" හිස සිඹින්නයි හිත නිවන්නයි - ජීවිතය යනු ආදරේ ම යි! " - 17වන හෝඩිය.



"නපුරු වෙනවද අකුරු" පසුගිය කොටස් සියල්ල මෙතනින් කියවන්න.

17වන හෝඩිය.


                 ස අත කුඩුවෙන්න, හදවත පුපුරන්න සවනතට පනින මුවහත් වදන් සන්තුෂ්ටි කේෂනාලිකා සැණින් ජීවිතක්ෂයට පත් කළා. ' බඩු මුට්ටු පොළේ ගහනවටත් වඩා තාත්තම්මට තගේ දානවා ' කියන වචන පේළිය ම ' මරාගෙන මැරෙන ' හැඟීමකට උත්තේජනයක්!

                        " දැන් ද යකෝ කියන්නෙ...? "

         මොහොතකට වින්ද ප්‍රේමණීය ලාලසාවත් - දූරකථන තරංග මාලා ගැළපුව විහිළු තහළු ජාලාවත් පැත්තකට වෙනකොට කෝපාග්නි හෙණ ගෙඩි සඳුන්ගෙ ඇඟට කඩාපාත් වුණා. 

               " දැ..දැක්ක වෙලාවෙ තමයි බං කිව්වෙ..."

      එයාර්පෝට්ටෙක සයිඩ්ඩෙකේ ඉඳන් කෙළින් ම දුවගෙන යන්න ඉඩ තිබුණත් එහාපැත්තෙ ගේට්ටු දාරෙ ගැළවිච්ච කණුවක් එහාට ඇදලා දෙපා එළියට පැන්නා. දකින දේ අදහන්න බැරිවෙනකොට හිත අදහන දේ පේන්න පටන් ගන්නවා. තැනින් තැන විසිරිලා අඬන බඩුමුට්ටු පැත්තකින් තියමුකෝ...ඈත ඉඳන් ම දිවෙන ඇසිල්ලෙ ඇස් හොයන්නෙ තාත්තම්මගෙ රූපෙ...

        විනාඩියකට අඩු තත්පර කිහිපයක් ගෙවෙනවා. පෙර දැනුම් දීමක් නැතිව ම කඩාපාත් වෙලා, ඊළඟ මොහොතට පූර්ව දැනුම් දීමක නටබුන් ඉතිරි කළා වගෙයි 'පාර.' වෙනදට අස්ප වලිප්පුවෙන් කුලප්පු වෙලා තුම්මුල්ලෙන් ඇදෙන එක එක ජාතියෙ වාහන අද මෙතැනදි ලොප් වෙලා. වටපිට බල බල...නැවතිලා. 120 ද, 138 ද, 122 ද, 162 ද, 99 ද වෙනසක් නැහැ. හැම හැම කවුළුව ම ඔන්ලයින් ෆිල්ම්මෙකක් බලන්න වගෙයි ඉස්සෙන්නෙ, පැද්දෙන්නෙ... බොහෝ තැන් වලදි, බෝහෝ දේවල් වලදි ' නරඹන වැඩේ විතරක් කරන ' බහුතරයක් ඉදිරියෙ අපි සුළුතරේ වෙලා. මහ දවාලේ 

මහ පොළොව නුහුලන මේ සාපරාධී අපරාධෙට ; අපහාසෙට වගකිවයුතු එකමෙක පාර්ශවේකවත් සෙවනැල්ලක් නැති වුණාට හැම තැන ම පේන්නෙ කැරකිල්ල. විමසිල්ල අතරෙ සියල්ල විඳ දරාගත්ත තාත්තම්මා විතරක් ගේට්ටෙක අයිනෙ අඬ අඬ.

            " මට...සමා..වෙන්න තාත්..තම්මෙ...එ..එන්න පරක්කු වුණා නෙහ්...මමයි වැරදි..."

 ජීවිතේ  ම බර ඇද්ද - සංසාරෙ ම එක මිටට දරාගත්ත වම් උර ඇලයට බරවෙලා කඳුළු පිහින ඇසිල්ලෙ තාත්තම්මා කතා කරනවා. 

             " න්..නෑ..නෑ...මාව පුපුරනවා මයෙ පුතේ...මේ බ..බලපන්..තා..තාම ගැහෙනවා..පපුව ද-දා ආපු නිසයි වා..වාඩි වුණේ..."

කවකටුවක් අරන් ඇටකටු පපුව හිල් කරන්න වගේ ඒ වචන හිත පසාරු කරගෙන කිඳා බැස්සා. 

          " මොක්කුද තාත්තම්මෙ උන්..? වාඩිවෙලා ඉන්න ඔහොම...මම..මේ ටික අහුලන්නං. ඉන්න....ෂ්..ෂ්..නිශා...වතුර බෝතලේ ටිකක් දෙන්න." 

කැම්පස්සෙක ඇතුළෙ පේන්න හිටිය නිශාගෙන් ඉල්ලගත්ත දිය පොද, වෙලාවෙ හැටියට තාත්තම්මට මහ සයුරක් කියල හිත දන්නවා.

         " මයෙ පුතේ...මේ..ඔව්වා මං අහුලන්නං...මි..මිනිස්සු බලන් ඉන්නෙ...උඹ අහකට වෙයන්...."

         " බම්බුව...මිනිස්සු..."

තාත්තම්මගෙ මැලවුණු මුහුණෙ තෙරපෙන වේදනාවයි - කිසිම දෙයක් නොවුණ ගානට නිහඬව ඉන්න වටපිටාවයි එක්ක තරහ දෙගුණ සිව්ගුණ අටගුණ වෙනවා. එබෙන ඇස් දකින දකින වාරයක් පාසා දැනෙන කෝපෙන් මගේ ඇස් ගිනියම් වෙනවා. විසිරුණ බත් පැකට්, විසිවුණ බුලත් හුරුළු - මාවා පැත්තකින් අහුලලා තියලා ඇස් ඒ පැත්තට හැරෙනවා.

           " ඇයි...මැජික් ද ? "

  කවුරු දැක්කත් - මොනවා හිතුවත් - වෙච්ච කරදරේ මැදින් විනාඩි කිහිපෙකින් සන්සුන් සුසුමක් එළියට පනිනවා.

      " හරි..දැන් ඒක ඉවරයි, හිතන්නෙපා....අපි ගෙදර යමු තාත්..තම්මෙ...මට හෙමීට කියන්නකො විස්තරේ..."

  දහක් ඇස් අස්සෙ තට්ට තනියම දුකක් උහුලන එක මෙච්චර ම අමාරු නම්, හයියකට හිතක් අත දෙද්දි ඒක එච්චර අමාරු නොවෙන වග තාත්තම්මට ඒත්තු කරන්නයි මට ඕනි වුණේ. 

            " හ්ම්ම්......"

මහාමේරුව හෙළනාකාරයේ සුසුමක් එක්ක මුකුත් ම නොකියා තාත්තම්මා මගෙ කීමට අවනත වෙනවා.

*-------------------------------------*-----------------------------------------------------------------------------------*-----------------------------------------------*

      ගේ  ඇතුළට ආවට පස්සෙත් - එන අතරමඟදිත් කිසිම දෙයක් නොකිව්ව ඒ ළතෙත් කටහඬ ටික වෙලාවක් ගෙවුණම හුස්මක් කටක් අරන් ප්‍රාණවත් වෙනවා. 

              " ඇතුළෙ සේරෝම දැක්කැයි කොලුවො විජ්ජුම්බරේ...? අරකි ; සුමනා ගෑනි දත කට පූට්ටු කොරන් උන්නෙ පත්තර ලෑල්ල අස්සෙ...ඔක්කෝම බලාගෙන. යකෝ, අපිට නං බෑ ඕං සත්ත සර්පයෙක්ට ආන්ත්‍රාවක් වුණත් ඔහොම බලාගෙන ඉන්ට...හම්මේ..මෙහෙව් ලෝකයක්..."

    දෙගිඩියාවකින් තෙරපෙන හදවත අතරෙ කරක් ගහන චේතනා තාත්තම්මා මුදා හරින්නෙ දරුණු වේදනාවකින්. වචනයක් වචනයක් පුරා හුස්ම වැටෙන්නෙ හරිම සංවේගයෙන්. 'සුමනා' කියන්නෙ කැම්පස්සෙක ළඟ පත්තර ලෑල්ලට අරක්ගත්ත මුහුණත. ඉස්සර බොක්කෙ මිතුරි වුණාට දැන් ණය තුරුස් හුටපට මැදින් ඈ පට්ට සැතිරි. ඉතින් ඒ නම පවා තාත්තම්මට අඳු කොළ වලටත් එහායින් ඉන්නෙ...

        " වුණේ මොකක්ද තාත්තම්මෙ...මට හරියට මුල ඉඳන් කියන්න..."

   මෑතක් වෙනකල් ම කටින් ඕනි ගටක් මට්ටු කරන්න පුළුවන් තාලෙ 'යකඩ කතක්' වෙච්චි තාත්තම්මා දැන් හැමදේම ඉවසන්න පුරුදු වෙලා....ඒ ගත පෙළන, හිත දවන අසනීප අමාරු හින්දම වෙන්න ඕනි. පහත් වෙලා කඳුළු කැට දෙකක් චීත්තෙ අග්ගිස්සෙන් පිසින - කතාබහට සැරසෙන ඇසිල්ලෙ ම ගෙයි ඇතුළට පනින්නෙ 'චීත්තයා.' 

         " කෝ...කෝ...පෙන්නහන් මඳයා...මොකාද අපේ ආච්චි අම්මට පෙනේ පුප්පන්න ආවෙ...? " 

'අ'යන්න 'ආ'යන්නෙ ඉඳන් මුල් හෝඩි පොත එන්සයික්ලෝපීඩියාව දක්වා දික් වෙනකල් ම ළඟින් උන්නු මිත්‍ර සන්ථවය අමතක කරන්නෙ කොහොමද ...? දුක දරන් එන මඟ දිගට ඒ සවන් අමතන එකයි මං දිගින් දිගට ම කෙරුවෙ. 

           " මූ කිව්වෙ පහුවෙලා..නේ...ආච්චියෙ...සැණින් කිව්ව නං අපි ගිසි ගිසි ගාලා එතන...මුන් නැතත් මං හරි. "

පුෂ්පයා ලකුණු දා ගැනීමේ ක්‍රියාවලිය ආදරෙන් අරඹනවා. එතැනට යෝකර්රෙකක් එවන්නෙ පොට්ටයා.

           " ඔව් ඔව්...අපි නැතත් මූ එතන...අපි එනකං ම ගුටි කකා...හාහාහා...."

    මාධ්‍ය සාකච්ඡාවකට හරි බරි ගැහුණා වගේ බර ඇසින් සියල්ල දරාගෙන ඉන්න තාත්තම්මා, ඒ වතාවෙ ප්‍රශ්න වැලට පිළිතුරු ගළපනවා.

       " මේ...ඇඹිල්ලො ටිකක් ආවෙ බං. කොල්ලො පස් හය දෙනෙක්. එකෙක් ආව සිගරට් තියෙනවද අහන්. මං ඇහුන් නෑ වගේ උන්නා. මෙන්න යකෝ පට පට ගාලා මුන් මේසෙ පෙරලන්න ගත්තා..."

   කතා කියලා පුරුදු - කතා අහලා පුරුදු, ගැඹුරු බණ කතා ද - රස කතා ද - ජාතක කතා ද හැමදේට ම ඔට්ටු මේ මනස අද දුක්බරිත වෙලා. දෙකම්මුල් තෙත්බරිත වෙලා.

        " එවුන් මාව වට කොරන් උන්නෙ...මං අත පය ගසල බසල දැම්ම. කුණුහරුප විකාරෙන් වගේ කොලුවො එළියට වැටුණෙ. කොහෙ..මේ පපුවෙ කැක්කුම ආවෙ අන්න එතකොට..නේ..."

       " උන් තාත්තම්මට ගහන්න..."

   දැන් දැන් මගේ අවසන් ඉවසුම් මාත්‍රය තුනට හතරට පැලෙනවා.  

       " පිස්සුද කොලුවො...අත පය ඉස්සුවනං දනී එහෙනං...එවුන් ඔය වෙනින් වාඩුවක් ඇල්ලුවෙ මයෙ හිතේ..දෙයි හාන්දුරුවනේ කොච්චියො නාවෙත් වෙලාවට...මාවා,බාබුල් විසි වුණා බං මේස රෙද්ද යට ගහල තිබ්බ....මං මේ කල්පනා කෙරුවෙ ඇන්ටරියක් දානවද කියල..."

      " මාත් එක්ක ගිහින් දාමු තාත්තම්මෙ..." 

      " නෑ නෑ...උඹ ඔයි පුරශ්න වලට ගෑවෙනවා හෙම නෙවෙයි...ඇරත් මට දැන් හුඟක් මහන්සියි බං..පොලෝසි ගියත් ඔව්වට රස්තියාදු වෙන්න,වචන අහගන්න වෙන්නෙ මේ වතු අතරෙ අපිටමයි... මොකෝ, ආණ්ඩු වෙනස් වෙච්ච පලියට වුණත් මිනිස්සු වෙනස් වෙනවයැ..."

    මොන දේ සිද්ධ වුණත් නපුරින් මාව මුදවන්නයි තාත්තම්මගෙ කල්පනාව.

     " මඳයා, ඇතුළෙ කවුරුහරි උඹත් එක්ක රෝමයක් දාගත්ත ද ? "

     " නෑ නෑ යකඩො...ඒ ඇඹිල්ලො කැම්පස් කොල්ලො වෙන්න බෑ..."

  ඒ වතාවෙ මං වෙනුවට අතීත කතාව වර්තමානෙට ගේන්නෙ තාත්තම්මා. 

      " මං කලබලෙන් ඇහුවා උඹලා මේ අහිංසක මට ම ඇයි මෙහෙම කරන්නෙ කියලා...උන් පොලෝසියෙන් කිව්වෙ..හැහ්..අනේ මගෙ කට..මං පොලෝසි වල ඇවිදින කාලෙ එවුන් අප්ප මුත්තලෑ දණිස් පොල්කටු වලත් නැතුවැති ඕං... හහ්...හොරා පොලෝසි වෙන්ඩැති." 

වෙච්ච දේවල් වගේම වෙන්න තියෙන දේවල් හිතාගන්න බැරි ඇසිල්ලෙ " මේ කවුද ? මොනවද කරන්නෙ ? " වගේ අහස පොළොව ගැටලන්නෙ මිත්‍ර රජ තුන් කට්ටුව...අන්තිමට අපි හැමෝම මුහුණට මුහුණ බලාගෙන. 

    " හිටපන් කොල්ලනේ..මං තේ ඩිංගක් වක්කොරන් එන්ට. වැලිතලප වගයක් තියෙනවා..හහ්..උඹල ආසයිනේ.."

   ආයෙත් වතාවක් චීත්තෙටම බර වෙලා හොටු හූරන අනිමිසයට සමුදෙන තාත්තම්මා, දුක්බර කඳුළු පැත්තකින් තියලා - සමබර වෙලා කුස්සිය පැත්තට සේන්දු වෙනවා. පුෂ්පයා යටි බැල්මකින් මගෙ මුහුණ උඩට දමලා ගහනවා.

       " මඳයා...ඇත්ත කියපන්...මොක්කුද උන්...? "

 *-------------------------------------*-----------------------------------------------------------------------*----------------------------------------------------------*

   කවුද, කින්ද මන්ද නොදැන දකින දකින හැම පපුවට ම වෙඩි තියන්නෙ කොහොමද ? අන්න ඒ වගේ මේ වැඩේ කරන්නැති කියල හිතෙන හිතෙන හැම නාම රූපෙට ම ඇඟිල්ල දික් කරලා වැරැද්ද පටවන්නෙ කොහොමද ?

       " හරි දැන් උන් උඹට ඇතුළෙදි රංගනේ දැම්ම නං කලින් කියන්නෙපැයි යකෝ...බෝංචි කඩනව වගේ පට පට ගාල නෙළන්න..නැද්ද බං..."

  හවස 'පොට්ටයා' සීරියස් පිට කිව්ව මිත්‍ර වදනක බර පපුතුරේ එතෙනවා. මේ සිද්ධියට මෝරලගෙ, සමියලගෙ සම්බන්ධයක් කොහෙන් හරි ගෑවිලා ඇති කියල ටක්කෙට ම හිතුණත්, තාත්තම්මගෙන් ඇයි සමස්ත වෛරෙ පිරිමැහුවෙ...?

  අඩ අඳුරෙ අඩක් වෙන්න ඇරිලා තිබිච්ච ජනෙල් පියන තද වෙන්න වහලා, දිග හැරිච්ච සිතුවිලි එක්ක මං තාත්තම්මගෙ කාමරේට එබුණා. ඒ දෑස හොඳටම තද නින්දෙ. හෙටින් පස්සෙ මොනවයින් මොනවා වෙයිද කියල නොදන්නවා වුණාට ඉතිහාසෙ පුරාවට දැරූ හැම දුකක් එක්ක ම බලද්දි " මේ මඟුල් නං මොනවද ? කියල " තාත්තම්මා හිතනවා ඇති! 

 හැමදේකට ම වෙලාවක් තිබුණට හිත රත් වෙන්න පටන් ගත්තෙ ඕෆ් වෙච්ච ෆෝන්නෙක ඔන් වෙන ඇසිල්ලෙ. සොරායගෙන් මිස් කෝල්ස් 23යි, මැසේජ 4යි. ගෙවුණ පැය ගාණයි - වෙච්ච සිදුවීමයි හින්දා " ආදරේ " කල් තිබ්බ එක අතපසු වීමක් ද ? අමතක වීමක් ද ? නැත්නම් ' අඬල අඬල දෙයක් ලැබුණට පස්සෙ ගන්නකං තිබ්බ ඇම්ම නැති වීමක් ද ? මොකක්ද මන්දා...ඉතින් තවත් ප්‍රමාද වෙන්න හොඳ නැහැ. 

                 " හෙලෝව්...සොරායා..." 

කියන්න ලැබුණෙ ආමන්ත්‍රණ නාමය විතරයි. මෙන්න කෝල්ලෙක කට් වුණා...ම්හ්..කට් කළා. දැන් නං හොඳටම පැහැදිලියි, 'මුස්කාන්' ඉන්නෙ පුපුරු ගහන - පිටට නොපෙනෙන තරහින් - දුකින්. ඉතින් මඟ හරින්න ඉඩක් නැහැ. ආයෙත් අත දූරකථනයට...හිත ඈත සිතිජයට. 

             " ඒයි මැඩම්..සොරී...ප්ලීස්...කතා කරන්න..."

හාවක් හූවක් නැති සුළංසරත් හෙමින් සැරේ - නිරන්තරේ - සවන් තෙරේ දැවටෙන වදන් තලේ ඒ සද්දෙ නිස්සද්දයි.

             " සොරායා....රෝජා පූ...."

             " බූරුවා, මැට්ටා, මෝඩයා, කපටියා, බ්ලා බ්ලා බ්ලා බ්ලා ..." 

             " ඉවරද මගෙ මැණික...? "

             " නෑ පටන් ගත්තා විතරයි....ම්හ්..යනව යන්න...බොරු අයිසිං...මහ..හොඳ නැහැ..මඳහස් අයියා..පැය කීයක ඉඳන් ෆෝන් ඕෆ් ද ? "

 ' ඔන්න පුතේ හටන පටන් ගත්තා.,කොරගන්න ඕනි වුණේ ඕකනේ...' යටි හිත උඩු හිතට තද තගක් දානවා. ඒ අතරෙ පුපුරු ගහන දුක මැද්දට ඉතුරු හීන හිනාවක් ඔබනවා. 

            " සොරායා,කියන දේ අහන්නකෝ...මට හදිසියෙ කරදරයක් වුණා "

            " මේ..හොරා..තව බොරු කියන්නත් එනවද ? මාව රවට්ටනවද ? මං තරහා නෑ මඳහස් අයියා...ඒ..ඒත්..මං හා කිව්ව පලියට මට තිබ්බ අවධානෙ නැතිකරන්නෙපා...මං ආසම ඒකට." 

වෙච්ච අතපසු වීම හින්දා දැන් කියන සහතික ඇත්ත වුණත් බාගයක් බොරු වෙන්න දඟලනවා ; කලබලේ හින්දා.

       " මට..මට..මගෙ තාත්තම්මට ප්‍රශ්නයක් වුණා සොරායා..කැම්පස්සෙක ඉස්සරහ..."

ඒ සැරේ කෙල්ලගෙ ආරෝපිත දැඩි ස්වරේ ඉතාම සියුමැලි සුපුරුදු ස්වරයට ළං වෙනවා.

        " අනේ...ඇයී මඳහස් අයියා...තාත්තම්මා එතැන මොකද කෙරුවෙ..? " 

        " මගෙ තාත්තම්මා තමයි කැම්පස්සෙක ඉස්සරහ බත් විකුණන්නෙ. "

        " ආහ්..ඇ..ඇයී මට කලින් කිව්වෙ නැත්තෙ..මං හැමදාම ඇන්ටිත්තෙක්ක හිනාවෙනවත් එක්ක...සොරී..තාත්තම්මත් එක්ක..ඉතින්...මොකක්ද වුණේ ? "
     
         " කට්ටියක් ඇවිත් බත් තියන මේසෙ කඩල දාල එතන බඩු වීසි කරලා ගිහින්. මං යද්දිත් මිසින්. හරි...ඔයා හිතන්නෙපා..මං පුළුවන් තරං තාත්තම්මගෙ හිත හැදුවා සොරායා..ඒත් මට මේ ගැටලුව ලොකු හිසරදයක්...බලමුකෝ..." 

  කිසිම පුහු ආටෝපයක් නැතුව ඇත්ත ඇති සැටියෙන් අහන්නයි - දකින්නයි ඇස් දෙක වෙනුවෙන් තව ඇස් දෙකක් මඟ බලන් ඉන්නවා කියන්නෙ මාර හයියක්! ඒක නිකං 'එවරස්ට් කන්ද' ගේ ඉස්සරහට ඇවිල්ලා ' කොහොමද මචං ' කියල අතට අත දෙනවා වගේ ප්‍රයෝගයක්. ඒ හින්දා " හිස සිඹින්නයි හිත නිවන්නයි - ජීවිතය යනු ආදරේමයි " කියන ඇත්තට මිනිස්සු ආදරේ කරනවා. කඳුළු - දුක් සුසුම් - රණ්ඩු සරුවල් - හුරතල් වීම් - හැරයාම් - පැමිණීම් - මඟ හැරීම් - වේදනා මොනවා තිබුණත් අපි - අපි ආදරේ හොයනවා. ඒ හෙවිල්ල ඇතුළෙ ජීවිතේ හෙවිලි කරගන්නවා. 

        " මඳහස් අයියා...ඕනිම දේකට මං ඔයාගෙ අත අල්ලන් ඔයා ළඟින් ම සුළැඟිල්ලෙ එල්ලිලා ඉස්සරහට යන්න ඉන්නවා. ඒක අමතක කරන්නෙපා. හැබැයි එකක්, මතක ඇතුව ෆෝන්නෙක ඔන් එකේ තියාගන්න. " 

*--------------------------------------*-----------------------------------------------------------------------------------------*---------------------------------------

           පහුවදා කැම්පස්සෙක ඉදිරියෙන් ඇදෙන මොහොතෙ, නුපුරුදු සාංකාවක් දැනෙන්නෙ ' තාත්තම්මගෙ තැන ' හිස්වෙයි - ' ආදරේ මිස්වෙයි ' කියන අඳුරුතම හැඟීමට. ඒත් දවස් කිහිපයක් යනකං, ප්‍රශ්න රස්නෙ නිවෙනකං ' ගාඩ් ' හැටියට තාත්තම්මට උදව් කරන්න පොරොන්දු වුණේ චීත්තයා ; හයර් දුවන එක ටිකකට පැත්තකින් තියල ගේමට බැස්සෙ චීත්තයා. මොකද යාළුකම් වනාහි එහෙමයි!

       සුසරටයි - මංජුලටයි වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන වුවමනාව සරසවි බිමේදි වැඩි වැඩියෙන් දැනෙනවා. මෙතෙක් වෙච්ච කලබල නිසා ම අමතක වෙච්ච කාරණා,ලිපි ගොනු අවුස්සන හැඟීම පැත්තකින් තියල සුසුමක් කතා කරනවා ; හුරුපුරුදු කුරුටු ගීයක් මනසින් කොළේකට වඩිනවා. සරසවියට පොදු 'උප සංස්කෘතිය' කතා කරන්න පටන් ගන්නවා. 

                                    " නොහඬන් සරසවිය සලමින් කඳුළු         කැට 
                                      වැඩ නැත මොළේ ඇතිවුන්ගෙන් ඔවුන්    හට 
                                      විරැකියාව අවසන් කොට දැමෙයි           හෙට 
                                      රැකියාවක් ලබා අද යමි සිපිරි                ගෙට. "

  සරසවි සුසුම් පපුවට උඩින් කවියෙන් එබෙනකොට මතක ඒ සුසුම්,කුසුම් කරලා සිපගන්නවා...දේශන මාලා පැයකට දෙකකට පස්සෙ ශේෂ බලාපොරොත්තුව බෙන්චෙකක් උඩට ඇදෙන්නෙ සොරායගෙ පැමිණීම බලාපොරොත්තුවෙන්. අහා! දැකීමත් සතුටක්. තාත්තම්මා ගේට්ටෙක ඉස්සරහ, මුකුත්ම නොවුණ ගානට. චීත්ත පුතා බත් මේසෙ හදන ගමන් වටපිට බල බල ගේට්ටෙක ළඟ. බෙන්චෙකට සැලියුට්ටෙකක් ගහලා තාත්තම්මා දිහාට දෙපා ඇදෙන වේගෙන් සාක්කුවෙන් 'සෝනු නිගම්' කිති කවනවා. මේ ඇහැට නුපුරුදු අංකයක්.

                  " හෙලෝව්....මොකක්ද...? " 

එහා පසින් එළියට පනින්නෙ අමුතු තරංගයක්. හිත කළඹන වදන් පෙළක්.

              " ඒ..කොහොමද...දැන් ආච්චිගෙ ඇඟට...පතට සනීපද...? " 

                                                                                 

 - සතියක් ඉවසන්න -


Kasun Mahendra Heenatigala | කසුන් මහේන්ද්‍ර හීනටිගල
©Youth Arena & Info Sri Lanka News 




Previous
Next Post »