන පෙළගැස්ම කොහොම පෙළගැහෙයිද කියලයි හිත බලාගෙන ඉන්නෙ. පෙරමුණු දෙකක දෙකකුල් තියන්නෙ නැතුව එකම පෙරමුණක වැඩිම වෙලාවක් එකම අරමුණින් ' ඕන මල දානයක් වෙච්චදෙන් ' කියලා උඹ හිටපන්! චිත්තාභ්‍යන්තරය කෙටි පණිවිඩයක් හදවතට එවනවා... සොරායා දැහැන බිඳිනවා. 

              " මේ තමයී මගේ...එකම සහෝදරයා. මගෙ නානා. " 

 ඇති යන්තං! නානා හරි නෑනා හරි, බෑණා නොවී. හිතන් හිටිය පටුනෙ හැටියට උස මහත - ගොරහැඬි - වැඩිමහල් - රැවුල්ධාරී - දැඩි මතධාරී ' අයියා ' කෙනෙක් වෙනුවට බැලූ බැල්මට පැත්තෙන් සිංහල පෙනුමක් තියෙන, සුදු කමිසෙයි - කලිසමයි ඇන්දුවනං බැක් ටු ස්කූල් යවන්න පුළුවන් තරමෙ හාදයෙක් මගෙ දිහා බලාගෙන ඉන්නවා. ' සහීඩ් කපූර් 'ගෙ  දුරින් නෑයෙක් වගේ දෑසක් හිමි ' අයියා ' සිනහමුසු මුහුණින්ම මුව දිහා බලාගෙන ඉන්නවා. හිතුව තරං වලහා කළු නැහැ වගේම ගොරවන තරමට වහින් නෑ වගේ යෙදුම් හැදිලා තියෙන්නෙම මේ වගේ කුතුහල කාරණා වලදි ' ව්‍යතිරේක හැටියට ' කියලයි මට හිතෙන්නෙ. ඉතින් තව දුරටත් සිතුවිලි කළඹගන්නෙ මොකටද ? 

         " කොහොමද අයියෙ... සොරායා කලින් කියලා තියෙනවා අයියා ගැන... ඉතින්...?"

මනුස්සයගෙ හිනාව ආබ්දීන් සර්ගෙ හිනාවත් එක්ක ගත්තම පට්ටම පරස්පරයි. හරියට උපතින්ම ආව වෙනස්කම් ප්‍රභේදයක් වගේ. ඒත් රතු කොට පෙනුම - හූමිටි බැල්ම අතිශය සමානයි. 

          " හොඳයි.... කොහොමද ඔයාට... ඉවර් රියාස් වාක්ක දානේ. ආනා ඉවර් කොන්ජම් වෙල්ලෛ.. හහ් හහ් හහ්..." 

හිතන්නත් බැරි තරං ඉක්මනට මේ මොකක්ද මේ වෙන්නෙ... හරියට පුංචි කාලෙදි අහපු කතාවක කැන්ද ගහේ මුදුනට නඟින්න ආව මිනිහගෙන් සුද්දෙක් ඇවිත් ' වට් හැපන් ' කියලා ඇහුවම... ' වට්ටපන් බලන්න අනිනවා කෙක්කෙන් ' කිව්වා වගේ කොහොම උත්තර ගළපන්නද මන්දා... ඒත් කොච්චර ආස වුණත් තවත් නොතේරෙන දමිළ භාෂාවෙන් විස්තර අහද්දි කොහොම හිස්තැන් පුරවන්නද..? නැහැ, සිතුවිල්ලයි වැරදි. මනුස්සයා ඒ ගැන අහන්නෙ සොරායගෙන්. ඒත් දෙලොවක් අතර නොතේරුම් භාවයකින් පෙළෙන්නෙක් හැටියට මේ දැනෙන වේදනාව...

        " නානා, වේර ඒදාවදු පේසංග... රියාස් පට්රි එදට්කු ? " 

ඒ වතාවෙ සොරායගෙ වදන් ප්‍රතිරාව ගත්තෙ වෙනස්ම - වෙනත් ස්වරූපයක්. හිනාවක කිසිම සේයාවක් නැති මැලවුණු මුහුණ ඒ වෙනසටම ' හා හූ ' කියන්නා වගේ....හැබැයි එක දෙයක් පැහැදිලියි. දෙන්නම කියන - එකම උච්චාරණයක හිටගන්න කවුද මේ රියාස් ??? 

           " ඇයි සොරායා... අයියා මොනවද කියන්නෙ... මට බණිනවද.... හහ් හහ්..." 

           " න්... නෑ නෑ... මඳහස් අයියගෙන් කොහොමද කියලයි නානා ඇහුවෙ..." 

එක වතාවක් සිංහලෙනුත් කොහොමද කියලා අහලා, දෙමළෙනුත් කොහොමද කියලා අහන්න මේ මනුස්සයට අන්ද කයිප්පුද ? ඊටත් ' එප්පඩි හරි එන්න කද ' කියලා හරි අහන්නෙ නැති ' කොහොමද එකක් ' දමිළ වාග් මාලාවට කොහෙන්ද ? ඒ සැරේ අකුරු වදන් වෙලා ඇවිත් නපුරු වෙන්න දඟලනවා. මං නපුරු අකුරු හිනාවෙන්ම මිතුරු කරගන්න නොසන්සුන් සිනා තවරනවා. 

         " එහෙනං අයි..යා... අපි යන්නං. "

         " ගිහින් එන්නං මල්ලි " 

   අයියා - නගෝ සමුදීමට අනාගත ප්‍රේමවන්තයා හැටියටද... මස්සිනා හැටියටද... නිකංම නිකං මඳහස් හැටියටද සමුදෙන්න ඕනි ? වෙලාවෙ හැටියට ඔය මුකුත් නොහිතා උත්තර ගැළපීම යහපත්! 

         " හරී... අයියා ආයෙ වෙලාවක මේ පැත්තෙ එන්න. මාත් ඉඩක් ලැබුණ වෙලාවක ගෙදර එන්නම්. ඉස්සර ආබ්දීන් සර් තමයි මං කැමතිම ගුරුවරයා. " 

 කල දුටු කල වල ඉහ නොගෙන - ' ඉක්මන් කොට වුණත් අපායට වුණත් කලින් යමං ' කියන තියරිය එළියට ආවා. හරියට හොරාට කලින් - කෙහෙල් කැනටත් කලින් - පෝර ගෝනිය එළියට පැන්නා වගේ. 

           " ආ....වාප්පිගෙන් ඉගෙනගෙන තියෙනවද ? ඕකේ ඕකේ... ෆ්‍රී වෙලාවක ඇවිත් යන්ට එන්ට. " 

  ගොනා හැරෙන්නෙම පොල් පැළෙත් කාලා - වල් පැළත් උගුල්ලගෙන යන්න කියලා දන්න නිසාම සොරායා දිගින් දිගටම මගේ වචන ඉදිරියෙ නිහඬතාවයෙ රැඳෙනවා. ආව කැන්ටින් තදියම අමතක කරලා විහිදෙන පාද අඩි බල බල - හිත හිත හූල්ලන එක මැදියමේදි පවා හිතට නිවනයි... පිච්චෙන පෙමට හෙවණයි... නලියන සුමට සිහිනයි...

*--------------------------------------------*----------------------------------------------------------------------------------*-----------------------------------------*

      විජ්ජාකරුවන්ගෙ මැජික් වුණත් අතටම අහුවෙන බොරු වෙනකොට ධනේෂ්වරය ඇතුළෙදි හරියටම විජ්ජා පෙන්වන්නෙ මැති ඇමතිවරු. අවතාර වගයක් දේශපාලනය කියලා ග්‍රවුන්ඩෙකක් තෝරගෙන හිතේ හැටියට ප්ලේ කරන අවකාශයක කොහෙත්ම වෙන්න බැරි ' මැජික් ' යෂ්ටි නැතුවම පාලිතයන්ට අහන්න දකින්න ලැබෙනවා. පොට්ටයා කලින් කිව්ව විදිහටම - ඔටාරගෙ සාක්ෂිත් නැතුවම ' මලායියා ' ගින්නක් නැතුව පාලම උඩින් ඉස්සෙනවා. 

         " ආ කොල්ලා.... පංචස්කන්ධෙම දැක්කෙ හෙන කාලෙකින්... උඹ ඇදිලා ගිහිල්ලා යකෝ... මොකෝ, කාලා බීලා ගහලා ඉන්නෙපැයි..." 

 දැන් ඇතුළෙ ඉඳන් ඇවිත් ඉන්නෙ ඌ නෙමෙයි, මං හැටියටයි මලාගෙ කතාව. ඇත්තටම ගින්නක් තියා ගිනිකූරක්වත් නැති හැඩයි. 

         " දුෂ්කර ක්‍රියා බං අයියෙ...උඹ දන්නවනෙ...හහ් හහ්...කොයි වෙලේද ගොඩ බැස්සෙ ? " 

ගමේ ගිහින් ආවා වගේ, ඇළ දොළ කඳු ගැන කියන්නා වගේ කටත් හදාගෙන මලා දඩාස් ගාලා බිමට පනිනවා. වත්තෙ බහුතරේ කියන හැටියට නාගස්වත්තෙ නාගයා එක්ක පැටලිච්ච අතීතෙ දවසක නාගයා දෂ්ට කරලා තිබුණෙ මලායියගෙ දත කට - මැදට. එදා ඉඳන් මලා කියන කියන වචනයක් ගාණෙ කෘන්තක රදනක අස්සෙන් - දත් කුට්ටම මැද්දෙන් හුළං පිටවෙනවා ; ගෑස් ගහන්නා වගේ.

           " උඹ දන්නවනෙ ඩෝ මඳයා... මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට - මල් පිපෙන්නෙ කාට කාට තොල් උඩටයි රෑට රෑට.... ඔව්වා මේ නීතියට එහා කතන්දර බං...ෆ්‍රීඩම් නං ෆ්‍රීඩම්..නෝ බැරියර්ස් "

           " හරි හරි.. ඒක පැත්තකින් තියලා කියහන්, ගින්නක් නැතුව ආවෙ කොහොමද ? කවුද ගුස්තිය ෂේප් කළේ..." 

නිදහස බැරියර් වලින් සීමා නොවෙනවා කියලා ප්‍රායෝගිකවම පෙන්වන්න වගේ මලා - නොවලහා සිගරට්ටුවක් දල්වනවා. හහ්...පුදුමයක්. ඇතුළෙ හිටිය ටිකට ගෝල්ඩ් ලීෆ් ඩන්හිල් වෙලා..නිකං නෙමෙයි, ස්විච්!

             " ගහන්....මේකයි සිද්ධි දාමෙ. ඔය එක එකාට දෙන්න නොගියට මගෙ බොකු නහුතෙ බං කොළඹ පහළවම...කංස පාරක්ද, කන්සෙ පාරක්ද කොහෙන්ද ඕනි කියහන්...ගේමත් හෑව් ප්‍රේමෙත් හෑව්...බට් අයි ඩෝන්ට් කෙයාර් එනිතින්ග්...මං තැනේ හැටියට ඇණේ ගහන එකෙක් නෙමෙයි මඳයා..ඇණේ හැටියට තැනට සෙට් වෙන එකෙක්." 

ප්‍රධාන කාරණේ වෙනුවට අදාළම නැති කතා සූත්‍ර පිටක පෙරළලා - මාතෘකාවෙන් පිට පනින්න මලා දක්ෂයා.

        " එතකොට උඹව එළියට ගත්තෙ සේනාධිපතියගෙ කීමට නෙමෙයි ? "

අහස පොළොව නුහුලන තරමෙ බොරුවක් ඇද බෑවා වගේ කලබලයෙන් කලබලයට පත්වෙන මලායියා මුකුත් නොවුණ ගානට උගුර පාදනවා.

         " චෑ චෑ චෑ මඳයා...කවුද ඩෝ ඔය හාල් කෑලි හාල්පාරුවන්ට නැවෙන්නෙ...ෂැහ්...මගෙ බල්ලවත් ලගින් නෑ ඔය කබ්බො ළඟ. මාව එළියට දැම්මෙ ඉහළින් ආව ඕඩර්රෙකක බලපෑමටලු,...ඇයි ඌට වඩා උන් මේකෙ නැද්ද... ආහ්...උඹ මොකෝ මේ ඒ යකාවම මේකට පටලවන්නෙ ? " 

        " නෑ...මධාරක්කා උගෙ ගෙයි නේද වැඩ කළේ ? "

  වෙච්ච මැජික් සීන්නෙකේ පිටපතට අවශ්‍යම පාත්‍ර වර්ගයා ඈත ඉඳන්ම ලවුඩ්ස්පීකර් ඔන් කරගෙන පිඹගෙන එනවා ; පොට්ටයා. 

       " ආහ් මඳයා, දැන්ද ආවෙ...මලායියා නං බලන උන්ට බුදු සරණයි - රවන උන්ට දෙවි පිහිටයි කියාගෙනම කුකුලා පිටෙන් වත්තට බැස්සා..."

  පස්සට හැරිලා බයිසිකලේ ඇලයකට බරවෙන පොට්ටයා දකුණැස වහලා ; ඇහැක් ගහලා මලායියගෙ සම්ප්‍රාප්තිය උත්ප්‍රාස නංවනවා.

        " ඒක තමයි බං මාත් මේ පුදුම වුණේ...නඩුත් නැතුව කඩුත් නැතුව බඩු ඇවිල්ලා...අපරාදෙ ඔය ටික දවස හරි ඇතුළෙ ලැග්ගෙ..." 

   වඩින්න කලින්ම රහස හෙළිකරන්නැති කියලා හීනෙන්වත් නොහිතන පොට්ටයගෙ විශ්වාසවන්ත ස්වාමියා තව තවත් මුසාවම රහ කරනවා.

       " මඳයා... ඕන්නං අහපන් මුගෙන්. අපේ ගෑනි ඔයි ඉන්නෙ ගෙදර... සතියයි දෙකයි බං අරූ ළඟ...."

වාක්‍ය කණ්ඩ සම්පූර්ණ වෙන්න කලින්ම පොට්ටයා හදිසි වෙනවා.

      " ඒ..ඒකත්..හෙහ්...මධාරක්කට ගෙදර ඉන්න බැහැයි කියල කම්මැලිකමට..."

  දන්න හඳුනන කොළඹක් මැද්දෙ නොදන්න ගානට විකිණෙන හැම මධ්‍යම පාන්තික ජීවිතෙකින් වගේම හැම ලුම්පන් ව්‍යූහයකින්ම වෑහෙන්නෙ මෙන්න මේ ගතිය. තමන් දැන දැනම රැවටීමෙ ගිලි ගිලි - නෑ ඒක එහෙම වුණේ නැහැ කිය කියා අනෙකාට ඒත්තු කරන්න හදන සමාජ පදාර්ථය ; බහුතර ජීවන යථාර්ථය. 

 *---------------------------------*----------------------------------------------------------------------------------*-------------------------------------------------*

  යමක් කමක් හරි තැනින් අවබෝධ කරගන්න උත්සාහ කෙරුව කාලාවකාශෙ ඉඳලා හුරුපුරුදු ගෙයි පුංචි ඉඩකඩ පවා හදවතට දැනුණෙ සප්ත මහා සාගරයටත් වඩා විශාලෙට... කරදඬු උස් මහත් වෙද්දි වුණත් ඒ සිතුවිල්ලෙ වෙනසක් මහා පරිමාණෙන් දැනුණෙ නැහැ. දැනුණත් පුංචි දවස් ජීවත් කෙරෙව්ව හීන ආපස්සට ගිහින් මරාගෙන,මරාගෙන එන්නෙ මොකටද ? ඒවා එහෙමම තිබිච්චාවේ! මොකද තරුණ කාලෙදි ලත් තැනම ලොප් වෙන හීන කතන්දර පිටු වලට වඩා නිදහස් පුංචි සන්ධිය නිර්මලයි... එච්චරයි! 

          " කොලුවො....මයෙ පුතේ...හප්පේ බොලා ඉඳලා ඉඳලා පූරුවෙ අත්තා මුත්තවත් අල්ලපු නැති අතුනෙ අල්ලලා තියෙන්නෙ හැබෑට...හැක් හැක්..ඒක යසයි. හැබැයි ප්‍රවේසමෙන්...වැඩි විසේකාර කෙලි බටිච්චියො අතු වලින් වැටෙන්නෙ හිටු කියලා ඕං..."

    හිතේ කිසිම තැනෙක නැති - මේ මොහොතෙදි තාත්තම්මගෙන් කොහෙත්ම බලාපොරොත්තු නොවුණ මේ වචන මොනවද ? මගෙයි - සොරායගෙයි කතා මොහොතක්වත් ඇහැ ගැටිලද ? එහෙමත් නැත්නම් කණින් කොනින් ආරංචියක් කන් බෙර වලට අඬබෙර ගහලද ? ඒත් විසේකාර බටිච්චි...?

          " ඇයි..ඇයි තාත්තම්මෙ...එහෙම කියන්නෙ ? "

ශිෂ්ට සම්පන්න සිහිනෙකට පවා විස්මය අනිවාර්ය අංගයක්. මේ හැබෑම හීනයක්ද කියලා අහන තාලෙන් අන්න ඒ විස්මය තාත්තම්මව අයදිනවා.

         " හා..බොලාගෙ කයිය මුකුත් නොදන්න බබුන් සිමොයියා වගේ නොවැ...ඇයි හවස ආව දැරිවි දැඟලුවෙ පෝන් වැඩ නැතෙයි අද දකින්නම ඕනෙයි කිය කිය...යද්දි මගෙ ඔළුවත් අතගාලා නොවැ ගියේ...හප්පේ පුසුඹ..විසේකාර ගැටිස්සියක් වුණාට සිරි දේවි පරාදයි...හප්..ආපු වාහනේ..හරෝගන්නම බැරුව උන්න වෙලාවක්..."

එන පොට - කියන හැඩතල අනුව නං හිතන කෙනා ආයෙත් ගොඩ බැහැලා. ඒ ගැන හරියටම - හරි තැනින් දැනගන්න ඕනි.

        " තාත්තම්මා ඒ කෙල්ලගෙ...නම අහගත්තෙ නැද්ද ? " 

        " ඔයි මොකද්ද කොලුවො....ඔනාලි ද සොනාලි ද..අමුතු නමක් කීවෙ බං "

        " සමාලි ද ? "

හිත යටින් මතුවුණ ප්‍රශ්නෙටයි - උත්තරේටයි දෙකටම තාත්තම්මගෙ මුහුණ බැලුම් බෝලයක් වගේ පිම්බෙනවා. ඇස් දෙක හිතුමතේම ලොකු වෙනවා.

      " හම්මදබොල හරියටම හරි...සමාලි සමාලි. මොකෙයි මයෙ පුතේ මට ඔයි ගැන නොකිව්වෙ...උඹ මගේ පණ කෙන්ද - හුස්ම - ආදරේ...හැමදේම බං..ඇයි ඔයි වටිනම දේ මේ තාත්තම්මට නොකිව්වෙ...? "

  විසල් දෙනෙත හීන් වලාකුළක සේයාවක දියවෙලා තාත්තම්මගෙ ආකාස වුවනත අඳුරු පැහැයට හැරෙනවා. මගෙ පපුව පිච්චෙන්න ගන්නවා.

          " නෑ..එහෙම කිසිම දෙයක් නෑ තාත්තම්මෙ...ඇත්ත, අපි අතරෙ හුඟ කාලෙකට ඉස්සර සම්බන්ධයක් තිබ්බා. ඒත් හැම ගැළපීමක්ම නොගැළපීමක්. ඒක අන්තිමේදි නැවතුණා... දැන් ආයෙත් ගොනා බැන්ඳ කරත්තෙ වගේ ඒ හුළඟ මගෙ පස්සෙන්ම පන්නනවා. ඒ..ඒත්..එයා කොහොමද මෙහෙ හොයාගත්තෙ...? "

      " මේ කොලුවො..උඹ තවත් මාව තම්බන්නද හදන්නෙ...ඇත්තම කියපන්..මං උඹේ ජීවිතේ නෙමෙයිද මයෙ පුතේ ? "

මේ මොහොතෙ හැටියට - සමාලි රංගනය දියත් කරලා තියෙන හැටියට - කේන්තියෙ හැටියට - කටින් බතල හිටවනවට වඩා කියන දෙයක් ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි වැදගත්! හුඟ දවසකට පස්සෙ තාත්තම්මව උරහිස් දෙකෙන් අල්ලලා ආදරෙන් මගෙ සමීපෙට කරගන්න මොහොතම ඈට ආස්වාදජනක ආදරයක්.

        " මං ඇත්තමයි කිව්වෙ..හිත ගිය හැමතැනම මාළිඟා හැදුණානං ලෝකෙ දුප්පත්කමක් නෑ තාත්තම්මෙ. සමාලි හොයන ආදරේ එකක්..මං දකින ආදරේ තවත් එකක්. ඒත් තාත්තම්මයි මායි දන්න ආදරේ එකම එකක්. එච්චරයි! " 

*---------------------------------------*------------------------------------------------------------------------*---------------------------------------------------------*

  කුම්බලා මාළු කාලා විඳවන බළලටත් වඩා වැඩි අනාගත විඳවීම් සමුදායක සෙවනැලි ඇස් අස්සෙ තැවරෙනවා. ප්‍රශ්න දාමයක් අත් දෙකෙන් අරගෙන යන යන තැනට පනින - ඉන්න තැනටත් වඩින සමාලි එක්ක ' පොදු උත්තරේකින් ' කොහොමහරි මේ හුදු ප්‍රශ්නෙ විසඳගන්නම වෙනවා. නැත්නම් මේ හැමදේම සොරායගෙ හිත මතින් - ආදරේ කරපිටින් යන නියතිය ඒකාන්තයි. සම්ප්‍රදායික සමාජෙ කොහෙන් බලපෑම් අරන් ආවත් ' ආදර සිත්තම ' කවදාවත් හකුලගන්න හදවත් ගෙත්තම සූදානම් නැහැ. සරසවි දෙවැනි වසරත් අන්තිම නැවතුමට ළඟා වීම කඩිමුඩියෙ ඉක්මන් කරද්දි හිත ශේෂ බලාපොරොත්තු ඉහළට ඔසවනවා. හතර වටේ දුවන - පුංචි අස්වැසිල්ලක පවා ඇසිල්ලක් නැතුව නෝට්ස් වලින්ම ඇහිපිල්ලම් ගහන - ෆොටෝ කොපි සෙන්ටර්රෙක මත්තෙම නැහෙන නෛතික ප්‍රජාවක් දැක දැක ' නිදහස් කුරුල්ලෙක් ' වගේ මොහොතක තනිවෙන එකත් නිදහස ඉල්ලලා අරගල කරන පිරිසට මහමෙරක්! ඒ දේ විසාලාවක් වගේ කොළඹක තුන් බියකටත් වඩා හැම බියක්ම දුරැලීමක් නෙමෙයිද ? එකින් එක නොකියා සරසවිය හැමදාම දැනෙන්නම කියලා දෙන්නෙ ඒ පාඩම. 

        " තත්පර සහෝදරයා...මේක කරන්න බැහැ. උඹ එක්කෝ පොලිටික්ස් කරපන්, නැත්නං ස්ටඩීස් කරපන්...නැත්නං හැම බම්බුවක්ම නවත්තලා පඳුරක් පඳුරක් ගානෙ නාපන්..හී හී හී...දැන් මොකෝ ටැමිල් පුරශ්න ඉවර වෙලාද අහිංසක මුස්ලිම් කෙල්ලො පස්සෙ පන්නන්නේ...අන්න අර ෆස්ට් ඉයර් නංගි උඹ ආවද කියල අහලා ගියා..."

අහිංසාගෙ වදන් සැල කිරීමෙන් පොපියන්නෙ හද මැද. තෙරපෙන්නෙ සොරායගෙ ස්වප්න ළඳ සොඳ අදර.

      " හහහා..ඔයා ඒ ගැන දන්නවනෙ අංගුලිමාලා... අපි ඉතින් වශීකෘත මිනිස්සුනේ..හහ් හහ්...තවත් මොකටද අටුවා ටීකා..."

වදන් මාලා සැපිරෙන්නත් ඉස්සර ජංගම දූරකථන මුහුණත ඉස්සිලා කටහඬ ඉල්ලනවා. මිනිහෙක් විතරක් ඉන්න හදවත් දේවාත්මයට සිහින කුමරිය පිනි තුහින ඉහිනවා. ඔව්, සොරායා හැබැහින්ම සිහින අමතනවා.

         " ඔව් සොරායා..." 

         " අයි..යා..මං බැලුවෙ කතා කරන්න..ඒ..ඒත් මම බස්සෙකට නැග්ගට පස්සෙ තමයී දැක්කෙ ඔයා ගේට්ටෙකෙන් ඇතුළට යනවා..."

         " මට අහිංසා කිව්වා...කියන්න සොරායා..."

         " එදා නානා ගෙදර ගිහිනුත් කිව්වෙ අයියා හරිම සුහද කෙනෙක් කියලා...ඒ වටිනකම් එක එක පටු අරමුණු හින්දා නැති කරගන්නෙපා මඳහස් අයියා...මම එදා අම්මිටත් පෙන්නුවනේ වාප්පිගෙ ඩයරියෙත් ඔයා ගැන තියෙනවා කියලා...මේ දේවල් එයාලට ආරංචි වුණොත් ඔයාගෙ ප්‍රතිරූපෙට ඒක හොඳම නැහැ...මට මේ සමාජෙන් මිදෙන්න බෑ මඳහස් අයියා...අනික හැමෝම ඔයාට ඇඟිල්ල දික් කරයි..ඒ ගැන හිතන් නැද්ද ? "

          " මං හිතන්නෙ කාගෙවත් ඇඟිලි වලින් නෙමෙයි සොරායා...මගේ හිතෙන්! මං ඔයාටත් කියන්නෙ ඒකයි...ඔයාගෙ කැමැත්ත..එක! " 

අවශ්‍යම මොහොතෙ ; අද වදන් ගැළපුවෙ නැත්නම් වෙන කවදා ගළපන්නද ? 

         " නැහැ අයියා...එහෙම නෙමෙයී...මතකද එදා නානත් කිව්වෙ රියාස් ගැන...ඒ තමයි අර මනුස්සයා. නානා ඒ වෙලේ කිව්වෙ ඔයා ටිකක් එයා වගේලු. ඒකයි මං ටිකක් තදින් නානට කිව්වෙ වෙන දෙයක් ගැන කතා කරන්න කියලා...ඔයාට ඒක ඒ වෙලාවෙ නොතේරුණ හින්දා හොඳයි අයි..යා...මට මේ දේවල් ප්‍රශ්න ඔළුවෙ තියං කිසිම පාඩමක් කරගන්න බැහැ. ඔයා ලියපු කවියක්වත් දැන් නිවී සැනසිල්ලෙ කියවන්න විඳින්න බැහැ....මං අකමැතිම ප්‍රශ්න වල හිරවෙන්න අප්පා..." 

මෙච්චර වෙලා සැඟවුණු අමුත්තා වෙච්ච ' රියාස් ' තරංග මැද්දෙන්ම වේදිකාවට ගොඩවෙනවා. ඉවසීම සවන් පෙති අස්සෙනුත් දිය වෙවී වැගිරෙනවා...

       " මට දැන් අවුරුදු විසි දෙකක් වෙනවා සොරායා. මං දන්න කාලෙ ඉඳන් කළේ ආදරේ හොයපු එක. තැනින් තැන හරි වැටිලා තියෙන ආදර අංශු අහුලගෙන ඇවිත් හීතල හීන වල තවරපු එක. කට්ට කළුවර රෑට තට්ට තනියම පට්ට කළුවරේ බිත්ති හෙවනැලි එක්ක හිනාවුණ එක. අම්මගෙ හිනාවක් හොය හොය පෙනහලු පිරෙනකං කඳුළු වලින් හුස්ම ගත්ත එක. ඉස්කෝලෙ කාලෙ ඉඳන් පටන් ගත්ත හැම ලව් එකකදිම සීරියස් නොවුණ එක. මේ තත්වෙ ඊට වඩා බරපතලයි සොරායා... රියාස් නෙමෙයි හමාස් සංවිධානෙන් ආවත් දැන් හැරෙන්න බැහැ. හේතුව, මං තවත් දෙවෙන්දොරා කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මට නොරිකොලා එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. මට මෙච්චරයි ඕනි...අව්වට වේලිච්ච ඔළුවකට උකුලක් එක්ක වැස්සට හේදිච්ච පපුවකට තුරුලක් දෙන්න ! අන්න ඒ සිතුවිලි ජීවත් කරවන්න ගොළු වෙච්ච කුරුල්ලෙක්ට කටහඬක් දෙන්න සොරායා... "




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »