රැකියාවක් ගන්න බැරි ඩිග්‍රිය දීපන් ළමයෙකුට...






දේශන මොටද මතකයෙ රද වන්න                   බැරී
සටහන් මොටද කියවා නිමවන්න                      බැරී
බුද්ධිය මොටද සිතනා දේ කරනු                       බැරී
ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න                         බැරී

මෙම සරසවි කුරුටු ගීතය මා ඇස ගැටුනේ මගේ අනාගත සහකාරිනිය මුණ ගැසීමට කැලණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේදීය.එහිදී අප ප්‍රධාන පුස්ථකාලයේ සමාජයීය විද්‍යා පොත් අතරින් යම් පොතක් හොයනා අවස්ථාවේදී මේසයක පත්තක නිල් පැහැති පෑනකින් කුරුටු ගා තිබුණු මෙම 'සරසවි කුරුටු ගීය' මගේ ඇස ගැටුණි.

සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයකම පාහේ විද්‍යාර්ථීන්ට මතකයේ රදවා ගැනීමේ 'කපාල ධාරිතාවයත්' ඉක්මවා යන පරිද්දෙන් දවස පුරා දේශන පැවැත්වේ.ඒවා සදහා පැමිණීමත් 80% ක් අනිවාර්ය කර තිබේ.පාසල් වල සාමාන්‍ය පෙළ අංශයේ ගුරුවරුන්ව වඩාත් හොදින් අනුගමනය කරමින් බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි දේශක මහත්ම මහත්මීන් ක්‍රියා කරන්නේ දීර්ඝ සටහන් ලබා දෙමිනි.එම සටහන්  සෙමෙස්තරයක් තුළ කියවා නිම කිරීමටත් නොහැකි තරම්ය.අතීතයේ මෙන් නොව වර්ථමාන විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා තුළ ඇත්තේ යාන්ත්‍රික බුද්ධියක් බවට ප්‍රබල චෝදනාවක් සමාජයෙන් එල්ලවෙමින් පවතී.සිතා ක්ෂණයෙන් තීරණ ගැනීමේ අසාර්ථකභාවයක් වර්ථමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දක්වන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.වරද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තීන්දු තීරණ ගන්නා මහ බලවතුන්ගේය.වසර 3/4/5 ගත කොට ගත් ඩිග්‍රියට රැකියා ලබා දෙන්නේ රාජ්‍ය අංශයම පමණි.පුද්ගලික ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල තුළින් බිහි වන විද්‍යාර්ථියා ප්‍රතික්ෂේප කරන්නේ ඔහු තුළ අරගලකාරී මානසිකත්වයක් සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීමටත් නවීන ලෝකය සමග මුහු වීමටත් නොහැකියාවක් පවතින බව කියමිනි.

ප්‍රශ්නයට විසදුම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළින් බිහි වන විද්‍යාර්ථියා ආකල්ප/කුශලතා/හැකියාව තුළින්ද සවිබල ගැන්වීම පාලන අධිකාරයන්ගේ වගකීමක් විය යුතු බවය.එමෙන්ම විද්‍යාර්ථියා කා යටතේවත් වැඩ කරන්නෙකු නොව 'ව්‍යවසායකයෙකු' බවට පත් කොට රටේ ජාතික නිශ්පාදන ප්‍රවාහයන්ට දායක කර ගැනීමේ නිශ්චිත වැඩ පිළිවෙලක් තුළ පාලන අධිකාරය ක්‍රියාත්මක විය යුතුය.විද්‍යාර්ථියාද ඉංග්‍රීසි,තොරතුරු තාක්ෂණ,ජාත්‍යන්තර භාෂා,ලෝක ප්‍රවණතා දැනුමින්ද සන්නද්ධ වීමේ යුතුකමක් පවතී.එවිට,රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වන විද්‍යාර්ථියාට "ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න බැරී" යනුවෙන් පැවසීමට සිදු වන්නේ නැත.


ඉෂාර ලක්මිණ

Previous
Next Post »