මගේ නෑයන් | කසුන් මහේන්ද්‍ර හීනටිගල



“ මා ඔබෙන් කිසිවක් ඉල්ලුවාද ? ඔබේ බලය හෝ ධනය හෝ යොදා මාව ගලවාගන්න කියා මා ඔබෙන් ඉල්ලුවාද ? මාගේ සතුරාගේ අතින් මා බේරා ගන්න කියාවත්, කුරිරු මිනිසුන් අතින් මා මුදවාගන්න කියාවත් මා ඔබට පැවසුවාද ? මට උගන්වන්න. මම නිහඬව ඔබට සවන් දෙන්නෙමි. මා කළ වරද කුමක්ද කියා මට කියා දෙන්න.”

| ( යෝබ් 6 : 22 – 24 )


සලපතල මළු නොවුණු බරපතල මුහුණු
සිනහ අත් හරින ලද සිහින් දරදඬු ගැහැනු
හිල් වෙච්චි ඉල් මතක පොරෝනයෙ එතුණු
වන්නියේ මිනිසුන් ය ජීවිතෙන් වැටුණු

පැරීසිය පුරාවට නිදහසේ ගයපු
බැස්ටීල කඩාගෙන ගලාගෙන ගියපු
අයිෆලය තරම් උස් මිනිස්කම් සොයපු
ජෝන් වැල් ජෝන්ලා කුසගින්නෙ දුවපු

පැලුවාය දස දහස් සිත් සතන් සොඳුරු
පැපුවාව පුරාවට දුක් සුසුම් රුදුරු
අසා මෙ’පුවත් සිහින සදාකල් අඳුරු
ඇසෑමය සරා සඳ ඉරාගෙන කඳුළු

සීනායි කන්ද පාමුල වැටුණු කින්නරා
ගාසාවෙ වේදනාවෙන් උපන් පෙම්බරා
සිරියාවෙ සිරියාවි මියැදුණේ ඉකි දරා
හැමතැනම ප්‍රේමයේ හුස්ම බිඳු සැරිසරා

ඇසට ඇස - මසට මස ඉල්ලන්නෙ කුමටදෝ
රොහින්‍යා වැසියෙක්මි පිටුවහල නිවනදෝ
මුල්ලිවෛකාලයෙන් ගගනතට වැඩියදෝ
නොවැම්බර් තරු අතර අනන්තය පෙනුණදෝ

ලෙනන් මට සාමයට ඉඩක් සොයලා දෙන්න
ලෙනින් මේ දරුවන්ට හොඳම දේ කෝ දෙන්න
ගෙට් අප් - ස්ටෑන්ඩ් අප්! රොබට් නෙස්ටා මාලෙ
නපුර දුරලා සිනා එන බෙහෙත් දී යන්න!


-කසුන් මහේන්ද්‍ර හීනටිගල



Previous
Next Post »