ඇමති ගීත පරදවනා මර ළතෝනි!


ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව යුතු එකදු දෙයියෙක් හෝ දේවාලයක් එකල අප හිස් මත කඩා වැටුණේ නැත. දිගින් දිගටම සිදු කරනු ලැබූ ‘ පැහැරගැනීම් - චක්‍රාකාර ගසා කෑම් - මාධ්‍ය නිදහස නැති කිරීම් - අධිකරණ ක්‍රියාවලියේ පසුගාමීත්වයන් සහ අන්ත සිංහල ජාතිවාදී මුහුණුවර’ දකුණට අවශ්‍ය 'මානසික ත්‍රිල’ නොඅඩුව පිරිනැමීය. විටෙක 88 – 89 කාලයේ අතුරුදන් කෙරුණු සහෝදර පරපුරට නෑකම් කියනා හාදයන් ම ‘උතුරේ අතුරුදන් වූවන්’ සම්බන්ධව සමාධි මුනිවත රැක්කේය. ‘කරලියැද්දේ අම්මා’ත් - ‘නිමලරාජන්ගේ අම්මාත්’ නෑදෑයන් බව ඔවුන් නොපිළිගත්තේ ය. ෂෙල් වෙඩිලි සහ බර අවි වලින් උතුර සමතලා වෙද්දී ‘සිංහල සින්දු කිව්ව නළලේ තිලක තිව්ව කිරිල්ලීත්’ – ‘නයනානන්දගේ නංගීත්’ එකම ලේ ඇති අහිංසකාවියන් යැයි ඔවුනට අමතක විය. 71දී ‘ප්‍රේමවතී මනම්පේරි’ සහෝදරියට සිදු වූ දෑ ම ඊටත් එහා ගිය ආකාරයෙන් උතුරේ ‘ඉසෙයිප්‍රියා ’ සහෝදරියට වෙද්දී රතු අයියලා න්‍යායික හරඹ මත ඇලී ඇස් කන් පියා සිටියෝ ය. මිනීමරු මහින්ද රාජපක්ෂත් - ගෝඨාභයත් අපායට යැවිය යුත්තන්ගේ නම් ගම් සහ වාසගම් පිළිවෙළින් සනිටුහන් කර ගත්තෝ ය. 

සරසවි ශිෂ්‍යාගේ පටන් මාධ්‍යවේදියාගේ පටන් දේශපාලන ක්‍රියාධරයන් දක්වා පිස්තෝල එසවුවේ ය. වතුර ඉල්ලූ විට උගුර කට සමතලා වනු පිණිස උණ්ඩ පොකුරු පිටින් ලබා දුන්නේ ය. ‘ප්‍රගීත්’ ලා අකුරු මතින් නිදහස සොයා පියඹනා විට තටු කපා ඈත කොහෙදෝ ඔහු හංගා දැමුවේ ය. ‘මාතලන්’ තම උපාධි සිහිනය අත්හැර අන්‍යයන්ගේ අධ්‍යාපන නිදහස තහවුරු කරද්දී ඒ ‘ෆීනික්ස් ජීවිතය’ උදුරා ගත්තේය. ‘ටොක්කා’ගේ වදන් ටොකු එතරම් ම ප්‍රබල යැයි අප දැනගන්නා විටත් ඔහු අප වෙනුවෙන් ජීවිතය දී තිබුණි. ‘මරියදාස් ඩෙල්රුක්ෂාන්’ සහ ‘ගනේෂන් නිමලරූබන්’ට වූ සංසිද්ධියම සමාන මුහුණුවරකින් ‘වැලිකඩ’දී සිදු කෙරුවේ ය. ඉදින් උත්තරීතර යැයි කියනා ව්‍යවස්ථා ප්‍රකාරව ‘11 වන ව්‍යවස්ථාව’ පාලකයන් විසින් මරා දැමුවේ බොහෝ කලකට ඉහතදීය. ‘යාපන විශ්ව විද්‍යාලය’ පුරා රාජ්‍ය භීෂණය දෝරේ ගලද්දී එය ‘කොළඹ’ට එන බව බොහෝ උන් සිතුවේ නැත. එය ‘කොළඹටත් - ජපුරටත්’ ආවේ බුලත් හුරුළු නොමැති පෙර දැනුම් නොදීමෙනි. දකුණේ ‘රිචඩ්ගේ අම්මා’ත් - උතුරේ ‘ජෙයකුමාරි අම්මාත්’ තම දරු දැරියන්ට දක්වනා ස්නේහය මෙතකැයි කියා දැන උන්නේ හුස්ම ගන්නා මළකඳන් නොව ‘මැරි මැරී හුස්ම ගත් මිනිසුන්’ය. ලාංකේය බොහෝ නලාකරුවන් අතර මා හට මෙතෙක් හමු වූ ‘අති නිහතමානීම කලාකරුවා’ වන ‘ජයතිලක බණ්ඩාර’ හට බිම දමා පහර පිට පහර දුන් මුග්ධයන් හට ඒ ‘රත්තරන් හදවතට’ අතක් හෝ තැබීමට හැකියාව ලැබුණේ නැත. ‘සමූහය පිටින් නිවැරදි එක් අයෙකුට වට කොටගෙන පහර දෙන කාලකන්නි සතුට’ ගැන දුක් නොවිය යුතු බවත්, නැඟිට අරගල කළ යුතු බවත් අපට ඓතිහාසිකව ‘දයා පතිරණ’ සහෝදරයා කියා දුන්නේ ය. 2012 ජනවාරි 1වනදා එළිවීමටත් මත්තෙන් හයිලෙවල් වීදියම කළු කළ ‘ලලිත් - කූගන් කෝ ?’ යන වදන තවමත් අතරින් පතර තිබෙන්නේ ය. එහෙත් ඒ අකුරු දැකීමට හෝ ලලියලා පැමිණියේ නැත. “සුමිතුරන් සාදරෙන් පිළිගනිමු’ යැයි කී ‘පුදුවෙයි රත්නදුරෙයි’ කවියා අතුරුදන් කරද්දී සිංහලයේ මහා සම්මත කවියන් කව් සිළුමිණ පෙරළුවේ ය. ‘ඕකා කොටියා’ යැයි කියා වසා සිටි තම තම ‘සුනඛ භාවයන්’ ඉස්මතු කරවාලීය. ‘සෙල්වම්’ සිනමා පටයේ ‘ගෝකුලන්’ විමුක්ති කොටින්ගෙන් මිදී ‘සිංහල නළුවෙකු’ වූ පසු ‘යසාරා’ලා හන්තානට පවා පෙම් බඳින්නට පටන් ගත්තේ ය. අලුත්ගම අහිංසක මොහොමඩ්ලාට - මාජිදා ලාට උන් හිටි තැන් නැති කරද්දී ‘නානසාර භීෂණය’ එකල රාජ්‍ය මාධ්‍ය උත්කර්ෂයට නංවාලීය. මේ සියල්ල සැබෑ ලෙසින්ම සිදු වෙද්දී දකුණේ හුදී ජනයා ‘මාතා ත්, අප්පොච්චාත්, අබාත්, පබාත්, ඉර හඳ යට සිට චූන් එකේ නැරඹුවේ ය. සියල්ලන්ට ම ‘තරු’ පෙනුණේ රාජ්‍ය මර්දනය තම හිස මත වසුරු හෙළන්නට ගත් අවසන් මොහොතේදී ය. ඉදින් බහුතරය එක් වී ‘මරා’ දේශපාලනික වශයෙන් ‘පරා’ජය කොට ‘සිරා’ කරළියට ගෙන ආවේ ය.

දැන් දින 100 බලා යන ගමන යන්නන් වාලේ යනවාට යාමත්, තම තම මඩිය තර කරගැනීමත්, අතරින් පතර සුළු ජාතික ප්‍රධාන ඉල්ලීම් හා සංවේදන පසෙකලා අවශේෂ කාරණා පමණක් තෘප්ත කිරීමත් දැකිය හැකිය. LLRC වාර්තාවක් තිබ්බාද නැද්ද යන්න මහා ප්‍රජාතන්ත්‍රීය පංච තන්ත්‍රය පෙරළු ‘රනිල්’ටද අමතක ය. ‘සන්ධ්‍යා එක්නැලිගොඩ’ යුක්තිය සොයා යද්දී දෙදරුවන් තවමත් කවුළුව අසල පියා එන මඟ බලා හිඳින බව මතකයේ ඇත්තේ සයිබරවාසී නිවැසියන් හට පමණ ද ? කිසිදු චෝදනාවක් නොමැතිව තව දුරටත් ‘මහාදේවන් ළමා නිවාසයේ’ රඳවාගෙන සිටින අවිහිංසක ‘විබූෂිකා’ හට විශ්වාසයෙන් යුතු හෙටක් තිබිය යුතු ය. නැත්නම් ‘උතයා ශ්‍රී ’ලා වැනි අවිහිංසක යුවතියන් සහ දකුණේ පණ්ඩිතයන් අනන්තය සේ ඈත් වීම නවතාලිය නොහැකිය. ඒ සියලු ඈත් වීමක්ම ‘අනාගත ගැටලුවක ඓතිහාසික ප්‍රතිබිම්බයක් බව’ අප අමතක නොකළ යුතු ය. අතුරුදහන් කළ දරුන් සොයමින් ඇවිදිනා ‘මව්වරුන් - පියවරුන්’ සහ පියා - සහෝදරයා - පෙම්වතා - සැමියා සොයා යන ඇස් වලට සිහිල් දිය පිළිතුරක් ලබා දිය යුතු ය. කල දුටු කල වල ඉහගන්නා පාලකයන්ටත් - පනින රිලවුන් වී ඉනිමං නඟිනා මැති ඇමතිවරුන්ටත් ‘මතකය සහ ලැජ්ජාව’ අහිමි වූවාට ‘ජනතා හෘද සාක්ෂියට එකී නහර ද්විත්වය ම අඩු වැඩි වශයෙන් හෝ ඇති බව හඟිමි. ජනරාල් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් වූවාට තවමත් ඔහු උදුරා ගත් දමිළ පුතුන් සිටි නිවෙස් හි ‘සම්පූර්ණ බතක්’ ඉදෙන්නේ නැත. දැන් ‘මරා’ සිනහ වී ‘මං දැන් විවේක සුවයෙන්’ කීවත් දහම් ගැට ගැන ඔහුට අමුතුවෙන් පැවසිය යුතු නැත. වන්නියේ තම නිජබිම මතම හෙළ සෙබළ වනචාරීන්ගෙන් සමූහ දූෂණයට ලක්ව - ජීවිතයෙන් වන්දි ගෙවූ 'සාරන්‍යා' වැනි දමිළ දියණියන් අපගේ නංගිලා නොවන්නේ ද ? 

ජාතික ආණ්ඩුවක් කෙසේ වෙතත් අවම වශයෙන් ‘ජාතික ගැටළුවටවත්’ නිශ්චිත පිළිතුරක් දී ගත නොහැකිව ළතවෙන තව දුරටත් ‘සිංහල ආණ්ඩුව’ හෙට කෙසේ හැසිරේදැයි පූර්ව නිගමන ලබා ගත හැක. දෙමළින් ජාතික ගීය ගයනවාට විරුද්ධව සරම් සහ ළමා සාරි ඉස්සූ පිංවතුන් සහ පිංවතියන් ‘ආනන්ද සමරකෝන්’ගේ පරපුරේ මුල සහෝදර කතෝලික භාවයන් ඇති බව කිවහොත් පිළිගන්නේද ? ‘ඒ ආර් රහමාන්’වැනි එකෙක් හෝ කරුමෙකට සිටියේ නම් අපටද සැබෑ ‘ලාංකිකයන්’ වීමට හැකි යැයි පෙරදා මිත්‍රයෙකු කී ය. එය සැබෑ ය. ‘අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී’ යැයි කුමරතුඟු මුනිදස් කියා ඇත්තේ මේ බව කල් තියා දැනගෙන විය යුතු ය.

කෙසේ වෙතත් තව දුරටත් ‘සත්‍යය’ වෙනුවට ‘අසත්‍යයත්’, ජීවිතය වෙනුවට ‘මරණයත්' දෝලනය වෙමින් පවතී. ‘සටන’ එහෙම ම ය! අතන හෝ එතැන හෝ නොව මෙන්න මේ ‘මෙතැන’ය! 

විටෙක “ ප්‍රාන්ස් කෆ්කා” මෙසේ තම දින පොතේ ලීවේය.
“ මිණි කිංකිණි හඬ නංවමින් සුර ලොවින් බට සුර දූතියන් ගයන ගී ලෙසින් ඔබට ඇසෙන්නේ අපාගත වූවන් පිපාසයෙන්, කුසගින්නෙන් හා වේදනාවෙන් නඟන මර ළතෝනිය යි.”


-කසුන් මහේන්ද්‍ර හීනටිගල- 
2015.03.22 


Previous
Next Post »