ලුම්බිණිය හෙවත් අපේ අම්මා.


හිතේ කහට කිසිත් නැතිව කොළඹ පහට ඇද වැටිච්ච 
' හතා ' වුණත් ආදරයෙන් පහක් ගැහුව අත් පිරිච්ච 
හිතා මතා ලතා ගොතා නව නළු රස නෙත රැඳිච්ච 
කතා පොතයි - මහගෙදරයි සැමට සෙවණ දී හැදිච්ච 

අතේ සතේ නැතත් රැඟුව කලාකාර පොහොසතුන්ට 
පපුව පෙන්නලා - සිඹලා - හුස්ම පිම්බ හිතවතුන්ට 
අඩ අඳුරේ සිහින වැස්සෙ තුහින හීනෙ රසවතුන්ට 
සඳ මඬලින් ඉඩම් කඩම් අරන් දුන්නෙ පෙම් පුරන්ට 

සංකා දුක් සුසුම් එක්ක දෙකක් හලන මනමෙ කුමරු 
මේකප්පෙක පිටින්ම වැද වැද්දා බදාගත්ත තැන ය 
' මලක් ගැහුව - මල පරවුණ ' අමරණීය මතක විලය 
ඒකා - අධිපතියො පවා දෙකට නැවුණු බිම මෙතැන ය 

කුණු ඇළ ළඟ සුදු හදවත් බුදු ගුණ සේ නිතර ගයත් 
උණු වූ විට ඇද වැටෙනා දුම් ගොබ පෙනහැල්ලෙ පුවත් 
සුණු විසුණුව ගියත් අහිංසකයන් පැතු අවම ලොවත් 
'හුණුවටයේ කතාව' හුරු බොහෝ එවුන් මෙහේ දුවත්! 

මහාසාර - මකරාක්ෂ - ඇන්ටිගනී - ශ්‍රී සූමන 
වහා නේක පරපුරු එක්තැන් මුව පානා පෙළහර 
මඛාදේව පවා තරුණ වී දිලිසෙන අරුම මොහොත 
අහා! බලන් පුටු මත තටු ගසා උනුන් විඳින ගීත 

කැරලි කෙහෙරැලි නික්ම යද්දිත් නිමා නොකෙරුව දේවකාරිය 
සරැලි සියුමැලි සිනහ තිබුණත් පිටට රළු වූ රාජකාරිය 
යතුරු කැරලිය මිතුරු කරළිය රැක බලාගත් භාරකාරය 
මතුර මතුරා තවම දිව යන 'බාලසූරිය' ජීවමාන ය

අප්සට් නං මුදල් හදල් නිකං බලාපන් කියුවෙකි 
ස්පොට් එළියෙන් කැරකුණු 'සේනයියා' මරු දෙයියෙකි 
උස් තැන් දැක හැකිළුන්නැති බිමට බරව ගිය කන්දකි 
'අප්පුහාමි අන්කල්' යනු අවංකෙන් ම එළ කොල්ලෙකි 

අසාර වූ ඕනි ඉඩක් සරු කරන්න උපන් හපන් 
'ඉෂාර' වැනි සුහද සුළං වසර පුරා හෙමින් හමන් 
විශාල ලෙස දකිනු පිණිස අතීතය ම තුරුළු කරන් 
පසාරු වී යන්නා මෙනි පැරණි අසුන් දෙනෙත ඉරන් 

ගමට නගරෙට රටට එකවිට කිත් යසස් ගෙනදුන්න පෙම්මා 
නමට පමණක් පුතණුවන් වූ මැතිවරුන් වුව හැදුවෙ නම්මා 
වමට බර වූ සිහින් උරහිස් නිතින් සුරැකිව මිටින් රන්දා 
" පෙමට පෙම මිස කිසිත් නොවටියි " කියයි ලුම්බිණි අපේ අම්මා.


( ලුම්බිණි රඟහලත් - පාසලත් හුස්ම ගන්නා ක්‍රියාවලියේදී දෙකක් නොව " එකක් " බව මෙහි හැදී වැඩුණු, ආ ගිය, පිනා ගිය, හැර ගිය, මුල් පපුවට ම ඇදී ගිය සියල්ලෝ ම දනිත්! )

- කසුන් මහේන්ද්‍ර හීනටිගල -


Previous
Next Post »