නටුවෙන් මල් වලට ගිලිහෙන්න නොදී රැක ගමු! දික්කසාදය ගැන.....


නටුවෙන් මල් වලට ගිලිහෙන්න නොදී රැක ගමු! දික් කසාදය ගැන නැවත වරක් සිතා බලන්නට ලාංකේය ප්‍රේක්ෂකාගාරය හුරු කරවමින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ 'සුමති චිත්‍රපට' සමාගම නිශ්පාදනය කළ "පත්තිනි" චිත්‍රපටය ලාංකේය සමාජ ඇසින් දකින්නට මට අවසර!

මා දන්නවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණයක් පිළිබදව ගුණ දොස් පැවසීමට එය විචාරය කිරීමට තරම් මා පරිනත නොවන බව ඒත්,රුපියල් 100ක  1පංතියේ ප්‍රවේශ පත්‍රයක් අරන් මහරගම 'අනූශා' සිනමා ශාලාවෙන් චිත්‍රපටය නරඹන අතරතුර මට මේ ආකාරයෙන් මෙම සිනමා පටය සිත තුළට කා වදින්නට විය.

ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික ප්‍රශ්න අතර බරපලම ප්‍රශ්නයක් ලෙස තරුණ  වියේදීම පවුල් සංස්ථා දෙදරා ගොස් දික්කසාද වන අවස්ථා  බොහෝ ලෙස අප ජීවත්වන සමාජ ක්‍රමය තුළදී අපට දකින්නට ලැබේ.'පත්තිනි' චිත්‍රපටය මගින් ප්‍රතිනිර්මාණය කරනු ලබන 'කෝවලන් චරිතය' ඉතාම ඉක්මන් තීරණයක් වෙත විවාහ වී අවුරුද්දක් යාමටත් මත්තෙන් එළබේ.නමුත්,'කණ්නකී චරිතය' ඉතාම ඉවසිලිවන්තව තම පති භක්තිය තුළ නොවෙනස්ව හිදිමින් කටයුතු කරයි.


ශ්‍රී ලාංකේය සමාජ ක්‍රමය තුළ මෙය කෝවලන්ලා (පිරිමි.)පාර්ශවය අතින්ද,සමහර විටක, මාධවී (කාන්තා.) පාර්ශවය අතින්ද සිදු විය වන අවස්ථා සුලබව අපට දැකිය හැකිය.නමුත්,අවසානයේ දුක් විදින්නේ මණිමේකලා බදු දූ පුතුන්ය.රට පුරා ඇති දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණයන්හි තත්වය දික් කසාද නඩු තුළින් පීඩා විදින දරුවන්ගේ අයිතිය පිළිබදවත්,නඩත්තු පිළිබදවත් නඩු වලින් පිරී ඇත.

'පත්තිනි' සිනමා කෘතිය තුළින් 'කණ්ණකි' චරිතය විසින් පතිවත රැක ගෙන ජීවත් වීමටත්,'මාධවී' චරිතය තුළින් පරිත්‍යාගයත්,'මණිමේකලා' චරිතය තුළින් ඉවසීමටත් මෙරට සමාජ තන්ත්‍රය හුරු කරවන බව මගේ විග්‍රහයයි.


බොහෝ විචාරකයින් කුමන අදහස් දැරුවත්,'පත්තිනි' සිනමා කෘතියට චරිත ගලපා ඇති අන්දම අතිශයින්ම සාර්ථක බව මට වැටහේ.පූජා උමා ශංකර් කණ්නකී චරිතයේ දුක්ඛ වේදනා දරා ගන්නා ස්වභාවයත්,ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරයත් ප්‍රතිභා පූර්ණය.

එමෙන්ම,පරම්පරානුගතව පවතින විශ්වාස පිළිබදව මෙම සිනමා කෘතිය තුළ බොහෝ අවස්ථා තුලදී ඉඩක් ලබා දීමද ලක්ෂණයකි.කෝවලන් කණ්නකීව නවතා නැවත මධුරාපුරය බලා පිටත්ව යද්දී නයෙකු පිඹින නිරූපණයත්,අනතුරුව අදාල නිවසේ ගව පට්ටියේ කිරි දෙනුන්ගේ  ගව  බුරුල්ලේ කිරි නොතිබීම වැනි අසුබ නිමිති නිරූපණය කරයි.

එමෙන්ම පාණ්ඩ්‍ය රටේ රජතුමාත් බිසවත් ඉදිරියේ ශිව දෙවියන්ගේ රුවට කෝවලන්ගේ ලේ විසි වී තිබීම දුටු පාණ්ඩ්‍ය රජ චරිතය නිරූපණය කරන රවීන්ද්‍ර  රන්දෙනිය ඒ දෙස විමතියෙන් බලයි.රාජ්‍යයට මහා විපතක් එන පෙර නිමිත්තක් ලෙස එය ඔහු හදුනා ගනී...

හොදම සිනමා විග්‍රහයක් අත්විදින්න ඔබත් මෙම සිනමා කෘතිය නරඹන්න...දික් කසාදයට විරාමයක් තබා පළමු ආදරයට ආදරය කරන්න...දරුවන්ගේ අනාගතය අදුරු නොකරන්න...

ඉෂාර ලක්මිණ











Previous
Next Post »