සියවසක් ගතවුණත් තුරුහිසක් යට ඉන්නවට වඩා උරහිසක් යට හෙවණයි! - 15වන හෝඩිය.

"නපුරු වෙනවද අකුරු" පසුගිය කොටස් සියල්ල මෙතනින් කියවන්න.


15වන හෝඩිය.



හිත යට සුළි සුළඟකට අහුවෙච්ච සිතුවිලි දිව අගින් එළියට විසිවෙද්දි ඒ විසිර යාමට ' පාස් අවුට් ' අවශ්‍ය නැහැ. සොරායගෙ කේෂනාලිකාවක් උඩ නවතින්න - දෙතොලින් පිනුමක් ගහලා අක් බඹරු කෙස් රොදේ දැවටෙන්න 'පාස්පෝට්' අවශ්‍යයි කියලා ආදරේට මතක නැහැ. ඇයි,ආදරේට පවා අමතක වීම් සිද්ධ වෙන්න බැරිද ? එකදිගට කියාගෙන ගිය 'හේතු කාරණා වැස්ස' මොහොතකට නවතලා මං නිහැඬියාවට හිත හදාගත්තා. කටහඬක් බලාපොරොත්තුවෙන් හිටිය ගොළු වෙච්ච කුරුල්ලා හෙමි හෙමින් තටු ගහන්නත්,සිලි සිලි මල්වර වැස්සෙ තෙමෙන්නත් කලින්ම ආදර ප්‍රාන්තෙන් දූරකථනය විසන්ධි වුණා. ' ජීවිතේ හැම හන්දියක්ම කොහෙන් හරි හදවතට සන්ධි වෙලා තියෙනවා ' කියලා අතීතෙ දවසක ලිව්ව ලියවිල්ලක් මතකෙ සුසර කරන්න පටන් ගත්තා. ඒකායන අරමුණු ඇස් ඉදිරිපිට බිඳ වැටෙන වේගයත්, හැම ආසාවක්ම නොතිත් දුකකින් කෙළවර වෙච්ච ඛේදවාචකයත් එකට - එක මිටකට තියාගෙන දෑස දුර ගමනකට ලැහැස්තියි. එකිනෙක වෙනස් සංස්කෘතීන් - එකිනෙක වෙනස් අනන්‍යතා එකම ආදරයක නැංගුරම්ලාගෙන විවිධත්වය ඇතුළෙ ඒකීයත්වයක් හොයනවා. එහෙව් නිවහල් හදවත් ගගනතක සනහස් සඳවත් වුවනතක් නැඟෙද්දි, කොළඹ හතක් මැද්දෙ හිතක් පපුවක් වාවගන්න බැරි අතක් - නැකත් නැති කවියකට ඉඩක් වෙන් කරන්න ඇහිපිල්ලමක් තෙමා ගන්න එක වරදක්ද ? 

               " සිහිනයක් තෙරපුණත් 
                 අඳුර මත දකිනවට වඩා මතක 'බර' උසුලයි 
                 සිතිජයක් හිනැහුණත් 
                 විටින් විට හඬනවට වඩා මැකී යනු සතුටයි 
                 සිතියමක් නැති වුණත් 
                 යන නොයන හැමතැනම නිලුපුලැසි වුවනයි 
                 සියවසක් ගතවුණත් 
                 තුරුහිසක් යට ඉන්නවට වඩා උරහිසක් යට හෙවණයි...! " 

*----------------------------------------------------------*------------------------------------------------------------*----------------------------------------------------*

            " ආ...දර බර කලා...බර...බර බර කවීන්ද්‍රයා..හෙහ් හෙහ්..මොකද දිරවගන්න බැරුව කව් සිළුමිණම තටමනවද ? "

ආර්ට්ටෙකේ කැන්ටිම ඉස්සරහ තියෙන බෙන්ච්චෙක උඩට පොලීසියෙන් පැන්නා වගේ. මෝරා, සමියා..තව තුන් හතර දෙනෙක් එක්ක. කිසිම හැල හොල්මනක් නැතුව මං හිටිය ඉරියව්වෙන්ම කොළේ අතට ගුලි කරගෙන නිහඬ ධ්‍යානයට පැන්නා. ඒ සැරේ පිරිස පසුපසින් නෙමෙයි, ඉදිරියෙන්. මුහුණට මුහුණ. 

          " මචං...මොන මොන මතවාද, සංවාද තිබ්බත් අපි එක වල්ලෙ පොල්නෙ...එක ගොල්ලෙ මල් නෙහ්...සහෝදරයොනේ...නැද්ද බං...පුරවර පින්බිමේ නෛතික ප්‍රජාවනෙ... "

     සමියගෙ බටර් ගෑවෙන්නෙ අමුවෙන් හින්දා ; පාන් පෙති මත්තෙ නෙමෙයි හින්දා ඒ වදන් ඇතුළෙ ඇත්ත රහ නැහැ. මොකක්ද මේ අලුත් කෙළිය ?

              " දැන් මොකක්ද උඹ කියන්න හදන්නෙ...කෙලින් කියපන්."

              " කෙලින් හරි, නයා හරි, නවලෝකෙ ගිහින් හරි...කොහොම කිව්වත් මොකද යකෝ...උඹ අහන් හිටහං..අහලා උත්තරේ දියං."

මෝරා, ඉවසීම කීතු කීතු කරලා රතු කට්ට මැදට පනිනවා.

            " මට උඹලා එක්ක තොදොල් වෙන්න වෙලාවක් නෑ...තියෙන දොදොලක් ඉක්මන්ට කියලා පලයං.."

            " හරි හරි සහෝදරයා...ඔයා හදිසි වෙනවනේ..මෝරා, තෝ දත කට පූට්ටු කරන් හිටපං ටිකකට...මං කතා කරන්නං... මචං,මේකයි සිද්ධිය. උඹ අපේ ගැන්ග් එකත්තෙක්ක තියෙන පරණ කෝන්තර අත් හැරපං...උඹට ඕන්නං කියහන් බොන්නද කන්නද මල්ද ගල්ද...අපි ගෙනත් දෙන්නං. හැබැයි එක දෙයක් උඹ කරන්න ඕනි. "

කොල්ලො ටික එක සැරේ වෙස්සන්තර - බිම්බිසාර - අනේපිඬු වෙන්න දඟලන්නෙ, දේවදත්ත - ආලවක - සුභද්‍ර දැන් අවුට් ඔෆ් ෆැෂන් හින්දද ? තියෙන කෝන්තර අමතක නොවුණත් සමියා කොන්දේසි විරහිත බැඳීමක් ගෙනත් කොන්දේසි එක එක එකතු කරන්න හදන්නෙ මොකටද ?

             " මං ටෙනිස් ගහන් නෑ බං...ලෙදර් ප්ලේ කරන්නෙ...ඒක නිසා ගලුත් එපා, මලුත් එපා. කියන දේ කියපං."

             " ඔය ඔය ඔය...ඔයා කලබල වෙනවනේ...කවියක් කියවනවා කියලා හිතාගෙන ආසාවෙන් අහපන්කො, මොකක්ද සංසිද්ධිය කියලා..."

             " අනේ මේ...මූ බබෙක්ද යකෝ හුරතල් කරන්න...දෙකක් ඇනලා යමං. "

මෝරා හැමදාමත් වගේ පැටලිලි ස්වර ඇතුළෙ කරක් ගහන වේගෙට මගේ ඉවසීමට ඇඩ්ඩ්‍රස් නැතිවෙනවා.

             " ඇනහං උඹේ..............."

මෝරා පැන පැන නටන හින්දම සමියා මගේ කට ගැන කතා නොකර මෝරගෙ ඇඟට කඩාගෙන පනිනවා.

         " මෝරා..කිව්වා තොට සැරයක්....මට කතා කරන්න දීපන්. "

  අතිජාත මිත්‍රකමටද - සමපාත කුපාඩිකමටද - මොකටද නොදැනෙන ගානට මෝරා සමියට යටහත් පහත්.

          " මචෝ...උඹ ඔය ෆස්ට් ඉයර් සිංහල මීඩියම් මුස්ලිම් කෑල්ලට පෙරන එක නවත්තපන්.  මේ...ඒක මේ ඉන්ජන්ෂන් නියෝගයක්වත්,ඇන්ටන් පිලර් ආඥාවක්වත් නෙමෙයි බං...පොඩි මානුෂීය ඉල්ලීමක්."

සැණින් පපුව මැද්දට කවකට්ටක් අරන් අනිනවා වගේ සියුම් රිදීමක් දැනුණත් හදවත කෙලින්! 

          " ඇයි, මොකක්ද හේතුව...උඹලට 'ජේ' ද ? "

          " අප්පෝ...මොන ජේ ද බං...අපි ගේ...හෙහ්..නැද්ද බං...හහ් හහ්..අපේ ඩගියා ටෝක් කරන අයිඩියා එහෙක ඉන්නවා ඕකට...ඒකයි බං...බොරුවට ගුස්ති ඇදගන්නෙ මොකටෝ...ගොඩින් බේරමු අපි අපි ඉන්න සමථෙට දාලා... හහ් හහ්..."

සොරායගෙ සිතුවිලි හරි හමන් උත්තරයක් හදවතට නොදීමත් - ඈතින් පේන ග්‍රහලෝකාගාරෙ කවුළුවෙන් සෞරග්‍රහ මණ්‌ඩලේම එළියට පැනලා ඔළුව උඩ කැරකෙනවා වගේ දැනෙන හැඟීමත් ජීවිතේ පඹ ගාලක හිර කරනවා ; පිස්සු වට්ටනවා.

        " මේකෙ ඉන්න කෙල්ලන්ගෙ අයිතිය පිටේ ගහලා නෑනෙ බං. අනික උඹලා කොහොමද මගේ තීරණ වෙනස් කරන්නෙ...? මං හිත ගිය තැන මාළිඟාව හදන්නෙ අනුන්ගෙ සිමෙන්ති වලින් නෙමෙයි බං..." 

පැමිණීමත් - ඉවසීමත් - පැවසීමත් ඇතුළුව කිසිම දෙයක් තිබුණත් සැනසීමක් නොලැබීමත්තෙක්ක සමියගෙ වචනාර්ථත් උච්ච ස්වර අතරට දිවෙනවා.

            " උඹ එහෙමද ? අන්තිම තීරණේ ඒකද ? හරි සහෝදරයා..බලමු. අපේ එකා සීරියස් ගෙම්බා. ඕක මේ එක ගවුමක් විතරයි ඌට...බලමු, බිංගෙට රිංගන්නෙ උඹද ඌද කියලා...." 

            " හිහ් හිහ්...බල බල හිටපං...කෝච්චි හැදුවෙ, සිල්පර ඇද්දෙ, පාරවල් කැපුවෙ ගෙම්බො නෙමෙයි යකෝ....මිනිස්සු! " 

*-------------------------------------------------------*-------------------------------------------------*--------------------------------------------------------------*

       ගිනි ගහන අව්ව මැද - රාස්සිත් මාරු වුණ පොළොව උඩ හෙවනැල්ල ඉදිරියට පියමනින්නෙ සීරුවට. වම් පසින් සොරායත්තෙක්ක තරඟෙට වගේ සමාලි කස්තිරම් අල්ලද්දි දකුණු පසින් රියාස්සෙක්ක ඩගියා ඩෙගා නටනවා නිහඬව. හදවත නිහඬවම කතා කරන්නෙ - තර්ක කරන්නෙ - ඒ අස්සෙ හීනෙන් වගේ ඇවිදින්නෙ මෙන්න මෙහෙම දෙපැත්තෙන් තැලුණම. යකඩෙකට වඩා ශක්තියක් පපුතුරට ලැබුණම. සමාලිගෙ ධනයට - බලයට - කුලයට කිසිම පිරියක් - හිරියක් නොතිබුණත් පහු පහු වෙද්දි කොහු කොහු වෙච්චි ලිංගිකත්වය අතීත කාමෙ ගිලෙනවා. දැඩි වුවමනාවකින් සමනය නොකළ හැඟුම් - සන්සුන් නොවන සුසුම් - අන්දුන් කුන්දුන් කරවලා ඇඟිලි තුඩු ෆේස් බුකියෙන් විසඳුමක් හොයනවා. විසාඛා එකේ ගිත්මිට කිව්ව පරක්කුවට සමාලිගෙ නොම්මරේ අත්ල උඩ නවතිනවා. දෙසවන තරංග අතරෙ සීරු මාරු වෙන්න දඟලනවා.

            " සමා, අධීෂ්වර... මොකක්ද මේ පිස්සුව? මොනවද ඕනි...මං එදත් කිව්වනෙ. ඒක තේරුම් ගන්න බැරි තරං අවුලක්ද ? " 

සැර වැඩි වුණත් - ගේ ඇතුළටම භූතයා පාත්වෙච්ච ඉක්මන දරාගන්න බැරි ආත්මය ගලන සිතුවිලි එහෙ මෙහෙ නොකර ඔහේ චැට්ටුවට වක් කරනවා. කණට මී පැණි වෙනුවට කොහොල්ලෑ ඇලෙන සැණින් - එසැණින් පිළිතුරු පත්‍ර දෝතට ලැබෙනවා.

         " ආහ්...අන්..නේ...ජස්ට් කිඩඩ් අධී...ඇයි ඔච්චරටම සීරියස් අරන්....පිස්සා...."

         " ඇයි...විහිළුවක්ද මාව..? පරණ නාඩගම් වලට ආයෙ පණදෙන්න බෑ සමා... මැරිච්ච දේවල් මැරුණා..."

         " අධී..අධී..අධී...නාඩගම්, ස්ටේජ් ඩ්‍රාමා නෙමෙයි...දිස් ඉස් අ ලයිෆ් ටයිම් ප්‍රොබ්ලම්..මං නෙක්ස්ට් මන්ත් ඔසී යන එක ෂුවර්..ඒ..ඊට කලින් මට..."

         " ඉතින්...ඔසී බැරි නම් මරියානා ආගාධෙට හරි යන්න. මං මොකටද...මරාගෙන මැරෙන්නද ? "

         " නැහැ අධී...බදාගෙන මැරෙන්න."

ලැජ්ජාවටද - ඉස්මුරුත්තාවටද වෙන එහෙකටද ෆෝන්නෙක කට් වුණ විලාසය හිතට ඇල්ලුවෙ නැහැ. සමාලිගෙ ශ්වේත නාභිය කෙළවරින් මතුවෙන තද - තඩි උපන් ලපය එදා වගේම අදටත් හිතට නිවනක් දෙන්නෙ නැහැ. හිතන තරම් යකා කළු නැහැ කියලා දැනන් හිටියත් කුතුහල හැඟීම හිත පතුළෙන්ම සමාලිගෙ කැල්ම වෙනතකට නතු කරනවා. ' මං හැමදේම බලාගෙන - අහගෙන ඉන්නෙ. එනවකො අල්ලගන්න...හොර පූසා. ' කියන්න වගේ සොරායා හැමදේම විඳ දරාගන්න හුස්මට ඉස්ම තවරනවා. හන්තානට පායන හඳ වෙනුවට ඕස්ට්‍රේලියාවට පායන ඉර බලන්න සමාලි යන ගමන ගැන දෙගිඩියාවක් නැතත්, එක සැරේ කඩාගෙන නොවැටෙන තාරකා කැටයක් වෙච්චි සොරායගෙ ප්‍රේම චින්තනය කොහෙන් මතුවෙයිද කියන කාරණයයි හිතට තියෙන නියත ගැටලුව. 

*-----------------------------------------*------------------------------------------------------------------*----------------------------------------------------------*

      යන්තං ඔළුව උස්සගත්ත ඉක්මනට - දදා එන පපු කුහර සැනසුමක් ලැබුව ඉක්මනට ' රාජකාරියට ' දුවන්නයි තාත්තම්මගෙ කල්පනාව. ' ආණ්ඩුවෙන් ෆ්ලැට්ටෙකයි ලැට්ටෙකයි හදලා දුන්නට කන්න බොන්න අඳින්න කරන්න මහ ඒජන්ත දෙනවයැ...' කියන වත්තට පොදු ප්‍රශ්නය තාත්තම්මා නිරන්තරයෙන් මතුරන කතාවක්. ඒක පොඩි කාලෙ ඉඳලා කනට හුරු ප්‍රකාශනයක්. 

            " මං බැලුවෙ කොලුවො, හෙට දොහේ ඉඳන් ආයෙ වයලක්කා හම්බුවෙන්න යන්න ඕං..." 

            " තාත්තම්මා පැත්තකට වෙලා ඉන්නකෝ...තාම මේ බෙහෙත් ටික ඉවරයක් වුණා විතරනෙ..."

            " මං මෙහෙ සැපට නිදි කිර කිර පුටු රත් කෙරෙව්වම හරියනවද බං...මට දැන් සත්තිය ඇවිත් තියෙන්නෙ. දැන් අස්පයො දාහක් එක්ක වුණත් දුවතහැකි..අම්මපා..." 

            " අම්මපා නෙමෙයි දෙයියම්පා හරි...තාත්තම්මෙ...තව චුට්ටක් ඉවසලා ඉන්න. ආයෙ මහන්සි වුණොත් ඔය අමාරු ආයෙත් මතුවෙන්න පුළුවන්. "

තාත්තම්මගෙ ඉවසුම් නැති ආදරය - සීත සුනිල් සාගරය හදවත පුරා සැරිසරද්දි මතුවෙන්නෙ මිණිකැට නෙමෙයි, දහදිය පිරුණු කඳුළු කැට!

           " දැන් බොලාද මෙතන වාසිටි යන්නෙ..මම ද ? බොලාද රක්ෂාව කරන්න ඕනි..මම ද ? නිකං හිටියොත් අහවලා ඇවිත් කන්ට දෙනවා කියලද දරුවො..."

       තාත්තම්මගෙ ප්‍රශ්නය පැහැදිලියි. දෙන්න ඕනි උත්තරය අපැහැදිලියි. ආදරේ වගේ නිශ්චිත දේවල් වුණත් ජීවිතේ වගේ අවිනිශ්චිත වෙන්න පුළුවන්! 

              " මං අද හෙටම පාට් ටයිම් ජොබ්බෙකක් හොයාගන්නවා තාත්තම්මෙ...හැමදාම තාම ඉගෙන ගන්නවා, ඉගෙන ගන්නවා කිය කිය බෝලෙ පාස් කළත් කොයි වෙලාවෙ හරි ඒකම ආයෙ අතට එන එක නවත්තන්න බැහැ. මං කුඹුරට බහිනවා. එරුණොත් එරෙයි...ගොඩ ගියොත් ගොඩ යයි. " 

             " උඹ තාම පොඩියෙකා මයෙ පුතේ...මොන කුඹුරුද මේ කොළඹ පහේ ? "

             " හහ්...කුඹුරු නෙමෙයි තාත්තම්මෙ...පත්තරේකට සැට්වෙන්න බලනවා ආයෙ...කොහෙද දැන් හැම පඩංගුවම කොහෙන්හරි ආණ්ඩුවෙ ඩීල්ලෙකක්. දුවන්න වෙන්නෙ උන් නියම කරන තීරුවක...හිතන්න වෙන්නෙ උන්ගෙ සිතුවිලි වලින්...ලියන්න වෙන්නෙ උන්ගෙ අකුරු වලින්...පෑන අල්ලන්න විතරයි අපි ඉන්නෙ. " 

             " මට ඔව්වයේ බරක් පතළක් නැහැ දරුවො. උඹ පාඩුවෙ ඔයි උපාධිය ඉවරයක් කොරපන්. ඉන්පස්සෙ බැරියෑ මටත් රැජිණ වගේ ඉන්න හිටින්න මෙව්වයේ...."

තාත්තම්මගෙ කඳුළු, සතුටට වඩා දීප්තිමත් වෙන්නෙ හිත හෑරුව - නෙත පෑරුව දුකකදි...සට සට ගාන දෙකම්මුල පට පට ගාලා පිහින්න අත වෙනුවට මට ඕනි වචන.

    " තාත්තම්මා කොහොමත් රැජිණනේ...ආයෙ අමුතුවෙන් උපාධියක් මොකටද මට...දැන් බලන්න, මේ කෙල්ල හැත්තෑව පැන්නත් තාමත් පනහෙ කොල්ලො..හහ් හහ්..දෙපාරක් හැරිලා බලනවා. මගෙන් කැම්පස්සෙකේ අවුරුදු විසි එකේ නාකියොත් අහනවා ගේට්ටෙක එහාපැත්තෙ ඉන්න කෑල්ල කවුද බං කියලා...ඉතින්...අනික තාත්තම්මා ඇස් පියාගෙන තරුණ කාලෙට ගිහින් රවුමක් දෙකක් ගහලා එන්න. රෙදි මෝල දිගේ ඇල කණ්ඩියෙන් පැනලා වයලක්කා සුමනක්කා සිරියක්කලා එක්ක කරක් ගහලා එන්න....විලාසිතා එක හරියෙන් යද්දි විටක් කන ගමන් ගැන්සිය එක්ක රොක්සි හෝල්ලෙකට පැනලා දෙමළ චිත්‍රපටියක් බලලා විසිල් පාරක් ගහලා එන්න. මං මෙහෙම ම ඉන්නං. හහ් හහ්...කෝ කෝ...දැන් ඉතින් සැරයක් හිනාවෙන්න. " 

*----------------------------------------------*-------------------------------------------------------------------------*------------------------------------------------*

            සරසවි දෙවැනි වසරත් ඉවරයක් වෙන්න ළංවෙන්න ළංවෙන්න හිත ආදරෙන් ඈත්වෙනවා වගේ අමුතු හැඟීමක් දැනෙනවා. උදේ පාන්දරම උනන සිරියාවෙයි - හවස හයෙන් පස්සෙ තැවුල් කොරියාවෙයි වැටෙනවට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවෙනුයි ජීවිතය,ජීවිතය හොයන්නෙ. ඒ අස්සෙ උදේ හය හමාරෙන් පස්සෙ බ්ලොක්කෙකයි - රථ වාහන අහුරයි එක්ක පොරබදින හැව්ලොක් තදබදය එන්න එන්නම දරුණුයි. උමග යටින් දකුණට කැපෙන්න යද්දි වමට බරවෙලා විසිල් නද තවරන්නෙ සුපුරුදු කටක්.

             " ෂ්ෂ්..ෂ්ෂ්..අඩෝව්...ගුඩෝ ගුඩෝ මෝර්නින්..."

සුද්දා. හුඟ දවසකින්.

            " අම්මටහුඩු...මෝර්නින් මෝර්නින් වේවා...කොහෙද මේ ජැන්ඩියට ගහලා බෙකම දාලා...."

            " ඇයි ඩෝ...අපි ඇන්දොත් ඇඳෙන් නැද්ද ? අපි දැම්මොත් දැමෙන් නැද්ද ? වෙඩිමක් බං. කුරුණෑගල කොබෙයිගනේ...අම්මගෙ සනුහරේ වැද්දෙක් බං. උන් බඳිනවා..අපි නැහෙනවා. රෙද්ද. "

            " කෝ, තාත්තා යන්නැද්ද ? "

            " ඌ දවස් තුන හතරක ඉඳන් එහේ...ටීක් වෙන්න ගහනවා කියලයි ආරංචි සිද්ධිය. මල් විමානෙ ඕයි එහෙ...මෙහෙ මොනවද...? "

උමගෙන් බැහැලා කෝවිල ඉස්සරහින් මතුවෙද්දි සුද්දා තව තවත් බඳ පටිය උස්සලා හැඩ බලලා - කලිසම බස්සලා කතිකාවෙ රැඳෙනවා.

         " මනුස්ස පාටට ඉන්නවනෙ..නෙහ් බං.."

         " නැතුව නැතුව...උඹ දැන් කොහොමද යන්නෙ...වෙඩිම මහසෝන් ටයිම්මෙකටද ? හහ් හහ්.."

         " පිෂ්ෂුද ඩෝ... රාජගිරියෙ ඉඳන් එනවා වාහනයක්. මාමලගෙ දිහා ඉඳන්. ඒකට එබෙනවා. කිරි ටොෆි වගේ නංගා පාරවල් දෙකක් ඉන්නවා බං එහේ..උඹ දන් නෑ නැන්දා..මෙන්න පිට්ටුව. කෙල උනනවා ඕයි මතක් වෙද්දි. කිරිටොෆියක් මැද්දට මුද්දරස්පලං දැම්මා වගේ කිචි..."

        " යකෝ..උඹට සුවර්ණ පුස්තකේ දුන්නත් මදිනෙ යකෝ...කියන උපමා රූපක..හෙහ් හෙහ්..කරුණාසේන ජයලත්, සන්නා, සුජීව ඒ ඒ කතන්දර හකුලගන්නවා උඹ ඉන්නවා කියලා දන්නවනං..හෙහ් හෙහ්..."

         " අඩෝ අඩෝ මේ කින්ඩිය එපා හරි...අපිට බාෂාව දුන්නට දෙයියො වියාකරණෙ දුන් නෑ බං..දුන්නා නං දනී..." 

යන යන බසය මඟ හැරලා සුද්දගෙ කතා වට්ටෝරුවෙ ගිලෙන්න හද, හදවතින්ම කැමතියි. 

          " ඉතින් බං උඹලගෙ ඥාති කිව්වෙ, මාමා කිව්වෙ...උගේම දුවලද ? "

          " ඔව් ඔව් ඩෝ..දුවලයි පවුලයි..හහ් හහ් හහ්...ඉනෙන් පහළ කොහෙද යකෝ නෑකම්,ඕනෑකම් මිසක්..."

           " පොහ්...තෝ තමයි මිනිහා...හහ්...ඕනෑකම්. " 

සුද්දගෙ කතා ඇසුරෙ ගිලෙන ගමන් ඇස් දෙක සුපුරුදු ඉරියව්වක ඉබේ නවතිනවා. ඇස් ලොකු කරලා විශ්වාසෙකින් ඒ දිහා බැලුවම ඡායාව ළංවෙනවා. පිස්සු හැදෙනවා, සොරායා! එකසිය විස්සක ඇතුළෙ...අපි දිහා බලාගෙන. අපායට ගියත් කලින් යන එක වැදගත්! කියලයි හිත මුමුණන්නෙ...

            " සුද්දා...එහෙනං මං ගියා....පස්සෙ සෙට් වෙමූ. " 

            " මේ..මේ..මේ..කොහෙද යකෝ එක සැරේ වාෂ්ප වෙන්නෙ...තව අහලා පලයං විස්තර. එහෙ ලොකු එකී සුමුදු. පොඩි එකී සිනිඳු. නැන්දා බඩ්ඩ සිළිඳු. මගෙ අතට අහුවුණා නං සුසිනිඳු කරලා ගන්නවා ඕයි සිරාවටම..." 

    සුද්දගෙ සද්ද බද්ද බස්සෙක ඇතුළට ඇහුණා ඒකාන්තයි. ' කමක් නෑ, ඕවා මොනවද ' කියලා හිතාගෙන බසයට ගොඩවෙලා සොරායා වාඩිවෙලා ඉන්න සමාධිය ඉදිරියෙ දෙපා නවතිනවා. බැල්මට ඇල්ම හමුවෙනවා.

             " ගුඩ් මෝර්නින් සොරායා "

             " ගුඩ් මෝර්නින් මඳහස් අයියා..."

    සොරායගෙ එහා පැත්තෙ වාඩිවෙලා ඉන්න ඇන්ටි මූණ පුළුටු කරගත්තෙ හරියට එයාගෙන් වචන ඉල්ලන් අපි ගුඩ් මෝර්නින් කිව්වා වගේ. ගුඩ් මෝර්නින් වලින් එහාට ගිහින් ' හව් ආර් යූ ' කියලා කටින් අහන් නැතුව ඇස් ඊටත් එහාට ගිහින් සොරායව විඳින්න පටන් ගත්තා. හිත ඇති තරම් ඒ දිහා බලාගෙන රස සිහින වල කිමිදෙද්දි ඇන්ටි කන්න වගේ ඒ හීන අහුරට ඔරවනවා. පොලිස් පාක් පහුකරලා තුම්මුල්ලට ළංවෙද්දි සොරායා ඇස් අග්ගිස්සෙ ආදර බැල්මක් පුරවගෙන සුසුම් අතරින් දුවනවා. ඒත් කැම්පස් හොල්ට්ටෙකෙන් බැහැලා ඉදිරියට ඇදෙද්දි කොච්චර කඩියො ඇවිස්සුණත් සොරායට කිසිම කලබලයක් නැහැ. ගමන ඉබි ගමනකටත් වඩා හෙමින්...කතා නොකරන හඬින්. 

               " ඇයි සොරායා...තරහද ? "

යටහත් පහත් විදියට උස් පහත් වෙන ශ්වසන පද්ධතිය වචන වලට හැරෙනවා.

        " නෑ..."

        " එහෙනං ගොළුවෙලා..." 

        " ම්ම්...මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා."

පාර පනින්න කිට්ටු වෙනකොට කහ ඉරට වඩා තැලෙන්නෙ හදවත ; සුසුමට සුසුම හැප්පුණ වේගෙට. 

      " මට ඔයාගෙ අතීතෙ වැඩක් නැහැ සොරායා...කැමති නං මං රියාස්ට කතා කරන්නං. මේකට විසඳුමක් ඕනි. "

      " එපා එපා...පිස්සුද ? "

 දැන් සොරායගෙ කතාවත් වෙනස්..සමීපයි. බැණුම් මුසු හැඟීමක් තැවරුණු වදන්...සනීපයි!

     " එහෙනං මොකක්ද විසඳුම...? "

     " අයියට මං හැමදාම කියන්නෙ..." 

     " ඒක තවත් ප්‍රශ්නයක් විතරයි ළමයො. මට ඕනි, මං ඉල්ලන්නෙ 'උත්තරයක්' " 

නීති පීඨය පෙනි පෙනී මාර්ග නීති කඩ කරන එක දෛනික පුරුද්දක් වුණත්, සොරායා එක්ක කීකරු සිරිමත් වගේ කහ ඉර මැදින්ම දෙපා විසිවෙනවා.

     " මට යාළුවො හිනාවෙනවා,විහිළු කරනවා... ඉස්ලාමික් යූනියන් එකේ කට්ටිය ඔරවනවා. කතා නෑ, ගස්සනවා. දැන්ම මෙහෙම නම් ඉස්සරහට ඕවා අඩු වෙන් නෑ...වැඩි වෙනවා විතරයි මඳහස් අයියා..."

     " එතකොට ප්‍රශ්නෙ මගෙ ජාතියද ? "

     " නැහැ.... ආදරයක් නොතේරෙන මිනිස්සුන්ගෙ ජාතිය "

    " ඒ..ඒ කියන්නෙ සොරායා...ඔයා මට ආදරෙයි...ආහ්... "




- සතියක් ඉවසන්න -



කසුන් මහේන්ද්‍ර හීනටිගල.




Previous
Next Post »