මඳහස් - මුස්කාන් කියන්නෙ නම් දෙකක් වුණාට තියෙන්නෙ එකම තේරුමක්. - 16වන හෝඩිය.


"නපුරු වෙනවද අකුරු" පසුගිය කොටස් සියල්ල මෙතනින් කියවන්න.


16වන හෝඩිය.



ජීවය අහිමි වීම දැක දැක ගිලෙන්න යන ප්‍රාණියෙක්ට අතක හයියක් ලැබෙනකොට - සිය වතාවක් වැරදිලා එකසිය එක්වෙනි වතාවෙ දෙයක් ගැඹුරෙන්ම හරියනකොට - පායලා පායලා කාෂ්ටක පොළෝ කුහරෙට හීන් වැහි වලාකුළක් පාත්වෙනකොට දැනෙන හැඟීම කොහොමද ? මෙන්න මේ වෙලාවත් අන්න එහෙම කලාවක්. " කෙල්ලන්ගෙ හරිම කැමැත්ත තියෙන්නෙ කටෙත් නෙමෙයි, කැටෙත් නෙමෙයි යකඩො හිතේ,හිතේ! " කියලා ඉස්සරම දවසක දෑවා ; විජේනායක සර් කිව්ව කියමනක් යටි හිත තදින් පුනරුච්චාරණය කරනවා. ඇසිපිය නොකඩවා සොරායගෙ ඉරියව් සැරසිල්ලෙන් සැනසිල්ලක් හොයනවා. 

       " ඔය ඒ පාර ආයෙ ගොළුවෙලා. කියන්න සොරායා,ලෝකෙ උකුසු ඇස් පැත්තකින් තියලා කියන්න..ඔයා මට..අංශු මාත්‍රයක් හරි ආදරෙයි. බොරු ද ? "

       " මං දන්නෙ නෑ මඳහස් අයි..යා...ආදරේ කියන වචනෙ විතරක් දැනගෙන මොකටද ? තේරුමක් බේරුමක් නැතුව...ම්ම්..."

  දැන් එන්න එන්නම ප්‍රේම ක්‍රියාවලිය සැනසුම් සහගත තැනක නවතින්න හදනවා වගේ...කලින් තිබුණ මුරණ්ඩු වීම් - ප්‍රතික්ෂේප කිරීම් වෙනුවට කෙල්ල ආදරේ ඇතුළෙ 'තේරුමක් ගැන' හිතනවා. ඉතින් ඒකම මදි ද ? 

        " නැහැ...ඔයා වචනෙත් දන්නවා, තේරුමත් දන්නවා...හැබැයි නොදන්නවා වගේ ඉන්නවා. මං හරි ද ? "

      බිමට බරවෙලා තිබුණ ඒ ඇස් අකුණු සර සරෙන් එතරම්ම වේගෙන් ඉදිරියට එසවුණා. වෙනදට සුළං රැලි පවා අවනත ෂෝලය අද පියාඹන්න හදනවා. ෂෝල් තටු වමතින් පිළිවෙළක් කරන සොරායා අනන්තයට යොමු වෙලා දෑස දිගන්තයක නවතනවා. 

            " නෑ...වැරදී...මං දන්නවා නං ඔයා මට ආදරේ කිව්ව දවසෙම උත්තරයක් දෙනවනේ..."

            " ඔයා එදා ඉඳන් හරි උත්තරයක් නොදුන්නට...ඔයාගෙ ඇස් මට දැනටමත් උත්තරයක් දීලා ඉවරයි සොරායා..."

කාලිදාස ටෝකක් හරි දීලා මාළිඟාව හදන්නයි හද බිතට අවශ්‍ය.

            " බෑ බෑ...කවි කතන්දර, අදහස් ඔට්ටු නෑ...හරී..."

   සරැලි නංවන හිනාව බෝල ගැහෙන දෙකම්මුල් අද්දරින් ඉස්සෙනකොට සාංකාවෙන් පිරුණු හද මඬලට කංසා වැස්සක් වැටුණා වගේ. ඒ තරං සාමකාමියි. මුල් කාලීනව ' කවියො භයානකයි ' කිව්ව මුව අග්ගිස්සම, කවි කතන්දර ඔට්ටු නෑ කියලා හුරතල් ලීලාවෙන් නැළවෙද්දි ' නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා වගේ' හිතට ගති, ගතට හති! 

            " එතකොට සොරායා...ඔට්ටු මොනවද ? "

            " මුකුත් නෑ...මං බයයී මට්ටු වෙන්න..."

            " ආදරේ තේරුම දන්නෙත් නැල්ලු...මට්ටු වෙන්නත් බයලු...අපි තේරුම් ගන්න...ආදරේ කරලා බලමු. ආහ්..."

            " ඒ කරලත්...තේරුම් ගන්න බැරිවුණොත්...තේරුම හොයාගන්නම බැරිවුණොත්..."

            " එහෙම වුණොත්...තේරුමක් නැතුව ආදරේ කරමු. තේරුමක් නැති එකෙත් තේරුමක් තියෙනවනෙ. ඒ කියන්නෙ ' තේරුමක් නෑ ' කියන අදහස.."

ඒ වතාවෙ කෙල්ලගෙ හිනාව වැඩිවුණා. ආදරේ ටිකෙන් ටික එළියට පනින්න හදන විදිහට...ජීවිතේ බිඳෙන් බිඳ ජීවත්වෙන්න හදන විදිහට.

              " හී හී...බලමූ. "

              " බලමු කියන්නෙ ආදරෙයි කියන එක ද ? "

              " නෑ නෑ අයියෝ...පිස්සුද ? "

              " එහෙනං ? "

              " තේරුමක් නැතුව ' ආදරේ ' කරන එක."

*------------------------------------------------*-----------------------------------------------------------*------------------------------------------------------------*

               හිරුගෙ රැස්සෙක්ක මවගෙ කිරි එකතු වෙලා ලෝකෙ නිර්මාණය වෙනකොට අන්ධකාරෙන් පෙළිච්ච මිනිස්සුන්ට ඇස් ලැබුණ හැටි ' ගෝර්කි ' ලෝකෙටම කියලා දුන්නා. ස්වාර්ථය පැත්තකින් තියලා පරාර්ථය පරමාර්ථය කරගන්න සුදුසුම විදිහ ' චිංගීස් ' දුයිෂෙන් වෙලා පුංචි අල්තීනායිලට කියලා දුන්නා. චිත්‍රයක් ඇතුළෙ කතාවක් ලියැවෙන හැටිත්, කතාවක් ඇතුළෙ චිත්‍රයක් ඇඳෙන හැටිත් මහාමේරුවම දෙඋරෙ දරාගත්ත ගැහැනියක් වෙච්ච ' ජමීලා ' 
පුරුෂ සංහතියටම කියලා දුන්නා. ඒ හැමතැනම තිබුණෙ - හැමදෙනාම හෙව්වෙ - හැම හැම තැනදිම ගිලිහුණේ - සැඟවුණේ - ඇතිවුණේ - නැතිවුණේ ආදරය! දෙවුන්දර තුඩුවෙ ඉඳන් බර්මියුඩා ත්‍රිකෝණෙ වෙනකං ඇද්දත් - පේදුරු තුඩුවෙ ඉඳන් උතුරු ඇමෙරිකානු මහාද්වීපය දක්වා පැද්දත් හැම නරුමයෙක් ළඟම, හැම උපාසකයෙක් ළඟම තනියට තනි රකින්නෙත් මෙන්න මේ ආදරය. ආදරය ජීවිතය කරගත්තම ජීවත් වෙන්න ලේසියි. ඒත් ඒ ජීවිතේ ඇතුළෙම තනියම තනි වෙනවට වඩා ' මිනිසුන් අතර තනිවීම ' දරන්න අමාරුයි. සොරායා ඇස් මානෙන් ගිලිහුණු මොහොතෙ ඉඳන් ඊළඟ මොහොත හොයාගැනීමත් අන්න ඒ වගේ...ඉවසන්න අමාරුයි. ලයිබ්‍රියෙ අවුරුදු සිය ගණන් පරණ නඩු තීන්දු වල ඉඳන් ඊයෙ පෙරේදා විසඳුන නඩු තීන්දු දක්වා ඔහේ පිටින් බලාගෙන බලාගෙන ගියත් - එකක්වත් අතට අරන් නොබැලුවත් - සිරීපාදෙ තීරුවෙ හරි, කැන්ටිම පිටිපස්සෙ හරි, සිංහයා ඉස්සරහ හරි සිගරට් ; හඳුන්කූරු පත්තුවක් දැම්මත් හිත ඉන්නෙ දරුණු කැක්කුමකින්. කාලකණ්ණි වීමේ දැඩි කැමැත්තක්ද මොකක්ද කියලා නොතේරෙන කම්මැලිකමකින්. සාමාන්‍යයෙන් දෙන්නා දෙමහල්ලො,ජෝඩු කිරි හලෙන් කිරි බෝතලුත් අරන් කිරි කිරි බෝලේ කැරකෙන සිංහයා ඉස්සරහ තට්ට තනියම ආසනගත වෙන්න වෙන එකත් අමුතු ධ්‍යානයක්. මතක වස්ත්‍ර පූජා - නෂ්ටාවශේෂ සිය දහස් ගාණක් මතකය දිගේ ඉස්සරහට ආවත් ඉතිහාස පාලමෙන් වර්තමානෙට එද්දි එක්වර තනිකම නැතිවෙන්න පටන් ගන්නවා. ඒ සගයො අහුරක පැමිණීමෙන්. සිංහයා ළඟට සිංහයන්ට බය නැති සුසර එක්ක ඇවිත් ඉන්නෙ අලුත් මුහුණු කිහිපයක්.

           " කොහොමද සහෝ...නියම වෙලාව..මැරෙන් නෑ. අපි මේ උඹ ගැන කිය කිය ආවෙ..."

           " අම්මටහුඩු...ඉතින් ඉතින් සුසර සහෝදරයා...මොකද, දෙසුමක්ද ? සාකාච්ඡාවක්ද ? වලියක්ද ? හාහාහා..." 

පිරිසෙ රැඩිකල් රැවුල් අතරින් - හීන් ඉරටු ඇස් අතරින් හිනා කැරලි, කැරලි ගහනවා. සුසර කතන්දරේ පටන් ගන්නවා.

           " බැරෑරුම් සාකච්ඡාවක්..හාහාහා...අලුත් වැඩක් පටන් ගන්න යන්නෙ..අපිට සහෝ උඹ නමැති සම්පත ඒකට යොදා ගන්නම වෙනවා."

           " සම්පත..හහ් හහ් හහ්...කියපන්, මහජන සම්පතක් විදිහටද, වාසනා සම්පතක් හැටියටද ඕනි...හාහා....සිරාවට කියපන් සහෝ..මොකක්ද සිද්ධිය ? "

            " මංජු...."

සුසරගෙ ආරාධනාවෙන් මීට කලින් හමුවෙලා නැති ' මංජුල ' කතාවට අඩිය තියනවා.

          " සහෝදරයා, උඹ මාව දන්නැතුව ඇති...මං නං උඹේ කවි, ලියැවිලි, හෙණ පත්තරේ කොලම එහෙමත් කියවනවා,විඳිනවා....මං ජ'පුරෙ ෂෝසො කරන්නෙ...රටේ තත්වෙ ගැනයි මුන් ශිෂ්‍ය ව්‍යාපාරෙ මර්දනය කිරීම් ගැනයි උඹට අමුතුවෙන් කියන්න ඕනි නැහැ නෙහ්...ඉතින් අපි හිතුවා  ලංකාවෙ හැම කැම්පස්සෙකක් ම යොදාගෙන දේශපාලනික කලා - සංස්කෘතික වැඩක් හදන්න. සුසර තමයි උඹ ගැන අදහස ගෙනාවෙ..."

මනුස්සයගෙ කතා විලාසය වෙනස්. මං කැමති විදිහෙ එකක්.

         " හරි...වැඩේ කියපන් මචං..."

         " මේකයි...උඹලා අපි අතරෙ එක එක දේශපාලන පරස්පරතා - මතවාද නැතුවා නෙමෙයිනෙ. ඒත් මේ වැඩේදි අපි එකට ඉමු. මේකට කිසිම පක්ෂ අදාළත්වයක් නෑ. අපි ' පොතක් ' කරනවා ' සමස්ත විශ්ව විද්‍යාල පොදු කලා උළෙලක් ' එක්ක. යන වියදම් සතයක් එක පකීර් කෙනෙක්ගෙන්වත් ගන් නෑ..රට පුරා කැටේ දාලා මුදල් හොයාගන්න පුළුවන්. ඒක අවුලක් නෑ. දැන් සිද්ධියට බහිමු. මේකෙදි අපේ අදහස " සරසවි කුරුටු ගී සාහිත්‍යය ඇතුළෙ තිබිච්ච අනන්‍යතා දේශපාලනය " හොයන එක සහ ඒ අවංකකම ටච් කරන එක. ඒ කියන්නෙ 80 දශකෙ ඉඳන් ලියැවුණ ඒවයි, මේ දක්වා ලියැවුණ ඒවයි විශේෂෙන්ම උතුරෙ වගේම නැගෙනහිර විශ්ව විද්‍යාල වල ලියැවුණ ඒවයි එක්තැන් කරන එක... ඔන්න ඔතනදි තමයි අපිට උඹේ උදව් ඕනි වෙන්නෙ...සිතියමෙන් උඩ කන්ටැක් අඩුයි බං අපිට..තිබිච්ච එකම එකාටත් මුන් ඇඩ්‍රස් නැති කළානේ..." 

 හෙවිල්ලක් බැලිල්ලක් නැතිව " වැඩක් " වෙන ලකුණු - සුලකුණු ඕනි තරං ඒ මාතෘකාවෙ තියෙන නිසාම මං කැමැත්තෙන්ම වචන ගැළපුවා. 

        " හරී...නියමයි..කරමු. මට පුළුවන් හැම පැත්තෙන්ම සම්බන්ධතා හදලා දෙන්නං.සහ මගේ ළඟ තියෙන කුරුටු ගී සම්බන්ධ ඉතිහාස ලියැවිලි පවා උඹලට ඔක්කොම දෙන්නං. " 

සමස්ත පිරිසම නිහඬව කතිකාව නරඹන අතරෙ සුසර ආයෙත් නාද රටා හසුරුවනවා. 

            " ඔව්,සහෝ...මංජුවා කිව්වා වගේම මේක අනිවා කරමු. හැබැයි මහත්තයො මේකෙදි මිඩ් පොයින්ට්ටෙක වෙන්නම ඕනි ඒ ' අවංක භාවිතය.' මොකද සමහර එව්වා තියෙනවා උපතින්ම ස්වාර්ථකාමියි. අපි ඔන්න ඔතනින් සරසවි කුරුටු ගීය ඉස්සරහට ගෙනියන්න ඕනි...මං හිතන්නෙ අලුතෙන් හිතන්න ඕනි. එතනදි අතීත කුරුටු ගීයෙ ආභාසෙ ගත්ත වර්තමාන කුරුටු ගී වැඩි වැඩියෙන් අල්ලන්න ඕනි. මංජුල..අර උඹ හැම තැනදිම මන්තරේ වගේ මතුරන එක කියපන්කො අපි හැමෝටම ඇහෙන්න..." 

මේ අලුත් හාදයා අමුතු බඩුවක් වගේ...අපිටම ඔබින- අදාළම දේට එබෙන අවංක බඩ්ඩක්! සුසරගෙ යෝජනාව එසැණින් ක්‍රියාත්මක වෙනවා. අමුතු ලැජ්ජාවකුත් එක්ක.

          " මෙව්වා මේ තැන තැන කියන්නත් හොඳ ද මන්දා....අනේ මන්දා අපිට ඉතින් විරිත නෑනෙ බං උඹලට වගේ...සිරිතට කියන්නං..හාහාහා...ඔන්න අහගනින්." 

                        " බක බක ගගා පැන පැන තැන      අරගත්තු 
                          උසස් ඇමති සුදු බණ්ඩා               ඇරගත්තු 
                          තම නිල බලය ගිනි අවියක්           කරගත්තු 
                          නොමරා මරනවා සරසවි දූ                 පුත්තු " 

      ඊළඟ නිමේෂය එළැඹෙන්නෙ සිතුවිලිගත ගිලීමකට. කුරුටු ගීත අභ්‍යන්තරයට - දේශපාලනයට ගිලෙන්න වෙලාවක් කලාවක් මොකටද ? මංජුගෙ හඬින්ම අන්තිම කොටස නැවත නැවතත් කන් අඩි හිල් කරනවා. මේ ඇත්ත කතාවක්..සහතික ඇත්ත රිදීමක්.

                   " නොමරා මරනවා සරසවි දූ පුත්තු..."  

*----------------------------------*------------------------------------------------------------------------*------------------------------------------------------------*

               ඔළුව උඩ ආර්ථික බරයි - උරහිස් මත්තෙ අද දවසෙ බරයි - දකුණතින් ආදරෙයි - වමතින් දේශපාලනෙයි එකතු වුණාම හදවතේ කැලතෙන්නෙ ' හත් මාළුව වගේ ' ජීවන හැඟීමක්. ' තේරුමක් නැතුව ආදරේ කරන හැටි ' කටින් බලමු කියලා හිතින් හිතන්නැති කියන බලාපොරොත්තුවත් එක්ක මනසිකාරයෙ සොරායගෙ දාංගලය ඉවරයක් නැහැ. ප්‍රේම කතා හැට හුටාමාරක් කියවලා අහලා දැකලා විඳලා තිබුණත් එකපාර නවතින, ආයෙ ආයෙත් හැංගෙන, ඉල්පෙන, රබර් බෝලයක් වගේ මතුවෙන ප්‍රේමයක් ??? 

  ගතවෙන විනාඩි කිහිපෙක මතකානුස්සතිය කුඩුවෙන්නෙ දූරකථනයෙ කෙටි පණිවිඩ හඬින්...මොහොතකින් දෑත ඉන්බොක්ස් මාලාව හොල්ලනවා..දෑස කුතුහලෙන් ඉවසීම විනාශ කරනවා. 

        " Mama thaamath nidi naa...hithanawa..thawa hithanawa...therumak nathuwa kohomada aadare karanne kiyala..e hitheemath dan therumak na wage..btw meka ewwe AADARETA nam nemeyi..modayek wage rply ewn epa..me ammige 4n 1...gud nyt n tc " 


               දවස් ගාණක් එක දිගට හිර කරන් හිටිය හුස්ම...එහෙමත් නැත්නං ඔහේ සැනසීමක් වෙනුවෙන් රිදවීමකට ගතු කිය කියා පොළොවට වැටුණ හුස්ම ඉබේම නාස්පුඩු ශරීරෙට උරාගත්තා වගේ. හිතට ගතට දෙකටම ප්‍රාණවත් හැඟීමක් ආවා. ' ආදරේට නම් නෙමෙයි ' කියන කතාව ඇතුළෙම " ආදරේට නෙමෙයි නම් " කියලා ද්වි අර්ථ හදන්න පුළුවන් කියලා සොරායා නොදන්නවා වෙන්න බැහැ. තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්නවට වඩා, කල දුටු කල වල ඉහ ගන්නවටත් වඩා " ජාඩියට මූඩිය වගේ " එකිනෙකාට එක්කහු වෙන්න - සංස්පර්ශ වෙන්න - සංවේදනා ජනනය කරන්නයි පංචස්කන්ධයටම අවශ්‍ය. තර්කයක් නැහැ, මේ තමයි ආදරේ උපත! 

                  කිසි දවසක කාල සටහනක් එක්ක සැට් නොවුණ ජීවිතේ - කාල සටහනත් හිතට ඕනි විදිහට ගැළපුව ජීවිතේ, කල්වේලා ඇතිවම කුකුළත් අතින් අරන් පහුවදා හත හමාරට කලින්ම ෆැකල්ටි ගේට්ටෙක ඉස්සරහ...නැංගුරම්ලාගෙන. දකින දකින ලෙක්චරස්ලයි - කෙල්ලො කොල්ලොයි - අලුත් නැවේ බඩුයි 'අමුතු සතෙක්' කාලෙකින් දකිනවා වගේ ඇහැකින් හිනාවෙලා, පුදුම සහගත පුදුමෙකින් මාව පහු කරනවා. කවදාවත් නැතුව උදේම ප්‍රාදුර්භූත වීම සම්බන්ධ ගැටලුවකින් වගේ. අවශ්‍ය ඉලක්කෙ එනකං මාන බලන උපාසක කොකා වගේ බලාගෙන බලාගෙන ඉඳලා ඉවසීම ගිලිහෙන්න ඔන්න මෙන්න තියෙද්දි ' හඳ ' කහ ඉර මාරු වෙනවා. පළමු පියවර සිරියාවන්තයි, හොඳයි කියලා දැනෙන විදිහට හිනාව පාර හරහා සීරු මාරු වෙනවා. මොහොතක් ගෙවෙන වේගෙන් මියුලැසිය අත ළඟ...නෙත වත අග...

               " ගුඩ් මෝර්නින් " 

දෙන්නගෙම ශබ්ද උච්චාරණය එකම වෙලාවක - එකම විදිහට දෙපැත්තෙන් එකට දෝංකාර නැඟෙනවා. මං කතාව පටන් ගන්නවා.

            " පුදුමයි නෙහ්..උදේ පාන්දර..ඒකත් කිව්වෙ එකට. සොරායා, අද පරක්කුයි නේද ? "

            " ම්ම්..නෑ...හුඟ වෙලාවක් බලන් ඉඳලා වගේ..." 

' ඇයි තව නාවෙ දයා ' වෙනුවට ' ඇයි තව නාවෙ සොරා ' කිය කිය - බල බල හිටියා වගෙයි සොරායගෙ කතාව. 

            " අපෝ නෑ...මං මේ දැන් ටිකකට කලින් ආවෙ. "

            " කිසිම වැඩක් නෑනෙ අප්පා..මං හිතුවෙ නං උදේම ඇවිත් බලන් ඇති කියලා....හැබැයී...එදා කිව්වා නේද මඳහස් අයියා මගේ ඇස් ඔයාට මොනවද කිව්වා කියලා..." 

           " ඔව්..ආදරේ....ඉතින්..."

           " දැන් ඔයාගෙ ඇස් මට කියනවා, ඔයා කියන්නෙ ගල් පැලෙන බොරූ කියලා..හී හී..." 

           " හාහාහාහා...සමහර වෙලාවට ගල් පැලෙන බොරු සුන්දරයි, මල් හැලෙන ඇත්තට වඩා...." 

සොරායගෙ බුහුටි ලතාවෙ දැවටිලා කතන්දර මාලා අද්දරින්ම අවශ්‍ය වචන කල එළි බහිනවා.

           " සොරායා, මට අදවත්..."

           " ඔව් ඔව්..අදවත් නෙමෙයී..අද..අද...අපි කතා කරමු මඳහස් අයියා....මං උදේ ලෙක්චර්රෙකට යන් නෑ...සම්පූර්ණ වෙලාවම ඔයා එක්ක...හී හී හී..තේරුමක් නැති දේවල් වෙනුවෙන්..."

යටැසින් බලන හොර බැල්මයි - උඩැසින් එබෙන පෙම් කැල්මයි එකතු වුණාම මේ " ඉස්ලාමීය සුන්දරත්වය " කොහෙන් ඇරඹුණාද කියලා හිතාගන්න අමාරුයි. එතරම්ම රෝමාන්තිකයි.

           " හරී...එහෙනං හුස්ම ගැනීම වේගවත් කරමු. අන්න අතන ඉඳගෙන! "

      විධානයක් නොවන ආදරණීය ආරාධනාවෙන් එයාර්පෝට්ටෙක අබියස - ටෙනිස් කෝඩ්ඩෙක අද්දර - පාර පේන මානයෙ බෙන්චෙක ආදර බර පැන දරනවා. 

             " මඳහස් අයි..යා..මං මේ දේවල් කියන්නෙ හුඟාක් හිතලා..ප්ලීස්..කිසිම දෙයක් වැරදියට හිතන්නෙපා...ඔයා මට ආදරෙයි කිව්වෙ මං ගැන කිසිම කිසි දෙයක් හරියට නොදැන...මම පවා අදටත්..මේ දැනුත්..ඔයා කවුද කාගෙ කවුද කියලවත් සීයට සීයක් තියා සීයට පනහක්වත් දන් නෑ...ඒ...ඒත් දන්න සීයට හතළිහ ඇති. හොඳටම ඇති. "

           " මොනවද සොරායා දන්න සීයට හතළිහ ? "

ගණිත ගැටලුවක් විසඳන්න වගේ මනස වෙහෙසෙන්න අකැමැතිම තැන් වලදි දෑස වෙහෙසෙනවා. හහ්..ප්‍රතිශත. ඒ සැරේ අලුත් කතිකාවක්...

          " මේකනේ අයියා....මං ඒ ටික හරි දන්නෙ හරියටම දන්නෙ වාප්පි ඔයා ගැන තියපු විශ්වාසෙන්. ලියලා තියෙන චුට්ටෙන්...ඒ වගේම ඔයා මේ කාලෙ ඇතුළත මාත්තෙක්ක, මගෙ හිතත්තෙක්ක සිද්ධ කරපු ආදරණීය ගනුදෙනුවෙන්. "

අද - මේ මොහොතෙ මට කතා කරන්න කිසිම ඉඩක්, තැනක් නොතියම සොරායා හැම හිස්තැනම පුරවනවා. වචනෙන් වචනෙ..ටිකෙන් ටික..සරලව - සුගමව.

         " මේ..මේක කෙලින් කියන්න ඕනි...මං ගොඩාක් කැමතී අයියා...ඔයාගෙ ඇතුළෙ ඉන්න ආදරණීය මනුස්සයට. නැතුව ලෝකෙට පේන දේශපාලන ජීවියට, ත්‍රස්තවාදියට නෙමෙයී..හැබැයි එකක්..." 

ඇරිස්ටෝටල් ආවත්, නිකලොයි මැකියාවෙලී ආවත්, නොම්මර එකේ ත්‍රස්තයා ඔසාමා බින් ලාඩන් ආවත් මේ මොහොතෙ හදවත ' කුමාරයෙක් ' වෙන එක නවත්තන්න පුළුවන් කාටද ? 

            " ඒකත් කියන්න සොරායා...මට ඕනි මගෙ හිතට ඕනි ඔයාගෙ හිතේ දුවන පනින හැම සිතුවිල්ලම දැනගන්න..."

            " මේක හරිම සරල ප්‍රශ්නයක්. ' කත්ති ' ටැමිල් ෆිල්ම්මෙකේදි විජේට එයාගෙ නංගි කියනවනේ ' කොමියුනිසම් ' කියන්නෙ මොකක්ද කියලා වචනෙකින් කියන්න කියලා. විජේ කියනවා ' බඩගින්න නිවුණට පස්සෙ අපි කන ඊළඟ ඉට්ලිය තව කෙනෙක්ගෙ කියලා.' මං ආසයි මඳහස් අයියගෙන් දැනගන්න ' කැපිටලිසම් ' කියන්නෙ මොකක්ද කියලා එක වචනෙකින්. " 

            " හ්ම්ම්... ' අපි බඩගින්නෙ ඉඳිද්දි පෙන්න පෙන්න කන ඉට්ලි වේවා, මස්කට් වේවා, බූන්දි වේවා ඒ ඔක්කොම එක්කෙනෙක්ගෙ."

            " ෂාහ්..ඒක හුඟාක් සම්පූර්ණ උත්තරයක් නෙහ්...එතකොට...එතකොට දන්නවද අයියා, අපි අහස පොළොව වගේ වුණාට අපි දෙන්නගෙම නම් දෙකේ තේරුම් සමානයි කියලා...ආ..."

ඉට්ලි කතන්දර මැද්දෙ නාම ගොත්‍රත් පැටලිලා. සමානතා එක්වෙලා.

         " ආහ්..සොරායා කියන්නෙත් හිනාවටද ? "

         " නෑ නෑ මෝඩයො...මඳහස් - මුස්කාන් කියන්නෙ නම් දෙකක් වුණාට තියෙන්නෙ එකම තේරුමක්. ඒක තමයී හිනාව! " 

 අවශ්‍යම වෙලාවට හිනාව ඔප් නංවලා කතාව හරිගස්සන්න සොරායට තියෙන්නෙ පුදුම ස්ත්‍රී හැකියාවක්. අතීත මුතුන් මිත්තො වගු ගත කෙරුව හැට හතර මායිමකට ලඝු කරන්න බැරි රසයක් ඒක! 

           " හරි...දැන් මං කතා කරන්නද සොරායා...මට නං තියෙන්නෙ එකම ප්‍රශ්නයයි. සීයට සීයයි...එකම ප්‍රශ්නයයි. "

           " අහන්න මඳහස් අයියා..."

           " දැන්වත්..දැන්වත්..."

           " දැන්වත්...ඔයා මට ආදරෙයි ද ? ම්ම්..."

           " ඔව්..' මගෙ රෝජා පූ ' දැන්වත් මට ආදරෙයි ද ? "

ජීවිතේට අහඹුවක් කියන්නෙ හැබෑවෙම දිගුවක්. හැබෑවක් කියන්නෙම අහඹුවක කොටසක්. මෙච්චර කාලයක් තිස්සෙ නියං සායෙන් බැට කෑව, ඉරි තැලුණ මහ පොළොවට සැනසුම් මුරුගසන් වරුසාවක් හදිසියෙ බට! ඒ රෝස පාටට හුරු අල්ල ප්‍රේමණීය මොහොත අල්ල පනල්ලෙ මගෙ වමත උඩ නැවතුණා. දෑඟිලි සංස්පර්ශයෙ දැවටුණා. හිත මැද මහා හයියෙන් අත්පුඩි තලන්න පටන් ගත්තා. ඉදින් ඇස් ඉස්සරහ රබන් සුරල් මනසිකාර තොරන් - උඩු වියන් බඳින්නයි ලැහැස්තිය... 

         " ඔව්...ආදරෙයි...ජීවිතේ හුස්ම වැටෙන තරමට...පෙනහළු පිරෙන තරමට...හුඟාක් ආදරෙයී මඳහස් අයි..යා...."

*-----------------------------------*------------------------------------------------------------------*-----------------------------------------------------------------*

   හැංගිලා හැංගිලා කඳවුරු බැඳලා අරගලේ අන්තිම අදියර ජයග්‍රහණය කරලා ගම රට බලන් එන ගරිල්ලා භටයෙක්ගෙයි, අහසට බැඳිලා බැඳිලා නිදහස සීමා වෙච්ච හින්දා පොළොවට සමාන්තරව ඇති තරං කරක් ගහන කුරුල්ලෙක්ගෙයි හදවත් වල තියෙන්නෙ ' සාමාන්‍ය සතුටට එහා ගිය සතුටක්.' සමාලි කැමැත්ත දුන්න දවසෙ තිබිච්ච හැඟීමයි - ඊට කලින් පස්සෙන් පස්සට ගිහින් අඬගහගෙන එන්න පුළුවන් ගෑනු දරුවො කැමැත්ත දුන්න දවස් වල තිබුණ හැඟීමයි එක්ක ගත්තම " අද දවසෙ දැනීම " ධාරිතාවෙන් වැඩියි. බෙන්චෙකෙන් නැඟිටලා කොහේ ගියත් යන යන හැම තැනටම පස්සෙන් එන " සොරායගෙ වචන " ඔළුවට නිදහසක් දෙන් නෑ...අනෙක් පැත්තෙන් නිදහස ගේන්නම හදන්නෙත් ඒ වචන....ඒ මොකද, හදවතට රිදීමක් දෙන් නෑ. 

             " මඳහස් අයියා...මේක විශ්වාසෙ සම්බන්ධ කාරණාවක්. ' කාරණාවක් සම්බන්ධ විශ්වාසයක්.' මං ඔයාව හුඟාක් විශ්වාස කරනවා. මේක විහිළුවක්වත් ෆිල්ම්මෙකක්වත් නෙමෙයි. මං හොඳටම දන්නවා, අම්මි මේ ගැන දැන ගත්ත දවසට මාව පවුලෙන් අයින් කරනවා කියල..නානා වුණත් මොනවා කරයිද කියලා විශ්වාස නෑ...රියාසුත් අමුතු ගතිගුණ තියෙන කෙනෙක් වගේ...මාව එයාට ප්‍රපෝස් කරලා තියෙද්දි මං මගේ ආගමට - දෙයියන්ට - වාප්පිට - අම්මිට - නානට ඔක්කෝටම විරුද්ධව මේ කරන්නෙ වැරදි දෙයක්. දෙයියො මට සමාව නොදුන්නත් මං මේ අත අත්හරින් නෑ මඳහස් අයි..යා..මං ජීවිත කාලෙම ඇති තරං ඇඬුව කෙල්ලෙක්. මුස්ලිම් කෙල්ලො අඬන්නේ ලෝකෙට පේන්න නෙමෙයී, රහසින් හොරෙන්..ඒකයි වෙනස. ඉතින් හේතු හුඟාක් තිබුණත් මට තවත් අඬන්න බෑ මඳහස් අයියා...මාව මේ හීනෙන් ඇහැරවන්නෙපා...ජීවත් කරවන්න..." 

සොරායගෙ වචන අතරෙ දැවටෙන ඇසිල්ල හෙනහුරා පාත්වුණා වගේ හොරා ගන්නෙ චීත්තයා. ඒ අවේලාවෙ ෆෝන්නෙකට ඇමතුමකින් එබිලා. 

            " ඔව්...කියපන් චීත්තෙ..." 

            " මඳයා..අඩෝව්..අද මොනවද රෑට බ්‍රෑන්ඩඩ් ලේබල්ස්..ආහ්..වැට් නයින්..ජැක් ඩැනියෙල්..වොඩ්කා..ආහ් හා...උණුසුම් සන්සුන් සුබ පැතුම් ආහ් "

            " ඇ..ඇයි බං උඹලගෙ නංගි ජම්බු ගහෙන් වැටිලද ? " 

            " නෑ මේ..අපේ යාළුවෙක්ද මොකෙක්ද එකෙක් පුවක් ගහෙන් වැටිලා..අනේ යකෝ..අපි හයර් දුවන්නෙ අහසෙ නෙමෙයි..මහ පාරෙ..කොළඹ. කරුමෙට ඔය තුම්මුල්ල හරියෙන් යනකොට ඇස්දෙක නලියනවා ඩෝ..අපේ එකෙක් ඇතුළෙ ඉන්නවා කියලා. උදේ බලද්දි එකා 'දෙක' වෙලා...ඔහොම්ම යද්දි දෙක 'තුන' වෙයි.. සතුටුයි සතුටුයි ඩෝ...බොක්කෙ හැපිය ආ..." 

             " උඹට පිස්සු යකෝ...තැන්කියු තැන්කියු...උඹලා මට පාටියක් දීපල්ලා....හාහාහා...රෑට අඩියක් ගහමු."   

             " ඇයි දැන් හොටු පෙරලා පෙරලා - පැණි හලලා හලලා ඕක දාගත්තෙ අපි ද...? නෑනව ඉන්ට්‍රඩියුස් කරපන් අපිටත්. අපි දෙන්නං බොගෙ චරිත සහතිකේ...තුනේ හතර වසරෙ ඉඳලම...ජම්බු ගහෙන් වැටෙන්නත් කලින් පොඩි කෙල්ලො මල්වර කෙරෙව්ව අපේ එකාගෙ කැරැට්ටුව...හහ් හහ්..."

චීත්තයගෙ කතා වැස්සෙ හිනා අස්සෙන්, අවටපිටාවෙන් බැජ්ජෙකේ කොල්ලෙක් වෙච්චි සඳුන්ගෙ කටහඬේ සද්දෙ ඇහෙනවා...මහා හයියෙන්.

            " මචං මචං තත්පරේ...ඉක්මනට වරෙන්...උඹ මෙතන කැකිරි පලනවා..අන්න අරෙහෙ සෙට්ටෙකක් ඇවිත් උඹලගෙ ආච්චිව වට කරන් තගේ දදා බඩු මුට්ටු පොළේ ගහනවා....




- සතියක් ඉවසන්න -




කසුන් මහේන්ද්‍ර හීනටිගල.



Previous
Next Post »