මගේ අවුරුදු | කසුන් මහේන්ද්‍ර හීනටිගල.

PIX BY : Samantha Weerasiri

අවුලකින් අවුලකට යන ගමන් 
කවුළුවෙන් හිස දමා බලන විට 
කට! කට! කියූවත් රට මැද 
මට පේන්නෙම 
අතුරුදන් දරුන් ගැන 
පණිවිඩය විමසනා කොවුලන් ය
ඒ තාල - ඒ රාග - ඒ ගීත 
නිවී සැනසිල්ල ගැන කිසිවිටෙක නොදොඩයි.

ඒ පාට - ඒ පාර - ඒ සාර 
හිතේ ළතැවිල්ල ගැන නිරතුරුව මුමුණයි.
මේ ඇහෙන්නේ 'අවුරුද්ද එන ලකුණු බව' 
මගේ සුළැඟිලි අතර ගිලීගෙන ඔබ කියයි.

කෙල්ලෙ පිස්සුද හැටිද ?
මේ ඇහෙන්නේ ' උන් අදත් නොආ බව ' කියාගෙන 
කෙවිලියන් මෙහි ගෙනා අවනඩුවෙ කොටසකුයි.

'තවම උත්තර නැතුව මක්ක කරනවද යැයි'
උන් උඹට - මට බනින ආදරේ ප්‍රශ්නෙකුයි!
'හිටියෙත් පැටව් දෙන්නයි - දැන් ඉන්නෙ මං විතරයි'
එහෙව් අහසක උතුරවන්නට කිරි කොහෙන්දැයි උන් අසයි 
ලෙයින් කිරි දී කෙට්ටු පපුවෙන් මට්ටු වෙන්නට ඇස් වසයි 
ඔට්ටු වෙන්නට හෙටත් හැකි යැයි අනේ උන් කළු තටු ගසයි.

මල් වෙඩිලි නොව ෂෙල් විදිලි ගැන 
දනීදැයි තරහින් අසයි 
තුන් හුලස් වෙනුවට හිතේ - දුම් තවම නැඟෙන වග 
පෙනේදැයි එබෙමින් අසයි
කෙල්ලෙ දැන් පැහැදිලිද...?
රතු පැහැති මලක් සිඹ 
උන් තවම සොයන්නේ 
කිරි සුවඳ - පුත් කුසුම විතරමයි!


| කසුන් මහේන්ද්‍ර හීනටිගල.


Previous
Next Post »