අන්තරය යළි කවරදාකවත් නිවැරදි විය නොහැකි පරිදි නා ගනී...



කැලණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ තත්වයත් සමග නැවතත් ලාංකේය ජන සමාජය 'නවක වදය' පිළිබදව කථිකාවකට මුල පුරා ඇත.1993 සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරකම්හි ප්‍රමුඛස්ථානය ගෙන ක්‍රියා කළේ ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි.නමුත්,2013 සිට ජනතා විමුක්ති පෙරමුණෙන් මතවාදීව ඉවත්ව නව පක්ෂයක් තනා ගත් 'පෙරටුගාමී සමාජවාදී පක්ෂයට' විප්ලවවාදී ශිෂ්‍ය සංගමය නමින් සහාය දක්වයි.

එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්  අනෙකුත් ධනේෂ්වර පක්ෂවලටත් සහාය දක්වන ශිෂ්‍ය පිරිස් මෙන්ම කිසිදු දේශපාලන මතයක් නොදරන බහුතර ශිෂ්‍ය පිරිසක්ද විශ්වවිද්‍යාල තුළ සිටී.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රතිපත්තියක් ලෙස කායික සහ මානසික වශයෙන් සිදු කරන නවක වදයට විරුද්ධය.ඔවුන් අනුගමනය කරන්නේ නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ  එකමුතුව වර්ධනය කරවන කණ්ඩායම් ක්‍රියාකාරකම්ය.විවිධ වේදිකා නාට්‍ය,සංගීත වැඩසටහන්,නව නිර්මාණාත්මක ක්‍රියාකාරකම්ය.ඒ අතර සරසවි උප සංස්කෘතියත් නවකයින්ට හදුන්වා දෙයි.ලෝක සමාජ ආර්ථික සහ දේශපාලනික තත්වයන් පිළිබදව මතවාද සංවාද ගොඩනැගීමත් කලකපටන් අන්තරය අනුගමනය කළ ක්‍රමයයි.

එහෙත්,තමන් ගිය වසරේදී රැග් වූවාට වැඩියෙන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැග් කිරීමට හෙවත් නවක වදයට භාජනය කරමින් ශිෂ්‍යාවන්ට මල් චීත්ත ගවුම්  අන්දවමින් විවිධ කුණු හරප සිංදු ගායනයට දෙමින් ආදරය වැනි උත්තරීතර හැගීම් පවාද පහත් පරිදි යොදා ගනිමින් නවක ශිෂ්‍යාවන් වෙසගනන් ලෙස මානසිකව පත් කර දමනා පිළිකුල් නවක වදයක් මෙහෙයවනා ධනේශ්වර ක්‍රියා සහිත සුළු ශිෂ්‍ය කණ්ඩායමක් සෑම විශ්වවිද්‍යාලයකම සිටී.මොවුන් නවක ශිෂ්‍යයින්ව නිරුවත් කරමින් බීමත්කමට ඇබ්බැහි කරමින් තමන්ගේ යටහත් ගැත්තන් බවට පත් කර ගනිති.

කැලණියේ අදාළ ශිෂ්‍යාව මානසිකව පීඩාවට පත් කර ඇත්තේද කැලණිය සරසවිය තුළ සිටිනා ඉහත සදහන් කළ උප කුලකයට අයත් මානසික අසහනකාරී සුළු පිරිසක්ය...මොවුන්ට අධිකරණය මගින් ලබා දිය හැකි උපරිම දඩුවම ලබා දීම මුළු මහත් ලාංකේය ජන සමාජයම අනුමත කරයි.එහෙත්,මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ සාධාරණ අරගල වලට මැදිහත් වූ 'අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය' පීඩාවට පත් ශිෂ්‍යාව වෙනුවෙන් පෙනී නොසිට මානසික අසහනකාරී සුළු ශිෂ්‍ය පිරිසක් බේරාගැනීමට ගොස් හොදටම නා ගන්නා බව අපට කිව හැකිය.අන්තරයේ කැදවුම්කරුට අනූව පීඩාවට පත් ශිෂ්‍යාවගේ පියා දේශපාලකයෙකුගේ හිතවතෙකි.නමුත්,සැබවින්ම අදාල ශිෂ්‍යාවගේ පියා විදේශගත ශ්‍රමිකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඩිනාර් වලින් විදේශ විනිමය ගෙන එන රට විරුවෙකි. 

මෙතෙක් කාලයක් පුරා රටේ පොදු ජනතාවගේ අනුකම්පාවට,විශ්වාසයට පත්ව සිටි අන්තරය මෙම සිදු වීමේදී අන්තවාදී වීමට ගොස් යළිත් නිවැරදි විය නොහැකි පරිදි හොදටම නා ගන්නා බව පමණක් කිව යුතුය.


ඉෂාර ලක්මිණ









Previous
Next Post »