දැන් හරිද? (පිටස්තරයා - 14)

දැන් හරිද? (පිටස්තරයා - 14)





  • ඌව.


ජනාධිපතිවරණයක් ආසන්නයේම තැබූ මැතිවරණය අවසාන විය. ඒ ඌව පළාත් සභා මැතිවරණයයි. එය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද එක්සත් ජාතික පක්ෂයට ද ජනතා විමුක්ති පෙරමුණට ද ජයග‍්‍රහණ අත්පත් කර දී ඇති බව එම පක්ෂ විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී ප‍්‍රකාශ කළේය. මේ අනුව සියල්ලෝම දිනුම්ය. එසේ නම් පරාජය වී ඇත්තේ කවුද? 


  • කෘත‍්‍රිම ව්‍යවසනය. 


වර්ෂ 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර පැවති ප‍්‍රබල තරඟයකින් මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කළේය. එය සම්පූර්ණයෙන්ම අහම්බයකි. ජ.වි.පෙ. අප‍්‍රතිහත කැපවීම මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණයට ප‍්‍රබල ලෙස හේතු විය. ඉන් පසු ගෞරවාන්විත සාමය වෙනුවට මානුෂීය මෙහෙයුමක් ලෙස හැඳින්වූ අමානුෂීය මෙහෙයුමකින් 2009 දී ප‍්‍රභාකරන් පරාජය කොට ඊළාම් සිහිනය සුනු විසුණු කරමින් 2010 දී නැවත වරක් ජනාධිපතිරණය ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළේය. ඉන් පසු පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය මෙරට දේශපාලනය තුළ විකෘති ප‍්‍රතිඵලයක් අත්පත් කරදුන් මැතිවරණයයි. එම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රීධූර 144 ක් ලබා ගත්තේය. එම ප‍්‍රමාණය සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ කිසිසේත්ම විය නොහැකි තත්ත්වයකි. එතනින් පසු පැවැත්වූ පළාත් සභා මැතිවරණ වලදී ද සිදු වූයේ එම විකෘති තත්ත්වය තව තවත් තහවුරු වීමයි. එම නිසා විපක්‍ෂය අපේක්‍ෂාභංගත්වයට පත්විය. කල්ලි වාදයට එය නතුවිය. ඒ අවසරයෙන් ඇතැම් නව පක්‍ෂ දේශපාපලනය තුළ ස්ථාපිත විය. නමුත් ඌව පළාත් සභා මැතිවරණය යළිත් මැතිවරණ විකෘතිය වෙනුවට ප‍්‍රකෘතිය ඇති කළේය. යළිත් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂදෙක වටා මෙරට ජනතාව කේන්ද්‍රගත වන බව තහවුරු කළේය. 


  • විකෘතිය ඇතිවූයේ ඇයි? 


ශ‍්‍රී ලංකාවේ පවතින සමානුපාතික ක‍්‍රමය යටතේ මැතිවරණ විකෘතිය ඇති වූයේ යුධ ජයග‍්‍රහණය සමගය. කිසිවෙකුට පරාජය කළ නොහැකි යැයි පැවසූ එල්.ටී.ටී.ඊ. ය පරාජයට පත් කිරීම සමග මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් ෆොන්සේකා වීරයින් විය. විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක සහ ආණ්ඩුවේ මැති ඇමතිවරු කසකාරයින් බවට පත් විය. ඔවුන් කියන දේ සත්‍යය බව මෙරට ජනයා පිළිගත්තේය. යූ.එන්.පී ය ජේ.වී.පී ය ගලිවර්ලා ඉදිරියේ සිටින ලිලිපුට්ටන් බවට පත්විය. එම නිසා 2010 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ සමග තරග කිරීමට එවැනි ගලිවරයෙක්ම අවශ්‍ය විය. ඒ අනුව සරත් ෆොන්සේකා කරලියට පැමිණියේය. එය කරට කර සටනක් විය. ෆොන්සේකා ද ලක්‍ෂ හතලිස් එකකට ආසන්න ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේය. එය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැක. යම් හෙයකින් එම මොහොතේ රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වූවා නම් එම ප‍්‍රමාණයවත් ලබා ගන්නේ නැත. නමුත් යුධ ජයග‍්‍රහණයේ උණුසුම දැන් වියැකී ඇත. එය ඌව මැතිවරණයේදී ප‍්‍රකාශ වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ පරාජයෙනි. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ වෙඩි නොවදින රථය ප‍්‍රදර්ශනය කළ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ජයග‍්‍රහණයක් අත්පත් කර ගන්නවා තියා ඒ ආසන්නයටවත් පැමිණිය නොහැකි විය. එම යුධ ජයග‍්‍රහණය යන සාධකය ආණ්ඩුවේ පරාජයට ද ඒ ආකාරයෙන්ම පොදුය. එම නිසා යුධ ජයග‍්‍රහණය යන විකෘතිය තවදුරටත් මැතිවරණ වේදිකාවට අදාළ වන්නේ අවම වශයෙනි. 


  • දේශපේ‍්‍රමීත්වය.

ඡන්දදායක හැසිරීම සම්බන්ධයෙන් පාරිසරික සාධක මනේම මානසික සාධකද බලපායි. හැඟීම්, ආවේග, රුචි අරුචිකම් යනාදිය ඡන්දදායක හැසිරීමට බලපාන මානසික සාධකයන්ය. දේශපේ‍්‍රමීත්වය යනු එවැනි මානසික හැඟීමකි. එම හැඟීම මෙරට දේශපාලනයතුළලට එන්නත් කිරීමට මේ තරම් සමත් වූ ආණ්ඩුවක් ඉතිහාසයේ නොවීය. එස්.බී., බන්දුල, නිමල් සිරිපාල, රාජිත යනාදී අය පවා දේශපේ‍්‍රමීත්වය පිලිබඳ කතා කළේය. ජර්මනියේ නාසිවාදීන් මෙන් රාජ්‍ය මාධ්‍ය තුළින් සමාජගත කළේය. නායකයා අධිමානුෂිකත්වයට පත් කළේය. එම හැඟීමෙන් පෝෂණය වූ මෙරට ජනතාව විකෘති දේශපාලන තීන්දු ගත්තේය. විමල් වීරවංශ වැනි අවස්ථාවාදී දේශපාලඥයින් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉහළම මනාප අතර ඔසවා තැබූහ. සරත් ෆොන්සේකා හිර කර තැබීමට එරෙහි නොවීය. දැන් දේශපේ‍්‍රමීත්වයේ මානසිකත්වයෙන්ජනතාව ඈත් වෙමින් පවතී. එය වීරවංශලාගේ මෙන්ම ආණ්ඩුව ඌව පළාත් සභාව තුළ අත්පත් කරගත් පරාජයෙන් පෙනේ. සාමාන්‍යයෙන් ගත් විට ලංකාවේ සෙසු පළාත්වලට වඩා දේශපේ‍්‍රමීත්වය අලෙවි කළ හැක්කේ ඌවේදීය. එහි සිටින්නේ කැප්පෙටිපොළ සමග සුද්දන්ට එරෙහිව අවි ගත් මිනිසුන්ය. නමුත් ඌවේදී එය සිදු නොවීය. 


  • විපක්‍ෂය දින්නාද? 

කවුරු, කුමන තර්කයකෙසේ මතු කළ ද ලංකාවේ ප‍්‍රධානම දේශපාලන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. එම යථාර්ථයෙන් මිදිය නොහැක. මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කිරීම කෙසේ වුවත් තවදුරටත් පරාජය ලැබීම අවසන් කර ඇත. ඉදිරි මැතිවරණ එයට වාසි සහගතය. ජනතා විමුක්ති පෙරමුණට ද එසේමය. 

එක්සත් ජාතික පක්‍ෂය මෙවර ආණ්ඩුවේ උපක‍්‍රමය භාවිතා කළේය. ඒ ජනප‍්‍රිය වාදයයි. හරීන් තරුණයා, ආර්ථික වශයෙන් ශක්තිමත්ය. ජව සම්පන්නය. එයද ජයග‍්‍රහණයේ එක් සාධකයකි. 


  • කළ යුත්තේ කුමක්ද?


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයට මෙම මැතිවරණයේදී ජනතාව සංඥාවක් ලබා දී ඇත. එය ආණ්ඩුවට ද ලබා දී ඇත. ජ.වි.පෙ ට ද එසේමය. 

ආණ්ඩුවට ලබාදී ඇති සංඥාව වන්නේ දේශපේ‍්‍රමීත්වයෙන්, බොරුවෙන්, ජනතාව මුලා නොකොට වෙනස් විය යුතු බවයි. මහාපරිමාණ ව්‍යාපෘතිවලින්  මහා පරිමාණව ගසා කන මේ පාලනය වෙනස් කළ යුතු බව ආණ්ඩුව නොසිතන මොහොතක නොසිතූ මොහොතක නොසිතූ තැනකදී ජනතාව ප‍්‍රදර්ශනය කර ඇත. නමුත් මේ ආණ්ඩුව වෙනස් වන්නේ නැත. ක‍්‍රමය වෙනස් කිරීමට තරම් මහින්ද රාජපක්‍ෂ ශක්තිමත් නැත. පවුල්වාදය, දූෂණය, නැැමති පිළිකාව සුව කළ නොහැකි තරමට ව්‍යාප්ත වී ඇත. 

ජනතා විමුක්ති පෙරමුණ ශ‍්‍රී ලංකාවේ දේශපාලන ප‍්‍රවාහයට අත්‍යාවශ්‍ය බව ඌවේ ජනතාව තීරණය කර ඇත. ඔවුන් කළ කැපවීමට ඔවුන්ට නිසි තැන ලැබී ඇත. නමුත් ඔවුන් සිතූ තරම් ජයග‍්‍රහණයක් ද ලැබී නැත. එම නිසා ජනාධිපතිවරණ සටනකදී අධිතක්සේරුවට ඔවුන් නොයා යුතුය. එසේ නොවුනහොත් රාජපක්‍ෂ රෙජීමය යළිත් බලයට පත්වනු ඇත. 

එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත්ය. නමුත් එහි නායකත්වය පිළිබඳ ගැටලූ පවතී. රනිල් වික‍්‍රමසිංහ බුද්ධිමත්ය. ජාත්‍යන්තර ගැටුම් කළමනාකරණය කිරීමට දක්‍ෂය.ගරු නායකයෙකි. නමුත් තවමත් ග‍්‍රාමීය ප‍්‍රජාව තුළ ලතමස්ථානය තහවුරු කර ගැනීමට අසමත්ව ඇත. ඒ අතින් සජිත් ඉදිරියෙන්ය. එම නිසා සජිත්ට නිසි තැන දීම ස්ථානෝචිතය නමුත් මැතිවරණ සටනේදී විය හැකි දේ පුරෝකථනය කළ නොහැක. එම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් තම අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස බව ප‍්‍රසිද්ධියේ කිව යුතුය. එවිට ග‍්‍රාමීය ඡුන්ද රනිල්ට හිමි වේ. නැත්නම් පොදු වැඩපිලිවෙලක් සමග සමස්ත විපක්‍ෂය එක් කරගත යුතුය. එසේ වන්නේ නම් එහිදී ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ රනිල් නොවේ. 

ඌව මැතිවරණ ප‍්‍රතිඵල අනුව මහින්ද රාජපක්‍ෂ සමග රනිල්ට වුව ද තරග කළ හැකිය. නමුත් පහසු නැත. ඊටත් වඩා හොඳම විකල්පය වන්නේ පොදු අපේක්‍ෂකයෙක් සමග, පොදු වැඩපිළිවෙලකට යාමයි. උගත්, බුද්ධිමත්, දේශපාලන පොර පිටියේදී තමනාමය කැත කර නොගත් පුද්ගලකේයටතේ පොදු වැඩපිළිවෙලක් ජයග‍්‍රහණය කර, ඉතිහාසයේ සිදු වූ වැරදි යලි ආපස්සට හරවමින් ශක්තිමත්, බුද්ධිමත්, රාජ්‍යයක් නිර්මාණය කිරීමට දැන් අවස්ථාවලැබී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහටය. එය රනිල් හරියට කළමනාකරණය කළ යුතුය. එම නිසා දැන් හරි වුනාට තවම නිවැරදි නැත. 




හේමප‍්‍රිය කවිරත්න.




Previous
Next Post »