යහපාලනය සර්ව සාධාරණ ද? - කසුන් මහේන්ද්‍ර හීනටිගල.


යහපාලනයක් තුළ " සර්ව සාධාරණත්වය " නියත ලෙසම අන්තර්ගත විය යුතු ලක්ෂණයකි. ඒ යටතේ ජාතිය - දේශපාලනය - භාෂාව - ආගම - කුලය - ස්ත්‍රී පුරුෂ භාවය ආදිය නොසලකා සැමට යුක්තිය පසිඳලීම සිදු විය යුතු ය. කිසිදු භේදයක් නොසලකා සේවය සැලසීමේදී සියලු දෙනාම ඇතුළත් කරගත යුතු ය. " නීතියේ ආධිපත්‍යය අනුගමනය කිරීම " පොතට පමණක් සීමා නොවී ජනතා විශ්වාසය තහවුරු කරන්නක් විය යුතු ය.

'මරා' යන සාධකයෙන් ; ඒකාධිපතියාගේ රාජ්‍ය රමණයෙන් ; තවමත් ජාතිවාදී රෝගයෙන් පෙළෙන මිනීමරු සත්වයාගෙන් සමස්ත වහල් ජනයා (මැදමුලන යනු කොලෝසියම යැයි කියා සිතනා දෙකට තුනට තුනටි නවන්නන් නොව) මිදුණු මොහොතක, මෛත්‍රීගේ 'යහපාලන පටිපාටිය'ද කටට පමණක් සීමා වන්නේ නම් එය දරුණු ලෙස ජනමතය රැවටීමකි. ඍජුව මෛත්‍රී දිනවීමට නොවුණත් මහින්ද පැරදවීමේ අභිප්‍රායෙන් මෛත්‍රීට ඡන්දය දුන් සුළැඟිලි කෙදිනක හෝ තමා වෙතද දබරැඟිලි විය හැකි බව නව පාලකයන් අමතක නොකළ යුතු ය.

සුප්‍රකට "බ්‍රෙෂ්ට්"ගේ නඩු විභාගයේදී නඩුකාරයා බ්‍රෙෂ්ට්ගෙන් මෙසේ ඇසීය.

" මේ වගේ දේවල් ලියන්න කියල ඔබට කවුරුහරි බල කළා ද ? "
බ්‍රෙෂ්ට් කියා සිටියේ, " ඔව් " කියා ය.
" ඒ කවුද ? " නඩුකාරයා පුදුමයෙනි.
බ්‍රෙෂ්ට්ගේ පිළිතුර සරලය ; පැහැදිලිය. එතරම් ම ගැඹුරුය.
" ජනතාව! "
ඉදින් ' ජනතා සාධකය ' සමාජයේ ප්‍රබලතම සාධකය යන්න ' ජනතාව ' තේරුම් ගත යුතු ය.

රාජිත සේනාරත්න පසුගිය දිනෙක ප්‍රකාශ කරන ලද්දේ " ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාගේ ඝාතනයට සම්බන්ධ සියල්ලන් පිළිබඳව සොයා බලා අදාළ පියවර ගන්නා බව " ය. එය නියත වශයෙන් ම සිදු විය යුත්තකි. නමුත් ඒ මොහොතේදී රාජිතට " තරාකී( ධර්මරත්නම් සිවරාම්), මයිල්වාහනම් නිමලරාජන් යන දමිළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ ඊට අදාළව යුක්තිය ඉටු කළ යුතු බව අමතක වීම හෝ හිතාමතාම අමතක කර දැමීම පැහැදිලි අවුලකි.

තවද, එදා 'යෝගරත්නම් යෝගී' ගේ බිරිඳ ජයවතී උගත් පාඩම් කොමිසමට ලබා දුන් ප‍්‍රකාශයන්හි සඳහන් පරිදි වට්ටුවාහල් හිදී හමුදා අත්අඩංගුවට පත් ප‍්‍රධානීන් අතර පුදුවෛ රත්නතුෙරෙ කවියාද සිටිය බව අතිශය පැහැදිලි ය.

"එදා 2009 මැයි 18 වැනිදා. මගේ සැමියා යෝගි, පුදුවෛ රත්නතුරෛ, ලෝරන්ස් තිලකර්, බේබි සුබ‍්‍රමනියන් ඇතුළු තවත් විශාල ප‍්‍රමාණයක් බස් රථයක නංවාගෙන රැගෙන ගියා. ඒ අය ගැන, අද තව වනතුරු කිසිම තොරතුරක් නෑ."

ඉදින් මේ මිනිසුන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතුය. තවමත් අනෙකාගේ " දේශපාලන නිදහස සහ ස්වයං තීරණ අයිතිය " පවා පිළිගැනීමට ඇඟ මැලි කඩන වම්මුන් දැන්වත් ' වම ' ඇත්තේ අහවල් ක්‍රියාවට පමණක් යැයි යන සම්මතයෙන් එහාට විය යුතු ය.

2011 දෙසැම්බර් 09 වන දා එවකට පැවති මරාණ්ඩුවෙන් යාපනයේදී පැහැරගැනීමට ලක් වූ " ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් "ට සිදු වූයේ කුමක්ද යන්නත් - නව ආණ්ඩුව ඒ සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් නොරහසකි. පෙරදා ඒ පිළිබඳව යාපන අධිකරණයේ හබයාස් කෝපුස් පෙත්සමක් විභාග වුවත් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී ද හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සාක්ෂි දීමට පැමිණ නැත. 2015 ජනවාරි 9 වන දායින් පසු කෙහෙළියද ආගිය අතක් නැත. ලලිත්ගේ තාත්තාගේ කඳුළුත් - කූගන්ගේ දියණියගේ කඳුළුත් එක හා සමානව බර ය. ඒ බලාපොරොත්තු අසිපත් වලටත් වඩා මුවහත් බව නව පාලකයන් ද සිහි තබා ගත යුතු ය.

' දූෂණ විරෝධී පෙරමුණක් ' සාදාගෙන බුදු ටෝක් වමාරන චම්පික රණවකට එරෙහිව ඇති දූෂිත චෝදනා ද විභාග කළ යුතු ය. පෙරදා මරාගේ පාලන අනුහසින්, චම්පිකගේ මැදිහත් වීමෙන් අතුරුදන් කරන ලද " ප්‍රගීත් එක්නැලිගොඩ " වෙනුවෙන් එසවුණ දෑත් සහ දැල්වුණ දෑස් තවමත් අවදියෙන් ය. ප්‍රගීත්ගේ අතුරුදහන් වීමට අප කිසිදිනෙක තිතක් හෝ කොමාවක් තැබීමට සූදානම් නැත. යුක්තිය ඉටු වනතුරු එතැන තවමත් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයකි!

වලිකාමම් උතුරේ සහ දකුණේ අවතැන්ව සිටින 30,000කට අධික ජනතාවත්, සුන්නාගම් ප්‍රදේශයේ තිබෙන " සභාපතිපිල්ලෛ, කන්නගි කඳවුරු, නීදවාන් කඳවුරු සහ පරිත්තිතුරෛ කඳවුරු " වල ජීවිතය විඳවන සහෝදර ජනතාවටත් හිසට අහසක් හිමිවිය යුතු ය. මහින්ද රාජපක්ෂ නම් සත්වයාගේ උතුරු වසන්තය විසින් පෙරදා වසන්නටවත් ඉඩක් නොතබමින් පන්නා දමන ලද මේ ජනතා සිතුවිලි මෙපරිදි ය.

" අධි ආරක්‍ෂිත කලාපය ලෙස හඳුන්වා අපේ ඉඩම් හමුදාව අයිති කරගෙන ඉන්නෙ... අපිට අපේ ඉඩම් බලන්නවත් ඉඩක් නැහැ. මෙහෙම කඳවුරු වල ඉඳිද්දිත් අපිව එලවනවා නං අපි කොහෙද යන්නෙ...? පාරෙ තමයි අපිට ඉන්න වෙන්නෙ..."

දැන්වත් මේ සුසුම් හෙළනා සහෝදර ජනතාව ' ඔවුන්ට අයත් ඉඩම් වල නැවත පදිංචි කිරීම ' සක්‍රීය කිරීමට වග බලා ගත යුතු ය.

මොහාන් පීරිස් නම් ' බනානා රිපබ්ලික් නඩුකාරයා ' විසින් ඉවත දමන ලද " දෙමළ දේශපාලන සිරකරුවන්ගේ " අයිතීන් සහ මානව හිමිකම් සම්බන්ධව හරි පිළිතුරක් නව ආණ්ඩුව යටතේ පත්වන නෛතික බලධරයන් විසින් ලබා දිය යුතු ය. එසේ නොවුණහොත් නීතිය සූදානමින් නොසිටියත් ජනතා අභිලාෂ සූදානමින් බව අමතක නොකරන්න...

මරාටත් - ගෝඨාටත් දමිළ වර්ග සංහාරයෙන් සහ ' ජාත්‍යන්තර මානුෂ නීතියටත්, යුධ නීතියටත් ' පිටුපෑමෙන් ද, අවිහිංසක ' බාලචන්ද්‍රන් ' ඝාතනයෙන් ද කිසිදු විටෙක කුමන පදනමක් මත හෝ ගැලවීමක් ලැබෙන්නේ නැත. "මානව හිමිකම්" කඩකරන්නේ නම් - අමු අමුවේ ජන ඝාතන සංස්කෘතියක් ඇතිකරන්නේ නම් මිනීමරුවන්ට ඊට අදාළ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ය. එවකට නිරායුද ජනයා මරා දැමීමේ සේවයේ නියුතුව සිටි දැන් උපාසක සරත් ෆොන්සේකාට ද නීතිය බල පැවැත්විය යුතු ය. නීතියේ ආධිපත්‍යය ස්පෙෂල් විය යුතු නැත!

මෙකී දෑ සිදු නොවන්නේ නම්, රෂෝමාන් හි මෙන් මියගිය සහ මරා දමන ලද අයගේ ආත්ම ජීවත් වන්නන්ගේ ශරීරයට ආවේශ වී සාක්ෂි කථනයට සූදානමිනි...එපමණකි!


- කසුන් මහේන්ද්‍ර හීනටිගල -




Previous
Next Post »