චතුරංග පෙරේරා ලියන බෝඩිම - අමුයි බං. (1)


පාසල් ගමන අවසන් වී මාස කිහිපයකට පසුව පවුලට බරක් නොවී ජීවත් විම සදහා පත්තර පි‍ටුවක තිබු කොළඹ පෞද්ගලික ආයතනයක ‍රැකියාවක් සදහා අයදුම් කර මාතලේ සිට කොළඹට පැමිණියේ දහසක් සිහින හිතේ මවාගෙනය.නවලෝකේ පිහිටි එම ආයතනයේ විවිධ කාර්්‍යයන් සදහා මා සමග සහෘදයන් අටදෙනෙකු විය.ඉන්දික,සුමුදු,නාමල් යන තිදෙනා කොළඹමය. චමත්, තුසිත දෙදෙනා මාතරත්, ශිවා කිලිනොච්චියෙත්, වසිම් අම්පාරේද විය.

මා දවස් දෙක තුනක් ‍රැකියාවට ආවේ ගියේ කොළඹ සිටින යහළුවෙකුගේ නිවසක සිටය. පසුව චමත්,තුසිත,ශිවා,වසිම් ගේ නවාතැන්පල වන කොම්පඤ්ඤ වීදියේ කඩවල් අතර වු බෝඩිං කාමරය පසුව මගෙත් නවතැන විය. අපේ සතුට-දුක,බඩගින්න,වේදනා,තරහා ඔක්කෝම මේ බෝඩිම දනී. බෝඩිමට එහායින් තිබුණේ හලාල් කෑම කඩයක්ය.ඇත්තටම, අපේ උදේ-දවල්-රාත්‍රී කෑම වේල් අඩුවට ලබා ගන්නේ ෆාරුක් කියන හලාල් මුදලාලිගේ කඩෙන්ය.හලාල් උනත් ඒ කෑම රසය.බඩගින්නේ සිටින අවස්ථාද බොහෝය.රාත්‍රී වෙලාවක නම් ඔෆීසියෙන් පැමිණ ඇදුම් චෙන්ජ් කර කෙලින්ම පිටත් වන්නේ ගොල්ෆ් ෆෙස් වෙතය.නයිට් ක්ලබ් දෙස බලමින්,පාරේ යන හයිෆයි වාහන දෙස බලමින් අපිත් අපේ සිහින ලොව වෙත පිය නගන අවස්ථා අපමණයි.අපිට හැමදාම නත්තල් නම් නෑ.ඒ නිසා හැමදාම පාටිත් නෑ.සැලරි හම්බවන්නේ විසිපස්වෙන්දා.එදාට ඉතිං අපිත් පොහොසත් තමා.සතියක්,සති එකහමාරක් ගියාමත් ආයිත් මධ්‍යස්ථයි.ඊට පස්සේ ඉතිං දුප්පත් තමා.....

ආණ්ඩුව බඩු මිල වැඩි කරනවා.කඩ හිමියෝ කෑම ජාති වැඩි කරනවා.ඒත් අපේ පඩිය නම් කවුරුත් වැඩි කරන්නේ නෑ.දෙයක් කියන්නත් අමතක වුනා.ඒ පෞද්ගලික ආයතනයේ 'පර්මනේට්'සෙට් එකක් ඉන්නවා.එයාලට පඩි වැඩි.අපි අට දෙනා කන්ට්‍රැක් ඉතිං පඩි අඩුයි.හැබැයි අපි හැමෝම එකම රාජකාරිය තමා කරන්නේ.මොනවා කරන්නද ජීවත් වෙන්නත් ජොබක් කරන්න ඕනේනේ.බෝඩිමට පුංචි ටී.වී.එකක් තියෙනවා.මැච් එක යනකොට ඕකෙන් තමා බලන්නේ.උදේ ඉදන් රෑ වෙනකම් දුවන රේඩියෝවක් තියෙනවා. ඒක කවදාවත් ඕෆ් නම් කරන්නේ නෑ.ඕෆ් උනොත් පැය ගානක් යනව ඕන් කරන්න.මොනවා උනත් පොඩි ඉඩක් තිබුණත් හිතේ සතුටින් නිදහසේ ඉන්න පුළුවන්.ගෙස්ට් හවුස් වගේ නෙමේයි. ගොඩක් අයට ගෙස්ට් හවුස් වලට වඩා බෝඩිං වල අත්දැකිම් වැඩිනේ. බෝඩිං සෙට් එක කන්න-බොන්න වගේම දුක-සතුටටත් එකට තමා මුහුණ දෙන්නේ.එක්කෙනෙක්ගේ ෂර්ට් එකක් තවත් කෙනෙක් ඇදන් යනවා.සපත්තු,සෙරෙප්පු මාරු කරන් යනවා.මරු ජීවිතේ.............

රෑට නිදාගන්නකොට පාරේ වාහන යන හඩ හරියට අපේ ජීවිතේ යන වේගය වගේ දැනෙනවා.කෝච්චිත් යනවා.ඔක්කොම ශබ්දවල් එකට මිශ්‍ර වුණාම එතන අමුතුම හඩන් නිර්මාණය වෙනවා.හතර පැත්තෙන් ම ඇති කෑම කඩ.රයිස්,කොත්තු දාන හඩ වල්,වහාන වල හඩවල් එකට මුසු උනාම එතන තියෙන්නේ උමතු වු පරිසරයක අමුතු වු ශබ්දයන්ය.

ජීවත් වෙන්න මිනිසුන් මොනතරම් කට්ටක් කනව ද?

එකෙක් දවල් රෑ නොබලා කොත්තු රයිස් දානවා. තව එකෙක් පවුල් ජීවිතය ගෙන යන්න රෑ වෙනකම් හයර් දුවනවා. අපි...............අපි උදේ ඉඳන් වැඩ කරලා රෑටත් අවටින් ඇසෙන ශබ්ද සමග ජීවත් වෙනවා.

ඉඳ  ඉඳ  එක වෙහෙර
විඳ  විඳ ශබ්ද මනහර
දුක-සතුට අපිට එකමය
කාලය ගෙවෙයි හරි ඉක්මණටම...!


-සතියක කොමාවක්-



චතුරංග පෙරේරා | Chathuranga Perera



Previous
Next Post »